+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පීඩා, පරීක්ෂා, සෝදිසිකිරීම් පැමිණියත් යේසුස්ගේ නාමය නිසා දේව ප්‍රේමයෙන් කිසිකෙනෙකුට ඔබව වෙන් කළ නොහැකියි - යෝෂා මනූ
March 26, 2023 Sunday Sermon Notes

ස්වාමීන්වහන්සේ ඉතාම යහපත්ය.

දෙවියන්වහන්සේ අපට දී තිබෙන උතුම්ම නාමය යේසුස් යන නාමයයි.

අපට මෙම නාමය පිළිබද බොහෝ කාරණා පසුගිය සති වලින් දැනුවත් වූ අතර, අප තව දුරටත් මෙම නාමය පිළිබඳ අධ්‍යයනය කරමු.

යේසුස්වහන්සේගේ නාමය තුළ ස්වර්ගීය බලය පිරී ඇත.

ඒ නාමයට හඬ ගසන ඕනෑම කෙනෙකුට පිළිතුරු ලැබන අතර ඒ නාමයෙන් මනුෂ්‍යයන්ට ගැළවීම, නිදහස, පොරොන්දු, සුවය සහ ජයග‍්‍රහණය ලැබේ.

යේසුස්වහන්සේගේ නාමයෙන් සතුරාගේ බලය අපට නවතා දැමිය හැකිය.

පීඩා පරීක්ෂා සෝදිසි කිරීම් පැමිණියත්, යේසුස්වහන්සේගේ නාමය නිසා දේව ප්‍රේමයෙන් කිසි කෙනෙකුට අපව වෙන් කළ නොහැකියි.

අප ක‍්‍රිස්තුස්වන්සේ තුළ ධර්මිෂ්ඨයන්ය. එහෙයින් ඔබ “ධර්මිෂ්ඨයාට බොහෝ පීඩා තිබේ" යයි කියා තිබෙන බයිබල් පදය පමණක් කියවා, එතැනින් නොනැවතී, එම පදයේ ඉතිරි කොටස දෙස ඔබගේ නෙත් යොමු කරන්න. එනම් ස්වාමීන්වහන්සේ ඔහුව (ධර්මිෂ්ඨයාව) ඒ සියල්ලෙන්ම ගළවනසේක.

ගීතාවලිය 34:19
ධර්මිෂ්ඨයාට බොහෝ පීඩා තිබේ. නමුත් ස්වාමින්වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගළවනසේක.

සෑම පරීක්ෂාවෙන්ම ස්වාමීන්වහන්සේ ඔබව ගළවනසේක. එසේම උන්වහන්සේ ඔබට ගැළවීමේ මාර්ගයක්ද විවෘත කරනසේක.

යෙසායා 3:10 අනුව
"ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේය" යයි කියන්න.

අප “ධර්මිෂ්ඨයන්ට බොහෝ පීඩා තිබේ" යයි නොකියා, “ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේය" කියා පැවසිය යුතුය.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ නාමය ගෞරවයට පත්කරන පිණිස පීඩා මධ්‍යයේ ඔබට යහපත් මාර්ගයක් විවෘත කරනසේක.

පාවුල්තුමා ගැළවීම ලබන්ට පෙර සාවුල්ව සිටි කාලයේ සභාවට බොහෝ පීඩා කරමින් සිටියේය.

නමුත් දෙවියන්වහන්සේ සාවුල්ගේ ජීවිතය ගළවා ඔහුගේ නාමයද පාවුල් ලෙසින් වෙනස් කර, පරිවර්ථනය කළේය. පාවුල් යන්නෙහි අර්ථය "කුඩා" යන්නය.

පාවුල්ගේ ජීවිතය තුළ ඔහු යන යන සෑම තැනම දෙවියන්වහන්සේගේ වචනය පතල කිරීමට ඔහු තීරණය කළේය. ඔහුගේ ජීවිතය දෙවියන්වහන්සේට භාර කරමින් තම ජීවිතය තුළ නිතරම දෙවියන්වහන්සේ මහිමයට පත්විය යුතු බවට ඔහු තුළ අධිෂ්ඨානයක් විය.

ඔහු පීඩාවට, පරික්ෂාවට, සෝදිසිකිරීම්වලට භය නොවී ඉන් ජය ගැනීමට තීරණය කරන ලදි.

