+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේගේ නාමය නිසා පීඩාවලට අපගෙන් ජය ගත නොහැකියි - යෝෂා මනූ
March 5, 2023 Sunday Sermon Notes

 

ස්වාමීන්වහන්සේ නිතරම අප ගැන සිතන්නේ යහපත් සිතුවිලිය.

නමුත් අප අපගේ මනසින් බොහෝ විට අපගේ දුබලකම්, අසාර්ථකත්වයන් ගැන හා අප ගැනම අවතක්සේරු කර ගැනීමේ සිතිවිලි වලින් පිරී සිටිනවා විය හැකිය.

අපගේ සිත දේව වචනයෙන් පුරවාගත් විට මෙවැනි සිතුවිලි අපට ජය ගත හැකිය.

දෙවියන්වහන්සේ පවසන්නේ ඔබ විශිෂ්ට පුද්ගලයෙක් කියාය.

එබැවින් ඔබ, ඔබ ගැන බලන ආකාරයත් සිතන ආකාරයත් වෙනස් කර ගත යුතුය.

දෙවියන්වහන්සේ පවසන්නේ , අපට අප ගැන කරදරයක්, අවතක්සේරු කර ගැනීමක් තිබේ නම් උන්වහන්සේ වෙත පැමිණ, එය පවසමින්, උන්වහන්සේ තුළින් ශක්තිමත් වෙමින්, එය ඉවත් කර ගන්නා ලෙසටය.

යෙසායා 1:18
ඉතින් එන්න, අපි කාරණා කථා කරගනිමුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය.

යේසුස්වහන්සේ උන්වහන්සේගේ රුධිරය වැගුරුවේ අපගේ පාපය සෝදා අපව පවිත‍්‍ර කරන පිණිසය. උන්වහන්සේ අපගේ කැඩුණු බිඳුනු සිත් සුවපත් කිරීමට සූදානම්ව සිටිනසේක.

බොහෝ විට මනුෂ්‍යයා අපගේ සිත් වේදනාවට පත් කරන කල, අප පැකිළීමට පත්වී කළකිරෙන කල, දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ වෙතට පැමිණෙන ලෙසටය.

දෙවියන්වහන්සේ අප ගැන සිතන ආකාරය සහ උන්වහන්සේ අපට කරන ආරාධනය අපගේ හදවත් වලට සහනයක්, සැනසිල්ලක් ගෙන දෙනසේක.

ඔබේ පව් රතුවට, ලාක්ෂා මෙන් තිබුණත්, ඒවා යේසුස්වහන්සේගේ ලේ වලින් සුදු හිම මෙන් පවිත‍්‍ර වෙන බව උන්වහන්සේ පැවසූසේක.

ඔබට ජීවිතයේ එක් තැනක් වැරදුන විට, ඔබ තැලුණු බිඳුණු හදවතකින් සැමදාම එසේම සිටින්නට අවශ්‍ය නැත. අපගේ ජීවිතය නැවත පිහිටුවන්නට උන්වහන්සේට පුලුවන.

උන්වහන්සේ අපට සමාව දී අපගේ පව් අමතක කර ඇත.

අපගේ පාප වල පැල්ලම් මකා දැමිය හැකි වන්නේ යේසුස්වහන්සේගේ ලේ වලින් පමණි.

1 යොහාන් 1:9
අපේ පාපවල් කියා දෙමු නම්, අපේ පව් අපට කමා කරන්නටත්, සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත‍්‍ර කරන්නටත්, උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටින සේක.

අපි අපේ පාප උන්වහන්සේ වෙත ගෙන එමු. මන්ද උන්වහන්සේ ධර්මිෂ්ඨයි. විශ්වාසවන්තයි.

අපි කැමැත්තෙන් කීකරු වෙමින් යටහත් වෙන කල, උන්වහන්සේ අපව සඵලකරමින් දියුණු කරමින් ඔසවන සේක.

උන්වහන්සේගේ ශක්තියෙන් අපට ජය දෙනසේක.

