+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබට යහපත් දින දකින්නට අවශ්‍ය නම් - මනූ මැතානි
April 16, 2023 Sunday Sermon Notes

 

දේව වචනය අපට ඉතා වටිනා දෙයකි. ඒ තුළින් අපට ධෛර්යමත්කමද ඇදහිල්ලද ලැබේ. එපමණක් නොව දේව වචනය අපගේ ජීවිත වෙනස් කරයි.

දේව වචනය නැමැති වතුරෙන් අප දිනපතා අපගේ සිත සෝදා අළුත් කර ගත යුතුය.

අපගේ උත්සාහයෙන් කිසිදා අපහට වෙනස්විය නොහැක. එහෙත් දේව වචනයට අපව වෙනස් කළ හැකිය.

දේව වචනය අපගේ හදවත් විමසන්නාවූ කැඩපතයි. එම කැඩපත අපගේ වැරදි පෙන්වන්නේ අපව දෝෂාරෝපණයට ලක්කිරීමට හෝ පහතට හෙළා දැමීමට නොවේ. දෙවියන්වහන්සේ අපට ප්‍රේමකරන නිසාය.

අප වැරදි මාර්ගයේ ගමන් කරමින් සතුරාට හසුවීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවේය.

දේව වචනය අප කියවීමේදී දෙවියන්වහන්සේ අපගේ හරි වැරදි පෙන්නුම් කරනවා පමණක් නොව, උන්වහන්සේගේ පොරොන්දු උරුම කරගන්නා ආකාරයද අපට පෙන්වා දෙයි.

මේ පොළොවේ අපට ලැබීමට තිබෙන දෙය දෙවියන්වහන්සේ නියමකර ඇති අතරම උන්වහන්සේ අපට විපාකද ලබා දෙනු ඇත.

අපගේ ජීවිතයේ උතුම්ම කාරණාව විය යුත්තේ මනුෂ්‍යයා සතුටු කිරීමවත්, අපගේ ආශාවන් ඉටුකර ගැනීමවත් නොව, දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත්වීමය.

ස්වාමීන්වහන්සේගේ කැමැත්ත ඉතා අනර්ඝය. එය ඉටු කිරීමෙන් අපගේ ජීවිත ගමන, ගමන් කිරීමට පහසුය.

ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කරන විට ඔබට අභ්‍යන්තරයේ සමාදානය ප‍්‍රීතිය, සුරක්ෂිතභාවය තිබෙන්නට යන්නේය.

අපි ජීවත් වන්නේ ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කරන පිණිසයි.
ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිරීම අලංකාරය.

ස්වර්ගීය පියාණන්වහන්සේගේ කැමැත්ත අපගේ අනාගතයේ අපට යහපත සිදුවීමයි.

දෙවියන්වහන්සේගේ සැලසුම්, යෝජනා යහපත්. ඒවා සමාදානයේ යෝජනාය.

යෙරෙමියා 29:11
මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.

හෙබ්‍රෙව් භාෂාවෙන් ෂාලොම් යනුවෙන් හඳුන්වන්නේ සමාදානයටයි. එයට සඵලත්වය, සමාදානය, සම්පූරණත්වය, සුවය යන සියල්ලම ඇතුලත්ය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත නිතරම අපට යහපත සිදුවන්නටයි.

නපුරා බලා සිටින්නේ අපගේ ජීවිතය තුළ නපුරාගේ ක‍්‍රියා ඉෂ්ටකිරීමටය.

වැරදි සිතුවලි අදහස් තුළින් යක්ෂයා අපව ඔහුගේ මාර්ගයට හරවා ගැනීමට උත්සහා දරයි.

යක්ෂයා යේසුස්වහන්සේටත් සිතුවිලි තුළින් පරික්ෂා ගෙනෙනු ලැබුවේය.

ඔබ දෙවියන්වහන්සේගේ පුත‍්‍රයානම් කියා සැක සහිත සිතුවිල්ලක් යේසුස්වහන්සේ වෙතට ගෙන එන්නට උත්සහා කරන ලදි. (මතෙව් 4:6)

දෙවියන්වහන්සේද, යේසුස්වහන්සේගේ බව්තිස්මයේදී මොහු මාගේ ප්‍රේමවන්ත පුත‍්‍රයාය කියා පැවසුවේය. (මතෙව් 3:17)

යක්ෂයා මෙහිදී ඒ ගැන සැකයක් උන්වහන්සේ වෙතට ගෙනෙන්නට උත්සහා කළා.

