+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබගේ සාක්ෂියද ඔබගේ ඇදහිල්ලද අනුව ජීවත් වන්න - මනූ මැතානි
February 4, 2024 Sunday Sermon Notes

 

 ඔබගේ සාක්ෂිය බෙදා ගැනීම තුළින් දෙවියන්වහන්සේගේ නාමය මහිමයට පත්වෙනවා සේම, ඒ තුළින් තවත් කෙනෙකු ධෛර්යමත්ද විය හැකිය.

ඔබට උපකාර කළාවු දෙවියන්වහන්සේම ඔහුටද එලෙසම කරනු ඇත.

දෙවියන්වහන්සේ තරාතිරම් නොබලන සේක. (ක‍්‍රියා 10:34, රෝම 2:11)

ඔබ හාස්කම අත්දැකීමට පෙර එම තත්වයෙන් සිටි කාල සීමාව වැදගත් නැත. එය දින කිහිපයක් හෝ, මාස කිහිපයක් හෝ වසර ගණනක් වුවත් වැදගත් වන්නේ දෙවියන්වහන්සේ ඔබව ඉන් මුදවාලීමය.

ඔබට මිදීම, සුවය දුන් දෙවියන්වහන්සේට ස්තූති පුදන්න.

අන් අයගේ ජීවිත වලට දෙවියන්වහන්සේ කළාවූ දේ ගැන ඔබ සතුටු වන්න, ප‍්‍රීති වන්න.

ඒ ප‍්‍රීතිය තුළින් ඔබටද යම් දවසක ඔබගේ පෞද්ගලික ජීවිතය තුළ අත්දුටු සාක්ෂියක් දැරීමට හැකිය.

සාක්ෂිදැරීම පුරුද්දක් කර ගන්න. එය ඉතා වැදගත්ය.

සැමවිටම සාක්ෂියේ වචනය තොරා ගැනීමෙන් ඔබට ජය ගැනීමට පුළුවන් කම ඇත.

යක්ෂයා රෝගයක් පීඩාවක් තුළින් ඔබට බලපෑම් එල්ල කිරීමට තැන් කරන කල, යේසුස්වහන්සේ ඔබට කළාවූ සාක්ෂියේ වචන පැවසීමෙන් ඔබට යක්ෂයාව පවා පරාජය කල හැකිය.

මීට පෙර මුහුණ පෑ අසීරුතත්වයන්ගෙන්, රෝගයන්ගෙන් ජය දුන්න දෙවියන්වහන්සේට ඉදිරියටත් ඔබට ජය ගෙන දිය හැකි බව විශ්වාසයෙන් පවසමු.

ඉශ‍්‍රායෙල් රජවූ යෙහෝරාම්ද යුදාහි රජද ඒදොම්හී රජද එක්ව ඉශ‍්‍රායෙල් රජුට විරුද්ධව කැරළිගැසු මෝවබ්ට විරුද්ධව සටනට යන විට ඔවුන්ගේ සේනාවටත්, සිවිපාවුන්ටත් වතුර නැතිවිය. (2 රාජාවලිය 3:4-9)

ඉශ‍්‍රායෙල් රජු හට කොහෙත්ම ඇදහිල්ලක් නොතිබුණි. ඔහු සැමවිටම කථා කළේ ඍණ වචනය. දෙවියන්වහන්සේ අපව පාවා දුන්නා, දෙවියන්වහන්සේ අපට මෙලෙස කළේ...... යනාදී ලෙස.
(2 රාජාවලිය 3:10)

පීඩා පැමිණෙන කල එය දෙවියන්වහන්සේ පැමිණෙවුවේයැයි නොපවසන්න. මන්ද දෙවියන්වහන්සේ පීඩා පමුණුවන්නේ නැත.

සමහරුන් පීඩා මානසිකත්වයෙන් ජීවත්වෙති.

පීඩාවත් ඇදහිල්ලත් එකට ක‍්‍රියා නොකරයි යන ස්ථාවරත්වය අප තුළ තිබිය යුතුය. පීඩාව පැමිණෙන්නේ යක්ෂයාගෙන්ය. ඇදහිල්ල තුළ ඇත්තේ ජයග‍්‍රහණය පමණි.

පීඩා මානසිකත්වයෙන් ඔබ නිදහස්වන්න.

සුභාරංචි පොත් හතර තුළ කොතැනකවත් යේසුස්වහන්සේ මනුෂ්‍යයන්ට පීඩා කරායැයි සඳහන්ව නැත.