යෙසාසා 1; 19,20
නුඔලා කැමතිව කීකරු වන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්ති විදින්නහුය. නුඔලා අකමැතිව කැරලි ගසන්නහු නම්, කඩුවෙන් මැරුම් කන්නහුය. මක්නිසාද ස්වාමින්වහන්සේගේ මුඛය එය වදාල සේක.

අපි කැමතිව කීකරු වන්නහු නම් දේශයේ සඵලත්වය භුක්තිවිඳින්නට සුදුසුකම් ලබමු.

නමුත් අපි අකමැතිව කැරළි ගැසුවොත්, අපි විනාශ වන බවද උන්වහන්සේ පවසන සේක.

යෙසායා පොතේ සිට අලුත් ගිවිසුමට පැමිණෙද්දී යේසුස්වහන්සේගේ නාමයෙන් දැනටමත් අපට කමාව දී අවසන්ය.

යේසුස්වහන්සේගේ නාමයෙන් අපට ජීවනය ඇත.

යේසුස්වහන්සේගේ නාමයෙන් අපට දෙවියන්වහන්සේගේ ජයග‍්‍රහණය දී ඇත.

යේසුස්වහන්සේගේ නාමයේ ආධිපත්‍යයෙන් අපට සියල්ල ලබා ගත හැකිය.

යේසුස්වහන්සේගේ නාමයෙන් ජය ගත නොහැකි පීඩා වලින් ජයගැනීමේ හැකියාව දෙවියන්වහන්සේ අපට දී ඇත.

යේසුස්වහන්සේගේ නාමය දරණ අපට උන්වහන්සේගේ නාමය නිසා පීඩා පැමිණේ. අප එම පීඩා මානසිකත්වයේ නොසිට පීඩා වලින් ජය ගත යුතුය.

අප ගැළවීම ලැබූවිට යක්ෂයා අපට බොහෝ පීඩා පමුණුවන්නේ සමහර විට අපගේ ඉදිරි ගමන නවත්වන පිණිසයි.

අප පීඩනයට ලක්වන කල අපගේ හදවත සැහැල්ලු විය යුතුය. අප පීඩනයකට ලක් වූ විටයි දැනගන්නේ අපේ හදවතේ ඇති දෙය.

අපේ හදවත දෙවියන්වහන්සේගේ වචනයෙන් පිරී ඇති විට, කුමන තත්වයක සිටියත් එම යහපත් වචන පිටතට එයි.

දෙවියන්වහන්සේ අපව සමාන කර ඇත්තේ රාජාලීන්ටය.

අපි සැහැල්ලුවෙන් පීඩනය භාරගන්නා තරමට රාජාලියෙකු සේ අපට ඉහළටම පියාසර කළ හැකියි.

යේසුස්වහන්සේගේ නාමය නිසා පීඩාවට අපගෙන් ජයගත නොහැකිය.

කොලොස්සි 1:13
පියාණන්වහන්සේ අන්ධකාර බලයෙන් අප මුදා තමන් ප්‍රේමයේ පුත‍්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවා ගත් සේක.

අන්ධකාරයෙන් ආලෝකයට අප ස්ථාන මාරුවීමක් ලබා ඇත.

එබැවින් යක්ෂයාට අප තුළට ඇතුල් වී කිසි දෙයක් කළ නොහැකියි. නමුත් ඔහු දැන් තැත් කරන්නේ පිටස්තරයෙන් අපට පහර දෙන්නටය.

දෙවියන්වහන්සේගේ වචනය ඔබගේ හදවතේ උතුරායන ආකාරයට පුරවා ගත් කල යක්ෂයාට එය සොරකම් කළ නොහැකිය.

යක්ෂයා සොරෙක්ය. ඌ එන්නේ අපේ හදවතෙන් වචනය සොරකම් කරන්නයි. (යොහන් 10:10)

රෝම 5:1
එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබූ, අපේ ස්වාමිවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු.

අපට දෙවියන්වහන්සේ සමඟ සමාදානයද, සම්බන්ධකමද ඇත.

අපි මතක තබාගත යුතු වැදගත් දෙය නම්, පරීක්ෂා, පීඩා කාලයේදී දෙවියන්වහන්සේ අප සමඟ බවත්, උන්වහන්සේ කිසි විටකත් අපව අත් නොහරින බවත්ය.

