+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

 

යේසුස්වහන්සේගේ නාමය නිසා පීඩා හා පරීක්ෂාව ඉවසන මනුෂ්‍යයා ආශීර්වාදලද්දෙකුය - යෝෂා මනූ
April 2, 2023 Sunday Sermon Notes

 

අපි යේසුස්වහන්සේ උදෙසා ජීවත්වන සෙනඟක් වෙමු.

යේසුස්වහන්සේ විශාල මිලයක් ගෙවා, අපි වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය මුළුමනින්ම පූජා කළේය.

නමුත් අපි කුඩා ප‍්‍රශ්නයකට හෝ කරදරයකට සැලෙන්නේ නම්, නැතහොත් මේ ගමන අතහැර උන්වහන්සේවත් අතහැර නැවත හැරී යන්නේ නම් එයට හේතුව වන්නේ අපි ඇදහිල්ලෙන් ස්ථීර නොවීම නිසාය.

ඒවගේම මෙසේ කිරීමට හේතු වන්නේ වචනය තුළින් අපට යේසුස්වහන්සේ සමඟ සම්බන්ධකමක් නොමැති නිසාත් සමහර විට අපට පැමිණෙන පීඩා දරා ගැනීමට නොහැකිවීම නිසාත් විය හැකියි.

ලෝකයාගෙන් එන පීඩනය දරා ගැනීමට නම් අප දිනපනා දේව වචනය තුළ පැවතිය යුතුමය. එය ස්ථීර වචනයකි. උන්වහන්සේ වචනය තුළින් ඔබට කතා කරනු ඇත. දේව හඬ ඇසෙන්නේ, දේව වචනය තුළිනි.

එළියා අනාගතවක්තෘතුමාට දේව හඬ ඇසුණේ කුණාටුව නැතහොත් හුළඟ තුළින්වත්, පොළෝකම්පාව තුළින්වත්, ගින්න තුළින්වත් නොව, සියුම් වූ නිශ්චලතාවේ හඬක් තුළිනි. (1 රාජාවලිය 19:11-12 )

ස්වාමීන්වහන්සේ අපට කථා කරන්නේද සියුම්, මිහිරි, නිශ්චල වූ, හඬින්ය. අප ඒ හඬ අවධානයෙන් ඇසිය යුතුයි.

අහස පොළොව පහව ගියත්, දෙවියන්වහන්සේගේ වචනය කවදාවත් පහ වී නොයයි. එය ස්ථීර වචනයකි. එම ස්ථීර වචනය තුළ අපි පවතිමු.

පීඩා, පරීක්ෂා, සෝදිසිකිරීම් පැමිණියත් යේසුස්වහන්සේගේ නාමය නිසා දේව ප්‍රේමයෙන් කිසිකෙනෙකුට ඔබව වෙන් කළ නොහැකිය. මන්ද, ඔබ දේව ප්‍රේමය තුළ ස්ථීරව සිටින හෙයිනි.

ඔබ උන්වහන්සේට ප්‍රේම කරන්නේ උන්වහන්සේ ඔබට ප්‍රේම කළ නිසාය. ඒ ප්‍රේමයෙන් අප මනුෂ්‍යයාටත් ප්‍රේම කරමු.

කුරුසියේ අර්ථය නම්, යේසුස්වහන්සේ අපට ප්‍රේම කළ බවත්, අපි උන්වහන්සේට ප්‍රේම කරන බවත්, ඒ ප්‍රේමයෙන් අපි අපේ සහෝදර සහෝදරියන්ට ප්‍රේම කළ යුතු බවත්ය.

යේසුස්වහන්සේ අප වෙනුවෙන් මේ පොළාවට ඇවිත් උන්වහන්සේ සිටින ස්ථානයට අපව ඔසවා ගත්සේක. උන්වහන්සේ අපට කළ දේ ඒ ශුභාරංචිය, අප අන් අපට ප‍්‍රකාශ කළ යුතුයි.

යේසුස්වහන්සේගේ නාමය නිසා පීඩා පරීක්ෂා ඉවසන මනුෂ්‍යයා ආශීර්වාද ලද්දෙක්ය.

ඉවසීම ඉතා වටිනා දෙයකි. අප ඉවසීමට තීරණය කර ගනිමු.

