+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේ පැවසුවේ "මාගේ නාමයෙන්"     - යෝෂා මනූ
January 22, 2023 Sunday Sermon Notes

 

දෙවියන්වහන්සේ සත්‍යයි, ධර්මිෂ්ඨයි.

දෙවියන්වහන්සේ තුළ ජීවත්වන්නාවු අයද සත්‍යතාවෙන් ධර්මිෂ්ඨකමෙන් ජීවත්විය යුතුය. එය දේව කැමැත්තයි.

බොරුවේ පියා යක්ෂයාය. යොහාන් 8:44

අප දෙවියන්වහන්සේගේ දරුවෝ නම්, අප උන්වහන්සේගේ වචනය තුළ උපත ලබා තිබේනම් අප දෙවියන්වහන්සේට අයිතිය. යොහාන් 1:12

අපව ජීවත්කළේ යේසුස්වහන්සේගේ නාමයයි. උන්වහන්සේගේ නාමය තුළ කුණු නොවන්නාවු බීජය තිබේ. නව උපත ලබන්නාවූ කෙනා උපත ලබන්නේ මෙම කුණු නොවන්නාවූ බීජයෙනි.

යේසුස්වහන්සේගේ නාමයෙන් අපට ජීවනය ගෙන දුන්නේ මේ පොළොවේ රජකම් කරන පිණිසය.

අපි ධර්මිෂ්ඨකම නමැති දීමනාවෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ ජීවනයෙහි රජකම් කරන්නෙමු.

රෝම 5:21
නුමුත් පාපය මරණයෙහි රජකම්කළාක්මෙන්ම අනුග්‍රහය සදාකාල ජීවනය සඳහා අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ධර්මිෂ්ඨකමෙන් රජකම්කරන පිණිස, පාපය බොහෝ වූ තැන අනුග්‍රහය ඊට වඩා අධික වූයේය.

දෙවියන්වහන්සේ අපව මුදවා ගත්තේ අන්ධකාර බලයෙනි. කොලෙස්සි 1:13

වහලුන්ව මිලයක් ගෙවා රැගෙන යනවා සේ යෙසුස්වහන්සේ අප උදෙසා මිලයක් ගෙවන ලදි. උන්වහන්සේ එම මිලය ගෙවන ලද්දේ උන්වහන්සේගේ ලේ වැගිරීමෙනි.

රජකම් කරනවා යනු අපගේ ජීවිතය යක්ෂයාට පාලනය කිරීමට ඉඩ නොදී ජයග‍්‍රාහිකව ජීවත්වීමය.

යේසුස්වහන්සේ අපව මුදවා ගත්තේ වහල්භාවයෙන් නිදහස්වීමටයි. ගලාති 5:1
එම නිසා නැවත වහල්භාවයට ඇතුල් නොවන්න. වහල්භාවයට ඇතුල් වන්නේ යක්ෂයාට ඉඩ දීමෙනි.

යක්ෂයාට ඉඩ දෙන්නේ අප අසන්නාවු දේ වලින්, සිතුවිලි වලින් හා අප කථා කරන වචන වලිනි.

යක්ෂයා මුළා කරන්නෙක්, ඔහු පැමිණෙන්නේ මනුෂ්‍යයාගෙන් සොරකම් කරන්ට, විනාශ කරන්ට හා මරන්නටය. ඔහු එය කරනුයේ ටිකෙන් ටිකය.

අප යේසුස්වහන්සේ තුළ සිටිනවානම් අත්ත මිදිවැලට සමිබන්ධව තිබෙන්නාක් මෙන් අපද යේසුස්වහන්සේගේ ජීවනය නැමැති ගසට සමබන්ධව සිටිය යුතුය. යොහන් 15:1-5

ඔබ මෙතරම් කලක් රෝගීව, භියව, පරාජිත සිතුවිලි ඇතුව සිටියානම් යේසුස්වහන්සේ තුළ නව උපතින් ලබා ගත් ජීවනයෙන් එම රෝග, බිය, පරාජිතභාවය ජයගන්න. ජීවනයේ රජකම් කරන්න.

ඔබ සිංහයෙකු මෙන් නිර්භීතවන්න. අපව ක‍්‍රිස්තුස්වහන්සේ තුළ රාජාළීන් මෙන් උසස් ස්ථානවලට ඔසවා ඇත.

කොලොස්සි 3:1
අප උසස් ස්ථානයේ තිබෙන දේ සෙවිය යුතුය.

අපට උපස්ථාන කිරීමට යේසුස්වහන්සේ අප මධ්‍යයේ සිටිනසේක.

මතෙව් 18:20
මක්නිසාද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමියි කීසේක.

මෙහිදී යේසුස්වහන්සේ මාගේ නාමයෙන් යැයි පවසයි.

බොහෝ අවස්ථාවලදී උන්වහන්සේ මෙලෙස මාගේ නාමයෙන්යැයි පවසයි.

1 යොහන් 5:13
දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහන්නාවූ නුඹලාට මේ දේ මා ලියා එවුවේ නුඹලාට සදාකාල ජීවනය ඇති බව නුඹලා දැනගන්නා පිණිසය.

