+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේගේ නාමය අපට ධර්මිෂ්ඨකම ගෙනාවේය - යෝෂා මනූ
January 08, 2023 Sunday Sermon Notes

 

ව්‍යවස්ථානුකූලව සිටීමට වඩා වචනය තුළ සිටීම වැදගත්ය.

පරණ ගිවිසුමේ ශුද්ධවන්තයන් සිතුවේ දෙවියන්වහන්සේ යහපත මෙන්ම අයහපතද කරන බවයි.

නමුත් දෙවියන්වහන්සේ අනුග‍්‍රහයේ දෙවියන්වහන්සේය. උන්වහන්සේ තුළ කිසි අයහපතක් නැත.

අප ස්වාමීන්වහන්සේගේ වචනය මෙහෙහි කරන විට බොහෝ යහපත් දේ අප තුළ කිරීමට උන්වහන්සේ සූදානමින් සිටියි.

අපව සුවකිරීමට අපගේ ජීවිතයේ ආශීර්වාද වැගිරීමට උන්වහන්සේ කැමැත්තෙන් බලා සිටියි.

අප දේව අභිමුඛයේ සිටින විට අපට සුවය, එළිදරව්ව, ප‍්‍රශ්නයට විසඳුම, තීරණ එවෙලෙහිම ලැබෙනු ඇත.

අපි පසුගිය සතිවල යේසුස්වහන්සේගේ නාමය පිළිබද කරුණු අධ්‍යයනය කරමින් ඒ තුළින් යේසුස්වහන්සේගේ නාමය කොතරම් බලවත්ද, යේසුස්වහන්සේගේ නාමයට සැම දණක්ම නැමිය යුතු බවත්, යේසුස්වහන්සේ තම නාමය උරුම කරගත්තේ කෙසේද? සියලු නාමවලට වඩා උසස්ම නාමය යේසුස් වැනි කරුණු ඉගෙන ගත්තෙමු.

අද යේසුස්වහන්සේගේ නාමය අපට ධර්මිෂ්ඨකම ගෙනාවේය යන කරුණ බලමු.

යේසුස්වහන්සේගේ නාමයෙන් අපට ලැබෙන සැනසිලිකරුතුමාණන් ගැන අපි කලින් සතියේදී ඉගෙන ගතිමු.

උන්වහන්සේ අපව නිතර සනසන්නාවු දෙවියන්වහන්සේ බව බයිබලයේ පවසයි.

යේසුස්වහන්සේ මෙළොවට ඉපදුනේ ශුද්ධාත්මයාණන් කරණකොටගෙනය. ශුද්ධාත්මයාණන් යනු සැනසිළිකරුතුමන්ය.

යේසුස්වහන්සේ මෙළොව ජීවත්වූයේ ශුද්ධාත්මයාණන්ගේ උපකාරය හා මඟ පෙන්වීම යටතේය.

යේසුස්වහන්සේ මෙළොව සේවය කල කාලය තුළදී පැමිණි නොයෙකුත් පීඩා ප‍්‍රශ්ණ, ගැටලු ජයගත්තේ උන්වහන්සේට පියාණන්වහන්සේ සමඟ තිබූ සම්බන්ධතාවයත් ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරයත් තුළනි.

පරණ ගිවිසුම තුළ කිසිවෙකුට යේසුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොතිබුණේය. ඔවුන්ට තිබුණේ ඒ අයගේ යම් යහපත් ක්‍රියාවක් තුළින් ලබාගත් ධර්මිෂ්ඨකම පමණි.

නමුත් නව ගිවිසුම තුළ අප යේසුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වූ අතර ඒ තුළ ගමන් කිරීමට අපව සනාථ කරමින් ස්ථීර කරනුයේ ශුද්ධාත්මයාණන්වහන්සේය. උන්වහන්සේ අපගේ සැනසිලිකරුතුමන්ය.

එපීස 1:13-14
13 උන්වහන්සේ තුළ නුඹලාත් නුඹලාගේ ගැළවීමේ ශුභාරංචිය වන සැබෑවේ වචනය අසා, උන්වහන්සේ කෙරෙහි අදහාගෙන, උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා දෙවියන්වහන්සේට හිමිවූ වස්තුවේ මිදීම පිණිස, 14 අපේ උරුමයේ අත්තිකාරමවූ පොරොන්දුවේ ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් නුඹලා උන්වහන්සේ තුළ මුද්‍රාකරනු ලැබුවහුය.

ක‍්‍රිස්තුස්වහන්සේගේ මනාළියවූ අපව කිසිදු කැළලක් නොමැතිව ආරක්ෂා කිරීමට, පෝෂණය කිරීමට උන්වහන්සේ අපව ශුද්ධාත්මයාණන් තුළ මුද්‍රා කර ඇත.

"ශුද්ධාත්මයාණෙනි මාව අතහැර ගියේ ඇයි" කියමින් අප කිසිදා ස්වාමීන්වහන්සේට යාච්ඤා නොකළ යුතුය. මන්ද උන්වහන්සේ කිසිදා අප අතහැර යන්නේ නැත. අප සමඟ සදහට සිටින්නට නැතහොත් වාසය කරන්නට දෙවියන්වහන්සේ ශුද්ධාත්මයෙන් අපව මුද්‍රා කර තිබේ.

