+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව වචනයෙන් අපට අනුශාසනා කිහිපයක් - මනූ මැතානි
January 15, 2023 Sunday Sermon Notes

මතෙව් 7:21-23
ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය.

මෙහි සඳහන් වන්නේ ගැළවීම නැතිකර ගත් අය ගැන නොව, ගැළවීම තුළ නොසිටි අය ගැනය. එනම් යේසුස්වහන්සේ හඳුනා නොගත් අයය.

ස්වාමීන්වහන්සේ සමඟ සහභාගිකමෙන් ඈත්වීමෙන් ගැළවීම නැතිවන්නේ නැත. ඒ අයට අසීරු තත්වයන්ට මුහුණ පෑමට සිදුවේ. නමුත් ඔවුන්ට නැවත එම තත්වයෙන් මිදිය හැකිය.

1 යොහන් 1:6
අපි උන්වහන්සේ සමඟ පංගුකාරකම ඇතැයි කියමින් අන්ධකාරයෙහි හැසිරෙමුනම්, අපි බොරු කියනවා මිස සැබෑව නොකරමුව.

අප එයින් මිදීමට පසුතැවිලි විය යුතුය.

1 යොහන් 1:7
නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය.

උන්වහන්සේගේ ලේ වලින් අපට ආරක්ෂාව ඇත. අප උන්වහන්සේ සමඟ සහභාගිකම් පැවැත්වීමෙන් අපට උන්වහන්සේ සමඟ පංගුකාරකම ඇත. එම පංගුකාරකමෙන් අප තුළ ආලෝකය ඇත.

1 යොහන් 1:8
අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටාගනිමුව, සැබෑවද අප තුළ නැත.

සතුරාට අපව රැවටීමට පුළුවන. අප පාපයක් කරත් පාපයක් කළේ නැතැයි කියාත්, දෙවියන්වහන්ස් ඉදිරියේ පසුතැවිලි වියයුතු නැතැයි කියාද අපට අඟවයි. එයින් රැවටෙන්නේ අපමය.

අප පාපයක් කළ බව දන්නේ නම් එය දෙවියන්වහන්සේ ඉදිරියේ කියාදී පසුතැවිලිව අප එයින් මිදිය යුතුය.

අප ආත්මික මනුෂ්‍යයන් වුවත් මේ පොළොවේ ජීවත්වන කාලය තුළ අපට දෙවියන්වහන්සේ දී තිබෙන මේ ශරීරය තුළයි ජීවත් වන්නේ. අප ජීවත් වන තුරු අපගේ මනසත්, ශරීරයත් සමඟ අප ගමන් කළ යුතුව ඇත. එහෙයින් අප අපගේ ශරීරය දමනය කරගත යුතුය.

1 කොරින්ති 9:27
නුමුත් මාගේ ශරීරය දමනයකර වහල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මා මාව එපාකරනු නොලබන පිණිසය.

අප ශරීරය දමනය කරගත යුත්තේ අපගේ වචන වලින් හා කි‍්‍රයාවලින්ය.

දේශනාකාරයාගේ පොත 5:6
නුඹේ මාංසය ලවා පව්කරවන්ට නුඹේ කටට ඉඩනොදෙන්න; ඒක වැරදිල්ලකැයි දේවදූතයා ඉදිරියෙහි නොකියන්න. දෙවියන්වහන්සේ නුඹේ හඬට උදහස්ව නුඹේ අත්වල කර්මාන්තය නාස්ති කරන්ට ඕනෑ මන්ද?

අප කටින් කියන්නාවූ දේවල් අපගේ ශරීරයට විශාල බලපෑමක් ඇති කරයි. එම බලපෑම දෙවියන්වහන්සේගේ වචනයට විරුද්ධව ක‍්‍රියා කරයි.

ඔබගේ මුඛය පාලනය කරගත හැකි නම් ඔබගේ මාර්ගද ඔබට පාලනය කරගත හැකිවේ.

