+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේගේ නාමය නිසා පීඩා හා පරීක්ෂා ඉවසන මනුෂ්‍යයා විපාක ලබන්නේය - යෝෂා මනූ
April 16, 2023 Sunday Sermon Notes

 

අප කොතැනක සිටියත් අප සමඟ සිටින, අපගේ පිපාසය සංසිඳුවන, ජීවමාන දේව වචනය කෙරෙහි අපි බලාපොරොත්තු තබමු.

දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨයාට නිතරම පිහිට වෙන, ඔහු ගැන සලකන, ඔහුගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන පිණිස පිබිද සිටින දෙවියන්වහන්සේය.

එබැවින් අපි ප‍්‍රීති වෙමින්, ඒ පොරොන්දු දුන් දෙවියන්වහන්සේගේ ජීවන වචන තුළ පවතිමු.

එවිට අපි ඵල දරන බව දේව වචනයේ සඳහන් වන්නේය. උන්වහන්සේ නොමැතිව අපිට කිසිවක් කළ නොහැකියි.

අපේ ශක්තිය සීමා සහිත වූවත් දෙවියන්වහන්සේගේ බලයෙන් අපට අසීමිත දේවල් කළ හැකිය.

ස්වාමීන්වහන්සේගේ නාමය උතුම්ය, සියළු දණ නැමිය යුතු නාමය එයයි.

ඒ නාමය විශ්වාස කරන නිසා අපට පීඩා පරීක්ෂා පැමිණෙන නමුත් ලෝකයාට නැති, අපට ඇති ඒ යේසුස් නාමය නිසාම අපට ඒ සියල්ලෙන් ජයගත හැකිය.

එබැවින් අපි ජයග‍්‍රාහකයෝය.

යේසුස්වහන්සේගේ නාමය නිසා පීඩා පරීක්ෂා ඉවසන මනුෂ්‍යයා ආශීර්වාදලද්දෙකුය.

පීඩා හා පරීක්ෂා ඉවසන මනුෂ්‍යයා දෙවියන්වහන්සේගෙන් විපාක ලබන්නේය. ඔහුට ඒවා ජයගත් නිසා උන්වහන්සේ ඔටුන්නක් දෙනසේක.

පළමුව, ස්වාමීන්වහන්සේ අපට ජීවනයේ ඔටුන්න දෙනසේක

යාකොබ් 1:12
පරීක්ෂාව ඉවසන මනුෂ්‍යයා ආශීර්වාදලද්දෙකුය. මක්නිසාද ඔහු ඒත්තුගනු ලැබූ කල, තමන්ට ප්‍රේමකරන්නවුන්ට ස්වාමීන්වහන්සේ විසින් පොරොන්දුවුණාවූ ජීවනය නම් ඔටුන්න ලබන්නේය.

ඔටුන්නෙන් අදහස් වෙන්නේ දෙවියන්වහන්සේ අපේ ජීවිතයට දෙන විපාකයයි. එසේම මේ පොළොවේ යහපත් ජීවිතයක් ගත කිරීමටත් රජකම් කිරීමටත් අපට දෙන විපාකයයි.

ආදම් නැති කරගත් බලය හා ආධිපත්‍යය නැවත පිහිටු වීමට යේසුස්වහන්සේ මේ පොළොවට පැමිණිසේක.

දෙවියන්වහන්සේ ආදම්ව මවනු ලැබුවේ ඔහු මේ පොළොවේ බලයෙන් හා ආධිපත්‍යයෙන් රජකම් කරන පිණිසයි. එය
උන්වහන්සේගේ කැමැත්ත වූයේය.

නමුත් ඔවුන් පව් කළ නිසා ඒ සියල්ල ඔවුන්ට අහිමි වුණේය.

දැන් මේ ලෝකයේ දෙවියා ලෙසට පත්වී සිටින්නේ යක්ෂයාය.

2කොරින්ති 4:4
නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.

