+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපගේ සාක්ෂිය ඉතා වැදගත්ය - යෝෂා මනූ
February 4, 2024 Sunday Sermon Notes

 

අපව සුවයෙන් තබන්නේ යේසුස්වහන්සේගේ නාමයයි. ඔබට දිව්‍යමය සුවයෙන් සිටින්නට අවශ්‍යය නම් යේසුස්වහන්සේගේ නාමය ප‍්‍රකාශ කරන්න. ඔබට කිසිදා වරදින්නේ නැත.

යේසුස්වහන්සේගේ නාමය බලවත්ය.

උසස්කොට තැබූ යේසුස්වහන්සේගේ නාමය තුළ ජීවනය ඇත.

ඔබ යේසුස් යැයි පවසන විට උන්වහන්සේ ඔබට පිළිතුරු දෙනු ඇත.

දෙවි පියාණන්වහන්සේ යේසුස්වහන්සේට දී ඇති උසස්තම නාමය අප සුළු නොකරමු.

කෙනෙකුව බන්ධනයෙන් නිදහස් කරන්නේ, දම්වැල් කඩා දමන්නේ, මනුෂ්‍යයාව පාපයෙන් ශාපයෙන් මුදවන්නේ මෙම උසස්වූ නාමයයි.

මෙම නාමය කෙරෙහි විශ්වාසය තබන කිසිවෙක් ලැජ්ජාවට පත් නොවන්නේය.

ඔබගේ අයහපත් වචන නිසා නොව, කිතුනුවෙකු ලෙස ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමය උදෙසා යමෙක් දුක්විඳිමින්, නින්දා, අපහාස පීඩා සහ ලැජ්ජාවට පත් වන්නේද භිය නොවන්න. බයිබලය පවසන්නේ ”ප‍්‍රීතිවන්න” කියාය.

යහපත්වූ දෙවියන්වහන්සේ ඔබට යහපත කරන සේක.

පිලිප්පි 2:5
5 ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබුණු සිතම නුඹලා තුළත් තිබේවා.

ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේට තිබූ සිත (මනස) නම් මනුෂ්‍යයාව නිදහස් කිරීමයි.

මනුෂ්‍යයාව පාපයෙන්, ශාපයෙන් ගළවා නැවත වාරයක් දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවයකට මනුෂ්‍යයාව ගෙන ඒමයි උන්වහන්සේගේ එකම අභිප‍්‍රාය.

පිලිප්පි 2:6-7
6 උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා, 7 එය ඉවත්කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක.

ස්වාමීන්වහන්සේ ගොඩක් දේවල් මනුෂ්‍යයන්ගේ ජීවිත වල සිදු කරයි. උන්වහන්සේ කිසිවක් නොකරන්නේයැයි අප නොසිතිය යුතුයි.

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ හා සමානමය.

දෙවියන්වහන්සේ යහපත්ය, විශ්වාසවන්තය, කරුණාවන්තය, ඉවසිලිවන්තය, මේවා උන්වහන්සේගේ චරිත ගුණාංගය.
(යෝනා 4:2)

යේසුස්වහන්සේ තුළින් අප දකින්නේ මෙම ගුණාංගය.

උන්වහන්සේ බොහෝ ඉවසිලිවන්තව ක‍්‍රියා කරන සේක. උන්වහන්සේට කිසි කලබලයක් නොමැත. උන්වහන්සේ මනුෂ්‍යයන්ව නිදහස් කිරීමට බලා සිටියි.

යේසුස්වහන්සේ කිසිකලෙකවත් දෙවියන්වහන්ගේ මහිමය ගැනීමට නොසිතන ලදි. උන්වහන්සේ දෙවියන්වහන්සේමයි. දේවත්වය තුළ කිසි බෙදීමක්, අසමාදානයක් නොතිබුණි.

පිලිප්පි 2:8
මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, කුරුසියේ මරණය දක්වා කීකරුවූසේක.

යේසුස්වහන්සේ කුරුසියේ මරණය දක්වා දේව කැමැත්ත ඉටු කිරීමට මේ පොළොවට පැමිණියේය.

යේසුස්වහන්සේ මෙළොවට පැමිණ දිවි පුදා මිළය ගෙවන ලදි.

අද අප දෙවියන්වහන්සේගේ මේ යහපත භුක්තිවිදින්නේ යේසුස්වහන්සේ අප උදෙසා තම දිවි පුදා මිළය ගෙව් නිසාවෙනි.

පිලිප්පි 2:9
එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක.

යේසුස්වහන්සේගේ එම උතුම් ක‍්‍රියාව නිසා දෙවියන්වහන්සේ යේසුස්වහන්සේට සියලු නාම වලට වඩා උතුම් නාමයක් දී උන්වහන්සේව සියල්ලේ උසස් කොට තැබූසේක.