ඔහුගේ ජීවිතයේ මනුෂ්‍යයන් ඔහුට පීඩා කළා, කසපහර ගැහුවා, ඔහු බොහෝ අවස්ථාවන්වල මරණාසන්නව පවා සිටියත්, දෙවියන්වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගළවා මුදවා හොඳ සාක්ෂිකාරයෙක් බවට පත් කළේය.

ඒ ජයග‍්‍රහණය තුළින්, ක‍්‍රිස්තුස්වහන්සේ තුළ අපි කවුද? අපේ උරුමය ගැන, අපට කළහැකි දේ කුමක්ද? යන්න එළිදරව් වචන ඔහු ලියනු ලැබුවේය. ඔහු තුළ පුදුමාකාර ලෙස එළිදරව්වේ වචනය බලවත්වසේ ක‍්‍රියාත්මක වූයේය.

රෝම 8:35
ක්‍රිස්තුස්වහන්සේගේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භීක්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන්කරන්නේද?

දෙවියන්වහන්සේ පළමුකොට අපට ප්‍රේම කළසේක. අපි උන්වහන්සේව සෙව්වේ නැතිමුත්, අප උන්වහන්සේට ආරාධනා කළ දවසේ දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපව සොයා පැමිණිසේක. අපව උන්වහන්සේ වෙතට ඇදගැනීමට උන්වහන්සේ බලා සිටිසේක.

ක‍්‍රිස්තුස්වහන්සේගෙන් අප වෙන්කිරීමට බොහෝ දේවල් පැමිණෙයි.

එහෙත් ක‍්‍රිස්තුස්වහන්සේගේ අසීමිත ප්‍රේමයෙන් අපව වෙන්කිරීමට ඒ කිසිවකට නුපුළුවන.

රෝම 8:36
ඒ හැටියට, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව.

අපගේ ඇදහිල්ල මරා දමණ පිණිස බොහෝ බාධා පැමිණියත්, සාක්ෂි නොදරා සිටීමට, මනුෂ්‍යයන්ගේ ප‍්‍රකාශ වලින් අප පැකිලීමට පත් කිරීමට, අපගේ කිතුණු ජීවිතය ඇදහිල්ලේ ගමන ඉදිරියට යාම වැලැක්වීමට යක්ෂයා කුමන හේතූන් දවස්පතා ගෙන ආවත්, ක‍්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන්කිරීමට ඒ කිසිවකට නොහැකිය.

අප අත්දුටුවාවූ අසීමිත බලවත් ඒ දිව්‍යමය ප්‍රේමයෙන් අපව වෙන්කිරීමට කිසිවකට නුපුළුවන.

මා නොව දැන් ජීවත්වන්නේ මා තුළ ජීවත්වන්නේ ක්‍රිස්තුස්වහන්සේය.
මා ජීවත්වන්නේ මළවුන්ගෙන් නැවත නැඟිටුනු දෙව් පුත‍්‍රයාණන්ගේ
ඇදහිල්ලෙන්ය.

ගලාති 2:20
මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.

මනුෂ්‍යයා අපගේ සිත වේදනාවට පත් වන දේ ප‍්‍රකාශ කරන කළ, අප මමත්වයට මැරී තිබෙනවානම්, කැළඹෙන්නේ නැත, භය වෙන්නේ නැත. මනුෂ්‍යන්ගෙන් පැමිණෙන සිත් වේදනා වලට අපි ප‍්‍රතිචාර දක්වන්නේ වෙනස් ආකාරයකටය. මන්ද දේව ප්‍රේමය අප තුළ තිබෙන හෙයිනි.

මනුෂ්‍යයා මෙවැනි දේ යේසුස්වහන්සේටත් පවසන ලදි.

ඔවුන් එලෙස පවසන්නේ, දෙවියන්වහන්සේගෙන්, දේව ප්‍රේමයෙන් අප වෙන්කිරීමට,අපගේ කට වසා දැමීමට හෝ අපගේ ඇදහිල්ලේ ගමන නවත්වා දැමීමටය.

මේ ප‍්‍රශ්ණ පීඩා මැදින් අපි ගමන්කරන විට දානියෙල් පොතේ යුදෙව් තරුණයන් තිදෙනා ගින්නට දැමූ අවස්ථාවේ සතරවෙනි මනුෂ්‍යයා දිස්වූවා සේ, අපගේ ජීවිතයේද හතරවෙනි මනුෂ්‍යයා ප‍්‍රකාශ වෙනු ඇත.

