+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබට ආශීර්වාද කරන පිණිස දෙවියන්වහන්සේට ඕනෑම කෙනෙකු හෝ ඕනෑම දෙයක් පාවිච්චි කළ හැකිය - මනූ මැතානි
March 9, 2025 Sunday Sermon Notes

 

අප තුළ සාක්ෂි තිබෙන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ වාසය කරන නිසාය.

අප සියලු ගෞරවය, මහිමය දෙවියන්වහන්සේට දෙන්නේ අපට කළ නොහැකි සියලු දේ උන්වහන්සේට කළ හැකි නිසාය.
අපට සියල්ල කළ හැක්කේ අපගේ ශක්තියෙන් බලයෙන් නොව දෙවියන්වහන්සේගේ ශක්තියෙනි.

සෙකරියා 4:6
[6] එකල ඔහු මට උත්තරදෙමින්: සෙරුබ්බාබෙල්ට ස්වාමීන්වහන්සේගේ වචනය මේය. එනම්, බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

සියල්ල නැතිවුවත් දෙවියන්වහන්සේ අපට සපයනු ඇත. දෙවියන්වහන්සේගේ බලය කෙරෙහි අප විශ්වාසය තබමු.
අප යේසුස්වහන්සේගේ නාමයෙන් හඬ ගසන ඕනෑම වෙලාවක අප වෙනුවෙන් ක‍්‍රියාකරන්නට ශුද්ධාත්මයාණන්වහන්සේ බලා සිටියි. දෙවියන්වහන්සේ දූතයන් පත්කර තිබෙන්නේ අපගේ ආරක්ෂාව සඳහාය. මනුෂ්‍යය ස්වරූපයෙන් වුවද ඔබට උපකාර කිරීමට දේවදූතයන් පැමිණිය හැකිය.

හෙබ්‍රෙව් 13:2
[2] ආගන්තුක සත්කාරකිරීම මතකනැති නොකරන්න. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේවදූතයන්ට සත්කාරකළෝය.

දෙවියන්වහන්සේට ඕනෑම කෙනෙකු තුළින් ක‍්‍රියා කළ හැකිය.

දෙවියන්වහන්සේ එලියාට කන්ට දෙන්න පාවිච්චි කළේ වැන්දඹු කාන්තාවක්ය. (1රාජාවලිය 17:8-9)

එය එලියාට මෙන්ම එම වැන්දඹු කාන්තාවටද ආශීර්වාදයක්වුනි. (1 රාජාවලිය 17:14-16)

කුෂ්ඨ රෝගයන් සතර දෙනෙක් තුළින් දෙවියන්වහන්සේ ඉශ‍්‍රායෙල් දේශයට මහත් සැපයීමක් ලබා දුන්නේය.

2 රාජාවලිය 7:3-6
[3] කුෂ්ඨරෝගීන් සතරදෙනෙක් වාසල් දොරකඩ සිටියෝය. ඔව්හු එකිනෙකාට කථාකොට: අපි නහින තුරු කුමට මෙහි සිටිමුද? [4] අපි නුවරට ඇතුල්වෙමුයයි කීවත් නුවර සාගතය තිබෙන බැවින් අප එහි නසිනවා ඇත. මෙහි සිටියත් නසිනවා ඇත. ඉන්නිසා දැන් එන්න, අපි සිරියවරුන්ගේ සේනාවට එකතුවෙමු. ඔවුන් අප ආරක්ෂාකළොත් අපි ජීවත්වන්නෙමුව; ඔවුන් අප මැරුවොත් අපට මරණය සිද්ධවෙනවා පමණකැයි කීවෝය. [5] එසේ ඔව්හු සිරියවරුන්ගේ කඳවුරට යන පිණිස අරුණු වේලෙහිම නැගුටුණෝය. නුමුත් ඔවුන් සිරියවරුන්ගේ කඳවුරේ සීමාවට පැමුණුණ විට එහි කිසිවෙක් නැති බව දුටුවෝය. [6] මක්නිසාද ස්වාමීන්වහන්සේ රථ ඝෝෂාවක්ද අශ්ව ඝෝෂාවක්ද යන මහත් සේනාවක ඝෝෂාවක් සිරියවරුන්ගේ සේනාවට ඇසෙන්ට සැලැස්වූසේක. ඔව්හු එකිනෙකාට කථාකොට: ඉශ්‍රායෙල් රජ හිත්තීවරුන්ගේද මිසරවරුන්ගේද රජුන් අපිට විරුද්ධව කුලියට ගෙන්වාගත්තේය කියා,

