Print this page

බිය දෙවියන්වහන්සේටත් මනුෂ්‍යයාටත් විරුද්ධව ක්‍රියා කරන බලයකි - යෝෂා මනූ
May 4, 2025 Sunday Sermon Notes


 
දෙවියන්වහන්සේගේ ආශීර්වාදය අප තුළ පවතින බැවින් අපි උන්වහන්සේට ස්තූතිවන්ත වෙමු.

දෙවියන්වහන්සේගේ පොරොන්දු කිසිදා වෙනස් නොවේ. අප උන්වහන්සේට කීකරුවීමෙන් කීකරුකමේ ආශීර්වාද හිමිවේ.

හිතෝපදේශ 10:6
ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශීර්වාද තිබේ; එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසන්නේය.

ආශීර්වාදය ලබන්ට නම් අපගේ මනස අලුත් කර ගත යුතුවේ.
දෙවියන්වහන්සේගේ ආශීර්වාද පොරොන්දු මත අප ජීවත්විය යුතුය.

හිතෝපදේශ 10:22
ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.

දෙවියන්වහන්සේගේ ආශීර්වාදයක් අපට තිබේනම් කවදාවත් එයට දුකක් එකතුවන්නේ නැත.

උන්වහන්සේගේ චරිතය යහපත්ය. කිසිදා දෙවියන්වහන්සේ වෙනස් නොවන සේක. උන්වහන්සේගේ පොරොන්දු උන්වහන්සේ තුළ උරුමකරගෙන අප ජීවත්වෙමු.

භය ආත්මයක්ය. එය පැමිණෙන්නේ යක්ෂයාගෙන්ය.
යක්ෂයා විවිධාකාර සිතුවිලි අපගේ මනසට ගෙනවිත් භයාදුකමේ ආත්මය අප තුළ ඇති කිරීමට තැත් කරයි. අප යක්ෂයාට විරුද්ධව සිටගනිමින් දෙවියන්වහන්සේගේ වචනයෙන් ශක්තිමත් වෙමු.

භිය දෙවියන්වහන්සේගේ වචනයට හාත්පසින් විරුද්ධව ක‍්‍රියා කරන බලයකි.

දෙවියන්වහන්සේට අවශ්‍යය අප උන්වහන්සේව විශ්වාස කිරීමය. උන්වහන්සේ අපව ශාන්ත සමාදානයෙන් තබා ඇත.

දෙවියන්වහන්සේ වියවුලේ දෙවි කෙනෙක් නොවේය. භිය මනුෂ්‍යයා තුළ වියවුල ඇති කරයි. අප භියට විරුද්ධ වචන කථා කරමු.

පිලිස්තියෙක්වූ ගොලියත්ට වඩා ඉශ‍්‍රායෙල් දෙවියන්වහන්සේ බලවත්ව සිටියත් ඉශ‍්‍රයෙල්වරු සිතුවේ පිලිස්තියා බලවත් කියාය. (1 සාමුවෙල් 17:11)

ගොලියත් ඉදිරියට පැමිණෙන විට දාවිත් භයවුණේ නැත. (1 සාමුවෙල් 17:45-46)

අපගේ බලපුලුවන්කමින්, අපගේ ශක්තියෙන් අපගේ ප‍්‍රඥාවෙන්, දැනමුතුකමින් මේ සටන ජය ගත නොහැක. අප ජය ගන්නේ අප තුළ සිටින්නාවු බලවත් තැනැන්වහන්සේගේ උපකාරයෙන්, ශක්තියෙන් හා දිව්‍යමය බලය තුළිණි.

අප නිතරම ජීවත්වන්නේ දෙවියන්වහන්සේගේ උපකාරය ඇතුවයි. උන්වහන්සේගේ උපකාරය නොමැතිව අපට ඇදහිල්ලෙන් ජීවත්විය නොහැක.

යේසුස්වහන්සේ අපව භයාදුකමේ ආත්මයෙන්, මරණ බලයෙන් නිදහස් කළේය. යේසුස්වහන්සේ අපට සාදාකාලික ජීවනය දී ඇත. ඒ සදාකාලික ජීවනය නම් යේසුස්වහන්සේමය. උන්වහන්සේ තුළ මරණ භය නැත.