එලියා සෙනඟට පැවසුවේ, ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ නම්
උන්වහන්සේ අනුව යන ලෙසත්, බාල් දෙවියන්වහන්සේ නම් ඔහු අනුව යන ලෙසත්ය. සෙනඟ කල්පනා දෙකක් අතරේ සිරවී සිටි හෙයින් ඔහුට කිසි උත්තරයක් නොදෙන ලදි. (1 රාජාවලිය 18:21)

දෙවියන්වහන්සේ කිසිදා මනුෂ්‍යයාට පීඩාව ගෙනාවේ නැත. එහෙයින් අප පීඩා ගැන කථා කළ යුතු නැත.

යේසුස්වහන්සේ පැවසුවේ, මම නුඹලාට කථා කරන වචන වලින් නුඹලාට සමාදානය ලැබෙන බවය.

‭‭යොහන්‬ ‭16:33‬ ‭
මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.

ලෝකයේ දෙවියාගේ ප්‍රතිපත්ති වලින් ලෝකයේ පීඩා තිබෙන නමුත් යේසුස්වහන්සේ පැවසුවේ ඔබ මා තුළ සිටින බැවින් ප්‍රීතිවන්න.

යේසුස්වහන්සේ ලෝකයෙන් ජයගත් අයුරින්ම මමත් ලෝකයෙන් ජයගනිමියි යේසුස්වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් අපද පැවසිය යුතුය.

යේසුස්වහන්සේ පැවසුවේ උන්වහන්සේ අපට දුන් සමාදානය තුළින් අපට පීඩා වලින් ජය ගත හැකි බවය. යක්ෂයාව පාද යට තබා ඔබට ජීවත්විය හැකි බවය.

යේසුස්වහන්සේගේ වචන වලට ඇහුම්කන් දෙන්න. උන්වහන්සේට ස්වර්ගයෙන් යැවීමට රෝග, පීඩා වේදනා නැත. උන්වහන්සේගේ දරුවන් හරිගැස්වීමට උන්වහ්සේට යක්ෂයන් යොදවන්නට අවශ්‍ය නැත. ඒ සඳහා උන්වහ්සේ සතුව උන්වහන්සේගේ වචන, ශුද්ධාත්ම බලය ඇත.

දෙවියන්වහන්සේ කිසිසේත්ම අපට පීඩා කරන්නට යක්ෂයාව පාවිච්චි කරන්නේ නැත.

ඔබට උත්පත්ති 1-2 පරිච්ඡේද, සුභාරංචි පොත් හතර හා එළිදරව් පොත කියවීමෙන් දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනගත හැකිය.

මාංශය, අකීකරුකම, යක්ෂයා, මේ ලෝකයේ ක‍්‍රම සහ විධි බයිබලයේ සටහන් කර ඇත්තේ අපට ආදර්ශයක් ලෙස ගැනීමටය.
ඒවා දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් නොවේය.

උදාහරණයක් වශයෙන්, දාවිත් රජගේ බැත්ෂෙබා සම්බන්ධ පාපය. (2 සාමුවෙල් 11:1-27)

උත්පත්ති පොතෙහි සඳහන් පාපයේ ප‍්‍රතිඵල මනුෂ්‍යයාගේ නිවසට ඇතුල්වුණි. ආදම් සහ ඒවගේ දරු දෙදෙනාගෙන් එක්කෙනෙක්වූ කායින් යක්ෂයාගේ හඬට ඇහුම්කන් දී තම සහෝදරයා මරණයට පත් කරන ලදි. (උත්පත්ති 4 පරිච්ඡේදය)

1 යොහන්‬ ‭3:11‭-‬12‬ ‭
[11] මක්නිසාද පටන්ගැන්මේ සිට නුඹලා ඇසූ පණිවිඩය නම්, අපි විසින් එකිනෙකාට ප්‍රේමකළ යුතුය යන මේය.

කායින් සහ ආබෙල් එකිනෙකාට ප්‍රේමකළේ නැත.

[12] තමාගේ සහෝදරයා මැරුවාවූද නපුරාගෙන් වූද කායින් මෙන් නොවෙමු. කුමක්හෙයින් ඔහුව මැරුවේද? තමාගේ ක්‍රියා නපුරුව, තමාගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨව තිබුණු නිසාය.

කායින් ක‍්‍රියා කළේ නපුරාගේ ආවේශයෙන්ය.

‭‭[13] සහෝදරයෙනි, ලෝකයා නුඹලාට වෛරකරන්නේ නම් මවිත නොවෙන්න.

ලෝකයා ඔබව පිළිනොගත්තත් දෙවියන්වහන්සේ ඔබව පිළිගෙන ඇත. ඔබ දේව රාජ්‍යයේ දරුවෙක්ය.

