+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පීඩා පැමිණෙන්නේ යේසුස්වහන්සේගේ නාමය නිසයි - යෝෂා මනූ
February 12, 2023 Sunday Sermon Notes

 

දේව ප්‍රේමය තරම් තවත් ප්‍රේමයක් නැත. අප ජීවත්වන්නේ ඒ ප්‍රේමය නිසාය. ස්වාමීන්වහන්සේ අපට බොහෝසේ ප්‍රේම කරයි.

යේසුස්වහන්සේගේ නාමය බලවත්ය.

ක‍්‍රියා 3 වන පරිච්ඡේදය තුළ යේසුස්වහන්සේගේ නාමයෙන් එම කොරා සුවපත් වූයේය.

යේසුස්වහන්සේ තම ගෝලයන් හට උන්වහන්සේගේ නාමය කෙරෙහි බලය හා ආධිපත්‍යය දී තිබුණේය.

යේසුස්වහන්සේගේ නාමය ආධිපත්‍යයෙන් කථා කරන කල සෑම නාමයක්ම, සෑම දණක්ම, සියළු රෝග හා යක්ෂ බලවේග එයට දණ නැමිය යුතුයි.

යක්ෂයාගේ බලවේග යටතේ වහලුන් ලෙස අප සිටිය අතර යේසුස්වහන්සේ අපව එම බන්ධන වලින් නිදහස්කර, දේව පුත‍්‍රයාණන්ගේ රාජ්‍යයට ඇතුල් කරන ලදි. කොලොස්සි 1:13

යේසුස්වහන්සේගේ ආත්මය දැන් අප තුළ වාසය කරන බැවින් එයට විරුද්ධව ක්‍රියා කරන යක්ෂයා අප තුළ ඇති ජීවනය සොරකම් කිරීමට වෙරදරයි.

යේසුස්වහන්සේ අපගේ අභ්‍යන්තරය තුළ වාසය කරන බැවින් යක්ෂයාට කොහෙත්ම ඔබගේ ආත්මය තුළට ඇතුළු වීමට නොහැකි වේ.

පියාණන්වහන්සේ පුත‍්‍රයාණන්, ශුද්ධාත්මයාණන් වන මුළු දේවත්වයම දැන් ඔබ තුළයි. එමනිසා කිසිදු යක්ෂ ආත්මයකට ඔබ තුළට ඇතුල්විය නොහැක.

ඔබ යේසුස්වහන්සේගේ නාමය කථා කළහොත් ඒ තුළින් ජය දීමට උන්වහන්සේ ඔබ තුළම සිටියි.

යේසුස්වහන්සේගේ ගෝලයන් යේසුස්වහන්සේගේ නාමය කථාකරමින් මහත් දේ කළ නිසා ඔවුන්ට පීඩාවන්ට මුහුණ දෙන්නට සිදුවුණි.

යුදෙව් නායකයන් යේසුස්වහන්සේගේ ගෝලයන් හට පැවසුවේ ඒ නාමය කථා නොකරන ලෙසත්, ඒ නාමයෙන් කිසිවෙක් සුවනොකරන ලෙසත්ය.

ක්‍රියා 4:18
තවද ඔව්හු ඔවුන් ගෙන්වා, යේසුස්වහන්සේගේ නාමයෙන් කොහෙත්ම කථා නොකරන ලෙසද නූගන්වන ලෙසද ඔවුන්ට ආඥාකළෝය.

යුදෙව් නායකයන් යේසුස්වහන්සේගේ නාමය කථා නොකරන ලෙස උන්වහන්සේගේ ගෝලයින්ට අණ කරනු ලැබුවෝය.

යේසුස්වහන්සේ මෙසියස්වහන්සේ බව යුදෙව් නායකයන් නොදැන සිටි අතර උන්වහන්සේ කුරුසියේ කළ ක‍්‍රියාව ඔවුන් විශ්වාස නොකළෝය. ඔවුන් එය තේරුම් නොගෙන සිටියේ තමුන්ගේ මනස අන්ධව තිබුණ නිසයි.

