+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

කිතුනු චරිතය - මනූ මැතානි
March 19, 2023 Sunday Sermon Notes


දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ක‍්‍රියාවන් ඉටු කිරීමට භක්තිවන්ත මනුෂ්‍යයන් අපට මුණ ගස්වනු ඇත.

ක්‍රියා 18:7
ඔහු එතැනින් අහක්ව ගොස්, දෙවියන්වහන්සේට නමස්කාරකළාවූ තීතස් යුස්තස් නම් මනුෂ්‍යයෙකුගේ ගෙදරට ගියේය; ඔහුගේ ගේ සිනගෝගයට යාව තිබුණේය.

දෙවියන්වහන්සේ විසින් අප උදෙසා පිළියෙළ කර ඇති දේවල් සඳහා නියම වේලාවේදී නියම පුද්ගලයන් සමඟ උන්වහන්සේ අපව සම්බන්ධ කරන්ට විශ්වාසවන්තව සිටිනසේක.

ආබ‍්‍රහම් කළා සේ අපිත් උන්වහන්සේට උදව් කිරීමට අවශ්‍යය නැත. එසේ කිරීමෙන් අපද ආබ‍්‍රහම් මෙන් අපහසුතාවයට පත්වෙනු ඇත.

ඇදහිල්ල නිතරම ක‍්‍රියාත්මක වන්නේ දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වීමෙනි.

ඇදහිල්ල තුළින් බොහෝ දේවල් ලබා ගැනීමට මෙන්ම බොහෝ දේවල් වෙනස් කිරීමටද පුලුවන් වනු ඇත.

ඇදහිල්ල අවංක විය යුතුය, මන්ද අවංක නොවන ඇදහිල්ලක්ද ඇත.

ඇදහිල්ලෙන් ක‍්‍රියා කරනවා ලෙස පෙනුනත්, එය මෝඩකම හෝ හිතුවක්කාරකම හෝ වෙනත් දෙයක් හෝ විය හැකිය.

අපි අසන දේශනාවන් අපේ ජීවිතවලට අදාල කරගැනීම අවශ්‍යයයි.

අවංක ඇදහිල්ලට ප‍්‍රතිඵල ඇත. හිතුවක්කාරකමින් ද ප‍්‍රතිඵල ලබාගත හැකි මුත් එය කල් නොපවති.

දෙවියන්වහන්සේගේ ආශීර්වාදය පළමුකොට ආත්මිකව, අපේ ජීවිතවලට පොහොසත්කමක්, වැඩිවීමක්, වර්ධනයක්, ඉදිරියට යාමක්, ඉහළට යාමක් ගෙන දෙන්නේය.

1 තිමෝති 1:3
අමුතු ධර්ම නූගන්වන හැටියටද, ප්‍රබන්ධත් ඇදහිල්ලෙහිවූ දෙවියන්වහන්සේගේ මාර්ගය වර්ධනයකිරීම වෙනුවට විවාද උපදවන,

අපි අමුතු ඉගැන්වීමිවලට ඇහුම්කන් නොදෙමු.

දෙවියන්වහන්සේ සත්‍යයය. උන්වහන්සේ වෙනස් නොවන නිසා සත්‍යයද කාලයෙන් කාලයට වෙනස් නොවන්නේය.

උන්වහන්සේ තමන්ගේ සත්‍යයේ වචනයද කාලයෙන් කාලයට වෙනස් නොකරනසේක.

අපගේ අත්තිවාරම වෙනස් නොකරමු.

අනවශ්‍ය ඉගැන්වීමිවලින් අපගේ ජීවිතවලට විවාද හා ප‍්‍රශ්නාර්ථ එකතු විය හැකිය.

අපේ ජීවිතයේ පාරම්පරික දේවල් දෙවියන්වහන්සේගේ වචනයට විරුද්ධව තිබිය හැකිය.

යේසුස්වහන්සේ තදින්ම මේ ගැන කථා කළසේක.

මාර්ක් 7:13
මෙසේ නුඹලා භාරදී තිබෙන නුඹලාගේ නියෝගවලින් නුඹලා දෙවියන්වහන්සේගේ වචනය අවලංගුකරන්නහුය. නුඹලා තවත් එබඳු බොහෝ දේ කරන්නහුයයි කීසේක.