යක්ෂයා ආදම්ට තිබුණු ඒ බලය හා ආධිපත්‍යයේ හිමිකම රැවටිලිකාරකමින් හා මුළාවෙන් ලබා ගත්තේය.

ආදම්ට කළ නොහැකි වූ දේ මාංශාකාරව ඉටු කරමින්, ඒ වෙනුවෙන් සම්පූර්ණ මිලය ගෙවා, ඔහු අහිමි කරගත් බලය නැවත මනුෂ්‍යයාට ලබා දෙන පිණිස, යේසුස්වහන්සේ මේ පොළොවට පැමිණිසේක.

අපි යේසුස්වහන්සේ තුළින් ගැළවීම ලබා දේව රාජ්‍යයට ඇතුල් වන විට මේ පොළොවේ රජකම් කිරීමේ හිමිකම අපි ලබා ගන්නෙමු.

අපි ධර්ම්ෂ්ඨකමේ වචන කතා කරමින් ධර්ම්ෂ්ඨ ලෙස යුක්තියෙන් හා සාධාරනත්වයෙන් රජකම් කරනු දැකීම උන්වහන්සේගේ කැමැත්තයි.

දෙවියන්වහන්සේගේ දරුවන් වන අප, ආකාශයේ පක්ෂීන්, පොළොවේ සතුන් මුහුදේ මත්ස්‍යයන් හා මුළු පොළොව කෙරෙහි අධිපතිකම් කිරීම දෙවියන්වහන්සේගේ කැමැත්තයි.

මක්නිසාද මැවිල්ල දෙවියන්වහන්සේගේ පුත්‍රයන්ගේ එළිදරව්වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටියි. රෝම 8:19 SROV

දෙවියන්වහන්සේගේ මුල් කැමැත්ත උන්වහන්සේ යේසුස්වහන්සේ තුළින් මනුෂ්‍යයාට හිමි කර දුන්නේය.

දෙවියන්වහන්සේ පොරොන්දු වූ ජීවනයේ ඔටුන්න අපට ලැබෙන විපාකයකි.

අප ජීවත් වන්නේ මේ පොළොවේ විපාක ලබා ගෙන, අපට අයිති දේවල්ද උරුම කර ගෙන, ස්වර්ගයේද ඒවා රැස්කොට තබා ගන්නා පිණිසයි.

අපි නිකරුනේ ජීවත් නොවෙමු, මන්ද අප කරන සෑම ක‍්‍රියාවකටම දෙවියන්වහන්සේ අපට විපාක දෙනු ලබයි.

අපි යහපත් ක්‍රියාවන් කරන්නේ මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස නොව නමුත් දෙවියන්වහන්සේගෙන් විපාක ලබන පිණිසයි.

අපි පාපයට එරෙහිව ආධිපත්‍යය ගෙන, පාපය, ලෙඩ රෝග හා දිළිදුකමේ ආත්මය ජය ගෙන රජකම් කරමු. මෙය දෙවියන්වහන්සේගේ කැමැත්තයි.

ක‍්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් අපගේ ශාපය දරා ගත්සේක.

ගලාති 3:13
‘ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක’.

පරීක්ෂාව පැමිණෙන්නේ අපව ඉහළ තලයකට ඔසවනු ලැබීමට විය හැකිය.

පරික්ෂා වලින් ජය ගැනීමෙන් අපගේ ආත්මික මට්ටමෙන් අපට ඉහළට යාමට උපකාරිවුවත් දෙවියන්වහන්සේ කවදාවත් ලෝකාකාර තෘෂ්ණාවලින් හා පාපයෙන් පරික්ෂා නොකරන්සේක.

දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන්නේ අපි මේ ජීවිත ගමනේ, ඇදහිලේලන් ඇදහිල්ලට, මහිමයෙන් මහිමයට, ශක්තියෙන් ශක්තියට, ඉහළ තලයට පිවිසෙනු දැකීමටයි.

