+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ගැළවීම ලබාගත් පසු අපි ආත්මිකව වර්ධනය වෙමු - යෝෂා මනූ
January 16, 2022 Sunday Sermon Notes

 

ගැළවීම යනු කුමක්ද, ඒ ගැන අපට හොඳ දැනගැන්මක් තිබිය යුතුයි.

ගැළවීම අපගේ ජීවිතයේ මුල් පියවරයි. අපගේ ඇදහිල්ලේ ආරම්භයයි, අත්තිවාරමයි. ඉන්පසු අපි දිනපතා අපගේ ආත්මික වර්ධනයක් ඇති විය යුතුයි.

යමෙකු ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු නව මැවිල්ලක්. නව මැවිල්ල තුළ අයිති දේවල්, උරුම කර ගත යුතු පොරොන්දු, සුවයෙන් ජීවත් වීම, ජයග්‍රාහී ලෙස ජීවත් වීම යන මේවා අපි දැන ගැනීම වැදගත්.

අපි ශුභාරංචිය අසා ගැළවීම ලබා ගැනීම ඉතා පහසු වූවත් ඒ තුළ පැවතීම, ස්ථීරව සිටීම, යහපත උරුම කර ගැනීමද දේව දරුවෙකු මෙන් ජීවත් වීමද ඒ හා සමානව අත්‍යවශ්‍ය වේ.

සමහර අය මේ පළමු පියවරේ සදාකාල ජීවනය ලබා, ස්වර්ගීය පුරවැසියකු වූවා නමුත් එතැනින් පසු තමා වර්ධනය වී නැත.

ගැළවීම යනු සදාකාල ජීවනය ලබා ගැනීම පමණක් නොවේ.

යේසුස්වහන්සේ පැවසුවේ අපි ශුභාරංචිය බෙදා ගෙන ගැළවීම ලබාගත් අයව ගෝලයන් බවට පත් කළ යුතු බවයි.

අපි දිනපතා ගන්නා ආහාර වේලටත් වඩා වැඩියෙන් මේ වචනයේ පෝෂණය ලබා ගැනීම වැදගත්.

ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය නිතර නිතර ඇසීමෙන්. රෝම 10:17

දේව වචනයේ දේශනා අසන්නට, මෙනෙහි කරන්නට අප තුළ පිපාසක් තිබිය යුතුයි. ඊට අමතරව අපි හොඳ ඇදහිල්ලේ ආත්මික පොත් කියවන්න අවශ්‍යයයි.

අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ නව මැවිල්ලක් වී සිටින බැවින් දැන් අපි සම්පූර්ණකම තුළ ජීවත් වෙමු. අපි සම්පූර්ණයෙන්ම සුවය ලබා සිටිනවා, ජයග්‍රහණය ලබා තිබෙනවා,  සම්පූර්ණයෙන්ම නිදහස් වී සිටිනවා, දෙවියන්වහන්සේගේ සියලුම ආත්මික ආශීර්වාද වලින් ආශීර්වාද ලබා සිටිනවා. 

මේ සම්පූර්ණත්වය තුළ ජීවත් වීම  වැදගත්. 

ගැළවීම ලබාගත් පසු නැවත පාපයේ ජීවත් නොවී සිටිමු. කිතුනුවන් පාපයේ ජීවත් වූයේ නැති වුණත් කනස්සලුභාවයෙන් ජීවත් වෙති. කනස්සලු වීම පාපයක්. යේසුස්වහන්සේ මතෙව් 6 පරිච්ඡේදයේ 6:25-34 දක්වා අපට පවසා තිබෙන්නේ කනස්සලු නොවී සිටින්න කියාය.

පළමුකොට දේව රාජ්‍යය සොයමු. ස්වාමීන්වහන්සේ සමඟ සම්බන්ධකමක් ඇතුව ගමන් කරමු.

දෙවියන්වහන්සේ අපට පොරොන්දු දේශයට කැඳවා තිබෙන නමුත් බොහෝදෙනා පොරොන්දු දේශය අත්පත් නොකර සිරකරුවෝ මෙන් ජීවත්ව සිටිති. 

අපි යේසුස්වහන්සේගේ බැටළුවන් ලෙස නිදහසේ හෝ බන්ධනයේ සිටිය හැකිය. 

සමහර අය පොරොන්දු දේශයේ සිටියත් ඔවුන්  පොරොන්දු උරුම නොකර ගන්නේ සත්‍යය තුළ නොපවතින නිසාය.

තවත් සමහරුන් සිත් වේදනා ඇතිවීම නිසා අමනාප ඇතිකර ගනිමින් පැකිලීමට ලක් වෙති. ඔවුන් සමාව නොදීම නිසා ලෙඩ රෝග වලට ගොදුරු වී සිටිනවා. 

ක්‍රිස්තුස්වහන්සේ අපට කමාව දුන්සේම අපි අනික් අයට සමාව දෙමු.

තවත් කොට්ඨාසයක් තමාගේ මාංශික තෘෂ්ණාවන් සංසිඳුවා ගැනීම නිසා දේව කැමැත්ත නොකර සිටී. එවිට ඒ අයත් යක්ෂයාගේ හස්තයට යටවී, බන්ධන වලට කොටුවී සිරගතවී ජීවත් වෙති.

නමුත් එසේ යක්ෂයාගේ බලකොටු වලට ලක්වී සිටින්නට ඕනෑ නැත. කෙනෙකු අද දවසේ තීරණ කරගතහොත් එයින් නිදහස් වෙන්නට කැමති බව, ඔහු යේසුස්වහන්සේට තමාගේ ජීවිතය භාර කිරීමෙන් නිදහස ලබා ගත හැකියි. 

