+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මෙය කාන්තාරයකි, කාලයත් ගෙවී ගොස් ඇත, දැන් කිසිවක් කළ නොහැකිය - මනූ මැතානි
March 5, 2023 Sunday Sermon Notes

 

අපගේ සෑම පීඩා වේලාවකදීම ස්වාමීන්වහන්සේගේ උපකාරය, ගැළවීම, ආරක්ෂාව අප තුළ තිබෙන බැවින් අපට කොහෙත්ම භයවීමට අවශ්‍යතාවයක් නොමැත.

ඔබ තුවාල වී සිටින්නේ නම් ස්වාමීන්වහන්සේ වෙතට පැමිණ නිදහස් වෙන්න.
ඔබගේ තුවාල නිසා අන් අය තුවාල නොකර, තිත්තකම්, වෛර බැඳ නොසිට, අන් අයට බරක් නොවී ජීවත් වෙන්න.

මේ ලෝකය තුළ ජීවත් වෙන අපට අසාධාරණකම් වලට ලක් වීමටත්, නොඇදහිල්ලේ සහ ප්‍රේමය නොමැති මිනිසුන් සමඟ ජීවත් වීමට සිදුවේ.

අප එවැනි අය සමඟ තිත්තකම් නොබැඳ, දේව වචනය තුළින් අපේ ජීවිතය හදා ගැනීමටත් ඒ වචනය සමඟ ගමන් කිරීමටත් තීරණය කර ගත යුතුය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත නම් මා නිදහස්කම ඇතිව, සැහැල්ලුවෙන් ජීවත් වීමයි.

දෙවියන්වහන්සේ අපව කැඳවා තිබෙන්නේ සැහල්ලු ගමනකටයි.

දෙවියන්වහන්සේ අපව කැඳවා ඇති ගමන අප මාංශික ලෙස ගමන් කළහොත් එය දුෂ්කර විය හැකියි.

ලෝකයේ සිටින තැනැත්තාට වඩා අප තුළ වාසය කරන තැනැන්වහන්සේ බලවත් නිසා, උන්වහන්සේ සමඟ මේ ගමන අපට සැහැල්ලුවෙන් යා හැකියි.

ඔබ පීඩා ජය ගන්න. ඔබ පීඩා ජය නොගතහොත් ඒ පීඩා ඔබව ජයගනියි.

යේසුස්වහන්සේ පැවසුවේ, ලෝකයෙහි නුඹලාට බොහෝ පීඩා තිබේ, නමුත් ධෛර්්‍යාමත් orධෛර්‍යමත් වන්න මම ලෝකයෙන් ජයගතිමි’ කියාය.

යොහන් 16:33

කනස්සල්ල හා වේදනා ගෙන දෙන වචන අපි කතා කරමින් ජීවත් නොවෙමු.

මනුෂ්‍යයන් අපට යම් යම් දේවල් කළත් අප කනස්සලු වෙන්නට අවශ්‍ය නැත.

ඔබ ඒ පීඩා මධ්‍යයේ ප්‍රීති වෙන්න. මනුෂ්‍යයන්ට විරුද්ධවන්නට එපා.

ඔබ පරණ දේවලින් ඉවත් වන තුරු දෙවියන්වහන්සේට ඔබ ගැන ඇති සැලැස්ම ඉෂ්ට කළ නොහැකිය.

මනුෂ්‍යයා කර ඇති දේවලින් මනස අවුල් කර නොගෙන, අපේ මනස නිදහස් කරගනිමු.

යක්ෂයා නිතරම අපේ ප‍්‍රතිචාර දෙස බලමින් සිටින නිසා, අපි වචනය සමඟ එකඟ වී ප‍්‍රීතියෙන් ප‍්‍රතිචාර දක්වමු. එකළ ඌ වියවුල් වී අපව හැරදා යයි.

සම්බන්ධතාවයන් ආරක්ෂා කරගනිමු. තනි නොවී සිටිමු. යහපත් අවංක මිතුරන් සොයා ගනිමු.

අවංක මිත්‍රයන් ඔබගේ යම් වැරැද්දක් පෙන්වා දෙන විට ඔබ වෙනස් වෙන්න, උපදෙස් ගන්න.

ද්‍රෝහිකම් කරන මිතුරන්ගෙන් ඉවත්ව, ඔබ හොඳ මිත්‍රයන් තෝරාගන්න.

ප‍්‍රඥාවන්ත, ජයග‍්‍රාහී මනුෂ්‍යයන් සමඟ ජීවත්වීමෙන් ඔබට ඔබගේ ජීවිතය ජයග‍්‍රාහී ජීවිතයක් බවට වෙනස් කර ගත හැකිය.