පළමුකොට අපද දෙවියන්වහන්සේව පිළිගත්තේ නැත. අපගේ ප‍්‍රාණය තිබුණේද සම්පූර්ණයෙන්ම දෙවියන්වහන්සේගේ දෙයට විරුද්ධ සටනකය. අප ඒ සටනින් ජයගෙන සුභාරංචිය තුළ නිදහස් වුණි.

ස්වාමීනී මා තුළට වඩින්නයැයි ඔබ පැවසූ සැනකින් දෙවියන්වහන්සේ ඔබව යක්ෂයාගෙන් උදුරාගන්නා ලදි.

ඔබගේ අවසරය ලැබූවිට දෙවියන්වහන්සේ ඔබව අන්ධකාර බලයෙන් මුදවා යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් කල සේක.

කොලොස්සි‬ ‭1:13‬
පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.

‭‭1 යොහන්‬ ‭3:14‬ ‭
[14] අප සහෝදරයන්ට ප්‍රේමකරන බැවින්, අප මරණින් ජීවනයට පැමිණ සිටින බව අපි දනිමුව. ප්‍රේම නොකරන තැනැත්තේ මරණයෙහි පවතියි.

ප්‍රේම නොකරන්නා තුළ ගැළවීමක් නොමැත. ඔබ අතින් එකිනෙකාට සිදුවන වැරදි ගැන සමාව අයැද ඉන් නිදහස් වන්න. වෛරය සිතින් ඉවත් කරගන්න.

ඔබ සමාව නොදෙන ආත්මයෙන් මිදී දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය තුළයි සිටින්නේ. ඔබ දැන් ප්‍රේමය තුළයි ජීවත්වන්නේ.

අප වැනි අධර්මිෂ්ඨ මනුෂ්‍යයන් ධර්මිෂ්ඨ කිරීමට පාපයක් නොදැන සිටි යේසුස්වහන්සේ අප වෙනුවෙන් පාපයක් වුණි.

යේසුස්වහන්සේ පව්කරන්නට දැන සිටියේ නැත.

2 කොරික්ති 5:21
අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට * පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක. (* එනම් - පාපය තමන් පිටට ගන්ට)

යේසුස්වහන්සේ මරියාගේ මව් කුසයේ ඉපදුනේ ශුද්ධකෙනෙක් ආකාරයටය. (ලූක් 1:35)

උන්වහන්සේ මේ පොළොවේ ඉපදුනු ආකාරයටම ඔබත් අලුත් මැවිල්ලක්ව මේ ලොකයේ නැවත ඉපදී ඇත.

යේසුස්වහන්සේ තුළට ශුද්ධාත්මය පැමිණියා, උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත‍්‍රයා හැටියට මේ පොළොවේ ගමන් කළේ තනි පුද්ගලයෙකු ලෙසයි.

නමුත් උන්වහන්සේගේ කුරුසපත්වීමෙන් හා නැවත නැඟිටීමෙන් පසු ගෝලයන්ගේ එක දේශනාවකින් මිනිසුන්, 3000ද, තව දේශනාවකින් මිනිසුන් 5000ද ගැළවීම ලැබුවෝය. (ක‍්‍රියා 2:1, 4:4)

ඉන්පසු සුභාරංචිය සෑම තැන්හීම ව්‍යාප්ත වුණි. (ක‍්‍රියා 8:4)

දැන් අපට ඇත්තේ ප්‍රේමයේ ආත්මයකි. යේසුස්වහන්සේ අපව මුදවා මරණයෙන් ජීවනයට පමුණුවන ලදි.

එමනිසා මරණය හා ජීවනය, පාපය හා අධර්මිෂ්ඨකම යන දෙයාකාර ස්වභාවයක් අප තුළ නොමැත.

ඔබගේ යාච්ඤා ජීවිතය තුළින්ද, අභ්‍යන්තරයෙන් හා වචනය මෙනෙහි කිරීමෙන්ද ඔබගේ මනස වෙනස්කර, අලුත් කර ගත්විට ඔබට දෙවියන්වහන්සේ සමඟ එතඟතාවයකට පැමිණීමට පුළුවන.

යක්ෂයා බලකොටු සාදන්නේ මනස තුළයි. අපට අවශ්‍ය වන්නේ මනස වෙනස් කිරීමටයි.

ඔබ ගැළවීම ලබා සිටින්නෙකු බව දැන සිටින්න.

යේසුස්වහන්සේව පිළිගෙන, ශුද්ධාත්ම බව්තිස්මය ලබා අන්භාෂාවෙන් කථා කරමින් බයිබලයට ප‍්‍රියකරමින්, දේව වචනයට ඇහුම්කන් දෙමින් දේව දරුවන් සමඟ සහභාගිකම් පවත්වමින් ඔබ දේව දරුවෙකු ලෙසින් නොකඩවා ඔබගේ ජීවිතයේ ගමන් කරන්න.