යක්ෂයා ඒවව රැවටුවේද මේ ආකාරයටමය. "ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන්වහන්සේ කීවාදැ" යි ස්ත්‍රියගෙන් ඇසුවේය.
(උත්පත්ති 3:1)

එම උයනේ දෙවියන්වහන්සේ ජීවනයේ ගසත් යහපත සහ නපුර දැනගැන්මේ ගසත් තබා තිබුණේය. නමුත් අයහපත තෝරා ගැනීමෙන් අද අපි ජීවත්වන මේ පොළොව තුළ යහපත් මනුෂ්‍යයන් මෙන්ම නපුරු මනුෂ්‍යයන්ද සිටින බව දකින්නෙමු.

යේසුස්වහන්සේව පිළිගන්න තැනැත්තා ආශීර්වාදලද්දෙකි.

දෙවියන්වහන්සේගේ ආශීර්වාදයට උන්වහන්සේ කිසිදා දුක එකතු කරන්නේ නැත.

ස්වාමීන්වන්සේ යහපත් දෙවියන්වහන්සේය, උන්වහන්සේ කවදාවත් අපට අයහපත එකතු කරන්නේ නැත.

විලාප ගී 3:38
මහෝත්තමයාණන්ගේ මුඛයෙන්ම විපතත් සැපතත් නොනික්මේද?

අපි යහපත් දින දකින්නට නම් අපගේ දිව සහ තොල් ආරක්ෂා කර ගත යුතුයි.

1 පේත්‍රැස් 3:10
මක්නිසාද: ජීවිතයට ඇලුම්වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කථාකිරීමෙන්ද වලක්වාගනීවා.

අපගේ මුඛය, දිව සහ තොල් අපි රැකගනිමු.

ඔබගේ යටි සිතේ කල්පනා, සිතුවිලි වළක්වා ගත යුතුය.

අපගේ ප‍්‍රකාශන ගැන ප‍්‍රවේසම් වෙමු. ඔබගේ දිව හා තොල් පාලනය කර ගැනීම ඉතා වැදගත්ය.

අනවශ්‍ය දෙඩවිලි නවත්වන්න. දෙවියන්වහන්සේගේ මහිමය උදෙසා යහපත් වචන කතා කරන්න.

හෙබ්‍රෙව් 13:15
එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.

ඔබගේ මුඛයෙන් ස්තූතිදීමේ ගීතිකා ගායනා කරමින් ජීවත් වෙන්න.

ඔබගේ මුඛය හරි ලෙස පාවිච්චි කළ විට ඔබගේ ජීවිතය තුළ දෙවියන්වහන්සේගේ යහපත ඔබට අත්දකින්නට හැකි වේ.

නොකඩවා ප්‍රශංසාවේ පූජා ස්වාමීන්වහන්සේට පුද කරන්න.

"මට මොනවා වුනත් කමක් නැහැ" කියමින් වැරදි වචන කතා නොකරන්න.

දෙවියන්වහන්සේගේ මහිමය උදෙසා අපි ජීවත් වෙමු.

අපි කාලකණ්නි ජීවිතයක් නොව, තෘප්තිමත් ජීවිතයක් ගත කරමු.

ඔබ දෙවියන්වහන්සේගේ මාළිගාවයි. ඒ මාළිගාව පිරී තිබිය යුත්තේ ලෝකයේ වටිනා දේ වලින් නොව දේව වචනයෙනි.

අපි මනුෂ්‍යයන් ඉදිරියෙහි ප‍්‍රශංසාව, ගෞරවය, ප‍්‍රසිද්ධත්වය බලාපොරොත්තුවෙන් රඟපාන ආගමික නළු නිළියන් මෙන් නොවී, වචනය අනුව ජීවත් වෙන උන්වහන්සේව ගෞරවයට මහිමයට පත් කරන පුද්ගලයන් වෙමු.