සදාකාල වචනය ඔබ තුළ ඇත්නම් කිසි කෙනෙකුට ඔබව රැවටීමට නොහැකිය.
දෙවියන්වහන්සේගේ පුත‍්‍රයාගේ නාමය අප අදහාගත් නිසා අපට සදාකාල ජීවනය හිමිවූයේය.

මේ ගමන පෙනීමේ ගමනක් නොවේ 2 කොරින්ති 5:7
අප පෙනීමේ ගමනකට සීමා විය යුතු නැත.

ඔබට පෙනෙන දේ තාවකාලිකය.

නොපෙනෙන දෙවියන්වහන්සේට සේවය කරමින් අප මේ ගමන ගමන් කළ යුතුය.

යේසුස්වහන්සේගේ නාමය තුළ අපට බොහෝ ආශීර්වාද ඇත.

අප යේසුස්වහන්සේව පිළිගත් දවසේ අප දෙවියන්වහන්සේගේ දරුවන්වූ නිසා යේසුස්වහන්සේ අපට උන්වහන්සේගේ නාමය භාවිතා කිරීමට නීත්‍යානුකූල අයිතිය ලබා දී ඇත.

ඒ නිසයි අපගේ යාච්ඤාව මුළුමනින්ම නීතිමය පදනමක් මත රැඳී තිබෙන්නේ.

නව ගිවිසුම තුළින් මේ නාමය තුළ සඟවා ඇති බොහෝ උරුම දේ අප අත්පත් කර ගත යුතුය.

අපි නව ගිවිසුම තුළ අපගේ වරප්‍රසාදයත් අයිතිවාසිකමත් ලබා ගෙන යේසුස්වහන්සේගේ නාමය භාවිතා කරමින් යාච්ඤා කරමු.

යේසුස්වහන්සේ උන්වහන්සේගේ සභාවට මේ නාමයේ අයිතිය දී ඇත.

යේසුස්වහන්සේ සභාවේ හිස, අප ශරීරයයි. හිස දරණ නාමයම ශරීරයත් දරයි.

යොහන් 14:13‭
ඔබ මාගේ නාමයෙන් ඉල්ලන කොයි දෙයක් වුවත්, පුත්‍රයා තුළ පියාණන්වහන්සේ මහිමය ලබන පිණිස මම ඒක ඉෂ්ටකරන්නෙමි.

මාගේ නාමයෙන් - උන්වහන්සේගේ නාමයෙන් ඉපදුන නිසා අපට එම අයිතිය ඇත.

යේසුස්වහන්සේගේ නාමයෙන් අප ලැබිය යුතු දේ අපට ලැබී හමාරය. අපට ඇත්තේ එය අත්පත් කර ගැනීමය.

අප ලබා ගන්නා දෙයින් පියාණන්වහන්සේට මහිමය ගෙන දෙයි.

යොහන් 14:14
ඔබ විසින් මාගේ නාමයෙන් කොයි දෙයක් ඉල්ලුවත්, මම ඒක ඉෂ්ටකරන්නෙමි.

උන්වහන්සේ පැවසූදේ නැවත වාරයක් උන්වහන්සේ තහවුරු කරයි.

යොහන් 15:16
ඔබ මා තෝරාගත්තා නොව මම ඔබව තෝරාගෙන පත්කෙළෙමි. එසේ කළේ ඔබ ගොස් ඵල දරන පිණිසත් ඔබගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් ඔබ ඉල්ලන කොයි දෙයක් නුමුත් උන්වහන්සේ ඔබට දෙන පිණිසත්ය.

දෙවියන්වහන්සේ මට සෑම ආශීර්වාදයක්ම දෙන දෙවියන්වහන්සේය.

මෙහි කොන්දේසිය: ඔබ මා තෝරාගත්තා නොව, මා ඔබ තෝරා ගත්තෙමි. එසේ කළේ අප ඵල දරන පිණිසය.

ඵල දරනවා යනු මනුෂ්‍යයන් වෙතට ගොස් අපගේ සාක්ෂිය පවසන විට අපගේ ජීවිතය දෙස බලා ඔවුන් එය පිළිගැනීමය.

එමෙන්ම අප ආත්මික ඵලද දැරිය යුතුය. ගලාති 5:22

යොහන් 14-17 පරිච්ඡේද තුළ යොහන් යේසුස්වහන්සේගේ අගනා පුදුමාකාර ඉගැන්වීම් සඳහන් කර ඇත.

යොහන් 16:23‭
ඒ දවසේදී ඔබ මාගෙන් කිසිවක් අසන්නේ නැත. සැබැවක් සැබැවක් ඔබට කියමි–පියාණන්වහන්සේගෙන් ඔබ යමක් ඉල්ලුවොත්, උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ ඔබට දෙනසේක.

සැබෑවක් සැබෑවක් යන්නෙන් කීවේ උන්වහන්සේ පැවසූදේ සනාථ කරන පිණිසයි.

