+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අන්‍යභාෂාවෙන් කතා කිරීමෙන් ඔබට ප්‍රඥාව ලැබේ - මනූ මැතානි
January 28, 2024 Sunday Sermon Notes

 

අන් භාෂාවෙන් යාච්ඤා කිරීම ඉතාම වැදගත්ය.

‭‭රෝම‬ ‭8:28‬ අපගේ ජීවිතය තුළ සිදුවීමට නම්, රෝම‬ ‭8:26-28 අප එක දිගට කියවා තේරුම් ගත යුතුය.

බොහෝ විට මනුෂ්‍යයන් රෝම 8:28 පදය පමණක් කියවා, සියල්ල දෙවියන්වහන්සේ ඔබගේ යහපත සඳහා කරන්නේයැයි පවසයි.

නරක දේටත් ඔවුන් එසේම පවසයි.

නමුත් 26 වන පදයේ සඳහන් දේ වල ප‍්‍රතිඵලය 28 වන පදය තුළ පෙන්වා දෙයි.

රෝම‬ ‭8:26‬
එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක.

ඔබ අන්‍යභාෂාවෙන් යාච්ඤා කරන කල සිත් දන්නා, විමසන්නාවූ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ කැමැත්ත ශුද්ධවන්තයන් අතර ක‍්‍රියා කරන සේක.

‭‭රෝම‬ ‭8:28‬ ‭
තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.

ඇදහිල්ලෙන්, ආත්මයෙන් යාච්ඤා කරන කල, ඔබ යාච්ඤා කරන්නේ දේව කැමැත්තයි.

අන් භාෂාවෙන් යාච්ඤා කිරීම පුරුද්දක් කර ගන්න.

නව ගිවිසුමේ උතුම්ම කාරණාව ශුද්ධාත්ම බව්තීස්මයයි.

අන් භාෂාවෙන් කථා කිරීම සුළු නොකරන්න.

ප‍්‍රථම සභාව ආරම්භ කළෙත් අන් භාෂාවෙන් කථා කිරීමෙනි, ශුද්ධාත්ම බලයෙනි.

‭‭ක්‍රියා‬ ‭2:1‭-‬2‬ ‭
[1] තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එකතැනක රැස්ව සිටියෝය. [2] තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය.

පරණ ගිවිසුවේ අය අන්භාෂාව ලබා තිබුණේ නැත. යේසුස්වහන්සේ පවා ප‍්‍රසිද්ධියේ අන් භාෂාවෙන් යාච්ඤා නොකරන ලදි.

නමුත් උන්වහන්සේ පෞද්ගලිකව කරන්නට ඇති.

‭‭යොහන්‬ ‭7:37‭-‬39‬ ‭
[37] මංගල්‍යයේ මහත් දවසවූ අන්තිම දවසේ යේසුස්වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින්: යමෙකුට පිපාසා ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ. [38] මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයයි කීසේක. [39] උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහාගත්තවුන් විසින් ලබන්ට සිටිය ආත්මයාණන් ගැනය. මක්නිසාද යේසුස්වහන්සේ ඒතාක්ම මහිමයට නොපැමිණි බැවින් ඒතාක්ම ආත්මයාණන් නොදෙනලද්දේය.

යේසුස්වහන්සේගේ මහිමයට පත්වීම, එනම් උන්වහන්සේගේ මරණය හා නැවත නැඟිටීම ඒතාක් සිදුවී නොතිබූ හෙයින් මනුෂ්‍යයන්ට ශුද්ධාත්මය ලබා ගැනීමට නොහැකිව තිබුණි.

පරණ ගිවිසුමේ සෙනඟට ශුද්ධාත්මයෙන් පිරෙන්නට නොහැකිවූයේ ඒ අයගේ හදවත්වල පරණ මනුෂ්‍යයා සිටි බැවිනි.

සතුන්ගේ යාග පූජා කිරීමෙන් පරණ පව්කාර ස්වභාවය ඉවත් කිරීමට නොහැකි වූයේය.

යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ ජීවිත පූජාවෙන් පසු උන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමෙන් මනුෂ්‍යයාගේ හදවත සම්පූර්ණයෙන් පවිත‍්‍රවී එම පුද්ගලයා දෙවියන්වහන්සේගේ ශුද්ධ මාළිගාව බවට පත්වී, ශුද්ධාත්මයාණන්වහන්සේට එම හදවත් වලට ඇතුලුවීමට පුළුවන්කම ලැබුණි.

යේසුස්වහන්සේ මහිමයට පත්වීමෙන් පසුව මනුෂ්‍යයාට දෙවියන්වහන්සේ සමඟ සමීප සම්බන්ධතාවයකටද, ශුද්ධාත්ම බව්තීස්මයද, අන්භාෂාවෙන් කිරීමටද අවස්ථාව උදාවූයේය.

අදහන සියලු දෙනාම පිපාසිතව සිටිනවානම් ශුද්ධාත්ම බව්තීස්මය ලබා ගැනීමට ඒ අයට හැකියාව තිබේ.

මනුෂ්‍යයන් ඉදිරියේ තමා ආත්මිකයයි ප‍්‍රදර්ශනය කිරීමට අන්‍යභාෂාව උපයෝගි කර නොගන්න. එය ඔබගේ යාච්ඤා කාලයට ඇතුල් කර ගන්න.

ඔබ ආත්මයෙන් පිරී යාච්ඤා කර මනුෂ්‍යයන් අතරට පැමිණි කල ඔබට ප‍්‍රඥාවන්තව ක‍්‍රියා කිරීමටද හැකියාව ඇත.

‭‭1 කොරින්ති‬ ‭14:12‭-‬14‬
[12] එසේම නුඹලාත් ආත්මික දීමනා ගැන ජ්වලිතව සිටින බැවින්, සභාවේ වර්ධනයවීම පිණිස ඒවා බොහෝසෙයින් ඇතුව සිටින්ට සොයන්න. [13] එබැවින් අන් භාෂාවකින් කථාකරන්නා තේරුම්කරදෙන්ට පුළුවන්වන ලෙස යාච්ඤාකෙරේවා. [14] මක්නිසාද මම අන් භාෂාවකින් යාච්ඤාකරම් නම්, මාගේ ආත්මය යාච්ඤාකරන නුමුත් මාගේ සිහිකල්පනාව ප්‍රයෝජන නැත.

සභාවක පොදුවේ කෙනෙකු අන්භාෂාවකින් යාච්ඤා කරන්නේ නම්, තමා ඒ කතා කළ දේ අනාගතවාක්‍යයක් ලෙස පැවසිය යුතුයි.

‭‭1 කොරින්ති‬ ‭14:26‬
එසේවී නම්, සහෝදරයෙනි, කිමෙක්ද? නුඹලා රැස්වන කල එක් එක්කෙනාට ගීතිකාවක්ද ගුරුකමක්ද එළිදරව්කිරීමක්ද අන් භාෂාවක්ද තේරුම්කරදීමක්ද ඇත්තේය. සියල්ල වර්ධනයවීම පිණිස කරනු ලැබේවා.

අන්භාෂාවෙන් යාච්ඤා කිරීමෙන් පසු පරිවර්ථනයක් හෝ අනාගතවාක්‍යයක් පැමිණි විට රැස්වූ සෙනඟ අතර දෙවියන්වහන්සේ මෙතැන ක‍්‍රියාකරනවායැයි මහත් විශ්වාසයක් ගොඩනැගේ.

අලුතෙන් පැමිණි කෙනෙකුට පණිවිඩයක් පැමිණ ඒ තුළින් ඔහු ගැළවීමට පවා පැමිණිය හැකිය.

සියල්ල අප කළ යුත්තේ දැනුම ඇතිවය. ඔබගේ ආත්මික ජීවිතයෙන් තව කෙනෙකුගේ වර්ධනය උදෙසා උපයෝගි කර ගන්න.

ආත්මික මට්ටමෙන් ආත්මික තලයේ මිත්‍රකම් ගොඩනගා ගන්න.

ඔබගේ ආත්මික ජීවිතයෙන් තව කෙනෙකු වර්ධනයක් නොවන්නෙනම් එය ඇල්මැරුණු ස්වභාවයට පත්වේ.