කුෂ්ඨ රෝගීන් සිරියවරුන්ගේ සීමාවට ඇතුල්වන විට සිරියවරුන්ට එය ඇසුණේ මහා සේනාවක් පැමිණෙන ශබ්දයකි. ඔවුන්ගේ ශබ්දයට සිරියවරුන් පලායන ලදි.

දෙවියන්වහන්සේට යමක් කිරීමට ඕනෑම දෙයක් පාවිච්චි කළ හැකිය. මැරුණු දෙයක් වුවද උන්වහන්සේට පාවිච්චි කරන්නට පුළුවන.

එක්තරා අවස්ථාවකදී දෙවියන්වහන්සේ මැරුණු මළකදක් තුළින් මනුෂ්‍යයෙකු ජීවත් කළේය. එලිෂා මියගොස් තැන්පත් කළ පසු මිනියක් වලලන්ට යමින් සිටි මිනිසුන් සතුරු හමුදාව දැක ඒ මිනිය එලිෂාගේ සොහොන් ගෙට දමන ලදි. එලිෂාගේ ඇටවලට තැවරුණු ඒ මිනියට පණ ලැබුණේය. (2 රාජාවලිය 13:20-21)

ඔබගේ ජීවිතයට සපයා දීමට දෙවියන්වහන්සේට විවිධාකර මාර්ග ඇත.

කුෂ්ඨ රෝගයන් 4දෙනාගේ ශබ්දය සිරියවරුන්ගේ කන් වලට ඇසෙන තරමට දෙවියන්වහන්සේ මහත් ශබ්දයක් ඇති කරන ලදි.
කුෂ්ඨ රෝගයන් 4දෙනා සතුරු කඳවුරු සීමාවට එනවිට සතුරු හමුදාව ඔවුන්ගේ සියල්ල අතහැර පලා ගියෝය..

2 රාජාවලිය 7:7-9
[7] නැගිට රැයින් පලාගියෝය. ඔව්හු තමුන්ගේ කූඩාරම්ද අශ්වයන්ද කොටළුවන්ද ඇතුළුව කඳවුර තිබුණු හැටියටම අත්හැර තමුන්ගේ ප්‍රාණය ගළවාගන්ට පලාගියෝය. [8] ඒ කුෂ්ඨරෝගීන් කඳවුරේ සීමාවට පැමුණුණ විට ඔව්හු එක් කූඩාරමකට ඇතුල්වී කා බී, එතනින් රන් රිදී සහ වස්ත්‍ර රැගෙන ගොස් සඟවා තබා, නැවත හැරී ඇවිත් වෙන කූඩාරමකට ඇතුල්වී, එතැනිනුත් රැගෙන ගොස් සඟවා තැබුවෝය. [9] එවිට ඔව්හු එකිනෙකාට කථාකොට: අප කරන දේ හරි නැත. අද දවස හොඳ ආරංචි ඇති දවසක්ව තිබෙද්දී අපි නිශ්ශබ්දව සිටිමුව. උදය එළිවෙන තුරු ප්‍රමාදවුණොත් අපට වරද පැමිණෙයි. ඉන්නිසා එන්න, අපි රජ ගෙදරට දන්වමුයයි කීවෝය.