දේව වචනය අනුව තෘප්තිමත්, යහපත්, ආශීර්වාදලත් ජීවිතයක් ගත කිරීමේ රහස ඉගෙන ගනිමු.

අප සමාජයට බරක් නොවී ආශීර්වාදයක් වෙමු.

අපි ස්වාමීන්වහන්සේගේ ජංගම මාළිගාවයි. උන්වහන්සේගේ මහිමය උදෙසා ජීවත් වෙමු.

අපගේ හැසිරීමේ ආදර්ශය යේසුස්වහන්සේ විය යුතුය.

උන්වහන්සේගේ ස්වභාවය අපගේ ජීවිතයෙන් එළි දැක්විය යුතුය.

1 පේතෘස් 2:9
නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.

1 පේතෘස් 2:4‭-‬5
මනුෂ්‍යයන් විසින් එපාකළ නුමුත් දෙවියන්වහන්සේ විසින් තෝරාගත්තාවූ අනර්ඝ ජීවමාන ගලක් වැනි උන්වහන්සේ වෙතට පැමිණ, නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ප්‍රසන්නවූ ආත්මික පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්නහුය,

අපි දෙවියන්වහන්සේගේ ආත්මික ගෘහයක් මෙන් ජීවත් වෙමු.

මනුෂ්‍යයන්ගේ එපාකිරීම්වලට ලක් වූවත් ඔබ දෙවියන්වහන්සේගේ අනර්ඝ තෝරා ගැනීමක්ය.

දෙවියන්වහන්සේ තෝරාගත් පුත්‍රයාණන් වූ යේසුස්වහන්සේවත් මනුෂ්‍යයන් විසින් ප‍්‍රතික්ෂේප කරමින් කුරුසපත් කරන ලදි.

දෙවියන්වහන්සේගේ ප‍්‍රශංසාව දක්වන පිණිස අපව අන්ධකාරයෙන් ආලෝකයට කැඳවාගත්සේක.

පෙනෙන දේ පමණක් වැදගත් ලෙස නොසිතිය යුතුය. මන්ද දෙවියන්වහන්සේවත්, දේව දූතයන්වත්, දෙවියන්වහන්සේගේ මාළිගාවේ අලංකාරයවත්, අපට නොපෙනෙන නිසා ඒවා ගැන අපි අන්ධව නොසිටිය යුතුය.

අපි මුලු ජීවත කාලයේ අන්ධව සිටියෙමු. යක්ෂයා අපගේ මනස අන්ධ කර තිබුනේය.

ශුභාරංචියේ වචනය ඇසූ දින පටන් අපි ඒ අන්ධභාවයෙන් නිදහස් විය.

2 කොරින්ති 4:4
නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබෙළන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.

ලෝකයේ සිටින මනුෂ්‍යයන්, ඔබව සුළුකරමින්, ඔබට විරුද්ධව කතාකරමින් තවමත් අන්ධභාවයේ සිටියි.

අපගේ අන්ධ ඇස් ස්වාමීන්වහන්සේ විවර කළහ. අපි ජීවත් වන්නේ පෙනීමෙන් නොව ඇදහිල්ලෙන්ය. (2 කොරින්ති 5:7)

අපි අන්ධයෝ නොවේ. අපගේ ආත්මික ඇස් දැන් විවර කළහ.

එමනිසා අපි ආත්මික සභාවක් තෝරා ගනිමු.

අද ලෝකය සහ සභාව මිශ‍්‍ර වී තිබෙන නිසා වෙනස සොයා ගැනීමට අපහසු විය හැකිය.

අපි සභාවට යන්නේ වින්දනයට පත් වෙන්නට නොවෙයි, පෝෂණය ලබා ගන්නා පිණිසයි.

අපගේ ශාරීරික පෝෂණයට දායක වන ආහාර වේල ගැන උනන්දුවෙන් සිතනවාට වැඩියෙන් අපි ආත්මික පෝෂණයට දායක වන දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් ගැන සිතිය යුතු නොවේද?

පාරම්පරික දේවල් සහ සම්ප‍්‍රදයික ඉගැන්වීම් අපගේ ජීවිතවලට ගලා ඒමට ඉඩ නොදී ආත්මික ඇස්, කන් විවර කර, විවෘත හදවතකින් සැබෑ වචනය අපගේ ජීවිතවලට ඇතුළු කර ගනිමු.