ඇල්මැරුණු ස්වභාවයට දෙවියන්වහන්සේ ප‍්‍රිය නැත.

එළිදරව්‬ ‭3:14‭-‬15‬ ‭
[14] තවද ලවොදිකයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: ආමෙන් නමැත්තාවූ, විශ්වාස සැබෑ සාක්ෂිකාරවූ, දෙවියන්වහන්සේගේ මැවිල්ලේ මුලවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක. [15] එනම්, මම නුඹේ ක්‍රියා දනිමි, නුඹ ශීතලව හෝ උෂ්ණව හෝ නොසිටින බවද දනිමි. නුඹ ශීතලව හෝ උෂ්ණව හෝ සිටිනවාට කැමැත්තෙමි.
[16] නුඹ උෂ්ණව හෝ ශීතලව හෝ නොසිට ඇල්මැරී සිටින බැවින් මාගේ මුඛයෙන් නුඹ වමාරන්නෙමි.

සීතලෙන් නැවුම්භාවයක්ද, උණුසුමෙන් පෝෂණයක්ද ලැබේ.

ඇල්මැරුණුභාවයෙන් සිටීම ස්වාමීන්වහන්සේ එපාකරනසේක.

අපගේ වචනවලින්, ක‍්‍රියාවෙන් මේ පොළොවේ ජීවත්වන කාලය තුළ එකිනෙකා ධෛර්යමත් කිරීමටද, ශක්තිමත් කිරීමටද, පෝෂණය කිරීමටද, නැවුම්භාවයෙන් සිටීමටද උපරිම ප‍්‍රයෝජනය ගමු. එමෙන්ම අපි ධෛර්යමත්, ශක්තිමත් වචන ඇසීමට යොමුවෙමු.

අපි යම් දෙයක් කරන විට එය කරන්නේ ස්වාමීන්වහන්සේටයි.

යේසුස්වහන්සේ එළුවන් බැටළුවන් වෙන් කිරීමේදි “මම කුසගින්නේ සිටියෙමි නුඹලා මට කන්න දුන්නහුය, පිපාසිතව සිටියෙමි නුඹලා මට බොන්න දුන්නහුයයි” බැටළුවන්ට පැවසුවේ ඒ නිසාය.

‭‭මතෙව්‬ ‭25:33‭-‬40‬ ‭
[33] බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටුවනසේක. [34] එවිට රජ්ජුරුවෝ තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියනසේක්: මාගේ පියාණන්ගෙන් ආශීර්වාදලත්තෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට නුඹලාට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න. [35] මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, නුඹලා මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, නුඹලා මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිගත්තහුය; [36] වස්ත්‍ර නැතුව සිටියෙමි, නුඹලා මට ඇඳුම් දුන්නහුය. රෝගාතුරව සිටියෙමි, නුඹලා මා බලන්ට ආවහුය. හිරගෙයි සිටියෙමි, නුඹලා මා වෙතට ආවහුයයි කියනසේක. [37] එකල ධර්මිෂ්ඨයන් උත්තරදෙමින්: ස්වාමිනි, කොයි කලෙක ඔබවහන්සේ බඩගිනිව සිටිනවා දැක කෑම දුනිමුද? නොහොත් පිපාසිතව සිටිනවා දැක බොන්ට දුනිමුද? [38] කොයි කලෙක ඔබවහන්සේ ආගන්තුකව සිටිනවා දැක පිළිගතිමුද? නොහොත් වස්ත්‍ර නැතුව සිටිනවා දැක ඇඳුම් දුනිමුද? [39] කොයි කලෙක ඔබ රෝගාතුරවවත් හිරගෙයිවත් සිටිනවා දැක ඔබ ළඟට ආවෙමුදැයි කියනවා ඇත. [40] එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි–මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.

අපි මනුෂ්‍යයන් ඇසුරුකරන කල එකිනෙකා ධෛර්යමත් වන වචන කථා කරමු.

අපගේ වචනයෙන් ක‍්‍රියාවෙන් අප අන්‍යයන්ට යහපත කළේ නම් අන්තිම දවසේ යේසුස්වහන්සේ පවසන්නේ ඒ සියල්ල කළේ උන්වහන්සේට කියාය.

