සදාකාල ගිවිසුමේ ලේ - යෝෂා මනූ
March 23, 2025 Sunday Sermon Notes
ජයග‍්‍රාහී නාමය යේසුස්ය. උන්වහන්සේ අපට ජය දෙන්නාවු තැනැන්වහන්සේය.
දෙවියන්වහන්සේ ජීවමානය, බලවන්තය, යහපත්ය. දෙවියන්වහන්සේ කරන්නාවු දේ වලට අපට නිතර ප‍්‍රශංසා කළ හැකිය. උන්වහන්සේ අපව ගෙනවිත් ඇත්තේ කිරි සහ පැණියෙන් උතුරා යන්නාවු දේශයකටය.
දෙවියන්වහන්සේ කවදාවත් ඔබට විරුද්ධව ක‍්‍රියා නොකරනු ඇත. උන්වහන්සේ අපගේ ජීවිතය ගළවා නිදහස් කර ඇත. උන්වහන්සේගේ කැමැත්ත අප ජීවනයේ රජකම් කිරීමය. අප පරාජිතයන් නොව, අප ජයග‍්‍රාහිකයන්ය.
යේසුස්වහන්සේ විශාල මිලයක් ගෙවා උන්වහන්සේගේ සේවය සම්පූර්ණ කළේ අපව ජයග‍්‍රහයකයන් කිරීමටය. දෙවියන්වහන්සේ අපව මේ පොළොවේ රාජකීය පූජකයන් ලෙස තබා ඇත. අප මේ පොළොවේ ක‍්‍රිස්තුස්වහන්සේගේ තානාපතියන් ලෙසින් ජීවත්වෙමු.
රෝම 5:20-21
20 ඒ ඇර ව්‍යවස්ථාව පැමුණුණේ වරද බොහෝ වන පිණිසය; 21 නුමුත් පාපය මරණයෙහි රජකම්කළාක්මෙන්ම අනුග්‍රහය සදාකාල ජීවනය සඳහා අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ධර්මිෂ්ඨකමෙන් රජකම්කරන පිණිස, පාපය බොහෝ වූ තැන අනුග්‍රහය ඊට වඩා අධික වූයේය.
ගැළවීම ලැබීමට පෙර අප පාපය නිසා අධර්මිෂ්ඨකම් කරන ලදි. එයින් අප අත්වින්ඳේ මරණයයි. අප ගත කරන ලද්දේ මරණය රජකරන්නාවු පරාජිත ජීවිතයකි. අනුග‍්‍රහය නම් ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේය.
උන්වහන්සේ පැමිණි කළ උන්වහන්සේ අපට සදාකාල ජීවනය රජකම් කරන්නට උරුමක්කාරකම දෙන ලදි. ක‍්‍රිස්තුස්වහන්සේ නොමැතිව අපට කිසිදා මේ පොළොවේ රජකම් කළ නොහැක.
දේව දරුවන් ලෙසින් අප ජීවත්වන්නේ ඇදහිල්ලෙන් ඇදහිල්ලටය. අප මේ පොළොවේ ජීවත්වුවත් අප ගමන් කරන්නේ නොපෙනෙන තලයේ ආත්මයාණන් ගමන් කරන ආකාරයටය. පෙනෙන දේ තාවකාලිකය. අප ගමන් කරන්නේ ඇදහිල්ලෙන්ය.
2 කොරින්ති 5:7
මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.
2 කොරින්ති 4:16
එහෙයින් අපි ක්ලාන්ත නොවමුව; අපේ පිටත මනුෂ්‍යයා ක්ෂයවෙන නුමුත්, අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත්කරනු ලබන්නේය.
ක්ලාන්තවූ ජීවිතයක් ගත කිරීම දෙමනසක් තුළ සිටීම වැනිය. අප සිටිය යුත්තේ ජ්වලිතවය. අපගේ ඇතුල් මනුෂ්‍යයා අපගේ ආත්මික ජීවිතයයි. දෙවියන්වහන්සේගේ ආත්මය වැඩ වසන ස්ථානයයි.
