+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේගේ නාමයෙන් අපට ලැබී තිබෙන බලය - යෝෂා මනූ
December 11, 2022 Sunday Sermon Notes

 

යේසුස්වහන්සේගේ නාමය බලවත්ම උසස්තම නාමයයි. ඒ නාමයට අප ප්‍රේම කරන්නෙමු.

යේසුස්වහන්සේගේ නාමය දෙයක් නොව කෙනෙක්, ඒ උසස්තම නාමය දරණ පුද්ගලයා යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේයි.

යේසුස්වහන්සේගේ නාමය අප වර්ණනා කරන විට, ප‍්‍රකාශ කරන විට එය සුවඳ විළවුන් තෛලයක් මෙන් විහිදී යයි. ඒ නාමය තුළින් අපගෙන් විහිදෙන ජීවනයේ සුවද, ජයග‍්‍රහණයේ සුවද මනුෂ්‍යයන් දකිනු ඇත.

යේසුස්වහන්සේගේ නාමයේ ජීවනයෙන් අප ජීවත්වනු ඇත. ඒ නාමයේ බලය අප තුළ ක්‍රියා කරනු ඇත.

සාලමොන්ගේ ගීතිකා 1:2
2 ඔහු තමාගේ මුඛයේ සිඹීම්වලින් මා සිඹීවා. මක්නිසාද නුඹේ ප්‍රේමය මුද්‍රිකපානයට වඩා හොඳය.
3 නුඹේ විලවුන් මිහිරි සුවඳින් යුක්තය; නුඹේ නාමය වැගිරෙවු විලවුන් මෙන්ය; එබැවින් කන්‍යාවෝ නුඹට ප්‍රේමකෙරෙති.

මෙහි කථාකරන්නේ යේසුස්වහන්සේත් සභාවත් ගැනය.

ස්වාමීන්වහන්සේ සිඹින විට, උන්වහන්සේගේ ප්‍රේමය තුළ සීමාවක් නැත. එය උන්වහන්සේ කිසිවක් බලාපොරොත්තුවෙන් දෙන්නාවු ප්‍රේමයක් නොව එය අසීමිත වූ ප්‍රේමයකි.

දේව වචනය මුඛයට දමා ප‍්‍රකාශ කරනවිට සිඹීමක් වැනිය. ස්වාමීන්වහන්සේ අපට කථාකරන වචනය අප කථාකරනු ඇත.

උන්වහන්සේගේ සිඹීම් තුළින් අප ප්‍රේමයේ වචන කථා කරනු ඇත. උන්වහන්සේගේ ප්‍රේමය නොමැතිව අපට කිසිවක් කළ නොහැක.

සතුරන්ට පවා ප්‍රේම කළ හැකි දිව්‍යමය ප්‍රේමයක් උන්වහන්සේ අප තුළ වගුරා ඇත.

යේසුස්වහන්සේගේ නාමය නිසා, උන්වහන්සේගේ ප්‍රේමය නිසා, උන්වහන්සේගේ බලය නිසා අප මත් වී ජීවත්විය යුතුය.

කන්‍යාවන් යනු යේසුස්වහන්සේගේ මනාළිය වන අපයි.

සුවඳ විළවුන් බෝතලයක මූඩිය විවර කරන්නා සේ අප අපගේ මුඛය විවර කළ යුතුයි. ස්වාමීන්වහන්සේ අපහට කළ දේ අපගේ මුඛයෙන් අප ප‍්‍රකාශ කරන විට සුවඳ විළවුන් මෙන් එය විහිදී යයි.

යෙසායා 9:6 පදය අනුව යේසුස්වහන්සේගේ නාමයෙන් අපට ලැබෙන ප‍්‍රයෝජන:

1) අපට ළදරුවෙක් උපන්නේය.

අප යේසුස්වහන්සේ වෙතට එන කල, අප ගැළවීම ලබා ළදරුවන් මෙන් උපත ලබන්නෙමු.

අප නව උපත ලබාගන්නා ලද්දේ උන්වහන්සේගේ වචනය නැමැති කුණු නොවන බීජයෙනි. (1 පේතෘස් 1:18-23)

අප තුළින් ළදරුභාවය දිස්වීම බැලීමට යේසුස්වහන්සේට අවශ්‍යය, එනම් කිරෙන් පෝෂණය වන හැටී බැලීමය.

