+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඉක්මන් තීරණ නොගෙන ස්වාමින්ට කීකරු වන්න - මනූ මැතානි
April 2, 2023 Sunday Sermon Notes

 

දෙවියන්වහන්සේගේ වචනය තුළ පැවතීමෙන් අපට ඉවසීමට පුළුවන්කම ලැබේ.

දෙවියන්වහන්සේ ඉවසීමේ දෙවියන්වහන්සේය. උන්වහන්සේ ඉක්මන් තීරණ ගන්න කෙනෙකු නොවේ. උන්වහන්සේ ඉවසනවා සේ අපත් ඉවසිය යුතුය.

ඉවසීමෙන් අපට බොහෝ දේ තේරුම් ගත හැකිය.

රෝම 15:5-6
 නුඹලා එක සිතින්ද එක කටින්ද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස,  ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ආදර්ශය ලෙස නුඹලා එකිනෙකා සමඟ එක්සිත්ව සිටින්ට, ඉවසිල්ලේද සැනසිල්ලේද දෙවියන්වහන්සේ වර දෙනසේක්වා.

ඉවසීම ඉතා හොඳ චරිත ගුණාංගයකි.

එකිනෙක්කෙනාට වෛර නොබැඳ, තික්තකමින් තොරව, නොසැලී සිටින්නට පුළුවන් නම් ඒවා ඉතා හොඳ ගුණාංගයන්ය.

දෙවියන්වහන්සේ අපට යමක් කරන්නට කියනතුරු අපි ඉවසමින් සිටිමු. එවිට අපට බොහෝ දේවල් ලබා ගත හැකිවේ.

ඉවසීමෙන් පොරොන්දු උරුමකර ගත් අය ගැන බයිබලයේ සඳහන්ව ඇත.

ඔබ ඉවසීමෙන් සිටියහොත් ඔබට දෙවියන්වහන්සේගේ පැහැදිළි හඬ අසමින් සැනසිල්ල අත්දැකිය හැක.

අනිත් අය හදිසියේ තීරණ ගන්න නිසා ඒ ආදර්ශය ගන්න එපා. ඇදහිල්ලෙන් සහ ඉවසිල්ලෙන් ගමන් කරන අය අනුව යන්න.

ඔබ ස්වාමීන්වහන්සේ උදෙසා ජීවත් වන්න.

මනුෂ්‍යයන් කියන නිසා ඔබ කිසිවක් නොකරන්න. ඔබ ගන්න තීරණ සොයා බලන්න, ඒ අය අනුමැතිය දුන්න නමුත් දෙවියන්වහන්සේගෙන් ඔබට අනුමැතිය ලැබී තිබෙනවාද කියා සොයා බලන්න.

කවුරුවත් කියනවාට නොව, ශුද්ධාත්මයාණන්වහන්සේගේ හඬට පමණක් කීකරුව ඉවසමින් ක‍්‍රියා කරන්න.

එවිට නියම කාලයේදී දෙවියන්වහන්සේගේ වේලාවට උන්වහන්සේ සියල්ල ඉටු කරනු ඇත.

සමහර අය ආත්මික අයගෙන් උපදෙස් ගන්න අකමැති වන්නේ තමා ගන්න යන තීරණය වෙනස් කරන්න අකමැති නිසාය.

දීර්ඝ කාළයක් එකසේ ජීවත්වීමත් ඉවසීමකි.

වියවුල් වේලාවක කෙලෙසකවත් තීරණ නොගන්න.

දෙවියන්වහන්සේ වියවුල්කමේ දෙවිකෙනෙකු නොවේ.

1 කොරින්ති 14:33
මක්නිසාද දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය; ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය.

සෑම නපුරු ක‍්‍රියාවක්ම තිබෙන්නේ වියවුල්වූ තැනය.

