+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පරීක්ෂා ජයගන්න - මනූ මැතානි
March 26, 2023 Sunday Sermon Notes


සැබවින්ම අප අතීශයින් ජයග‍්‍රාහී සෙනඟක්ය.

මොනම හේතුවකටවත් අප යක්ෂයාගේ ක‍්‍රියාකාරීත්වයට යටත් වන්නට අවශ්‍යය නැත.

දෙවියන්වහන්සේ කවදාවත් මනුෂ්‍යයාට පීඩා එවන්නේ නැත.

අප යේසුස්වහන්සේගේ නාමය දරමින් ලෝකයේ ශුද්ධව ධර්මිෂ්ඨව ජීවත්වීමට තීරණය කර තිබේ නම් අනිවාර්යයෙන්ම ඔබට පීඩා පැමිණෙන බව ඔබ තේරුම් ගැනීමට අවශ්‍යයි.

නමුත් අපි අතීශයින් ජය ගන්නා සෙනගක්ය.

ඔබගේ ජීවිතයට අනේකාකාර පරික්ෂා පැමිණෙන කළ ප‍්‍රීති වන්න. මන්ද ඒවා පවතින්නේ ස්වල්ප කාලයකි. අවසානයේ ඔබ ජය ගන්නා කෙනෙකුවේ.

1 පේත‍්‍රස් 1:6
ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීතිවන්නහුය.

පරික්ෂාවක් පීඩාවක් පැමිණි කළ ඔබ පාපයට වැටීමට, හදිසි තීරණ ගැනීමට ඉක්මන් නොවන්න. ඉවසන්න එම පරික්ෂා තුළින් දෙවියන්වහන්සේ ඔබට බොහෝ දේ කියා දෙනු ඇත. එයින් පිටතට ආ විට ඔබ ශක්තිමත් ජයග‍්‍රාහකයෙක් වනු ඇත.

පීඩාවට යට නොවී, ඒ මධ්‍යයේ ජය ගෙන, දේවල් කිරීමට පුරුදු වෙමු.

පීඩාව, පරීක්ෂාව නිසා දේව වචනයට විරුද්ධ දෙයක් කළහොත්, ඔබ යක්ෂයාට හෝ මාංශයට යටත් විය හැකිය.

පීඩාව මධ්‍යයේ ඉවසීම වැදගත්ය.

යාකොබ් 1:12
පරීක්ෂාව ඉවසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. මක්නිසාද ඔහු ඒත්තුගනු ලැබූ කල, තමන්ට ප්‍රේමකරන්නවුන්ට ස්වාමීන්වහන්සේ විසින් පොරොන්දුවුණාවූ ජීවනය නම් ඔටුන්න ලබන්නේය.

පරීක්ෂාවන් පැමිණෙන වේලාවේදී ඔබ තීරණ නොගන්න.

වැරදි තීරණ ගැනීමෙන් ඔබේ සහනය නැති වනු ඇත.

පීඩාව මධ්‍යයේ එක සිතකින් හා එන මනසකින් රැඳී සිටීම හා ඉදිරියට ගමන් කිරීම වැදගත්ය.

පීඩා මධ්‍යයේ ගමන් කරමින්, දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන්ට, දෙවියන්වහන්සේ විසින් නියම කර ඇති ජීවනයේ ඔටුන්නක් ඇත.

මම පීඩා තුළින් ඉවසීමෙන් ගමන් කරමින් ජීවනයේ ඔටුන්න ලබා ගන්නෙමි. මේ ජීවිතයේ යහපත් දේවල් භුක්ති විඳින්නට තීරණයක් ගන්නෙමි.

ඔබේ බලවත්කම අලංකාරය හා ආශීර්වාදය මනුෂ්‍යයන් දකිනු ඇත.

ඔබ සමාජයට කරදරයක් නොව, ආශීර්වාදයක් වී සිටියි.