දේව වචනය අප වර්ධනය වන්නාවූ කිරි ය. අප වර්ධනය විය යුත්තේ දේව වචනය තුළිනි. අප ළදරුවන් මෙන් වර්ධනය වන විටයි දෙවියන්වහන්සේගේ පුත‍්‍රයන් බවට පත්වන්නේ.

1 පේතෘස් 2:1-3
එබැවින් සියලු ආකාර ක්‍රෝධද සියලු ආකාර රැවටිල්ලද වංකකම්ද ඊර්ෂ්‍යාද සියලු අගුණකීම්ද පහකරදමා, 2 ස්වාමීන්වහන්සේ යහපත් බව නුඹලා රසබලා දැනගත්තහු නම්, 3 ආත්මිකවූ අමිශ්‍රවූ කිරිවලින්, නුඹලා ගැළවීම සඳහා වර්ධනයවන පිණිස අලුත උපන් බිලිඳුන් මෙන් එයට බොහෝ ආශාවෙන්න.

අප නව උපත ලබා ගත් පසු අපගේ පරණ ස්වභාවය වන වංකකම්, ඊර්ෂ්‍යා, අගුණකීම් වැනි ක‍්‍රියා ඉවත දැමිය යුතුයි.

ස්වාමීන්වහන්සේ අපගේ අභ්‍යන්තරයට පැමිණීමෙන් අපට උන්වහන්සේ රසවත් බව දැනගත හැකි වේ.

ස්වාමීන්වහන්සේ යහපත් බව රසබලා දැන ගත හැක්කේ සැබෑ දේව දරුවන්ට පමණි.

අපගේ ගැළවීම සම්පූර්ණවීමට අලුත උපන් බිළිදුන් මෙන් අප දේව වචනයට බොහෝසේ ආශා විය යුතුය.

යේසුස්වහන්සේගේ නාමය තුළින් අපට උන්වහන්සේගේ දරුවන් වෙන්ට බලය ලැබුණි.( යොහන් 1:12)

අප දේව වචනයට ආශා කරනවිට එහි තිබෙන එළිදරව්වෙන් අපගේ ජීවිත ගොඩනැඟේ. අප වර්ධනය වෙමින් අපගේ අයිතිවාසිකම් සහ උරුමය ගැන අපට දැනගැනීමට ලැබේ.

යේසුස්වහන්සේගේ ගිවිසුම තුළින් අපට අයත් දේවල් අප ඉගෙන ගනු ඇත.

අන්ධකාර ආධිපත්‍යයන්ගෙන් අප ලබාගත්තාවු නිදහස අප සමරමින් ආරක්ෂාකර ගත යුතුයි.

යේසුස්වහන්සේ උන්වහන්සේගේ නාමයේ බලය දී තිබෙන්නේ පාවිච්චි කරන පිණිසයි.

එබැවින් අපගේ ආධිපත්‍යය බලය පාවිච්චි කරමු. ආත්මයෙන් ගමන් කරමු. ආත්මික තීරණ ගනිමු. දේව වචනයට යටත්ව ජීවත් වෙමු.

සමහර අවස්ථාවල දී අපි "මට අමාරුයි, මට තේරෙන්නේ නැහැ, ඒවා දන්නේ නැහැ" යයි පවසන්නමු. එසේ වන්නේ අප වචනය තුළ නොපවතින විටය.

යොහන් 15:5
මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.

අප යේසුස්වහන්සේ තුළ පවතිමින් ආත්මික ඵල දැරීමට අවශ්‍යයි.

ගලාති 5:22-23 අප තුළ තිබිය යුතු ආත්මික ඵල පෙන්නුම් කරයි.

බයිබලයේ සුභාරංචි පොත් හතර තුළ කිසිඳු මනුෂ්‍යයෙක් අපි අද දින ලබා ගෙන ඇති නව උපත ලබා නොගත්තෝය.

ක‍්‍රියා 2වන පරිච්ඡේදය තුළ ශුද්ධාත්මයාණන්වහන්සේගේ ප‍්‍රදානයෙන් පසුව මනුෂ්‍යයා තුළට නව උපත අතුල් වුණි.

