+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

හන්නාගේ කථාව - යෝෂා මනූ
June 1, 2025 Sunday Sermon Notes


නිදහස්කම පුදුමාකාර දෙයකි.

පාපයේ ඇලී ගැලී මඩ වගුරක මෙන් බන්ධනයක සිටි අපව යේසුස්වහන්සේ නිදහස් කරන ලද්දේය. එය පැවසිය හැක්කේ නිදහස, මිදීම ලද්දවුන්ට පමණි.

බන්ධනයෙන් නිදහස වූවන් තුළ පුදුමාකාර ප‍්‍රීතියක් ඇත. ස්වාමීන්වහන්සේ දුන් නිදහස්කම අපි නිතරම සමරමු.

හන්නාගේ යාච්ඤාවෙන් වෙනස් කළ දේ අපි බලමු.

හන්නාගේ කැපවීම තුළින් ඉශ‍්‍රායෙල්වරුන්ට හොඳ නායකයෙක්, පූජකයෙක් ලැබුණේය. ඒලී පූජකයාගේ දරුවන් දෙවියන්වහන්සේ අප‍්‍රසන්න දේ කරමින් උන්වහන්සේගෙන් ඈත්ව සිටි කාලයක සෙකඟට හරි දේ කියාදීමට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකු සොයමින් සිටියේය.

දෙවියන්වහන්සේ නිතරම ඇදහිල්ලෙන් උන්වහන්සේට පිළිපදින පුද්ගලයන් සොයනසේක. උන්වහන්සේ මේ ආකාරයට මීට කලින් ආබ‍්‍රහම්ව ඇදහිල්ලේ ගමනකට කැඳවනු ලැබුවේය. (උත්පත්ති 12:1)

එසේම ඉශ‍්‍රායෙල්වරුන් මිසරයෙන් ගෙනඒමට උන්වහන්සේ මෝසෙස්ව ඔසවනු ලැබුවේය (නික්මයාම 3 පරිච්ඡේදය).

ඒලී පූජකයාගේ හදවත දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධව තිබුණද ඔහුට ඔහුගේ දරුවන් හරියාකාරව හසුරුවා ගැනීමට නොහැකි විය.

හන්නාගේ කථාව තුළින් දෙවියන්වහන්සේ කළ ක‍්‍රියාව බලමු. ඇයගේ ජීවිතයේ පීඩාවේදී ඇය දෙවියන්වහන්සේ සොයන්නට ගත්තේය. අපගේ ජීවිතයේද පීඩා, කරදර එන කල අපි දෙවියන්වහන්සේගෙන් ඈත් නොවී, උන්වහන්සේ වෙතට ගොස් යාච්ඤා කරමු. අපි ප‍්‍රශ්නවලට පිළිතුර ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලා සිටිමු.

1 සාමුවෙල් 1:2
[2] ඔහුට භාර්යාවන් දෙදෙනෙක් වූවෝය; එක් තැනැත්තියකගේ නම හන්නාය, අනික් තැනැත්තියගේ නම පෙනින්නාය. පෙනින්නාට දරුවෝ සිටියෝය, නුමුත් හන්නාට දරුවෝ නොසිටියෝය.

එල්කානා ප‍්‍රේමකලේ හන්නාට වුවත් හන්නාට දරුවන් සිටියේ නැත.

1 සාමුවෙල් 1:3
[3] ඒ මනුෂ්‍යයා ෂිලෝහිදී සේනාවල ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්ටත් පූජාකරන්ටත් අවුරුද්දෙන් අවුරුද්ද තමාගේ නුවර සිට නික්ම ගියේය. එහි ස්වාමීන්වහන්සේගේ පූජකයෝවූ හොප්නී සහ පීනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා සිටියෝය.

එල්කානා තම පවුලේ අය සමඟ යෙරුසලමට ගියේ ස්වාමීන්වහන්සේට නමස්කාර කිරීමටය.

ඔවුන්ට වසරකට 3 වතාවක් දෙවියන්වහන්සේට නමස්කාර කරමින් මංගල්‍යය පැවැත්වීමට නියමවී තිබුණි.