දැන් පොළොවේ සිටින්නේ ශුද්ධාත්මයාණන්වහන්සේය. මවෙක් දරුවෙක් පෝෂණය කරනවාටත් වඩා අපට සමීපව සිටිමින් අපව පෝෂණය කරමින් මඟ පෙන්වමින් අප තුළ වාසය කරයි.

රෝම 8:26
එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුළෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක.

මාංසාකාරව අපගේ දුර්වල අවස්ථාවන්වලදී ශක්තිමත් පුද්ගලයා වන ශුද්ධාත්මයාණන් අප සමඟය.

අප වැරදි වචන පාවිච්චි නොකල යුතුය. මන්ද ආලේප ලත් තැනැන්වන්සේ අප සමඟය. (පිලිප්පි 4:13)

යොහන් 14:26
නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවනසේක.

යේසුස්වහන්සේ තම සේවයේ අවසන් දවස්වල පැවසූ වදන් වලින් අපට මහත් සැනසිල්ලක් ලබා ගත හැකිය.

යොහන් 15:26
නුමුත් පියාණන්වහන්සේ කෙරෙන් මා විසින් නුඹලාට එවන සැනසිලිකාරයාණන්වහන්සේ එනම් පියාණන්වහන්සේ වෙතින් නික්මෙන්නාවූ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂිදෙනසේක.

ශුද්ධාත්මයාණන්වහන්සේ පියාණන්වහන්සේටත් යේසුස්වහන්සේටත් විරුද්ධව කිසිදා කථා නොකරනසේක.

යොහන් 16:7
එසේවී නුමුත් මම නුඹලාට සැබෑව කියමි: මාගේ අහක්ව යෑම නුඹලාට ප්‍රයෝජනවත්ය. මක්නිසාද මා අහක්ව නොගියොත්, සැනසිලිකාරයාණන්වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත; නුමුත් ගියොත්, උන්වහන්සේ නුඹලා වෙතට එවන්නෙමි.

ශුද්ධාත්මයාණන් අප තුළට එවීමෙන් යේසුස්වහන්සේ අපව ස්වර්ගයට ගෙන යනවාට වඩා වැඩි යමක් කළසේක.

යොහන් 16:13
එසේවී නුමුත්, උන්වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මඟපෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කථා නොකර, උන්වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශකරනසේක.

බොරු ගුරුවරු, බොරු ප්‍රොපේතවරු මුළාවේ වචන වලින් මනුෂ්‍යයන්ව රවටන්නට තැත් කරන කල, සත්‍යය කුමක්ද කියා අපට ශුද්ධාතමයාණන් තුළින් අසා දැන ගත හැකිය.

යොහන් 16:8‭-‬9
උන්වහන්සේ ආ කල, පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ලෝකයාට අඟවාදෙනසේක. පාපය ගැනයයි කීවේ ඔවුන් මා කෙරෙහි නොඅදහන නිසාය;

ශුද්ධාත්මයාණන්වහන්සේ කාරණා 3ක් අපට අඟවා දෙනු ඇත.

එනම් පාපය, ධර්මිෂ්ඨකම, හා විනිශ්චය ගැන.

පාපය ගැන…………..
සුභාරංචියේ පණිවිඩය අප වෙත පැමිණි කල අපට මුලින්ම හැඟෙනුයේ අප පවිකාරයන් බවය. ඉන්පසු එම පාපයෙන් නිදහස්වීමට අවශ්‍යය බව අපට තේරුම් ගනී.

පාපය මුලින්ම පැමිණියේ ආදම්ගෙනි. (උත්පත්ති 3:6)

"පාපය, … ධර්මිෂ්ඨකම ... සහ විනිශ්චය පුද්ගලයන් තිදෙනෙකුට සම්බන්ධයි."

පාපය ආදම්ට සම්බන්ධයි. රෝම 5:12
එහෙයින් එක් මනුෂ්‍යයෙකු (ආදම්) කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුළ්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය. (උත්පත්ති 3:6)

අපට පාපය හැඟෙන විට අපි යේසුස්වහන්සේගේ ලෙයින් පවිත‍්‍රකම ලබා පාපයට සමාව ලබා ගන්නෙමු.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ ක‍්‍රියාව නම් ඔබට සුභාරංචිය පණිවිඩය තුළින් පව්කාරකමෙන් ඔබව නිදහස් කිරීමයි.

උන්වහන්සේ පැමිණි විට, උන්වහන්සේ පාපය හෙළි කර දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සහ උන්වහන්සේගේ විනිශ්චයන් සම්බන්ධයෙන් ලෝකය වැරදි බව ඔප්පු කරනු ඇත. ‘පාපය’ ගැන මන්ද ඔවුන් මා කවුරුන්ද යන්න විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කරන බැවින්…..