යාකොබ් 3:15‭-‬16
ඒ ප්‍රඥාව ඉහළින් පැමිණෙන එකක් නොව භූමිකව මාංසිකව යක්ෂාකාරව තිබේ. මක්නිසාද ඊර්ෂ්‍යාවත් පක්ෂවාදිකමත් ඇති තැන, අවුල්කමත් සියලු නපුරු ක්‍රියාවලුත් ඇත්තේය.

වියවුල තිබෙන ස්ථානවල කිසි ඉවසීමක් නැතුව සිටියදී ඔබ වැරදි තීරණ ගැනීමට පෙළඹෙන්නේය.

ඒ නිසා හොඳ ආත්මික චරිතයක් තිබෙන, හදවතින් අවංක අය සමඟ සම්බන්ධකම් ගොඩනඟා ගන්න.

ආත්මිකභාවය අභ්‍යන්තරයෙන් සිදුවන කාර්යයකි.

සැබවින්ම ඔබ අවංකව ඔබගේ ජීවිතය දෙව්යන්වහන්සේට කැපකරමින් උන්වහන්සේ අනුව ඔබ ගමන් කරන කෙනෙක් නම්, ඔබගේ ආත්මිකභාවය පැහැදිළිව පෙනෙන්නේය.

සමහරවිට අප මනුෂ්‍යයෙකුගේ බාහිර දේ බලා එය ආත්මිකයයි සිතනු ඇත. බාහිර දේවල් දෙස බලමින් කෙනෙකුගේ ආත්මික තත්වය අපට මැනිය නොහැකියි.

1 තිමෝති 6:3‭-‬6
යමෙක් සාරවූ වචනවලට, එනම් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වචනවලටත් භක්තිවන්තකමේ හැටියටවූ ධර්මයටත් එකඟ නොවී, වෙනස් ධර්මයක් උගන්වන්නේ නම්, ඔහු කිසිවක් නොදැන, වචන ගැන ප්‍රශ්නකිරීමෙන්ද වාදකිරීමෙන්ද උමතුව අහංකාරව සිටියි; එයින් ඊර්ෂ්‍යාවද විවාදයද අපහාසයද නපුරුයයි සිතීම්ද දූෂ්‍යවුණ සිත් ඇත්තාවූ, සැබෑවෙන් වෙන්ව සිටින්නාවූ භක්තිවන්තකම ලාභයට මාර්ගයකැයි සිතන්නාවූ මනුෂ්‍යයන්ගේ නිරන්තර තරඟද උපදින්නේය. ලත් පමණින් සතුටුවීම සමඟ භක්තිවන්තකම මහත් ලාභයක්මය.

යේසුස්වහන්සේගේ වචනය පිළිපදින්නට අකමැති උඩඟු අයගෙන් ඔබ වෙන් වෙන්න.

කෙනෙකුගේ පිටස්තර සඵලත්වය පෙන්වා ඔහු ආත්මිකයයි පෙන්වන අය සමඟ ඇසුරු කිරීමෙන් ඔබගේ ආත්මික මට්ටමද නැතිවී යා හැකිය.

බොහෝ විට අපට ප්‍රශ්න ඇතිවන්නේ අපගේ ආත්මික තත්ත්වය නැතිවූ කල්හීය.

ඔබ දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවෙකු නම්, ඔබගේ වචනයෙන්, හැසිරීමෙන්, ක‍්‍රියාවෙන් මනුෂ්‍යයන් ඔබව දකින විට, ඔබ කිතුනුවෙක් කියා දැන ගත යුතුයි.

සියළු යහපත් දේම ආරම්භ වී ඇත්තේ ආත්මික තලයෙහිය. එහෙයින් අප ආත්මිකව ඉදිරියට යාම ඉතා වැදගත්ය.

ඔබගේ ජීවිතයේ ආත්මික දේට මුල් ස්ථානය දී වැරදි සම්බන්ධතාවයන් ඔබ කඩා දමන්න.

1 කොරින්ති 15:31
සහෝදරයෙනි, මම දවස්පතා නසිමියි අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ නුඹලා ගැන මට ඇත්තාවූ පාරට්ටුව පිට කියමි.