මනුෂ්‍යයන් අපට නින්දා අපහාස පීඩා ගෙනෙද්දීත් අප නිහඬව සිටින කළ, අප නිහඬ බැවින්, අප කෙලෙසද එලෙස සිටින්නේ කියා ඔවුන් මවිතයට පත්වේ..

දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් ගල් සිතක් පවා ඉවත්කර ඒ මනුෂ්‍යයාගේ ජීවිතය වෙනස් කරන්නට උන්වහන්සේට පුලුවන.

දෙවියන්වහන්සේ සත්‍යතාවේ වචනය අපට දී තිබෙන්නේ නිතරම පීඩා ගැන කථා නොකර පීඩා ජයගැනීමටය.

බයිබල් පාඨ කියවමින් අප ශක්තිමත්විය යුතුය.

රෝම 8:36
ඒ හැටියට, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව; මරණයට නියමකළ බැටළුවන් මෙන් ගණන්ගනු ලැබුවෙමුයයි ලියා තිබේ.

අපගේ පරණ මනුෂ්‍යයා මැරී දැන් අප මළවුන්ගෙන් නැඟිටි යේසුස්වහන්සේගේ ආත්මය හා සම්බන්ධවී සිටින හෙයින්, මනුෂ්‍යයා කුමක් කළත් දෙවියන්වහන්සේගේ අසීමිත ප්‍රේමය අප තුළ තිබෙන බැවින්, එම ප්‍රේමය තුළින් ප‍්‍රතිචාර දැක්වීමට අපට පුළුවන.

රෝම 8:37
නුමුත් අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව.

කුමන බාධා, පීඩා පැමිණියත් ක‍්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය තුළ අප අතීශයෙන් ජයගන්නන් වෙමුව.

පීඩා, පරික්ෂා, සෝදිසිකිරීම් ජයගන්නා බව නිතරම අපගේ මුවින් පැවසිය යුතුය.

පීඩා මානසිකත්වයකින් තොරව, මා හට ජයග‍්‍රාහී මානසිකත්වයක් ඇත. මා අතීශයෙන් ජය ගත්තෙක්යැයි ඔබ පවසන්න.

එවිට ඔබ ජයග‍්‍රහණය ලැබුයේ යේසුස්වහන්සේ නිසා බව ඔබ දැනගන්නවා ඇත.

යේසුස්වහන්සේ ගෙත්සමන උයනේ සිටින විට උන්වහන්සේගේ කුරුසපත්වීම ගැන උන්වහන්සේට මහත් මානසික වේදනාවක් දැනුණි. (ලූක් 22:42-44)

යේසුස්වහන්සේ මෙළොවට පැමිණියේ අපව පාපයෙන් මුදවාලීමටත් අප උදෙසා දිවි පිදීමටත්ය.

පියාණන්වහන්සේ කැමැතිනම් මේ කුසලානය පහවෙන ලෙස උන්වහන්සේ තුන් වතාවක් යාච්ඤා කරන ලදි. නමුත් උන්වහන්සේගේ කැමැත්තට නොව පියාණන්වහන්සේගේ කැමැත්තට උන්වහන්සේ අවනත වූයේය. (මතෙව් 26:36-46)

යේසුස්වහන්සේ කුරුසපත්වන විට සිය කැමැත්තෙන්ම එය කිරීමට උන්වහන්සේ තීරණය කර හමාරය. උන්වහන්සේ එම පියවර ගනු ලැබුවේ උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිටිනවා යන ජයග‍්‍රාහී සිතුවිල්ලෙනි.

රෝම 8:38
මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්, 39 උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි.

පාවුල්තුමා නව ගිවිසුමේ පොත් රාශියක් ලියනු ලැබුවේය. ඔහු පරික්ෂා පීඩා තුළින් ගමන් කළත් ඒ හැම අවස්ථාවකදීම නොසැලී, භය නොවී තමා ජයගන්නෙකු වන බව දැන සිටි නිසා හරි තීරණ ගනු ලැබුවේය.

මැරෙන තරම් පීඩා පැමිණියත් පාවල්තුමා ඉන් ජයගත්සේක. මන්ද ඔහුගේ හදවත තුළ තිබුනෙත්, ඔහු ප‍්‍රකාශ කළෙත් දෙවියන්වහන්සේගේ ප්‍රේමයයි.