දෙවියන්වහන්සේ ගිඩියොන්ට ඉශ‍්‍රායෙල්හී සතුරන් පලවා හරින්නැයි පැවසූ විට, ඔහු එයට උපකාරකරුවන් සපයා ගැනීමට සැරසෙද්දී, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනයට කීකරු වන සෙනඟක් ගිඩියොන්ට තෝරා දෙන ලද්දේය.
විනිශ්චයකාරයා 7 පරිච්ඡේදය කියවන්න.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනයට කීකරුවන මනුෂ්‍යයන් වෙන් කරගත්සේක.

පළමුව සිටි සෙනඟ අතරින් භියද තැතිගැන්මද ඇති විසිදෙදාහක් හැරී ගියායින් පසු සෙනඟ දසදාහක් ඉතිරිවුණි. ඔවුන්ගෙන්ද උන්වහන්සේ තුන්සිය දක්වා අඩුකරන ලදි.

එම තුන්සිය දෙනා විශ්වාසවන්තව, නිර්භයව, ඉතා ඉක්මනින් කීකරුවීමට සිටි මනුෂ්‍යයන්ය.

ගිඩියොන්ට තම ඇදහිල්ලේ ගමන මෙම තුන්සිය දෙනා සමඟ ගොස් දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ටකර ජයග‍්‍රහනය ලබා ගැනීමට හැකිවුණි.

කුඩා පිරිසක් ඇතුව ගිඩියොන්ට ජයග්‍රහණය ලබා දෙන්නට
දෙවියන්වහන්සේට පුලුවන් විය.
අපගේ ඇදහිල්ලේ ගමන ගෙන යාමට සුදුසු මිත්‍රයන්, පුද්ගලයන් තෝරා ගැනීමේදී දෙවියන්වහන්සේගේ මඟපෙන්වීම ලබාගත යුතුයි.

ආබ්‍රහම්ව දෙවියන්වහන්සේ කැඳෙව්වේ ඇදහිල්ලේ ගමනකටයි. නමුත් ආබ්‍රහම්ට තිබුණු භය නිසා ඔහු ලොත්ව මේ ගමනට ගෙන ගියා.

අතරමගදී ඔහු දැන ගන්නේ, ඒ කෙනාව දෙවියන්වහන්සේ කැඳවා නොගත් බවත්, දෙවියන්වහන්සේගේ කැඳවීම ලැබුණේ ඔහුට සහ සාරාට පමණක් බවත් කියාත්ය.

යෙසායා 51:2
නුඹලාගේ පියවූ ආබ්‍රහම්ද නුඹලා බිහිකළ සාරාද බලන්න. මක්නිසාද ඔහු එක්කෙනෙක්ව සිටිද්දී මම ඔහු කැඳවාගන, ඔහුට ආශීර්වාදකොට, ඔහු වැඩි කෙළෙමි.

පසුව ආබ‍්‍රහම් ඔහුගේ ගමනට බාධාවක්වූ ලොත්ව තම මාර්ගයෙන් ඉවත් කර ගනියි. (උත්පත්ති 13 පරිච්ඡේදය)

ආබ‍්‍රහම් ලොත්ගෙන් වෙන්වීමේදී, ලොත්ට යා යුතු මඟ තෝරා ගැනීමට අවස්ථාව දෙන ලද්දේය.

ලොත් තම ඇසට අලංකාරව පෙණුනු නපුරු පව්කාර මනුෂ්‍යයන් සිටි දෙවියන්වහන්සේගේ විනිශ්චයට නියමව තිබූ නුවරක්වූ සොදොම තෝරා ගන්නා ලදි.

ලොත් වැනි පුද්ගලයන් ඔබගේ ආත්මික ගමනේදී ඔබත් සමඟ යන්නේ නම් එය ඉතා භයානකය.

ලොත් වෙන්වූවාට පසුවත් ඔහු ජීවත්වූ ප‍්‍රදේශයෙදී සතුරු ප‍්‍රහාරයකින් ආබ‍්‍රහම්ට ඔහුව ගලවා ගැනීමට සිදුවිය. (උත්පත්ති 14:1-17)

ඔබ වැරදි පුද්ගලයන් ඔබගේ පවුලට එකතු කරගතහොත් පසුකාලයේදි ඔබට ප්‍රශ්න කරදර ඇතිවිය හැකියි. එය ඔබගේ ආත්මික ගමනට බාධා ගෙන එන්නට පුලුවන්.

දෙවියන්වහන්සේට ඔබගේ මිත‍්‍රයන් තෝරා දෙන්නට ඉඩදී, දෙවියන්වහන්සේ මඟ පෙන්වන අය සමඟ ඔබ එක්ව ගමන් කිරීමට තීරණය කරගන්න.

හිතෝපදේශ 13:20
ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.

පෙනීමේ හැටියට මිනිසුන් තෝරා නොගෙන ඇදහිල්ලෙන් ගමන් කරන මනුෂ්‍යයන් සමඟ එක්වන්න.