පීඩා නිසා ඔබ තීරණ වෙනස් නොකරන්න. ජීවිතයේ ඔටුන්නක් ඔබට දී තිබෙන්නේ මේ ජීවිතයේ ජයග්‍රාහී ලෙස පොරොන්දු උරුම කරමින් ජීවත් වන්නටයි.

ඔබ ජීවනයේ ඔටුන්න අත්පත් කර නොගන්නාවූ, පීඩාවේදී පසුබට වන්නෙක් නොවී, සෑම කෙනෙකුටම මෙලෙස පීඩා පැමිණෙන බව ඒත්තු ගෙන එයට යටත් නොවී මා ඉන් ජය ගන්නවා යන ස්ථීරත්වයේ සිටින්නෙකු වන්න.

අපගේ කැපවීම අත්හැර නොදමමු.

අපි කොයි කාටත් පීඩා පැමිණෙන්ට යනවා.

ඒවා ජය ගැනීමට නම් අපි දෙවියන්වහන්සේගේ අභිමුඛත්වයේ හිඳිමින්, උන්වහන්සේ සමග කාලය ගත කරන කළ, උන්වහන්සේගේ වචනය තුළින් උන්වහන්සේ ඔබව ශක්තිමත් කරමින් ධෛර්යමත් කරනු ඇත.
එය ඔබගේ ජීවිතයට ශක්තියක් වනු ඇත.

දාවිත් තද පීඩනයට පත් වූ විට දේව අභිමුඛයට ගොසින් තමාව ශක්තිමත් කර ගන්නා ලදි.

1 සාමුවෙල් 30:6
දාවිත් තද අමාරුවට පත්විය; මක්නිසාද මුළු සෙනඟගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝකවුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනඟ කථාකළෝය. නුමුත් දාවිත් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ ශක්තිය උපදවාගත්තේය.

පීඩාව යනු යක්ෂයාගේ නපුරු ක්‍රියාවක්. යක්ෂයා උත්සුක වන්නේ ඔබව පීඩා මානසිකත්වයක තැබීමටය.

පීඩාව ඇබ්බැහි වීමක් කර නොගනිමු.

පීඩා මානසිකත්වයක් තිබීමෙන් ඔබ කිසි දෙයක් ජය ගන්නේ නැත.

ආර්ථිකව හෝ රෝගයක් ලෙස හෝ සමාජීය ප‍්‍රශ්ණයක් ලෙස හෝ පීඩාව පැමිණිය හැකියි.

ඒ වෙලාවේදී දෙවියන්වහන්සේ සමඟ අපි තනිවෙමු.

පීඩා ප්‍රශ්න පැමිණෙන වේලාවේදී තමාව වෙන් කරමින් ස්වාමීන්වහන්සේ සමඟ කාලය ගත කරන්න.

ස්වාමිපුරුෂයන් සහ භාර්යාවන් අතර ප්‍රශ්නයක් ඇති වූ අවස්ථාවේදී දෙදෙනාම වෙන්ව ස්වාමීන්වහන්සේගේ අභිමුඛයේ කාලය ගත කරමින් ශක්තිමත් වෙන්න.

දුර්වල වේලාවේදී ගන්නා වැරදි තීරණ නිසා පසුව විශාල ගෙවීමක් කිරීමට සිදුවේ.

දාවිත් දෙවියන්වහන්සේ තුළ ශක්තිමත්වූ පසු තමා ගත යුතු තීරණය දෙවියන්වහනසේගෙන් විමසීය.

1 සාමුවෙල් 30:7‭-‬8
ඒඵොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැයි දාවිත් අහිමෙලෙක්ගේ පුත්‍රවූ අබියාතර් පූජකයාට කීවේය. අබියාතර් ඒඵොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේය. මම මේ සමුදාව ලුහුබැඳෙයම් නම් ඔවුන් කරා පැමිණෙන්ට මට පුළුවන් වේදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ලුහුබැඳ යන්න. මක්නිසාද නුඹ සැබවින් ඔවුන් කරා පැමිණ නොවරදවාම සියල්ල නැවත ලබාගන්නවා ඇතැයි කීසේක.

ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ වාසය කරන නිසා අප කළ යුතු දේ ගැන අපට උන්වහන්සේගෙන් අසන්නට පුලුවනි.

පීඩා වේලාවේදී අපි ප්‍රශ්නය ප්‍රචාරය කරනවා වෙනුවට විසඳුම් ලබා ගන්නා පිණිස ස්වාමීන්වහන්සේ වෙතට යා යුතුයි.

දෙවියන්වහන්සේ දාවිත් සමඟ කථා කළසේක.

ඔබ පීඩාවක් මධ්‍යයේ සිටින අවස්ථාවේදී දෙවියන්වහන්සේගේ හඬ ඇසීම අත්‍යවශ්‍ය දෙයකි.

දාව්ත් දේව අභිමුඛයේ ශක්තිමත් වූ නිසා ඔහුට දෙවියන්වහන්සේ සියල්ල නැවත ලබා දුන්සේක.

ප‍්‍රශ්නයෙන් පීඩාවෙන් ඉන්න කළ අන් අය හා එය කථා කිරීමෙන් වලකින්න. ඒ අයගේ අනුකම්පාවට භාජනය නොවන්න. දෙවියන්වහන්සේ වෙතට ගොස් උන්වහන්සේගෙන් විචාරන්න. උන්වහන්සේ ඔබට විසඳුම පෙන්වනු ඇත.

අපට ප‍්‍රශ්නයක් කරදරයක් එන වෙලාවේදී ස්වාමීන්වහන්සේට අපව එයින් පිටතට ගෙන ඒමට මාර්ගයක් තිබෙන බැවින්, අපි නොසැලී සිටිමු.

1 කොරින්ති 10:13
මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.

මනුෂ්‍යයන් පවසන්නේ, "මට පීඩා දරාගන්නට බැරිවුන නිසයි මම තීරණයක් ගත්තේ."

නමුත් ඔබ ගන්නේ අනිවාර්යයෙන්ම වැරදි තීරණයක්.

මනුෂ්‍යයන්ගේ උපකාරය නොව. දෙවියන්වහන්සේගේ උපකාරය බලා සිටිමු.

පීඩාවේදී හදිසි තීරණ නොගන්න.

මනුෂ්‍යයන්ට විරුද්ධව එකට එක කතා නොකර, පීඩාව ප‍්‍රශ්නය මැද ඥාණවන්තව හැසිරිය යුතුය.

දෙවියන්වහන්සේ විශ්වාසවන්තව සිටියි. මනුෂ්‍යයන් අවිශ්වාසවන්ත වූවත් අපේ සහතිකය, බලාපොරොත්තුව, විශ්වාසය දෙවියන්වහන්සේ මත තැබිය හැක.

2 තිමෝති 2:11
මේක විශ්වාසවූ කීමක්ය: අපි උන්වහන්සේ සමඟ මැරුණෙමු නම් උන්වහන්සේ සමඟ ජීවත්වන්නෙමුව.

ඔබ තුළ සිටින්නේ පරණ මනුෂ්‍යයා නොවේ. ඔබට ස්වභාවයන් දෙකක් නැත. අප දැන් ජීවත්වන්නේ දෙවියන්වහන්සේ සමඟිනි.

2 තිමෝති 2:12-13
අපි ඉවසමු නම් උන්වහන්සේ සමඟ රජකම්කරන්නෙමුව. අපි උන්වහන්සේ නාඳුනමුය කියමු නම්, උන්වහන්සෙත්: නුඹලා නාඳුනමියි කියනසේක. අප අවිශ්වාසවුණත් උන්වහන්සේ විශ්වාසව සිටිනසේක. මක්නිසාද තමන්වහන්සේගේ වචනය බොරුකරන්ට උන්වහන්සේට බැරිය.

අපි උන්වහන්සේ සමඟ මැරුණා නම් උන්වහන්සේ සමඟ ජීවත්වෙමු. මේක විශ්වාසවූ කීමක්ය:

අප ඉවසනවානම් අප උන්වහන්සේ සමඟ රජකම් කරනු ඇත.

