+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේගේ නාමය නිසා පීඩා හා පරීක්ෂාවේදී ක්ලාන්ත නොවන්න - යෝෂා මනූ
April  23, 2023 Sunday Sermon Notes

 

ස්වාමීන්වහන්සේ නිතරම විශ්වාසවන්තය. දේව වචනය තුළ දෙවියන්වහන්සේ දී ඇති පොරොන්දු ඉෂ්ටකිරීමට උන්වහන්සේ විශ්වාසවන්තව සිටිනසේක.

"මෙම පොරොන්දු දෙවියන්වහන්සේ ඉටු කරයිද?" "එය දෙවියන්වහන්සේට අමතක වී ඇද්ද?" කියා අප කිසිදා නොසිතිය යුතුය. මන්ද දෙවියන්වහන්සේ ගිවිසුම රක්ෂා කරන දෙවියන්වහන්සේය.

ගීතාවලිය 89:2
මක්නිසාද: කරුණාව සදාකාලේටම පිහිටුවනු ලබන්නේය, ඔබගේ විශ්වාසකම ස්වර්ගයන්හිම ඔබ පිහිටුවනසේකැයි කීයෙමි.
දෙවියන්වහන්සේගේ විශ්වාසකම ස්ථීරයි. එය වෙනස් නොවේ.

අපගේ දෙවියන්වහන්සේ සත්‍යයේ මෙන්ම විශ්වාසයේද දෙවියන්වහන්සේය.

මනුෂ්‍යයන් අවිශ්වාසවන්ත විය හැකි නමුත් දෙවියන්වහන්සේ විශ්වාසවන්තය.

ගීතාවලිය 89:5
ස්වාමිනි, ස්වර්ගයෝ ඔබගේ ආශ්චර්යයන් වර්ණනා කරන්නෝය; ශුද්ධවන්තයන්ගේ රැස්වීමේදී ඔබගේ විශ්වාසකම වර්ණනාකරනු ලබන්නේය.

මෙහි ‘’ස්වර්ගයෝ’’ නම් අපි වෙමු. ස්වර්ගීය තලයෙහි හිඳුවා ඇති, උන්වහන්සේ විසින් උසස් කරන ලද උන්වහන්සේගේ ආශ්චර්ය ක‍්‍රියා වර්ණනාකරන සෙනඟ වන්නෙමු.

එපීස 2:6
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූසේක.

ශුද්ධවන්තයන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් රැස් වන ඕනෑම ස්ථානයක ස්වාමීන්වහන්සේ අප සමඟ සිටියි. අපි රැස් වී දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකමේ ගුණ ගායනා කරමු.

මන්ද උන්වහන්සේට කිසිවක් කළ නොහැකි යයි පවසා නැත, උන්වහන්සේට කිසිවත් අමතක වූ බව පවසා නැත.

හන්නා යාච්ඤා කරමින් දෙවියන්වහන්සේගෙන් පිරිමි දරුවෙක් ඉල්ලා සිටියාය.

1 සාමුවෙල් 1:11
ඈ බාරයක්වෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකාරීගේ දුක සැබවින් බලා මා සිහිකර, ඔබගේ මෙහෙකාරී මතක නැතිනොකර, ඔබගේ මෙහෙකාරීට පිරිමි දරුවෙක් දෙනසේක් නම්, ඔහුගේ ජීවිතයේ සෑමදාටම ඔහු ස්වාමීන්වහන්සේට දෙන්නෙමි,

හන්නාව දෙවියන්වහන්සේ සිහි කළසේක. දෙවියන්වහන්සේ ඇයව අමතක කළේ නැත. ඇයට දරුවන් දී ඇයට ආශීර්වාද කළ යුතු බව උන්වහන්සේගේ මතකයේ තිබුණි. (1 සාමුවෙල් 1:19)

හන්නාගේ යාච්ඤාව ඇසූ දෙවියන්වහන්සේ ඇයව අමතක නොකළ සේම උන්වහන්සේ ඔබවද කිසිදින අමතක නොකරන සේක.

යේසුස්වහන්සේගේ නාමය නිසා අපට පැමිණෙන පරීක්ෂා පීඩා වලින් ජය ගැනීමට අපගේ දෙවියන්වහන්සේ අප සමඟ සිටියි. අපි උන්වහන්සේගේ සෙනඟය.

කිසිවෙකුට දේව ප්‍රේමයෙන් අපව වෙන් කළ නොහැකියි.