දෙවියන්වහන්සේ ඔහුට මහත් සේ ප්‍රේම කරන බව පාවුල් දැන සිටියේය.

සමහර විට අපට පරික්ෂා පීඩා පැමිණෙන කළ අප සිතනුයේ මට වැරදුනේ කොතැනද, මා කළ පාපය කුමක්ද කියාය. නමුත් එය යක්ෂයා අපට ගෙනෙන්නාවු පීඩාවකි. අප තීරණය කළ යුත්තේ අප එයින් ජය ගන්නා බවය.

දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කිරීමට නොහැකි බව අප ඒකාන්තයෙන්ම දැන ගත යුතුය.

රෝම 12:9
ප්‍රේමය වංචා රහිත වේවා. නපුරට පිළිකුල්කොට යහපතට ඇලුම්වෙන්න.

දිව්‍යමය ප්‍රේමය අප තුළ තිබෙන කළ අප ක‍්‍රියා කරනුයේ අවංකවය.

රෝම 12:12
බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න; දුකේදී ඉවසිලිවන්තව සිටින්න; යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න;

මෙහි "දුක" යන වචනයෙන් අර්ථවත් වන්නේ පීඩාව නැතහොත් පරික්ෂාවයි.

පීඩා පරික්ෂා පැමිණෙන කළ අප ඉක්මන් නොවිය යුතුය. ඉවසිලිවන්තව තීරණ ගත යුතුය.

පීඩා ගෙනෙන මනුෂ්‍යයන්ට ප‍්‍රීතියෙන් ප‍්‍රතිචාර දක්වමු. මන්ද ඒ අයට වඩා අපට බලාපොරොත්තුවක් ඇත.

අපට තිබෙන්නේ ජීවන බලාපොරොත්තුවක් බව බයිබලය පවසයි.

බලාපොරොත්තුවක් රහිත මනුෂ්‍යයාගේ ප‍්‍රතිචාරයට භය නොවී ඒ අයගේ ගැළවීම උදෙසා අප නොකඩවා යාච්ඤාවේ නිරතවෙමු. එය අපගේ ජීවිතයේ අධිෂ්ඨානයක් කර ගත යුතුය.

ක‍්‍රියා 14:22
අප විසින් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට බොහෝ දුක් (පීඩා, පරික්ෂා) විඳිමින් ඇතුල්වෙන්ට ඕනෑයයි කියා ගෝලයන්ගේ සිත් සවිකොට, ඇදහිල්ලේ පවතින්ට ඔවුන්ට අවවාදකළෝය.

අප අන්ධකාර රාජ්‍යයෙන් මිදී දේව පුත‍්‍රයන්ගේ අනුග‍්‍රහයට ඇතුල් වීමෙන් අප රාජ්‍යය මාරු කළ හෙයින් යක්ෂයා අපට පිටාතරයෙන් බලපෑම් කරන්නට තැත් කරයි.

මෙම පිටාතර බලපෑම් මනුෂ්‍යයන් තුළින්, වාතාවරණය තුළින්, වචන තුළින් පැමිණිය හැකිය. මෙවැනි දේ පැමිණෙන කළ ඔබ මනුෂ්‍යයා සමඟ වෛර නොබැඳ, කෝප නොවී සිටිය යුතුය. මන්ද ඒ මනුෂ්‍යයන් ඔබට කථා කරනුයේ යක්ෂාකාර සිතුවිලි තුළිනි.

අප එවැනි මනුෂ්‍යයන් සමඟ වෛර බැද ගතහොත් අපට කිසිදා සුභාරංචිය ප‍්‍රකාශ කිරීමට නොහැකි වනු ඇත.

අදටත් ලෝකයේ බොහෝ දෙනෙක් ක‍්‍රිස්තුස්වන්සේගේ නාමය නිසා පීඩා විදිති.

යේසුස්වහන්සේ ඔබගේ ස්වාමීන් කියා ප‍්‍රකාශ කර ඔබ වෙනස් වීමට පටන් ගත් දින සිට ඔබගේ නිවස තුළින්ද පීඩා පැමිණිය හැකිය.

ඒ අය ඔබට විරුද්ධව ක‍්‍රියා කරත් එහි පිටුපස සිටින්නේ යක්ෂයාය.