දේව වචනයේ ප‍්‍රකාරයට හරි ආකාරව දේවල් දකින පිණිස අපගේ ආත්මික ඇස් කන් විවෘත කරන ලෙස දිනපතා යාච්ඤා කරමු.

ඔබේ ජීවිතයේ අන් සියල්ලන්ම දකින දේට වඩා වෙනස් දේ දකිනා පිණිසත්, ළඟ ඇති දේ නොව, දෙවියන්වහන්සේ විසින් ඔබට පෙන්වන දේ දකිනා පිණිසත් යාච්ඤා කරන්න.

සතුරා තැත් කරන්නේ අපව රවටන්නටයි. අපි මාංශයට බර නොවී සිටිමු.

ඔබ ඇදහිල්ලේ මනුෂ්‍යයෙකු බැවින්, පෙනීමේ හැටියට ගමන් නොකර ඇදහිල්ලෙන් ගමන් කරන්න.

හෙබ්‍රෙව් 11:1
ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය.

අපට අනෙකුත් සහතික ලැබෙන්නේ අපට උප්පැන්න සහතිකයක් තිබෙන නිසයි.

දේව වචනයට අනුව දෙවියන්වහන්සේගේ කුණු නොවන බීජයෙන් අපි උපත ලබා ඇත. එය අපගේ උප්පැන්න සහතිකයයි.

ශාරීරික උපතට වඩා ආත්මික උපත සිදුවූ ආකාරය වැදගත්ය.

1 පේතෘස් 1:23
මක්නිසාද නුඹලා කුණුවෙන්නාවූ බීජවලින් නොව දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනය කරණකොටගෙන, කුණු නොවෙන්නාවූ බීජවලින් නැවත උත්පාදකරනු ලැබුවහුය.

කුණු නොවන බීජයෙන් අපි නැවත උත්පාදනයක්, එනම්: සදහටම පවතින ජීවනයක් ලබා ඇත්තෙමු.

ඔබ කුණු නොවන බීජයෙන් ඉපදී, නව මැවිල්ලක්ව අභ්‍යන්තර මනුෂ්‍යයා තුළින් ජීවත්වීමට පටන් ගන්න.

අභ්‍යන්තර මනුෂ්‍යයා දකින්නේ ඇදහිල්ලේ දෙනෙත්වලිනි.

පෙනීමේ හෝ හැඟීමේ හැටියට, පංචේන්ද්‍රියන් තුළින් තීරණ නොගත යුතුය.

අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ සමාදානයක් නැතිනම් වැරදි දේවල්වලට නොරැවටෙන්න.

දෙවියන්වහන්සේ ඔබව කැඳවා ඇත්තේ රැවටිලි සහිතව ජීවත් වීමට නොව, ප‍්‍රඥාවන්තව ජීවත් වීමටය.

මා තුළ වාසය කරන තැනැන්වහන්සේ මාගේ ප‍්‍රඥාවය.

තීරණ ගැනීමේදී අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ ඔබට නිතරම සමාදානය තිබිය යුතුයි. මන්ද නැවත ඉපදී සිටින්නේ අභ්‍යන්තර මනුෂ්‍යයාය.

පළමු මනුෂ්‍යයා කළ වැරැද්දේ ඵලවිපාකය වූ මරණය ලැබුවේ අභ්‍යන්තර මනුෂ්‍යයාය. ඒ තුළින් මනසටත් ශරීරයටත් බලපෑම් වූයේය.

යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් ආදම් සහ ඒව කෑ දවසින් පසු ඉපදුනු සෑම මනුෂ්‍යයෙකුම මරණීය ස්වභාවයක් ඇතුව උපදින්නේය.

සුභාරංචි වචනය තුළින් අපට සත්‍යය කියනු ලැබුවාහ.

යේසුස්වහන්සේ මේ පොළොවට පැමිණුනේ සදාකාල ජීවනය දෙන පිණිසයි. මනුෂ්‍යයන් ඒ දේ විශ්වාස නොකළෝය.