අපගේ ජීවිතයේ දිනපතා අප නොව දෙවියන්වහන්සේ ප‍්‍රකාශ විය යුතුය.

1 කොරින්ති 15:32‭-‬33
මම එපීසයේදී මනුෂ්‍යාකාරයෙන් මෘගයින් සමඟ පොරබැදීම් නම්, මට ඇති ප්‍රයෝජනය කුමක්ද? මළාහු නොනැගිටිත් නම්, හෙට මැරෙන බැවින් කමු, බොමු. නොරැවටෙන්න. නපුරු සමාගමනේ හොඳ චරිත නරක්වන්නේය.

කන බොන දේ ජීවිතයේ වැදගත්ම දේ කියා ලෞකික මනුෂ්‍යයන් කියති. එහෙත් අපගේ ජීවිතයේ තිබිය යුතු විශාලම දේ නම් දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමය.

අන් අය කරන කියන දේ නොව අප කළ යුත්තේ යේසුස්වහන්සේට කීකරුවීමය.

ඔබ අවස්ථාවාදියෙක් නොවී, යේසුස්වහන්සේගේ හඬට කීකරුව ගමන් කරන්නෙක් වන්න.

ඔබගේ ජීවිතයේ ආත්මික කැපවීම ඉතා වැදගත්ය.

ආත්මයාණන්වහන්සේගේ මඟ පෙන්වීම් ඇතුව තීරණ ගන්න.

යාකොබ් 4:13-14
මෙන්න: අදවත් හෙටවත් අපි අසවල් නුවරට ගොස්, එහි අවුරුද්දක් නැවතී සිට, වෙළෙඳාම්කොට ලාභ උපදවාගන්නෙමුයයි කියන්නාවූ තැනැත්තෙනි, අසන්න. මක්නිසාද හෙට මක්වේද කියා නුඹලා දන්නේ නැත. නුඹලාගේ ජීවිතය මොකක්ද? නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය.

අපගේ කිතුනු ජීවිතය මාංසික මට්ටමින් පමණක් බලනවානම් මාංසය පහවී යන දෙයකි.

යාකොබ් 4:15
එබැවින්: ස්වාමීන්වහන්සේ කැමතිසේක් නම්, අපි ජීවත්ව මේකවත් ඒකවත් කරන්නෙමුයයි නුඹලා විසින් කිය යුතුය.

අපගේ මනස රැවටිලිකාරයි. මනස කුඩා දේත් ලොකුවට පාරට්ටු කරයි.
අප මනසින් තීරණ නොගෙන, ආත්මයාණන්වහන්සේගේ මඟ පෙන්වීම අනුව තීරණ ගත යුතුයි.

සමහර අය තමුන්ට තිබෙන බාහිර දේවල්වලින් ඔවුන්ගේ ආත්මිකභාවය පෙන්නුම් කරයි.

නමුත් අපගේ ආත්මිකභාවය පෙන්නුම් කරන්නේ අපට සම්පත් තිබෙන නිසා නොව, අප මූළාශ‍්‍රයට සම්බන්ධ වී සිටින නිසාය.

ඔබ මූළාශ‍්‍රයට සම්බන්ධවී සිටින කල ඔබගේ අවශ්‍යයතාවයටත් වැඩියෙන් දෙවියන්වහන්සේ ඔබට සපයා දෙනු ඇත.

ඔබ ලෞකික මනුෂ්‍යයා කියන කාරණා වලින් මනස පුරවා නොගෙන, ස්වාමීනි ඔබවහන්සේ කැමතිසේක්නම් මම ජීවත්ව ඔබවහන්සේගේ කැමැත්තට අනුව දේවල් කරන්නෙමියයි පැවසිය යුතුය.

යාකොබ් 4:16‭-‬17
නුමුත් දැන් නුඹලාගේ අහංකාර කථාවලින් නුඹලා පාරට්ටුකරගන්නහුය. එබඳු සියලු පාරට්ටුකිරීම් නපුරුය. එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම්, ඔහුට ඒක පාපයය.