‭‭හෙබ්‍රෙව්‬ ‭13:1‭-‬2‬
[1] සහෝදර ස්නේහය පවතීවා. [2] ආගන්තුක සත්කාරකිරීම මතකනැති නොකරන්න. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේවදූතයන්ට සත්කාරකළෝය.

ඔබ නොසිතන වේලාවක ඔබ වෙතට එන ආගන්තුකයෙකුට ඔබ ක‍්‍රියා කරන ආකාරයට දෙවියන්වහන්සේ ඔබට විපාක දෙනු ඇත.

අප අන් භාෂාවෙන් කතා කරන්නේ ප්‍රඥාව අප තුළින් ගලා එන්නටයි.

‭‭යෙසායා‬ ‭28:9‭-‬13‬ ‭‬‬
[9] ‍උන්වහන්සේ දැනගැන්ම උගන්වන්නේ කාටද? පණිවිඩය තේරුම්කරදෙන්නේ කාටද? කිරි වැරූවන්ට සහ තනෙන් වෙන්වුණ දරුවන්ටද? [10] මක්නිසාද අණ පිට අණය, අණ පිට අණය; පනත පිට පනතය, පනත පිට පනතය; මෙහි ටිකක්ය, එහි ටිකක්ය. [11] එසේය, උන්වහන්සේ වියවුල් තොල්වලින්ද වෙන භාෂාවකින්ද මේ සෙනඟට කථාකරනවා ඇත. [12] උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නිවාඩුව මේය, වෙහෙසවූ අයට නිවාඩු දෙන්න; නිෂ්කලංකයත් මේයයි කීසේක. එහෙත් ඔව්හු අසන්ට අකැමැතිවූහ. [13] එබැවින් ඔවුන් ගොස් පස්සට වැටී පොඩිවී මලපතක වැටී අසුවෙන පිණිස: අණපිට අණය, අණ පිට අණය; පනත පිට පනතය, පනත පිට පනතය; මෙහි ටිකක්ය, එහි ටිකක්ය යන පිළිවෙළින් ස්වාමීන්වහන්සේගේ වචනය ඔවුන්ට වන්නේය.

දේශකයන් දෙවියන්වහන්සේගෙන් පණිවිඩ ලබා ගන්නේ අන් භාෂාවෙන් යාච්ඤා කිරීමෙනී.

ඔබ අන්‍ය භාෂාවෙන් කතා කිරීමෙන් අන් අයට උපස්ථාන කරන පිණිස දෙවියන්වහන්සේට ඉඩ දෙන්න, ඔබ තුළින් කතා කරන්නට ඉඩ දෙන්න.

මනුෂ්‍යයන්ට සුභාරංචිය ප‍්‍රකාශ කරන්න පුළුවන් ආකාරයට නිතරම ඔබ සෑදී සිටින්න.

‭‭1 පේතෘස්‬ ‭3:15‬
[15] නුමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරන්න. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී සිටින්න, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය.

නිතරම සූදානම්ව සිටීමට ඔබගේ කාලය හරියාකාරව පාවිච්චි කරන්න.

ඔබ වචනය තුළ නිතරම ජීවත් විය යුතුයි. එවිට ඒ වචනය ඔබ තුළින් ගලා එන්නේය.

ඔබ වචනය කියවා හදවතට ඇතුල්කර ගත් කල, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ තුළින් ක‍්‍රියා කරනු ඇත.

දෙවියන්වහන්සේ ඔබට නිදහස දී ඇත.

ගලාති‬ ‭5:13‬
[13] මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා නිදහස්කමට කැඳවනු ලැබුවහුය; එහෙත් නුඹලාගේ නිදහස මාංසයට ප්‍රස්තාවක් පිණිස ව්‍යවහාර නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවයකරන්නෝ වෙන්න.

ඔබගේ නිදහස මාංශාකාර දේවල් වලට නොයොදන්න.

ඔබගේ කැපවීම ස්ථීර වන්නට අවශ්‍යයි.

වෙන කෙනෙකු ධෛර්යයමත් කිරීමට ජීවත් වෙන්න.