අප අන්ධකාර ආධිපත්‍යයෙන් ආලෝකයට පැමිණ, සාතන්ගේ රාජ්‍යයෙන් මිදී දේව රාජ්‍යය තුළට ඇතුල් වී, වෙනස්වූ හෙයින් පරීක්ෂා පීඩාවන් අපට පැමිණේ.

අප ඉවසීමෙන් ඒවා ජයගත් කල ආශීර්වාදලද්දෝ වෙමු. පීඩා වර්ණනා නොකර සිටීමෙන් ජය ගත හැකි මාර්ගය දෙවියන්වහන්සේ අපට පෙන්වා දෙයි.

පරීක්ෂා පීඩා අපි වර්ණනා කිරීමට යාමෙන් ඒවා විශාල කඳු බවට පත් වී දෙවියන්වහන්සේ විවෘත කරන මාර්ගය අපට නොපෙනී යා හැකිය.
එබැවින් ප‍්‍රශ්න කරදර වර්ණනා නොකර දෙවියන්වහන්සේව පමණක් වර්ණනා කරමු.

පරික්ෂා පීඩා තුළින් ගමන් කරමින් ජයගන්නා කල දෙවියන්වහන්සේ අපට විපාක දෙනසේක. එම විපාක මනුෂ්‍යයන් දකිනු ඇත.

ස්වර්ගයේදී පමණක් නොව මේ පොළවේදීත් අපට ඒවා ලැබෙන බව ස්ථීරය.

පරීක්ෂා පීඩා, නින්දා අපහාස මැද අපගේ ස්ථීරත්වය දකින මනුෂ්‍යයන් කලබල විය හැකිය, අපගේ ප‍්‍රතිවාරය ගැන පුදුම විය හැකිය.

ලෝකයේ මනුෂ්‍යයන් ක්‍රියා කරන ආකාරයට අපි නොකරමු. පරන ගිවිසුමේ පැවසුවේ "දතකට දතක් ඇසකට ඇසක්" ලෙසින්ය.

අලුත් ගිවිසුමෙහි යේසුස්වහන්සේ පෙන්වා දී ඇත්තේ අපි ප්‍රේම කරමින්, මනුෂ්‍යයන්ට සමාව දිය යුතු බවයි.

අපට විපාක ලෙස ඔටුනු ලැබෙනු ඇත.

ජීවනයේ ඔටුන්න මගින් ඉවසන්නට පුළුවන්කම ලැබී, ක්ෂාන්තිගුණය අප තුළ වර්ධනය වෙන අතර ඇදහිල්ලෙන් ජය ගත හැකි වන්නේය.

දෙවනුව නොදිරන ඔටුන්න, එනම් නොනැසී පවතින, අමරණීය, කුණු නොවෙන, අපවිත‍්‍ර නොවෙන, ඔටුන්නකි.

තෙවනුව ධර්මිෂ්ඨකමේ ඔටුන්න දෙවියන්වහන්සේ සමඟ හරි සම්බන්ධතාවයක් පවතින සෙනඟක් ලෙස ධර්මිෂ්ඨකමේ ඔටුන්නක් පැළඳ සිටිමු. මෙම ඔටුනු පැළඳ සිටින මනුෂ්‍යයන් ලෙස අපගේ දෙනෙත් වලට නොපෙණුනත් දෙවියන්වහන්සේ එය අපගේ හිස මත පළඳා ඇත.

ධර්මිෂ්ඨයන් සිංහයන් මෙන් නිර්භීතව ගමන් කරයි. අපගේ නිර්භීතකම, භයනැතිකම පැමිණෙන්නේ මේ ධර්මිෂ්ඨකමේ ඔටුන්න නිසාය. එය දෙවියන්වහන්සේ ඉදිරියේ පිළිගත හැකිවූ ඔටුන්නකි.

මතෙව් 5:10-12
ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය. මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාදලද්දෝය. ප්‍රීතිවෙන්න, ඉතා සන්තෝෂවෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය.

මනුෂ්‍යයන් අපට අපහාස කරන කල, අපි ඔවුන්ට ආශීර්වාද කරමු.
ඔවුන් ගැන යාච්ඤා කරමු.

එවැනි පීඩා යේසුස්වහන්සේ අපට පළමුව දරාගත් බව සිහි කරමින් අපි ප‍්‍රීතියෙන් උන්වහන්සේගේ අනුග‍්‍රහය හා ශක්තියෙන් ඒවා විඳ දරා ගනිමු.

ඔබට පීඩා කරමින් නිතරම වද දෙන අයගේ ගැළවීම උදෙසා යාච්ඤා කරන්න. (මතෙව් 5:43-48)

සභාවට පීඩා කළ සාවුල් වෙනුවෙන් සභාව යාච්ඤා කළේය.