යේසුස්වහන්සේගේ නාමය පාවිච්චි කර ඕනෑම කෙනෙකුට දේශනා කළ හැකිමුත්, දෙවියන්වහන්සේගේ ආත්මය නැතිනම් ඒ වචනය සනාථ වන්නේ නැත.

සමහර දෙවල් අපට අවංකයැයි භාහිරව පෙනුනත් අවංක නොවන දේද ඇත.

සමහර අය තමුන්ගේ සාක්ෂිවලටත් දේව වචනයට එකඟ නොවන දේවල් එකතු කර තිබේ. සත්‍යය නොවන සාක්ෂිද ඇත.

සත්‍යය දෙවියන්වහන්සේගේ වචනයයි. අප පිළිගත යුත්තේ දෙවියන්වහන්සේගේ වචනයට එකඟ වන දෙයයි.

යම් තීරණයක් ගැනීමට පෙර ඔබගේ ආත්මයටත් ඔබගේ මනසටත් එකඟ වන දේවල්, සමාදානයක් ලැබෙන දේවල් පමණක් කළ යුතුය.

අපගේ ආත්මයත් දෙවියන්වහන්සේගේ ආත්මයත් දැන් එකට එක්වී තිබේ.

අපගේ ආත්මයට කවදාවත් වරදින්නේ නැත.

1 කොරින්ති 6:17
නමුත් ස්වාමින්වහන්සේට එක් වූ තැනැත්තේ එක ආත්මයය.

පවුලක් තුළ ස්වාමිපුරුෂයා හා භාර්යාව අතර හොඳ සම්බන්ධතාවයක් තිබිය යුතුය. පවුලේ එකමුතුකම ගොඩනඟා ගත යුතුයි.

ඔබේ පවුල් ජීවිතයේ බාධාව යාච්ඤාවට බාධාවක් නොවන ලෙස එකඟතාවයක් ඇතිකර ගත යුතුයි.

1 පේතෘස් 3:6
එලෙස සාරා ආබ්‍රහම්ට ස්වාමියායයි කියමින් කීකරුවුණාය. නුඹලාත් කිසි භීතියක් කරණකොටගෙන භය නොවී යහපත කරන්නහු නම්, ඇගේ දරුවෝව සිටින්නහුය.

ගැළවීම නොලැබූ ඔබගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව ඔබට කවදා හෝ දෙවියන්වහන්සේ වෙතට දිනාගැනීමට නම් ඔවුන් ඉදිරියේ ඔබ ඇවිදින බයිබලයක් ලෙසින් හැසිරිය යුතුය.

1 පේතෘස් 3:7
එසේම, පුරුෂයෙනි, නුඹලාගේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස, වඩා දුර්වල භාජනවූ භාර්යාවන් සමඟ දැනගැන්මේ හැටියට වාසයකරමින්, ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමක්කාරියන්ද බැවින් ඔවුන්ට ගෞරව දෙන්න.

යාච්ඤාවට බාධා නොපැමිණෙන අයුරින් ස්වාමිපුරුෂයා හා භාර්යාව සමඟ අපි එකඟවෙමු.

භාර්යාව සමඟ දැනගැනීමෙන් ජීවත්විය යුතුය. භාර්යාව වටිනා කෙනෙක් ලෙස පිළිගත යුතුය.

එලෙස සාරා ආබ්‍රහම්ට ස්වාමියායයි කියමින් කීකරුවුණාය. නුඹලාත් කිසි භීතියක් කරණකොටගෙන භය නොවී යහපත කරන්නහු නම්, ඇගේ දරුවෝව සිටින්නහුය.

භාර්යාවන් ස්වාමිපුරුෂයන්ට යටහත්පහත්ව ගරු කළ යුතුය.

යාච්ඤාවට බාධා නොපමුණුවා ගතහොත් අපට බොහෝ දේවල් අත් කරගත හැකියි.

අප සිටින්නේ කාන්තාරයේ නොව, දෙවියන්වහන්සේ අපව කිරි හා පැණි උතුරා යන දේශයකට පමුණුවා ඇත.

ඊශ‍්‍රායෙල් සෙනඟට තමුන්ගේ කැරළිකාරකම හා අවිශ්වාසවන්තකම නිසා ඔවුන්ට වසර හතළිහක්ම කාන්තාරය වටා ගමන් කරන්නට සිද්ධ වුණේය.