ඔබ ගැළවීම ලබා ඇදහිල්ලෙන් ස්ථීරව මෙම ගමන ගමන් කරනවාට සාතන් කොහොමටවත් කැමති නැත.

පාවුල්තුමා පවසන්නේ අප ඇතුල්වී සිටින්නේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයටය. දෙවියන්වහන්සේගේ රාජ්‍යය අප තුළයි. එම රාජ්‍යය තුළ ඇත්තේ ධර්මිෂ්ඨකම, ප‍්‍රීතිය හා දෙවියන්වහන්සේගේ සමාදානයයි.

පීඩා පරික්ෂා අපගේ ජීවිතයට ඇතුල්වීමට අවශ්‍යයි. එය සිදුවන දෙයකි. අප අපගේ සිත් සවිමත් කරගනිමින් ඇදහිල්ලෙන් ගමන් කළ යුතුය.

මාර්ක් 4:16-17
16 එසේම ගල්බිම්වල වපුරනලද්දෝ නම්, වචනය ඇසූ කෙණෙහිම ප්‍රීතියෙන් පිළිගන්න නුමුත්, 17 තමුන් තුළ මුල් නැති බැවින් මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් (පීඩාව, පරික්ෂාව) හෝ පීඩාවක් හෝ පැමිණි කල්හි, එකෙණෙහිම බාධාවන්නෝවෙත්;

පීඩා පැමිණෙන්නේ වචනය නිසාමය.

පීඩා පැමිණෙන්නේ ඔබගේ ඇදහිල්ල නැති කර දැමීමටය. වචනය උගුලා දමන්නටය.

පාවුල්තුමා පවසන්නේ අපගේ සිත් සවිමත් කරගනිමින් එකිනෙකා ධෛර්යයමත් කර ගන්නා ලෙසය. ක‍්‍රියා 14:22

අප භය නොවී, නොකැළඹී, බයිබල් පද කියවමින් එකිනෙකාව ශක්තිමත් කර ගනිමු.

ඔබට බොහෝවිට විරුද්ධකම් පැමිණෙනුයේ ඔබ ළඟින්ම සිටින අයගෙනි.

මොන බාධක තිබුණත් සෑම නගරයකටම ගොස් වචනය ප‍්‍රකාශ කිරීමට පාවුල්තුමා තීරණය කරන ලදි.

ක‍්‍රියා 20:23-24
23 නුමුත් බැඳුම්ද දුක්ද (පීඩාව, පරික්ෂාව) මට පැමිණේයයි ශුද්ධාත්මයාණන් වහන්සේ සියලු නුවරවලදී සාක්ෂිදෙනසේක. 24 නුමුත් මාගේ දිවීමද දෙවියන්වහන්සේගේ කරුණාවේ ශුභාරංචියට සාක්ෂිදෙන පිණිස ස්වාමිවූ යේසුස්වහන්සේගෙන් මට ලැබුණු මෙහෙයද සම්පූර්ණකිරීම පමණ මාගේ ජීවිතය වැදගත්ය. නොහොත් මටම අගේය කියා මම කිසිසේත් නොසලකමි.

මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේ බොහෝ සේ ප්‍රේමකරනවා යන අනුග‍්‍රහයේ වචනය, සුභාරංචිය ප‍්‍රකාශ කිරීම පාවුල්තුමා තම වගකීමක් කරගන්නා ලදි.

යක්ෂයාගේ බන්ධන වලින් මනුෂ්‍යයන් නිදහස් වනවාට යක්ෂයා කිසිසේත් කැමති නැත. එහෙයින් යක්ෂයා මනුෂ්‍යයාට පීඩන, පරික්ෂා එවනු ලබයි.

බයිබලයේ පරණ ගිවිසුමේ ශුද්ධවන්තයන්ද බොහෝ පීඩා තුළින් ගමන් කරන ලදි. හෙබ්‍රෙව් 11:36-40

දානියෙල් සහ ඔහුගේ මිතුරන් තිදෙනාද මහත් පීඩාවන්ට මුහුණ දුන්නෝය. දානියෙල් 3:15-30, 6:16-28

ඔවුන් කුමක් සිදුවුනත් දෙවියන්වහන්සේගේ නාමයට විරුද්ධ දේ නොකරන්නට තදින්ම තීරණය කර තිබුණි.