ගීතාවලිය 39:1
මාගේ දිවෙන් පව් නොකරන පිණිස මාගේ හැසිරීම බලාගන්නෙමියි කියාත්, දුෂ්ටයා මා ඉදිරියෙහි සිටින අතර කටකලියාවකින් මාගේ මුඛය රැක ගන්නෙමියි කියාත් කීයෙමි.

මේ පොළොවේ දුෂ්ටකමේ ක්‍රියා කරන යක්ෂයෙකු සිටියි.

බොහෝ වේලාවට අපගේ ජීවිතයට ආශාවන් ඇතිවන්නෙත්, ශරීරයට රෝග ඇතිවන්නෙත්, අප තුළ පාපය සිදුවනනෙත් අප කථාකරන්නාවු වචන වලිනි.

අප වැරදි පුද්ගලයන් හා සම්බන්ධ වී ඒ අය සමඟ කරන සාකච්ඡා හේතුවෙන් සතුරා අපගේ සිතුවිලි දැනගනී. ඒ තුළින් ඔහු අපට පරික්ෂා ගෙන එයි.

ඒ නිසා අපගේ වචන අපි ප්‍රවේසම් කර ගනිමු.

යේසුස්වහන්සේද වචන වලින් ප‍්‍රවේසම් වීම ගැන පවසන ලදි.

මතෙව් 15:16
උන්වහන්සේ කියනසේක්: නුඹලාත් තවම තේරුම් නැතුව සිටින්නහුද?

මතෙව් 15:17
කටට ඇතුල්වෙන සියල්ල බඩට පැමිණ වැසිකිළියට යන බව නුඹලාට තේරෙන්නේ නැද්ද?

මතෙව් 15:18
නුමුත් කටින් පිටවෙන දේ නික්මෙන්නේ සිතින්ය; මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ එයින්ය.

අපවිත‍්‍රවීම යනු: පරාජය, රෝගය, භයානක සිතුවිලි, නපුරු ස්වප්න වැනි දෑ, මේ සියල්ල පැමිණෙන්නේ අප පිටකරන්නාවු වචන නිසාය.

අභක්තිකයන් හා නිතර සබඳතා පවත්වමින් කථා කරන්නාවු වචන වලින් නොදැනුවත්වම අප දේව වචනයට පටහැනි දේ කථා කරයි. එම නිසා අනවශ්‍ය දේ නිකරුනේ දෙඩවීමෙන් වලකින්න.

ගීතාවලිය 39:1
මාගේ දිවෙන් පව් නොකරන පිණිස මාගේ හැසිරීම බලාගන්නෙමියි කියාත්, දුෂ්ටයා මා ඉදිරියෙහි සිටින අතර කටකලියාවකින් මාගේ මුඛය රැක ගන්නෙමියි කියාත් කීයෙමි.

වැරදි වචන කතා කරන අයගෙන් අපි වෙන්වී ඒ අය කතා කරන විලාශයට කතා නොකර සිටිමු. ඒ දේවලට අසු නොවී සිටිමු. එවිට අපගේ ආත්මික ගමන සාර්ථක ලෙස යාමට අපට පුළුවන.

පිලිප්පි 3:20
නුමුත් අපේ නාගරිකත්වය ස්වර්ගයෙහිය; එතැනින් ගැළවුම්කාරයෙක් වන ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එනවා අපි බලා සිටිමුව.

නාගරිකත්වය යනු අපගේ ව්‍යවාහරය නැතහොත් අපගේ කතා විලාශයය. අපි ස්වර්ගීය දේවල් කතා කරමු.

මතෙව් 15:19-20
මක්නිසාද නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් නික්මෙන්නේය. මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ මේ දේවලින්ය. නුමුත් නොසේදූ අත්වලින් කෑවාට මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ නැතැයි කීසේක.

අපගේ මුඛය අපි පාලනය කරගනිමු.

අපගේ විශ්වාස කළ යුතු වන්නේ ස්වර්ගීය වචනයි.

1 යොහන් 1:9
අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක.