ඊශ‍්‍රායෙල් සෙනඟ හාස්කම් දුටුවා, නමුත් ඔවුන්ගේ හදවත්
වෙනස් වී තිබුණේ නැත.

හාස්කම් වලින් පමණක්ම ඔබේ ඇදහිල්ල වර්ධනය නොවේ.

ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙනි.

ඉශ‍්‍රායෙල් සෙනඟ හාස්කම් දුටුවිට ප‍්‍රීතිමත් හදවතකින් ගායනා කළද, මොහොතකින් ඔවුන්ට කළාවූ සියල්ල අමතක වුණේය.

ගීතාවලිය 106:8-9
එසේ වුවත් උන්වහන්සේ තමන් බලපරාක්‍රමය දක්වන පිණිස ස්වකීය නාමය නිසා ඔවුන් ගැළවූසේක. උන්වහන්සේ රතු මුහුදට තරවටුකළසේක, එය වියළුණේය. වනයක් මැදින් මෙන් ගැඹුර මැදින් ඔවුන් ගෙනගියසේක.

රතු මුහුද දෙබෑවී සාමාන්‍ය වියළි පොළොවක් මෙන් සැකසීම මහත් ආශ්චර්යයකි. දෙවියන්වහන්සේ තමන්ගේම සෙනඟ වෙනුවෙන් බලවත් හාස්කමක් කළ නමුත් ඒ දේවල් දකිමින් ඔවුන්ගේ ඇදහිල්ල කිසිදා වර්ධනය නොවුණේය.

ගීතාවලිය 106:10‭-‬12
ඔවුන්ට වෛරවූවාගේ අතින් ඔවුන් ගැළවූසේක, සතුරාගේ අතින් ඔවුන් මිදූසේක. ජලධාරාවෝ ඔවුන්ගේ විරුද්ධකාරයන් වසාගත්තෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරු නොවීය. එවිට ඔව්හු උන්වහන්සේගේ වචන විශ්වාස කොට, උන්වහන්සේගේ ප්‍රශංසාව ගායනා කළෝය.

ඊශ‍්‍රායෙල් සෙනඟ දෙවියන්වහන්සේට ප්‍රශංසා කළේ උන්වහන්සේව විශ්වාස කළේ හාස්කම් දැකීමෙන් පමණි

ඔබේ හදවත දෙවියනවහන්සේ සමඟ එකගතාවයකට පැමිණීමට අවශ්‍යයයි, එසේ වන්නේ වචනය ඇසීමෙන් හා, ඒ වචනය පිළිපැදීමෙනි, එසේම ඊට පළමු ස්ථානය දිමෙනි.

ගීතාවලිය 106:13
ඔව්හු උන්වහන්සේගේ ක්‍රියා වහාම සිහිනැතිකරමින්, උන්වහන්සේගේ මන්ත්‍රණය බලානොසිටියෝය.

ඉශ‍්‍රායෙල් සෙනඟ ඉතා ඉක්මනින් දෙවියන්වහන්සේ කළාවූ දේවල් අමතක කරන ලදි.

ඔබේ ජීවිතයේ දෙවියනවහන්සේගේ හාස්කම් ඉක්මනින්ම අමතක වෙනවා නම් උන්වහන්සේගේ වචනය ඔබේ හදවතට ඇතුල් වී නැත, ඔබ වචනය අනුව ජීවත් වන කෙනෙකුද නොවන්නේය.

වචනය කෙරෙහි බලා සිටීමෙන් ඇදහිල්ලද ඉවසිල්ලද ඇතිවන්නේය.

මනුෂ්‍යයන්ගේ බොරු වර්ණනාවන් මත ඔබගේ ඇදහිල්ල ගොඩනඟා නොගන්න.

මනුෂ්‍යයන්ගේ වර්ණනා තුළින් ඔබ ජීවත්වුවහොත් ඔබට දෙවියන්වහන්සේව ප‍්‍රසන්න කළ නොහැකියි.

යොහන් 5:44
එකම දෙවියන්වහන්සේ කෙරෙන් පැමිණෙන ගෞරවය නොසොයා, එකිනෙකාගෙන් ගෞරවය ලබන්නාවූ නුඹලාට විශ්වාසකරන්ට පුළුවන් කොහොමද?

ඔබ ගෞරවය ලැබිය යුත්තේ එකිනෙකාගෙන් නොව, නමුත් දෙවියන්වහන්සේගෙන් පමණි.