උන්වහන්සේ මේ පොළොවට තවත් ආගමක් හෝ නිකායක් රැගෙන ආවේ නැත.

යේසුස්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේගේ පුත‍්‍රයා ලෙස මේ පොළොවට පැමිණ කීවේ, “වෙහෙසවන්නාවූ බර උසුලන්නාවූ සියල්ලෙනි මා වෙතට එන්න මා ඔබට සහනය දෙමි. මා කෙරෙහි අදහන කවරෙක්වත් මරණයට පත් වන්නේ නැත.”

යේසුස්වහන්සේගේ ප‍්‍රකාශයන් පිළිගැනීමට නොහැකි වූ යුදෙව්වරුන් උන්වහන්සේට විරුද්ධව සිට උන්වහන්සේව මරා දැමීමට ගල් අතට ගත්හ.

සදාකාල ජීවනය යනු දෙවියන්වහන්සේගේ ඝණයේ ජීවිතයක් මේ පොළොවේ ගත කිරීමයි.

ජීවනය වූ යේසුස්වහන්සේ මා තුළට පැමිණි නිසා සදාකාල ජීවනය දැන් මා තුළයි.

කිතුනුවාගේ ශාරීරික මරණය ඒ පුද්ගලයාගේ අවසානය නොවේ.

යොහන් 5:24
සැබවක් සැබවක් නුඹලාට කියමි–මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි.

සැබවක් සැබවක් යනු මා මේ කියන වචනය ඇත්තකි.

පාපයේ සහ මරණයේ ස්වභාවයක් ඇතිව මේ පොළොවට ඉපදෙන අපට යේසුස්වහන්සේ කෙරෙහි ඇදහීමෙන් සදාකාල ජීවනය ලබා ගත හැකිය.

අපට සදහටම ජීවත් වන්නට ජීවිතයක් දී තිබේ.

යමෙක් ක‍්‍රිස්තුස්වහන්සේ තුළ නම් ඔහු නව මැවිල්ලක්.

ඔබ ගැළවීම ලබා ගත් බව දැන ගන්නේ ඔබ තුළ තිබෙන සමාදානයෙනි. එය පවසන්නේ ඔබව ගළවා ඇත, ඔබ දේව දරුවෙකුය. ඒ සාක්ෂිය ඔබ තුළ පවතී.

රෝම 8:16-17
අපි දෙවියන්වහන්සේගේ දරුවෝය. ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක. තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝය. උන්වහන්සේ හා සමඟ මහිමය ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක්විඳිමු නම්, මෙසේ වන්නේය.

පරණ, මරණීය ස්වභාවයෙන් නිදහස්වී ඔහු ප‍්‍රාණවත්වේ.

ඔබගේ ආශාවන්, හදවත හා අදහස් දැන් වෙනස් වී ඇත.

ඔබ නව මැවිල්ලක් කියා ඔබගේ ආත්මය දෙවියන්වහන්සේගේ ආත්මය සමඟ සාක්ෂි දරයි.

ඔබට දේව දරුවෙක් බව නිසැකවම දැන ගත හැකියි. ඒ විශ්වාසය ඇති වන්නේ ඔබ දෙවියන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කිරීමට පටන් ගත් විටය.

ඔබ නව මැවිල්ලක් බව ඔබගේ ආත්මිකභාවයෙන් ඔබට තේරුම් ගත හැකිය.

ඔබගේ ඇතුළාන්තරයේ වෙනසක් ඇතිවී තිබේ. මනුෂ්‍යයන් ඔබගේ වෙනස දකිනු ඇත.

ඔබ ජීවත් වන්නේ ලෝකයාගේ ප්‍රසිද්ධත්වයෙන් නොවෙයි.

අපි යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ දෙස පමණක් බලමින් මේ දිවීම දුවමු.

රඟපෑමෙන් ඉවත්ව, අවංකව ජීවත් වෙමු.

මේ දේවල් පහවී යන දේවල්. ඒවා කෙරෙහි විශ්වාසය නොතබන්න. ඒවා රැවටිලිකාරයි. පවතින්නේ කෙටි කාලයයි.

මනුෂ්‍යයන් මත විශ්වාසය නොතබා දෙවියන්වහන්සේ මත පමණක් විශ්වාසය තබමු.

