+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

භිය පැමිණෙන්නේ නපුරුවූ යක්ෂයාගෙනි - යෝෂා මනූ
April 27, 2025 Sunday Sermon Notes

 
හාස්කම් කරන්නාවු ජීවමාන දෙවියන්වහන්සේ අප මධ්‍යයේ ක‍්‍රියා කරමින් සිටී. ඒ ජීවමාන භාවයෙන් අපටද ජීවත්විය හැකිය.

යේසුස්වහන්ස් පැවසුවේ, උන්වහන්සේ ක‍්‍රියා කරනවාටත් වැඩියෙන් අපට ක‍්‍රියා කළ හැකි බවය. ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ ක‍්‍රියා කරන හෙයින් යේසුස්වහන්සේ තුළ ක‍්‍රියා කළ එම බලයම අප තුළත් ක‍්‍රියා කරනු ඇත.

අපි යේසුස්වහන්සේ හා බැඳී සිටින්නාවු දේව දරුවන් වෙමු. යේසුස්වහන්සේ අද උන්වහන්සේගේ දෑත් ලෙස පාවිච්චි කරන්නේ අපගේ දෑත්ය.

යේසුස්වහන්සේ සුභාරංචිය පතල කිරීමේ වගකීම දී ඇත්තේ අපටය.

ශු. යොහන් 14:12
[12] සැබැවක් සැබැවක් නුඹලාට කියමි–මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය; මා පියාණන්වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය.

බයිබලයේ සඳහන්ව ඇති මෙම පොරොන්දුව අපි අත්දකිමු.
ශුද්ධාත්ම බලය අප තුළ වගුරා ඇත්තේ, අප එම බලයෙන් ක‍්‍රියා කරන පිණිසය. (ක‍්‍රියා 1:8)

ඔබගේ හදවත විවර කළහොත් ඔබට දෙවියන්වහන්සේගේ ශක්තිය අත්විඳිය හැකිය.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය අප හැමෝටම දී ඇත. උන්වහන්සේ ඉදිරියේ අප හැහෝම විශේෂ පුද්ගලයන්ය.

ඔබ තුළ හාස්කම් කිරීමේ බලය ඇත. ඔබ ආලේපලත් අයෙකි.
අප තුළ යේසුස්වහන්සේ සමඟ සම්බන්ධකම තිබුණොත් අපට සියල්ල කළ හැකිය.

ශු. යොහන් 15:5
[5] මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.

යේසුස්වහන්සේ තුළ ජීවත්වන කල, අපට ඵල දරන ජීවිතයක් ගත කළ හැකිය.

උන්වහන්සේගෙන් වෙන්ව අපට කිසිවක් කළ නොහැක. ස්වාමීන්වහන්සේ කිසිදා අපගෙන් අහක්ව යන්නේවත් අපව දාලා යන්නේවත් නැත.

හෙබ්‍රෙව් 13:5
[5] නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.

යේසුස්වහන්සේ අප තුළ සිටින හෙයින් අවසානය දක්වා අපට ශක්තිමත්ව සිටිය හැකිය.

භයාදුකමේ ආත්මයට විරුද්ධව අප ප‍්‍රකාශ කළ යුතුය.

බිය යනු ඍණාත්මක අශුද්ධ බලයකි. අපව අධෛර්යමත් කරන්නේ භයදුකමේ ආත්මයයි. අප එයට විරුද්ධව සිටිය යුතුය.

දෙවියන්වහන්සේ ප‍්‍රේමයේ දෙවි කෙනෙකුය. උන්වහන්සේ අපට දී ඇත්තේ භයාදුකමේ ආත්මයක් නොවේ. (2 තිමෝති 1:7)

දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේ ක‍්‍රියාකරන්නේ ඇදහිල්ල තුළිණි. ඇදහිල්ල ක්‍රියා කරන්නේ ආත්මික තලයේය.

යක්ෂයාද ආත්මයක්ය. යක්ෂයා ක‍්‍රියා කරන්නේ භය නැමැති ආත්මය තුළිණි. භයාදුකමේ කර්තෘ යක්ෂයාය.

බිය පැමිණෙන්නේ නපුරුවූ යක්ෂයාගෙන්ය. යක්ෂා කෲරය, මනුෂ්‍යයා මුළාකරයි. යක්ෂයා යහපත කරන්ට නොදනී. නිතරම දෙවියන්වහන්සේට විරුද්ධව ක‍්‍රියා කරයි. ඌ කරන්නේම අයහපතමය. දෙවියන්වහන්සේගේ හැම යහපත් දේම විකෘති කරන්නේ යක්ෂයාය.