ඔබ වචනය අසා එළිදරව්වක් තුළ ජීවත්වන කල්හී යක්ෂයා පළමුකොට පැමිණෙන්නේ ඔබ තුළ ඇති වචනය සොරකම් කිරීමටය.

යක්ෂයා යේසුස්වහන්සේ වෙතටත් රැවටිලිකාරකමෙන් පැමිණියා.
එහෙත් යේසුස්වහන්සේ යක්ෂයාට දේව වචනයෙන්ම පිළිතුරු දුන්සේක. (මතෙව් 4:1-11)

යක්ෂයා බොරුකාරයෙකුය. ආදම් සහ ඒවව රවටා යක්ෂයා සියල්ල ලබා ගත්තේය.

සදාකාල ජීවනය සමඟ අපගේ මෙම තාවකාලික ජීවිතය සංසන්දනය කිරීම මහත් වැරැද්දකි.

සදාකාල ජීවනය තුළ ඔබට සැනසිල්ලද, ඇදහිල්ලද තිබේ.

දෙවියන්වහන්සේ අපට ඉතා අනර්ඝ, ශුද්ධ, උතුම් ඇදහිල්ලක් දී තිබේ.

අපගේ ඇදහිල්ල සියල්ලට වඩා වැදගත්. ඇදහිල්ලෙන් අපට ලෝකයාගෙන් ජයගෙන ජීවත්විය හැකිය.

ස්වාමීන්වහන්සේ ඔබගේ සිතේ ආශාවන් ඉෂ්ටකරන කෙනෙකුය.

ගීතාවලිය 37:4
ස්වාමීන්, කෙරෙහි ප්‍රීතිමත්වෙව; උන්වහන්සේද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ටකරනසේක.

අපි ස්වාමීන්වහන්සේගේ හස්ථයේ පාවිච්චි කරන්නට පුලුවන්ව තිබෙන අඬුවක් හා සමාන වෙමු.

අප තද සිතක් ඇති කෙනෙකු මෙන් නොවී දෙවියන්වහන්සේට කැමති ලෙස හසුරුවන්නට හැකි කෙනෙකු මෙන් වෙමු.

අපි ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙමු.

ස්වාමීන්වහන්සේ පවසන දේ කරන්න.

මනුෂ්‍යයන් පවසන සියල්ලම සත්‍යය නොවේ.

අපගේ සිතට දිනපතා දහස් ගණන් සිතුවිලි පැමිණෙයි, නමුත් ඒවා සියල්ල සත්‍ය නොවෙයි. අප ඉඩ දුනහොත්, ඒවා අපගේ මනස තුළ බලකොටු සාදනු ඇත. ඒ අහංකාරකමේ බලකොටු, භියේ බලකොටු හා ශෝකයේ බලකොටු අප අපගේ ජීවිතයෙන් කඩා දැමිය යුතුය.

ලෝකයා ඔබව ලැජ්ජාවට පත්කළත්, ඒ අය විනිශ්චය දවසේ දී ඔබ සමඟ සිටගැනීමට නොපැමිණෙනු ඇත. ඒ අය ඔබ වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය පූජා කළේ නැත.

යේසුස්වහන්සේ අප වෙනුවෙන් ජීවිතය පූජා කළසේක. උන්වහන්සේ අප උදෙසා ලැජ්ජාවට පත්වූසේක.

ඔබ යන සෑමතැනම විසඳුමක් ගෙනෙන කෙනෙකුය.

දෙවියන්වහන්සේගේ දීමනා රාශියක් අප උදෙසා ඇත. ඒවා ක‍්‍රියාත්මකවීමට අපගේ මුඛය විවර කළ යුතුය.

ඔබ මනුෂ්‍යයා සමඟ කථා කරමින් සිටින කල, ඔබ තුළින් දීමනා ක‍්‍රියාත්මක වනු ඇත. ඔබ ස්වාමීන්වහන්සේගේ බලවත් නිවසකි.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ කැමැත්ත වන්නේ ඔබ තුළින් අන් අයට ආශීර්වාදයක් වීමටය.