එය පැකිලීමට පත්වීමට කාරණාවක් කර නොගන්න.

යේසුස්වහන්සේ ප‍්‍රඥාවන්ත වචන, සුවයේ වචන කථා කළා.

ඔබ අන්‍යයන්ට ප‍්‍රයෝජනවත් වන වචන කථා කරන්න.

‭‭1 කොරින්ති‬ ‭14:27‬ ‭
[27] යමෙක් අන් භාෂාවකින් කථාකෙරේ නම්, දෙදෙනෙක් නොහොත් වැඩි වුණොත් තුන්දෙනෙක් පමණක් එක්කෙනෙක් පාසා එක්කෙනෙක් එසේ කෙරේවා; එක්කෙනෙක් තේරුම්කරදේවා.

අන් භාෂාවෙන් කතා කිරීමෙන් අනෙක් කෙනාට තේරුම කර දිය යුතුයි. පරිවර්ථනයක් තිබිය යුතුය. එය තවත් කෙනෙකුට පණිවිඩයක් ලෙස තිබිය යුතුය.

වැරදි ලෙස අන්‍යභාෂාව ව්‍යවහාර නොකරන්න.

ධෛර්යමත් වචන වලින් තව කෙනෙක් ගොඩනගන්න ඔබට හැකිය.

‭‭එපීස‬ ‭4:29‬ ‭‬‬
[29] නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න.

දූෂ්‍ය කථාව යනු නිශ්ප්‍රයෝජන වචන කතා කිරීමයි.

නිෂ්ප‍්‍රයෝජන වචන පවසනවාට වඩා නිහඬව සිටීම වටී. ඒ තුළින් බොහෝ දේ වලින් නිදහස් වීමට පුළුවන.

අපගේ මුඛය රැකවල් කරගත නොහැකි වූවොත් බොහෝ කරදර වලට මුහුණ දීමට සිදුවේ.

‭‭හිතෝපදේශ‬ ‭21:23‬
[23] තමාගේ මුඛයත් දිවත් රැකවල්කරගන්නා තමාගේ ප්‍රාණය විපත්තිවලින් රැකගන්නේය.

අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස කතා කරන්න.

තවත් කෙනෙකුගේ හිත් රිදවන වචන නොපවසන්න.

වචන පිටකිරීමට පෙර ඉන් ඇතිවන ප‍්‍රතිඵලය කිරා බලන්න.

ඇත්ත කථා කළ යුතු වන්නේ ප්‍රේමයෙන් පමණි.

කෙනෙකුගේ වචනයක් ඇසූ පමණින් ඔබ පැකිලීමට පත්වන්නෙකු නොවන්න.

ගීතාවලිය‬ ‭119:165‬
[165] ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිලීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය.

දෙවියන්වහන්සේගේ වචනයට ප්‍රේමකරන්නා තුළ සමාදානයක් තිබේ. ඔහු යමෙකු වචනයක් කියූ පමණින් කනගාටුවට පත්වන්නේ නැත. ඔහුට දරා ගැනීමේ ශක්තිය ඇත.

ඔබගේ සමාදානය නැති නොකරගන්න.

ප‍්‍රසිද්ධියේ ලැබෙන තරවටුවක් වුවද පිළිගත හැකි මට්ටමකට පැමිණෙන්න.

අන්භාෂාවෙන් යාච්ඤා කරන කල, ඔබට මෙම සමාදානය ලැබේ.

‭‭හිතෝපදේශ‬ ‭27:5‬
[5] ප්‍රසිද්ධියේ තරවටුකිරීම සැඟවී තිබෙන ප්‍රේමයට වඩා හොඳය.

ප‍්‍රසිද්ධියේ තරවටුව යනු අන් මනුෂ්‍යයන්ව ලැජ්ජාවට පත් කිරීම, මාංසාකාරයෙන් ඔවුන්ගේ වැරදි කීම නොව, ශුද්ධාත්මයාණන්වහන්සේගේ එළිදරව්වෙන් දෙයක් වටහා දීමය.

ඇත්ත ප්‍රේමයෙන් වටහා දෙමු.