සමහර අය පවසන්නේ "මට නම් තව ඉවසන්න බැහැ."

"මම ඉවසුවා ඇති." නැහැ ඔබ පවසන්නේ මට රජකම් කරන්න ඕනේ නැහැ.

ඔබේ ඉවසීම නිසා ඔබට රජකම් කරන්න හැකියාව ඇත.

නුසුදුසු, නොගැලපෙන වචන, ඉවසීමෙන් යටපත් කර ගත යුතුයි.

දෙවියන්වහන්සේව සුළු කිරීමෙන්, හඬට ඇහුම්කන් නොදීමෙන් අපට උන්වහන්සේගේ ක‍්‍රියාව දැකගත නොහැකියි.

බොහෝ අයට අවශ්‍ය වන්නේ ක්ෂණිකව යම් දේවල් සිද්ධ වෙන්න ඕනේ කියලා.

අකීකරු වීමෙන් ඔබ මඩ වගුරකට වැටුණොත් දෙවියන්වහන්සේ ඔබ වෙනුවෙන් හාස්කමක් කරමින් ඔබව ගළවා ගනියි. නැතහොත් පියවරෙන් පියවර ඔබව ඔසවා පිටතට ගෙන එයි.

කුඩා දේවල්වලදී දෙවියන්වහන්සේට කිකරු වීම යහපත්ය, එවිට විශාල තීරණවලදී අපට පහසුවෙන් අවනත විය හැක.

අප දෙවියන්වහන්සේ කෙරෙහී විශ්වාස නොකරත් දෙවියන්වහන්සේ විශ්වාස වන්තය.

අප සත්‍යතාවේ වචනයෙන් හැසිරෙන හැම මොහොතකම ඔබ ජයග‍්‍රහණය ලබනු ඇත.

3 යොහන් 1:3-4
නුඹ සැබෑවෙහි හැසිරෙන ලෙසම නුඹ තුළ ඇති සැබෑව ගැන සහෝදරයන් ඇවිත් සාක්ෂිදුන් කල මම ඉතා ප්‍රීතිවුණෙමි.
මාගේ දරුවන් සත්‍යතාවෙහි හැසිරෙන බව ඇසීමට වඩා මහත් ප්‍රීතියක් මට නැත.

සත්‍යතාවයේ වචනය තුළ ඔබ හැසිරුණොත් ඔබට දේවල් උරුම කර ගත හැකියි.

අප ජයගන්නේ බයිබලයේ බොහෝසේ කියවන නිසා නොවෙයි. නමුත් සත්‍යතාවයේ වචනය තුළ හැසිරෙන නිසයි.

අවංකව සත්‍යතාවයේ වචනය තුළ ගමන් කිරීම වැදගත්ය.

අවංක කෙනෙකුගෙන් දෙවියන්වහන්සේ කිසි යහපත් දෙයක් වලක්වන්නේ නැත. (ගීතාවලිය 84:11)

සත්‍යතාවයේ වචනය තුළ හැසිරෙන දරුවන්ට දෙවියන්වහන්සේ ප්‍රේම කරනසේක.

අපගේ වචන, හැසිරීම, වෙනස් නොකරනවානම් අප ගැළවීම ලබා ඇති වසර ගණනින් ප‍්‍රයෝජනයක් නැත.

සත්‍යතාවයේ වචනය තුළ හැසිරෙනවානම්, දෙවියන්වහන්සේගේ දේවල් ඔබට ඉක්මණින් අත්හදා බලන්නට හැකිය.

ඔබගේ හැසිරීමත් සමඟම ඔබගේ වචන වෙනස්විය යුතුය. ඔබගේ ප්‍රකාශයත්, හැසිරීමත් ඉතා වැදගත්.

අපි ආශීර්වාද ලබන්නේ වචනය ක්‍රියාවට නංවන නිසයි.