ඔවුන් එම පණිවිඩය රජ මැදුරයට පවසන පිණිස පිටත්ව ගියෝය

ඔබට දෙවියන්වහන්සේගේ යම් ආශීර්වාදයක් ලැබුණු විට අන් අයටද එය පවසන්න. ඔබ අත්දුටු සුවය ගැන අන් අයටද පවසන්න. ඔබ පාපයට ලැබූ සමාව අන්අය හා සමඟ බෙදාගන්න. අපට ලැබෙන සියල්ල ගැන අන් අය හා බෙදා ගැනීමට පුරුදුවෙමු.

දෙවියන්වහන්සේ සැපයුම්කරුය. මනුෂ්‍යයන්ට සැපයීමට උන්වහන්සේට විවිධාකර මාර්ග ඇත. මේ සුභාරංචිය අප මනුෂ්‍යයන් හට පතල කරමු.

වතුර තිත්ත නිසා සෙනඟ මෝසෙස්ට විරුද්ධව කොඳුරුවෝය. මෝසෙස් ස්වාමීන්වහන්සේට හඬගසන කල උන්වහන්සේ එයට පිළිතුර පිණිස ගසක් පෙන්නුවේය.

නික්මයාම 15:24-25
[24] සෙනඟ: අපි කුමක් බොමුදැයි කියමින් මෝසෙස්ට විරුද්ධව කොඳුළෝය. [25] ඔහු ස්වාමීන්වහන්සේට හඬ ගැසීය; ස්වාමීන්වහන්සේ ඔහුට ගහක් පෙන්වූසේක, ඔහු ඒක ජලයට හෙළූ කල ජලය මිහිරි විය. එහිදී උන්වහන්සේ ඔවුන්ට නියෝගයක්ද පනතක්ද දුන්සේක, එහිදී උන්වහන්සේ ඔවුන් පරීක්ෂාකොට:

ස්වාමීන්වහන්සේ පෙන්වූ ගසේ අත්තක් වතුරට දමුවිට වතුර මිහිරි වූයේය.

නික්මයාම 15:23
[23] ඔවුන් මාරාට පැමුණුණු කල එහි වතුර තික්ත නිසා බොන්ට නොහැකි විය. එබැවින් ඒ ස්ථානයට මාරා යන නම තබනලද්දේය.

ඔවුන්ගේ සැපයීමට උන්වහන්සේ පාවිච්චි කළේ ගසක අත්තක්ය.
ස්වාමීන්වහන්සේ අපට පවසන දේ අපි විශ්වාස කර එය ලබා ගනිමු.

නික්මයාම 15:26
[26] නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන්දී උන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කොට උන්වහන්සේගේ ආඥාවලට කන්දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග රක්ෂාකරන්නෙහිනම් මිසරවරුන් පිට මා පැමිණෙවු රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමුණුවන්නෙමි. මක්නිසාද මම වනාහි නුඹ සුවකරන්නාවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.

මෙම ගසෙන් අර්ථවත් වන්නේ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ පිළිබඳවය. උන්වහන්සේ ගස පිටදී මරණයට පත්වුණේ අපගේ තිත්ත ජීවිතය මිහිරිභාවයට පත් කිරීමටය.

ගලාති 3:13
[13] ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක.

යේසුස්වහන්සේ අපට නව ජීවනයක් ලබා දී ඇත. මාර්ගයත්, සත්‍යයත්, ජීවනයත් උන්වහන්සේය. යේසුස්වහන්සේ ව්‍යවස්ථා ශාපයෙන් අපව මුදවා ගත්තේය. ව්‍යයවස්ථා ශාපය යනු තිත්ත ජීවිතයකි. (ද්වීතීය කතාව 28:15-68)

අපි දෙවියන්වහන්සේ පෙන්වන මාර්ග සුළු නොකරමු. ඉශ‍්‍රායෙල් සෙනඟ තමුන්ගේ ගමන් මාර්ගයේදී සිත අධෛර්යමත් කර ගත්තෝය.