භය මනුෂ්‍ය හදවත් තුළට පැමිණියේ ඒදන් උයනේදීය. ඒ ආදම් කළාවු පාපය නිසාය. (උත්පත්ති 3:10)

ඇදහිල්ලේ පියා ලෙස සිටි ආබ‍්‍රහම් තුළ පවා භය ඇතිවුණේය. ආබ‍්‍රහම් තමා නුදුටු කානාන් දේශයට යාමට තම නිවැසියන් සමඟ ඇදහිල්ලෙන් පිටත් වූ විට ඔහු ඒ ගමනට ලොත්ද පැමිණියේය. (උත්පත්ති 12:5)

දේශයට පැමිණි විට සාගතයට බියවූ ආබ‍්‍රහම්, මිසරයට ගියේය. මිසරයේදී ඔහුගේ භාර්යාවගේ ශෝභන පෙනුම ගැන බියවූ ආබ‍්‍රහම් ඇය ඔහුගේ භාර්යාවයයි නොකියා සහෝදරියයි පවසන්නැයි කීය. (උත්පත්ති 12:10-13)

ආබ‍්‍රහම් බොරු කී නිසා ඒ තුළින් ඔහුගේ භාර්යාව ඵාරාවෝගේ නිවසට ගෙනයාමෙන් ඔහුට ප‍්‍රශ්න රාශියකට මුහුන දෙන්නට සිදුවුණේය. (උත්පත්ති 12:14-19)

ඔවුන් මිසරයෙන් පිටතට නැවත් හැරී පැමිණෙන විට හාගර් නම් මෙහෙකාරියවද කැටුව ආවෝය. (උත්පත්ති 16:1)

ආබ‍්‍රහම් වැරදි තීරණ ගැනීමෙන් තවත් ප‍්‍රශ්න එකතු කර ගත්තේය. ඔවුන් මෙම මෙහෙකාරිය නොගෙනාවේ නැති නම් සමහර විට ඉෂමායෙල්ගේ ඉපදීම සිදු නොවන්නට තිබුණි.

ඉක්මන් තීරණ ගැනීම ඉතා භයානකය. ඒ තුළින් වියවුල පැමිණෙන්නේය. අප අතින් වැරදි වන විට දෙවියන්වහන්සේ අපට කමාව දෙනු ලැබේ.

ඉන්පසුව ආබ‍්‍රහම් කැටුව ආ ලොත්ගේ සේවකයන් හා අබ‍්‍රහම්ගේ සේවකයන් අතර දබරයක් ඇති වුණේය. ඒ නිසා ආබ‍්‍රහම්ට ලොත්ව වෙන් කිරීමට තීරණය කළේය. (උත්පත්ති 13:8-9)

දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට ලොත්ව කැටුව එන්නට කීවේ නැත. ලොත්ව තම කැමැත්තෙන්ම ආබ‍්‍රහම් සමඟ පැමිණියේය. අපි වැරදි පුද්ගලයින් අපගේ ඇදහිල්ලේ ගමනට එකතු කිරීමෙන්ද ප‍්‍රශ්න මතුවිය හැකිය.

ආබ‍්‍රහම් ලොත්ට කැමති දේශයක් තෝරාගන්නට ඉඩ දුනි. එහිදී ලොත් තමාගේ ඇසට හරිව පෙනෙනදේ තෝරා ගනිමින් මාංසාකාර තීරණයක් ගත්තේය. (උත්පත්ති 13:10-11)

මාංසාකාර තීරණයක් ගත් ලොත්ගේ ජීවිතය අවසානයේදී විනාශ වූයේය. (උත්පත්ති 14, 19 පරිච්ඡේද)

වැරදි පුද්ගලයින් සමඟ ගිවිසුම් ඇති කර ඇති නම් ඔබ එයින් ඉවත් වන්න. වැරදි ස්ථානයක් තෝරාගත් ලොත් හා ඔහුගේ සම්පත් එම දේශයට විරුද්ධව සටනට ආ සතුරු රජවරුන් රැගෙන යන ලදි. (උත්පත්ති 14:11-12)

ආබ‍්‍රහම් තම නිවසේ සිටි සේවකයින් සමඟ ගොස් සටන් කොට ලොත්ව ඒ ප්‍රශ්නයෙන් බේරා ගත්තේය. (උත්පත්ති 14:14-17)

ආබ‍්‍රහම් මෙල්කසදෙක්ට තමාගේ සියල්ලෙන් දසයෙන් එක දෙන ලදි. මෙල්කිසදෙක්ද ආබ‍්‍රහම්ට ආශීර්වාද කෙළේය. (උත්පත්ති 14:18-20)

සොදොම්හී රජුගෙන් කිසිදු දෙයක් ගැනීමට ආබ‍්‍රහම් එකඟ නොවූයේය.