ඔබ අතින් වරදක් වී තිබේනම් ඔබ දෝෂාරෝපණයට අසු නොවී එය ස්වාමීන්වහන්සේ ඉදිරියේ කියාදී නිදහස් වන්න.

රෝම 4:25
උන්වහන්සේ වනාහි අපේ වරද නිසා පාවාදෙනු ලැබ, අප ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබීම සඳහා නැගුටුවණු ලැබූසේක.

අපගේ සහෝදරයන් පැකිලීමට පත්වන කාරණා අප නොකළ යුතුය.

අපට අපගේ ජීවිතය ගැන ගණන් දීමක් තිබෙනවා.

ඔබ ශුද්ධව ජීවත් වීම ඉතා වැදගත්ය.

නොසැලකිලිමත් ලෙස අපි ජීවත් නොවිය යුතුයි.

1 යොහන් 1:9
අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක.

මේ පදය සඳහන් කරන්නේ ගැළවීම ලබාගත් අයටයි.
අප පාපයක් කළා නම්, අප එය දෙවියන්වහන්සේ ඉදිරියේ කියාදුන් විට, දෙවියන්වහන්සේ අපගේ පාපයට කමාව දීමට
ධර්මිෂ්ඨව විශ්වාසවන්තව සිටිනසේක.

පවිකාර මනුෂ්‍යයාගේ පාපය ඔවුන් ක‍්‍රිස්තුස්වහන්සේ පිළිනොගැනීමය. ඔවුන්ගේ ගැළවීම එකින් එක පව් කියාදීමක් අවශ්‍ නැත.

ඔවුන් කළ යුත්තේ යේසුස්වහන්සේව තම ස්වාමීන් ලෙස පිළිගෙන, ඔවුන්ගේ පාප සියල්ල ක‍්‍රිස්තුස්වහන්සේ කුරුසපත් කිරීමෙන් දරා ගත් බව විශ්වාස කරමින්, අපගේ ජයග‍්‍රහණය සඳහා උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුණු බව සිතින් අදහා එය ප‍්‍රකාශ කිරීමය.

රෝම 10:9-10
කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය. මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය.

ඔබ තුළ තිබෙන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ස්වභාවයයි.

ඔබ පාපයක් කළොත් ඒ තුළ දෝෂාරෝපණයට පත් වීමට අවශ්‍ය නැත.

ඔබ ස්වාමීන්වහන්සේ එය කියා දී අත්හැර එයින් නිදහස් වන්න.

1 යොහන් 2:1
මාගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව්කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක.

අප අතින් පාපයක් සිදු වුවත් අප එය කියාදෙන කල්හී ක‍්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් මැදහත්කාකම් කරයි.

1 යොහන් 2:2
උන්වහන්සේ අපේ පව් උදෙසාත් මුළු ලෝකයා උදෙසාත් ශාන්තිකර පූජාවය;

යේසුස්වහන්සේ මුළු ලෝකයාගේම පාපය උදෙසා ගෙවීමක් කර හමාරය.

යාකොබ් 5:16
එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි.

සමහර පාප අප කෙනෙකුට විරුද්ධව සඟවා ඇත්නම් අප ඒවා කියදී සමාව ලබා ගැනීමෙන් ශුද්ධාත්මයාණන් තුළින් අපට නිදහස්වී සුවයෙන් සිටිය හැකිය.

දෙවියන්වහන්සේගේ වචනය අපට නිදහස ගෙන දෙයි. ඒ තුළින් අපට උන්වහන්සේගේ සුවයේ කරුණාව ලැබේ.

අප ගමන් කරන්නේ පෙනීමේ හැටියට නොව ඇදහිල්ලෙන්ය.

අපට පෙනෙන හැගෙන සියල්ල විශ්වාස කළ යුතු නැත. සත්‍යතාවේ වචනය විශ්වාස කළ යුතුය.

2 කොරින්ති 5:7
(මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.)

දෙවියන්වහන්සේ අපහට මේ පොළොවේ ජයග‍්‍රාහී ලෙස තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට ඉඩ සලසා ඇත.