යේසුස්වහන්සේ කුඩා බිළිඳෙකුව සිටි කාලයේ යක්ෂයා උන්වහන්සේව මරන්නට තැත් කරද්දී, යෝසෙප් හා මරියා දෙදෙනාම චචනය තුළ ශක්තිමත් වී සිටියහ.

දෙවියන්වහන්සේ යෝසෙප් හා මරියාට මඟ පෙන්වූසේක. විශේෂයෙන් යෝසෙප්ට සිහින තුළින් කථා කරන ලද්දේය.

ස්වාමීන්වහන්සේගේ දූතයා මරියාට දර්ශනය වී ගැළවුම්කරුවාණන් ඇයගේ කුස තුළින් බිහිවෙන්නට යන බවත් එය සිදුවන්නේ ශුද්ධාත්මයාණන් කරණකොටගෙන බවත් සැලකරන ලදි. (ලූක් 1:26-38 )

යෝසෙප්ට ගැළවුම්කරුවාණන්ගේ උපත සිදුවන ආකාරය ගැනත්, දරුවා ආරක්ෂා කරගත යුතු ආකාරය ගැනත්, ස්වප්න මඟින් මඟ පෙන්වන ලදි. (මතෙව් 1:20, 2:13, 19, 22)

ඔවුන් දෙදෙනාම එක්ව ගමන් කළ නිසා උන්වහන්සේට ඒ රැකවරණය, ආරක්ෂාව ලැබුණේය.

යේසුස්වහන්සේ යෝර්දාන් නදියේ වතුර බෞතීස්මය ගත් පසුව, ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් පරීක්ෂා කරනු ලබන්ට කාන්තාරයට ගෙන යනු ලැබීය. (මතෙව් 4:1, මර්ක් 1:9-12 )

දින හතළිහක් යේසුස්වහන්සේ නිරාහාරව සිටිසේක. මනුෂ්‍යාකාරයෙන් සිටි උන්වහන්සේ දින හතළිහ තුළ පියාණන්වහන්සේ සමඟ සම්බන්ධ වෙමින්, සේවය ගැන මඟපෙන්වීම් ලබා ගනිමින්, උන්වහන්සේගේ ශක්තිය ලබා ගත්සේක. එය විශාල ජයග‍්‍රහණයකි.

ඉන් අනතුරුව යේසුස්වහන්සේ තමාගේ පොදු සේවය ආරම්භ කළේය. (මතෙව් 4:17)

ආදම් කළ යුතුව තිබුණේද එයයි, නමුත් ඒව යක්ෂයාගේ බොරුව අසා රැවටුන අතර, ආදම් දැන දැනම පාපයට වැටුණේය.

පුදුමාකාර ජයග‍්‍රහණයක් ලබා ගත් උන්වහන්සේ තමන්ගේ අරමුණට යන්න සූදානම් වූ අවස්ථාවේ, යක්ෂයා විසින් පරික්ෂා කරනු ලැබීය.

යේසුස්වහන්සේ අවුරුදු 30 ක් ගතවන තුරුම ප‍්‍රසිද්ධ සේවයට පැමිණ සිටියේ නැතිබව බයිබලයේ සඳහන් වේ.

අවුරුදු තුනහාමාරක බලවත් ආලේප ලත් සේවයක් කරනු පිණිස යේසුස්වහන්සේ අවුරුදු 30ක කාලයක් පුරාම කැපවීමෙන්, පියාණන්වහන්සේගේ යටතේ, වචනය ඉගෙන ගෙන, ශක්තිමත් වන්නට ඇතැයි අපි සිතන්නෙමු.

එබැවින් ඉගෙන ගැනීම කිසිදා නතර නොකරමු. අප ඇදහිල්ලේ වචනයෙන් හොඳ අත්තිවාරමක් ගොඩනඟා ගෙන අපගේ ජීවිතය වර්ධනය කරගතහොත්, අප මේ පොළොවේ ජීවත් වන ඉතිරි කාලය පුරාවට, අවසානය තෙක්, අපට හොඳ සේවයක් කිරීමට හැකිවනු ඇත.

වචනය ඔබගේ හදවතට ඇතුළු කිරීම නතර නොකරන්න.

යේසුස්වහන්සේට පැමිණි පරීක්ෂා තුනම උන්වහන්සේ ජය ගත්සේක.