දෙවියන්වහන්සේ ලෝකාන්තිමය දක්වා මා සමඟයි. උන්වහන්සේ කිසිවිටකත් මා අත්හැර නොයන සේක. උන්වහන්සේ ඊයෙත් අදත් සදහටම එකාකාරමය.

ස්වාමීන්වහන්සේ බොරු කියන්න මනුෂ්‍යයෙකු නොවේ.

දෙවියන්වහන්සේ අපව කිසි දිනක පාවා නොදෙන, දාලා නොයන දෙවියන්වහන්සේය.

ස්වාමීන්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාස තබමු.

1 කොරින්ති 7:31
මේ ලෝකය භුක්තිවිඳින්නෝ අධිකලෙස භුක්ති නොවිඳින්නන් මෙන්ද සිටිය යුත්තෝයයි කියමි. මක්නිසාද මේ ලෝකයේ අන්දම පහවෙවී යන්නේය.

මේ ලෝකයේ දේවල් අපගේ පාවිච්චිය සඳහා පමණක් තබා ගනිමින් ඒ මත අපගේ මුළු විශ්වාසය නොතබමු.

1 යොහන් 2:16
මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත්, ඇස්වල තෘෂ්ණාවත්, ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.

ජීවිතයේ අහංකාරකම විශාල ප‍්‍රශ්නයකි.

මනුෂ්‍යයන් අප ගැන සිතන දෙයින් කිසි වටිනාකමක් නැත.

යේසුස්වහන්සේ, "මනුෂ්‍ය පුත්‍රයා කවරෙක්ද කියා මනුෂ්‍යයෝ කියන්නේ දැයි" තමන්ගේ ගෝලයන්ගෙන් ඇසූසේක.

මතෙව් 16:13
ඔව්හු කථාකොට-සමහරෙක්: යොහන් බව්තීස්තය කියාද, අන් සමහරෙක්: එලියාය කියාද, තවත් අය: යෙරෙමියා නොහොත් අනාගතවක්තෘන්ගෙන් එක්කෙනෙක්ය කියාද කියතියි කීවෝය. නුමුත් නුඹලා මා කවුරුය කියා කියනවාදැයි ඔවුන්ගෙන් ඇසූසේක.
සීමොන් පේතෘස් උත්තර දෙමින්: ඔබ ක්‍රිස්තුස්වහන්සේය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කීවේය.

යේසුස්වහන්සේ ගෝලයන්ගෙන් "නුඹලා මා කවුරුන් කියා සිතනවාදැ" යි ඇසු විට පේත‍්‍රැස්, "ඔබ ක්‍රිස්තුස්වහන්සේය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය" යි පැවසුසේක.

මතෙව් 16:17
යේසුස්වහන්සේ උත්තරදෙමින්: සීමොන් බර්-යෝනා, නුඹ ආශීර්වාදලද්දෙක්ය. මක්නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ මිස මාංසය හා රුධිරය මේක නුඹට එළිදරව් නොකෙළේය.

යේසුස්වහන්සේ පේත‍්‍රැස්ට පැවසූවේ, ඔහු එය කීවේ මාංසයෙන් හා රුධිරයෙන් නොවේ, එය පියාණන්වහන්සේ විසින් දුන් එළිදරව්වෙන් කියාය.

මතෙව් 16:18
මම ඔබට කියමි: නුඹ පේතෘස්ය, තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි; පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය.

පේත්‍රැස් යනු කුඩා පර්වතයකි. නමුත් යේසුස්වහන්සේ පේත‍්‍රැස්ට පැවසූවේ, ඔබට ලැබුණු මෙම එළිදරව්ව වන ක්‍රිස්තුස්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය යන මේ විශාල පර්වතය මත මගේ සභාව මා ගොඩනඟා ගන්නෙමි කියාය.
පාතාලයේ දොරටුවට කිසිසේත්ම සභාව පරාජයට පත්කළ නොහැකිය.

සභාව අපි වෙමු. යේසුස්වහන්සේ එම එළිදරව්වේ පර්වතය මත අපව ගොඩනඟමින් සිටියි.

යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ තුවාල වලින් ඔබ සුව වූ බව දැන, ඒ පර්වතය මත ඔබේ විශ්වාසය තබන්නේ නම් ඔබ සුව වනු ඇත.

සෑම එළිදරව්වක්ම විශාල පර්වතයකි.

ඔබට එළිදරව්වක් ලැබුණු විට දෙවියන්වහන්සේගේ තේජස් සම්පතේ ප‍්‍රකාරයට ඔබේ අවශ්‍යතාවයන් සපයා දෙනසේක. ඒ පර්වතය මත ඔබේ විශ්වාසය තබන්නේ නම් ලෝකයේ ආර්ථිකයටවත්, පාතාලයේ දොරටු වලටවත්, යක්ෂයාටවත්, ඔබව පරාජය කළ නොහැකියි.

දෙවියන්වහන්සේගේ කරුණාව සමාදානය නමැති පර්වතය මත ඔබේ විවාහය ගොඩ නඟාගත හොත් පාතාලයේ දොරටු වලට ඔබ දෙදෙනා අතර භේද ඇති කළ නොහැකියි.

2 කොරින්ති 1:20
මක්නිසාද දෙවියන්වහන්සේගේ පොරොන්දු කොපමණ වුණත් උන්වහන්සේ තුළ එසේය කියා වේ. එහෙයින් අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ගෞරවය පැමිණෙන පිණිස, උන්වහන්සේ කරණකොටගෙන ආමෙන්ය කියාත් වේ.

මාගේ නිවසේ සමාදානය, මාගේ යාච්ඤාවලට පිළිතුරු හා උන්වහන්සේගේ පොරොන්දු මම විශ්වාස කරමින් ‘ආමෙන්’ යයි කිව යුතුය.

දෙවියන්වහන්සේගේ සියළු පොරොන්දු අපි විශ්වාස කරමු.

ආමෙන් යන්නෙහි අර්ථය ‘එසේය’ සහ ‘මම විශ්වාස කරනවා’ යනුය.

දේව වචනයේ පහවී නොයන දේවල් මත ඔබ ජීවත්වන්නට පටන් ගතහොත්, මේ නව ජීවනය මත තිබෙන අලංකාරභාවය ඔබට අත් දැකීමට පුළුවන.

ඔබ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරමින් එය රස බලා දැනගන්නා තුරු සැබවින්ම උනවහන්සේගේ දේවල් ඔබට වටහා ගැනීමට නොහැකිය.

ගීතාවලිය 34:8
ස්වාමීන් යහපත් බව රස බලා දැනගනිව්. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.

උන්වහන්සේ අපගේ වැටීමවත් විනාශයවත් බලා නොසිටින අතර උන්වහන්සේ විනාශයෙන් අප ආරක්ෂා කරනසේක.

දෙවියන්වහන්සේ කවදාවත් අපව පාගා දමන්නේ නැත. එදා ප්‍රේම කළ අකාරයටම උන්වහන්සේ අදත් අපට ප්‍රේමකරනසේක.

දෙවියන්වහන්සේ සදාකාලික ප්‍රේමයකින් අපට ප්‍රේම කරනසේක.

යෙරෙමියා 31:3‭,
ස්වාමීන්වහන්සේ පුරාණයේදී මට ප්‍රකාශවී–එසේය, සදාකාල ප්‍රේමයකින් නුඹට ප්‍රේමකෙළෙමි. එබැවින් දයාබරකමින් නුඹ ඇදගතිමියි කීසේක. එවිට කන්‍යාවද තරුණයෝ සහ මහල්ලෝද එක්ව නටා සන්තෝෂවන්නෝය. මක්නිසාද මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවා, ඔවුන්ගේ ශෝකයෙන් පසුව ඔවුන් ප්‍රීතිකරවන්නෙමි.

කවදාවත් නොනවතින, නොවෙනස් වන, ප්‍රේමයකින් දෙවියන්වහන්සේ අපට ප්‍රේම කරනසේක.

දෙවියන්වහන්සේගේ දයාවෙන් කරුණාවන්තකමින් අපව උන්වහන්සේ වෙතට ඇද ගන්නාසේක.

