+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේගේ නාමය දරන ඔබට වචනය නිසා පීඩා පැමිණේ - යෝෂා මනූ
February 26, 2023 Sunday Sermon Notes


යේසුස්වහන්සේගේ නාමයෙන් අපි පීඩා ජයගනිමු.

යේසුස්වහන්සේගේ දේශනා අසන්නට විවිධ ප‍්‍රදේශ වලින් සෙනඟ පැමිණි අතර ඔවුන් දවස, කාලය, කුසගින්න ගැන නොසිතා ඉතා ආසාවෙන් උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු වචනය අසමින් සිටියෝය.

එහෙත් ඔවුන්ව නැවත කුසගින්නෙන් යැවීමට අකමැතිව, පැමිණි සෙනගට යමක් කන්නට දීමෙන් උන්වහන්සේ හාස්කමක් කරනු ලැබුවේය.

දේව වචනය අපගේ ආහාරයයි. මේ ආහාරය ගන්නා විට උන්වහන්සේ අපව ආත්මිකව පෝෂණය කරනු ඇත.

යේසුස්වහන්සේගේ නාමයෙන් අපි පීඩා ජය ගනිමු.

යේසුස්වහන්සේගේ වචන අප ප‍්‍රකාශ කරන විට අප තුළ පුදුමාකාර ජ්වලිතභාවයක් ඇතිවේ.

යේසුස්වහන්සේගේ ජීවත රටාව අප දැන සිටීම ඉතා වැදගත්ය.

බයිබලයේ සඳහන් වන්නේ උන්වහන්සේව හැම ආකාරයකින්ම පරීක්ෂා කරන ලද නමුත් එතුමා පාප රහිතව සිටි බවය.

ඒ නිසයි අප උන්වහන්සේ වෙත දිව යන්නේ. යේසුස්වහන්සේ විවිධාකර පීඩා බාධා මතින් ගමන් කරන ලද්දේය. යක්ෂයා යේසුස්වහන්සේගේ සේවා කාලය නිම කිරීමට ප‍්‍රථමයෙන් උන්වහන්සේව මරණයට පත් කිරීමට තැත් කරනු ලැබූහ.

යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවය තිබූ හෙයින් උන්වහන්සේ ඒ තත්වයන්ගෙන් ජයගත්සේක.

යේසුස්වහන්සේ කුණු නොවෙන්නාවූ බිජයයි.

පළමු මනුෂ්‍යයාවූ ආදම්ට පැමිණි පරීක්ෂා තුළින්ම යේසුස්වහන්සේවත් පරීක්ෂා කරනු ලැබුවා.

නමුත් එතුමාණන් දේව වචනය වන කුණු නොවන බීජයෙන් ඒ සියලු පරීක්ෂා ජය ගෙන දෙවියන්වහන්සේ වෙතට යන මාර්ගය අප වෙනුවෙන් විවෘත කළසේක.

ඒ නිසා පීඩා පැමිණෙන විට මනුෂ්‍යයන් වෙතට නොයන්න නමුත් යේසුස්වහන්සේ වෙතට යන්න.

අපි ජයගන්නාවූ සෙනඟයි. අප ජීවත්වන ශුද්ධවන්තයන් වන්නෙමු. යේසුස්වහන්සේගේ නාමයෙන් අපට නිර්භීතව දේව අභිමුඛයට ඇතුල්විය හැක.

ස්වාමීන්වහන්සේ අපට මහත්සේ ප්‍රේම කරයි. එහෙයින් අප පීඩා මධ්‍යයේ වුවද නොබියව ගමන් කරමු.

දේව වචනයේ පෙන්නුම් කරන්නේ අපට පීඩා ජයගන්නට කියායි.

යේසුස්වහන්සේගේ නාමය දරන අපට පීඩා පැමිණෙන්නේ වචනය නිසාය.

මතෙව් 13:5‭-‬6
සමහරක් වඩා පස් නැති ගල් බිම්වල වැටී, පස් ඝනව නොතිබුණු බැවින් ඒවා වහාම පැළවිය. නුමුත් ඉර උදාවූ කල අව්වෙන් දාලා, මුල් නැති බැවින් වියළී ගියේය.

මාර්ක් 4:5‭-‬6
සමහරක් වඩා පස් නැති ගල් බිමේ වැටී, පස් ඝන නොවූ නිසා වහාම පැළවී, ඉර උදාවූකල අව්වෙන් දාලා, මුල් නැති බැවින් වියළී ගියේය.

බීජය වැටුණු තැන අනුව එහි වර්ධනය තීරණය වනවා මිස එය වපුරන්නාගේ ප‍්‍රශ්ණයක් නොවෙයි.