අපේ ඇදහිල්ලේ ඊළඟ පියවරට යන පිණිස අපට පැමිණිය හැකි කුඩා පීඩා හා පරීක්ෂා අභියෝගයන් ලෙස සලකා අපි ඒවා ජය ගනිමු.

අප කිතුනු ජීවිතය ආරම්භ කරන්නේ ජයග‍්‍රහණයෙන්ය.

යේසුස්වහන්සේ ඇදහිල්ලේ කර්තෘ බැවින් අපි උන්වහන්සේ දෙස බලමින් මේ දිවීම ඇදහිල්ලෙන් දුවමු. මන්ද අපි
ජය ගත්තාවූ සෙනඟ වන්නෙමු.

ස්වාමීන්වහන්සේ අපව ඇදහිල්ලේ යහපත් සටනකට කැඳවා ඇත. එබැවින් අපි යක්ෂයා විසින් අටවන්නාවූ උගුල් වලින් අපි ජයගනිමු.

පාවුල්තුමා කොතරම් පීඩා පරීක්ෂා තුළින් ගමන් කළ නමුත් ඔහු ඒ සියල්ල ගැන පැවසුවේ ඒවා ඔහුට සැහැල්ලු දේවල් කියායි.

ඔහු පස්වතාවක් කස පහරවල් 39ක් ලබා ගත්තේය. එහෙත් ඔහුගේ ප‍්‍රකාශය වූයේ ඔහුට ලැබෙන්නට යන දෙවියන්වහන්සේගේ විපාකය, මහිමය හා සසඳන කල ඒවා සියල්ල සැහැල්ලු නොවටිනා දේවල් ලෙසින්ය. එසේම ඒ සියල්ලම ඔහුට ජයගත හැකි බවයි. (2 කොරින්ති 11:24-27/ පිලිප්පි 3:7-8)

පීඩා පරීක්ෂා මානසිකත්වයෙන් ඔබ මිදීම ලබා ගෙන විපාක ලැබීමේ මානසිකත්වයක් ඇති කර ගන්න.

අභියෝග වලන් ජය ගැනීමට මාර්ගය පෙන්වන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලමු.

එළිදරව් 2:10
නුඹ විඳින්ට යන දේවලට භය නොවන්න. බලව, නුඹලා විමසනු ලබන පිණිස යක්ෂයා නුඹලාගෙන් සමහර දෙනෙකුන් හිරගෙයි දමන්ට යන්නේය; නුඹලා දස දවසක් පීඩා විඳින්නහුය. මරණය දක්වා විශ්වාසව සිටින්න, එවිට මම ජීවනයේ ඔටුන්න නුඹට දෙන්නෙමි.

අප භය නොවී ඇදහිල්ලෙන් ස්ථීරව සිටගනිමු.

භය නමැති වචනය අපේ ව්‍යවහාරයෙන් තුරන් කරමු, මන්ද ඒ වචනය යක්ෂයාගෙන්ය. යක්ෂයා බොරුවේ පියා මෙන්ම භයාදුකමේ කර්තෘද වන්නේය.

දෙවියන්වහන්සේ අප සමඟ බැවින් අප භය වෙන්නට අවශ්‍ය නැත.

2 තිමෝති 1:7
මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

අප සාතන්ගේ ආධිපත්‍යයෙන් නිදහස් වී දේව පුත‍්‍රයාණන්ගේ රාජ්‍යයට ඇතුල් වූ නිසාත් අන්ධකාරයෙන් ආලෝකයට පැමිණ සිටින නිසාත් අපට අනිවාර්යෙන්ම සාතන්ගේ බලපෑම් පැමිණෙන්නේය.

නමුත් අප විඳින්නට යන දේවලවලට භය නොවෙමු. මන්ද ජීවනයේ ඔටුන්න අපට දෙනු ලබන්නේය.

පාවුල්තුමා සිරගතව සිටියත් ඔහු තුළ තිබූ ජීවනය සිරගත කරන්නට නොහැකි විය. මන්ද
දේව වචනය කිසිදා සිර ගත කළ නොහැකියි.