දෙවියන්වහන්සේ මැවුම්කරුය. යක්ෂයා කිසිදා, කිසි දෙයක් මවා නොමැත. ඌට මැවීමටත් නොහැකිය. යක්ෂයා තුළ ඇත්තේ බොරුව, මුළාව, රැවටීමය. යක්ෂයා සමඟ කිසිදු සම්බන්ධකමක්වත් ගණුදෙනුවක්වත් කරන්ට අවශ්‍යය නැත. බිය දෙවියන්වහන්සේට විරුද්ධව හඬක් නගනා දෙයකි. ඌ නිතර දෙවියන්වහන්සේ පවසන්නාවු වචනයට විරුද්ධ දේ පවසයි.

යේසුස්වහන්සේ පැවසුවේ, වෙහෙසවන්නාවු බර උසුලන්නාවු සියල්ලන්ට සහනය දෙන බවය. උන්වහන්සේ කවදාවත් අපට තවත් බරක් දෙන්නේ නැත. බර දෙන්නේ යක්ෂයාය.

ශු. මතෙව් 11:28
[28] වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.

දැන් අපි හෙබ්‍රෙව් භාෂාවෙන් 'නපුරු' යන වචනයේ අර්ථ කිහිපයක් දෙස බලමු:
බිය ගැන්වීම, තැති ගැන්වීම (භීතියට පත්වීම), භයංකර, බියජනක, භයානක; නරක, ආපදාවන්, හිරිහැර, විපත්ති (පීඩා), අප්‍රසාදය, සිත් තැවුල, හානිය, බර, රිදවීම, මැරවරකම, දුක්ඛිතකම, දඟකාරකම, අන්තරායන් (කපටින්ගේ මලපත්වලින්), දුක, වේදනාව, ශෝකය, කරදර, අමනාප, දුෂ්ඨකම, ඉතාම නරක, අසරණ (කාලකන්නි), සහ වැරදි වේ.

තවද ග්‍රීක භාෂාවෙන්: "නපුරු" යන්නෙහි තේරුම: විශේෂයෙන්ම සාතන්, මකරා, බොරු චෝදනා කරන්නා, යක්ෂයා සහ අපහාස කරන්නා යන්නයි. හිංසාකාරී, ඛේදජනක, අසනීප, එනම් ලෙඩරෝගාතුරවූ; ද්වේෂය, වරදකාරිත්වය; කුරිරු, පව්කාර, නරක, නපුරු, දරුණු, හානි, දුරාචාර, ද්වේෂසහගත, සහ දුෂ්ටකම.

ස්වාමීන්වහන්සේට ඇහුම්කන් දෙන තැනැත්තා සුරක්ෂිතභාවයෙන් (ආරක්ෂා සහිතව) හා නිසැක විශ්වාසයෙන් ජීවත් වනු ඇත.


බිය පැමිණුනේ ඒදන් උයනේදී මනුෂ්‍යයා දෙවියන්වහන්සේට අකීකරු වූ නිසයි.

දෙවියන්වහන්සේ ඒදන් උයන මවා එය බලාගැනීමේ වගකීම මනුෂ්‍යයාට භාර දෙන ලද්දේය. මන්ද සර්පයෙක් සිටින බව උන්වහන්සේ දැන සිටියේය.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ආශීර්වාද කරමින් මුළු පොළොව කෙරෙහිම ආධිපත්‍යය බලය දුන්සේක.

උත්පත්ති 1:27-28
[27] දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක. [28] දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නැයි කීසේක.

මනුෂ්‍යයා යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කෑ දිනේදී දෙවියන්වහන්සේගෙන් විසන්ධි වූයේය. අකීකරුකම තුළින් මනුෂ්‍යයාට මරණ දෙකක් අයත්වූයේය. පළමු මරණය දෙවියන්වහන්සේගෙන් විසන්ධිවීම හා දෙවැනි මරණය ශරීරාකාරයෙන් මරණයයි.

ගෙඩිය කාපු සැනකින් ඔවුන් මියගියේ නැත. ආදම් අවුරුදු 970ක් ජීවත්වුණි. (උත්පත්ති 5:5)

මෙය එකවරක් ඇතිවූ සිදුවීමක් නොවූයේය. ඔවුන් පාපයට යොමුවූයේ යක්ෂයාගේ බොරුවට අසුවූ නිසාය. ඒව මුළාවට අසුවුණි. ආදම් දැන දැන පව් කරන ලදි.

රෝම 3:23
[23] මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.