ඔබ සත්‍යතාවේ වචනයෙන් හැසිරීමට තෝරාගතහොත් ඔබට දෙවියන්වහන්සේගේ දේවල් ඔබේ ජීවිතයේ ඉක්මනින් අත්හදා බැලීමට පුළුවන් වනු ඇත.

ගීතාවලිය 50:23
ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි; ස්වකීය හැසිරීම හරිලෙස පවත්වා ගන්නාට දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම දක්වන්නෙමි.

මනුෂ්‍යයෙකුගේ නියම හැසිරීම දැන ගත හැකි වන්නේ ඒ මනුෂ්‍යයාට පීඩාවක්, පරීක්ෂාවක් පැමිණි විටදීය.

ඔබගේ ප‍්‍රකාශනය හා හැසිරීම හරි ලෙස පවත්වා ගන්නා විට, දෙවියන්වහන්සේගේ ගැළවීම, සුවය, මිදීම, යාච්ඤාවට පිළිතුරු අත් දැකිය හැකිය.

ඔබ දන්න ටික අනුව අවංකව හැසිරෙන්න.

දේව වචවය කියවීම හා මෙනෙහිකිරීම පමණක් නොසෑහේ, එය ක‍්‍රියාවට නැංවිය යුතුය. ආශීර්වාදය ලැබෙනුයේ එලෙසිනි.

යාකොබ් 1:25
නුමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, මතක නැතිකරන අසන්නෙක් නොවී, ක්‍රියාකරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය.

ඔබ ආශීර්වාද ලබන්නේ ඔබ වචනය අනුව ක්‍රියා කිරීමේදී පමණයි. වචනය අසන්නෙක් පමණක් වීමෙන් අප අපවම රවටාගනිමුව.

යාකොබ් 1:22
නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න.

ඔබගේ නිවස් තුළ සමාදානය පවත්වා ගන්නට අවශ්‍ය නම්, ඔබ වචන වෙනස් කර ගත යුතුයි. සමාදානයේ වචන කතා කළ යුතුය. ඔබ යහපත් වචන කතා කරන්න.

ඔබ දිනපතා හරි වචන කතා කරන්නට තෝරාගැනීමක් කළ යුතුයි.
ඔබේ නිවසට ආශීර්වාදයේ වචන, ජීවනයේ වචන කතා කළ යුතුය.

අපට හොඳ හැසිරීමෙන් අපගේ නිවස් වෙනස් කර ගත හැකියි.

නිවසේ සිටින පුද්ගලයන්ගේ වචන වෙනස් නොකරනවා නම්, නිවසේ කරන යාච්ඤාවලට පසුවද වැරදි වචන නිදහස් කරනවා නම්, ඒ යාච්ඤාවලට ප‍්‍රතිඵල නොලැබී යයි.

දිනපතා වචනය අනුව ජීවත් වෙමින්, ජීවනයේ වචන කතා කරමින්, යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් යක්ෂයාගේ බලතල කඩා දැමිය හැකි වේ.

සත්‍යතාවයේ වචන අනුව ඔබව වෙනස් කරගන්න.

"අපට ආශීර්වාදලත් පවුලක් ඇත, මම දුර්වලයෙක් නොවෙමි," මෙලෙස නිතරම ප‍්‍රකාශ කිරීමෙන් යක්ෂයාට අපගේ ජීවිතයේ හෝ නිවසේ ඉඩක් නොලැබෙනු ඇත.

යක්ෂයා කුඩා මැරුණු පණුවෙක්ය. අපි ඇයි ඌට භය වන්නේ?

ඔබගේ ජීවිතය සතුරාට භාරදී ඔබ නිතරම භයෙන් සිටින්නාවූ කෙනෙක් මෙන් ජීවත් නොවී, සත්‍යතාවේ වචනයේ පවතිමින් ඔබ නිතරම ජයගන්නෙකු වන්න.