දෙවියන්වහන්සේගේ ආත්මයත්, අපගේ ආත්මයත් එක්වී ඇත. (1 කොරින්ති 3:16)
දෙවියන්වහන්සේගේ වචනය තුළ අප පවතින විට අප දවසින් දවස ඇදහිල්ලෙන් ඇදහිල්ලට, ශක්තියෙන් ශක්තියට, මහිමයෙන් මහිමයට අලුත්වේ.
2කොරින්ති 4:17-18
17 මොහොතකට පවතින අපේ සැහැල්ලුවූ දුක, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට, 18 ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.
අප තාවකාලික දේ නොව, නොපෙනෙන සදාකාලික දේ දෙස බලමු.
අලුත් ගිවිසුමේ යේසුස්වහන්සේගේ ලේ අපව ආක්රෂා කරයි. පරණ ගිවිසම තුළ ඔවුන් වසරක් පාසා සතෙකු පූජා කරමින් ඒ ලේ වලින් තම පාපය වසා ගන්නා ලදි. නව ගිවිසුම තුළ යේසුස්වහන්සේ කුරුසියේ මිලය ගෙවා අපව පාපයෙන් සම්පුර්ණයෙන්ම නිදහස් කරන ලදි.
හෙබ්‍රෙව් 8:6
නුමුත් දැන් උන්වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවනලද්දාවූ වඩා හොඳ ගිවිසුමක මැදහත්කාර කෙනෙක්ව සිටින්නා සේම උන්වහන්සේ වඩා උතුම් සේවයක් ලැබූසේක.
දැන් අප සිටින්නේ වඩා හොඳ පොරොන්දු තුළ හොඳ ගිවිසුමක මැදිහත්කාරයෙකු සමඟය. මේ ගිවිසුම තුළ අප පැවතිය යුතුය.
එපීස 2:1-2
1 නුඹලා නුඹලාගේ වරද සහ පාප කරණකොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත්කළසේක. 2 පෙර කාලයේ නුඹලා මේ ලෝකයේ ව්‍යවහාරය ලෙසත්, අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාකරන්නාවු ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත්, ඒවායෙහි හැසුරුණහුය.
අප සිටියේ පාපයට මැරී උදහසේ දරුවන් ලෙසය.
එපීස 2:12
ඒ කාලයෙහි ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්ව, ඉශ්‍රායෙල්ගේ නාගරිකත්වයට අන්‍යයන්ව, පොරොන්දුවේ ගිවිසුම්වලට විදේශීන්ව, ලෝකයෙහි බලාපොරොත්තුවක් නැතුව, දෙවියන්වහන්සෙත් නැතුව සිටිය බව සිහිකරන්න.
අපි සිටියේ කිසිදු බලාපොරොත්තුවක් ගිවිසුමක් නොමැතිව පාපයේ ඇලී ගැලී සිටියෙමු.
එපීස 2:13
නුමුත් වරක් දුර සිටියාවූ නුඹලා දැන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ළංකරනු ලැබුවහුය.
යේසුස්වහන්සේගේ ලේ අපව දෙවියන්වහන්සේ වෙතට ළංකරමින් අපට ගිවිසුමේ පොරොන්දු ලබා දී උන්වහන්සේ අපව උරුමක්කාරයන් කරනු ලැබීය. යේසුස්වහන්සේගේ කළාවු දේ අමතක නොකර අප උන්වහන්සේට ස්තුති වන්ත වෙමු. සදාකාල ගිවිසුම තුළින් උන්වහන්සේ අපට සදාකාල ජීවනය ලබා දෙන ලදි.