1 යොහන් 3:15 තමාගේ සහෝදරයාට වෛරකරන කවරෙක් නුමුත් මිනීමරන්නෙක්ය. කිසි මිනීමරන්නෙකු තුළ සදාකාල ජීවනය නොපවතින බව නුඹලා දතීහුය.

අප කෙනෙකුට වෛර කරනවා යනු එය මිනිමරුවෙකුගේ ස්වභාවයකි.

යේසුස්වහන්සේ පැවසුවේ, අප තුළ ප්‍රේමය ඇති බැවින් අපට දැන් තිබෙන්නේ මිනිමරුවකුගේ ස්වභාවය නොව, සාදාකාල ජීවනය බවය.

ප‍්‍රේම නොකරනා සිටින්නේ මරණය තුළය.

හැරුණාවු පුද්ගයෙකුගේ පළමු ලකුණ ප‍්‍රේමයයි. ඔහු නිතරම සමාව දීමට සුදානමින් සිටියි. ඔහු දෙවියන්වහන්සේගේ බැටළුවෙකි. ඔහු දේව හඬට ඇහුම්කන් දෙයි. මරණීය ස්වභාවයක් ඔහු තුළ නැත.

සදාකාල ජීවනය අප තුළට ඇතුල්වුනේ යේසුස්වහන්සේ ස්වාමීන් කියා අප පිළිගත් දිනයේ සිටය.

සදාකාල ජීවනය තුළ කිසි රෝගයක් නොමැත, අසහනකාරීත්වයක් නැත.

ඔබ තුළ ඇති සදාකාල ජීවනයෙන් ලෙඩ රෝගයන්ට දුරුවීයන්නට ඔබ අණ කරන්න.

ඔබ සදාකාල ජීවනය තුළ සිටින විට මරණය කියන යක්ෂයා ඇතුල් වුවත් ඌට කිසි බලයක් නැත.

මරණයේ බලයට වඩා ජීවනයේ බලය විශාලයි බලවන්තයි. මරණ බලයෙන් යේසුස්වහන්සේ අපව නිදහස් කර ඇත.

ලෙඩ රෝගයට වඩා සුවය බලවන්තයි. රෝගය විශාලකර කථා නොකරන්න.

ඔබේ ගැළවීම බලවන්තයි ගැළවීම නොලැබූ පුද්ගලයෙකුට වඩා.

‭‭1 කොරින්ති‬ ‭15:54‬ ‭
[54] දිරන සුලුවූ මේක නොදිරන භාවයටත් මරණීයවූ මේක අමරණීයභාවයටත් පැමිණි කල්හි: මරණය ජයෙන් ගිලිනාලද්දේයයි ලියා තිබෙන වචනය සම්පූර්ණවේ.

යේසුස්වහන්සේගේ මරණය තුළින් උන්වහන්සේට මරණය ගිලගන්නට පුළුවන්කමක් තිබුණි. එතුළින් ලෝකයාටම සදාකාල ජීවනය අයිතිවුණි. නමුත් ලෝකයා එය පිළිගත යුතුය. කිසිවෙකුට එය බලෙන් දිය නොහැක.

බල්ලා නැවත උගේ වමනයටත්, නෑවාවූ ඊරී මඩේ පෙරලීමටත් හැරී යන්නාක් මෙන් (2 පේත‍්‍රැස් 2:22) සැබෑවට පිළිනොගන්නා ඉන් ඉවත්ව යයි.

අභ්‍යන්තර වෙනසක් ඇති නොවන්නේනම් කෙතරම් උත්සාහ කරත් කෙනෙකු හැරවිය නොහැක.

‭‭1 කොරින්ති‬ ‭15:55‭-‬56‬ ‭‬‬
[55] එම්බා මරණය, නුඹේ ජය කොයිද? එම්බා නිරය, නුඹේ විස දල කොයිද? [56] මරණයේ කටුව නම් පාපයය; පාපයේ බලය නම් ව්‍යවස්ථාවය.

ව්‍යවස්ථාවෙන් කිසිවෙක් ගැළවිය නොහැකිය. ව්‍යවස්ථාව ගැන කථා කරනවිට පාපය ශක්තිමත්වේ.

අනුග‍්‍රහයෙන් පවසන්නේ සියලු දෙනා පව් කොට දෙවියන්වහන්සේ තුළ හීනව සිටින බවත්, නමුත් ධර්මිෂ්ඨකම යේසුස්වහන්සේ තුළින් හිමිවූ බවත්ය. (රෝම 3:23-24)

අපායට යේසුස්වහන්සේව හිර කර තබා ගැනීමට නොහැකිවුණි.
එයට හේතුව යේසුස්වහන්සේ තුළ තිබුණේ ජීවනයයි.