ගෝලයන් මේ හාස්කම කළේ යේසුස්වහන්සේගේ මළවුන්ගෙන් නැඟිටීමේ බලය තුළින් කියා යුදෙව් නායකයන් තේරුම් නොගන්නා ලදි.

නමුත් ගෝලයන් නොබියව යාච්ඤා කරමින් තව තව බලවත් වූවෝය.

ක්‍රියා 4:29‭-‬31
දැනුදු ස්වාමිනි, ඔවුන්ගේ තර්ජන බලා සුවකිරීමට ඔබගේ අත දිගුකරන කළ, ඔබගේ වචනය නිර්භීතකමින් කථාකරන්ටත් ඔබගේ ශුද්ධ සේවකයාවූ යේසුස්වහන්සේගේ නාමය කරණකොටගෙන හාස්කම්ද පුදුමද කරන්ටත් ඔබගේ දාසයන්ට වර දුන මැනවයි කීවෝය. ඔවුන් යාච්ඤාකළ පසු, ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පාවිය; ඔවුන් සියල්ලෝද ශුද්ධාත්මයෙන් පූර්ණව, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීත ලෙස කථාකළෝය.

ක්‍රියා 5:12
තවද ප්‍රේරිතයන්ගේ අත්වලින් බොහෝ හාස්කම්ද පුදුම සෙනඟ අතරේ කරනලද්දේය; ඔවුන් සියල්ලෝම එක්සිත්ව සාලමොන්ගේ ද්වාරමණ්ඩපයෙහි සිටියෝය.

ගෝලයන් නොබියව යුදෙව් නායකයන් හට පිළිතුරු දුන්නෝය.

ක්‍රියා 5:28-32
මේ නාමයෙන් නූගන්වන්ට නුඹලාට තදින් ආඥාකෙළෙමුව. එහෙත් නුඹලා නුඹලාගේ ඉගැන්වීමෙන් යෙරුසලම පුරවා, ඒ මනුෂ්‍යයාගේ ලේ අප පිට පමුණුවන්ට සාදන්නහුයයි ඔවුන්ට කීවේය. 5:29 පේතෘස්ද ප්‍රේරිතයෝද උත්තරදෙමින්: මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය. 30 නුඹලා විසින් ගසක එල්ලා මැරුවාවූ යේසුස්වහන්සේව අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ නැගිටෙවුසේක. 31 ඉශ්‍රායෙල්ට පශ්චාත්තාපයත් පව් කමාවත් දෙන අධිපතියෙක්ද ගැළවුම්කාරයෙක්ද වන පිණිස දෙවියන්වහන්සේ තමන්ගේ දකුණතින් උන්වහන්සේව උසස්කළසේක. 32 අපි මේ කාරණාවලට සාක්ෂිකාරයෝය; එසේම දෙවියන්වහන්සේ විසින් තමන්ට කීකරුවෙන්නන්ට දුන් ශුද්ධාත්මයාණන්වහන්සෙත් සාක්ෂිකාරයෙකැයි කීවෝය.

ගෝලයන් මේ දේ කරන්නේ යේසුස්වහන්සේගේ දිව්‍යමය ප‍්‍රඥාවෙන් බව සමහර යුදෙව්වන් තේරුම් ගන්නා ලදි.

ක්‍රියා 5:33-34
ඔව්හු ඒ අසා, අතිශයෙන් කෝපවී, ඔවුන් මරන්ට අදහස්කළෝය. නුමුත් ව්‍යවස්ථාචාර්යයෙක්වූ සියලු මනුෂ්‍යයන් විසින් ගරුකරනලද්දාවූ ගමාලියෙල් නම් එක් ඵරිසියෙක් සභාවෙහි නැගිට සිට, ඒ මනුෂ්‍යයන් ස්වල්ප වේලාවකට පිටතට ගෙනයන්ට අණකොට, කියනුයේ: (කියවන්න ක්‍රියා 5:35-39)

ගැළවීම ලැබුවාට පසු අපට පීඩා පරික්ෂා පැමිණෙනවා යැයි කියමින් බොහෝ අය පීඩා මානසිකත්වයකින් ජීවත්වෙති. එහෙත් අප එසේ සිටිය යුතු නැත.