නික්මයාම 23:14-15
14 අවුරුද්දට තුන් වරක් මට මංගල්‍යයක් පවත්වන්න.
15 මුහුන් නුමුසු රොටි මංගල්‍යය පවත්වන්න. නුඹලා ආබීබ් මාසයේදී මිසරයෙන් පිටතට ආ බැවින් මා විසින් අණකළ ලෙස ඒ මාසයේ නියම කාලයේදී සත් දවසක් මුහුන් නුමුසු රොටි කන්න; කිසිවෙක් හිස් අතින් මා ඉදිරියට නොපැමිණේවා.

මුහුන් නොමුසු මංගල්‍යය - මෙය මෝසෙස්ගේ කාලයේ ආරම්භ විය. දෙවියන්වහන්සේ ඉශ‍්‍රායෙල්වරුන්ට මිසරයේ වහල් භාවයෙන් ආරක්ෂිතව පිටතට ගෙන ඒම මෙයින් සිහිකරයි. (නික්මයාම 12:37-51)

යේසුස්වහන්සේගේ ලේ වලින් දෙවියන්වහන්සේ අපට ගෙන දුන් ගැළවීමට මෙය සමාන කළ හැකිවේ.

නික්මයාම 23:16-17
16 නුඹ කෙතෙහි වපුරන බීජවල ප්‍රථම ඵල ඔප්පුකිරීමට කපන කාලයේ මංගල්‍යයද අවුරුද්ද අන්තිමේදී කෙතෙන් නුඹේ අස්වැන්න රැස්කළ කල්හි රැස්කිරීමේ මංගල්‍යයද පවත්වන්න.
17 නුඹේ සියලු පිරිමි අවුරුද්දකට තුන්වරක් ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටිය යුතුය.

ඉශ‍්‍රායෙල්වරු ඔවුන් වැපුරූ බීජ වල ප‍්‍රථම ඵල කපන විටද දෙවියන්වහන්සේට මංගල්‍යය ඔප්පු කරති.

මෙය පෙන්තකොස්ත මංගල්‍යයට සමානය.

අප ගැළවීම ලැබූ පසු ශුද්ධාත්මයෙන් පිරීයයි. අපට සාක්ෂි දැරීමට ශුද්ධාත්ම බලය අවශ්‍යයයි.

ඔවුන් අස්වැන්න රැස්කරන විටද මංගල්‍යයක් පවත්වයි
එය යේසුස්වහන්සේගේ දෙවැනි පැමිණීමට සමානය.

මෙම මංගල්‍ය සැමරීමට ඉශ‍්‍රායෙල්වරු අවුරුද්දකට තුන් වරක් යෙරුසලමට පැමිණෙන ලදි.

මේ කාලය වන විට ඒලි පූජකයාගේ පුතුන්ගේ ක‍්‍රියාකලාපය හොදව නොතිබුණි.

ඒලීට තම පුතුන් හරි ගැස්වීමට නොහැකිවිය. ඔහුගේ පුතුන්ද පූජකයින්ව සිටින ලදි.

ඒලීගේ පුතුන් කෙරෙහි දෙවියන්වහන්සේ ප‍්‍රසන්න නොවුණි.

තම නිවස හදාගත නොහැකි, තම පුතුන් හදාගත නොහැකි පූජකයෙක් සෙනඟට උපදෙස් දීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවීය.

දෙවියන්වහන්සේගේ අණ පනත් වලට කීකරුව සෙනඟට උපදෙස් දියහැකි පූජකයෙක්, අනාගතවක්තෘ කෙනෙක් දෙවියන්වහන්සේට අවශ්‍යය වුණි.

ඒලීගේ පුතුන්ගේ ජීවිතයේ බොහෝ දුර්ජන ක‍්‍රියා තිබුණි.

1 සාමුවෙල් 2:12
[12] ඒලීගේ පුත්‍රයෝ වනාහි දුර්ජනයෝ වූවෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ හැඳිනගන නොසිටියෝය.

දෙවියන්වහන්සේව හදුනා නොගෙන උන්වහන්සේට සේවය කළ නොහැකිය.