ඔහු තුළ තිබුණු වචනය කිසි කෙනෙකුට නවතාලන්ට නොහැකි විය.

එබැවින් ඔහු කොතැන සිටියත් නිදහස්කම ඇතුව සිටින්නට හැකි විය.

ඔබත් නිදහස් වී සිටින්නේය, ජීවනයේ ඔටුන්න ඔබට ඇත.

පරීක්ෂාව ඉවසන පිණිස ස්වාමීන්වහන්සේ ක්ෂාන්තිගුණය නැතහොත් ඉවසීමද විඳදරාගැනීමේ බලයද දෙනසේක.

එනම්, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි කෙනෙකුගේ ඇදහිල්ල තදින් අල්ලා ගැනීමටත් විඳදරාගැනීමටත්, නිර්භීතව රැඳී සිටීමටත් ස්වාමීන්වහන්සේ ශක්තිය ලබා දෙන්නේය.

දෙවනුව, ස්වාමීන්වහන්සේ අපට නොදිරන ඔටුන්නක් දෙනසේක.

1 කොරින්ති 9:24-25
දුවන ස්ථානයෙහි සියල්ලන්ම දුවන නුමුත් තෑග්ග ලබන්නේ එක්කෙනෙක්ම බව නොදනිවුද? එසේම නුඹලාත් ලබාගන්නා පිණිස දුවන්න.

1 කොරින්ති 9:25-27
දිනන පිණිස වීර්යකරන්නාවූ සියල්ලෝම සියල්ලෙහි පමණ දැන හැසිරෙති. ඔවුන් එසේ කරන්නේ දිරන්නාවූ ඔටුන්නක් ලබාගන්න පිණිසය; අප වනාහි නොදිරන ඔටුන්නක් එකක් ලබාගන්නා පිණිසය.එබැවින් මා දුවන්නේ සැකයෙන් මෙන් නොවේය; පහරදෙන්නේ හුළඟට පහරෙදන්නාක්මෙන් නොවේය. නුමුත් මාගේ ශරීරය දමනයකර වාල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.

දිනන පිණිස දුවමු. එකිනෙකාව පරාජය කිරීමේ අධිෂ්ඨානයකින් නොව නමුත් දිවීම අවසාන කරන පිණිස අපි දුවමු.

මන්ද දෙවියන්වහන්සේ මාගේ ජීවිතයේ සිටින නිසා ජයග‍්‍රහණය දැනටමත් මට ලැබී ඇත.

ස්වාමීන්වහන්සේ නොදිරන ඔටුන්නක් අපට ලබා දෙන්නේය.

නොදිරන ඔටුන්න යනු නොනැසී පවතින දේවල් වලින් සෑදූ
අමරණීය ඔටුන්නක්, කුණු නොවූ, අපවිත්‍ර නොවූ, කිළිටි නොවූ, විනාශ නොවන, නොනැසෙන, සදාකාලයටම පවතින ඔටුන්නක් ස්වාමීන්වහන්සේ අපට දෙනසේක.

තෙවනුව ස්වාමීන්වහන්සේ අපට ධර්මිෂ්ඨකමේ ඔටුන්න දෙනසේක.

පරීක්ෂා පීඩා පැමිණෙන විට අපගේ මානසිකත්වය වෙනස් කරගෙන, විපාක ලබා ගැනීමටත්, මේ පොළොවේ රජකම් කිරීමටත්, ඔටුන්නක් ලබා ගන්නා පිණිස බලාපොරොත්තුවෙන් ජීවත් වෙමු.

තෘෂ්ණාව පැමිණෙන විට අපව පාලනය කිරීමට හෝ අධිපතිකම් කිරීමට ඉඩ නොදී අපි ඒවා ජය ගනිමු.

අප නොසිතන වේලාවේදී අපි අසන දකින දේවල් වලින් අපට යක්ෂයාගෙන් රැවටිලිකාරකමින්
පරීක්ෂා පැමිණිය හැකිය.