යෙසායා 49:1
ද්වීපයෙනි, මාගේ බස් අසන්න; දුර සිටින සෙනඟෙනි, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ කුසේ පටන් මා කැඳවා, මාගේ මවු ගර්භයේ පටන් මාගේ නම සඳහන් කළසේක.

ස්වාමීන්වහන්සේ කථා කළ වචනය කවදාවත් වෙනස් නොවේ.

ඔබ දෙවියන්වහන්සේගේ හඬට අහුම්කන්දී, ලියවිල්ලේ ඇති දෙයට අනුව ගමන් කරන්න. එවිට සාර්ථකත්වය ඔබ තුළ නිතරම පවතිනු ඇත.

අපගේ මිදුම්කරුවාණන් අප සඵලවත් වී, සාර්ථක වන ආකාරය අපට උගන්වනු ඇත.

යෙසායා 48:17
නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මමය.

අපට ප්‍රයෝජන ලබාගැනීමට හැකියාව දෙන්නේ දෙවියන්වහන්සේය.

ආත්මික නොවන මනුෂ්‍යයන් ඇසුරු කිරීමෙන් ඔබ වළකින්න.

ඔබගේ පිපාසයට අවශ්‍ය දේ දෙවියන්වහන්සේ ඔබව පුරවයි.

දෙවියන්වහන්සේ ඔබ කවුදැයි කියා දන්නාසේක.

ස්වාමීන්වහන්සේගේ කැමැත්තට භාරවෙන්න.

යෙසායා 49:2
උන්වහන්සේ මාගේ මුඛය තියුණු කඩුවක් මෙන් කොට, තමන්ගේ අත් සෙවණෙහි මා සැඟෙවුසේක; උන්වහන්සේ මා මුවහත්කර තිබෙන ඊගසක් මෙන් කොට, තමන්ගේ කොපුවේ වසා තබා:

ඔබ මුවහත් නොවු යකඩයක් මෙන් නොවන්න.

දේශනාකාරයාගේ පොත 10:10
යකඩ මොට්ටවූ විට මුවහත් නොකළොත් වඩා ශක්තිය යොදන්ට ඕනෑය. ප්‍රඥාව වනාහි සඵලය දෙන වාසි ඇති දෙයකි.

ඔබ ප‍්‍රඥාවන්තව ක‍්‍රියා කරන කල සියල්ලෙහි ලාභ ලැබිය හැකිය.

යෙසායා 49:2
උන්වහන්සේ මාගේ මුඛය තියුණු කඩුවක් මෙන් කොට, තමන්ගේ අත් සෙවණෙහි මා සැඟෙවුසේක; උන්වහන්සේ මා මුවහත්කර තිබෙන ඊගසක් මෙන් කොට, තමන්ගේ කොපුවේ වසා තබා:

ඔබ බයිබලය කියවන්නට පටන් ගත්කල ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට බයිබල් පද තුළින් කථා කරනු ඇත.

අනාගතවාක්‍යය පැමිණෙන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට කථා කළ දේ සනාථ කිරීමටය.

අනාගතවාක්‍යය කීම දීමනාවකි. ඒ තුළින් තවත් අය ධෛර්යයමත් කළ හැකිය. නමුත් අනාගතවක්තෘ කෙනෙකු තුළින් අනාගතවාක්‍යය පැමිණෙන කල එය දෙවියන්වහන්සේගේ වචනය තුළින් ඔබට පැවසූ දෙයක් සනාථ කිරීමකි.

ස්වාමීන්වහන්සේ අපව ආරක්ෂා කිරීමට උන්වහන්සේගේ සෙවණෙහි අප සඟවාගෙන ඇත.

ස්වාමීන්වහන්සේ අපව ඊගසක් මෙන් උන්වහන්සේ කැමති තැනකට යවන කල අප එයට එරෙහි නොවී අවනත විය යුතුය.

