මනුෂ්‍යයාට භයවීම මලපතක්ය - යෝෂා මනූ
May 11, 2025 Sunday Sermon Notes
දෙවියන්වහන්සේ අපගේ ජීවනයයි. උන්වහන්සේ අපගේ සියල්ලෙන් සියල්ලයි. අප උන්වහන්සේගේ වචනය විශ්වාස කරමින් එය තදින් අල්ලාගෙන ජීවත්වෙමු.
අහස පොළොව පහව ගියත් දෙවියන්වහන්සේගේ වචනය කිසිදා පහවන්නේ නැත. උන්වහන්සේගේ වචනය තුළ බලවත් දේ පවසා ඇත. උන්වහන්සේගේ වචනය තුළින් අපි සැබෑව පවසමු.
හිතෝපදේශ 12:19
සැබෑව කියන තොල සදහටම ස්ථිරව පවතියි; එහෙත් බොරු කියන දිව මොහොතකට පමණක්ය.
සැබෑව අපගේ තොල් වලින් අප පවසන විට ඒවා අපගේ ජීවිතයේ ස්ථිර වනු ඇත. එයින් අපගේ ජීවිතයේ ශක්තිමත් අත්තිවාරමක් ගොඩනැගෙයි. අපි වචනය අසන්නන් පමණක් නොවී පිළිපදින්නෝ වෙමු.
බොරුවේ පියා යක්ෂයාය (යොහන් 8:44). දෙවියන්වහන්සේ යහපත මෙන්ම අයහපතත් මනුෂ්‍යයාට ගෙනෙන බව යක්ෂයා මනුෂ්‍යයන්ට පවසයි. සමහර මනුෂ්‍යයන් යක්ෂයාගේ මෙම බොරු පිළිගනියි.
ඒදන් උයනේ සර්පයාගේ වෙසින් සිටියේ යක්ෂයාය. ඔහු පැවසු මුල්ම බොරුව “ඇත්තටම දෙවියන්වහන්සේ උයනේ කොයි ගසකින්වත් කන්ට එපා කීවාද” කියාය. (උත්පත්ති 3:1-2)
අපි බොරුකාර යක්ෂයාට නොරැවටී දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කරමු. භයාදුකමේ ආත්මයට විරුද්ධව වෙමු. ආබ‍්‍රහම්, ඊසාක්, යාකොබ් තුළ පවා භිය ඇතිවූවා. දෙවියන්වහන්සේ ඔවුන්ට භය නොවන්නැයි පැවසුවේය.
හිතෝපදේශ 29:25
මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; (උගුලක්ය, උපායක්) එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.
මලපත යන වචනයේ අර්ථ කිහිපයක්ම තිබේ.
බිය නැතහොත් බිය වැද්දවීම, තර්ජනයෙන් බිය ගැන්වීම, ඔබව පසුපසට ඇද දමන උගුලකි. බාධාවක්. අපගේ ශක්තිය නැතහොත් බලය නැති කරයි.
ගොදුරක් අල්ලා ගන්නට ඇමක් තැබීම. විශේෂයෙන් කොක්කකට හෝ උගුලකට ආකර්ෂණය කර ගැනීමට පාවිච්චි කරන දෙයක් (ආහාර වැනි)
කෙනෙක්ගේ කථා විලාශයෙන් එය තර්ජනයක්ද, භයගැන්වීමක්ද, පාලනයට නතුකර ගැනීමක්ද, අපව යමකට කොටු කර ගැනීමට ප‍්‍රයත්න දැරීමක්ද කියා තේරුම් ගත හැකිය. මෙය මනුෂ්‍ය භිය වැද්දීමයි. සමහර අය භය නිසා සමහරක් තීරණ පවා නොගෙන සිටී.
භය ඇත්තන්ට හිමිවන්නේ නිරයයි (එළිදරව් 21:8). යක්ෂයා උත්සාහ කරනුයේ මනුෂ්‍යයා භයවද්දවා, කොටුකර දෙවියන්වහන්සේ ඉදිරියේ හරි තීරණ ගැනීම වැලැක්වීමටයි. දෙවියන්වහන්සේ පවසන්නේ භය නොවන්න. උන්වහන්සේ නිතරම අප සමඟ කියාය (යෙසායා 41:10).