යොහන් 16:24
මේ දක්වා මාගේ නාමයෙන් ඔබ කිසිවක් ඉල්ලුවේ නැත. ඔබගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිස ඉල්ලන්න, එවිට ඔබට ලැබෙන්නේය.

අප ඉල්ලන දේ උන්වහන්සේගේ වේලාවට උන්වහන්සේ නිසැකයෙන්ම අපට ලබා දෙනු ඇත.

යොහන් 16:26
ඒ දවසේදී මාගේ නාමයෙන් ඔබ ඉල්ලන්නහුය. ඔබ උදෙසා පියාණන්වහන්සේට යාච්ඤාකරන්නෙමියි නොකියමි;

ඔබගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට පවසා එය ලැබෙන තුරු ලැබුණේ යැයි අදහා ලැබෙන තුරු දෙවියන්වහන්සේට ස්තූති කරන්න.

මතෙව් 7:21‭-‬23
ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය. ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකීයෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.

දෙවියන්වහන්සේ සමඟ කිසිඳු සම්බන්ධකමක් නොමැතිව දෙවියන්වහන්සේගේ පවුල තුළ නැවත ඉපද නොමැතිව යේසුස්වහන්සේගේ නාමය පාවිච්චි කලායයි කීවාට කිසිවක් හිමි නොවේ.

මම "ක‍්‍රිස්තුස්ය" කියමින් මුළාවේ ආත්ම පාවිච්චි කරන්නේද යේසුස්වහන්සේගේ නාමයයි.

මතෙව් 24:4‭-‬5
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: කිසිවෙක් නුඹලා මුළා නොකරන ලෙස බලාගන්න. මක්නිසාද බොහෝ දෙනෙක්: මම ක්‍රිස්තුස්ය කියා මාගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු මුළා කරන්නෝය.

මාර්ක් 13:6
බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් ඇවිත්-මම ඒ තැනන්වහන්සේය කියා බොහෝ දෙනෙක් මුළාකරන්නෝය.

ලූක් 21:8
උන්වහන්සේ කියනසේක්: මුළා නොවෙන්ට බලාගන්න. මක්නිසාද මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඇවිත්–ඒ මමය කියාත් කාලය ළඟය කියාත් කියන්නෝය. ඔවුන් පස්සේ නොයන්න.

යේසුස්වහන්සේ පවසන්නේ ඔවුන්ට මුළා නොවී ඔවුන්ගේ ඵල වලින් ඔවුන් හඳුනා ගන්න කියාය.

ස්කෙවා නම් යුදෙව්වෙකුගේ පුත්‍රයන් මෙසේ යේසුස්වහන්සේගේ නාමය පාවිච්චි කිරීමට ගොස් නපුරු ආත්ම වැසී සිටි මනුෂ්‍යයා ඔවුන් දමනය කොට පරදවා තුවාල කොට නිර්වස්ත‍්‍රව පලා යාමට සලස්වන ලදි.

මන්ද ඔවුන් එම නාමය තුළ සිටින තැනැන්වහන්සේව දැන සිටියේ නැත.

ඔබ තුළ තිබෙන එළිදරව්ව කුමක්ද කියා යක්ෂයා දනී.

ක්‍රියා 19:13-17‭
නුමුත් තැනින් තැන සංචාරණය කරන යකදුරුවූ යුදෙව්වරුන්ගෙන් සමහරුත් නපුරු ආත්ම වැහී සිටි අයයින් කෙරෙහි ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමය කියන්ට පටන්ගෙන: පාවුල් දේශනාකරන්නාවූ යේසුස්වහන්සේගේ නාමයෙන් නුඹලාට අණකරමියි කීවෝය.

14 ප්‍රධාන පූජකයෙක්වූ ස්කෙවා නම් යුදෙව්වෙකුගේ පුත්‍රයන් සත් දෙනෙක් මෙසේ කළෝය.
15 නුමුත් නපුරු ආත්මය උත්තරදෙමින්: යේසුස්වහන්සේ අඳුනමි, පාවුල්ද දනිමි; නුමුත් නුඹලා කවුරුදැයි ඔවුන්ට කීවේය.
16 නපුරු ආත්මය වැහී සිටි මනුෂ්‍යයා ඔවුන් පිටට පැනනැගී දෙදෙනාම දමනයකොට, ඔවුන් පරදවාදැම්මේය, මෙසේ ඔව්හු නිර්වස්ත්‍රව, තුවාලවී, ඒ ගෙයින් පලා ගියෝය. 17 මෙය එපීසයෙහි විසූ සියලු යුදෙව්වරුන්ටද ග්‍රීක්වරුන්ටද දැනගන්ට ලැබුණේය; ඔවුන් සියල්ලන් කෙරෙහි භයක් පැමුණුණේය, ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයටද ගෞරව පැමුණුණේය.

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේගේ නාමය පාවිච්චි කිරීමට බලය දී තිබෙන්නේ උන්වහන්සේගේ දරුවන් වන අපටය. අප එම නාමය පාවිච්චි කරමින් අප අපගේ ආශීර්වාදයන්, යාච්ඤාවන්ට පිළිතුරු ලබා ගනිමු.


Watch the Sermon Video

Read 398 times