අපි මනුෂ්‍යයන්ගේ වර්ණනාවන් කෙරෙහි බලාපොරොත්තු නොවෙමු.

දෙවියන්වහන්සේ නිතරම ඔබට ගරු කරනසේක, ඔබගේ හදවතට කතාකරනසේක, ඔබව පිළිගන්නාසේක.

මනුෂ්‍යයන්ගේ ගෞරවයත් අනුකම්පාවත් ලබා ගැනීමට වඩා ප‍්‍රසිද්ධයේ ලබන තරවටුව වටියි.

හිතෝපදේශ 27:5
ප්‍රසිද්ධියේ තරවටුකිරීම සැඟවී තිබෙන ප්‍රේමයට වඩා හොඳය.

හිතෝපදේශ 27:6
මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකමින් වේ; එහෙත් සතුරෙකුගේ සිඹීම් අධිකව තිබේ.

මනුෂ්‍යයන් ඉදිරියෙහි පිළිගැනීමට ප‍්‍රියවීම අපගේ වැටීමට හේතුව විය හැකියි.

හිතෝපදේශ 29:5
තමාගේ අසල්වාසියාට ඉච්චාකරන්නා ඔහුගේ පාදවලට දැලක් එළයි.

බොරු වර්ණනාවන් තුළින් අපගේ ජීවිතය විනාශයකට ඇද වැටිය හැකිය.

ඔබගේ ඇදහිල්ල ක‍්‍රියා විරහිත වන සෑම මෙහොතකම, මනුෂ්‍ය ගෞරවය නිශ්ඵල බව සිතන්න.

එකම දෙවියන්වහන්සේ කෙරෙන් පැමිණෙන ගෞරවය නොසොයා, එකිනෙකාගෙන් ගෞරවය ලබන්නාවූ නුඹලාට විශ්වාසකරන්ට පුළුවන් කොහොමද?

මනුෂ්‍යයන්ගේ ගෞරවය ලබා ගැනීමෙන් ඇදහිල්ල ක‍්‍රියා විරහිත වේ.

දෙවියන්වහන්සේගේ ආශීර්වාදය ක‍්‍රමානුකූලව අප වෙත ගෙන ඒමෙන් උන්වහන්සේ අපට ගෞරවය ලබා දෙයි.

ඔබ ගැනම පුරසාරම් නොදොඩන්න.

හිතෝපදේශ 20:6
බොහෝ දෙනෙක් තම තමුන්ගේම කරුණාවන්තකම ප්‍රකාශකරති; එහෙත් විශ්වාස මනුෂ්‍යයෙක් කාට සම්බවේද?

විශ්වාසවන්ත මනුෂ්‍යයාව දෙවියන්වහන්සේ උසස් කරනසේක.

තමා ගැනම පුරසාරම් දොඩවන මනුෂ්‍යයා හිස්වූ භාජනයක් වැනිය.

දේව වචනයෙන් අපට තරවටුව ලැබේ. එමඟින් අපගේ දුර්වලකම් පෙන්වා දෙන විට එය නිවැරදි කරගැන්ම අවශ්‍යය.

දෙවියන්වහන්සේගේ ගමන් මඟ නම් ඔබ යටත්වෙන්න, මම ඔබව ඔසවන්නම්.

පේත‍්‍රැස් හැම දෙයටම ඉක්මන්වූ මනුෂ්‍යයෙක් වූයේය. යේසුස්වහන්සේව අත් අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු යේසුස්වහන්සේ නාඳුනන බව කියමින් තුන්වතාවක් පාවාදෙන ලදි. කිසිදා යේසුස්වහන්සේව අත්හැර නොයමියි කියූ ඔහුගේ හිතුවක්කාරකමින් ඔහු එදා නිදහස්වුණේය.

අපගේ වැටීමට කාරණා අප සාදගෙන සිටියත් දෙවියන්වහන්සේ එයට ප‍්‍රතිකාර දෙනසේක.

1 පේතෘස් 5:6
එබැවින් දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස්කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න;

දෙවියන්වහන්සේ ඉදිරියේ යටත් වෙමු. යටහත් මනුෂ්‍යයාට දෙවියන්වහන්සේගේ හඬ ඇසිය හැක. ඔහු කලබලකාරී නොවේ, ඉක්මන් නොවේ, නොකැළඹෙයි.