වර්තමානයේදී අපගේ ඇදහිල්ල බිඳ දමන පිණිස මාධ්‍ය තුළින් බොහෝ දේවල් පැමිණේ. එවැනි දේවල් නැරඹීමෙන් අපගේ ඇදහිල්ල කිළිටි වේ; ආත්මයද මනසද වියවුල් වන්නේය.

ඇසීමෙන් හා දැකීමෙන් ඇදහිල්ල පැමිණෙන්නා සේම බියත් සැකයත් නොඇදහිලිකාරකමත් පැමිණෙන්නේ එසේමය.

එබැවින් අප අසන දකින දේවල් ගැන ප්‍රවේසම් වෙමු, යහපත් දේවල් දකින්නට තීරණය කරමු. දේව වචනය ඇසීමෙන් අපේ ඇදහිල්ල ශක්තිමත් කර ගනිමු.

පාවුල්තුමාගේ හදවතේ නිතරම තිබුණේ ඔහු ඇදහිල්ලේ ගමන ජයග‍්‍රහණය කරන බවයි.

2 තිමෝති 4:7-8
මම යහපත් යුද්ධයෙහි යුද්ධකළෙමි, මම දිවීම කෙළවර කළෙමි, මම ඇදහිල්ල රක්ෂා කළෙමි. 8 මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ, එය ධර්මිෂ්ඨ විනිශ්චයකාරවූ ස්වාමීන්වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොවේ, උන්වහන්සේගේ ප්‍රකාශවීමට ආශාව සිටින්නාවූ සියල්ලන්ටද දෙනවා ඇත.

පාවුල්තුමාගේ අවසාන කාලයේ එතුමා යහපත් යුද්ධයෙහි යුද්ධ කළ බවත්, දිවීම කෙළවර කළ බව‍ත්, ඇදහිල්ල රක්ෂා කළ බවත්, පවසන ලැබුවේය.

පාවුල්තුමා නිතරම ජයග‍්‍රාහී මානසිකත්වයකින් ජීවත් වූයේය.

අපගේ ජීවිත අවසානයේදී පවා අපටද එලෙසම කිව හැකි වන්නේ නම්, දෙවියන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන්නේ එයයි.

යක්ෂයා අපට පරාජිත සිතුවිලි ගෙනැවිත් අපව ඇදහිල්ලෙන් ඉවත් කිරීමට තැත් කළත්, අපි ඇදහිල්ලෙන් ජය ගැනීමට තීරණය කර ගනිමු.

පාවුල්තුමා පවසන්නේ සියල්ලන්ටම දී තිබෙන ඇදහිල්ල තුළින් අපටද මෙම දිවීම කෙළවර දක්වා දුවන ලෙසය.

අපගේ දිවීම දෙවියන්වහන්සේ ඉදිරියේ අප දුවන්නේ ජයග‍්‍රාහකයන් ලෙසය. පරාජය අපට අයිති නැත.

මේ දිවීමේදී දේව වචනයෙන් පැමිණෙන ඇදහිල්ල ආරක්ෂා කර ගනිමින් දිවිය යුතුය.

දෙවියන්වහන්සේ සමඟ නිවැරදි සම්බන්ධතාවයක් ඇතුව සිටීම ධර්මිෂ්ඨකම ලෙස සරළව දැක්විය හැකිය.

අපගේ දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ විනිශ්චයකරුවාණන්ය.
උන්වහන්සේ අප සියල්ලන්ටම ධර්මිෂ්ඨකමේ ඔටුන්න ප‍්‍රදානය කරනසේක.

ධර්මිෂ්ඨකමේ ඔටුන්න යනු, දෙවියන්වහන්සේට පිළිගත හැකි,
දෙවියන්වහන්සේ විසින් අනුමත කරන ලද, යුක්ති සහගත සහ සාධාරණයත්වයයි.

හෙබ්‍රෙව් 11:6
නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.

