+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව කැමැත්ත අනුව යාච්ඤා කිරීම - යෝෂා මනූ
January 28, 2024 Sunday Sermon Notes

 

 මනුෂ්‍යයන්ට අපි සාක්ෂියක්ව සිටින්ට අවශ්‍යයයි.

ඉතාම වැදගත්දේ දේව ගෘහයේ පමණක් නොව කවුරුත් නොදකින තැන්හී, ඔබගේ නිවසේදී, ඔබ තනිව සිටින කල ඔබ කෙබඳු ජීවිතයක් ගත කරන්නේද?

ඔබ දෙමනසකින්, දෙබිඩි ජීවිතයක් ගත කරමින්, වෙස් මුහුණක් පැළඳ සිටී නම් එය ඉවත් කරන්න. මන්ද එය ඉතා භයානකය. එය සඟවා ගත් පාපයක් නම් එය එළිදරව් වනු ඇත.

එමනිසා ඔබ සාක්ෂියේ වචනය රක්ෂා කරගෙන, සාක්ෂියේ වචනය හදවතට ඇතුලු කර ගෙන ඔබ සාක්ෂියේ ජීවිතයක් ගත කරන්න.

ඔබ කොහේ ගියත් එකම ආකාරයකට ජීවත්වෙන එකම පුද්ගලයෙක් ලෙසට ජීවිත රටාවක් සකසා ගන්න.

ඔබ ගැළවීම ලබන්ට පෙර, සිටි රැවටිලිකාර ජීවිතයෙන් මිදී ඔබගේ සාක්ෂිය රැකගන්න.

අපි දුටුවාවූ ඇසුවාවූ අත්දුටුවාවූ සියල්ලට සාක්ෂිකාරයන් වෙමු.

පේත‍්‍රැස් යේසුස්වහන්සේ සමඟම සිටියත්, ඔහු යේසුස්වහන්සේ අඳුනන්නේ නැතැයි තුන්වරක් පැවසුවේය. (යොහාන් 18:15-27)

එහෙත් පේත‍්‍රැස් ශුද්ධාත්ම බලය ලැබුවාට පසු ඔහු යේසුස්වහන්සේව නාඳුනමියි කියමින් දිවුරුම් දීම ගැනවත්, ඔහුගේ පසුබටවීම ගැනවත් තැවෙමින් නැවත, නැවත එය ප‍්‍රකාශ කරන්ට ගියේ නැත.

පුදුමාකාර බලයකින් ඔහුගේ ජීවිතය පිරුණේය. ඔහු ආත්මික තලයේ උසස්ම තැනකට ඇතුල්වුණේය. ඔහුගේ ජීවිතයේ එම පෙරළිය ඉතාම වැදගත් වූයේය.

ශුද්ධාත්ම බලයෙන් අපගේ ජීවිත මුලුමනින්ම වෙනස්වේ.

දේව කැමැත්ත කුමක්ද කියා දැනගැනීමට ඔබ අන්‍යභාෂාවෙන් යාච්ඤා කරන්න. දෙවියන්වහන්සේ තුළ අප පැවතීමෙන් උන්වහන්සේ සමඟ අප පංගුකාරකමේ යෙදී සිටීමෙන් දෙවියන්වහන්සේ අපගේ හදවතට දේව කැමැත්ත කුමක්ද කියා කථාකරයි.

දේව කැමැත්ත කිරීම ඉතා වැදගත්ය.

දේව කැමැත්ත තුළ ඔබගේ ජීවිතයේ අනාගතයේ යම් වෙනසක්වීමට කැමති නම් ඔබ අන්‍යභාෂාවෙන් යාච්ඤා කරන්න.
‭‭
රෝම‬ ‭8:26‬ ‭
එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක.

ඔබ දුර්වලව සිටින අවස්ථාවේදී දෙවියන්වහන්සේගෙන් පලා දුවන්න එපා. දේව වචනය නොකියවා හරින්න එපා. පාපයට ඇලී ගැලී පාපය සොයා යන්න එපා.

ඔබ දෙවියන්වහන්සේ වෙතට දිව යන්න. උන්වහන්සේගේ උපකාරය ලබාගන්න.

රෝම‬ ‭8:27
ඒ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම්කරන බැවින්, සිත් විමසන තැනන්වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දැයි දන්නාසේක.

ඔබ අන්‍යභාෂාවෙන් යාච්ඤා කරන කල ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් ඔබගේ හදවතට දේව කැමැත්ත කුමක්ද කියා ඇතුල් කරනු ඇත.

ඔබ අන්‍යභාෂාවෙන් යාච්ඤා කරන කල ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ නොදන්නා දොරටු විවර කරයි.

ඔබ අන්‍යභාෂාවෙන් යාච්ඤා කරමින් ඔබගේ මනස වෙනස් කිරීමට දෙවියන්වහන්සේට ඉඩ දෙන්න.

අප තුළ තිබෙන්නේ උතුම් බලයක්. නිතරම දෙවියන්වහන්සේගේ බලයෙන් පූර්ණවී සිටිමු.

නිවැරදි මාර්ගයේ යෑමට, හරි තීරණ ගැනීමට ශුද්ධාත්මයාණන්වහන්සේ නිතරම ඔබ වෙනුවෙන් මැදිහත්කාරක මෙන් යාච්ඤා කරන සේක.

ඔබ අන්‍යභාෂාවෙන් කථාකරන කල ඔබ වෙනුවෙන් යම් යම් දේ සූදානම් කිරීමට ඔබ දෙවියන්වහන්සේට ඉඩ සලසනු ඇත.

‭‭රෝම‬ ‭8:28‬ ‭
තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.

ඔබ නිසියාකාරව යාච්ඤා කරන කල සියල්ල ඔබගේ යහපතට සිදුවේ.


Watch the Sermon Video

Read 156 times