වෙනස්වන සුළු මනුෂ්‍යයා සමඟ සම්බන්ධ නොවන්න.
අස්ථීර භාවයෙන් යුත් පුද්ගලයන්ගෙන් ඉවත්වන්න.

දෙවියන්වහන්සේ බලන්නේ හදවතයි. උන්වහන්සේට සියල්ල පෙනෙනවා.

සමහරු පිටස්තරයෙන් ඔබට අවංකභාවය පෙන්නුම් කළත් ඇතුලාන්තරයෙන් ඔවුන් ඔබට විරුද්ධව සිටියි.

සැබෑ මිතුරන් අතර රහස් නැත.

යොහන් 15:13
යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත.

සැබෑ මිත‍්‍රයන් කිසිදා අපව අතහැර යන්නේ නැත.

යොහන් 15:14
මා නුඹලාට ආඥාකරන දේ නුඹලා කරනවානම්, නුඹලා මාගේ මිත්‍රයෝය.

සැබෑ මිත‍්‍රකමට අවංකභාවය තිබිය යුතුය.

යොහන් 15:15
දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් නුඹලාට දාසයෝයයි නොකියමි; මක්නිසාද මාගේ පියාණන්වහන්සේගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝයයි කීමි.

සමහර මිතුරන් අපව වහල්කමට ගෙනෙන අතර සමහරු අපව වහලෙක් ලෙස පාවිච්චි කරනු ඇත.

අපි අවංක වෙමු, ප්‍රේමයෙන් ඇත්ත කතා කරමු.

දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබගේ පවුල තුළ හොඳ මිත්‍රකමක් ගොඩනඟා ගැනීමය.

පවුල තුළ ස්වාමිපුරුෂයා හා භාර්යාවගේ මිත‍්‍රකම තුළින් දෙවියන්වහන්සේ ශුද්ධ වංශයක් බලාපොරොත්තුවෙයි.

මලාකී 2:14
එහෙත් නුඹලා: ඒ මක්නිසාදැයි අසන්නහුය. ස්වාමීන්වහන්සේ නුඹ සහ නුඹේ තරුණ වයසේ භාර්යාවත් අතරේ සාක්ෂිව සිටි නිසාය; ඈ නුඹේ පංගුකාරීව, නුඹේ ගිවිසුමේ භාර්යාවව සිටින නුමුත්, නුඹම ඈට විරුද්ධව ද්‍රෝහිකම්කළෙහිය.

දෙවියන්වහන්සේට දෙපැත්තම ඉතා හොදින් පෙනෙන අතර උන්වහන්සේගෙන් කිසිවක් සැඟවිය නොහැකියි.

පුරුෂයාට දෙවියන්වහන්සේ පවසන්නේ ඇය ඔබගේ මිතුරිය කියාය. එපමණක් නොව ඇය ඔබගේ ගිවිසුමේ භාර්යාවය.

ඔබගේ විවහා ජීවිතය මැදට එන්නට කිසිවෙකුට ඉඩ නොදිය යුතුය.

දෙවියන්වහන්සේ ශුද්ධ විවාහයකට ගරු කරන සේක.

මලාකී 2:15
ආත්මයේ ඉතිරි කොටස උන්වහන්සේට තිබුණු නුමුත් උන්වහන්සේ එකෙකු නොසෑදූසේක්ද? එකෙකු සෑදුවේ මක්නිසාද? උන්වහන්සේ භක්තිවන්ත වංශයක් සෙවූ නිසාය.

දෙවියන්වහන්සේ සොයන්නේ භක්තිවන්ත වංශයක්ය.

එබැවින් නුඹලාගේ ආත්මය ගැන ප්‍රවේසම්වෙන්න, කිසිවෙක් තමාගේ තරුණ වයසේ භාර්යාවට විරුද්ධව ද්‍රෝහිලෙස ක්‍රියා නොකෙරේවා.

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ දෙමාපියන් තුළින් භක්තිවන්ත දරුවන් බිහි කරන පිණිසයි.

ඔවුන් සමාජයටවත්, සභාවටවත් බරක් නොවේ. ඔවුන් සමාජයට ආදර්ශමත් විය යුතුය.

දෙදෙනෙක් එක්වූ විවාහය වෙන්වීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවේය. ඔබගේ විවාහ ජීවිතය ගැන නපුරු අදහස් ඇතුළත් කරන අයගෙන් ඈත් විය යුතුය.

ඔබගේ විවාහය ඔබ ආරක්ෂා කරගන්න. එය ඔබගේ වගකීමකි. එය ඉතාම වැදගත්.

අඩුපාඩු තිබිය හැකිය. සියල්ල සර්ව සම්පූර්ණ නොවන
නමුත් දෙවියන්වහන්සේ සමඟ ගමන් කිරීමෙන් හා උන්වහන්සේ දෙස බලා සිටීමෙන් අප පැකිලීමට පත් නොවන්නේය.

