+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පීඩාවන්වලට භය නොවන්න - මනූ මැතානි
February 12, 2023 Sunday Sermon Notes

 

 පීඩා පරික්ෂා පැමිණෙන කළ අප භිය නොවිය යුතුයි. මන්ද එයින් ගැළවෙන මාර්ගයද ස්වාමීන්වහන්සේ අපට පෙන්වා දී ඇත.

අපගේ ජීවිත දෙවියන්වහන්සේට කැපකළ පසු මේ ලෝකයේ දෙවියා වන යක්ෂයා එයට නොකැමැතිව අපට බාධා පීඩා ගෙනෙනු ලබයි. එහෙත් අප ඒවා අභිබවා යා යුතුය.

එයින් ගැළවෙන මාර්ගයක් දෙවියන්වහන්සේ පිළියෙල කර ඇති බව අප විශ්වාස කළ යුතුය.

1 කොරින්ති 10:13
මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.

පරීක්ෂා, පීඩා, කරදර, හිංසා ඇති වන කල, මනුෂ්‍යයා ඔබව ලැජ්ජාවට පමුණුවන්නට උත්සාහ කරන සෑම අවස්ථාවකදීම ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ තුළ වාසය කරන බව විශ්වාස කරන්න. ඒ තුළින් උන්වහන්සේ ඔබව සනසමින් එයින් ගැළවෙන මාර්ගය ඔබට පෙන්වා දෙයි.

මෙළොව අපට කළ හැකි උසස්ම තීරණය වන්නේ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේව අපගේ ස්වාමීන් ලෙස පිළිගැනීමය.

ගැළවීම ඉතා වටිනා දෙයකි. එය කිසිවිට මනුෂ්‍යයෙකු විසින් තව මනුෂ්‍යයෙකු හට දිය හැකි දෙයක් නොවේ.

මනුෂ්‍යයන්ට සුභාරංචිය ගෙන එන පිණිස දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන් පාවිච්චි කරමින්, මනුෂ්‍යයන්ට ගැළවීම, මිදීම, පාපයට සමාව, නව ජීවනය ලබා ගැනීමට අවස්ථාවක් ලබා දේ.

අප නව මැවිල්ලක් වූ පසු දෙවියන්වහන්සේ අපව උන්වහන්සේගේ තානාපතියන් ලෙස පත්කොට ඇත.

අප සෑම කෙනෙක්ම දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන්ය.
පේත‍්‍රැස් භියව යේසුස්වහන්සේව හඳුනන්නේ නැහැ කීවාසේ අප පීඩාවන්ට භිය නොවිය යුතුය.

අපගේ ආලෝකය මනුෂ්‍යයන් ඉදිරියේ බැබළිය යුතුය.

සමාදානයේ කුමරුන් ලෙස හැඳින්වෙන යේසුස්වහන්සේ අප වෙතට කඩුවක් රැගෙන එනවායැයි පැවසීමෙන් අර්ථවත් වන්නේ උන්වහන්සේ පැමිණෙන්නේ අපව ලෝකයෙන්, මාංසයෙන්, ජීවිතයට බාධා ඇතිකරන අයගෙන් වෙන්කිරීමටය.

උන්වහන්සේ කඩුවක් සේ පැමිණෙන කල ඔබ මාංසයෙන් ගමන් කරමින් ලෝකයා සමඟ ජීවත්වන්නේද, නැතහොත් දෙවියන්වහන්සේ සමඟ ජීවත්වන්නේද යන තෝරා ගැනීම ඔබ කරන පිණිසය.

යේසුස්වහන්සේ පැමිණියේ භේද ඇති කරන්නට නොව, උන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබගේ කැපවීම දකින්නටයි.

ඔබගේ ගැළවීම ගැන ඔබට නියත විශ්වාසයක් තිබිය යුතුය.

අප දෙවියන්වහන්සේ ඉදිරියේත්, මනුෂ්‍යයා ඉදිරියේත් එක සිතකින් දෙවියන්වහන්සේගේ ආලෝකයෙන් ජීවත්විය යුතුය. දෙසිත් ඇතිව ජීවත් නොවන්න.