මෙම පරීක්ෂා පැමිණියේ සිතුවිලි වලින් විය හැක.

අදටත් අපගේ ප‍්‍රාණයට, මනසට, යක්ෂයාගේ ප‍්‍රහාරය එල්ල වන්නේ සිතුවිලි තුළිනි.

යේසුස්වහන්සේගේ හදවතේ දේව වචනය සඟවා තිබුණු හෙයින්, උන්වහන්සේ පරීක්ෂාවට මුහුණ දුන් අවස්ථාවේ දී, උන්වහන්සේගේ ආත්මය තුළට පැමිණි ජීවනයේ වචනය [රේමා වචනය] උන්වහන්සේගේ මුඛයෙන් පිට වුණි.

"රේමා" යන්නෙන් අදහස් කරන්නේ, ආත්මික මඟපෙන්වීම තුළින් කතා කරන ජීවන වචනයි; එළිදරව්වේ වචනයයි.

"ලෝගෝස්" යනු උත්පත්ති සිට එළිදරව් දක්වා ලියා තිබෙන වචනයයි. මේ වචන අපගේ හදවත් තුළට අප ඇතුල් කළ යුතුයි.

මනුෂ්‍යයා ජීවත් වන්නේ රොටී වලින් පමණක් නොව දෙවියන්වහන්සේගේ මුඛයෙන් පිටවෙන වචනවලිනි. (මතෙව් 4:4)

අපගේ මුඛයෙන් නික්මෙන වචන වලින් අපට යක්ෂයාට පහර දිය හැකියි.

උන්වහන්සේ මේ ජීවිතය ආරම්භ කළේ මනුෂ්‍යයා වෙනුවෙන් මිලය ගෙවන්නට තීරණය කරගෙනය.

යේසුස්වහන්සේ ඇදහිල්ලෙන් සටන් කිරීමෙන්, ජයගැනීමට තෝරාගත්තේය.

උන්වහන්සේ අප වෙනුවෙන් මිලයක් ගෙවීමට තමාගේ ජීවිතය කැප කළේය.

යක්ෂයා, කාලයට ප‍්‍රථමයෙන්
යේසුස්වහන්සේව මරා දැමීමට උත්සාහ කළේය.

නායක පූජකයන්, ඵරිසිවරුන් හා සද්දුසිවරුන්ද යේසුස්වහන්සේ තුළ තිබූ සුව කිරීමේ දීමනාව ගැන කෝප වී මනුෂ්‍යයන් තුළින් උන්වහන්සේව මරා දමන්නට තැත් කළෝය. නමුත් ඒ සියල්ල උන්වහන්සේ අවසානය තෙක් ඉවසිල්ලෙන් සිටිමින් ජය ගතසේක.

යේසුස්වහන්සේ කුරුසියේදී ගෙවිය යුතු මුළු මිලය ගෙවන පිණිස නිරයට ගොස්, පරණ ගිවිසුමේ ශුද්ධවන්තයන්ව ඔසවා, ස්වර්ගයට නැඟී, දෙවියන්වහන්සේගේ දකුණුපස හිඳගත්සේක. උන්වහන්සේ තමා පැමිණි ක්‍රියාව නිම කරන තෙක් සියල්ල ඉවසූසේක.

යේසුස්වහන්සේ උන්වහන්සේගේ සේවාව අතර මඟදී නතර නොකර එය අවසන් කළසේක.

අපගේ උදාහරණය විය යුත්තේ යේසුස්වහන්සේය. මේ ගමනේදී අපට පැමිණෙන පරීක්ෂා, පීඩා වලදී දේව වචනයෙන් අපි ශක්තිමත් වෙමු.

යාකොබ් යේසුස්වහන්සේගේම සහෝදරයෙක් ව සිටි අතර යෝසප් හා මරියාගේ පුත‍්‍රයෙකි.

යේසුස්වහන්සේගේ බොහෝ සහෝදරයන් උන්වහන්සේ කළාවූ සුවවීම්, ආශ්චර්යමත් දේ විශ්වාස නොකළ බවත්, උන්වහන්සේ දේව පුත‍්‍රයාණන් බව ඔවුන් නොදැන සිටි බවත්, බයිබලයේ සඳහන් වේ. (යොහන් 7:5)

නමුත් උන්වහන්සේගේ උත්ථානයෙන් පසුව උන්වහන්සේ කිවු දේ ඉටු වූ බව දකින්නටත්, ඒ එළිදරව් ලබන්නටත්, ශුද්ධාත්ම බෞතීස්මයෙන් පසුව ඔවුන් මෙතෙක් කල් බලා සිටි මෙසියස්වහන්සේ, යේසුස්වහන්සේ බවට ඔවුන්ට එළිදරව්වක් තිබුණි.