වචනය මුල් අදින්නට බැරි වන්නේ ගල් සිත නිසයි.
අව් රශ්මිය යනු යක්ෂයාගේ පීඩාවයි. මන්ද යක්ෂයා වචනය මුල් ඇද පැල වුවහොත් අපි ඵල දරන බවත් ඒ ඵල පවතින්නට යන බව දන්නේය.

යක්ෂයා වචනය සොරකම් කිරීමට පැමිණෙන අතර, වචනය නිසා අපට පීඩා පරීක්ෂා ගෙනෙනු ලබයි.

ඔබ මනුෂ්‍යයන්ට පෙනෙන්නට නොව, දෙවියන්වහන්සේ ඉදිරියේ අවංකව වචනය තුළ ජීවත්විය යුතුය. එය ඉතා වැදගත්ය.

ඔබ හරියට මුල් ඇද නොසිටියහොත් යක්ෂයා ප‍්‍රශ්ණ, කරදර, පීඩා ගෙනවිත් ඔබගේ ජීවිතයේ පීඩනයක් ඇති කරනු ඇත.

බාධා පැමිණෙනුයේ සිතුවිලි තුළිනි.

පීඩනය පැමිණෙන්නේ ඔබ වචනය ඇසූ නිසයි. මන්ද යක්ෂයාට අවශ්‍යය ඔබගෙන් වචනය ඉවත් කිරීමටය.

ගල් බිමෙහි වැටුණු බීජවල මුල්හට නොගත් නිසා එම බීජ ඵල දැරුවේ නැත.

ඔබ වචනය තුළ මුල් ඇද ගතහොත්, ඔබ අනිවාර්යයෙන්ම ඵල දරන්නෙක් වනු ඇත. (යොහන් 15:1-16)

ලූක් 8:6
තවත් ඒවා ගල පිට වැටී, පැළවූ කෙණෙහිම, දියසීරාව නැති බැවින් වියළී ගියේය.

ලූක් 8:13
ගල පිට ඒවා නම් වචනය අසා සන්තෝෂයෙන් පිළිගන්න නුමුත්, මුල්නැති බැවින්, කලකට පමණක් අදහා, පරීක්ෂා කාලයෙහි වැටීයන්නෝය.

මතෙව් 13:20‭-‬21
ගල් බිම්වල වපුරනලද්දේ නම්, වචනය අසා එකෙණෙහිම සන්තෝෂයෙන් පිළිගන්න තැනැත්තාය; එහෙත් තමා තුළ මුල් නැති බැවින්, ඔහු මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කෙණෙහිම බාධාවන්නේය.

මාර්ක් 4:16‭-‬17
එසේම ගල්බිම්වල වපුරනලද්දෝ නම්, වචනය ඇසූ කෙණෙහිම ප්‍රීතියෙන් පිළිගන්න නුමුත්, තමුන් තුළ මුල් නැති බැවින් මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කල්හි, එකෙණෙහිම බාධාවන්නෝවෙත්.

යාච්ඤාව යනු අපගේ දෙවියන්වහන්සේ සමඟ අපට තිබෙන සම්බන්ධතාවයයි.

දේව වචනය කුණු නොවන බීජයයි.

අප කුණු නොවන්නාවූ බීජය කරණකොටගෙන අන්ධකාරයෙන් ආලෝකයට පැමිණ ඇති හෙයින් යක්ෂයාට අවශ්‍ය වන්නේ අපව සම්පූර්ණයෙන්ම වචනයෙන් ඉවත් කොට වියලිභාවයට පත් කිරීමටය.

යේසුස්වහන්සේද මෙම පීඩා ගැන පැවසූසේක. අප නිතරම උන්වහන්සේව අපගේ උදාහරණය කර ගත යුතුය.

යොහන් 16:33
මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි යේසුස්වහන්සේ පැවසූසේක.

යේසුස්වහන්සේ අපව ලෝකයෙන් මුදවා ඇති හෙයින් අපි ලෝකයට අයිති නැත.

යේසුස්වහන්සේ මුලු ලෝකයා වෙනුවෙන් තම ජීවිතය පූජා කළද, උන්වහන්සේ යාච්ඤා කළේ ලෝකයෙන් මිදුනාවූ තමාගේම සෙනඟ උදෙසාය.

යේසුස්වහන්සේ තුළ සියල්ල ඇත. උන්වහන්සේ සමාදානයේ කුමාරයාණෝය.

අප කාර්යබහුලයි කියා දේව වචනයට මුල් තැන නොදී ලෝකයට බර වුවහොත් යක්ෂයාගේ පීඩාව පහසුවෙන් අපට පැමිණෙනු ඇත.