සුභාරංචි පොත් තුළ ගෝලයන් සමඟ යේසුස්වහන්සේ සිටි හෙයින් උන්වහන්සේගේ බලය ගැන ඔවුන්ට අත්දැකීමක් තිබුණි. යේසුස්වහන්සේ ඔවුන්ට බලය දෙමින් ඔවුන් පසු පසින් ගමන් කරන ලදි.

නමුත් ශුද්ධාත්මයෙන් මුළුමනින්ම පූර්ණකම ලබා තිබුණේ යේසුස්වහන්සේ පමණි.

නමුත් අද ශුද්ධාත්මයාණන් අප තුළ වගුරුවා තිබෙන නිසා උන්වහන්සේගේ ආත්මය අප තුළින් ක්‍රියා කරයි.

ලූක් 10:1‭-‬2
1 ඉන්පසු ස්වාමීන්වහන්සේ තවත් සැත්තෑ දෙනෙකු නියමකොට තමන් යන්ට සිටිය සියලු නුවරවලටත් ස්ථානවලටත් ඔවුන් දෙදෙනා බැගින් තමන්ට පෙරටුව යැවූසේක. 2 උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ගොයම බොහෝය, මෙහෙකරුවෝ ස්වල්ප දෙනෙක්ය. ඒ නිසා තමන්ගේ ගොයම් කැපීමට මෙහෙකරුවන් එවන ලෙස ගොයමේ ස්වාමීන්වහන්සේට යාච්ඤා කරන්න.

යේසුස්වහන්සේට අවශ්‍ය වූයේ සියලු දෙනාම උන්වහන්සේගේ වචනය දැනගැනීමටය.

යේසුස්වහන්සේගේ ගෝලයන් ඒ වන විට ශුද්ධාත්ම බලය ලබා නොතිබුණත් යේසුස්වහන්සේ ඔවුන්ට උන්වහන්සේගේ නාමයේ බලයේ ආධිපත්‍ය ලබා දුන්සේක. එම නාමයේ ආධිපත්‍ය බලය තුළින් ඔවුන්ට යක්ෂයන් පවා දුරුකිරීමට හැකිවුණි.

ලූක් 10:16‭-‬17
නුඹලාගේ වචන අසන්නා මාගේ වචන අසයි; නුඹලා එපාකරන්නා මා එපාකරයි; මා එපාකරන්නා මා එවූ තැනන්වහන්සේ එපාකරන්නේයයි කීසේක. ඉන්පසු සැත්තෑදෙනා ප්‍රීතියෙන් හැරී ඇවිත්: ස්වාමිනි, ඔබගේ නාමය නිසා යක්ෂයෝ පවා අපට යටත්වෙතියි කීවෝය.

යේසුස්වහන්සේගේ නාමය ඉදිරියේ සාතන්ගේ බලය සම්පූර්ණයෙන් බිඳ වැටුණේය. යක්ෂයාගේ බලය ඒ වන විට පොළොවේ සැරිසරමින් තිබුණි.

යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැඟිටුනායි පසු සාතන්ගේ හිස සහමුලින්ම පොඩිකරන ලදි.

උන්වහන්සේගේ නාමයේ ආධිපත්‍යය දැන් අපට දී තිබේ.

ලූක් 10:18‭-‬20
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: සාතන් විදුලිය මෙන් අහසෙන් වැටුණා දුටිමි. බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය. එසේවුවත් ආත්මයන් නුඹලාට යටත්වන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීතිවෙන්නැයි කීසේක.
එහෙත් යේසුස්වහන්සේගේ කැමැත්ත අපගේ නාම ස්වර්ගයේ ලියා තිබීමය.

ආත්මය තුළ කිසිඳු වෙනසක් නොමැතිව යේසුස්වහන්සේ යන නාමය පමණක් පැවසීමෙන් කෙනෙකු ස්වර්ග රාජ්‍යයට ඇතුල් වන්නේ නැත.

මතෙව් 7:22-23
22 ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. 23 එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.

වර්ධනය වීම යනු යේසුස්වහන්සේගේ නාමයේ ආධිපත්‍යයෙන් ක්‍රියාකරන්නට දැන ගැනීමය.

