+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේගේ නාමයෙන් අපි පීඩා ජයගනිමු- යෝෂා මනූ
February 19, 2022 Sunday Sermon Notes

 

දේව වචනය ඉතා යහපත්ය, එය අපට ඉතා වටිනා වස්තුවකි.

දේව වචනය අපට ජීවන මාර්ගය පෙන්වා දී ඇත.

ගීතාවලිය 16:11
ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය.

දේව වචනය ඉතා වැදගත්ය. ඔබ දේව වචනයට කොතරම් උතුම් ස්ථානයක් දී සලකනු ලබන්නේද, එපමණ ආශීර්වාදයක් ඔබ ලබනු ඇත.

ඔබගේ කුසලාන දේව වචනයෙන් පිරී තිබිය යුතුය.

ඔබ දෙවියන්වහන්සේ කළාවූ දේ පවසමින්, දේව පොරොන්දු ප‍්‍රකාශ කරමින් දිනෙන් දින දේව වචනයෙන් ජීවිතයේ කුසලානය පුරවගන්නා කල ඔබට එම දේවල් අත්දැකිය හැකිය.

අපගේ ප‍්‍රීතියේ සම්පූර්ණකම තිබෙන්නේ දෙවියන්වහන්සේගේ අභිමුඛයේය.

ඔබ තුළ ජීවන බීජය ඇත.

ගලාති 5:22-23
ප‍්‍රීතිය ආත්මයාණන්වහන්සේගේ ඵලයකි.

ඔබ කුමන තත්වයක සිටියත් ඔබගේ ප‍්‍රීතිය නැතිකර නොගන්න.

දේව අභිමුඛත්වය තුළ ඔබ ප‍්‍රීතියෙන් නමස්කාරයෙන් ප‍්‍රශංසාවෙන් සිටින කල ඔබ අවට ඇති වාතාවරණයන් වෙනස් කර ගත හැකි වේ.

ඔබ වචනයෙන් පූර්ණ වුවහොත් ආශීර්වාදය ඔබ තුළ ගලා එනු ඇත.

මනුෂ්‍යයා නිතරම කථා කරන්නේ පීඩා ගැනය. එහෙත් කිතුණුවෙකුගේ මුඛයෙන් පිටවිය යුත්තේ පීඩා ගැන නොව, පීඩා වලින් ජයගත් යේසුස්වහන්සේගේ සාක්ෂියේ වචනයයි. එය ඉතා වැදගත්ය.

යේසුස්වහන්සේගේ නාමයෙන් අප පීඩා වලින් ජයගත යුතුය.

පීඩා මානසිකත්වයක් ඔබ තුළ නොතිබිය යුතුය. මන්ද අප තුළ සිටින්නේ බලවත් තැනැන්වහන්සේය.
1 යොහන් 4:4

උතුම්වූ බලවත්වූ තැනැන්වහන්සේ යේසුස්වහන්සේය.

1 යොහන් 4:4
මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.

ලෝකයේ ප‍්‍රශ්ණ කරදර වලට වඩා ඔබ තුළ සිටින තැනැන්වහන්සේ බලවත්ය.

පරික්ෂා හා පීඩා පැමිණෙන කල එයින් ගැළවෙන මාර්ගයද දෙවියන්වහන්සේ අපට පෙන්වා ඇත. 1 කොරින්ති 10:13

පීඩාව කන්දක් මෙන් විශාල විය හැකි නමුත් අප එයින් ගැළවෙන මාර්ගය සෙවිය යුතුය.

අපට කඳු පහකරන ඇදහිල්ලක් ඇති බව ක‍්‍රිස්තුස්වහන්සේ පැවසූසේක.

මනුෂ්‍යයාට විරුද්ධව පැමිණෙන වාතාවරණයන්, ප‍්‍රශ්න කරදර ජය ගත හැකි ආකාරය යේසුස්වහන්සේ තම ඉගැන්වීම් තුළින් ගෝලයන්ට උගන්වනු ලැබුවේය.

අප ජයගන්නා ආකාරය දැන සිටින කල, පීඩා ප‍්‍රශ්න පැමිණෙද්දී එයට සැහැල්ලුවෙන් මුහුණ දිය හැකි වනු ඇත.