හදිසි ඉක්මන් තීරණ ගන්නාවු අය, හිඟතාවයටත් කරදරයටත් පත්වේ.

හිතෝපදේශ 21:5
කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ; එහෙත් ඉක්මන්කාරයා ඉක්මන්වෙන්නේ හිඟවීමට පමණකි.

ශුද්ධාත්මයාණන්ගේ හඬට ඇහුම්කන් දී, වචනයත් සමග ක‍්‍රියා කරන්නේ නම්, අපට ලැබෙන්නේ ලාභය පමණයි.

ඉක්මන්වීම මෝඩකමකි. ඉක්මන්වෙන්නා ඉක්මනටම තමාගේ ජීවිතය විනාශකර ගනියි.

අපට තරවටුව ලැබෙන්නේ අපගේම යහපත සඳහායි.

යාකොබ් 5:12
නුමුත්, මාගේ සහෝදරයෙනි, නුඹලා වරදට පත් නොවන පිණිස, ස්වර්ගය ගැනවත් පොළොව ගැනවත් වෙන කිසිවක් ගැනවත් නොදිවුරන්නැයි ප්‍රධානකොට කියමි. නුඹලාගේ එසේය කීම එසේය කියාද, නැත කීම නැත කියාද වේවා.

අන් අය ලවා ඔබගේ චරිත සාක්ෂිය ගොඩනඟා නොගන්න.
අපගේ සාක්ෂිය අපිම හදාගන්න අවශ්‍ය නැත. නමුත් දේව වචනය තුළ පැවතීමෙන් අපට ඉබේම සාක්ෂියක් ලැබෙයි.

සමහර අය තමුන්ගේ දීමනා මත තමුන්ගේ ජීවිත ගොඩනඟා ගන්නට තැත් කරති. නමුත් දෙවියන්වහන්සේගේ දීමනා හා තලෙන්ත අපේ ජීවිත තුළ ක‍්‍රියාත්මක වූවත් අප සම්පුර්ණ මනුෂ්‍යයෙකු යයි ඉන් අදහස් නොවේ.

විශේෂ දීමනා මා තුළ ක‍්‍රියාත්මක වන නිසා, මම කරන සියල්ල උන්වහන්සේ අනුමත කරයි කියා නොසිතිය යුතුයි.

අනුමතය හා අනුග‍්‍රහය කාරණා දෙකකි.

දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය නිසා, උන්වහන්සේ අපට දුන් දීමනා එතුමා නැවත කවදාවත් අපගෙන් ආපසු නොගනියි.

රෝම 11:29
මක්නිසාද දෙවියන්වහන්සේගේ දීමනාද කැඳවීමද වෙනස් නොවන්නේය.

අප ජීවත් වන පිළිවෙල ගැන අප සැලකිලිමත් විය යුතුය.

දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය හා අනුමැතිය ඇතුව අප සියල්ල කරන්නේ නම් එය දෙවියන්වහන්සේට ගෞරවය ගෙනෙන අතර එය මනුෂ්‍යයන් ඉදිරියේදී ද අපට ප‍්‍රයෝජනවත් වනු ඇත.

ගිඩියොන්ගේ පුත් යෝතාම් තමාට සිදුවූ අසාධාරණය ගැන සෙනඟට සැලකිරීමට පැවසු ගස් පිළිබද උපමාව මෙයට කදිම නිදසුනකි.

විනිශ්චයකාරයන්ගේ පොත 9:8-9
එක් කලෙක ගස් තමුන් කෙරෙහි රජෙකු පත්කර ගන්ට ගොස්–නුඹ අප කෙරෙහි රජවුණ මැනවියි ඔලීව වෘක්ෂයට කීවෝය.
නුමුත් ඔලීව වෘක්ෂය ඒවාට කථාකොට–දෙවියන්වහන්සේද මනුෂ්‍යයන්ද මා කරණකොටගෙන ගෞරව ලබන්ට හේතුවූ මාගේ සාරකම් අත්හැර ගස් කෙරෙහි එහා මෙහා වැනෙන්ට යාම මට යුතුදැයි කීවේය.

දෙවියන්වහන්සේ අපට දී ඇති ගෞරවය හා නියම වටිනාකම් අතහැර මනුෂ්‍යයෙන්ගෙන් ලැබෙන අපගේම ගෞරවය නොසොයමු.