උත්පත්ති 14:21-23
21 සොදොම්හි රජද ආබ්‍රම්ට කථාකොට: මිනිසුන් මට දියන්න, සම්පත් නුඹටම ගනින්නැයි කීය. ආබ්‍රම් සොදොම්හි රජුට කථාකොට: 22 මම ආබ්‍රම් පොහොසත්කෙළෙමියි නුඹ නොකියන පිණිස යෞවනයන් කෑ දේ සහ මා සමඟ ගියාවූ මිනිසුන්ගේ කොටස හැර 23 නූල්පටක්වත් මිරිවැඩි පටියක්වත් නුඹ සන්තක කිසි දෙයක්වත් නොගන්නෙමියි අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවිවූ ස්වාමීන්වහන්සේට මාගේ අත ඔසවා දිවුළෙමි;

දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට භය නොවන්නැයි කීවාය.

උත්පත්ති 15:1
මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.

අප වැරදි තීරණ ගත්තත්, දෙවියන්වහන්සේට විරුද්ධ යම් දේ කරත්, දෙවියන්වහන්සේ අපට ප‍්‍රේමකරනු ඇත. දෙවියන්වහන්සේ තුළ උතුම්වූ අනර්ඝ පොරොන්දු අපට ඇත.

අබ‍්‍රහම් සමඟ ගිවිසුම් ඇති කළේ බැටළුවන්ගේ ලේ තුළිණි. අප සමඟ ගිවිසුමක් ඇති කරන ලද්දේ යේසුස්වහන්සේගේ අනර්ඝ ලේ තුළිණි.

ආබ‍්‍රහම් ඇදහිල්ලේ පියා වුවත් ඔහු තුළ ශුද්ධාත්මය වැඩවාසය කළේ නැත. නමුත් අප තුළ ශුද්ධාත්ම අභිමුඛය තිබේ.

දෙවිපියාණන්වහන්සේ, පුත‍්‍රයාණන්වහන්සේ හා ශුද්ධාත්මයාණන් අප තුළ වාසය කරයි.

ආබ‍්‍රහම්ට දෙවියන්වහන්සේගේ නාමය යෙහෝවා ලෙස හඳුන්වා දුන්නේය. අද අපි යේසුස් යන නාමයෙන් දෙවියන්වහන්සේව හඳුනන්නෙමු.

දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ව ශක්තිමත් කළේය. මේ අවස්ථාවේදී දර්ශනය වූයේ ස්වාමීන්වහන්සේගේ වචනයයි.

ඔබ දෙවියන්වහන්සේ සමඟ කාලය ගත කරන විට වචනය එළිදරව් වන්නේය. ඔබ වචනය මෙනෙහි කරන කල, ඔබගේ අභ්‍යන්තරයෙන්, මනසින්, සිතුවිලි වලින් දෙවියන්වහන්සේ ඔබට එළිදව්වේ.

ආබ‍්‍රහම්ගේ පුත‍්‍රවූ ඊසාක්ද තම පියා කළාවු වැරැද්දම කරන ලදි. ඔහුද ගෙරාර්හීදී තම භාර්යාව සහෝදරි යයි පැවසුවේය. (උත්පත්ති 26:7)

ආබ‍්‍රහම්, ඊසාක් යාකොබ් යන තිදෙනා තුළම භිය තිබුණේය.
කෙතරම් ආත්මික යෝධයන් වූවත් යක්ෂයාගේ දේ පැමිණිය හැකි නමුත් ඒවායින් ජය ගැනීමට අපට පුළුවන. ඊසාක් තුළට පැමිණියේ මරණ භයයි. දෙවියන්වහන්සේ නිතරම පවසන්නේ “භය නොවන්න” කියාය.

උත්පත්ති 26:24
එම රාත්‍රියෙහි ස්වාමීන්වහන්සේ ඔහුට පෙනී: මම නුඹේ පියවූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය. භයනොවන්න, මක්නිසාද නුඹ සමඟ සිටිමි, මම නුඹට ආශීර්වාදකර මාගේ මෙහෙකරුවූ ආබ්‍රහම් නිසා නුඹේ වංශය වැඩිකරන්නෙමියි කීසේක.

දෙවියන්වහන්සේ ඊසාක්වද ශක්තිමත් කරමින් පැවසුවේ, “භය නොවන්න” කියාය. පසුව ඊසාක් සියල්ලෙන් සඵලවී දියුණු වූයේය.

භය කියන්නාවු දේ අපගේ ජීවිතයට ඇතුල් කර නොගනිමු. භය පැමිණෙන විට එයට විරුද්ධව නැඟී සිටිමු.

දෙවියන්වහන්සේ මාගේ පක්ෂයේ සිටිනවානම් මම භය නොවන්නෙමි.


Watch the Sermon Video

Read 56 times