‭‭එපීස‬ ‭4:15‬

[15] ප්‍රේමයෙන් යුක්තව ඇත්ත කථාකරමින්, හිසව සිටින ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සියලු දේවලදී වැඩෙන පිණිසත්ය.

දේව වචනයේ මෙවැනි පද පළමුකොට අපගේ පෞද්ලික ජීවිතයට අදාල කරගෙන අප වර්ධනය වෙමු. මෙවැනි පද තව කෙනෙකු පාගා දැමීමට උපයෝගි කර නොගන්න. යමක් ඇත්නම් ප්‍රේමයෙන් පවසන්න.

ඔබගේ වචන වලින් තවත් හදවතක් තුවාල නොකරන්න.

මනුෂ්‍යයෙකුට පහර දෙනවාට වඩා මුඛයෙන් පවසන වචන බලවත්ය.

‭‭හිතෝපදේශ‬ ‭12:18‬
[18] කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.

තවත් කෙනෙකුගේ හිත් රිදවන වචන නොව, සුවදායක වචන ඔබගේ මුඛයෙන් කථා කරන්න.

වියවුල් තාවයෙන් නොව, ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීම ඇතිව ක‍්‍රියා කරන්න.

‭‭එපීස‬ ‭4:29‭-‬30
[29] නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න. [30] දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.

ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න;

අප අනවශ්‍යය කථා කරන කලත්, අප අනවශ්‍යය ලෙස පැකිලීමටලක් වෙන විටත්, නිතර කනස්සලු භාවයට පත්වීමත් ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් දීමකි.

අන්භාෂාවෙන් කථා කරන කල අප පැකිලීමට ලක් නොවී, වචනයට ප්‍රේම කරමින් ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන ජීවිතයක් ගත කරයි.

ඔබගේ වචන වලින් දෙවියන්වහන්සේට ප‍්‍රසන්න දේ කථා කරන්න.

එකම මුඛයෙන් ආශීර්වාදයත්, ශාපයත් නික්මීම නුසුදුසුය.

යාකොබ්‬ ‭3:10‬
[10] ප්‍රශංසාවත් ශාපයත් එක මුඛයෙන් නික්මෙන්නේය. මාගේ සහෝදරයෙනි, මේ කාරණා මෙසේ වීම යුතු නැත.

දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරන මුඛයෙන් අන් මනුෂ්‍යයාට ආශීර්වාදාත්මක වචන කථා කරන්න. එකිනෙකා ශක්තිමත්වන, ධෛර්යමත් වන වචන කථා කරන්න.

අපගේ මුඛයෙන් වැරදි වචන පිටවන කල, යක්ෂයා එය ප‍්‍රයෝජනයට ගෙන අපගේ ජීවිතයෙන් තවත් අයට හානි වන දේ සිදුවන ලෙස ක‍්‍රියා කරයි.

ඔබ දේව දරුවෙක්, ඔබගේ මුඛයෙන් තවත් කෙනෙකුට ආශීර්වාදයක් වන වචනයි ඔබ කථාකරන්නේ කියා තේරුම් ගත යුතුයි.

ඔබ කව කෙනෙකුව වර්ධනය කරනවා යනු එය ඔබ කරනා වැපිරීමකි. යම් දිනක එය ඔබටද වර්ධනයක් වෙයි. මනුෂ්‍යයා වපුරන දේ කපා ගනී.

තව කෙනෙකු ධෛර්යමත් කිරීම සුළු නොකරන්න. ශුද්ධාත්මයාණන් කරණකොටගෙන එය නිසියාකාරව සිදුකරන්න.

අපගේ ආත්මික ජීවිතයේ වර්ධනය තිබෙන්නේ අන් භාෂාවෙන් කථා කිරීමෙනි.

යුද් 1:20
නුමුත් ප්‍රේමවන්තයෙනි, නුඹලා වනාහි නුඹලාගේ ඉතා ශුද්ධ ඇදහිල්ල පිට නුඹලාම ගොඩනඟාගනිමිනි, ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ සිට යාච්ඤාකරමින්,

ඔබගේ ශුද්ධ ඇදහිල්ල ගොඩනැගෙන්නේ ආත්මයෙන් යාච්ඤා කිරීමෙනි.


Watch the Sermon Video

Read 53 times