අප අපගේ ජීවතවලට දෙවියන්වහන්සේට කථා කිරීමට, මඟ පෙන්වීමට ඉඩ දිය යුතුය.

අප කාවවත් අනුකරණය නොකර දෙවියන්වහන්සේගේ කැමැත්ත අප තුළ වෙන්නට අවනත විය යුතුය.

ඉශ‍්‍රායෙල් රාජධානිය දෙකට වෙන්වීමෙන් පසු උතුරු රාජධානියේ රජවූ යෙරොබවම් තම රාජ්‍යය දාවිත්ගේ වංශයට අයිති වේයැයි සිතින් සිතන ලදි.

1 රාජාවලිය 12:25‭-‬26
යෙරොබොවම් වනාහි එප්‍රායිම් කඳු රටෙහි ෂෙකෙම් ගොඩනගා එහි වාසයකෙළේය; ඔහු එතැනින් ගොස් පෙනුයෙල් ගොඩනැගුවේය. තවද යෙරොබොවම් තමාගේ සිතින් සිතනුයේ: ඉතින් රාජ්‍යය දාවිත්ගේ වංශයට හැරීයන්නේය.

අපගේ සිතට නොයෙකුත් සිතුවිලි ඇතුළු විය හැකි නමුත් හැම සිතුවිල්ලක්ම දෙවියන්වහන්සේගෙන්ම නොවේය.

1 රාජාවලිය 12:27
මේ සෙනඟ යෙරුසලමේ තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි පූජා ඔප්පුකරන්ට ගියොත් මේ සෙනඟගේ සිත් තමුන්ගේ ස්වාමිවූ යූදාවරුන්ගේ රජවූ රෙහොබොවම් වෙතට හැරීයන්නේය; තවද ඔවුන් මා මරා යූදාහි රජවූ රෙහොබොවම් වෙතට හැරී යනවා ඇතැයි කීවේය.

යෙරොබවම් රජට අවශ්‍යය වූයේ සෙනඟ ඔහු වටා රැස්කර තබා ගැනීමටය. සෙනඟ දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට යෙරුසලමට ගියහොත් ඔහුන් යුදා රාජධානියට හැරී යනු ඇතැයි ඔහු බිය විය.

යක්ෂයා එම රජුගේ සිතට මනුෂ්‍යයන් හරහා නපුරු සිතුවිලි ඇතුල් කරනු ලැබුවේය.

ආත්මික නොවන මිත්‍රයන් ඔබව දෙවියන්වහන්සේගෙන් ඈත් කරන්න තැත් කරයි. ඔබ යම් තත්වයක සිටියත් ඔබව ආත්මිකභාවයෙන් ඈත් කරයි.

ඔබ හරි නායකයෙකු තුළින් දෙවියන්වහන්සේ වෙතට ළං වෙන්නට යාම වැලැක්වීමට යක්ෂයා උපක‍්‍රම යොදයි.

1 රාජාවලිය 12:28
එවිට රජ මන්ත්‍රණයකොට රන් වස්සන් දෙන්නෙක් සාදවා: යෙරුසලමට නැගීයාම නුඹලාට අමාරු වැඩිය; ඉශ්‍රායෙල්වරුනි, නුඹලා මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹලාගේ දෙවිවරු මේයයි ඔවුන්ට කීවේය.

යෙරොබවම් රජ සෙනඟ යෙරුසලමට යාම වැලැක්වීමට ඔවුන්ගේ ලෙහෙසිය පෙන්වා මනසට වැරදි දේ ඇතුල් කළේය.

මනුෂ්‍යයන් තමන්ගේ ලෙහෙසිය පහසුව තකා තම ආත්මික වර්ධනයට පටහැනි දේ තෝරගනී.

1 රාජාවලිය 12:29‭-‬30
ඔහු එකෙක් බෙතෙල්හි සිටවා අනිකා දාන්හි තැබීය. ඒ කාරණය පාපයක් විය, මක්නිසාද මිනිස්සු ඒ ඉදිරියෙහි වඳින පිණිස දාන් දක්වා ගියේය.