ඔබගේ අභ්‍යන්තර සමාදානය නිතරම තබා ගත යුතුය.

රෝම 5;2
අප පිහිටා සිටින මේ අනුග‍්‍රහයට උන්වහන්සේ කරණකොටගෙනම ඇදහිල්ලෙන් ලඟාවී සිටිමුව; තවද දෙවියන්වහන්සේගේ මහිමයේ බලාපොරොත්තුවෙහි අපි ප‍්‍රීතිමත් වෙමු.

අප අනුග‍්‍රහයට ලඟා වී සිටින්නේ ඇදහිල්ලෙන්ය.

උන්වහන්සේ අප සමඟ සිටින බව අපට නොපෙණෙන විටත්, නොදැනෙන විටත් උන්වහන්සේ අපව උසුලාගෙන යන බව ඇදහිල්ලෙන් විශ්වාස කරමු.

අප ජල මැදින් ගියත්, ගිනි මැදින් ගියත්, ස්වාමීන්වහන්සේ අප සමඟයි.

දෙවියන්වහන්සේ අපට දී තිබෙන බලාපොරොත්තුව තුළ අප ප‍්‍රීති විය යුතුය.

රෝම 5:3
එපමණකුත් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ලද, ඉවසිල්ලෙන් සහතිකකමද, සහතිකකමින් බලාපොරොත්තු වීමද, උපදින බව දැන අප විදින පීඩාවලදීත් ප‍්‍රීතිමත් වෙමු.

අප ප‍්‍රීතිවන කල දෙවියන්වහන්සේට අපගේ ජීවිතයේ බොහෝ දේවල් හැරවිය හැකිය.

ප‍්‍රශ්න කරදරවලදීත්, පීඩාවේදීත් අප ප‍්‍රීතිවිය යුතුය. එය අමාරුයි කියා සිතුණත්, අපේ හදවතේ දේව වචනය තැන්පත් කර ඇති නිසා, දේව ප‍්‍රීතියට පිටතට පැමිණෙන්නට ඉඩ දෙන්න. ඔබ ප්‍රීති වෙන්නට තීරණයක් ගන්න.

අපි පීඩාව මැද ප‍්‍රිති වෙමු.

රන් රූපයට නමස්කාර නොකළාවූ යුදෙවිවන් තිදෙනා ප‍්‍රීතියෙන් යුතුව එම පීඩාවට මුහුණ දුන්නෝය.

දානියෙල් 3:10-11
රජ්ජුරුවෙනි, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය ඇසෙන සියල්ලන් බිම වැටී රන් රූපයට නමස්කාරකරන හැටියටද, බිම වැටී නමස්කාර නොකරන කවුරු නුමුත් ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබන හැටියටද ඔබ අණක් පනවා තිබේ.

ෂද්‍රක්ද, මේෂක්ද, අබේද්-නෙගෝද යන යුදව්වන් තිදෙනා මෙම රූපයට නමස්කාර නොකිරීමට තීරණය කරගෙන තිබුණි.

දානියෙල් 3:12
නුමුත් බබිලෝනි පළාතේ කාරණා කෙරෙහි ඔබ විසින් පත්කළ යුදෙව් මනුෂ්‍යයන් වන ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ඔබ නොසලකති. ඔවුන් ඔබගේ දෙවිවරුන්ට සේවය කරන්නේවත් ඔබ විසින් පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්නේවත් නැතැයි කීවෝය.

අපට පැමිණෙන සමහර පීඩා වලදී අපගේ ජීවිතය දරුණු අවදානම් තත්වයකට පවා මුහුණ දීමට සිදු වුණත්, මනුෂ්‍යයන් ඉදිරියේ ලැජ්ජාවට පත්වීමට සිදු වුණත්, අප ස්වාමීන්වහන්සේ සමඟ සිටගත යුතුයි.

ෂද්‍රක්ද, මේෂක්ද, අබේද්-නෙගෝද දෙවියන්වහන්සේ වෙනුවෙන් නොබියව නැගී සිටින ලදි.