ගණන් කථාව 21:4
[4] ඔව්හු ඒදොම් දේශය වටකර යන පිණිස රතු මුහුදට යන පාරෙන් හෝර් කන්දේ සිට ගමන් කළෝය. එවිට ගමන් මාර්ගයේදී සෙනඟගේ සිත බොහෝසේ අධෛර්යය විය.

අධෛර්යමත්කම තිත්තභාවය ඇති කරයි. එයින් ඔබගේ ජීවිතය විනාශ කරලීමට යක්ෂයාට අවස්ථාවක් ලබා දෙයි.

අධෛර්යමත්කම ඔබගේ මනස අවුල් කරයි. සියලු දේ ඍණාත්මකව පෙනෙයි.

ගණන් කථාව 21:5
[5] සෙනඟ දෙවියන්වහන්සේටත් මෝසෙස්ටත් විරුද්ධව කථාකොට: මේ කාන්තාරයෙහි මැරෙන්ට නුඹලා මිසරයෙන් අප ගෙනාවේ මක්නිසාද? රොටි නැත, වතුරත් නැත; අපේ ප්‍රාණය මේ සැහැල්ලු කෑමට අප්‍රිය කෙරේයයි කීවෝය.

අධෛර්යමත්කම තුළින් කෙනෙකුට බැනවැදීමෙන් යහපතක් වන්නේ නැත.

අධෛර්යමත්කම දෙවියන්වහන්සේගේ සැපයීම සුළුකරයි.

ද්වීතීය කථාව 8:2-3
[2] නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ යටහත්කර, නුඹ සෝදිසිකර, උන්වහන්සේගේ ආඥා නුඹ රක්ෂාකරනවාද නැද්දැයි නුඹේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි නුඹ ගෙනගිය මුළු මාර්ගය සිහිකරන්න. [3] උන්වහන්සේ නුඹ යටත්කොට, නුඹ බඩගින්නට පැමිණෙන්ට ඉඩඇර, මනුෂ්‍යයා ජීවත්වෙන්නේ රොටිවලින් පමණක් නොවන බවත් ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත්වන බවත් නුඹට දන්වාදෙන පිණිස, නුඹ දැනනොගෙන සිටියාවූ නුඹේ පියවරුන්ද දැනනොගෙන සිටියාවූ මන්නාවලින් නුඹ පෝෂණයකළසේක.

දෙවියන්වහන්සේ සෙනඟව මන්නා වලින් පෝෂණය කළා නමුත් සෙනඟගේ දැඩි සිත දෙවියන්වහන්සේට යටත්වීමට කැමති නොවූවෝය. පීඩනයක් පැමිණි කල අපගේ සිතේ ඇති අදහස් වචන වලින් පිටවේ. අප සිතනවාට වඩා අපව ගළවන්නට, මුදවන්නට, සුවපත් කරන්නට, අපගේ ජීවිතය වෙනස් අතකට හරවන්නට, වඩා හොඳ මාර්ග දෙවියන්වහන්සේට ඇත.

මනුෂ්‍යයාට කළ නොහැකි දේ දෙවියන්වහන්සේට අප වෙනුවෙන් කළ හැකි බව විශ්වාස කරමින් අපගේ ඇදහිල්ල අපි ගොඩනගා ගනිමු.
අප යටත් වුවහොත් අපගේ ඇදහිල්ල වර්ධනයවේ. උඩඟුකම ඇැදහිල්ල පහතට දමයි.

හබක්කුක් 2:4
[4] බලව, ඔහුගේ සිත උඩඟුය, එය ඔහු තුළ අවංක නැත. ධර්මිෂ්ඨයා තමාගේ විශ්වාසකමෙන් ජීවත්වන්නේයයි කීසේක.

උඩඟු මනුෂ්‍යයන් අවංක නැත. ධර්මිෂ්ඨ මනුෂ්‍යයාගේ අවශ්‍යම ගුණාංගය යටහත්කමය.