සදාකාල ගිවිසුම ඉතා වැදලත්ය. මන්ද දෙවියන්වහන්සේ සෑදු ගිවිසුමක් උන්වහන්සේ කිසිදා කඩ කරන්නේ නැත. මනුෂ්‍ය වර්ගයාගේ නපුරු ක‍්‍රියා දුටු දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැවීම ගැන තැවුණේය. (උත්පත්ති 6:5-6)
දෙවියන්වහන්සේ ජල ගැල්මකින් පොළොවේ සිටි සියල්ලන්ම නැති කරන ලදි. (උත්පත්ති 7:22)
ඒ ස්ථානයේ දෙවියන්වහන්සේ නෝවා මඟ සාදාකාල ගිවිසුමක් ඇති කරන ලද්දේය. ඒ ගිවිසුම නම් නැවත කිසිදා පොළොව ජලයෙන් විනාශ නොකරන බවය. ගිවිසුමේ ලකුනක් ලෙස දුන්න වළාකුලෙහි තැබීය. (උත්පත්ති 9:11-13)
හෙබ්‍රෙව් 13:21-22
21 තමන් ඉදිරියෙහි ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන *අප තුළ කරමින්, නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණකරනසේක්වා. උන්වහන්සේට සදාකාලේටම ගෞරවය වේවා. ආමෙන්. (*නොහොත්, නුඹලා තුළ) 22 සහෝදරයෙනි, මේ අනුශාසනාවේ වචනය ඉවසන හැටියට නුඹලාගෙන් ඉල්ලමි. මක්නිසාද ලුහුඬින් මම නුඹලාට ලියුවෙමි.
දෙවියන්වහන්සේ ප‍්‍රසන්න දේ අප ඇදහිල්ලෙන් ගමන් කිරීමය. උන්වහන්සේගේ කැමැත්ත කිරීමට උන්වහන්සේ අපව සියලු යහපත් ක‍්‍රියාවලින් සම්පූර්ණ කර ඇත.
හෙබ්‍රෙව් 13:20
ඉතින් සදාකාල ගිවිසුමේ ලේ කරණකොටගෙන බැටළුවන්ගේ මහත් එඬේරා වන අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේව මළවුන් කෙරෙන් නැවත ගෙනාවාවූ සමාදානයේ දෙවියන්වහන්සේ,
අප සමඟ දේව කැමැත්ත කරන පිණිස දෙවියන්වහන්සේ අප සමඟ ගිවිසුක් ඇති කළේය. ගිවිසුමේ ලේ වැගිරූ යේසුස්වහන්සේ අප සමඟ සදාකාලයටම එම ගිවිසුම ඇති කරන ලදි. දෙවියන්වහන්සේ පරණ ගිවිසුමේ ප්‍රොපේතවරුන්ට සමාදානයේ ගිවිසුමක් ගැන පොරොන්දුවන ලදි.
මහත් එඬේරා යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේය. දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස අපට පහසු වන පිණිස ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ වාසය කරයි.
එසකියෙල් 37:26
තවද මම සමාදාන ගිවිසුමක් ඔවුන් සමඟ කරන්නෙමි. එය ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් වන්නේය. මම ඔවුන් පිහිටුවා, ඔවුන් වැඩිකොට, මාගේ ශුද්ධස්ථානය ඔවුන් අතරෙහි සදාකාලේටම පිහිටුවන්නෙමි.
දෙවිපියාණන්වහන්සේත් මනුෂ්‍යයාත් අතර සමාදාන ගිවිසුම ඇති කරන ලද්දේ යේසුස්වහන්සේ විසිනි. පරණ ගිවිසුමේ ශුද්ධවන්තයන්ව සිටියේ යුදෙව් සෙනඟ පමණි. අන් අයට කිසිදා දෙවියන්වහන්සේ වෙත යා නොහැකි වුණේය. ඔවුන් සැලකුයේ අන්‍ය ජාතීන් ලෙසය.
යේසුස්වහන්සේ තුළින් අප සියලු දෙනා සමඟම දෙවියන්වහන්සේ ගිවිසුමක් සාදන ලදි. ශුද්ධස්ථානය දැන් පිහිටා ඇත්තේ අප තුළය.
යෙරෙමියා 50:5
එන්න, මතකනැති නොවන සදාකාල ගිවිසුමකින් ස්වාමීන්වහන්සේට එකතුවෙමුයයි කියා ඔවුන් මේ දේශයට මුහුණු හරවාගෙන සියොන්ට පැමිණෙන මාර්ගය විභාගකරනවා ඇත.