අපි දේව වචනය කියවීම තෝරාගත යුතුයි. එම වචනය අපව ශක්තිමත් කරනු ඇත.

අපි තීරණ ගැනීමේදී ඉවසීමෙන් ක්‍රියා කරමින් සිටිමු.

දෙවියන්වහන්සේ සමහරුන්ගෙන් අපව වෙන් කරන්නේ අපේම යහපත උදෙසාය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත එක සිතකින් එක මනසකින් අප උන්වහන්සේට කැපවීමය. අපි දෙවියන්වහන්සේට කැපවීමෙන් ජීවත් වෙමු.

අප මුලින් ජීවත්වූයේ භයාදුකමෙන්ය. නමුත් දෙවියන්වහන්සේ අපගේ භයාදුකමේ ආත්මය ඉවත්කර අපට පුත‍්‍රකමේ ආත්මය දෙනු ලැබුවේය.

දෙවියන්වහන්සේ අපට බලයේ ප්‍රේමයේ හික්මවීමේ මනසක් දී ඇත.

මනුෂ්‍යයෙකුගේ ගැළවීම ඉතා අගනේය. (ගීතාවලිය 49:8)

මනුෂ්‍යයෙකුගේ හැරීමට, සැබෑ වෙනසකට මනුෂ්‍යයන් සතුටු නොවන්නේ එයට බාධා කරන්නෙක් සිටින නිසාය.

අපගේ ඇදහිල්ලට බාධා ගෙන ඒමෙන් පීඩා කරන්නේ යක්ෂයාය.

මේ ලෝකයේ දෙවියා මනුෂ්‍යයන්ගේ මනස් අන්ධකර තිබෙනවා.

2 කොරින්ති 4:4
නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබෙළන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.

පීඩා මධ්‍යයේ, ප්‍රශ්න තිබියදීත් ස්වාමීන්වහන්සේ අප සමඟයි.

ගීතාවලිය 49:6‭-‬8
ස්වකීය ධනය විශ්වාසකරන්නාවූ, තමුන්ගේ වස්තු වැඩිකමෙන් අහංකාර වෙන්නාවූ කිසිවෙක්, තමාගේ සහෝදරයා සදාකල් ජීවත්වන පිණිසද කුණුවීම නොදක්නා පිණිසද ඔහු නිදහස්කරන්ටවත් ඔහු උදෙසා දෙවියන්වහන්සේට මිදීමේ මිලයක් දෙන්ටවත් කිසිසේත් සමර්ථ නොවේ.

ස්වාමීන්වහන්සේ අපට මේ ගැළවීම දී තිබෙන්නේ නොමිලේය.

දෙවියන්වහන්සේ අපට සදාකාල ජීවනය දී තිබෙන්නේ නොමිලේය. රෝම 6:23

මනුෂ්‍යයෙකුට මුදල්වලින් ගැළවීම ලබා ගත නොහැක.

තම හදවතිත් ගැළවීමේ මාර්ගය යේසුස්වහන්සේ බවත්, උන්වහන්සේ මා වෙනුවෙන් කුරුසියේ පූජාවූ බවත්, උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිටි බවත් විශ්වාස කරමින් උන්වහන්සේ ස්වාමීන් බව කියන්නාවූ පුද්ගලයාට ගැළවීම තිබේ.

ගැළවීමේ මාර්ගය අපට කිසිදා වෙනස් කළ නොහැක.

ගැළවීම තුළින් කිසිදා අපගේ සමාදානය නැති නොවේ. අපගේ සමාදානය දෙවියන්වහන්සේය.

යොහන් 14:27
නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.

යේසුස්වහන්සේ පැමිණියේ අපගේ අභ්‍යන්තරයට දිව්‍යමය සමාදානය දෙන පිණිසයි.

රෝම 16:20
සමාදානයේ දෙවියන්වහන්සේද නොබෝ කලකින් සාතන් නුඹලාගේ පාද යට දමා පොඩිකරනසේක. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය නුඹලා සමඟ වේවා.