අපව දෙවියන්වහන්සේ රාජකීය පූජකයන් කර ඇත. (1පේතෘස් 2:9)

1 සාමුවෙල් 2:13-17
[13] ඒ පූජකයන් සෙනඟ සමඟ හැසුරුණු අන්දම මෙසේය: කවුරු නුමුත් පූජාවක් ඔප්පුකරනකල, මස් උයන අතර, පූජකයාගේ වැඩකාරයා දැති තුනක් ඇති මස්කොක්කක් අතේ ඇතුව ඇවිත්, [14] හට්ටියේ හෝ සැළියේ හෝ කටාරමේ හෝ ඇතිළියේ හෝ දමන්නේය; එවිට කොක්කට අසුවූ සියල්ල පූජකයා තමාටම ගන්නේය. ෂීලෝට පැමිණි සියලු ඉශ්‍රායෙල්වරුන්ට ඔව්හු මෙසේ කළෝය.
[15] එසේය, තෙල දවන්ටත් පළමුවෙන් පූජකයාගේ වැඩකාරයා ඇවිත් පූජාකරන මනුෂ්‍යයාට කථාකොට: පූජකයාට පුලුස්සන්ට මස් දෙන්න; මක්නිසාද ඔහු අමු මස් මිස උයාපු මස් නුඹෙන් පිළිනොගන්නේයයි කීය.
[16] ඉදින් ඒ මනුෂ්‍යයා ඔහුට කථාකොට: දැන්ම තෙල දවනවා ඇත, එවිට සිතේ ආශාවේ පමණටම ගනින්නැයි ඔහුට කීවේ නම්, ඔහු: එසේ නොව නුඹ දැන්ම දෙන්ට ඕනෑය. නැත්නම් බලාත්කාරයෙන් ගන්නෙමියි කියන්නේය.
[17] මෙසේ ඒ තරුණයන්ගේ පාපය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඉතා මහත්ව තිබුණේය. මක්නිසාද මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේගේ පූජාව සුළුකොට සිතුවෝය.

ඒලීට පුතුන්ට අවශ්‍ය වූයේ පිසින්ට පළමු අමු මස්ය.

ඔවුන් ස්ත‍්‍රීන් සමඟද අශෝබන ලෙස හැසිරෙන ලදි.

ගැළවීම නොලැබූ මනුෂ්‍යයන්ටත් වඩා පව්කාර දුර්ජන ජීවිත ඔවුන් ගත කරන ලදි.

1 සාමුවෙල් 2:34
නුඹේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නී සහ පීනෙහාස් කෙරෙහි පැමිණෙන දෙය නුඹට ලකුණක් වන්නේය; එනම් ඔවුන් දෙදෙනාම එක දවසේදී මැරෙන්නෝය.

ඔවුන්ගේ දුර්ජන ගති නිසා ඔවුන් එක දවසේ මැරෙන්ට යන බව දෙවියන්වහන්සේ පවසන ලදි.

1 සාමුවෙල් 3:13
ඔහුගේ පුත්‍රයන් තමුන් පිටට ශාපයක් පමුණුවාගන්න බව ඔහු දැනගනත් ඔවුන් නොවැලැක්වූ අපරාධය නිසා මම ඔහුගේ වංශය සෑමකල්ම විනිශ්චයකරන්නෙමියි ඔහුට දැන්වීමි.

ඒලී තම පුතුන් හරියාකාරව නොහදපු හෙයින් ඔවුන්ව තෝරා ගෙන දෙවියන්වහන්සේ ඔවුන්ට දී තිබූ පූජක වංශය පවා ඔවුන්ට අහිමි විය.

1 සාමුවෙල් 4:4, 11
[4] ඒ හැටියට සෙනඟ ෂීලෝට මිනිසුන් යවා කෙරුබ් පිට වැඩහිඳින, සේනාවල ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙන්වා ගත්තෝය. හොප්නී සහ පීනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා එහි දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටියත් සමඟ සිටියෝය.
[11] දෙවියන්වහන්සේගේ පෙට්ටියත් අසුවුණේය; ඒලීගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නීද පීනෙහාස්ද මැරුම්කෑවෝය.

පිලිස්තිවරු හා සටනේදී ඉශ‍්‍රායෙල්වරු සම්පූර්ණයෙන්ම පරාජයවී දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියත් ඔවුන්ට අහිමිවී ඒලීගේ පුතුන් දෙදෙනාද මිය යන ලදි.

1 සාමුවෙල් 4:17-18
[17] පණිවිඩකාරයා උත්තර දෙමින්: ඉශ්‍රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගියෝය, සෙනඟ අතරේ මහත් නාස්තියක්ද වුණේය, ඔබගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නීද පීනෙහාස්ද මළෝය, දෙවියන්වහන්සේගේ පෙට්ටියත් අසුවුණායයි කීවේය.
[18] ඔහු දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගැන සඳහන්කළ විට, ඒලී හුනස්නෙන් දොරටුව සමීපයෙහි පස්සට වැටී බෙල්ල කැඩී මළේය. මක්නිසාද ඔහු මහලු මනුෂ්‍යයෙක්ව බරව සිටියේය. ඔහු සතළිස් අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.