මන්ද ඔහු කිතුනු සෙනඟ සොයා පීඩා කරමින්, සිරගත කරමින්, මරාදමන්නට පවා යෙදුණාහ.

ක‍්‍රියා 8:1-3
ඔහු මරාදැමීම ගැන සාවුල්ද එකඟව සිටියේය. භක්තිවන්ත මනුෂ්‍යයෝ ස්තේපන් භූමදානකොට, ඔහු ගැන බොහෝසෙයින් වැලපුණාහ. නුමුත් සාවුල් සියලු ගෙවලට වැද, පුරුෂයන්ද ස්ත්‍රීන්ද ඇදගෙන ගොස් හිර ගෙට භාරදෙමින්, සභාව නාස්තිකෙළේය.

දමස්කයේ සිටින ක‍්‍රිස්තියානීන්ට විරුද්ධව ලියුමක් ලබාගෙන ඔවුන්ට විරුද්ධව ක‍්‍රියා කිරීමට සාවුල් දමස්කය බලා පිටත් වුණේය. (ක‍්‍රියා 9:1-2)

සාවුල් ගමන් කරමින් සිටියදී ඔහුට යේසුස්වහන්සේ ප‍්‍රකාශ විය. (ක‍්‍රියා 9:3-9)

ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම පරිවර්ථනය වීමට හේතුව නම් සභාව ඔහු වෙනුවෙන් යාච්ඤා කිරීම විය හැකිය.

අපිට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරමු.

මතෙව් 5:44
නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න;

ඔබට ප්‍රේම කරන අයට පමණක් ඔබ ප්‍රේම කරන්නේ නම් ඔබට කිසි විපාකයක් නොලැබේ.

මතෙව් 5:46
නුඹලාට ප්‍රේමකරන්නන්ටම නුඹලා ප්‍රේමකරනවා නම්, නුඹලාට කවර විපාකයක්ද? සුංගම් අයකරන්නෝ පවා එසේ නොකරද්ද?

අපට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කිරීම පහසුය. නමුත් ඔබට වෛර කරන අයට ප්‍රේම කිරීම අපහසුය.

ඔබේ හදවතේ ඇත්තේ සාමාන්‍ය ප්‍රේමයක් නොව දෙවියන්වහන්සේගේම හදවතේ ඇති දිව්‍යමය ප්‍රේමයකි.

මතෙව් 6:1
මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔවුන් ඉදිරියෙහිදී නුඹලාගේ ධර්මිෂ්ඨ ක්‍රියා නොකරන්ට බලාගන්න. නැතහොත් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ වෙත නුඹලාට විපාකයක් ඇත්තේ නැත.

යාච්ඤාව, නිරාහාරව සිටීම, හා අපගේ දීම නමැති ධර්මිෂ්ඨ ක‍්‍රියා අප රහසින් කරන විට දෙවියන්වහන්සේ විවෘතව අපට ආශීර්වාද කරනසේක.

මනුෂ්‍යයන්ට අපගේ ආශීර්වාදය, අපගේ යාච්ඤාවලට පිළිතුරු, විපාක දැකගත හැකිය. ඒ අපි පැළඳ සිටින ධර්මිෂ්ඨකමේ ඔටුන්න නිසාය.

මතෙව් 6:16-18
තවද නුඹලා නිරාහාරයෙන් ඉන්න කල්හි වංචාකාරයන් මෙන් දුක්ඛිත මුහුණක් ඇතුව නොසිටින්න. ඔව්හු නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස තමුන්ගේ මුහුණු විරූප කරගනිති. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. නුමුත් නුඹ නිරාහාරයෙන් ඉන්න කල්හි රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට මිස නුඹ නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස, නුඹේ හිසේ තෙල් ගා, මුහුණ සෝදා ගන්න; එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ නුඹට විපාක දෙනසේක.

දේව සේවකයෙකුට, කිතුණුවෙකුට, ශුද්ධවන්තයෙකුට, ඇදහිලිවන්තයෙකුට, දේව දරුවෙකුට, අපි කුඩා හෝ යහපතක් කළ විට අපට එහි විපාකය ලැබෙනු ඇත. (මතෙව් 10:42)

යේසුස්වහන්සේගේ නාමය නිසා පීඩා පරීක්ෂාවේදී ක්ලාන්ත නොවන්න.

දෙවියන්වහන්සේ අපට නොමැළවෙන ඔටුන්නක් දී ඇත, මෙය හතරවැනි ඔටුන්නයි.

1 පේත‍්‍රස් 5:4
එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශවන කල්හි නුඹලා තේජසේ නොමැළවෙන්නාවූ ඔටුන්න ලබන්නහුය.