එය කිසිදා අමතක නොවන ගිවිසුමකි. පළමු ගිවිසුම දෙවියන්වහන්සේ පිහිටෙව්වේ ආබ‍්‍රහම් සමඟය. එය පවත්වා යනවා කීවේ ඊසාක් සමඟය. (උත්පත්ති 17:7,13,19)
පොරොන්දුවේ දරුවා ඊසාක්ය. ඒ පරම්පරාවෙන් යේසුස්වහන්සේ මේ ලොවට පැමිනුණි. අලුත් ගිවිසුම දෙවියන්වහන්සේ සෑදුවේ යේසුස්වහන්සේගේ ලේ තුළිනි.
යේසුස්වහන්සේ පැවසූ දේ බලමු.
ලූක් 22:19-20
9 උන්වහන්සේ රොටි ගෙන ස්තුති කොට කඩා, ඔවුන්ට දී: මේක නුඹලා උදෙසා දෙනලද මාගේ ශරීරයය; මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක. 20 එලෙසම රාත්‍රි කෑමට පසු කුසලාන දී: මේ කුසලාන නුඹලා උදෙසා වගුරුවන මාගේ ලෙයෙහි අලුත් ගිවිසුමය.
යේසුස්වහන්සේ පැවසූවේ උන්වහන්සේගේ ලේ වලින් සාදා තිබෙන අලුත් ගිවිසුම කියාය. ගිවිසුමේ භෝජනය තුළින් අප සිහිකරන්නේ යේසුස්වහන්සේගේ කැඩුණු ශරීරයයි. උන්වහන්සේ අප උදෙසා ගෙව් මිලයයි. එය නිකං රොටී කැබැල්ලක් නොව එය යේසුස් වහන්සේගේ ලෙයේ ගිවිසුමයි, අපගේ සුවයයි, විසඳුමයි, සමාදානයයි, සියල්ලෙන් සියල්ලයි. පාවුල්තුමා ඔහුගේ ජීවිතයෙන් එළිදරව් වචනයක් ලෙස මෙය පවසන ලදි.
1 කොරින්ති 11:25
එලෙසම රාත්‍රි කෑමෙන් පසු කුසලානත් දී: මේ කුසලාන මාගේ ලෙයින් පිහිටුවන අලුත් ගිවිසුමය. යම් පමණ වර නුඹලා මෙයින් බොන්නහුද, එපමණ වර මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක.
ඔබගේ ඇදහිල්ලේ ගමන තුළ දෙවියන්වහන්සේ ඔබගේ පාපය සම්පූර්ණයෙන් මකා දැම්මා යන විශ්වාසය ඔබ තුළ තිබිය යුතුය. උන්වහන්සේ දැන් ඔබ දකින්නේ පව් කාරයෙක් ලෙස නොව ධර්මිෂ්ඨ දේව දරුවෙක් ලෙසය. එය අප ඇදහිල්ලෙන් තව පියවරකට යාමය. දෙවියන්වහන්සේ අපගේ වැරදි සොයන්නේ නැත. උන්වහන්සේ අපට ලෙයින් ගිවිසුමක් කර ඇත. එයින් අප දැන් සිටින්නේ පවිත‍්‍රවය. අප දැන් වරදකාරී ලෙස, දොස් පැවරීමෙන් ජීවත්නොවී දේව දරුවෙකු ලෙස ජීවත්වෙමු.
2 කොරින්ති 3:6
තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයින් කොට අප සමර්ථකළසේක; එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ හැටියටය. මක්නිසාද වචනාර්ථය නසන්නේය, පරමාර්ථය ජීවත්කරන්නේය.