යක්ෂයා සැබෑ දෙවියන්වහන්සේ වෙතට ඔබගේ හදවත් යොමුවීම වැලැක්වීමට වැරදි දේට ඔබගේ සිත යොමුකරවයි.

යක්ෂයා ඔබව දෙවියන්වහන්සේගෙන් ඈත් කිරීම ඉතා ලස්සනට යම් යම් දේ පිළියෙළ කර තබනු ඇත.

ඔබ සැබෑ නමස්කාර කරන්නෙකු නම් පැවසිය යුත්තේ මා නමස්කාර කරන්නේ මගේ දෙවියන්වහන්සේට පමණි. උන්වහන්සේට නමස්කාර කිරීමට යෑම මට වෙහෙසට කරුණක් නොවේ කියාය.

අප තුළ වාසය කරන තැනැන්වහන්සේ උන්වහන්සේගේ කැමැත්ත කුමක්ද කියා දැනගැනීමට නිතරම අපට උපකාර කරනු ඇත.

යෙරොබවම් රජ සෙනඟ තමා වටා තබා ගැනීමට කළ කාරණය පාපයක්ව තිබුණි.

1 රාජාවලිය 12:31
ඔහු උස්තැන් ගෙවල් කොට, ලෙවී පුත්‍රයන් නුවූ මුළු සෙනඟ අතරෙන් පූජකයන් පත්කෙළේය.

පූජකයෙක් යනු දෙවියන්වහන්සේ සමඟ හොඳ සබඳතාවයක්, හොඳ අත්තිවාරමක්, හොඳ අත්දැකීමක් ඇති උන්වහන්සේව හොඳින් දැන හැඳිනගත්, කැඳවීමක් ඇති ආත්මික පුද්ගලයෙකි. නමුත් මොවුන් ව්‍යාජ අය පත් කරන ලදි.

දාවිත් රජතුමාගේ පුත‍්‍රවූ අබ්සලොම් තමාට වෙනමම රාජ්‍යයක් ගොඩනඟා ගැනීමට ඔහුගේ පියවූ දාවිත් රජතුමාට විරුද්ධව නැඟී සිටින ලදි.

ඔහු සෙනඟගේ සිත් දාවිත්ගෙන් අහකට ගෙනියන්නට මහත් ප‍්‍රයත්නයක් දැරීය.

අබ්සලොම් බාහිරව ඉතා අලංකාර ශෝභමාන පුද්ගලයෙකි. ඔහු ගැන ඉතා මහත් වර්ණනාවක් ඇත.

ඔබගේ ජීවිතයේ ඔබගේ අනාගතය ගැන ඔබ සබඳතා ඇති කර ගැනමේදී ඔබගේ අනාගතය ගොඩනඟා ගැනමේදී දේව කැමැත්තෙන් ඔබ ඉවතට යන්නේ කෙලෙසද?

2 සාමුවෙල් 14:25‭-‬26
අබ්සලොම් මෙන් රූප ශෝභාව ගැන ප්‍රශංසා කටයුතු කෙනෙක් මුළු ඉශ්‍රායෙල්හි සිටියේ නැත. පතුළ පටන් හිස්මුදුන දක්වා ඔහුට කිසි කැලලක් නොවීය. ඔහු තමාගේ හිසකේ අවුරුද්දෙන් අවුරුද්ද කැපුවේය; ඒවා කැපුවේ ඔහුට බරව තිබුණ නිසාය. ඔහු හිසකේ කැපූ විට එය කිරා බැලුවේය, ඒවායේ බර රාජ පඩියෙන් ෂෙකෙල් දෙසියයක් විය.

ඔහු අලංකාරයෙන් පූර්ණව සිටියත් කිසිදු ආත්මිකභාවයක් ඔහු තුළ නොතිබුණි.

දාවිත් රජතුමා තුළ ඔහුව රජකමට පත් කිරීමට කිසිදු කැමැත්තක් නොතිබුණි.