මුදලට ආශාවීම හෝ රූප වන්දනාවත් මනුෂ්‍යයන් බඳවා තබන තවත් දෙයකි. මනුෂ්‍යයා සඵල වීම, දියුණු වීම, සාර්ථකභාවයෙන් හා ආශීර්වාදයෙන් ජීවත් වීම දේව කැමැත්තයි.   

නමුත් මුදලට තෘෂ්ණාවන් ඇති කරගෙන ජීවත් වීමෙන් බන්ධනයට හසුවන්නේය.

අවිශ්වාසය නැතහොත් විශ්වාස නොකිරීම. දෙවියන්වහන්සේගේ දේවල් විශ්වාස කරන්නට කිසි ඇදහිල්ලක් නොමැති වීම. නිතරම සැක කරමින් ජීවත් වෙති.

ඊශ්‍රායල් සෙනඟ පොරොන්දු දේශයට ඇතුල් නොවූයේ ඔවුන් දෙවියන්වහන්සේ පැවසූ දේවල්

විශ්වාස නොකළ නිසයි. 

දෙවියන්වහන්සේ මෝසෙස් තුළින් පොරොන්දු දේශය ගැන පැවසූ දේවල් ඊශ්‍රායල් සෙනඟ විශ්වාස කළේ නැහැ. 

උන්වහන්සේ කථාකොට: මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවා ගන්නෙමි, ඔවුන්ගේ කෙළවර කුමක් වන්නේදැයි බලන්නෙමි.  මක්නිසාද ඔව්හු හිතුවක්කාර වංශයක, අවිශ්වාස දරුවෝය. " - (ද්වීතීය කථාව 32:20)

නොඇදහිලිකාරකම යනු තද ගල් සිතක් ඇතුව දෙවියන්වහන්සේ පවසන දේවල් විශ්වාස නොකිරීමයි. 

දෙවියන්වහන්සේ ඔවුන්ට කීවේ මම ඔබව කිරි සහ පැණියෙන් පිරුණු දේශයට ඇතුල් වන්නට කඳවා ඇති බවයි. එනම්: සඵලත්වයෙන් හා සුවයෙන් ජීවත් වෙන පිණිසයි.    

අනුවන දේ පැවසීම නොහොත් වැරදි ප්‍රකාශ කිරීම නිසාත් අපගේ ජීවිතයේ කිසි වෙනසක් ඇති නොවන්නේය. අපගේ කතා විලාශය, වචන සහ ව්‍යවාහරය අපි වෙනස් කර ගමු. 

දේව වචනය මෙනෙහි කිරීමෙන් අපගේ මනස වෙනස් කර ගමු. එවිට අපගේ ව්‍යවාහරය වෙනස් කර ගන්නට පුලුවන් වේ.

දැනගැන්ම ප්‍රතික්ෂේප කිරීමට තෝරා ගැනීම නිසා 

දැනගැන්ම නැතිවීම. 

මේ ජීවිත ගමන අපට දෙවියන්වහන්සේගේ වචනය නොමැතිව ජීවත් විය නොහැකියි. 

හොෂෙයා 4:6 මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමෙන් නාස්තිවී සිටිති. නුඹ දැනගැන්ම එපාකළ නිසා මට පූජකකම්කිරීමෙන් මමත් නුඹ එපාකරන්නෙමි. නුඹ නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව මතකනැතිකළ නිසා මමත් නුඹේ දරුවන් මතක නැතිකරන්නෙමි.

දෙවියන්වහන්සේගේ කැමැත්ත වන්නේ අපට උන්වහන්සේ ගැන උගන්වන්නයි. උන්වහන්සේගේ යහපත් දේවල් උගන්වන්නයි.

හොෂෙයා 6:6

මම පූජාවට නොව කරුණාවටත් දවන පූජාවලට වඩා දෙවියන්වහන්සේ ඇඳිනගැන්මටත් කැමැත්තෙමි. 

අපි දෙවියන්වහන්සේට අපගේ දසයෙන් කොටස්, දීමනා සහ  පඬුරු අතපසු නොකර ගෙන එන නමුත් උන්වහන්සේ පවසන්නේ ඒ දේවල්වලට වඩා අපි උන්වහන්සේව දැන හැඳින ගැනීම උන්වහන්සේගේ කැමැත්තයි.

අපගේ ස්වාමීන් මෘදුයි, කරුණාවන්තයි, විශ්වාසවන්තයි, ප්‍රේමෙන් පූර්ණයි, බොරු නොකියන තැනනවහන්සේය. උන්වහන්සේට අවශ්‍ය කරන්නේ අපි මේ චරිත ගුණාංග ඇති දෙවියන්වහන්සේව දැන හඳුනා ගැනීමයි. 

උන්වහන්සේට කැමති වන්නේ අපගේ හදවත සතු කර ගන්නයි.

අපගේ ඇදහිල්ල කිසිවක් ප්‍රකාශ නොකළහොත් අපට කිසිවක් නොලැබෙන්නේය.

අපගේ ඇදහිල්ල අපි ක්‍රියාවට නංවමු. අපගේ ජීවිතයේ යහපත් දේවල් එල්ල කරගමු.

උන්වහන්සේට පුලුවන් වූවොත් අපගේ හදවත සතු කර ගන්න, එවිට උන්වහන්සේට අපගේ ජීවිතයේ බලවත් දේවල් කළ හැකියි.

උන්වහන්සේ අපගේ ජීවිතයේ යහපත් දෙයක් ආරම්භ කළා. ඒ යහපත් දේ අවසන් කරන්නට උන්වහන්සේ විශ්වාසවන්තව අප සමගම ගමන් කරන්නට අප තුළම සිටිනසේක.
Watch the Sermon Video

Read 478 times