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අප වර්ධනයවී පුත‍්‍රයන් මෙන් ක්‍රියා කිරීමය.

සතුරා අපගේ මනසට වධ දෙන කල දෙවියන්වහන්සේගේ වචනයෙන් අපගේ ආධිපත්‍යය ප‍්‍රකාශ කිරීමට අප දැන සිටිය යුතුය.

රෝම 8:1
එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත.

මාර්ක් 16:9‭-‬11 උන්වහන්සේ සතියේ පළමුවෙනිදා අලුයම් වේලේ නැගිටි කල පළමුකොට මග්දලායේ මරියාට පෙනුණුසේක. ඈ වනාහි උන්වහන්සේ විසින් යක්ෂයන් සත්දෙනෙකු දුරුකරනු ලැබූ තැනැත්තීය. ඈ ගොස් උන්වහන්සේ සමඟ සිටි අය අඬමින් වැලපෙමින් සිටිද්දී ඔවුන්ට දැන්නුවාය.
උන්වහන්සේ ජීවත්ව සිටින බවද ඈ විසින් දක්නාලද බවද ඇසූ විට ඔව්හු අවිශ්වාස කළෝය.

මරියා ගොස් ඇය යේසුස්වහන්සේ දුටු බව සුභාරංචිය ගෝලයන්ට පැවසු විට ඔවුන් එය අවිශ්වාස කරන ලදි. මන්ද ඒ වන තුරුත් ශුද්ධාත්මය ඔවුන් තුළ නොතිබූ නිසාය.

මාර්ක් 16:12‭-‬13
ඉන්පසු ඔවුන්ගෙන් දෙදෙනෙක් පිටිසරට යන කල උන්වහන්සේ අන්‍යාකාරයකින් ඔවුන්ට ප්‍රකාශවූසේක. ඔව්හු ගොස් අනික් අයට දැන්නුවෝය. ඔව්හු ඔවුන්වත් විශ්වාස නොකළෝය. (ලූක් 24:13-35)

මාර්ක් 16:14‭
පසුව උන්වහන්සේ එකොළොස්දෙන කෑමට හාන්සිවී සිටියදී ඔවුන්ට පෙනී, නැගුටුණයින් පසු තමන්වහන්සේව දුටු අයව ඔවුන් විශ්වාස නොකළ නිසා, ඔවුන්ගේ විශ්වාසය නැතිකමටත් සිත් දැඩිකමටත් ඔවුන්ට දොස්තැබූසේක.

ඔබ අවිශ්වාසයෙන් සිටිනවානම්, සැක කරනවානම් ඔබත් තෝමස් හා සමාන වනු ඇත.

මාර්ක් 16:15-16‭
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්‍රකාශකරන්න. අදහාගන්නාවූ බව්තීස්මය ලබන්නාවූ තැනැත්තේ ගළවනු ලබන්නේය; නුමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදට පත්කරනු ලබන්නේය. අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය; සර්පයන් අල්ලාගන්නෝය, යම් මරණීය වස ජාතියක් බීවත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය; ඔවුන් රෝගීන් පිට අත් තැබූ කල්හි, ඔව්හු සුවය ලබන්නෝයයි කීසේක.

සැක කරන ලද, අවිශ්වාසයෙන් සිටින ලද නොඇදහිලිකාරකමෙන් සිටි සෙනඟකටයි යේසුස්වහන්සේ අණ දීම දුන්නේ. පළමුව උන්වහන්සේ ඔවුන්ට තරවටු කළ නමුත් පසුව උන්වහන්සේගේ මහා ආඥාව ඔවුන්ටම දුන්සේක.

ඔබ තුළ සැකය තිබුණත්, භය තිබුණත්, නොඇදහිලිකාර සිතුවිලි තිබුණත්, භය නොවන්න. ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනු ඇත.

යේසුස්වහන්සේ අපටද ප‍්‍රකාශ කරනුයේ උන්වහන්සේගේ නාමයෙන් ගොස් සුභාරංචිය ප‍්‍රකාශ කරන්න කියාය.

මනුෂ්‍යයන්ව නිදහස් කිරීමට යේසුස්වහන්සේගේ නාමයේ බලය උන්වහන්සේ අපට දී ඇත.


Watch the Sermon Video

Read 414 times