දෙවියන්වහන්සේ අප සමඟ නම් අප කිසිවෙකුට භය විය යුතු නැත. මනුෂ්‍යයන්ට භයවීමෙන් කිසිවෙක් දියුණුවන්නේවත්, සාර්ථක වන්නේවත් නැත.
දෙවියන්වහන්සේගේ කැමැත්ත අප නිදහස් පුද්ගලයන් ලෙස ජීවත්වීමයි. නිදහස්කම තුළ ජීවත්වීම අප තෝරාගත යුතුය.
ගලාති 5:1
ක්‍රිස්තුස්වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නැමති වියගහකට නැවත අසු නොවී ස්ථිරව සිටින්න.
භය වන තැනැත්තා භයාදුකමේ ආත්මයට වහලෙක් වනු ඇත. යක්ෂයාට අවශ්‍යය අපව එයට යටකර අපව ඇදගෙන යාමටය. යක්ෂයාගේ උගුලට, වියගහට අසු නොවීමට අප තීරණය කරගෙන දෙවියන්වහන්සේගේ වචනය තුළ ස්ථීර වෙමින් නිදහස්කම තුළ ජීවත්වෙමු.
2 තිමෝති 1:7
මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.
දෙවියන්වහන්සේ අපට දුන්නේ භය නොව, බලයයි.ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලයයි. ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය ඔබ තුළ ක‍්‍රියාකරන විට භයාදුකමේ ආත්මයට විරුද්ධව නැඟීසිටින්නට, එයට එරෙහිව සිට ගැනීමට ඔබව බලවත් කරනු ලබයි.
එපීස 3:20-21
ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම, 21 සියලු පරම්පරාවන් දක්වා සභාවෙහි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සදාකාලයටම ගෞරවය වේවා. ආමෙන්.
ශුද්ධාත්මයාණන්වහන්සේට අප තුළ ක‍්‍රියාකරීමට අපි ඉඩහරිමු. ආබ‍්‍රහම්, ඊසාක්, මෙන්ම යාකොබ් තුළද භිය ඇතුල්ව තිබුණි. යාකොබ් යන නමෙහි අර්ථය වංචාකාරයා යන්නය. ඔහු තම සහෝදරයාට වංචා කර කුලුඳුල්කමේ ආශීර්වාදය ගන්නා ලදි. (උත්පත්ති 25:31-34, 27:36)
තම සහෝදරයාට වංචා කළ පැන ගිය යාකොබ්ට විවාහයේදී ඔහුගේ මාමා වංචා කරයි (උත්පත්ති 29:20-25). මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නවා ඇත.
ගලාති 6:7-8
7 නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය. 8 ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; ආත්මයාණන්වහන්සේ සඳහා වපුරන්නා ආත්මයාණන්වහන්සේගෙන් සදාකාල ජීවනය කපාගන්නේය.
ඔබ වැරදි දේ වපුරා තිබේනම්, ඒවා යේසුස්වහන්සේගේ නාමයෙන් උගුලා දමා, යේසුස්වහන්සේගේ නාමයෙන් බල රහිත කළ යුතුවේ. එසේ කිරීමට උන්වහන්සේ අපට බලය දී ඇත. තම මාමා සමඟ වාසය කරමින් දියුණුවී සිටි යාකොබ්, තම භාර්යාවන්ද දරුවන්ද සේවකයන්ද වස්තුවද රැගෙන නැවත තම දේශයට පැමිණීමේදී තම සහෝදරයා මුණගෙසෙන්ට භයවුණේය. (උත්පත්ති 32:6-7)
යාකොබ් තම සහෝදරයාට වංචා කරමින් කුලුඳුල්කමේ ආශීර්වාදය පැහැරගත් හෙයින්, ඒසව් සිටියේ තම සහෝදරයා කෙරෙහී වෛරයෙනි (උත්පත්ති 27:41).
