+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

රැවටිලිකාරකම වඩා වඩා වැඩි වන්නේය- මනූ මැතානි
December 11, 2022 Sunday Sermon Notes

 

දිනපතා ඉගෙන ගන්නාවු දේවලින් අප ශක්තිමත් වෙමින්, ජීවිතය ගොඩනඟා ගනිමින්, උන්වහන්සේගේ ලියවිලි දකිමින්, පරික්ෂාවන්ගෙන් ගැළවී උන්වහන්සේගේ යහපත අත් දකින්නෙමු.

දෙවියන්වහන්සේ අපව මේ පොළොවේ තබා තිබෙන්නාවු කාරණාව උන්වහන්සේ කැමැත්ත උන්වහන්සේ සම්පූර්ණ කරන තුරු අප උන්වහන්සේගේ වචනයෙන් අහක්ව නොගොස් ඉවසීමෙන් සිටින්ට අවශ්‍යයි.

අපට එන සිතුවිලි සියල්ලක්ම සත්‍ය නොවේ. සත්‍යය නම් දෙවියන්වහන්සේගේ වචනයයි.

අපට සිතුවිලි එන කළ දෙවියන්වහන්සේගෙන් එන සිතුවිලි මොනවාද, යක්ෂයාගෙන් එන්නාවු දේ කුමක්ද, මාංසයේ දේ කුමක්ද කියා අප තෝරා ගත යුතුය. එය උන්වහන්සේගේ වචනය සමඟ එකඟද යන්න සංසන්දනය කිරීමෙන් අපට දැනගත හැකිය.

යක්ෂයා නිතරම රැවටිලිකාරය. මාංසයද අපව මුළා කරයි.

යක්ෂයා ඒවව රැවටූ ආකාරයටම අපවද රැවටීමට උත්සහ දරයි.
අපි ස්වාමීන්වහන්සේගේ දරුවන් හෙයින් රැවටෙන්නට අවශ්‍ය වන්නේ නැත.

යේසුස්වහන්සේගේ මරණය තුළින් යක්ෂයාගේ ක්‍රියා දැනටමත් විනාශ වී සහමුලින් බිඳ දමා අවසන්ය.

අප දේව දරුවන් වශයෙන් විනාශකයා පසුපස යා යුතු නැත. අපට දෙවියන්වහන්සේ ආත්මික උපතක් දී ඇත. අප සියල්ල ආත්මයෙන් විමසා බැලිය යුතුය. අපි ආත්මයෙන් යහපත් තීරණ ගැනීම වැදගත්ය.

ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන් නම් අප හැම අතින්ම ස්වාමීන්වහන්සේගේ මුල් කැමැත්තට එකඟ වී සිටිය යුතුයි.

දෙවියන්වහන්සේගේ කැමැත්ත මනුෂ්‍යයන් ගැළවීමයි, නිදහස් කිරීමයි. උන්වහන්සේගේ නාමය වර්ණනා කිරීමයි.

සදාකාලික නිදහස යේසුස්වහන්සේගේ නාමයෙන් අපට ඇත. ඒ නාමය අදහන සියල්ලෝම ගළවනු ලබන්නෝය.

ස්වර්ගය යටතේ ඇත්තේ එකම නාමයයි. ඒ නාමය නම් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේය.

සියලු නාමවලට වඩා උසස්ම නාමය ඒ නාමයයි. ඒ නාමය සමඟ ශුද්ධාත්ම බලය ක්‍රියා කරයි. ශුද්ධාත්ම බලය තුළින් බොහෝ දේ සිදුවෙයි.

ලෝකයා අද භයින් සිටින නමුත් යේසුස්වහන්සේගේ නාමයේ බලය අපට දී තිබෙන්නේ ඒ අයට ශුභාරංචිය පවසන පිණිසයි.

මතෙව් 24:5
මක්නිසාද බොහෝ දෙනෙක්: මම ක්‍රිස්තුස්ය කියා මාගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු මුළා කරන්නෝය.

ක‍්‍රිස්තුස් යන වචනයේ අර්ථය - බලවත් ආලේප ලත් මෙසියස්වහන්සේය.