ඔවුන්ගේ ක‍්‍රියා වලින් ඔවුන් දෙවියන්වහන්සේගේ නාමය මහිමයට පමුණුවන ලබුවෝය.

හෙබ්‍රෙව් 11:33-39
ඔව්හු ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත්කළෝය, ධර්මිෂ්ඨකම් කළෝය, පොරොන්දු ලබාගත්තෝය, සිංහයන්ගේ මුඛ පියෙවුවෝය, 34 ගින්නේ උෂ්ණය නිවුවෝය, කඩුමුවහතින් ගැළවුණෝය, දුර්වලව සිට ශක්තිමත්කරනු ලැබුවෝය, යුද්ධයෙහි බලසම්පන්නවූවෝය, අන්‍ය සේනාවක් පන්නාදැමුවෝය. 35 ස්ත්‍රීහු නැවත-නැගිටීමකින් තමුන්ගේ මළවුන් ලැබුවෝය. වෙන අය වඩා උතුම් නැවත-නැගිටීමක් ලබන පිණිස, මිදීම පිළි නොගෙන වධකරනු ලැබුවෝය. 36 තවත් අය සරදම්වලින්ද පහරවලින්ද, එසේය, බැඳුම්වලින් සහ හිරගෙයි දමනු ලැබීමෙන්ද පරික්ෂාකරනු ලැබුවෝය. 37 ඔව්හු ගල්ගසනු ලැබුවෝය, කියතෙන් ඉරනු ලැබුවෝය, පරීක්ෂා කරනු ලැබුවෝය, කඩුවෙන් මරනු ලැබුවෝය. ඔව්හු අසරණකම්ද පීඩාද නපුරුකමද විඳිමින්, බැටළු හම්ද එළු හම්ද ඇඳගෙන, ඔබ මොබ ගියෝය. 38 ඔව්හු කාන්තාරවලද කඳුවලද ගුහාවලද පොළොවේ බෙනවලද ඇවිද්දෝය; ඔවුන්ගේ විසීමට ලෝකය නොවටෙන්ය. 39 මොවුන් සියල්ලෝ ස්වකීය ඇදහිල්ල කරණකොටගෙන සාක්ෂිය ලැබත්, පොරොන්දුව නොලැබුවෝය.

පරණ ගිවිසුමේ සිටි ශුද්ධවන්තයන් මෙතරම් මහත් පීඩා පරික්ෂා මැදින් ගමන් කරත් ඔවුන් යේසුස්වහන්සේව දැන සිටියේ නැත.

ඔවුන් දැන සිටියේ යෙහෝවාවහන්සේව පමණි.

එහෙත් ඔවුන් මහත් පීඩා මැදින් ගමන් කරන අවස්ථාවේදී පවා සාක්ෂි දරමින් සිටියෝය.

අද අප තුළ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ සිටියි. උන්වහන්සේගේ ලේ අප තුළයි. එහෙයින් අපට සියලු දේ ජය ගත හැකිය.

හෙබ්‍රෙව් 11:40
එසේ වුණේ ඔවුන් අප නැතුව සම්පූර්ණ නොවන පිණිස දෙවියන්වහන්සේ වඩා උතුම් දෙයක් අප ගැන කලින් පිළියෙළකර තිබුණු නිසාය.

අප පීඩා, පරික්ෂා තුළින් ගමක් කරන කල, මෙය සතුරා විසින් මා තුළ තිබෙන වචනය සොරකම් කර, මාගේ ඉදිරි ගමන නවතා, ඇදහිල්ලෙන් ගමන් නොකර සිටීමට සලස්වා මාව දෙවියන්වහන්සේගෙන් ඈත් කිරීමටයි සැලසුම් කරන්නේය කියා අප දැන සිටිය යුතුයි. එහෙත් මම ජය ගන්නෙමි, ජය ගන්නෙමි කියා අප ස්ථීර අධිෂ්ඨානයෙන් ප‍්‍රකාශ කළ යුතුය.

මම අතීශයෙන් ජය ගන්නෙක්මි කියා ඔබ තීරණය කළහොත් ඔබ අනිවාර්යයෙන්ම ජය ගනු ඇත.

යේසුස්වහන්සේ මා තුළ සිටින නිසා උන්වහන්සේ තුළින් මා ජය ගන්නෙමි, මා අතීශයෙන් ජය ගන්නෙමි යයි අප පැවසිය යුතුය.
Watch the Sermon Video

Read 316 times