අප මරණයට බිය විය යුතු නැත. උන්වහන්සේ අපහට දීර්ඝායුෂ දී ඇත.

ගීතාවලිය 91:16
දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.

මෙය දෙවියන්වහන්සේගේ පොරොන්දුවකි. අප පොරොන්දු විශ්වාස කර ජීවත්විය යුතුය.

යේසුස්වහන්සේ පැවසුවේ ඔබගේ විශ්වාසය ප‍්‍රකාරයට වේවා කියාය.

උන්වහන්සේ කෙරෙහී අදහාගත් අය, විශ්වාස කළ අය උන්වහන්සේ අනුව ගමන් කළ අය සුවය ලබා ගන්නා ලදි.

හැමෝටම වන දේවල් මට වන්නේ නැතැයි ඔබ විශ්වාස කළ යුතුය.

මතෙව් 9:27‭-‬29
යේසුස්වහන්සේ එතැනින් යන කල අන්ධයෝ දෙදෙනෙක්: දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට කරුණාකළ මැනව කියා මොරගසමින් උන්වහන්සේ පස්සේ ගියෝය. උන්වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන්වහන්සේ ළඟට ආවෝය. මට මේක කරන්ට පුළුවන කියා නුඹලා විශ්වාසකරනවාදැයි යේසුස්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. එසේය, ස්වාමිනියි ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අතගා: නුඹලාගේ විශ්වාසයේ ප්‍රකාරයට නුඹලාට වේවයි කීසේක.

යමෙකු ඔබට යහපතක් කළේ නම් දෙවියන්වහන්සේට ස්තුති දෙමින් එය ලබා ගත යුතුය. එය ප‍්‍රතික්ෂේප කිරීමෙන් වලකින්න.

1 තෙසලෝනික 5:18
සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.

කිසිවක් බලාපොරොත්තුවෙන් මා දෙවියන්වහන්සේට යමක් කරනවායැයි නොපවසන්න. මන්ද දෙවියන්වහන්සේ ණයකාරයෙකු නොවේය. අප දෙන සියල්ලක්ම බීජයක් ලෙස උන්වහන්සේට දෙන්නෙමු. එයට උන්වහන්සේ සිය ගුණයක අස්වැන්නක් නැවත ඔබට ලබා දෙනු ඇත.

ලූක් 6:38
දෙන්න, එවිට නුඹලාටත් දෙනු ලැබෙන්නේය; ඔව්හු (මනුෂ්‍යයන්) ඔබමින් සොලවමින් උතුරුවමින් නුඹලාගේ ඔඩොක්කුවලට හොඳාකාර මැනදෙන්නෝය. මක්නිසාද නුඹලා යම් මිම්මකින් මැනදෙන්නහුද එයින්ම නැවත නුඹලාටත් මැනදෙනු ලැබෙන්නේයයි කීසේක

ඔවුහු යන්නෙන් අදහස් කරන්නේ මනුෂ්‍යයන්ය. දෙවියන්වහන්සේට ඔබට යමක් දීමට අවශ්‍යය නම් උන්වහන්සේ පාවිච්චි කරන්නේ මනුෂ්‍යයන්ය. ඔබ එම මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන්න.

එය ඔබට අස්වැන්නකි. දෙන කෙනාට බීජයකි.

යෙසායා 55:10
එලෙස වැස්ස සහ හිම අහසෙන් බැස පොළොව පොඟවා සශ්‍රීකකර, ඵල හටගන්වා, වපුරන්නාට බීජද කන්නාට කෑමද දෙන තුරු එහි හැරී නොයන්නාක්මෙන්,

ඔබට ලැබෙන්නාවු දෙය ඔබ ස්තූති පූර්වකව ගෙන එය භුක්ති විඳින අතර ඔබ සිතින් නියම කරගෙන එයින් කොටසක් ඔබද බීජයක් කොට වැපිරීමෙන් එය ඔබට ආශීර්වාදයක් වනු ඇත.