ඔබගේ නිවසේ ඔබ ආශීර්වාදලත් වචන කථා කරන්නේනම් කිසි යක්ෂයෙකුට කොයි ආකාරයෙන්වත් ඔබට විරුද්ධව නැඟී සිටිය නොහැකිය.

සත්‍යතාවේ වචනයට අනුව අපි ජීවත්වන්නේ නම් සර්පයන් හා ගෝනුස්සන් පාගා දැමීමට අපට හැකිවේ.

ඔබගේ සිතට ඇතුළු වන දේවල් ගැන ඔබ ප‍්‍රවේසම් විය යුතුයි.

සියල්ලට වඩා ඔබගේ සිත ආරක්ෂා කරගන්න.

ජීවනය නිකුත්වන්නේ අපගේ සිතින්ය.

ඔබගේ සිත සහ මුඛය ඉතා වැදගත්ය. අපගේ සිත සහ මුඛය පාලනය කරගන්නේ නම් අපගේ ජීවිතයේ වෙනස ක්‍රමානුකූලව අපට අත් දැකිය හැකිය.

ක්‍රමානුකූලව දෙවියන්වහන්සේට අකීකරුව වැරදි තීරණ ගැනීමෙන් අපි වැරදි දේවල් වලටත් වැටෙන්නේය.

හිතෝපදේශ 4:23
සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.

ඔබ වැඩිකොට අසන්නේ ලෝකයේ දේවල්ද? දෙවියන්වහන්සේගේ දේවල්ද?

ඔබ දෙවියන්වහන්සේගේ හඬ අසනවානම්, ඔබ උසස් තැන්වල තිබෙන දෙයයි සොයන්නේ. ඔබ පළමු කොට සොයමින් සිටින්නේ දෙවියන්වහන්සේගේ දේය.

යේසුස්වහන්සේ පැවසුවේද සිත සහ මුඛය පරිස්සම් කරගත යුතු බවය.

යේසුස්වහන්සේගේ ගෝලයන්ට පවා උන්වහන්සේ කීවාවූ දේවල් වටහා ගැනීමට නොහැකිවුණි.

මතෙව් 15:15‭-‬16
එවිට පේතෘස් උත්තරදෙමින්: මේ උපමාව අපට තෝරාදුන මැනවයි උන්වහන්සේට කීවේය. උන්වහන්සේ කියනසේක්: නුඹලාත් තවම තේරුම් නැතුව සිටින්නහුද?

යේසුස්වහන්සේ බොහෝවර පැවසුවත් ගෝලයන් එය තේරුම් ගෙන නොසිටියහ.

මතෙව් 15:17‭-‬18
කටට ඇතුල්වෙන සියල්ල බඩට පැමිණ වැසිකිළියට යන බව නුඹලාට තේරෙන්නේ නැද්ද? නුමුත් කටින් පිටවෙන දේ නික්මෙන්නේ සිතින්ය; මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ එයින්ය.

ඔබ අපවිත්‍ර වන්නේ ඔබගේ සිත සහ මුඛය ආරක්ෂා කර නොගන්නා නිසාය.

ඔබගේ කටින් පිටවෙන දේ නික්මෙන්නේ සිතින්ය; මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ මෙයින්.

ඔබ සිතට ඇතුල් කරන දේ ඔබගේ මුඛයෙන් පිටවන්නේය.

වැඩි වශයෙන් ඔබ මෙනෙහි කර ඇති දේ ඔබගේ මුඛයෙන් පිටවේ.

මාංශයට බර වීම දුර්වලකමක් නොවේ, අප සිතට ඇතුල් කර ඇති දේ අපව පාපයට ගෙන යන්නේය.

හරි දේ, වැරදි දේ, විනාශයේ වචන වෙනුවට අප ජීවනයේ වචන, කතා කිරීමට තෝරා ගැනීමක් කළ යුතුයි.

අපගේ මුඛයෙන් පිට වෙන්නට අවශ්‍ය වන්නේ ප‍්‍රයෝජනවත් දේය.

එපීස 4:29
නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න.