බොහෝ අය තමන් බලවත් හා තමන් ආලේප ලත් යයි කියමින් අද මුළාකරන්නන්ව සිටිති. අප ඒ රැවටීමට අසු නොවිය යුතුය.

මතෙව් 24:4
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: කිසිවෙක් නුඹලා මුළා නොකරන ලෙස බලාගන්න.

පිටස්තරයෙන් ඒ අය යම් යම් දේවල් කළත්, අප පෙනීමේ අනුව ගමන් නොකර උන්වහන්සේගේ වචනය විශ්වාස කරමින් ගමන් කළ යුතුය.

මාර්ක් 13:21
එකල: මෙන්න ක්‍රිස්තුස්වහන්සේ මෙහිය; නොහොත්: අන්න එහියයි යමෙක් නුඹලාට කීවොත් විශ්වාස නොකරන්න.

ඒ අය ක්‍රියා කරන දේවල් පෙන්නුම් කරමින් පවසන්නේ විශ්වාස කරන්න කියාය.

අපගේ විශ්වාසය තිබෙන්නේ මනුෂ්‍යයන්ගේ රැවටිලිකාර වචනවලවත් පුදුම කරවන ක්‍රියාවලවත් නොවේ. අපගේ විශ්වාසය තිබිය යුත්තේ ස්වාමීවු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ පමණි.

යේසුස්වහන්සේගේ සේවා කාලය තුළත් මෙවැනි රැවටිලිකාරයන් සිටියෝය.

අද දිනත් මේ කාලයේත් රැවටිලිකාරයන් බොහෝසේ අපට දකින්ට ඇත.

2 තිමෝති 3:1-2
නුමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගන්න. මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව,

2 තිමෝති 3:4 ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව,

මේ කාලයේ අපට සැපසෙල්ලම් කරන්නන් දකින්නට ලැබේ.

මේ ආකාරව ලෝකයා ජීවත් වූවත් සභාව තුළට ඇතුල්වීමෙන් බලපෑමක් කරන්නට ඉඩ නොදිය යුතුයි.

අප ලෝකයේ ආලෝකයව අන්ධකාරයට වසා ගන්නට ඉඩ නොදී සිටිය යුතුය.

2 තිමෝති 3:3 ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව,

අප ලෝකයා සමඟ කාලය ගත කළහොත් ඒ දේවල් අපගේ ජීවිත වලට බලපෑම් ඇති කරයි.

සමහර සභාවන් පවා සමාජයේ අනුමත වන වැරදි ක්‍රියාවන් වන සමලිංගික විවාහයන් වැනි දේද පිළිගනිති. නමුත් ඒවා සත්‍යය වචනය තුළ ගොඩනැඟුනු සභාවන් නොවේ.
මේ අය ගිවිසුම් කඩ කරති.

2 තිමෝති 3:4-5
ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව,
දේවභක්තියේ වේසය දරන නුමුත්, එහි බලය එපාකළ අයව සිටින්නෝය. එබඳු අයගෙන් අහක්වෙන්න.

ඔවුන් භක්තිවන්තභාවය බාහිර ස්වභාවයක් ලෙස පෙන්නුම් කළද ආත්මය තුළ සැබවින්ම ගැළවීම ලබා නොමැත.

දේව වචනය කෙරෙහි විශ්වාසයක් ඔවුන් තුළ නැත.

2 තිමෝති 3:10‭-‬11
නුමුත් නුඹ මාගේ ඉගැන්වීමද හැසිරීමද අභිප්‍රායද ඇදහිල්ලද ඉවසිලිවන්තකමද ප්‍රේමයද ක්ෂාන්තියද, අන්තියෝකියේදීත් ඉකෝනියේදීත් ලුස්ත්‍රාවේදීත් මට සිදුවුණාවූ මට පැමුණුණ පීඩාද දුක්විඳීම්ද බලාගත්තෙහිය. එයාකාර පීඩා වින්දෙමි, ඒ සියල්ලෙන්ද ස්වාමීන්වහන්සේ මා මිදූසේක.

මේ දේවල් පාවුල් තිමෝතිට පවසා ඔහුව ධෛර්යයමත් කළේය.

ස්වාමීන්වහන්සේ අපව ඕනෑම පීඩනයකින් ගළවනසේක.