ඔබ කරන සෑම ක‍්‍රියාවකටම දෙවියන්වහන්සේ විපාක දෙන බව විශ්වාස කරන්නට අවශ්‍යයි.

අප විපාක මානසිකත්වයෙන් ජීවත් වෙමු.

අප ධර්මිෂ්ඨකමේ ඔටුන්න පැළඳ සිටින විට, දෙවියන්වහන්සේ අපගේ ඇදහිල්ලේ ගමනේ අප ධර්මිෂ්ඨයෙකු ලෙස ජීවත් වීම අනුමත කරනසේක.

අපට සාධාරණය මනුෂ්‍යයා ඉදිරියේ පෙන්වා දෙන ලෙසට දෙවියන්වහන්සේ පවසයි.

හිතෝපදේශ 11:18
දුෂ්ටයා වංචාකාර ලාභයක් සම්බකරගන්නේය; එහෙත් ධර්මිෂ්ඨකම වපුරන්නා ස්ථිර ප්‍රතිඵල (විපාකය) ලබන්නේය.

අපි ධර්මිෂ්ඨකම වපුරන විට ස්ථීර ප්‍රතිඵල (විපාක) ලබා ගන්නෙමු.

මෙහි ප්‍රතිඵල යන වචනයේ අර්ථය වන්නේ විපාකයයි.

මතෙව් 5:10‭-‬12
ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය. මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාදලද්දෝය. ප්‍රීතිවෙන්න, ඉතා සන්තෝෂවෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය.

දෙවියන්වහන්සේ සමඟ නිවැරදි සම්බන්ධතාවයක් තිබේ නම් අපට බොරු කිව නොහැකිය.

යම් දෙයකින් ගැලවෙන්නට ඕනේ නිසා ඔබ කියන පොඩි හෝ සුදු බොරු කියා දෙයක් නොමැත.

පීඩා පරීක්ෂා මැද අපි ධර්මිෂ්ඨකමින් ජීවත් වන විට දෙවියන්වහන්සේ අපට ධර්මිෂ්ඨකමේ ඔටුන්න දෙනසේක.

සමහර අවස්ථාවන්වලදී මනුෂ්‍යයන්ගේ නින්දා අපහාසවලට මුහුණ දීමටත් ලැජ්ජාව දරා ගැනීමටත්, තනි වීමටත් අපට සිදුවනු ඇත.

නමුත් දෙවියන්වහන්සේගේ පොරොන්දුව අප සමඟ බැවින් භය නොවී, උන්වහන්සේගෙන් විපාක බලා සිටිමු.

මතෙව් 5:43‭-‬48
නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව, නුඹේ සතුරාට වෛරකරවයි කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න; මෙසේ නුඹලා ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේගේ පුත්‍රයෝ වන්නෝය. මක්නිසාද උන්වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදාකරවනසේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වනසේක. නුඹලාට ප්‍රේමකරන්නන්ටම නුඹලා ප්‍රේමකරනවා නම්, නුඹලාට කවර විපාකයක්ද? සුංගම් අයකරන්නෝ පවා එසේ නොකරද්ද? නුඹලාගේ සහෝදරයන්ට පමණක් ආචාරකරනවානම් නුඹලා අනුන්ට වඩා කුමක් කරන්නහුද? අන්‍ය ජාතීහු පවා එසේ නොකරද්ද? එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පූර්ණව සිටින්නාක්මෙන් නුඹලාත් සම්පූර්ණව සිටින්න.

අපේ සතුරන්ට ප්‍රේමකිරීමටත්, පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කිරීමටත් යේසුස්වහන්සේ පවසා ඇත.

අපි දෙවියන්වහන්සේගෙන් විපාකයක් බලාපොරොත්තු වන්නේ නම්, අපට විරුද්ධව සිටින, අපට වෛර කරන, පීඩා අපහාස කරන සෙනඟට, ප්‍රේම කළ යුතුය.