අපි යහපත් දේ, යම් කෙනෙකුගේ වර්ධනය සඳහා ප්‍රයෝජනවත් වන දේවල් කතා කරමු.

නිෂ්ප‍්‍රයෝජන, හිස් දෙඩවිලි, අනවශ්‍ය ප‍්‍රකාශන වලින් වැලකෙමු.

අප කියන්නාවූ වචන පළමුකොට ඇතුල්වන්නේ අපගේ සිතටය.

වර්ධනයක් ඇති වන අනුග‍්‍රහයේ වචන කතා කරමු.

වචනයක් වැරදුනහොත් එයට ඵලදරන්නට ඉඩ නොදී සමාව ඉල්ලා, ඉන් නිදහස්වන්න.

අපි පුරුද්දක් ලෙස දිනපතා යහපත් වචන කතා කරමු.

මතෙව් 15:18‭-‬20
නුමුත් කටින් පිටවෙන දේ නික්මෙන්නේ සිතින්ය; මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ එයින්ය. මක්නිසාද නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් නික්මෙන්නේය. මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ මේ දේවලින්ය. නුමුත් නොසේදූ අත්වලින් කෑවාට මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ නැතැයි කීසේක.

අපි නරඹන දේවල් ගැන ප‍්‍රවේසම් විය යුතුය.

අප වැඩි වශයෙන් කථා කරන්නේ සිතේ පූර්ණකමින්ය.

මතෙව් 12:34
පොළොං වංශය, නපුරුව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මක්නිසාද සිතේ පූර්ණකමෙන් මුඛය කථාකරයි.

ඔබගේ සිත ඔබ පුරවා තිබෙන්නේ මොනවායින්ද?

ආශීර්වාදය ලබා ගන්නා පිණිස දේව වචනය සිතට ඇතුල් කරගනිමු.

ඔබගේ ජීවිතයට ආශා කරන කෙනෙකු නම්, ඔබගේ අනාගතයට ඔබගේ වචන යවන්න.

ගීතාවලිය 34:11-12
දරුවෙනි, එව්, මට කන්දෙව්. ස්වාමීන් කෙරෙහි භයවීම නුඹලාට උගන්වන්නෙමි.
ජීවිතයට කැමතිවූ, යහපත දක්නා පිණිස බොහෝ දවස් වලට ප්‍රියවූ මනුෂ්‍යයා කවරේද?

ගීතාවලිය 34:13
නුඹේ දිව නපුරෙන්ද නුඹේ තොල් වංචා කථාවෙන්ද වලකාගනුව.

දිගු කාලයක් ජීවත්වීමට ආශා ඇත්නම්, යහපත් දේ දකින්ට කැමතිනම්, අපේ ඇතුලාන්තයෙන්ම දිවෙන් හා තොල් වලින් පිට වෙන දේවල් ගැන ප‍්‍රවේසම් වෙමු

අනවශ්‍ය දේවල් කතා කරන්නේ නැතිව ඔබගේ දිව පාලනය කරගන්න.
(1 පේත‍්‍රැස් 3:10, යාකොබ් 3:1-12)

ඔබ ඉවසීමෙන් තොරව කියවන්නෙකු නොවී එය ඔබේ ජීවිතයට බාධාවක් කර නොගන්න.

පරික්ෂා කරදර ප‍්‍රශ්ණ මධ්‍යයෙන් ඔබට ඔබගේ හැසිරීම දැනගත හැකිය.

පරීක්ෂා පීඩා ප්‍රශ්න මධ්‍යයේ ඔබ ඉවසීමෙන් කටයුතු කරන්නෙක් නම්, ඔබට ඔටුන්නක් ලැබෙයි. එය ඔබට දෙවියන්වහන්සේගෙන් ලැබෙන ත්‍යාගයකි.

මේ ඔටුන්න ඔබට දී තිබෙන්නේ
ඔබගේ වචන වලින් ඔබට රජකම් කරන පිණිසයි.


Watch the Sermon Video

Read 251 times