දානියෙල් 3:13-14
එකල උදහසිනුත් කෝපයෙනුත් යුක්තව, ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ගෙනෙන්ට අණකෙළේය. එවිට ඔව්හු ඒ මනුෂ්‍යයන් රජු ඉදිරියට ගෙනාවෝය. නෙබුකද්නෙශර් ඔවුන්ට කථාකොට: එම්බා ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ, නුඹලා මාගේ දෙවිවරුන්ට සේවය නොකොට, මා විසින් පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර නොකර සිටින්නේ අදහසක් පිටද?

පීඩා පිටුපස ක්‍රියා කරන්නේ සාතන්ය. මෙම පීඩාව පිටුපස සිටියේද යක්ෂයාය.

දානියෙල් 3:15
ඉතින් නුඹලා සූදානම්ව සිට, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට, බිම වැටී මා විසින් සාදා තිබෙන රූපයට නමස්කාරකළොත්, යහපති. නුමුත් නුඹලා නමස්කාර නොකළොත්, එකෙණෙහිම නුඹලා ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබනවා ඇත; එවිට මාගේ අත්වලින් නුඹලා ගළවන දෙවියෝ කවුදැයි කීවේය.

මෙහිදී නුඹලා ගලවන දෙවියෝ කව්දැයි අසමින් රජතුමා දෙවියන්වහන්සේට අගෞරවය කරයි.

දානියෙල් 3:16-18
ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද නෙබුකද්නෙශර් රජුට උත්තරදෙමින්: මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්ට අපට ඕනෑ නැත. ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවනසේක. එසේ නොකළත්, රජ්ජුරුවෙනි, ඔබගේ දෙවිවරුන්ට අප සේවයකරන්නේවත් ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්නේවත් නැති බව ඔබ දැනගත මැනවයි කීවෝය.

ෂද්‍රක්ද, මේෂක්ද අබේද්-නෙගෝද යන තරුණයන් තිදෙනා පීඩාව තුළ ඇදහිල්ලෙන් සිටගන්නා ලදි.

ඔවුන් ලබන්නට යන්නාවූ ජය ගැන ඔවුන් දැන හිටියේ නැත.
එමෙන්ම ඔවුන්ට සිදුවන්නට යන දේ ගැන කිසි අදහසකවත්, ජීවිතය ගැන බලාපොරොත්තුවක්වත් ඔවුන්ට නොතිබුණි.

සමහර විට අප ගන්නාවූ තීරණ වලදී මනුෂ්‍යයන් සිනාසෙනවා සේම කෝප වීමටද පුළුවන.

දානියෙල් 3:19
එකල නෙබුකද්නෙශර් කෝපයෙන් පිරුණේය, ෂද්‍රක්ටද මේෂක්ටද අබේද්-නෙගෝටද විරුද්ධව ඔහුගේ මුහුණේ පෙනුම වෙනස්විය. ඔහු කථාකොට, පුරුදු ප්‍රමාණයට වඩා සත්ගුණයක් උදුන රත්කරන්ට අණ කෙළේය.

අපට පීඩා කරන මනුෂ්‍යයන් පිටුපස සිටින්නේ යක්ෂයාය.
එහෙයින් මනුෂයන් සමඟ කෝපවීම නිශ්ඵලය.

රජතුමා කෝපයෙන් පිරුණත් මෙම තරුණයන් තිදෙනා රජ සමඟ කෝප වූයේ නැත.

තරහා යන විට මනුෂ්‍යයන්ගේ මුහුණ වෙනස්වෙයි. එහෙත් ඔබ නොබියව සිනහාසී එයට මුහුණ දෙන්න.

ගිණිමය පීඩාවක් තුළින් ගමන් කරන කල, නොබියව නොකැළඹී මුහුණ දිය යුතුය. මන්ද දෙවියන්වහන්සේ අප සමඟය.

පීඩනයේදී ස්වාමීන්වහන්සේ ඔබ සමඟ‍ය, ඔබ පීඩනයෙන් පිටතට පැමිණෙන විටදී පැමිණෙන්නේ ජයග්‍රාහිකයෙකු ලෙසය.

මෙම තරුණයන්ගේ නිර්භීත ප‍්‍රකාශය නිසා කෝපයට පත්වූ රජතුමා එම ගිනි උදුනේ රස්නය තව සත් ගුණයකින් වැඩි කරන්නට අණ කරන ලදි.