යක්ෂයා පැමිණෙන්නේ අප තුළ ඇති වචනය සොරකම් කරන්නටය. එමනිසාම අපට පීඩා පැමිණෙනු ඇත.

අප අන්ධකාරයෙන් ආලෝකයට පැමිණ ඇත. එම ස්ථාන මාරුව හේතුවෙන් මනුෂ්‍යයා අපට එරෙහිව පීඩා කරනු ඇත. එහෙත් යේසුස්වහන්සේ අපව අත්නෑර අප සමඟම සිටිනු ඇත.

ගෝලයින් යේසුස්වහන්සේගේ නාමය නිසා ඔවුන්ට විඳින්ට වූ පීඩා ගැන සන්තෝෂ වූවෝය.

ඔවුන් පීඩා නිසා ඔවුන්ගේ සේවය නතර කළේ නැත.

ක්‍රියා 5:40‭-‬42
ඔව්හු ඔහුගේ වචනයට එකඟවී, ප්‍රේරිතයන් තමුන් වෙතට ගෙන්වා, ඔවුන්ට තළා, යේසුස්වහන්සේගේ නාමයෙන් කථා නොකරන්ට අණකොට යන්ට හැරියෝය. එහෙයින් ඔව්හු ඒ නාමය නිසා නින්දා විඳින්ට තුමූ වටින්නෝයයි ගණන්ගනු ලැබූ බැවින් සන්තෝෂව, සභාව ඉදිරියෙන් පිටත්ව ගොස්, දවස්පතාම දේවමාළිගාවේදීත් ගෙදරදීත් ඉගැන්වීමෙන්ද යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි දේශනාකිරීමෙන්ද නොනැවතුණෝය.

යේසුස්වහන්සේගේ නාමය නිසා පීඩා විඳීමට තමුන් වටින බව ගෝලයන් ඒත්තුගන්නා ලදි.

යේසුස්වහන්සේගේ අප උදෙසා කළාවූ පූජාවට අනුව අපට උන්වහන්සේ උදෙසා පීඩා ඉසිලීම මහඟු දෙයකි.

මතෙව් 10:16
වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.

අපි යේසුස්වහන්ගේ ප‍්‍රඥාව ඇතුව ජීවත්වෙමින් ජීවිතයේ දකින දේවලට නොසැලී සිටිමු.

සමහර මනුෂ්‍යයන් ඔබට පීඩා කළ හැකිය. නමුත් ඒ පිටුපස සිටිමින් ක්‍රියා කරන්නේ යක්ෂයාය.

මතෙව් 10:17‭-‬18
නුමුත් මනුෂ්‍යයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. මක්නිසාද ඔවුන් නුඹලා මන්ත්‍රණසභාවලට පාවාදී, ඔවුන්ගේ සිනගෝගවලදී නුඹලාට තළනවා ඇත; ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් පිණිස නුඹලා මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනවා ඇත.

යේසුස්වහන්සේගේ ගෝලයන් මේ ඉගැන්වීම් දැන සිටි බැවින් ඔවුන්ට පීඩා පැමිණුනේ වචනය නිසාම බව ඔවුන් තේරුම් ගත්තෝය.

මතෙව් 10:19
නුමුත් ඔවුන් නුඹලා පාවාදෙන කළ, නුඹලා කථාකරන්නේ කෙසේද, කුමක්දැයි සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද නුඹලා විසින් කිය යුතු දේ ඒ පැයේදී නුඹලාට දෙනු ලබන්නේය.

