+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
යේසුස්ගේ නාමය කෙරෙහි අපි ඇදහිල්ල තබමු - යෝෂා මනූ
March 30, 2025 Sunday Sermon Notes
“ඔබට මවෙක්, පියෙක් නැහැ, ඔබ තනිවී සිටින්නේ, ඔබගේ ජීවිත් සිදුවුනාවූ දේ කිසිවෙක් දන්නැහැ. දන්න අයත් ඔබව ලැජ්ජාවට, නින්දාවට පත් කරමින් සිටින්නේ. ඔබට අනාගතයක් නැහැ. ඔබට තිබෙන්නේ කාලකන්නි අතීතයක් වැනි මෙවැනි සිතුවිලි වල ඔබ සිටින්නේ” නම් ගීතාවලිය 68:5-6 සඳහන් පොරොන්දුව තදින් අල්ලා ගන්න.
දේව වචනයෙහි සඳහන් ජීවනයේ වචන අප අපගේ සිතේ සඟවා ගනිමු. දෙවියන්වහන්සේ අප තුළ වැඩවාසය කරන කල අප සිටින්නේ තනිව නොවේය. උන්වහන්සේ අප තුළ සිටියි.
ගීතාවලිය 68:5-6
[5] ස්වකීය ශුද්ධ නිවාසයෙහි වැඩවසන දෙවියන්වහන්සේ පියා නැත්තන්ට පියෙක්ද වැන්දඹුවන්ට විනිශ්චයකාරයෙක්ද වනසේක. [6] දෙවියන්වහන්සේ හුදකලාවූවන් පවුල්වල වස්වනසේක. හිරකාරයන් අභිවෘද්ධියට පමුණුවනසේක. නුමුත් කැරළිකාරයෝ දාගිය තැනක වසති.
ඔබගේ අනාගතයට කුමක් සිදුවේදැයි සිතමින් සිටිනවානම් යෙරෙමියා 29:11 කියවන්න.
ඔබගේ ජීවිතයේ මවෙක් පියෙක් නොමැතිව හෝ ඔබ වැන්දඹුව හෝ සිටින්නේ නම් දෙවියන්වහන්සේ පවසන්නේ, උන්වහන්සේ අප සමඟ සිටින බවයි. ඔබට පවුලක් නොමැතිව, ප‍්‍රේමයක් නොමැතිව තනිවී සිටිනවායැයි සිතන්නේද? දෙවියන්වහන්සේට ඔබ තුළ අලුත් දෙයක් කළ හැකිය. ගැළවීම ලැබූ ඔබ දේව පවුලට අයත්ය. එම පවුලේ විශාලත්වය ඔබට ගණනය කළ නොහැකිය.
දෙවියන්වහන්සේ ඔබගේ පියණන්වහන්සේව සිටිමින් ඔබට සදාකාලයටම ප‍්‍රේමකරයි. උන්වහන්සේ කිසිදා ඔබ අත්නාරියි. ඔබ දෙවියන්වහන්සේට විරුද්ධව කැරළි නොගසා උන්වහන්සේගේ වචනය හා එකඟ වන්න. යම් බන්ධන වලට සිරවී ඒ තුළ වහල් භවයේ සිටින්නාවු අයව දෙවියන්වහන්සේ ඉන් නිදහස් කර සඵලත්වයේ මාර්ගයකට ගෙනෙනු ලභයි.
මේ වචනය ඔබට අදාල වේ නම්, ඔබ එය පිළිගෙන ඒ අනුව ජීවත්වීමට තීරණය ගැනීම යහපත්ය. යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමය කෙරෙහි අපි ඇදහිල්ල තබමු.
භයිබලයේ සඳහන් මුල්ම මනුෂ්‍යයා ආදම් පටන් සෑම කෙනෙකුටම දෙවියන්වහන්සේ නමක් තබන ලදි. ඒදන් උයනේදී සෑම සතෙකුටම නමක් තැබීමට දෙවියන්වහන්සේ ආදම්ට වගකීමක් ලබා දෙන ලදි. (උත්පත්ති 2:19)
ඕනෑම කෙනෙකුට දෙයකට, තැනකට නමක් ඇත. භයිබලයේ අලුත් ගිවිසුම තුළ දෙවියන්වහන්සේ අපට නාමයක් දී ඇත. ඒ අපට ගැළවීම ලබා ගැනීමට යේසුස්වහන්සේගේ නාමයයි. පරණ ගිවිසුම තුළ දෙවියන්වහන්සේ අමතන නම් රාශියක් ඇත.
දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට තම පුත‍්‍රයා පූජා කරන්නැයි කියු විට ඔහු එයට කීකරුව, දරුවා පූජා කිරීමට සැරසෙන ආබ‍්‍රහම්ගේ හදවත දුටු දෙවියන්වහන්සේ ඒ දරුවා වෙනුවට ඔහුට පූජා කිරීමට බැටළු පැටවෙකු සපයා දෙන ලදි. (උත්පත්ති 19:6-13) ආබ‍්‍රහම් ඒ ස්ථානයේදී දෙවියන්වහන්සේට යහෝවා යයිරේයැයි නම් තබන ලදි. (උත්පත්ති 19:14)
මෙයාකාරව දෙවියන්වහන්සේව විවිධ නම් වලින් හඳුන්වනු ලභයි. නව ගිවිසුමේ යේසුස් යන නාමය පරණ ගිවිසුම තුළ සෑම තැනම සැඟවී ඇත.
වචනය මාංසවත් විය යනුවෙන් හඳුන්වන්නේ යේසුස්වහන්සේවය. (යොහන් 1:14)
අපට ගැළවීම තිබෙන්නේ යේසුස් යන නාමයෙනි. ගැළවීම ගෙන දෙන එකම නාමය යේසුස්වහන්සේගේ නාමයයි. (ක්‍රියා 4:12)
ගැළවීම, සදාකාල ජීවනය, නව මැවිල්ල, ජීවිතයේ වෙනස්වීම, යක්ෂයාගේ බන්ධනයෙන් නිදහස, යන මේ සියල්ල ලබා ගත හැකි එකම නාමය යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේය. අප ගැළවීම ලැබූ විට අපට ඇදහිල්ල ලැබෙයි. ඇදහිල්ලෙන් විශ්වාසයක් ඇතිකර ගනිමින් අප අදහා ගත යුතුය. භයිබලයේ තිබෙන ඕනෑම දෙයක් ලබාගත හැක්කේ අදහා ගැනීමෙන් හා විශ්වාස කිරීමෙන් පමණි.
යේසුස්වහන්සේගේ නාමය බලවත්ම නාමය ලෙස සලකන අතර ඒ නාමය තුළ අපට බොහෝ ප්‍රයෝජන ඇත
මේ නාමය හඬ ගසමු.
මේ නාමය දෙයක් නොවේ;
මේ ස්ථානයක් නොවේ;
මේ නාමය කෙනෙකු වන්නේය.
1) ගැළවීම
ගැළවීම ගෙන දෙන එකම නාමය යේසුස්වහන්සේගේ නාමයයි.
ක්‍රියා 4:12 වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.
ගැළවීම ලබා ගැනීමට, ඉරණම වෙනස් කිරීමට හැකි එකම නාමය යේසුස්වේ. ගැළවීමට අවශ්‍ය ශක්තිය, ජයග‍්‍රහණය, සමාදානය, සුවය, දෙවියන්වහන්සේ තුළ හැම දෙයක්ම ඒ නාමය තුළ ඇත.
යේසුස්වහන්සේ අනුව ආ ගෝලයන්ට හා සෙනඟට උන්වහන්සේ පැවසුවේ, “මාර්ගයද, සැබෑවද, ජීවනයද මමය” කියාය. උන්වහන්සේ එය පැවසුවේ නිර්භීතකමෙන්ය.
යොහන් 14:6 යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා (යේසුස් නාමය) කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත,
යේසුස්වහන්සේ පවසන්නේ උන්වහන්සේ නොමැතිව කිසිවෙකුට පියාණන්වහන්සේ වෙතට යා නොහැකි බවයි. උන්වහන්සේගේ වචනය කිසිදා වෙනස් නොවෙයි.
යේසුස්වහන්සේගේ උපත පිළිබඳව දෙවියන්වහන්සේ දේවදූතයා තුළින් යෝසෙප්ට සිහිනයකින් දැන්වු අවස්ථාවෙදි මෙම නාමය ප‍්‍රකාශ කරන ලදි. (මතෙව් 1:18-21)
මරියා ගර්භනී බව දැන ගත් යෝසෙප් සිතුවේ ඇයව අත හැරීමටය. නමුත් දෙවියන්වහන්සේගේ ගැළවීම ක‍්‍රියා වලිය ඉටු කිරීමට උන්වහන්සේට යෝසෙප්ට කථා කරන්නට සිදුවූයේය.
මෙහිදී පවසන්නේ යේසුස් යන නාමය කියා හඬ ගසන්න කියාය. (call His name)....හඬ ගසන්න
මතෙව් 1:21
[21] ඈ පුත්‍රයෙකු බිහිකරන්නීය; උන්වහන්සේට යේසුස් යන නාමය (කියා අමතන්න/කියන්න/හඬ ගසන්න) (call His name) තබන්න; මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේයයි කීවේය. මනුෂ්‍යයාව පාපයෙන් ගළවන්නේ ඒ නාමය බව එහි පවසයි.
ලූක් 1:31
[31] බලව, නුඹ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නීය, උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න. (අමතන්න)
Call His name… හඬ, අඬ ගසන්න, කැඳවන්න
යෙසායා පොතේ සඳහන් ගැළවුම්කරු මේ නාමයයි.
යෙසායා 12:2 බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය.