ඒලීගේ වංශය දෙවියන්වහන්සේ කියූ පරිදි සම්පූර්ණයෙන්ම නැතිවුණි.
දෙවියන්වහන්සේට අවශ්‍යවූයේ උන්වහන්සේගේ හදවතට සමීප, උන්වහන්සේට කීකරු සෙනඟට මෙහෙකලහැකි අනාගතවක්තෘ කෙනෙක්ය.

1 සාමුවෙල් 1:4-5
[4] එල්කානා පූජාකරන දවස පැමිණි කල තමාගේ භාර්යාවවූ පෙනින්නාටත් ඇගේ සියලු පුත්‍රයන්ටත් දූවරුන්ටත් කොටස් දුන්නේය. [5] නුමුත් හන්නාට ඔහු දෙකොටසක් දුන්නේය. මක්නිසාද ඔහු හන්නාට ආදරේව සිටියේය, නුමුත් ස්වාමීන්වහන්සේ විසින් ඇගේ ගර්භය පියවා තිබුණේය.

හන්නාට තිබූ ප‍්‍රශ්නය ඇයට දරුවන් නොසිටීමයි. ඇය එයින් මහත් වේදනාවකින් පෙළුණි. පීඩා පැමිණෙන්නේ මනුෂ්‍යයන් තුළිණි.

1 සාමුවෙල් 1:6-7
[6] ස්වාමීන්වහන්සේ විසින් ඇගේ ගර්භය පියවනලද බැවින් ඇගේ සැතිරී ඈ කෝපකරන පිණිස ඈට බොහෝසෙයින් තරහ ඉපදෙවූවාය.
සැතිරී=විරුද්ධකාරී, විරද්ධ සතුරා, දුක් වේදනා, පීඩා, කරදර. ඇය වඳව සිටි නිසා

කෝපකරන පිණිස= වධ දුන්නා, දැඩි ලෙස නින්දා අපහාස කළා, ලැජ්ජාවට, හෙළා දමන්න, සුළු කළා, කොන් කළා, තනිවුණා,

[7] ඔහු අවුරුද්දෙන් අවුරුද්ද එසේ කෙළේය. ඈ ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගිය ප්‍රස්තාවලදී ඒ තැනැත්තී එසේ ඈට තරහ ඉපදෙවූවාය; ඒ නිසා ඈ කෑම නොකා අඬමින් සිටියාය.

පෙනින්නා වචන වලින් හන්නාට පීඩා කරන්නට ඇත.

යක්ෂයා නිතර වචන වලින් අපව හසුකරන්නට බලා සිටියි. (හිතෝපදේශ 6:2)

හන්නා සිටියේ නිතරම අඬමින් හා ශෝකයෙන්ය.

1 සාමුවෙල් 1:8
[8] එවිට ඇගේ පුරුෂයාවූ එල්කානා ඈට කථාකොට: හන්නා, නුඹ අඬන්නේ මන්ද? නොකා සිටින්නේ මන්ද? නුඹේ සිත ශෝකව තිබෙන්නෙත් මක්නිසාද? මා පුත්‍රයන් දසදෙනෙකුට වඩා නුඹට හොඳ නැද්දැයි කීවේය.

එලිකානා සැනසුම් බස් දොඩවමින් හන්නා සනසන්නට උත්සාහ කරන ලදි.

1 සාමුවෙල් 1:9
[9] ෂීලෝහිදී ඔවුන් කා බී පසුව හන්නා නැගිට ගියාය. ඒලී පූජකයා ස්වාමීන්වහන්සේගේ මාලිගාවේ උළුවහුකණුව ළඟ තිබුණ තමාගේ ආසනයේ ඉඳගන උන්නේය.

1 සාමුවෙල් 1:10
[10] ඇගේ ආත්මය (ප්‍රාණය/මනස) ශෝකයෙන් පීඩිතවූයේය, ඈ ස්වාමීන් වහන්සේට යාච්ඤාකරමින් අඬ අඬා සිටියාය.

හන්නාගේ යාච්ඤාවට පිළිතුරු අප ඉදිරි සතියේ බලමු.


Watch the Sermon Video

Read 47 times