දෙවියන්වහන්සේ අප වෙනුවෙන් යේසුස්වහන්සේව පාපය කරමින් යේසුස්වහන්සේ කුරුසියේදී පාපය වූ සේක.

යේසුස්වහන්සේ කුරුසියට ගියේ ජීවනය ඇතිවය.

ජීවනය තිබෙන මනුෂ්‍යයා පාතාලයේ සිටින්නේ කෙලෙසද කියා දෙවියන්වහන්සේ නිවැරදි විනිශ්චය කළ අතර පාතාලයට යේසුස්වහන්සේව කොහෙත්ම රඳවා ගැනීමට නොහැකිවුණි.

‭‭ක්‍රියා‬ ‭2:24‬ ‬‬
[24] නුමුත් දෙවියන්වහන්සේ මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදා නැගිටෙවුසේක. කුමක්හෙයින්ද උන්වහන්සේ නවතාගන සිටින්ට මරණයට නුපුළුවන් විය.

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේව මරණ වේදනාවෙන් නිදහස් කර නැඟිටුවන ලදි.

දින තුනකට පසු යේසුස්වහන්සේ ලෝකයා වෙනුවෙන් මරණයෙන් සම්පූර්ණයෙන්ම ජය ගන්නා ලදි.

යේසුස්වහන්සේ තබා ගැනීමට මරණයට නොහැකිවුණි.

‭‭ක්‍රියා‬ ‭2:31‬ ‭
[31] ඔහු මෙය කලින් දැක ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම ගැන කථාකරමින් උන්වහන්සේගේ පාතාලයේ නවතින්ට
හරිනු නොලැබූ බවත් උන්වහන්සේගේ මාංසය කුණු නොවූ බවත් කීවේය.

මරණයට පත්වූ යේසුස්වහන්සේ මරණයෙන් එසවී අපවත් ඔසවා ගන්නා ලදි.

ඔබ වෙනුවෙන් යේසුස්වහන්සේ අපායට යන ලදි. එමනිසා අපට අපායට යන්නට අවශ්‍යය නැත. අපට සදාකාල ජීවනය හිමිව ඇත.

දෙවියන්වහන්සේ මරණයේ ඇමට යේසුස්වහන්සේව උපයෝගි කරගන්නා ලදි. ඇමට අසුවූ යක්ෂයා සිතුවේ කුරුසපත්වීමේදී යේසුස්වහන්සේගේ මරණයෙන් සියල්ල හමාරවූ බවයි. ඔහු ජයගත් බවයි.

එහෙත් යේසුස්වහන්සේ කුරුසියේදී යක්ෂයාගේ හිස සහමුලින්ම විනාශකරන ලදි. යක්ෂයාගේ බලය නැත්තටම නැතිවී යන ලදි.

‭‭හෙබ්‍රෙව්‬ ‭2:14-15‬
14 එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොටගෙන බල නැතිකොට,

යේසුස්වහන්සේ මරණය තුළින් මරණයේ අධිපතියාව සහමුලින්ම විනාශකර දමන ලදි.

15 ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්කරන පිණිසය.

ජීවිතය පුරා මරණ භයෙන් සිටි අපව යේසුස්වහන්සේ නිදහස් කළසේක.

කුරුසියේ මරණයේ ඇමට අසුවූ මරණයේ අධිපතිවූ යක්ෂයාගේ හිස යේසුස්වහන්සේ පොඩි කළසේක.

මරණය තුළින් අපායට ගිය යේසුස්වහන්සේව තුන්වෙනි දවසේදී ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් මළවුන්ගෙන් නැවත නැඟිටුවන ලදි.

ඒ නැවත නැඟිටුනු බලය ඒ තැණැන්වහන්සේ දැන් අප තුළ වාසය කරමින් අපගේ මරණීය ශරීරයට දිනපතා ජීවනය ලබා දෙයි.

පීඩා මානසිකත්වයක් ඇති කරගෙන යක්ෂයාට මහිමය නොදෙන්න.

රෝම‬ ‭8:11 ජීවිතයට ඉතාමත් වටිනා බයිබල් පදයකි.

‭‭රෝම‬ ‭8:11‬
[11] තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක.

අපගේ මරණීය ශරීරය ජීවත් කරවන්නේ යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැඟිටවු එම ආත්මයමයි.

”මම ලෙඩයි, පැතිරී යන රෝග වලට මම බයයි” යනාදි වචන ඔබ පවසයි නම් ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් දෙන වචනයි ඔබ පවසන්නේ.

බයිබලය පවසන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේට දුක් නොදෙන්න කියාය.