පෙන්තකොස්ත දවසේ ශුද්ධාත්ම බෞතීස්මයෙන් පිරී බලය ලබා ගත් මුල් අවධියේ කිතුනුවන්ව සිටි යුදෙව්වරුන්ට මෙය අළුත් ගමනක් වූයේ මෙතෙක් ඔවුන් සිටියේ ව්‍යවස්ථාව යටතේ වූ නමුත් දැන් ඔවුන් සිටින්නේ අනුග‍්‍රහය යටතේ බැවිනි.

අළුත් ගමනක් ආරම්භ කළ විට යක්ෂයාට අවශ්‍ය වන්නේ අප සෙලවීමටය. නැවත වරක් අපව බන්ධනයේ තැබීමටයි.

යේසුස්වහන්සේගේ වචනයෙන් නිදහස ලබා ගත් පසු එය ආරක්ෂා කර ගැනීමට අවශ්‍යයය.

තමුන්ව නිදහස් කළාවූ යේසුස්වහන්සේ උදෙසා ජීවත්වීමට මුල් සභාව තීරණය කරන ලදි.

කුමන පරික්ෂා පීඩා මැද වූවත් තමන්ට ලැබුණාවු සදාකාල ජීවනය ආරක්ෂා කර ගැනීමට ඕනෑම දෙයකට මුහුණ දීමට ලෑස්ති සෙනඟක් මුල් සභාව තුළ බිහි විණි.

ඔවුන්ට පුදුමාකාර පීඩා තුළින්ද ගමන් කිරීමට සිදුවුණි.

සීසර් රාජ්‍ය සමයේ කිතුනුවන්ව සිංහයන්ට ගොදුරු පිණිස දමා මරණයට පත් කරන ලදි.

ඔවුන් ජීවිතය දෙන තරම් නිර්භීතව සිටිමින් ඉවසීමට
දෙවියන්වහන්සේ තුළ මහත් ඇදහිල්ලක්, ප‍්‍රීතියක් ඔවුන්ට තිබිණි.

යාකොබ් 1:1‭-‬4‭, (8)
දෙවියන්වහන්සේගෙත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙත් දාසයෙක්වූ යාකොබ් විසින් විසිරී සිටින්නාවූ ගෝත්‍ර දොළොසට ශුභ සිද්ධවන ලෙස ලියා එවන වග නම්: මාගේ සහෝදරයෙනි, නුඹලාගේ ඇදහිල්ල (පරීක්ෂා කරන විට) සෝදිසිකිරීමෙන් ක්ෂාන්තිගුණය උපදින බව දැන, අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල, ඒ සියල්ල ප්‍රීතියක්යයි සිතන්න. නුමුත් නුඹලා කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස ක්ෂාන්තිගුණය (ඉවසීම/විඳදරාගැනීමේ බලය) සම්පූර්ණලෙස ක්‍රියාකෙරේවා.

ඔබ අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල, එයට ප්‍රීතියෙන් මුහුණ දෙන්න.

අප ඇදහිල්ලෙන් ශක්තිමත් වන ආකාරයෙන්ම අපගේ ජීවිතයේ ඇදහිල්ල සම්පූර්ණ කිරීමට ඉවසිල්ලට (ක්ෂාන්තිගුණය) ඉඩ දෙමු.

ක්ෂාන්තිගුණය යනු ඉවසීම හා විඳදරා ගැනීමේ බලයයි.

ඉවසිල්ල ඇදහිල්ල හා සමාන්තරව ගමන් කළ යුතුය.

යාකොබ් 1:‬12‭
පරීක්ෂාව ඉවසන මනුෂ්‍යයා ආශීර්වාදලද්දෙකුය. මක්නිසාද ඔහු ඒත්තුගනු ලැබූ කල, තමන්ට ප්‍රේමකරන්නවුන්ට ස්වාමීන්වහන්සේ විසින් පොරොන්දුවුණාවූ ජීවනය නම් ඔටුන්න ලබන්නේය.