මෙය ජයග‍්‍රහණයේ ඔටුන්නක්ය. ගෞරවය, මහිමය, ප‍්‍රසංශාව ලැබිය හැකි, නොමැළවෙන ඔටුන්නකි.

එය අලංකාරව, දීප්තිමත්, ගල් ඇල්ලූ, බැබළෙන ඔටුන්නකි.

මේ පොළවේ ඔබ කරන යහපත් ක‍්‍රියා නිසා ඔබ බැබළෙයි.

යේසුස්වහන්සේ පැවසුවේ. ඔබ ලෝකයේ ආලෝකයය. පොළොවේ ලුණුය. (මතෙව් 5:13-16)

අපි යහපත් ක‍්‍රියා කරමින් දෙවියන්වහන්සේ ඉදිරියේ බැබළෙමු.

යෙසායා 60:1 හි සඳහන් වන්නේ නැඟිට බැබළෙන්න කියාය.

දෙවියන්වහන්සේගේ මහිමය, තේජස අප මත උදා වී ඇත.

මේ පොළවේ මනුෂ්‍යයන් ඝන අන්ධකාරයේ වියවුල්ව සිටියි. නමුත් ඔබ ආලෝකය බැවින් බැබළිය යුතුය.

පීඩා පරීක්ෂාවේදී ක්ලාන්ත නොවෙමු. එවිට අපගේ හිස මත ඒ ඔටුන්න උන්වහන්සේ පළඳන සේක.

බොහෝ අය කරන්නාක් මෙන් පීඩා පරීක්ෂාවේදී මේ ගමන අතහැර නොයමු.

ගැළවීම ලබන විට අපගේ නිවසින් දෙමව්පියන්ගෙන් නෑදෑයන්ගෙන් අපගේම පවුලේ අයගෙන් අපට ප‍්‍රශ්න පැමිණිය හැක. අප ගත් තීරණය නිසා ඔවුන් අපට පීඩා කළ හැකිය, නමුත් අපි ක්ලාන්ත නොවෙමු. මන්ද එය කෙටි කාලීන පීඩාවකි.

2 කොරින්ති 4:16
එහෙයින් අපි ක්ලාන්ත නොවමුව; අපේ පිටත මනුෂ්‍යයා ක්ෂයවෙන නුමුත්, අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත්කරනු ලබන්නේය.

පාවුල්තුමාට ඔහුගේ ජීවිතය තුළ ක්ලාන්ත වීමට, අතහැර දැමීමට බොහෝ දේවල් ආවත් ඔහු ධෛර්යයමත් වුණා.

යහපත් ජීවිතයක් ගත කරමින් සිටි ඔහුට යේසුස්වහන්සේ පිළිගැනීම නිසා යුදෙව්වරුන්ගේ පීඩාවට මරණයට පවා මුහුණ දීමට සිදු වුණත් ඔහු ක්ලාන්ත නොවීය.

ඔබගේ අභ්‍යන්තර, ආත්මික මනුෂ්‍යයා නිතරම අලුත් වී සිටියි.

පරික්ෂා තුළින් ගමන් කරත් ක්ලාන්ත නොවීමට අප තීරණය කර ගනිමු.

2 කොරින්ති 4:17-18
මොහොතකට පවතින අපේ සැහැල්ලුවූ දුක, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට,
ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.

අපට නින්දා අපහාස වලට මුහුණ දීමට සිදු වන්නේ ඉතාමත් සුළු කාලයකට විය හැකිය.

පීඩා පරීක්ෂා පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන් නොවේ. දෙවියන්වහන්සේ කිසිවකුට ලෙඩ රෝග නොදෙන සේක.
එය ඔබේ ජීවිතයේ ස්ථීර අත්තිවාරමක් ලෙස දමා ගත යුතුය.

ක්ලාන්ත වීම යනු සම්පූර්ණයෙන්ම ආත්මය නැතිවී යාම ලෙස දැක්විය හැකිය.

අපේ ජීවිතය එලෙස විනාශ කිරීම යක්ෂයාගේ අභිප‍්‍රාය වේ. ඒ නිසා පිටස්තරව ප‍්‍රශ්න ගෙන ඒම යක්ෂයාගේ අරමුණයි.

අපගේ ආත්මය දෙවියන්වහන්සේගේ ආත්මය සමඟ එක්වී තිබීම නිසා අපගේ ඇතුළාන්තයට යක්ෂයාට කිසිවක් කළ නොහැකිය.