ඔබදියා 1:3
[3] පර්වත විවරවල වසන්නාවූ, උස්වූ වාසස්ථානයක් ඇත්තාවූ, මා බිම හෙළන්නේ කවුදැයි තමාගේ සිතින් සිතාගන්නාවූ නුඹ නුඹේ සිතේ උඩඟු කමට රැවටුණෙහිය.

උඩඟු සිත ඔබව රැවටීමට ලක් කරයි. දෙවියන්වහන්සේ අපගේ මිදුම්කරු, සැපයුම්කරුබව විශ්වාස කරමු. අප මුහුණ දෙන පීඩාවන්ගෙන් ජය ගන්නා ආකාරය යෙසුස්වහන්සේ පෙන්වා ඇත. උන්වහන්සේ ජයගත්තා සේ අපටද උන්වහන්සේ අනුගමනය කරමින් ජය ගත හැකිය.

ශු. යොහන් 16:33
[33] මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.

යක්ෂයා මොනම පීඩා ගෙන ආවත් ඒ සියල්ලෙන්ම උන්වහන්සේ අප මුදවනු ඇත.

ගීතාවලිය 34:19
[19] ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගළවනසේක.

පීඩාවක් පැමිණි කල ඔබගේ මාංසයට ඔබව ගෙනයන්නට ඉඩ නොදී ස්වාමීන්වහන්සේගේ කරුණාව මට සෑහේ යයි පවසමින් ශක්තිමත්ව සිටින්න. ස්වාමීන්වහන්සේගේ උපකාරයෙන් ඔබ ජයගන්නෙකු බව පවසන්න. අපට යහපත කිරීමට දෙවියන්වහන්සේට විවිධ මාර්ග ඇත. උන්වහන්සේගේ ක‍්‍රියාකාරීත්වය විවිධාකාරය.

අප තුළ වාසය කරන ශුද්ධාත්මයාණන් තුළින් අපට ඕනෑම දෙයක් කරන්නට දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකිය. අප එහි ගෞරවය, මහිමය දෙවියන්වහන්සේට දිය යුතුය.

සෙනඟ දෙවියන්වහන්සේ දුන්නාවු සැහැල්ලු කෑම සුළු කළ නිසා උන්වහන්සේ සිදුවන්නට යන දේ නොවලක්වා එයට ඉඩ හරින ලද්දේය. යක්ෂයා එම අවස්ථාව ගෙන සෙනඟ අතරට ගිණි සර්පයන් එව්වේය.

ගණන් කථාව 21:6
[6] ස්වාමීන්වහන්සේ සෙනඟ අතරට ගිනි සර්පයන් යැවූසේක, උන් සෙනඟට දෂ්ටකළෝය; එසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් බොහෝ දෙනෙක් මළෝය.

ගිණි සර්පයන් දෂ්ට කිරීමෙන් සෙනඟ මිය යන විට සෙනඟ තමන්ගේ පාපය ගැන ඒත්තු ගෙන ඒ ගැන මෝසෙස්ට පැවසුවෝය.

ගණන් කථාව 21:7
[7] එබැවින් සෙනඟ මෝසෙස් ළඟට අවුත්: අපි ස්වාමීන්වහන්සේටත් නුඹටත් විරුද්ධව කථාකිරීමෙන් පව්කෙළෙමුව; ස්වාමීන්වහන්සේ අප වෙතින් සර්පයන් පහකරනලෙස උන්වහන්සේට යාච්ඤාකළමැනවියි කීවෝය. මෝසෙස් සෙනඟ උදෙසා යාච්ඤාකෙළේය.

දෙවියන්වහන්සේ මෝසෙස්ට දුන් පිළිතුර නම් පිත්තල සර්පයෙක් සාදා කුඹයක් පිට තබන ලෙසය.

ගණන් කථාව 21:8
[8] එවිට ස්වාමීන්වහන්සේ: නුඹ ගිනි සර්පයෙකු සාදා ඒක කුඹයක් පිට තබන්න. දෂ්ටකරනු ලැබූ කවරෙක් නුමුත් ඒ දෙස බැලීමෙන් ජීවත්වන්නේයයි මෝසෙස්ට කීසේක.