පීඩා පවතින්නේ ස්වල්ප කාලයක් පමණි. මන්ද සමාදානයේ දෙවියන්වහන්සේ අප තුළය. උන්වහන්සේ යක්ෂයාව අපගේ පාද යට දමා පොඩිකරනු ඇත.

2 කොරින්ති 1:3‭-‬4
දයාබර කරුණාවල පියවූද සෑම සැනසිල්ලේ දෙවිවූද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. අපි දෙවියන්වහන්සේගෙන් යම් සැනසිල්ලක් ලැබුවෙමුද, ඒ සැනසිල්ල කරණකොටගෙන කොයි පීඩාවක් නුමුත් විඳින්නන් සනසන්ට අපට පුළුවන්වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක.

ස්වාමීන්වහන්සේගේ සැනසිල්ල අපට සැනසීම සහ ශක්තිය ගෙන දෙන්නේය.

අප ගැළවීම ලැබීමට පෙර යක්ෂයාගේ පීඩා මධ්‍යයේ සිටියද, ගැළවීම ලැබුවාට පසු ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ සිටිමින් අපව සනසවමින් ගැළවෙන මාර්ගය අපට පෙන්වනු ලබයි.

යොහන් 14:26
නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවනසේක.

පීඩාවකදී අපට අවශ්‍යය වන්නේ සැනසීමයි.
පරණ ගිවිසුම කාලයේ සැනසිලිකාරයෙකු සිටියේ නැත. නමුත් දැන් අපව පීඩාවේදී සනසන්නට සැනසිලිකාරයාණෝ ලඟ සිටියි.

දේශනාකාරයාගේ පොත 4:1
නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නුමුත් සනසන්නෙක් නොසිටියේය.

ඔබ මනුෂ්‍යයන් සමඟ කිසිදා වෛර බැඳ නොගන්න. මේ පීඩාවන් පිටුපස ක්‍රියාකරන්නේ යක්ෂයාය.

ඔබ සාක්ෂිකරුවෙකු මෙන් ජීවත් වෙන්න. අප තුළ තිබෙන්නේ දිව්‍යමය ප්‍රේමයද, දිව්‍යමය සමාදානයයි.

1 පේතෘස් 3:13-14
තවද නුඹලා යහපත් දෙය ගැන ජ්වලිතව සිටිහු නම්, නුඹලාට අනතුරු කරන්නේ කවුද?
එහෙත් නුඹලා ධර්මිෂ්ඨකම නිසා දුක්විඳින නුමුත් ආශීර්වාදලද්දහුය. ඔවුන්ගේ භයගැන්වීමට භයවෙන්ටවත් කැලඹෙන්ටවත් එපා;

ඔබ හරි දේ කරන කල ආශීර්වාදලද්දෙකි.

ඔබ කිසිවක් ගැන භය නොවන්න. ඔබගේ හදවතේ භය වන සියලු දේ ඔබගේ ජීවිතයේ සිදුවේ.

යෝබ් 3:25
මක්නිසාද මා භයවන දේ මට මා භයපත්කරන දේ මට සිද්ධ වෙන්නේය.

ඔබ පීඩා තුළින් ගමන් කළත් ඔබගේ ඇදහිල්ල නැති නොකර ගන්න.

යේසුස්වහන්සේ ජයගත් නමුත් ඔබ අතිශයින් ජයගත් කෙනෙකුය.

යක්ෂයා ඔබට ප‍්‍රහාර එල්ල කරනුයේ මනුෂ්‍යයා තුළින්ය.
දෙවියන්වහන්සේ ඔබට ඇදහිල්ලේ පලිහද ආත්මික කඩුවද දී තිබෙන නිසා ඒවා පාවිච්චි කරන්න.

යක්ෂයාගේ ගිණිහෙලි වලට භිය නොවන්න, එයට එරෙහි වන්න.

එපීස 6:16
ඒ සියල්ල ඇර, ඇදහිල්ල නැමති පලිහ අරගන්න. එයින් නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවන්ට නුඹලාට පුළුවන්වන්නේය.