යේසුස්වහන්සේ අපව ගිවිසුමේ සේවකයන් කර ඇත. අපට දැන් අන්‍යයන් වෙතට ගොස් ඔබට කමාව තිබෙන බවත්, යේසුස්වහන්සේගේ ලේ තුළින් ධර්මිෂ්ඨකම තිබෙන බවත්, උන්වහන්සේගේ ලේ වලින් නිර්දෝෂීකම ලබා දෙවියන්වහන්සේට නමස්කාර කළ හැකි බවත් ප‍්‍රකාශ කරමු. ආත්මයෙන් ගමන් කළහොත් අපට ආත්මයාණන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ වචනය ප‍්‍රකාශ කළ හැකිය.
පරමාර්ථය යනු අප තුළ බලවත් සේ ක‍්‍රියාකරන්නාවු ආත්මයාණන්වහන්සේය.
යේසුස්වහන්සේ කථා කරන්නාවු සෑම වචනයක්ම ආත්මික වචන මෙන්ම ජීවන වචනවේ.
හෙබ්‍රෙව් 12:24
අලුත් ගිවිසුමේ මැදහත්කාරවූ යේසුස්වහන්සේද ආබෙල්ට වඩා උතුම්ලෙස කථාකරන ඉසීමේ ලේද වෙතටත්ය.
අප දැන් පැමිණ සිටින්නේ යේසුස්වහන්සේගේ අභිමුඛයටය. අපගේ මැදහත්කාරයණෝ යේසුස්වහන්සේය. ආබෙල් තමගේ බැටළු රැලෙන්ද කායින් තම ඵලදාවෙන්ද දෙවියන්වහන්සේට පූජාවක් ගෙනෙන ලදි. දෙවියන්වහන්සේ පිළිගත්තේ ආබෙල්ගේ පූජාවය. කායින් එයට කෝපවූයේය. (උත්පත්ති 4:1-5)
ආදම් සහ ඒව පව්කළ අවස්තාවේ දෙවියන්වහන්සේ ඔවුන්ගේ පාපයට වැස්මක් ලෙස සතෙකු මරා උගේ හම් වලින් ඔවුන්ට ඇදුම් අන්දවන ලදි. (උත්පත්ති 3:21)
කායින් එම දෙවියන්වහන්සේගේ පිළිවෙත දැන සිටින්නට ඇත. එහෙත් ඔහු ඔහුගේ සහෝදරයා කෙරෙහී කෝපව ඔහුව මරා දැමුවේය. (උත්පත්ති 4:8)
ආබෙල්ගේ ලේ තමාට වූ දෙය ගැන පලිගත යුතු බව පැවසුවත්. යේසුස්වහන්සේගේ ලේ පැවසුවේ සමාව දීමය.
හෙබ්‍රෙව් 12:25
කථාකරන තැනන්වහන්සේ එපා නොකරන්ට බලාගන්න. මක්නිසාද පොළොවේදී අවවාදකළ තැනන්වහන්සේ එපාකළ විට ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අවවාදකරන තැනන්වහන්සේ කෙරෙන් අහක්ව ගියොත් අපි කොහොම ගැළවෙමුද?
නව ගිවිසුම තුළ පවසන්නේ කිසිදා යේසුස්වහන්සේගේ ලේ ප‍්‍රතික්ෂේප නොකරන ලෙසය. මන්ද අප සමඟ සදාකාල ගිවිසුමක් සෑදුවේ යේසුස්වහන්සේගේ ලේය.
අප දෝශාරෝපයෙන් ජීවත් නොවෙමු. යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දෝෂාරෝපණයක් නොමැත. (රෝම 8:1)
අප යේසුස්වහන්සේ ඉදිරියේ යාච්ඤා කරන විට අපගේ මනස වට්ටන සිතුවිලි පැමිණෙන්නේ නම් ඔබ යේසුස්වහන්සේගේ ලේ වලින් ඇති කළ සදාකාල ගිවිසුම ගැන ස්තූති කරන්න. එවිට යේසුස්වහන්සේගේ ලේ ඔබ වෙනුවෙන් නැඟී සිටිනු ඇත.
අපි ධර්මිෂ්ඨයි, නිර්දෝෂයි කියා හඬනඟා පවසමු.
Watch the Sermon Video