තාක්ෂණික දියුණුව නිසා අපි අපගේ දරුවන්ගේ වගකීම අත්නොහැරිය යුතුය. ඒ අය නරඹන දේවල් ඔබ දෙමාපියන් ලෙස සොයා බැලිය යුතුයි.

දරුවන්ට හරිදේ, ආත්මික දේ උගන්වන්නට දෙමාපියන් කැප විය යුතුයි.

දරුවා ආත්මික දේවල් කථාකරන කල එය වර්ණනා කරන්න.

යක්ෂ ආත්මවලට ඔබගේ නිවසේ පාලනය වන්නට ඉඩ නොදෙන්න.

ඔබගේ හෘදය සාක්ෂියට විරුද්ධව දේවල් නොකරන්න.

දෙවියන්වහන්සේ අපව කැඳවා තිබෙන්නේ ස්වර්ගීක ජීවිතයක් ගත කිරීමටය. අප උසස්වූ දේ සෙවිය යුතුය.

කොලොස්සි 3:1
ඉඳින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැගුටුවනලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාගන්න. එහි ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳිනසේක.

ඔබ වතුර බව්තීස්මය ලබාගෙන නැවත නැගිට සිටින්නෙකු නම්, ජයග්‍රහණයන් ජීවත් වන්න.

ගැළවීම ලැබූ කෙනෙකු වතුර බව්තීස්මය ලබා ගැනීමෙන් තමා ගන්නාවූ වැදගත්ම තීරණයකි.

පේත්‍රැස් එක දවසක 3000ක් වතුරෙන් බව්තිස්ම කළේය.

යේසුස්වහන්සේ ආරම්භ කළ දේවල් තුළ අප පැවතිය යුතුයි.

ඉතියෝපීය නපුංසකයා පිලිප්ගේ වචන ඇසූ පසු බව්තිස්ම ලබා ගත්තේය. ක්‍රියා 8:36-38

කොරනේලියස් නම් සියයකට මුලෑදෑනියාගේ නිවසේ සිටි සියල්ලෝම පේත‍්‍රැස්ගේ කථාව ඇසුපසු ශුද්ධාත්මෙන් පූර්ණව වතුර බවිතිස්මය ලබා ගත්තෝය. ක්‍රියා 10:44-48

උසස් තැන්වල තිබෙන දේවල් මේ ලියවිල්ලේ සටහන් කර තිබෙනවා.

කොලොස්සි 3:2
පොළොවේ තිබෙන දේ නොව උසස්තැන්හි තිබෙන දේම සලකන්න.

දෙවියන්වහන්සේ අපට නිදහස් කැමැත්ත දී තිබෙන්නේ එකිනෙකාට ප්‍රේම කරන පිණිසයි.

ගලාති 5:13
මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා නිදහස්කමට කැඳවනු ලැබුවහුය; එහෙත් නුඹලාගේ නිදහස මාංසයට ප්‍රස්තාවක් පිණිස ව්‍යවහාර නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවයකරන්නෝ වෙන්න.

අපගේ සහෝදරයන්ට ආදර්ශමත් ජීවිතයක් අප ගත කල යුතුයි. කොහේ සිටියත් අප අන් අයට පැකිලීමේ කාරණාවක් නොවිය යුතුයි.

ගලාති 5:14
මක්නිසාද: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න යන එක වාක්‍යයෙන්ම මුළු ව්‍යවස්ථාව සම්පූර්ණවේ,

අනුග්‍රහය තුළින් අපට මුළු ව්‍යවස්ථාව සම්පූර්ණ කළ හැකියි.

මෙයින් කතා කරන අසල්වාසියන් කවුද? කිතුනු සහෝදර සහෝදරියන්ය.

ගලාති 5:15 නුමුත් නුඹලා එකිනෙකා විකාකන්නහු නම්, නුඹලා එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට බලාගන්න.

අපි සහෝදරයන්ය, අපි එකිනෙකාට ප්‍රේම කරමු.
අන් අයගේ දියුණුවට අප සතුටු විය යුතුයි.

ගලාති 5:16 නුමුත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතැයි කියමි.