අප වචනය ගැන හරියාකාරව නොදැන එය අන් අයට පැවසීමට ගියහොත් අප හට ඒ අයගෙන් පීඩා පැමිණිය හැක.

ඌරන් ඉදිරියේ මුතු නොදමන්නැයි යේසුස්වහන්සේ පවසා ඇත. මන්ද ඌරන් එහි වටිනාකම නොදන්නා නිසා, දේව වචනයේ වටිනාකම නොදන්නා අය ඉදිරියේ වචනය හෑල්ලු නොකළ යුතුයි.
(මතෙව් 7:6)

පීඩාව පරීක්ෂාව මැද අපි දේව වචනය තැනට සුදුසු ප‍්‍රඥාවෙන් කතා කළ යුතුයි.

යේසුස්වහන්සේ පැවසුවේ ධර්මිෂ්ඨයාට බොහෝ පීඩා පැමිණෙන නමුත් මම ලෝකයෙන් ජය ගතිමි කියායි.

යේසුස්වහන්සේ පැවසුවේ, උන්වහන්සේ ජයගත් ලෙසම අපවද පීඩා වලින් පරාජය කිරීමට සතුරාට ඉඩ නොදිය යුතු බවය.

අපට පැමිණෙන ලෙඩ රෝග පීඩා නොවේ. දෙවියන්වහන්සේ ලෙඩ රෝග දෙන්නේ නැත.

දෙවියන්වහන්සේ අපව පීඩාවට පත් කරන්නේද නැත. එසේ කරන්නේ යක්ෂයාය.

අපි පීඩා මානසිකත්වයෙන් නිදහස් විය යුතුයි. එසේ කළ හැකි වන්නේ පීඩාව මැද අපි තව තවත් වචනය අල්ලා ගෙන ප‍්‍රිතියෙන් ජීවත් වීම තුළින්ය.

පාවුල්තුමාට පැමිණි පීඩා පරීක්ෂා දෙස බලද්දී එතුමා බොහෝ අමාරුකමි මැදින් ගිය නමුත් එතුමා ඒ සියල්ල ජය ගන්නා ලද්දේය.

පාවුල්තුමාට පීඩා පැමිණියේ ඔහුගේ සේවය නවතාලීමටය. නමුත් ඔහුගේ තීරණයවූයේ ඇදහිල්ලෙන් ජය ගැනීමය.

රෝම 5:3-4 එපමණකුත් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ලද, ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමෙන් බලාපොරොත්තුවීමද උපදින බව දැන, අප විඳින පීඩාවලදීත් ප්‍රීතිමත්වෙමු.

ඔබ දෙවියන්වහන්සේ සමඟ හරි සබඳකමක් ඇතිව සිටීම ඉතා වැදගත්ය.

ඇදහිල්ල පැමිනෙන්නේ දේව වචනය ඇසීමෙනි. පීඩා විඳීමෙන් ඉවසිල්ල ක්‍රියාවට නැංවේ.

ඇදහිල්ල හා ඉවසිල්ල ගමන් කරනුයේ සමාන්තරවය.

යමෙකුට කඳු පහ කරන ඇදහිල්ල තිබුණත් ඉවසිල්ල නැත්නම් එහි ඵලක් නැත. යමෙකුට බොහෝ ඉවසිල්ල තිබුණත් ඇදහිල්ල නැත්තම් එයින්ද කිසි ඵලක් නැත.

ඉවසිලිවන්තකම ආත්මික ඵලයකි.

යේසුස්වහන්සේ වපුරන්නාගේ උපමාවෙන් බීජය උදාහරණයක් ලෙසට ගනු ලැබුවේ, බීජයකට ඵල දැරීමට යම් කාලයක් ගත වෙන හෙයිනි.

බීජයක් වපුරා අස්වැන්න නෙලා ගැනීමට යන කාලය ගොවියෙකු දනියි.

එබැවින් අපිත් අපේ පීඩා හා පරීක්ෂා වලදී ඉවසිල්ලෙන් හා ප‍්‍රිතියෙන් වචනය තුළ රැදී සිටීමෙන් ජයග‍්‍රහණය කරමු.

ඉවසිල්ලෙන් සහතිකකම ලැබේ. මේ ජීවන ගමනේ දෙවියන්වහන්සේ අපට පොරොන්දු දී ඇත. එහෙයින් පීඩා පරික්ෂා පැමිණෙන කල ඔබගේ ජීවිතය තුළ ක‍්‍රියා කිරීමට ඉවසීමට ඉඩ දෙන්න.


Watch the Sermon Video

Read 431 times