අබ්සලොම්ගේ හැසිරීම ගැන දාවිත් රජතුමා තුළ පැහැදීමක් නොතිබුණි. නමුත් අබ්සලොම්ට රජ වීමට මහත් උවමණාවක් තිබුණි.

ඔහු ඒ සදහා ඔහුගේ ශක්තියෙන් ක‍්‍රියා මාර්ගයක් සපයා ගන්නා ලදි.

2 සාමුවෙල් 15:1‭
ඉන්පසු අබ්සලොම් රථයක්ද අශ්වයන්ද තමාට පෙරටුවෙන් දුවන්ට මනුෂ්‍යයන් පනස් දෙනෙක්ද පිළියෙළ කරගත්තේය.

ඔබ පුද්ගලයන්ගේ බාහිර ආලංකාරයට, ශක්තියට රැවටී ඒ අනුව නොයන්න. ශුද්ධාත්මයාණන්වහන්සේ කියන දේට පමණක් එකඟව වැඩ කරන්න.

2 සාමුවෙල් 15:2-6
තවද අබ්සලොම් අලුයම නැගිට දොරටුවට යන මාර්ගයේ අයිනේ සිට විනිශ්චය පිණිස රජු වෙතට පැමිණීමට නඩුවක් ඇති එකිනෙකාට අඬගසා: නුඹ මොන නුවරට අයිතිදැයි ඇසීය. ඔහුද: ඔබගේ මෙහෙකරුවා ඉශ්‍රායෙල් ගෝත්‍රයකට අයිතියයි කීවේය.
අබ්සලොම්: ඔන්න නුඹේ කාරණා හොඳය, හරිය; නුමුත් නුඹේ කාරණා අසන පිණිස රජු විසින් පත්කරනලද කෙනෙක් නැතැයි ඔහුට කීවේය. ඇරත් අබ්සලොම් කථාකොට: දේශයේ විනිශ්චයකාරයා කොට මා පත්කළොත් යහපත! එවිට නඩුවක් හෝ පැමිණිල්ලක් ඇති කවුරු නුමුත් මා වෙතට ආ කල්හි මම ඔහුට යුක්තිය කරන්නෙමියි කීවේය. යමෙක් ඔහුට වඳින්ට ළංවූ කල ඔහු තමාගේ අත දිගුකොට ඔහු අල්වා සිඹගත්තේය. විනිශ්චය පිණිස රජු ළඟට ආ සියලු ඉශ්‍රායෙල්වරුන්ට අබ්සලොම් මෙයාකාර කොට, හොරෙන් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ සිත් දිනා ගත්තේය.

අබිසලොම්ගේ උපාය වූයේ බාහිර රැවටීම් වලින් මනුෂ්‍යයන්ගේ සිත් දිනා ගැනීමය.

ගීතාවලිය 145:19
උන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ගේ ආශාව ඉෂ්ටකරදෙන සේක; ඔවුන්ගේ මොරගැසීම අසා ඔවුන් ගළවනසේක.

දෙවියන්වහන්සේ අපගේ ආශාවන් ඉෂ්ටකර දෙනසේක. එහෙත් බාහිරව මනුෂ්‍යයන්ගේ කිසිදු එකඟතාවයක් නොවිය යුතුය.

මනුෂ්‍යයන්ගේ කපටි අදහස්වලට හසු නොවන්න. දෙවියන්වහන්සේගේ හඬ පමණක් අසන්න. දෙවියන්වහන්සේ ඔබට යමක් කරන්න කියන තුරු එය නොකරන්න.

අප මේ පොළොවේ රජවරුය. පරණ ගිවිසුමේ රජවරුන්ගේ ක‍්‍රියාවලින් අප පාඩම් ඉගෙන ගෙන බාහිර දේට නොරැවටී අප රජකම් කරමු. ආත්මයාණන්වහන්සේට කීකරුවෙමු


Watch the Sermon Video

Read 295 times