දානියෙල් 3:20
තවද ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද බැඳ, ඇවිළෙන ගිනි උදුනට හෙළන්ට ඔහු තමාගේ සේනාවේ බලවත් මනුෂ්‍යයන්ට අණකෙළේය.

ඔවුන්ව ගිණි උදුනට හෙලුවේ රජුගේ බලවත් සේවකයන්ය.

දානියෙල් 3:21-22
එකල ඔව්හු ඒ මනුෂ්‍යයන් ඔවුන්ගේ පොරෝනද සැට්ටද සළුද වෙනත් වස්ත්‍රද පිටින් බැඳ, ඇවිළෙන ගිනි උදුන මැදට හෙළූහ.

එවිට රජුගේ ආඥාව තද නිසා උදුන ඉතා රත්ව තිබුණු බැවින්, ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද එසවූ මනුෂ්‍යයෝ ගිනි දළුවෙන් මළෝය.

සමහර විට අපව විනාශ කිරීමට එන මනුෂයන්ගේ විනාශය අපේම ඇස් වලින් දැක ගැනීමට දෙවියන්වහන්සේ සලස්වන සේක.

දානියෙල් 3:23-24
ඒ මනුෂ්‍යයන් තුන් දෙනා වන ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ඇවිළෙන ගිනි උදුන මැදට බැමි පිටින් වැටුණෝය.
එකල නෙබුකද්නෙශර් රජ විස්මපත්වී, ඉක්මනින් නැගිට, තමාගේ මන්ත්‍රීවරුන්ට කථාකොට: අප විසින් මනුෂ්‍යයන් තුන්දෙනකු බැඳ ගින්නට හෙළුවා නොවේදැයි කීවේය. එසේය, රජ්ජුරුවෙනියි ඔව්හු රජුට උත්තරදෙමින් කීවෝය.

ගින්නට හෙලූ තිදෙනා සමඟ සතරවෙනියෙක් ඇවිදිනවා දුටු නෙබුකද්නේෂර් රජ විශ්මයට පත්වේ.

දානියෙල් 3:25
ඔහු උත්තරදෙමින්: අන්න, මනුෂ්‍යයන් සතර දෙනෙක් නිදහස්ව, කිසි උපද්‍රවයක් නැතුව, ගින්න මැද ඇවිදිනවා මට පෙනෙයි; සතරවෙනියාගේ පෙනීම වනාහි දෙවියන්ගේ පුත්‍රයෙකුට සමානයයි කීවෝය.

පීඩාව මැද වුවත් දෙවියන්වහන්සේ අප සමඟ සිටින නිසා, පීඩාවේ රස්නයෙන් අප නිදහස් වී සැහැල්ලුවෙන් ඇවිදීමට අපට හැකියාව ලැබෙනු ඇත.

එමනිසා අද අප ගමන් කරන ගිනිමය පීඩාව මැද අප බිය නොවෙමින් නිර්භීතව නොසැලී සිටිමු.

සතරවෙනි මනුෂ්‍යයාව දැකීමෙන් රජතුමාගේ ඇස් ඇරී ඔහු දෙවියන්වහන්සේට ගෞරවය දෙමින් කථා කරයි.

දානියෙල් 3:26
එවිට නෙබුකද්නෙශර් ඇවිළෙන ගිනි උදුනේ දොරකඩට ළංවී: මහෝත්තම දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන් වන ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ, පිටතට එන්නැයි කීවේය. එවිට ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ගින්න මැද සිට පිටතට ආවෝය.

තරුණයන් සමඟ ගිණි මැද ගමන් කළාවූ දේව පුත‍්‍රයා දැකීමෙන් ඇස් ඇරුණු රජ දෙවියන්වහන්සේට මහිමය දෙමින් තරුණයන් පිටතට කැඳවයි.

ගිණි වැනි පීඩා මැද අපද ගමන් කරන කල දෙවියන්වහන්සේ අනිවාර්යයෙන්ම අපටද ප‍්‍රකාශ වනු ඇත.


Watch the Sermon Video

Read 326 times