යේසුස්වහන්සේ ශුද්ධාත්මයෙන් පිරී සිටි හෙයින් උන්වහන්සේට සෑම තත්වයන්ගෙන් ජය ගැනීමට හැකිවූයේය. එයාකාරයෙන්ම අපත් ජය ගැනීමට නම්, උන්වහන්සේ තුළ පැවතිය යුතු බව කීසේක.

මාර්ක් 11:12‭-‬14‭,
පසුවදා ඔවුන් බෙතානියෙන් පිටත්ව එද්දී, උන්වහන්සේට බඩගිනි විය. කොළ ඇති අත්තික්කා ගහක් උන්වහන්සේ දුරින් දැක, එයින් යමක් ලැබේදෝ කියා ළඟට ගියසේක. ගස ළඟට පැමිණි කල, කොළ මිස වෙන කිසිවක් සම්බ නොවීය; මක්නිසාද ඒ වනාහි අත්තික්කා වාරය නොවීය. උන්වහන්සේ කථාකොට: මෙතැන් පටන් කිසිකලක කිසිවෙක් නුඹෙන් ඵල නොකාවයි ගසට කීසේක. ඒ කීම උන්වහන්සේගේ ගෝලයන්ට ඇසුණේය.

මෙම ගස කොළ වලින් පිරී ඉතා සශ්‍රීක ගසක් බව පිටතින් පෙන්වනු ලැබූ නමුත් එහි ඵල නොතිබුණේය.

සමහර විට අපි අපගේ ආත්මිකභාවය මනුෂ්‍යයන්ට පිටාතරයෙන් පෙන්නුම් කරන්නට තැත් කළත් අපගේ ඇතුලාන්තරයේ ඵල නොමැතිනම් එයින් කිසි ප්‍රයෝජනයක් නොමැත.

මාර්ක් 11:‬20‭-‬23
ඔව්හු පසුවදා උදේ යන කල අත්තික්කා ගහ මුල පටන් වියළී තිබෙනවා දුටුවෝය. පේතෘස්ද සිහිකොට: රබ්බි, බැලුව මැනව, ඔබ ශාපකළ අත්තික්කා ගහ වියළී තිබේයයි කීවේය. යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටින්න.

යේසුස්වහන්සේ ශාප කළ අත්තික්කා ගස මුල පටන් වියළී තිබෙනවා දුටු ගෝලයන් මවිත වූවෝය.

යේසුස්වහන්සේ මෙසේ කරනු ලැබුවේ මේ තුළින් ඔවුන්ට යමක් උගන්වන පිණිසයි.

උන්වහන්සේ පැවසුවේ, දෙවියන්වන්සේ කෙරෙහී ඇදහිල්ලෙන් සිටින්න කියාය.

ඇදහිල්ලේ කර්තෘ යේසුස්වහන්සේය. හෙබ්‍රෙව් 12:1
උන්වහන්සේ අප තුළ සිටිනසේක.

එහෙයින් දැන් ඇදහිල්ල අප තුළ ඇත.

මාර්ක් 11:‬‬23
සැබවක් නුඹලාට කියමි–කවරෙක් නුමුත් මේ කන්දට කථාකොට: ඉදිරී මුහුදේ වැටෙන්නැයි කියා, තමාගේ සිතින් සැක නොකොට, තමා කියන දේ සිදුවේයයි අදහන්නේ නම්, ඒක ඔහුට සිදුවන්නේය.

කන්දක් උගුලනවා යනු විශාල දෙයකි. යේසුස්වහන්සේ පැවසුවේ කුඩා පීඩාවක් වුවත්, කඳු වැනි විශාල දෙයක් වුවත් ජයගත හැකි ඇදහිල්ලක් අප තුළ තිබෙන බවයි.

ඔබ ඇදහිල්ලේ වචන කථා කළ යුතුය. එවිට ඔබට පැමිණෙන පීඩා ජයගත හැකි වේ.

ඔබ සැක නොකොට ප‍්‍රශ්න වලට ඉවත් වී යන ලෙසට අණ කළ යුතුය.

යේසුස්වහන්සේ කුණාටුව නිශ්චල කිරීමේදී සුළඟට මුහුදට තරවටු කොට නිශ්චල වෙන්නැයි අණ කළසේක. එවිට කුණාටුව නැවතී මහත් නිශ්චලතාවයක් හා සමාදානයක් ඇතිවුණේය. (මාර්ක් 4:39 / මතෙව් 8:23-26)

යේසුස්වහන්සේ කුණාටුව මධ්‍යයේ නිදා සිටිසේක. උන්වහන්සේ කුණාටුව දැක කලබලවූයේ නැත.