දෙවියන්වහන්සේ කවදාවත් අපව කොන් කරන්නේවත්, සුළු කරන්නේවත් නැත.

දෙවියන්වහන්සේ ප්‍රේමයයි, උන්වහන්සේ අපට බොහෝ සේ ප්‍රේම කරනසේක.

දෙවියන්වහන්සේ ඊයෙත් අදත් සදාකාලටත් එකාකාරය. අප ගැළවීම ලැබූ දවසේ දැක්වූ ප්‍රේමයම උන්වහන්සේ අපට අදටත් දක්වනු ඇත.

දෙවියන්වහන්සේත් ප්‍රේමයත් කිසිදා වෙන් කරන්නට නොහැකියි. (1 යොහන් 4:8)

දෙවියන්වහන්සේ වෙතට අපව ඇදගන්නේ ප්‍රේමයයි.

දෙවියන්වහන්සේ අපට බොහෝසේ ප්‍රේම කරනසේක.

උන්වහන්සේගේ දයාව, කරුණාව සහ අනුග්‍රහය වෙනස් වන්නේ නැත.

විලාප ගී 3:22-23
අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය. ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ; ඔබගේ විශ්වාසකම මහත්ය.

ස්වාමීන්වහන්සේ සෑම දවසකම ඔබට ප්‍රේම කරනසේක.

උන්වහන්සේ පාපය එපා කරයි, නමුත් පව්කරුවාට ප්‍රේම කරනසේක.

පාපය, අකීකරුකම, දුෂ්ඨ ක‍්‍රියාවන්, වලට උන්වහන්සේ ද්වේශ කරනසේක.

උන්වහන්සේගේ අනර්ඝ ලෙයින් උන්වහන්සේ අපව සෝදා පවිත්‍ර කර අපව නව මැවිල්ලක් කරයි.

1 යොහාන් 2:17
ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.

පහවී යන දේවල් මත ඔබගේ ඇදහිල්ල නොතබන්න. කවදාවත් වෙනස් නොවන පර්වතය මත සිට ගනිමු.

දෙවියන්වහන්සේගේ පොරොන්දු සහ දෙවියන්වහන්සේගේ කැමැත්ත එක හා සමානය.

ජීවිතයේ යහපත් දින දකින්නට කැමති නම් අනවශ්‍ය දේවල් වලින් ඔබගේ දිව වලක්වා ගන්න.

එපීස 5:4
කැතකම්ද මෝඩ කථාද නීච කවටකම්ද යන මේවාත් නුසුදුසුය. ඒවා නොව ස්තුතිකිරීම් පවත්වන්න.

කිතුනුවන් ලෙස අපට නොගැලපෙන හැසිරීම් වලින් ඉවත් වෙමු.

යහපත් ජීවිතයක් අනාගතයක් දකින්නට අවශ්‍ය නම්, ලෝකයේ වැරදි දේවල් අගය කරමින් රස විඳීම නුසුදුසු බව අවබෝධ කර ගනිමු.

මනුෂ්‍යයන්ට නොපෙණුනත් අපි රහසින් කරන සියල්ල ස්වර්ගයේ වාසය කරන පියාණන්වහන්සේ දකිනසේක.

අපගේ ජීවිත විනාශය කරා ගෙන යන ඒ දේවල් කිරීම, ඇසීම, නැරඹීම, නැවැත්වීමට උන්වහන්සේ අපට කතා කරනසේක.

මරණය හා ජීවනය යන දෙකම ලෝකයෙහි ඇත.

එයින් අපි සොයන දේ කුමක් විය යුතුද? අපි දෙවියන්වහන්සේගේ වෘක්ෂය සොයමු.

දේව වචනය, දේශනා, ගීතිකා, සාක්ෂි තුළින් අපි ධෛර්යමත් වෙමු, ශක්තිමත් වෙමු.

ඔබගේ ජීවිතයේ අහක් කළයුතු දේ ඉවත් කරමින්, දෙවියන්වහන්සේ දෙස බලමින් දිවීම දුවන්න. සදහටම පවතින දේ මත විශ්වාසය තබා ජීවත්වීමට සදාකාල ජීවනය තෝරාගනිමු.


Watch the Sermon Video

Read 317 times