මනුෂ්‍යයන් උන්වහන්සේට ගැළවුම්කරු කියා හඬගසනු ඇත.
ශු. මතෙව් 1:23
[23] ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘ ලවා කියෙවු කීම සම්පූර්ණවන පිණිසය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන්වහන්සේ අප සමඟය යනුයි. Call His name..හඬ ගසන්න/කැඳවවන්න.
ඒ නාමය එම්මානුවෙල් කියා දෙවියන්වහන්සේ පැවසූ සේක. එනම් දෙවියන්වහන්සේ අප සමඟ බවයි. යේසුස්වහන්සේ මිදීමේ මිලය ගෙවා මළවුන්ගෙන් නැඟිටුණු පසු දෙවියන්වහන්සේ අප අතර නොව අප තුළ වාසය කරනු ලබනු බවයි. යේසුස්වහන්සේ අප තුළ වාසය කරන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළිණි.
යේසුස්වහන්සේ කන්‍යාවක් තුළින් ඉපදෙන බවත්, උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබන බවත් යෙසායා පොතේ සඳහන්ව ඇත. දෙවියන්වහන්සේ තමන් කරන්ට යන සියලු දේ කලින්ම තීරණය කරන ලදි.
යෙසායා 7:14 එබැවින් ස්වාමීන්වහන්සේම නුඹලාට ලකුණක් දෙනසේක; බලව, කන්‍යාව ගර්භීණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය.
ගෝලයන් යේසුස්වහන්සේ පිළිගත් පසු උන්වහන්සේගේ නාමය තුළින් ක‍්‍රියා කරන්නට උන්වහන්සේගේ ගෝලයන් තීරණය කරන ලද්දේය.
ක්‍රියා 2:21
[21] ස්වාමීන්වහන්සේගේ නාමයෙන් යාච්ඤාකරන කවරේත් ගළවනු ලබන්නේයයි දෙවියන්වහන්සේ කියනසේක යනුයි.
පේතෘස් පැවසුවේ, යේසුස්වහන්සේගේ නාමය කියා හඬ ගසන ඕනෑම කෙනෙකුට දෙවියන්වහන්සේ පිළිතුරු දෙන බවයි. ස්වාමීන්වහන්සේගේ නාමයෙන් නාමය කියා හඬ ගසන, කැඳවන කවරේත් ගළවනු ලබන්නේය
රෝම 10:13
[13] මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය. Call upon the name…
මෙය පරණ ගිවිසුමේද සඳහන්ව ඇත.
යොවෙල් 2:32 තවද ස්වාමීන්වහන්සේගේ නම කියා යාච්ඤාකරන (කැඳවන) කවුරුනුමුත් ගැළවෙනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ කී ලෙස, ගැළවෙන අයද ඉතිරි අය අතරේ ස්වාමීන්වහන්සේ කැඳවන අයද සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් සිටිනවා ඇත.
යෙසායා 12:4
[4] ඒ දවසෙහි නුඹලා කථාකොට: ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරන්න, උන්වහන්සේගේ ක්‍රියා ජනයන් අතරේ දන්වා, උන්වහන්සේගේ නාමය උසස් බව සඳහන්කරන්න.
මනුෂ්‍යයන් ගැළවීම ලබන විට දෙවියන්වහන්සේ තම ජීවිතය වෙනස් කළ බවට සාකෂි දරනු ඇත. මනුෂ්‍යයන් දෙවියන්වහන්සේ උසස් බව පවසනු ඇත.
ගීතාවලිය 72:17
[17] උන්වහන්සේගේ නාමය සදාකල් පවතින්නේය; හිරු පවත්නා තෙක් උන්වහන්සේගේ නාමය පවතින්නේය. මනුෂ්‍යයෝ උන්වහන්සේ කරණ කොටගෙන ආශීර්වාද ලබන්නෝය; සියලු ජාතීහු උන්වහන්සේ වාසනාවන්තයයි (ආශීර්වාද ලද්දේය) කියන්නෝය.
යේසුස් යන නාමය තුළින් මනුෂ්‍යයන් ආශීර්වාද ලබනු ඇත. දෙවියන්වහන්සේ යෙරෙමියා පොතේ පවසන්නේද මට හඬ ගසන්න කියාය.
යෙරෙමියා 33:3
[3] මට යාච්ඤාකරන්න, එවිට මම නුඹට උත්තරදී, නුඹ නොදන්න මහත්වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි.
දෙවියන්වහන්සේ පවසන්නේ ඔබට ජීවත්වීමට අමාරුයැයි හැගේ නම් උන්වහන්සේට හඬ ගසන්න කියාය. ඔබගේ අවශ්‍යයතාවයට උන්වහන්සේට හඬ ගසන්න කියාය. කිසිවෙකුගෙන් නොඉල්ලන්න. දෙවියන්වහන්සේ ඔබට උපකාර කරනු ඇත. ඒ නාමය කෙරෙහි විශ්වාසය තබමු.
Watch the Sermon Video