ආත්මයෙන් ගමන් කිරීම යනු දේව වචනය අනුව ජීවත් වීමයි.
උන්වහන්සේගේ හඬ අසන්නට අපට යහපත් හෘද සාක්ෂියක් දී ඇත.

2 තිමෝති 3:12
එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ භක්තිවන්තලෙස ජීවත්වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය.

භක්තිවන්ත ලෙස ජීවත්වන්ට ඔබ තීරණය කරන්නේ නම් ඔබට පීඩා විඳින්නට සිදු වෙයි.

අපි මේ ලෝකයේ සිටින්නේ ලෝකයා සතුටු කරන්නට නොවේ.
දෙවියන්වහන්සේට ප‍්‍රසන්න ජීවිතයක් ගත කිරීමටය

1 පේතෘස් 4:1‭-‬2
ඉතින් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් (අප උදෙසා) වධවින්ද බැවින්, මාංසයේ ඉතිරිව තිබෙන කාලයෙහි තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව, දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත්වෙන පිණිස එම සිත ආයුධයක් කොට පැළඳගන්න. මක්නිසාද මාංසයෙන් වධවින්ද තැනැත්තේ පාපයෙන් නිදහස්වී සිටියි.

මාංශයේ ජීවත්වෙන ඉතිරි කාලය ආත්මයෙන් ජීවත් වෙන්න.

ස්වාමීන්වහන්සේ මාව මිලදී ගෙන තිබෙන නිසා මාගේ ජීවිතයේ ඉතිරි කාලය තුළ ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස ජීවත් විය යුතුයි.

2 තිමෝති 3:13
නුමුත් නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය.

අප නොරැවටී සෑම දෙයක්ම දේව වචනය තුළින් විමසා බැලිය යුතුය.

2 තිමෝති 3:14-15
එහෙත් නුඹ ඉගෙනගත්තාවූ, නුඹට සහතිකවූ කාරණා කොයි තැනැත්තන්ගෙන් ඉගෙනගත්තෙහිද කියාත්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම පිණිස නුඹ නැණවත්කරන්ට පුළුවන්වූ ශුද්ධලියවිලි නුඹ බාල වයසේ පටන් දැනගන සිටින බවත් දැන, ඒවායෙහි පිහිටා සිටින්න.

පීඩා පැමිණෙන්නේ වචනය තුළ සිටින නිසයි.
වචනය ඉගැන්නුවාවූ දේශකයා පසුපස නොව වචනය පසුපස ගමන් කරන්න.

මාර්ක් 4:16-17
16 එසේම ගල්බිම්වල වපුරනලද්දෝ නම්, වචනය ඇසූ කෙණෙහිම ප්‍රීතියෙන් පිළිගන්න නුමුත්, 17 තමුන් තුළ මුල් නැති බැවින් මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කල්හි, එකෙණෙහිම බාධාවන්නෝවෙත්;

වචනය තුළ ඔබ ශක්තිමත් වී සිටින නිසාම ඔබට පීඩා පැමිණෙන්නේය.

ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ හට ඔවුන්ගේ වචනය නිසා පීඩාව සත් ගුණයකින් වැඩිවුණි. රජුගේ කෝපය හමුවේ ඔවුන් නොසැලී සිටින ලදි. (දානියෙල් 3:16-19)

රජු පවා විශ්මපත් කරවමින් ස්වාමීන්වහන්සේ මහත්වූ හාස්කමකින් ඔවුන්ව ගලවන ලදි. (දානියෙල් 3:24-30)

පීඩාවන් වලට භය නොවන්න.

දෙවියන්වහන්සේ ඔබ ගැන සලකන බව විශ්වාස කරන්න.

"ලෝගොස්" යනු ලියා තිබෙන වචනයයි. "රේමා" යනු ප‍්‍රකාශිත වචනයයි.

උන්වහන්සේගේ හඬ ප‍්‍රකාශිත වචනයත් ලියා තිබෙන වචනයත් කිසිදා වෙනස් නොවේ.

යක්ෂයා නිතරම උත්සහා කරන්නේ මනුෂ්‍යයන් රැවටීමටය. එහෙත් අප එම රැවටීමට අසු නොවී සිටිය යුතුයි.


Watch the Sermon Video

Read 422 times