1 රාජාවලිය 17:2‭-‬4
ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ: මෙතැනින් පිටත්ව පූර්ව දිශාවට ගොස් යොර්දාන් ඉදිරිපිට තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටින්න. 4
ඒ ඔයෙන් නුඹට බොන්නට පුළුවන; එහිදී නුඹට කෑම දෙන්ට කපුටුවන්ට මම අණකෙළෙමියි කීසේක.

කපුටා යනු දෙවියන්වහන්සේ ඔබ වෙනුවෙන් පත් කළ ලෞකික මනුෂ්‍යයෙක් විය හැක.

ලෞකික මනුෂ්‍යයන් තුළින් සමහර විට ඔබට උසස්වීම්, වැටුප් වැඩිවීම් ලැබිය හැකිය.

ඔබට ආශීර්වාද කිරීමට දෙවියන්වහන්සේට විවිධාකාර මාර්ග ඇත. ඔබ දෙවියන්වහන්සේ පාවිච්චි කරන මාර්ගයට අවනත විය යුතුය.

දෙවියන්වහන්සේ කෙනෙකුට අණ කර තිබේනම් ඔබට ආශීර්වාදයක් දීමට එය කිසි කෙනෙකුට වැලැක්විය නොහැක.

1 රාජාවලිය 17:8‭-‬9
ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ: නුඹ පිටත්වී ශීදොන්ට අයිති ශාරෙපත්ට ගොස් එහි වාසයකරන්න. නුඹට ආහාර දෙන්ට එහි සිටින වැන්දඹු ස්ත්‍රියෙකට අණකෙළෙමියි කීසේක.

දෙවියන්වහන්සේ එම ස්ත‍්‍රියට අණ කළේ එලියා තුළින් උන්වහන්සේගේ ක‍්‍රියා ඇය දැන ගන්නා පිනිසත්, උන්වහන්සේගේ කාර්ය ඉටු කරගන්නා පිණිසත්ය.

දෙවියන්වහන්සේ ඔබට යමක් දෙනවානම් එයට කොන්දේසි දමන්නේ නැත. කොන්දේසි සහිතව යමෙක් ඔබට දෙයක් දෙන්නේ නම් එය භාර නොගන්න.

සඵලත්වය දෙන දෙවියන්වහන්සේ එයට දුක එකතු නොකරන සේක. (හිතෝපදේශ 10:22)

නෙහෙමියා 2:18‭-‬19
මාගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබෙන බවද රජු මට කී වචන ගැනද ඔවුන්ට දැන්වීමි. ඔව්හුද: අපි නැගිට ගොඩනගමුයයි කීවෝය. මෙසේ ඔව්හු ඒ යහපත් වැඩේ සඳහා තමුන්ගේ අත් සවිකර ගත්තෝය. නුමුත් හොරොනිය සන්බලට්ද සේවකයාවූ අම්මොනිය ටෝබියාද අරාබිය ගෙෂෙම්ද ඒ අසා අපට කවටකම්කර අප හෙළාදැක: නුඹලා කරන මේ දෙය මොකද? නුඹලා රජුට විරුද්ධව කැරළිගසන්ට යනවාදැයි කීවෝය.

ස්වර්ගීය දෙවියන්වහන්සේ අපේ කාරණා සඵල කරනු ඇත.

නෙහෙමියා 2:20
එවිට මම ඔවුන්ට උත්තරදෙමින්: ස්වර්ගයේ දෙවියන්වහන්සේම අපේ කාරණය සඵලකරනවා ඇත; එබැවින් උන්වහන්සේගේ සේවකයෝවූ අපි නැගිට ගොඩනගන්නෙමුව. නුමුත් නුඹලාට යෙරුසලමෙහි කිසි කොටසක් හෝ අයිතිවාසිකමක්වත් සිහිවීමේ ලකුණක්වත් නැතැයි කීවෙමි.

ඔබ සාර්ථක වෙන්ටත් ඵල දරන්ටත් අවශ්‍ය නම්, ඔබගේ වචන ගැන ප‍්‍රවේසම් වන්න.


Watch the Sermon Video

Read 371 times