දෙවියන්වහන්සේ මෝසෙස්ට පැවසුවේ පිත්තල සර්පයා දෙස බලන අය ගැළවෙන බවයි.

පිත්තල සර්පයාගෙන් පිළිඹිබුවන්නේ යේසුස්වහන්සේගේ කුරුසපත්වීමය. උන්වහන්සේගේ කුරුසපත්වීම තුළින් අපට ජීවනය ලැබේ. යේසුස්වහන්සේ නිකදේමුස් සමඟ කථාවේදී මේ සිදුවීම ගැන සඳහන් කළේය.

ශු. යොහන් 3:13-15
[13] ස්වර්ගයෙන් බැස්සාවූ, ස්වර්ගයෙහි සිටින්නාවූ මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය. [14] මෝසෙස් කාන්තාරයේදී සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාද [15] උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම, සදාකාල ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්ට ඕනෑයයි කීසේක. ‍

පරණ ගිවිසුම නව ගිවිසුම ගැන ඡායාවකි. දෙවියන්වහන්සේ බලවන්තයි උන්වහන්සේට ඕනෑම දෙයක් පාවිච්චි කළ හැකිය. යේසුස්වහන්සේ කස පහරවල් දරාගනිමින් අපගේ රෝග උසුලාගෙන මහත් වේදනාවක් විඳ අප උදෙසා කුරුසියේදී විශාල පූජාවක් කළේය. උන්වහන්සේ එසේ කළේ යක්ෂයාගේ බලය විනාශ කිරීමටය.

හෙබ්‍රෙව් 2:14-15
[14] එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සෙත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොටගෙන බල නැතිකොට, [15] ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්කරන පිණිසය.

යේසුස්වහන්සේ පැමිණියේ මනුෂ්‍යයෙකුගේ ස්වරූපය ගෙනය. යේසුස්වහන්සේ මරණය දක්වා විශ්වාසවන්තව සිටියේය. උන්වහන්සේගේ මරණයේ බලයෙන්ම කුරුසියේදී යක්ෂයාගේ බලය විනාශ කළේය.

විනාශ කිරීම යනු - ශුන්‍ය කිරීමයි. යේසුස්වහන්සේ මරණය තුළින් මුලු මිනිස් සංහතියටම ජීවන ගෙන දුන්නේය.

සර්පයා යනු යක්ෂයාය.
පිත්තල යනු මනුෂ්‍යයාය.

මනුෂ්‍යය පුත‍්‍රයා සර්පයාගේ බලය සහමුලින්ම විනාශ කළේය.
ඔබගේ ශරීරය පාලනය කරන්නට යක්ෂයාට ඉඩ නොදී ඔබගේ වචන වලින් යේසුස්වහන්සේගේ නාමයෙන් යක්ෂයාට දුරුවීමට අණ කරන්න.

යේසුස්වහන්සේ සියලු පරම්පරා ශාපයෙන් අපව මුදවා ඇත. අප ආදම්ගේ පරම්පරාවට නොව යේසුස්වහන්සේගේ පරම්පරාවට අයත්ය. යේසුස්වහන්සේ අපගේ සුවයයි, සැපයීමයි, සැනසීමයි.

අප ආබ‍්‍රහම්ගේ වංශයේය. දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට දුන් ආශීර්වාද අපටත් අයිතිය.

උත්පත්ති 12:2-3
[2] මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න. [3] තවද නුඹට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි, නුඹට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක.

අපට යමක් යමෙක් කළහොත් ඒ කෙනා යහපත භුක්තිවිඳින්නේය
ඔබට විරුද්ධවන්නා ගැනද දෙවියන්වහන්සේ බලාගනු ඇත.


Watch the Sermon Video

Read 135 times