විනිශ්චයකාරයන්ගේ පොත 9:10‭-‬11
එවිට ගස් තුමූ: නුඹ ඇවිත් අප කෙරෙහි රජවුණ මැනවියි අත්තික්කා ගසට කීවෝය. අත්තික්කා වෘක්ෂය ඒවාට කථාකොට: මාගේ මිහිරිකමද හොඳ ඵලදාවද අත්හැර ගස් කෙරෙහි එහා මෙහා වැනෙන්ට යාම මට යුතුදැයි කීවේය.

අපව රජ කිරීමට මනුෂ්‍යයන්ට අපි ඉඩ නොදෙමු.

යේසුස්වහන්සේ රජකෙනෙක් නමුත් මනුෂ්‍යයන්ගේ වේලාවට, අදහස් වලට උන්වහන්සේ ඉඩ නොදුන්සේක.

යොහන් 6:15
එබැවින් රජකමට පත්කරගන්නා පිණිස තමන්වහන්සේ බලාත්කාරයෙන් අල්ලාගන්ට ඔවුන් එන බව යේසුස්වහන්සේ දැන, නැවත තනියම කන්දට ගියසේක.

ඒ අවස්ථාවේදී ඔවුන් යේසුස්වහන්සේව සොයා ආවේ රොටී කා තෘප්තියට පැමිණි නිසාය. (යොහන් 6:26)

යේසුස්වහන්සේ ප‍්‍රඥාවන්තව ක‍්‍රියා කළසේක, මනුෂ්‍යයන්ගේ පිළිගැනීම නොසෙවූසේක.

අපි මනුෂ්‍යයෙන්ගෙන් ලැබෙන ස්ථානය හෝ පිළිගැනීම ගැන කරදර නොවෙමු.

දෙවියන්වහන්සේගේ ඇස් නිතරම උන්වහන්සේගේ දරුවන් වෙත යොමුවී තිබේ.

ඔබව තෘෂ්ණාවන්ට හසුකරන තැන්වලින් ඉවත් වන්න.

2 තිමෝති 2:22
යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරුව, පිරිසිදු සිතින් ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නන් සමඟ ධර්මිෂ්ඨකමත් ඇදහිල්ලත් ප්‍රේමයත් සමාදානයත් අනුව යන්න.

අපි නොරැවටෙමු, යෞවනකමේ තෘෂ්ණාවලින් පලා දුවමු, ධර්මිෂ්ඨකම හා ඇදහිල්ල මත විශ්වාසය තබමු.

විනිශ්චයකාරයන්ගේ පොත 9:12‭-‬13
එවිට ගස් තුමූ: නුඹ ඇවිත් අප කෙරෙහි රජවුණ මැනවියි මිදිවැලට කීවෝය. මිදිවැලද: දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යයා ප්‍රීතිකරවන මාගේ රසය අත්හැර ගස් කෙරෙහි එහා මෙහා වැනෙන්ට යාම මට යුතුදැයි ඒවාට කීවේය.

මනුෂ්‍යයන් සතුටු කිරීම පිණිස අප දේවල් නොකළ යුතුය.

ඔබගේ ගෞරවය හා ප‍්‍රශංසාව දෙවියන්වහන්සේට දෙන්න.

දෙවියන්වහන්සේගෙන් ලැබුණු වටිනාකම් සුලු නොකරමු.

ඔබ ඔබම වෙන්න. තව නෙනෙකු මෙන් වීමට උත්සාහ නොකරන්න.

කාලය ගැන වද නොවී අපේ ජීවිතයේ ස්ථීර, ප‍්‍රයෝජනවත් දේවල් කිරීමට දෙවියන්වහන්සේට ඉඩ දෙමු.

විනිශ්චයකාරයන්ගේ පොත 9:14‭-‬15
එවිට සියලු ගස්: නුඹ ඇවිත් අප කෙරෙහි රජවුණමැනවයි කටුඇඹිල්ල ගහට කීවෝය. කටුඇඹිල්ල ගහද: නුඹලා සැබෑවටම නුඹලා කෙරෙහි රජෙකු කොට මා පත්කර ගන්නවා නම් ඇවිත් මාගේ සෙවෙණෙහි මුවාවී සිටින්න. නැතහොත් කටුඇඹිල්ල ගහෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවා දමාවයි ගස්වලට කීවේය.