පිලිප්පි 2:10-11
10එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණ නමන පිණිසත්, 11යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.

යේසුස්වහන්සේගේ උතුම් පූජාවට පසු දෙවියන්වහන්සේ උන්වහන්සේව තමන් සිංහාසනයේ දකුණු පස හිදවා උසස්ම ස්ථානය උන්වහන්සේට දෙන ලදි.

ඒ උසස් ස්ථානය උන්වහන්සේ අපටද පිළියෙළ කොට ඇත.

ඒ නාමය යේසුස්වහන්සේට ලැබුණේ යක්ෂයාව පරාජය කරමින්, නිරය පරාජය කරමින්, මනුෂ්‍යයාව නැවත දෙවියන්වහන්සේට සම්බන්ධ කළාට පසුවය.

පියා, පුත‍්‍රයා, ශුද්ධාත්මයාණන් යන ඒ නාමය ස්වාමීවු යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේය.

ඒ නාමය සියලු දිව් වලින් ඒත්තු ගන්නවා ඇත.

ඒ නාමය බලවත් නාමයයි. ඒ නාමයෙන් අද දෙවියන්වහන්සේ බොහෝ දේ කරනු ලබයි.

ඒ නාමයට මනුෂ්‍යයන් ගෞරවය ගෙන එයි.

කෙනෙකු ගැළවීම ලබා ඔහුගේ හැරීම සිදුවූ විට, ඔහු පවසන්නේ යේසුස්වහන්සේ මේ දේ කළ බවයි. ඒ ගෞරවය යන්නේ යේසුස්වහන්සේටය.

සාක්ෂි මගින් ගෞරවයට පත් වන්නේ දෙවියන්වහන්සේය. මනුෂ්‍යයා එතුළින් ශක්තිමත් වෙයි.

අපගේ සාක්ෂිය ඉතා වැදගත්ය.

අපගේ දෙවියන්වහන්සේ සුවකරන්නාවු වෛද්‍යවරයාණෝය.
දෙවියන්වහන්සේ යහපත්, බලවත් බොහෝ දේ මනුෂ්‍යය ජීවිත වල කරන සේක.

මහලේ රෝගී ස්ත‍්‍රියට යේසුස්වහන්සේ ගැන ඇසී ඇය යේසුස්වහන්සේ වෙතට පැමිණෙන ලදි.

ඇයට තිබුණාවු රෝගී තත්වය හේතුවෙන් ඇයට සමාජයට ඒමට නොහැකිව ඇය කොන්වී සිටියේ. මන්ද යුදෙව් චාරිත‍්‍ර අනුව එවැනි රෝගීන් ඔවුන් අපවිත‍්‍ර අය කොට සලකන ලද්දේය.

නමුත් යේසුස්වහන්සේ වෙතට පැමිණීමට පෙරම උන්වහන්සේ වෙතට ගොස් උන්වහන්සේගේ වස්ත‍්‍රවලටවත් අතගසා සුව ලබමියි කියා ඇය තීරණය කර තිබුණි.

මාර්ක් 5:25-28
25 දොළොස් අවුරුද්දක් මහෙල් රෝගය ඇතුව සිටි ස්ත්‍රියෙක් 26 නොයෙක් වෙදුන්ගෙන් බොහෝ දේ විඳ, තමා සතු සියල්ල වියදම්කළ නුමුත් කිසි පලක් නොලැබ, වඩා අමාරුවට පැමිණ සිටියාය. 27 ඈ යේසුස්වහන්සේ ගැන අසා, සමූහයා අතරෙන් පස්සෙන් ඇවිත්, උන්වහන්සේගේ සළුවට අතගැසුවාය. 28 මක්නිසාද: උන්වහන්සේගේ වස්ත්‍රවලට පමණවත් අතගැසුවොත් මට සුවය ලැබේයයි ඈ කීවාය.

මෙම රෝගී ස්ත‍්‍රියට අවශ්‍ය වූයේ තෙරපීගෙන හෝ ගොස් යේසුස්වහන්සේගේ සළුවට අතගසා සුවය ලබා නිහඬව එසැනින් නිවසට යාමටය.

නමුත් යේසුස්වහන්සේ මට අත ගැසුවේ කව්දැයි කියා ප‍්‍රශ්න කරන ලදි.

මාර්ක් 5:29-30
29 එකෙණෙහිම ඇගේ ලේ ධාරාව වියළී ගොස්, ඒ පීඩාවෙන් ඈට සුවය ලැබුණු බව ඇගේ ශරීරය තුළෙහි ඈට දැනුණේය. 30 එකෙණෙහිම යේසුස්වහන්සේ තමන් කෙරෙන් නිකුත් වන ආනුභාව පිටවී ගිය බව දැන,, සමූහයා මැද හැරී: මාගේ වස්ත්‍රවලට අතගැසුවේ කවුදැයි ඇසූසේක.