ආදම් හා ඒව සිටින ලද්දේ දෙවියන්වහන්සේගේ මහිමය වස්ත‍්‍රයක් මෙන් පැළඳ ගෙනය. නමුත් ඔවුන් පව් කළ පසු එම මහිමය ඉවත්ව ඔවුන්ගේ නග්නභාවය පිළිබිඹු වූයේය.

අප ගැළවීම ලබන විට, අපගේ අභ්‍යන්තරයේ වෙනසක් ඇතිවේ. ජීවමාන දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධකමක් අභ්‍යන්තරයේ ඇතිවේ. ආදම් සහ ඒව විසන්ධි කර ගත්තේ එම සම්බන්ධකමයි.

ඔවුන්ට එම විසන්ධිවීම දැනුණේය. ඔවුන් නග්නභාවය වසා ගැනීමට අත්තික්කා කොළ යොදාගන්නා ලදි. ඔවුන් තුළ ඇතිවූ හිස්කම වසාලීමට ඔවුන් විවිධ ක‍්‍රම සෙවුවෝය.

උත්පත්ති 3:7-9
[7] එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරී තමන් නග්නව සිටින බව ඔව්හු දැනගත්තෝය; ඔව්හු අත්තික්කා කොළ මහා තමන්ට ඉණවැසුම් සාදාගත්තෝය. [8] ඉක්බිති දිවාභාගයේ සිසිල් වේලේ ස්වාමිවූ දෙවියන්වහන්සේ උයනෙහි සක්මන්කරන ශබ්දය ඔවුන්ට ඇසුණේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය. [9] ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට හඬගසමින්: නුඹ කොහේදැයි ඔහුට කීසේක.

ඔවුන්ගේ සම්බන්ධකම බිඳී ගියත් ඔවුන්ට දෙවියන්වහන්සේගේ හඬ ඇසුණේය. දෙවියන්වහන්සේ සමඟ සමීප සම්බන්ධකම විසන්ධි වූ නිසා ඔවුන්ට දෙවියන්වහන්සේට මුහුණ දීමට නොහැකිව ඔවුන් සැඟවුණෝය.

දොස්පැවරීම, වරදට පත්වීම වැනි සිතුවිලි ඔවුන් වෙතට පැමිණෙන ලදි. දෙවියන්වහන්සේ ඉදිරියේ සිටගැනීමට නිර්භීතකමක් ඔවුන් තුළ නොතිබුණේය. දෙවියන්වහන්සේ නිතරම පව්කාර මනුෂ්‍යයන්ට හඬගසමින් සිටියි.

උත්පත්ති 3:10 ආදම්
[10] ඔහු: මට ඔබවහන්සේගේ ශබ්දය උයනෙහිදී ඇසී මම නග්න බැවින් භයපත්ව සැඟවුණෙමියි කීය.

නග්න යනු දෙවියන්වහන්සේ සමඟ නැතිවූ සම්බන්ධකමයි. යමක් නැතිවූ බව ඔවුන්ට හැඟුණි. ඒ නිසා ඔවුන් භයපත්ව සැඟවූවෝය.

යෙසායා 61:10
මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක.

උත්පත්ති 9:2
[2] නුඹලා ගැන භයත් නුඹලා ගැන තැතිගැන්මත් පොළොවේ සියලු මෘගයන් කෙරෙහි සහ ආකාශයේ සියලු පක්ෂීන් කෙරෙහි වන්නේය; තවද භූමිය පිට බහුලව හැසිරෙන සියල්ලෝද මුහුදේ සියලු මත්ස්‍යයෝද නුඹලා අතට භාරදෙනලද්දෝය.

දෙවියන්වහන්සේ දෙන ලද ආධිපත්‍යය තුළින් දාවිත් වලහා, සිංහයා හා ගොලියත්ව මරා දැමුවේය. දෙවියන්වහන්සේ දුන් ආධිපත්‍යය බලය උන්වහන්සේ නැවත ගනු ලැබුවේ නැත. ඒ තුළින් උන්වහන්සේගේ ධර්මිෂ්ඨ සෙනඟ බොහෝ යහපත් දේ කළෝය. දානියෙල්ව සිංහ ගුහාවට දැමුවත්, සිංහයන්ට ඔහුට කිසිදු හානියක් කිරීමට නොහැකි විය. අප ආධිපත්‍යයෙන් ක‍්‍රියා කරන්නේ නම් අනිවාර්යයෙන්ම යහපත් ප‍්‍රතිඵල දකිනවා ඇත.


                    Watch the Sermon Video

Read 93 times