මේ නිසා යාකොබ්ට නැවත පැමිණෙන විට තම සහෝදරයා කෙරෙහි භයක් හට ගත්තේය.
උත්පත්ති 32:7 [7] එවිට යාකොබ් අතිශයින්ම භයපත්ව කැලඹුණේය. ඔහු තමා කැටුව සිටි මිනිසුන්ද බැටළුවන්ද ගවයින්ද ඔටුවන්ද කණ්ඩායම් දෙකකට බෙදා:
තම සහෝදරයාගෙන් ඔහුවද ඔහුගේ දරුවන්ද රැකදෙනමෙන් ඔහු යාච්ඤා කරන ලදි.
උත්පත්ති 32:11
[11] මාගේ සහෝදරයා අතින්, ඒසව් අතින්, මා ගැළවුව මැනව. මක්නිසාද ඔහු ඇවිත් මටත් ඔවුන් සහ දරුවන්ටත් පහර දෙන්නේදෝහෝයි ඔහුට භයවෙමි.
ඔහුට පිළිතුරු ලැබෙන තුරු මුළු රැයක් යාච්ඤා කරමින් දෙවියන්වහන්සේ සමඟ පොරබදින ලදි. එදින රාත‍්‍රියේ දෙවියන්වහන්සේ යාකොබ්ගේ නම ඉශ‍්‍රායෙල් ලෙසින් වෙනස් කරනු ලැබුවේය. (උත්පත්ති 32:22-31)
ඔබ භය වන වෙලාවන්හීදී දෙවියන්වහන්සේ වෙතට යා යුතුය. දෙවියන්වහන්සේගෙන් ඉවතට පලා නොදුවන්න. දෙවියන්වහන්සේ ඔබව ශක්තිමත්කර, ඔබගේ දුර්වලභාවය නැති කරයි. මනුෂ්‍යයාට තිබෙන භය ඔබෙන් නැතිකර, ඔබගේ නම පවා වෙනස් කිරීමට උන්වහන්සේට පුළුවන.
දෙවියන්වහන්සේ එතරම් බලවත්ය. භයෙන් ගැළවිය හැකි එකම මාර්ගය දෙවියන්වහන්සේය.
මිසර දේ ශයේ මෝසෙස් ඉපදෙන කළ හෙබ්‍රෙව්වරුන්ට ඉපදෙන පිරිමි දරුවන් මාරා දැමීමට ඵාරාවෝ අණකර තිබුණි. (නික්මයාම 1:22)
මෝසෙස් ඉපදුනු පසු ඔහුව මාස 3ක් සඟවා තබාගෙන පසුව දරුවා දෙවියන්වහන්සේට භාරදී පන්පෙට්ටියක දමා, නයිල් ගංගාවේ පාකර යවන ලදි (නික්මයාම 2:1-4). මෝසෙස්ගේ මව තම විශ්වාසය දෙවියන්වහන්සේ මතම තබා තිබුණේය.
නාගන්නට ගඟට ආ ඵාරාවෝගේ දියණියට පන්පෙට්ටියේ සිටි කුඩා දරුවා සම්බව ඇය දරවාව ඵාරාවෝගේ මාළිගාව තුළම ඇති දැඩි කළාය (නික්මයාම 2:5-10).
වහල්භාවයේ සිටි තම සෙනඟව කාලයට ප‍්‍රථමයෙන් ගළවා ගන්නට ඔහු ගත් හදිසි තීරණය නිසා ඔහුට භයෙන් මිසර දේශයෙන් පලායන්නට සිදුවුණේය.