අපගේ ජීවිතයේද අප යේසුස්වහන්සේව නිතරම උදාහරණයට ගත යුතුය. ප‍්‍රශ්න කරදර එන කල අප කලබල විය යුතු නැත.

යේසුස්වහන්සේ කන්ද ගැන කථා කරන්නයැයි කීවේ නැත. උන්වහන්සේ පැවසුවේ කන්දට කථා කරන ලෙසයි.

අපද ප‍්‍රශ්න පීඩා ගැන කනස්සලු වෙමින් ඒ ගැන කථා නොකර ප‍්‍රශ්නයට කථා කළ යුතුය.

ඔබගේ ප‍්‍රශ්න ගැන නිතරම කථා කරමින් යක්ෂයාට තවත් පහර දීමට ඔබ ඉඩ නොදෙන්න.

අප යක්ෂයාට ඉඩ දෙනු ලබන්නේ අපගේම වචන වලිනි.

හිතෝපදේශ 6:2
නුඹේ මුඛයේ කීම්වලින් පටලැවී, නුඹේ මුඛයේ කීම්වලින් අසුවී සිටින්නෙහි නම්,

මරණයත් ජීවනයත් නික්මෙන්නේ අපගේ මුඛයෙන්ය.

ප‍්‍රශ්නයට දුරුවීමට අණ කරන්න, ඉන්පසු එය දුරුවුණේ යැයි සිතා දෙවියන්වහන්සේට නොකඩව ස්තුති කරන්න.

ඔබගේ ප‍්‍රශ්නය මුලුමනින්ම දුරුවුනේයැයි සිතින් සැක නොසිතා අදහන්න.

ප‍්‍රශ්නයෙන් ගැළවෙන මාර්ගය දෙවියන්වහන්සේගෙන් දැනගත යුතුය.

1 කොරින්ති 10:13
මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.

දෙවියන්වහන්සේ විශ්වාසවන්තයි. උන්වහන්සේ සාදන මාර්ගයෙන් අපට නිසැකයෙන්ම පීඩාවන්ගෙන් ජය ගත හැකිය. එම නිසා අප පීඩා මානසිකත්වයෙන් මුළුමනින්ම මිදිය යුතුය.

මතෙව් 10:17‭-‬18
නුමුත් මනුෂ්‍යයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. මක්නිසාද ඔවුන් නුඹලා මන්ත්‍රණසභාවලට පාවාදී, ඔවුන්ගේ සිනගෝගවලදී නුඹලාට තළනවා ඇත; ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් පිණිස නුඹලා මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනවා ඇත.

යේසුස්වහන්සේගේ නාමය උදෙසා පීඩා ගෙනෙන මනුෂ්‍යයන් පිටුපස සිටින්නේ යක්ෂයාය.

මතෙව් 10:22
නුඹලා මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛරකරනු ලබන්නහුය. නුමුත් අන්තිම දක්වා ස්ථිරව සිටින්නාම ගැළවෙන්නේය.

යේසුස්වහන්සේගේ නාමයෙන් සුභාරංචිය ප‍්‍රකාශ කරන කල පීඩා පැමිණියත් සාක්ෂි දැරීම නතර නොකර වෙනත් ස්ථානයකට ගොස් එය ප‍්‍රකාශ කරන්න.

පාවුල්තුමා සාවුල්ව සිටියදී කිතුනුවන්ට බොහෝසේ පීඩා කළේය. නමුත් යෙරුසලමේ සභාව වෙනත් ස්ථාන වලට විසිර යමින් තම ශුභාරංචි සේවය නොකඩවා කරනු ලැබුවෝය. ක‍්‍රියා 8:1-3

මතෙව් 10:23
ඔවුන් එක් නුවරකදී නුඹලාට පීඩාකරන කල ඊළඟ නුවරට දුවන්න. මක්නිසාද සැබවක් නුඹලාට කියමි: මනුෂ්‍ය පුත්‍රයා එනතෙක් නුඹලා ඉශ්‍රායෙල්ගේ සියලු නුවරවල ඇවිද කෙළවර නොකරන්නහුය.