එපීස‬ ‭4:30‬
[30] දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.

ස්වාමීන්වහන්සේ අපට ජය දෙන්නේ කෙලෙසදැයි යන වචන නොපවසන්න.

‭‭ද්වීතීය කථාව‬ ‭7:17‬ ‬‬
මේ ජාතීහු මට වඩා වැඩිව සිටිති; ඔවුන් පන්නා දමන්ට මට පුළුවන් කෙසේදැයි නුඹට සිතෙන විට ඔවුන්ට භයනොවන්න.

අප තුළ සදාකාල ජීවනය වාසය කරනවානම් රෝගය එයට වඩා බලවත් වන්නේ කෙලෙසද?

ඔබගේ රෝග අසීරුතා නිතර නිතර පවසමින් වර්ණනා නොකරන්න.

අප තුළ වාසය කරන දෙවියන්වහන්සේගේ ආත්මය තුළින් සියල්ල කළ හැකිය.

අප නිතර ජයග‍්‍රහණය ගැන පවසන්නේ යේසුස්වහන්සේ ජයගත් තැනැන්වහන්සේ නිසාය.

ජයග‍්‍රහණය අපට අයිතිය.

ජයග‍්‍රහණය අපට අයත් බව දේව වචනයේ සඳහන්ව ඇත.

දෙවියන්වහන්සේගේ සෙනඟ අද විනාශයට යන්නේ දැනගැන්ම නැති නිසාය.

සමහර නායකයන්ගේ පවුල් අද අකාලයේ විනාශවෙමින් පවතියි. එසේ වීමට හේතුව වචනය පිළිබඳ දැනගැන්ම ඔවුන් තුළ නොමැති බැවින්ය.

‭‭හොසියා‬ ‭4:‬6‬ ‭
මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමෙන් නාස්තිවී සිටිති. නුඹ දැනගැන්ම එපාකළ නිසා මට පූජකකම්කිරීමෙන් මමත් නුඹ එපාකරන්නෙමි. නුඹ නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව මතකනැතිකළ නිසා මමත් නුඹේ දරුවන් මතක නැතිකරන්නෙමි.

සමහර අය දැනගැන්ම නැතිව සිටිනවා සේම, තවත් අය දැන ගැන්ම එපා කරති.

ඔවුන් සිතන්නේ පීඩා කරදර වලින් ජය ගැනීම අසීරුබවය. නමුත් දෙවියන්වහන්සේට කිසිවක් අසීරු නැත.

‭‭යෙරෙමියා‬ ‭32:27‬ ‭
බලව, මම මාංසමයවූ සියල්ලන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේය. මට කරන්ට අමාරුවූ කිසි දෙයක් ඇද්ද?

දෙවියන්වහන්සේ මාංසයේ දෙවියන්වහන්සේය. අපගේ මුළු මාංසයම අයිති දෙවියන්වහන්සේටය. රෝග වලට එහි බලය පැවැත්වීමට නොහැකිය.

සුවය දෙන්නාවූ දෙවියන්වහන්සේම සඵලත්වයද දෙන සේක.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනඟව කිරි සහ පැණියෙන් උතුරා යන දේශයකටයි ගෙන ගියේ. සුවය සහ සඵලත්වය තිබෙන දේශයකටයි.

‭‭නික්මයාම‬ ‭3:8‬ ‭
එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට,...

‭‭නික්මයාම‬ ‭3:17‬
…. කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට පමුණුවන්නෙමියි කීයෙමියි මට කීසේකැයි ඔවුන්ට කියන්න.

කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයක් යනු තවත් වහලෙක් ලෙස නොව, කුමාරයෙක් ලෙසයි ජීවත් වීමයි.

යාකොබ් යන නමෙහි අර්ථය, රැවටීමයි. ඔහු තම පියාව, මාමාව රවටනු ලැබීය. (උත්පත්ති 27:11-24, 30:32-43)

දිනක් ඔහුට ස්වාමීන්වහන්සේ හමුවිය. ඔහු මහත් පොරබැඳීමකින් පසු ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය ඉල්ලා සිටීය. එහිදී ස්වාමීන්වහන්සේ ඔහුගේ නම වෙනස් කරන ලදි. (උත්පත්ති 33:22-27)

දෙවියන්වහන්සේ යාකොබ්ට පැවසුවේ, ඔහු තව දුරටත් යාකොබ් නොව ඉශ‍්‍රායෙල් වන බවයි. (උත්පත්ති 33:28)

දෙවියන්වහන්සේ යාකොබ්ව කුමාරයෙක් මෙන් එසව්සේක. උසස් කළ සේක, අධිපතීන් සමඟ හිඳවූ සේක.