තම සෙනඟවු හෙබ්‍රෙව්වෙකුට මිරයයෙක් ගසනවා දුටු ඔහු මිසරයා මරා වැල්ලේ සැඟවීය. පසුදින හෙබ්‍රෙව් මිනිසුන් දෙදෙනෙක් ගහගනිමින් සිටිනවා දැක, එය විසඳන්නට ගිය විට ඔහු ඇසුවේ, “අපට අධිපතියෙක් ලෙසට නුඹව පත්කළේ කවුද? මිසරයා මැරුවාක් මෙන් මාත් මරන්නේද?” කියාය. (නික්මයාම 2:11-14)
ඔවුන් මෝසෙස්ව දුටුවේ ඵාරාවෝගේ මාළිගාවේ සිටි කෙනෙක් ලෙසින්ය. ඔහුගේ ප‍්‍රකාශයෙන් භයවූ මෝසෙස්, මෙය රජතුමා දැනගතහොත් ඔහුව මරා දමයි කියා, භයෙන් මිසර දේශයෙන් පලා යන ගියේය. (නික්මයාම 2:14-15)
නික්මයාම 2:14 එවිට හෙතෙම අප කෙරෙහි අධිපතියෙක්ද විනිශ්චයකාරයෙක්ද කොට නුඹ පත්කළේ කවුද? නුඹ මිසරයා මැරුවාක් මෙන් මාත් මරන්ට සිතන්නෙහිදැයි කීය. එවිට මෝසෙස් භයව: සැබවින්ම මේ කාරණය එළදරව්වී තිබේයයි කීවේය.
මෝසෙස් ඵාරාවෝ රජුට භය වූ නිසා අවු 40ක් වනාන්තරේ ගත කරන ලදි.
ඔහු දෙවියන්වහන්සේගෙන්ද ඈත්ව යන ලදි. ඔහුගේ කැඳවීම ඉවත ලන ලදි. භය නිසා කොටුවූ ජීවිතයක් ඔහු ගත කරන ලදි. නමුත් මේ අවුරුදු 40 දෙවියන්වහන්සේ ඔහුට ඔහුගේ මාමාවූ යෙත්‍රෝගේ බැටළු රැළ බලාගන්නට දෙමින් ඔහුව පුරුදු පුහුණු කළේය.
නික්මයාම 3:1, 6
මෝසෙස් වනාහි තමාගේ මාමා වූ මිදියන්හි පූජකවූ යෙත්‍රෝගේ එළු බැටළු රැළ බලාගනිමින් සිටියේය. ඔහු එළු බැටළු රැළ වනාන්තරයේ එහා පැත්තට ගෙනගොස් දෙවියන්වහන්සේගේ කන්දට එනම් හොරේබ්ට පැමිණියේය.
දෙවියන්වහන්සේ ඇවිළෙන ගිණි පඳුරක් තුළින් මෝසෙස්ට කථා කරනු ලැබුවේය.
නික්මයාම 3:6 උන්වහන්සේ තව දුරටත්: මම නුඹේ පියාගේ දෙවියන්වහන්සේය, ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි කීසේක. මෝසෙස් තමාගේ මුහුණ වසාගත්තේය; මක්නිසාද ඔහු දෙවියන්වහන්සේ දෙස බලන්ට භයවිය.
මනුෂ්‍යයාට භයේ පලා ආ මෝසෙස් දෙවියන්වහන්සේ කථා කර ඔහුට කැඳවීමක් දෙන විට එයටත් භියවුණේය.
ඔබ භයින් සිටින්නේ නම් එයින් නිදහස් විය යුතුය. භයවීමෙන් කිසිවක් කළ නොහැක. දෙවියන්වහන්සේ මෝසෙස්ට කථාකරමින්, ඔහුගේ අධෛර්යකම ඉවත්කරමින්, ඔහුව වෙනස් කරමින් උන්වහන්සේ ඔහුව පාවිච්චි කරන්නට පටන් ගත්හ.
දෙවියන්වහන්සේට අපව කිසිදා අමතක වන්නේ නැත. ඔබගේ ජීවිතයේ යමක් වීමට උන්වහන්සේ සැලසුම් කර ඇත්නම්, එය අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනු ඇත. මෝසෙස්ගේ වැරදි තීරණය නිසා කාලය නිකරුණේ නාස්තිකර ගත්තේය.
වැරදි තීරණ ගෙන ඔබගේ කාලය නිකරුණේ නාස්ති නොකරගන්න.
Watch the Sermon Video