මතෙව් 6:1
මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔවුන් ඉදිරියෙහිදී නුඹලාගේ ධර්මිෂ්ඨ ක්‍රියා නොකරන්ට බලාගන්න. නැතහොත් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ වෙත නුඹලාට විපාකයක් ඇත්තේ නැත.

මනුෂ්‍යයන් ඉදිරියෙහිදී කරන ධර්මිෂ්ඨ ක්‍රියාවලට අපට දෙවියන්වහන්සේගෙන් විපාකයක් නොලැබෙනු ඇත.

මතෙව් 6:2
එබැවින් නුඹ දන්දෙන කල්හි මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස සිනගෝගවලදීත් වීථිවලදීත් වංචාකාරයන් කරන්නාක්මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. නුමුත් නුඹ දන්දෙන කල්හි, නුඹේ දානය රහස්ව තිබෙන පිණිස, නුඹේ දකුණත කරන දෙය වමත නොදනීවා. එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ ඔබට විපාක දෙනසේක.

අප යාච්ඤා කරන කල, නිරාහාරව සිටින කල, හෝ යමක් දෙන කල එය මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස නොව රහසිගතව කළ යුතුය. එවිට පියාණන්වහන්සේගෙන් අපට විපාක ලැබෙනු ඇත. එනම්, ධර්මිෂ්ඨකමේ ඔටුන්නයි.

මතෙව් 6:5‭-‬6
තවද නුඹලා යාච්ඤාකරන කල්හි වංචාකාරයන් කරන්නාක්මෙන් නොකරන්න. මක්නිසාද මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔව්හු සිනගෝගවලත් මංසන්ධිවලත් සිටගෙන යාච්ඤාකිරීමට සතුටුවෙති. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. නුමුත් නුඹ යාච්ඤාකරන කල්හි නුඹේ ඇතුල් ගෙට වැද, දොර වසා, රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට යාච්ඤාකරන්න, එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ ඔබට විපාකදෙනසේක.

මතෙව් 6:16‭-‬18
තවද නුඹලා නිරාහාරයෙන් ඉන්න කල්හි වංචාකාරයන් මෙන් දුක්ඛිත මුහුණක් ඇතුව නොසිටින්න. ඔව්හු නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස තමුන්ගේ මුහුණු විරූප කරගනිති. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. නුමුත් නුඹ නිරාහාරයෙන් ඉන්න කල්හි රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට මිස නුඹ නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස, නුඹේ හිසේ තෙල් ගා, මුහුණ සෝදා ගන්න; එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ ඔබට විපාක දෙනසේක.

මතෙව් 10:41
අනාගතවක්තෘ කෙනෙක් නිසාම අනාගතවක්තෘ කෙනෙකු පිළිගන්නාට අනාගතවක්තෘ කෙනෙකුගේ විපාකය ලැබේ; ධර්මිෂ්ඨයෙක් නිසාම ධර්මිෂ්ඨයෙකු පිළිගන්නාට ධර්මිෂ්ඨයෙකුගේ විපාකය ලැබේ. යමෙක් ගෝලයෙකු නිසා මේ කුඩා අයවලුන්ගෙන් එක්කෙනෙකුට ඇල්වතුර කෝප්පයක් පමණවත් බොන්ට දෙන්නේ නම් ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේයයි සැබවින් නුඹලාට කියමියි කීසේක.

අපගේ දෙවියන්වහන්සේ විපාක දෙන දෙවියන්වහන්සේ‍ය.

එම විපාක නම් අප මෙම පොළොවේ ඔටුනු පැළඳ රජකම් කිරීමය.

අපට ජීවනයේ ඔටුන්න ලැබී ඇත. නොදිරන අමරණීයභාවයේ ඔටුන්න ලැබී ඇත. ධර්මිෂ්ඨකමේ ඔටුන්නක්ද දී ඇත.

අපි ඔටුනු පැළඳ මේ පොළොවේ රජකම් කිරීම දෙවියන්වහන්සේගේ කැමැත්තයි.


Watch the Sermon Video

Read 326 times