අප ක‍්‍රිස්තුස්වහන්සේ තුළ සිටින බැවින් ලෞකික මනුෂ්‍යයන්ට අපගේ ක‍්‍රියාවන් තේරුම් ගැනීමට නොහැකිය. ඒ අයට පිළිතුරු දෙන පිණිස දෙවියන්වහන්සේ අපට උගතුන්ගේ දිවක් දී ඇත. යෙසායා 50:4

මතෙව් 10:20
මක්නිසාද කථාකරන්නේ නුඹලා නොව නුඹලා තුළ කථාකරන නුඹලාගේ පියාණන්ගේ ආත්මයාණෝය.

ඔබ ආත්මයාණන් තුළින් කථා කරන කළ මනුෂ්‍යයන් පුදුම වනු ඇත.

මතෙව් 10:22
නුඹලා මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛරකරනු ලබන්නහුය. නුමුත් අන්තිම දක්වා ස්ථිරව සිටින්නාම ගැළවෙන්නේය.

මතෙව් 10:23
ඔවුන් එක් නුවරකදී නුඹලාට පීඩාකරන කළ ඊළඟ නුවරට දුවන්න. මක්නිසාද සැබවක් නුඹලාට කියමි: මනුෂ්‍ය පුත්‍රයා එනතෙක් නුඹලා ඉශ්‍රායෙල්ගේ සියලු නුවරවල ඇවිද කෙළවර නොකරන්නහුය.

ගෝලයන් යේසුස්වහන්සේගේ මෙම ඉගැන්වීම් අනුගමනය කළහ. ඔවුන්ට පීඩා පැමිණුන කල ඔවුන් ගමින් ගමට ගොස් සේවය කළෝය.

ඔවුන් පීඩාවලට නොසැලී එලෙස වචනය ප‍්‍රචලිත කළ නිසා අද ලොව පුරා සුභාරංචිය පැතිරී ඇත.

මනුෂ්‍යයන් ඔබට පීඩා කරන කල භය නොවන්න. මන්ද ඔවුන් පිටුපස සිටින්නේ යක්ෂයාය. යක්ෂයාට දෙවියන්වහන්සේගේ දේ නතර කළ නොහැක. අද ලොව මුලුල්ලේ දෙවියන්වහන්සේගේ වචනය පැතිර ඇත. අපට හමුවන මනුෂ්‍යයන් හට අප දෙවියන්වහන්සේගේ වචනය පැවසිය යුතුය. මතෙව් 10:24-27

යේසුස්වහන්සේ අපට පැවසුවේ භය නොවන්න කියාය. එමනිසා අප භය නොවී ජීවත් විය යුතුයි.

මතෙව් 10:28
ශරීරය නසන නුමුත් ආත්මය නසන්ට නුපුළුවන්වූ අයවලුන්ට භය නොවෙන්න.

නිරයට යන්නන්ගේ ලැයිස්තුවේ මුලින්ම සිටින්නේ භය වන්නන්ය. එළිදරව් 21:8

අපගේ ජීවිතයේ තීරණ ගැනීමේදී හෝ කුමන අවස්ථාවකදී වූවත් අප භිය නොවිය යුතුය. මතෙව් 10:31

යේසුස්වහන්සේ සමාදානයේ කුමාරයාණෝය. උන්වහන්සේ සමාදානය දුන්නේ ලෝකයාට නොව අපගේ හදවත් තුළටය. මතෙව් 10:34

ඔබ යේසුස්වහන්සේ පිළිගෙන ආලෝකය තුළ ජීවත් වන්නේය. මනුෂ්‍යයන් සිතන්නේ මාංසාකාරයෙන්ය. ඔවුන් අපව දකිනුයේ වෙනස් පුද්ගලයන් ලෙසිනි. ඔවුන්ගේ සිතුවිලි ක‍්‍රියාවන් හා අප නොපෑහෙන කළ එය භේදයක් බවට පත්වේ. මතෙව් 10:35

අපට යේසුස්වහන්සේ පෙන්වූ ප්‍රේමය උතුම්ම ප්‍රේමයයි. අපව වෙනස් කළේ ඒ ප්‍රේමයය.