යක්ෂයාගේ මේ ගිනිහෙලි මිසයිල හා සමානය.

යක්ෂයා කිසිදා ඔබට අනුකම්පා නොකරයි. ඔහු තුළ කපටි ක‍්‍රියා ඇත.

යක්ෂයා ඔබට මෙසේ පීඩා කරන්නේ ඔබ හොඳ කෙනෙකු නිසාත්, කිසි වැරැද්දක් නොකරන නිසාමත්ය. ඒ තුළින් ඔබව අධෛර්මත් කරන පිණිසයි.

සියල්ලට වඩා ඔබගේ සිත (මනස) ආරක්ෂා කර ගන්න.

ඔබ දෙවියන්වහන්සේගේ පොරොන්දු ප්‍රකාශ කරන්න.

හිතෝපදේශ 4:22-23
මක්නිසාද ඒවා සම්බවන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකළ ශරීරයට සුවයත්වේ. සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.

මුලු ශරීරයට මේ දේව වචනය සුවයයි.
දේව වචනය ඔබගේ ශරීරයට ඇතුල් කර ගන්න. දේව පොරොන්දු විශ්වාස කරන්න. දේව වචනය ප‍්‍රකාශකරන්න.

යේසුස්වහන්සේගේ තුවාලවලින් සුවයි කියා ප්‍රකාශ කරන්න.

දේව වචනය අපට සුවයේ ඖෂධයකි. මේ වචනයේ ඖෂධයෙන් අපි ජීවත් වෙමු.

මනුෂ්‍යයා ජීවත්වන්නේ රොටී වලින් පමණක් නොවේ දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන දේව වචයෙනි. (මතෙව් 4:4)

හිතෝපදේශ 3:6‭-‬8
නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත. නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න. ඒක නුඹේ නහරවලට සනීපයද නුඹේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය.

මම නොනැසී, ජීවත්ව සිට, ස්වාමීන්ගේ ක්‍රියා ප්‍රකාශකරන්නෙමි.
ගීතාවලිය 118:17

උන්වහන්සේ ශුද්ධව සිටින සේ මම ශුද්ධව සිටින්නෙමි.

හිතෝපදේශ 4:23
සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.

ඔබ සිත ආරක්ෂා කරගෙන, ඔබගේ සිතට ජීවනයේ වචන ඇතුල් කරගතහොත් සුවයද, නිර්භයව සිටීමටද, යහපත් ආර්ථිකයද යන මේ සියල්ලක්ම ඔබට හිමිකර ගත හැකි වනු ඇත.

ජීවනය නම් සුවයයි, සැපයීමයි.

ස්වාමීන්වහන්සේ එල්ෂැඩායි අපගේ සැපයුම්කරුයි. යෙහෝවා රාෆා අපගේ සුවයයි.

අපගේ යාච්ඤාවේදී ස්වර්ගයේ වැඩවසන්නාවූ දෙවියන්වහන්සේට අප නමස්කාර කළ යුතුයි.

අප තුළට දේව රාජ්‍යය පැමිණ තිබෙන සේම අන් අය තුළටත් දේව රාජ්‍යය පැමිණෙන ලෙස යාච්ඤා කළ යුතුයි.

ස්වර්ගයේ කැමැත්ත මේ පොළොවේ සිදුවෙන්නට යාච්ඤා කරන්න.

ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ කවුළු විවරකර තිබෙන්නේ අපට ආශීර්වාද කරන පිණිසය.

ඔබ කුඩා දෙයකට භයවීමට ඉඩ හැරියහොත් එය විශාල වී ඔබගේ ජීවිතය වෙලා ගන්නේය. යේසුස්වහන්සේ අපව මරණයේ භයින් නිදහස් කළේය.

එපීස 6:17
ගැළවීම නැමති ආරක්ෂාතොප්පියද දෙවියන්වහන්සේගේ වචනය නැමති ආත්මයාණන්වහන්සේගේ කඩුවද ගන්න.

දේව වචනය ඔබගේ කඩුවයි එය ඔබගේ මුඛයෙන් කතා කරන්න.