‭‭ගීතාවලිය‬ ‭113:7‭-‬8‬‬‬
[7] අධිපතීන් සමඟ, එනම්, ස්වකීය සෙනඟගේ අධිපතීන් සමඟ, හිඳුවන පිණිස [8] උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවනසේක, දිළිඳා කසල ගොඩින් ඔසවනසේක.

දෙවියන්වහන්සේට කළ නොහැකි, අසීරු කිසිවක් නොමැත.

අප දුක් කරදර ගණන් ගත යුතු නැත. යේසුස්වහන්සේ අප උදෙසා සියලු දුක් කරදර දරා ගත්සේක. (යෙසායා 53:1-12)

යේසුස්වහන්සේ තම ප‍්‍රාණය පියාණන්වහන්සේ වෙත භාරකළ විට,
අප සියලුදෙනාටම සදාකාල ජීවනය දෙන පිණිස, සියලු දුක් කරදරවලින් මුදවමින් නිදහස් කරන පිණිස දෙවියන්වහන්සේ කැමැත්තෙන්ම යේසුස්වහන්සේට දුක දරාගැනීමට ඉඩහැරිය සේක.

සියලු මනුෂ්‍යයාට සදාකාල ජීවනය දෙන පිණිස යේසුස්වහන්සේ ශාපය, මරණය ගිලගත් සේක.

යේසුස්වහන්සේ සියල්ල කරනු ලැබුයේ පියාණන්වහන්සේගේ කැමැත්තටය. පියාණන්වහන්සේ කරන්නාවූ දේවල්ය.

බෙතෙස්දාවේ කොරා සුවකෙරු අවස්ථාවේ සබත් දවසේ එය කරායැයි කියමින් යුදෙව්වරු යේසුස්වහන්සේට චෝදනා කළවිට උන්වහන්සේ පැවසුවේ පියාණන්වහන්සේ ක‍්‍රියාකරන ආකාරයටම උන්වහන්සේ ක‍්‍රියා කරන බවය. (යොහන් 5:17)

යේසුස්වහන්සේ ආවේ ස්වර්ගය මේ පොළොවට ගෙනැවිත් මනුෂ්‍යයන් අතර ක‍්‍රියා කරන්නටය.

‭‭යෙරෙමියා‬ ‭32:27‬ ‭
[27] බලව, මම මාංසමයවූ සියල්ලන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේය. මට කරන්ට අමාරුවූ කිසි දෙයක් ඇද්ද?

යක්ෂයාගේ බොරුවට අසුවී තිත්තකම් වෛර අසනීප තත්වයන් තුළ ඔබ ගත කරන අපා ගත ජීවිතයෙන් මිදෙන්න. දෙවියන්වහන්සේ දෙස බළමින් එළිදරව්වක් ලබන්න.

ඔබගේ පරණ මනුෂ්‍යයා පහවී ඔබ අලුත් මැවිල්ලක් වී සිටින්නේ. ඔබගේ පසුපස පරම්පරා ශාප පැමිණෙන්නේ නැත.

ඔබ පසුපස පැමිණෙන්නේ කරුණාව හා යහපත්කම පමණි.

ගීතාවලිය‬ ‭23:6‬ ‭
සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. මම සදාකල්ම ස්වාමීන්ගේ ගෘහයෙහි වාසයකරන්නෙමි.

ස්වාමීන්වහන්සේගේ කරුණාවත්, යහපත්කමත්, අනුග‍්‍රහයත් ඔබව වටකරන් නිතරම ඔබ පසු පස ගමන් කරන බව පවසන්න.

දෙවියන්වහන්සේ ප‍්‍රශ්න කරදර දෙන දෙවිකෙනෙකු නොවෙයි.

‭‭2 තිමෝති‬ ‭3:11‬ ‭
[11] අන්තියෝකියේදීත් ඉකෝනියේදීත් ලුස්ත්‍රාවේදීත් මට සිදුවුණාවූ මට පැමුණුණ පීඩාද දුක්විඳීම්ද බලාගත්තෙහිය. එයාකාර පීඩා වින්දෙමි, ඒ සියල්ලෙන්ද ස්වාමීන්වහන්සේ මා මිදූසේක.

ස්වාමීන්වහන්සේ සෑම පීඩා වලින් පාවුල්ව මුදවාගත්සේක.

‭‭ගීතාවලිය‬ ‭34:19‬ ‭‬‬
ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගළවනසේක.

දෙවියන්වහන්සේ සියලු පීඩා වලින් ඔබ මුදවන බව විශ්වාස කරන්න.

බොරු ඉගැන්වීම් ගෙනඑන්නන් දෙන්නේ බයිබලයෙන් කොටසක් පමණක් උපුටුමින්ය. ඊට පසුව තිබෙන පදය ඔවුන් උගන්වන්නේ නැත.