වැරදි පුද්ගලයන් වැරදි ස්ථාන වලට එසවූ විට විනාශයක් සිදු වේ.

හෙබ්‍රෙව් 6:12
ඒ වනාහි නුඹලා අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය.

ඇදහිල්ලෙන් හා ඉවසීමෙන් කටයුතු කරන අයගේ අඩිපාරේ ගමන් කරමින් එවැනි අයගේ ආදර්ශයන් ගනිමින් ජීවිතය හදාගත යුතුය.

ප‍්‍රතිපත්තිගරුක නොවන මිනිසුන් ඇසුරු කිරීමෙන් ඔබද එවැනි කෙනෙකු මෙන් වනු ඇත.

2 තිමෝති 3:16‭-‬17
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත්, තරවටුවටත්, හික්මවීමටත්, ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත්, ප්‍රයෝජනවත්ව තිබේ.

අපි සියලුදෙනාම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන්ය.

අපි සම්පූර්ණවී නිතරම දෙවියන්වහන්සේගේ යහපත් ක‍්‍රියාවලට සූදානම්ව සිටිය යුතු පුද්ගලයින්ය.

"සම්පූර්ණවී" යන්නෙන් අදහස්වන්නේ වැරැද්දක් සිදු වූ විට, එය කියාදී අත්හැර එයින් නිදහස් වීමය.

වැරැද්ද නිසා දෝෂාරෝපණයට පත්වන්නට අවශ්‍යය නැත.

වැරැද්ද වසා නොදමා, දෙවියන්වහන්සේගෙන් හා අදාල පුද්ගලයන්ගෙන් සමාව ලබා ගනිමින්, ඉදිරියට ගමන්කළ යුතුය.

වැරැද්දක් වසා දමන කල පාපය ඔබ පසුපස පැමිණ ඔබව පෙන්නුම් කර දෙයි.

ගණන් කථාව 32:23
එහෙත්, නුඹලා එසේ නොකළොත්, බලව, නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළා වේ. නුඹලාගේ පාපයද නුඹලා පිටට පැමිණෙන බව සහතිකලෙස දැන ගන්න.

ඔබගේ රහසිගත පාපය පෙන්නුම් කර දෙන්නේ පාපයමයි. පාපයේ අධිපතියා යක්ෂයාය.

ගීතාවලිය 119:9
තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි.

ඔබ පළමු තැන දෙවියන්වහන්සේගේ වචනයට දිය යුතුය.

තරුණ හෝ මහලු හෝ වයස පිළිබඳ ප‍්‍රශ්ණයක් නොව, වචනය සුළුකරන්නා විනාශයට පැමිණෙන්නේය.

දෙමව්පියන් තම දරුවන්ව දේව වචනය තුළ පැවතීමට උනන්දු කරවීම අවශ්‍යයයි.

හිතෝපදේශ 13:13
දේව වචනය සුළුකර සිතන්නාට විනාශය පැමිණෙයි; එහෙත් ආඥාවට භය ඇත්තා විපාක ලබයි.

දෙවියන්වහන්සේගේ වචනයට අනුකූල සැලසුමක් හදාගනිමින් ඔබගේ දරුවන්ට කාලය වෙන්කරන්න.

වචනය තුළ ජීවත් වී ගමන් කරන්න දරුවන්ව යොමු කරන්න.

විලාප ගී 3:27-28
තමාගේ බාල වයසේදී වියගහ දැරීම මනුෂ්‍යයෙකුට යහපත.
උන්වහන්සේ ඒක ඔහු පිට තැබූ නිසා ඔහු තනියම හිඳ නිශ්ශබ්දව සිටීවා.

වියගහ එසවීමට දරුවන්ව පුරුදු පුහුණු කළ යුතුය.

දරුවන්ට නිකරුනේ සිටීමට ඉඩ නොදී යමක් කිරීමට යොමුකර විය යුතුය.

2 තිමෝති 3:‬16
දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.

දෙවියන්වහන්සේගේ වචනය තුළ ඉගැන්වීම, තරවටුව සහ හික්මවීම යන මේ සියල්ලක්ම ඇත.

මෙම වචනය සමඟ ජීවිත කාලය ගත කිරීමට අප තෝරා ගත යුතුය.


Watch the Sermon Video

Read 254 times