අපගේ ආත්මික ජීවිතය සම්පූර්ණයෙන් විනාශ කරන තරමට පීඩා පරීක්ෂා අපව ක්ලාන්තයට පත් කරන්ටත්, වෙහෙසව දුර්වල වෙන්නටත් සලස්වයි.

ඔබ අලුත් කිතුනුවෙකු නම් වචනය දන්න කිතුනුවන් සමඟ සහභාගීකම් පවත්වන්න. මන්ද ඔවුන් ඔබව නිතර ධෛර්යයමත් කරයි, ශක්තිමත් කරයි.

අපට හැකි සෑම විටම දුර්වලව වෙහෙසව ආත්මික ජීවිතය අත හරින තත්වයට පත්වී ඇති අයව ධෛර්යයමත් කරමු, ශක්තිමත් කරමු.

2 කොරින්ති 4:1-2
ඉන්නිසා අපට කරුණාව ලැබුණු ලෙසම මේ සේවයත් ලැබී තිබෙන බැවින්, අපි ක්ලාන්ත නොවී සිටිමුව. ලජ්ජාවේ රහස් දේවල් එපා කළෙමුව.

මනුෂ්‍යයන් අප තුළින් ගැළවීම ලැබීම දෙවියන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන සේවය වේ.

එබැවින් අප ශක්තිමත්ව සිටීම දෙවියන්වහන්සේගේ කැමැත්තයි.

අපගේ පරන ජීවිතයේ අප කරමින් සිටි දේවල් එපා කළ යුතුය.

2 කොරින්ති 4:2-3
ප්‍රයෝගයෙන් නොහැසිර, දෙවියන්වහන්සේගේ වචනය ගැන වංචා නොකර, සැබෑව ප්‍රකාශකිරීමෙන්ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදයසාක්ෂියට එකඟවෙන ලෙස අපේ ගුණ දැක්වීමුව. නුමුත් අපේ ශුභාරංචිය වැසී තිබේනම්, එය වැසී තිබෙන්නේ විනාශවෙන්නන්ටය.

නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.

මනුෂ්‍යයන්ගේ මනස අන්ධ කර ඇත්තේ යක්ෂයාය. මිනිසුන් ඔවුන් පීඩා කරන්නේ යේසුස්වහන්සේට යැයි නොදැන එසේ කරයි.

අපි දෙවියන්වහන්සේ ඉදිරියේ අවංක වෙමු.

පීඩා පරික්ෂා ඉදිරියේ ඔබ ඉවසිල්ලෙන් ක‍්‍රියා කිරීමෙන් ඒ මනුෂ්‍යයන් ගැළවීම ලැබිය හැකිය.

යෙසායා 40:28-31
පොළොවේ සීමාවල මැවුම්කාරවූ ස්වාමීන්වහන්සේ වන සදාකාල දෙවියන්වහන්සේ ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? නුඹ අසා නැද්ද? උන්වහන්සේගේ ඥානය දැනගන්ට බැරිය. උන්වහන්සේ ක්ලාන්තවූ අයට ශක්තිය දෙනසේක; බලය නැත්තාට සවිය වැඩිකරනසේක. තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසවන්නෝය. යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.

කිසි දිනක ක්ලාන්ත නොවන වෙහෙසට පත් නොවෙන දෙවියන්වහන්සේ ඉදිරියට යමු.

දේව වචනය කියවීමෙන් අපි උන්වහන්සේ ගැන දැනගනිමු. වචනය තුළ උන්වහන්සේගේ චරිතය පැහැදිලි කර තිබෙනවා.

ක්ලාන්තවූ විට අපගේ ශක්තිය දෙවියන්වහන්සේය කියා මතක තබා ගන්න.

ක්ලාන්තවී අප සියල්ල අතහැර සිටිනවිට දෙවියන්වහන්සේ අප වෙත එන සේක.

දෙවියන්වහන්සේ වෙතට මිස දෙවියන්වහන්සේ වෙතින් දිව නොයමු.

අපට බලය ලබා ගත හැක්කේ දෙවියන්වහන්සේ තුළින් පමණයි.

අපව ධෛර්යයමත් කරන පිණිසත්, ශක්තිමක් කරන පිණිසත් ආත්මයෙන් හා වචනයෙන් පූර්ණ වූ අය උන්වහන්සේ අපගේ ජීවිතයට එවනසේක.

පීඩා පරික්ෂා කාලයේදී නොමැලවෙන්නාවූ ඔටුන්න අපි පැළද ගනිමු.

භය නොවෙමු, ක්ලාන්ත නොවෙමු, දෙවියන්වහන්සේ අප සමඟය.


Watch the Sermon Video

Read 242 times