යේසුස්වහන්සේගේ පැවසු දේ ගෝලයන් ක‍්‍රියාවට දැමුවෝය.

මතෙව් 13:20‭-‬21
ගල් බිම්වල වපුරනලද්දේ නම්, වචනය අසා එකෙණෙහිම සන්තෝෂයෙන් පිළිගන්න තැනැත්තාය; එහෙත් තමා තුළ මුල් නැති බැවින්, ඔහු මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කෙණෙහිම බාධාවන්නේය.

මාර්ක් 4:16-17
එසේම ගල්බිම්වල වපුරනලද්දෝ නම්, වචනය ඇසූ කෙණෙහිම ප්‍රීතියෙන් පිළිගන්න නුමුත්,
17 තමුන් තුළ මුල් නැති බැවින් මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කල්හි, එකෙණෙහිම බාධාවන්නෝවෙත්.

ඔබ වචනය පිළිගත් කල එයට මුල් ඇදීමට ඉඩ දෙන්න. වචනය හදවත තුළ මුල් ඇද ස්ථීර වීම ඉතා අවශ්‍යය.

ඔබ වචනයෙන් පූර්ණවීමෙන්, වචනය නිසාම පීඩාවක් හෝ හිංසාවක් පැමිණෙන කල බාධා නොවන්නේය.

ඔබ වචනය තුළ මුල් ඇද සිටින විට සශ්‍රීක ගසක් හා සමාන වනු ඇත. ගීතාවලිය 1:2-3

අපට පීඩා පැමිණෙන්නේ වචනය නිසාය.

මතෙව් 5:10‭-‬12
ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය. මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාදලද්දෝය. ප්‍රීතිවෙන්න, ඉතා සන්තෝෂවෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය.

ධර්මිෂ්ඨකම යනු දෙවියන්වහන්සේ සමඟ හරි සම්බන්ධකමක් ඇතුව සිටීමය.

පීඩා පැමිණෙන කල ඔබ ආශීර්වාද ලද්දෙක්යැයි පවසන්න.

පීඩා කරන්නන් අපට අගුණ කියන්නේ බොරුවෙන්ය. අපගේ හෘදයසාක්ෂිය අප නිවැරදි බව දන්නා හෙයින් භිය නොවන්න.

බොරුවේ පියා යක්ෂයාය. යොහාන් 8:44

පීඩාවේදී ප‍්‍රීතිවන්න. එය මාංසයෙන් අපහසුය, නමුත් අප ජීවත්වන්නේ ඇදහිල්ලෙන්ය.

දෙවියන්වහන්සේ අපව කැඳවා ඇත්තේ පෙනීමේ ගමනකට නොවේය. 2 කොරින්ති 5:7

පෙනීමේ ගමන තාවකාලිකය, ප‍්‍රශ්ණය පීඩාව තාවකාලිකය.

මතෙව් 23:34
එබැවින් මම අනාගතවක්තෘවරුන්ද ප්‍රඥාවන්තයන්ද ලියන්නන්ද නුඹලා ළඟට එවමි. නුඹලා ඔවුන්ගෙන් සමහරෙකු මරන්නහුය, කුරුසියෙහි ඇණගසන්නහුය; සමහරෙකුට නුඹලාගේ සිනගෝග වලදී තළා, ඔවුන් නුවරින් නුවරට එළවමින් පීඩාකරන්නහුය.

ලූක් 6:22‭-‬23
මනුෂ්‍ය පුත්‍රයා නිසා මනුෂ්‍යයන් නුඹලාට වෛරකරන කලද තමුන්ගේ සමාගමෙන් නුඹලා වෙන්කර, නුඹලාට නින්දාකර, නුඹලාගේ නාමය නපුරුයයි පහකරන කලද නුඹලා ආශීර්වාදලද්දෝය. ඒ දවසේදී ප්‍රීතිවෙන්න, ප්‍රීතියෙන් නටන්න. මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. ඔවුන්ගේ පියවරු අනාගතවක්තෘවරුන්ටත් එසේම කළෝය.

ඔබ පීඩා මානසිකත්වයේ ජීවත් නොවී සන්තෝෂවන්න.

අපි පීඩා ජයගනිමු.

දෙවියන්වහන්සේ මට ගැළවීමේ මාර්ගයක් පිළියෙල කර ඇති බව විශ්වාස කරන්න.


Watch the Sermon Video

Read 500 times