උන්වහන්සේ අප තෝරාගත් හෙයින් අප සතුටුව ස්තූති කළ යුතුය. මන්ද උන්වහන්සේ පීඩා ගැන පැවසුවේ මෙසේය.

මතෙව් 10:37-39
මට වඩා පියාටවත් මවුටවත් ප්‍රේමකරන්නා මට සුදුසු නොවේ; මට වඩා පුතාටවත් දුවටවත් ප්‍රේමකරන්නා මට සුදුසු නොවේ. තමාගේ කුරුසිය රැගෙන මා අනුව නේන තැනැත්තා මට සුදුසු නොවේ. තමාගේ ජීවිතය ආරක්ෂා කරගන්නාට ඒක නැතිවේ; මා නිසා තමාගේ ජීවිතය නැතිකරගන්නාට ඒක සම්බවේ.

යේසුස්වහන්සේ අපව අත් නොහැර සැමදා අප සමඟ සිටින සේක. මතෙව් 10:41-42

දේව රාජ්‍යය ආරම්භ වන්නේ කුණු නොවන්නාවු බීජයකිනි. අපගේ හදවත්වල පැල කළ ඇත්තේ එම බීජයයි. එම බීජය නම් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේය. එනම් දේව වචනයයි.

යේසුස්වහන්සේ වපුරන්නාගේ උපමාවෙන් පෙන්නුම් කළේ මෙම කුණු නොවන්නාවූ බීජයයි.

වපුරන්නා වපුරන ලද දේව රාජ්‍යයේ සුභාරංචිය නැමැති බීජය උදුරා ගැනීමට සතුරා බලා සිටියි. මතෙව් 13:19

අප වචනය හරියාකාරව තේරුම් ගතහොත් අපට ඵල දැරීමට පුළුවන.

අප වචනය අසා ඒ තුළ මුල් බැසිය යුතුය. එය අපගේ උරුමයයි.

වචනය ඇසූ සැනින් ඔබ ප‍්‍රීතියෙන් එය පිළිගත් නමුත් ඔබ ඒ තුළ මුල් ඇද නොසිටියහොත් යක්ෂයා එල්ල කරන්නාවූ ප‍්‍රහාරයන්ට ඔබ හසු වනු ඇත. එය ගල්බිම්වල වපුරන ලද බීජ වලට සමානවේ.

මතෙව් 13:20‭-‬21
ගල් බිම්වල වපුරනලද්දේ නම්, වචනය අසා එකෙණෙහිම සන්තෝෂයෙන් පිළිගන්න තැනැත්තාය; එහෙත් තමා තුළ මුල් නැති බැවින්, ඔහු මඳ කළක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කෙණෙහිම බාධාවන්නේය.

යක්ෂයාට අවශ්‍ය වන්නේ මෙම වචනය යටකිරීමටත් ඔබ මුල් ස්ථානය නොදී ජීවත්වීමටත්ය. වචනය තේරුම් නොගෙන සිටීමෙන් ඔහුට එය උදුරා ගැනීමට හැකිවේ. එයින් වචනයෙන් පැමිණෙන ආශීර්වාදය යටකිරීමට තැත් කරන්නේය.

අප මෙම කටු බිමෙහි වැටුනාවු බීජ මෙන් වුවහොත් කවදාවත් ඵල නොදරනු ඇත.

ඔබ සරුබිමෙහි වැටුනාවූ බීජ මෙන් වන්න. එවිට ඔබ ක‍්‍රමක් ක‍්‍රමයෙන් ඵල දරනු ඇත.

දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබ වර්ධනයවීමයි.


Watch the Sermon Video

Read 443 times