යේසුස්වහන්සේගේ නාමය දෙවියන්වහන්සේගේ වචනයයි.

උන්වහන්සේගේ මුඛයේ දේව වචනය කඩුවක් වැනිය

එළිදරව් 19:21
අනික් අය අශ්වයා පිට වැඩහුන් තැනන්වහන්සේගේ කඩුවෙන්, එනම් උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු කඩුවෙන්, මරනු ලැබුවෝය. ඔවුන්ගේ මාංසවලින් සියලු පක්ෂීහු තෘප්තියට පැමුණුණෝය.

අප භය නොවී අපගේ කැපවීම දෙවියන්වහන්සේ ඉදිරියේ නොකඩවා තබා ගත යුතුය.

1 පේතෘස් 3:14-15
එහෙත් නුඹලා ධර්මිෂ්ඨකම නිසා දුක්විඳින නුමුත් ආශීර්වාදලද්දහුය. ඔවුන්ගේ භයගැන්වීමට භයවෙන්ටවත් කැලඹෙන්ටවත් එපා; නුමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරන්න. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී සිටින්න, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය.

ඔබ යේසුස්වහන්සේ පිළිගත් කෙනෙක්නම් උන්වහන්සේගේ සාක්ෂිකාරයෙක් ලෙස සාක්ෂි දැරීමට නිතරම සූදානම්ව සිටිය යුතුය.

ක‍්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටෙවූ තැනැන්වහන්සේගේ, ශුද්ධාත්මයාණන්වහන්සේ දැන් අප තුළ සිටිමින් අපව ප‍්‍රාණවත් කරමින් උන්වහන්සේ අපට ජීවනය දෙනු ලබනවා ඇත.

රෝම 8:11
තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක.

ඔබ යහපත් හෘද සාක්ෂියක් ඇතිව සිටින විට කවදා හෝ ඔබට චෝදනා එල්ල කළාවූ අය ලැජ්ජාවට පත්වනු ඇත.

1 පේතෘස් 3:16‭-‬17
නුඹලා නපුර කරන්නහුයයි නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන නුඹලාගේ යහපත් හැසිරීමට දොස්තබන්නන් ලජ්ජාවට පැමිණෙන පිණිස, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින්න. මක්නිසාද නුඹලා යහපත කර දුක්විදීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නම්, නපුර කර දුක්විදීමට වඩා ඒක හොඳය.

ඔබගේ එදිරිවාදීන් කවදා හෝ නම්‍යශීලීව ඔබ ඉදිරියට පැමිණියහොත් ඒ අයව සමච්චලයට ලක් නොකර, ඔවුන්ට ප්‍රේමය දක්වන්න. යේසුස්වහන්සේගේ ගැළවීමේ පණිවිඩය ඔවුන්ට ලබා දෙන්න.

ඔබට නපුර කළාවූ තැනැත්තා ඔබගේ ප්‍රේමණීයවූ හදවත දැක ඔවුන් ඔබට කළාවූ දේවල් ගැන තැවෙන්නට පටන් ගනියි.

නපුරු දේ නොකර යහපත කරන්න. එය දෙවියන්වහන්සේගේ කැමැත්තයි.

මේ පොළොවේ ආත්මික ආශීර්වාදාත්මක ජීවිතයක් ගත කිරීමට ඔබ තෝරාගන්න. මන්ද ඔබ ආශීර්වාද ලද්දෙකි. ඔබ, ඔබ ගැන සුළු නොකරන්න.

යේසුස්වහන්සේ මාගේ ස්වාමීන්, මාගේ සුවයයි, මාගේ සියල්ලයි කියා ඔබේ මුවින් පවසන්න.

ඔබගේ ආත්මික ගමන ගමන් කිරීමට, ඔබට නපුර කළාවු අයට සමාව දී, ඒ අය හා ඇති තික්තකම පහකරගත යුතුය.

ඔබගේ නිදහස හා ඔබගේ සුවය සඳහා එකිනෙකාට සමාව දෙන්න.


Watch the Sermon Video

Read 608 times