ශුද්ධාත්මයාණන්වහන්සේ අපට පවසන්නේ ආදම්ගේ පාපයෙන් අපට ගැළවීමට නම් අප කීකරු විය යුතුය කියාය. අප කීකරුවුවහොත් අපව නිර්දෝෂ කරනු ලැබේ.

ධර්මිෂ්ඨකම ……………..
අප යේසුස්වහන්සේ පිළිගෙන පාපයෙන් නිදහස් වූවායින් පසුව දැන් අප පවිකරුවෙකු නොවන බව ශුද්ධාත්මයාණන්වහන්සේ පෙන්වා දෙයි.

රෝම 5:19 මක්නිසාද එක මනුෂ්‍යයාගේ අකීකරුකම කරණකොටගෙන බොහෝදෙනා පව්කාරයන් කරනු ලැබුවා සේම, එක්කෙනාගේ කීකරුකම කරණකොටගෙන බොහෝදෙනා ධර්මිෂ්ඨකරනු ලබන්නෝය.

මෙම ධර්මිෂ්ඨකම අපට ලැබෙන දීමනාවකි.

2 කොරින්ති 5:21
අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට * පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක. (* එනම් - පාපය තමන් පිටට ගන්ට)

මෙය ක්‍රිස්තුස්වහන්සේගෙන් අපට ලැබෙනු දීමනාවකි.

ධර්මිෂ්ඨකම ක්‍රිස්තුස්වහන්සේට සම්බන්ධයි.
මන්ද ධර්මිෂ්ඨකම පැමිණියේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින්ය. උන්වහන්සේ අපගේ ධර්මිෂ්ඨකමයි.
(1 කොරින්ති 1:30)

ක්‍රිස්තුස්වහන්සේ තුළ මා ධර්මිෂ්ඨයි කියා අප නිතරම ප‍්‍රකාශ කළ යුතුයි.

සතුරා නිතරම අපට දොස් පැවරීමට පැමිණෙයි. අප එයට අසුනොවී රෝම 8:1 පැවසිය යුතුයි.

රෝම 8:1
එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත.

ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත යන ධර්මිෂ්ඨකම අපට දැනගැනීමට හැකිවනුයේ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළිනි.

විනිශ්චය සාතන්ට සම්බන්ධයි.
ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ ක්‍රියා සාතන්ගේ අධර්මිෂ්ඨ ක්‍රියාවන් වෙනුවෙන් විනිශ්චය ගෙනාවේය.

යේසුස්වහන්සේ කුරුසයේදී අපගේ පාපයේ මිළය ගෙවා අපගේ විනිශ්වයෙන් අපව මුදවා ඇත.

සාතන්ගේ විනිශ්වය අපට අයිති නැත.

ඒ නිසා අපි ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම තදින් අල්ලා ගෙන ඒ තුළ පැවතිය යුතුයි.

යෙරමියා 23:6; 33:16
උන්වහන්සේගේ දවස්වලදී යූදා ගළවනු ලබන්නේය, ඉශ්‍රායෙල්ද සුවසේ වසන්නේය. අපේ ධර්මිෂ්ඨකමවූ ස්වාමීන්වහන්සේය යන නාමය උන්වහන්සේට කියනු ලබන්නේය.

අප මුහුණ දෙන්නේ ක්‍රිස්තුස්වහන්සේ තුළ විපාක ලබා ගැනීමේ විනිශ්චයටයි. අප සියල්ලෝම ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි ප්‍රකාශවෙන්ට ඕනෑය. 2 කොරින්ති 5:10

අප ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම තුළ ජීවත්විය යුතුයි.

ගීතාවලිය 23:3
උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත්කරනසේක; ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙනයනසේක.

අපව ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම තුළ ධර්මිෂ්ඨකමේ ඵල ලබන පිණිස ගෙන යන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේය.

ධර්මිෂ්ඨකමේ ඵල අපගේ ජීවිතයෙන් දිනපතා නිකුත්විය යුතුය. (ගලාති 5:22)

දිනපතා ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් ජීවත්වන්න. උන්වහන්සේ සිටින්නේ දිනපතා අපව ශක්තිමත් කිරීමටය.

යුද් 1:20 නුමුත් ප්‍රේමවන්තයෙනි, නුඹලා වනාහි නුඹලාගේ ඉතා ශුද්ධ ඇදහිල්ල පිට නුඹලාම ගොඩනඟාගනිමිනි, ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ සිට යාච්ඤාකරමින්,

ශුද්ධ ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකමින් ජීවත්වන්න.

රෝම 8:1
එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත.

දෙවියන්වහන්සේ නිරය සූදානම් කර තිබෙන්නේ යක්ෂයාට පමණය. නමුත් මනුෂ්‍යයා දෙවියන්වහන්සේට අකීකරු වීමෙන් එම ස්ථානයට යයි.

රෝම 8:2
මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.

ධර්මිෂ්ඨකමේ මාවතේ ගමන් කරමින් ධර්මිෂ්ඨකම අනුව ජීවත්වන විට අපට කිසිම විනිශ්චයක්, දඬුවමට පත්කිරීමක්, දෝෂාරෝපණයට ලක්කිරීමක් නැත.


Watch the Sermon Video

Read 482 times