යේසුස්වහන්සේ තමන් කෙරෙන් සුවකිරීමේ ආනුභාවය පිටවගිය බව දැන ගන්නා ලදි. උන්වහන්සේ එයට සාක්ෂියක් සෙවීය.

කෙතරම් සෙනඟ තෙරපෙමින් සිටියත් එම ඇදහිල්ලේ ක‍්‍රියාව කළාවු කෙනාගේ සාක්ෂිය දැන ගැනීමට යේසුස්වහන්සේට අවශ්‍යය වූවා.

මාර්ක් 5:31-32
31 උන්වහන්සේගේ ගෝලයෝ: ඔබට තෙරපෙීගන සිටින්නාවූ සමූහයා දැක දැකත්-මට අතගැසුවේ කවුද කියා අසනසේක්දැයි කීවෝය. 32 ඒ දේ කළ ස්ත්‍රිය දකින පිණිස උන්වහන්සේ අවට බැලූසේක.

එවිට මහලේ රෝගයෙන් සුවවූ ස්ත‍්‍රිය ඇයගේ සාක්ෂිය බෙදා ගන්නා ලදි.

මාර්ක් 5:33
33 නුමුත් ස්ත්‍රී තමාට සිදුවූ දේ දැන භයවී වෙවුලමින්, ඇවිත් උන්වහන්සේ ඉදිරියෙහි වැටී, සම්පූර්ණ ඇත්ත උන්වහන්සේට කීවාය.

යේසුස්වහන්සේ ඇයව සුවකළා පමණක් නොව, ඇයට සම්පූර්ණ සමාදානයෙන් නිවසට යන්න යැයි පැවසීය.

මාර්ක් 5:34
උන්වහන්සේද: දියණියනි, නුඹේ ඇදහිල්ල නුඹ සුවකළේය; සමාදානයෙන් ගොස්, නුඹේ පීඩාවෙන් සුවපත්ව සිටින්නැයි ඈට කීසේක.

ඔබගේ සාක්ෂිය සඟවා නොගන්න.

යේසුස්වහන්සේ සුව කළ කුෂ්ඨ රෝගීන් දහ දෙනාම දුරින් සිට ශබ්දනඟා මොරගසමින් ඔවුන්ව සුව කරන මෙන් යේසුස්වහන්සේගෙන් අයැද සිටින ලදි.

ලූක් 17:13
ඔව්හු දුරින් සිට: යේසුස්වහන්ස, ආචාරීන්වහන්ස, අපට කරුණාකළ මැනවයි ශබ්දනගා කීවෝය.

යේසුස්වහන්සේ ඔවුන්ට පැවසුවේ ඔවුන් ගොස් පූජකයන්ට පෙනී සිටින්න කියාය. ඒ අය සුවය ලැබුවේ යන අතරමගදීය.

ලූක් 17:14
උන්වහන්සේ ඔවුන් දැක: නුඹලා ගොස් පූජකයන්ට පෙනීසිටින්නැයි කීසේක.

කුෂ්ඨ රෝගීන් දස දෙනා සුවය ලැබුවද යේසුස්වහන්සේට ස්තූති දෙන්නටත්, සාක්ෂි දැරීමටත් පැමිණියේ එක් අයෙකු පමණි.

ලූක් 17:15-16
15 තවද ඔව්හු යද්දී පවිත්‍රවූවෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක් තමාට සුවවූ බව දැක, මහත් ශබ්දයකින් දෙවියන් වහන්සේට ගෞරවකරමින් හැරී ඇවිත්, 16 උන්වහන්සේගේ පාමුල මුහුණින් වැටී උන්වහන්සේට ස්තුතිකළේය. ඔහු සමාරියයෙක්ය.

යේසුස්වහන්සේ ඇසුවේ දස දෙනාම සුවවුවා නොවේද? ඉතිරි නව දෙනා කොහේද කියාය.

ලූක් 17:15-16
17 යේසුස්වහන්සේ උත්තරදෙමින්: දසදෙනාම පවිත්‍රවුණා නොවේද? නුමුත් නවදෙනා කොයිද? 18 මේ විදේශිකයා හැර දෙවියන්වහන්සේට ගෞරවකරන්ට වෙන කිසිවෙක් හැරී නායේද කියා, 19 ඔහුට කථාකොට: නැගිට යන්න. නුඹේ ඇදහිල්ල නුඹ සුවකෙළේයයි කීසේක.

සාක්ෂි බෙදා ගැනීම ඉතා වැදගත්ය. ඒ මගින් යේසුස්වහන්සේගේ නාමය මහිමයට පත්වෙනවා සේම, තවත් අයද ධෛර්යමත් වෙමින් ඔවුන් ඇදහිල්ල තුළ ශක්තිමත් වන්නෝය.


Watch the Sermon Video

Read 89 times