ඉශ‍්‍රායෙල් රජවූ යෙහෝරාම්ද යුදාහි රජද ඒදොම්හී රජද එක්ව ඉශ‍්‍රායෙල් රජුට විරුද්ධව කැරළිගැසු මෝවබ්ට විරුද්ධව සටනට යන විට ඔවුන්ගේ සේනාවටත්, සිවිපාවුන්ටත් වතුර නැති වූවිට ස්වාමීන්වහන්සේ මෝවාබ් අතට පාවා දෙන්ට අපව ගෙනාවේදැයි කියා ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස යෙහෝෂාපාට් රජ ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරයාවූ එලිෂා වෙතට යන ලදි.

2 රාජාවලිය 3 පරිච්ඡේදයේ ‭‭16‭-‬17 අනුව, අනාගතවක්තෘවරු එලීෂා පැවසුවේ,
[16] ඔහු කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මේ මිටියාවත පුරාම අගල් කපන්න. [17] මක්නිසාද නුඹලා හුළඟක්වත් වැස්සවත් නොදකින නුමුත් නුඹලාටත් නුඹලාගේ සිවුපාවුන්ටත් නුඹලාගේ මෘගයන්ටත් බීමට මේ මිටියාවත වතුරෙන් පිරෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

ස්වාමීන්වහන්සේ පැවසුවේ ඔවුන් හුළඟක්වත් වැස්සවත් නොදකින නුමුත් ඔවුන්ට හාස්කමකින් වතුර ලැබෙන්ට යන බවය.

කිසිම ලකුණක්වත් නොමැතිව ස්වාමීන්වහන්සේට ඔබ වෙනුවෙන් දේවල් කළ හැකියි.

ධර්මිෂ්ඨයා ජීවත්වන්නේ ඇදහිල්ලෙනි.

ඔබ ජීවත්වන්නේ ඔබගේ මාස පඩියෙන් නොව, දෙවියන්වහන්සේට ඔබට සැපයීමට විවිධාකාර මාර්ග ඇත.

ඇදහිල්ලෙන් ජීවත්වීමට පුරුදුවන්න.

අපට අසීරු දේ ස්වාමීන්වහන්සේට සුළු දෙයකි.

‭‭2 රාජාවලිය‬ ‭3:18‬ ‭
මේත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුළු දෙයකි. උන්වහන්සේ මෝවබ්වරුන්ද නුඹලා අතට පාවාදෙනසේක.

අපට පෙනෙනා දේ නොව, දෙවියන්වහන්සේට ක‍්‍රියා කිරීමට උන්වහන්සේ තුළ විවිධ ක‍්‍රම හා මාර්ග ඇත.

ඉශ‍්‍රායෙල් සෙනඟට ගමන් කිරීමට දෙවියන්වහන්සේ නියම වේලාවේදී මුහුද දෙබෑ කල සේක. (නික්මයාම 14:21-22)

සුවය දෙන්නාවූ දෙවියන්වහන්සේ සඵලත්වයද දෙන සේක.

අලුත් ගිවිසුමේ 3 යොහන් 2 හි සඳහන් දේ පරණ ගිවිසුම තුළ නික්මයාම 3:8 වෙනි පදය තුළ සඳහන්ව ඇත.

කිරි සහ පැණියෙන් උතුරා යන දේශයකට පමුණුවන බව......

‭‭නික්මයාම‬ ‭3:8‬ ‭
එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට,...

3 යොහන්‬ ‭1:2‬ පවසන්නේ සියලු දෙයින් සඵලව සිටීම කැමැත්ත බවය.

මනස දියුණුවන විට සැමවිට සුවයෙන් සිටීමද, සියල්ලෙන් සඵලවීමටද පුළුවන.

‭‭3 යොහන්‬ ‭1:2‬ ‭
ප්‍රේමවන්තය, නුඹේ ප්‍රාණය සඵලවන්නාක්මෙන්ම නුඹ සියල්ලෙහි සඵලවන ලෙසද සුවසේ සිටින ලෙසද යාච්ඤාකරමි.

ස්වර්ගයේ වැඩ වාසය කරන තැනැන්වහන්සේට සියල්ල සපයා දිය හැකිය.

අපට තිබෙන්නේ විශ්වාස කිරීම පමණි.

මාර්ක් 9:23
යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබට පුළුවන් නම්! විශ්වාසකරන්නාට සියල්ල පුළුවනැයි කීසේක.

‭‭ඔබ අදහන කෙනෙක් නම් ඔබට කිසිවක් අපහසු නොවනු ඇත.


Watch the Sermon Video

Read 47 times