පරික්ෂාව පැමිණෙන කළ ඉවසීමෙන් ඔබ ආශීර්වාදලද්දෙකු වනු ඇත.

ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහී කෙනෙකුගේ ඇදහිල්ල තදින් අල්ලාගන්නේ නම්, ඔහුට දෙවියන්වහන්සේ විඳදරාගැනීමේ ශක්තිය, නිර්භීතව රැඳීසිටීමේ ශක්තිය උන්වහන්සේ දෙනු ඇත.

ක්ෂාන්තිගුණය යනු ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් කෙනෙකුගේ ඇදහිල්ල තදින් අල්ලා ගැනීම නිසා පැමිණෙන පීඩා පරීක්ෂා විඳදරාගැනීමට, නිර්භීතව රැඳී සිටීමට තිබෙන බලයයි.

ක‍්‍රිස්තුස්වහන්සේට ප්‍රේම කරන්නන්ට උන්වහන්සේ ජීවනයේ ඔටුන්න දෙනු ඇත.

හෙබ්‍රෙව් 6:13-15
මෙසේ දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට පොරොන්දුව දුන් කල තමුන්ට වඩා උතුම් කෙනෙක් ගැන දිවුරන්ට නැති නිසා තමන්ම ගැන දිවුරමින් සැබවින්ම ඔබට බොහෝ සෙයින් ආශීර්වාද කරන්නෙමි, බොහෝ සෙයින් ඔබ වර්ධනය කරන්නෙමි කී සේක.
ඒ හැටියට ඔහු ඉවසිල්ලෙන් සිට, පොරොන්දුව ලබාගත්තේය.

ආබ‍්‍රහම් අපගේ ඇදහිල්ලේ පියාය. ඔහු ඉවසමින් සිට ඊසාක් ලබා ගත්තේය.

එහෙත් ඔහු දෙවියන්වහන්සේට උදව් කිරීමට සිතා, භාර්යාවගේ හඬට කන්දීම නිසා, වැරදි වංශයක් මේ පොළොවේ බිහිවූ අතර අදටත් ඔවුන් ඊශ‍්‍රායෙල් වංශයට විරුද්ධව සිටියි.

අපි හදිසි වන විට වැරදි තිරණ ගත හැක.

අපගේ ජීවිතයට ඉවසීම එකතු කර ගැනීම අවශ්‍යය. යේසුස්වහන්සේ සියල්ල විඳදරා ගත් හෙයින් එම විඳදරා ගැනීමේ ශක්තිය අප තුළද ඇත.

අප ඉවසිල්ලෙන් පොරොන්දුව ලබා ගනිමු.

රෝම 2:6‭-‬7
උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ට තම තමුන්ගේ ක්‍රියා ලෙස විපාකදී, ඉවසීම ඇතුව යහපත්කම් කිරීමෙන් මහිමයද ගෞරවයද අමරණභාවයද සොයන්නන්ට සදාකාල ජීවනය දෙනසේක;

අපි අපගේ ක‍්‍රියාවලට ස්වාමීන්වහන්සේගෙන් විපාක මේ පොළාවේදී හා ස්වර්ගයේදී ලබා ගනිමු.

අපි ඉවසීම අපගේ ජීවිතයට ඇතුල් කර ගනිමු. අපි ඉවසීම ඇතුව යහපත්කම් කරමු.

අප යම් දෙයක් කරමින් එය භාගෙට අතහැර දමා යන සෙනඟක් නොවී ඉවසිල්ලෙන් ජයග‍්‍රහණය කරන සෙනඟක් වෙමු.

1 කොරින්ති 9:25
දිනන පිණිස වීර්යකරන්නාවූ සියල්ලෝම සියල්ලෙහි පමණ දැන හැසිරෙති. ඔවුන් එසේ කරන්නේ දිරන්නාවූ ඔටුන්නක් ලබාගන්න පිණිසය; අප වනාහි නොදිරන එකක් ලබාගන්නා පිණිසය.

යාකොබ් පොතේ සඳහන් වූ ජීවනයේ නොදිරන ඔටුන්නක් ලබාගන්නා පිණිස ඉවසමු.


Watch the Sermon Video

Read 257 times