අපට උපකාර කරන්නට දෙවියන්වහන්සේ සිටියි.

ඔබ සැක සහිත සිතුවිලි කථා කිරීමෙන් වලකින්න. ඔබගේ විවාහය වෙන අය සමඟ සන්සන්දනය නොකරන්න.

දෙවියන්වහන්සේගේ උපදෙස්, උපකාරය මගපෙන්වීම ලබා ගෙන, පුරුෂයා හා භාර්යාව අතර හොඳ මිත්‍රකමක් ගොඩනඟා ගත් කල ඔබට සාර්ථක ජීවිතයක් ගත කරන්නට පුලුවන.

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබ උන්වහන්සේගේ මහිමයෙන් ජීවත් වීමය.

අප ජීවත්වන්නේ දෙවියන්වහන්සේගේ ඇදහිල්ලෙනි. (ගලාති 2:20)

මතෙව් 14:15
සවස්වූ කල ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: මේක කාන්තාර ස්ථානයක්ය, දැන් වේලාවද ඉක්මගොස් තිබේ; සමූහයා ගම්වලට ගොස් තමුන්ට කෑම මිලදී ගන්නා පිණිස ඔවුන් යන්ට හැරිය මැනවයි කීවෝය.

ගෝලයන් යේසුස්වහනසේට ඔවුන් සිටින්නේ කාන්තාර ස්ථානයක බව පෙන්වා දෙයි.

අපගේ තත්ත්වය ගැන අප දෙවියන්වහන්සේට මතක් කර දෙන්නට අවශ්‍ය නැත.

ඔබගේ ප්‍රශ්නය කාන්තාරයක් මෙන් තිබිය හැකියි, කාලයත් ඉකුත් වී ගොසින් කියා දෙවියන්වහන්සේට මතක් කරමින් උන්වහන්සේට උපකාර කරන්නට නොයන්න.
ඔබට දෙවියන්වහන්සේට කළ හැකි එකම උපකාරය වන්නේ උන්වහන්සේගේ වචනයට කීකරුවීමය.

ආබ‍්‍රහම් සාරාගේ කීමට අවනතව වෙන ස්ත‍්‍රියකගෙන් දරුවෙකු ලබා ගැනීම තුළින් තම වංශය ගොඩ නඟා ගැනීමට උපකාරවේයැයි සිතුවේය.

ලෝකයෙහි සිදුවන සාමාන්‍ය දේවල් ඔබගේ ඇදහිල්ලේ ගමනට එක්කර නොගන්න.

ආබ‍්‍රහම් ඇදහිල්ලේ මනුෂ්‍යයෙකි. ඔහු දෙවියන්වහන්සේගේ හඬට කීකරුව දිගු ගමනක් ආ පුද්ගලයෙකි. එහෙත් මෙහිදී ඔහු සාරාගේ කැමැත්ත ඉෂ්ට කිරීමට පෙළඹුණේය.

අප යොමුවිය යුත්තේ දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමටය.

දෙවියන්වහන්සේගේ ක‍්‍රියාව ඉටු නොවෙන තුරු නොසිටීමෙන් එය වෙනත් මාර්ගයකින් ඉටුකර ගැනීමට යෑම නිසා අදටත් එහි ප‍්‍රතිවිපාක මුලු ලොවටම බලපෑමක් වී ඇත.

ඔබ යේසුස්වහන්සේ කෙරෙහි ඔබගේ බලාපොරොත්තුව, විශ්වාසය තබන්න.

ඔබ අද කාන්තාරයක් වාගේ ස්ථානයක සිටිනවා නම් භය නොවන්න. දෙවියන්වහන්සේට පුලුවන් ඔබගේ තත්ත්වය වෙනස් කරන්නට. කාලය, වයස, වේලාව ගැන නොසිතන්න.

නාමන් යන කුෂ්ඨ රෝගියා තද සිතකින් සිටිය නමුත් ඔහුගේ තීරණය වෙනස් කළ නිසා ඔහු සුවය ලබා ගත්තේය. ඔහු මුලුමනින්ම දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වීමෙන් තමාගේ සුවය ලබා ගත්තේය. (2 රාජාවලිය 5:1-15)

දෙවියන්වහන්සේ කියන දෙයට එකවරක්, දෙවරක්, තුන්වරක් නොව සම්පූර්ණයෙන්ම කීකරු විය යුතුයි.

නාමන් උඩඟුව සිටියත් ඔහුගේ කීකරුකම නිසා ආශීර්වාදය ලබා ගත්තේය.

ඇදහිල්ල නම් ඔබගේ මුලු හදවතින් විශ්වාස කිරීමයි.

එළියා කාන්තාවට පැවසුවේ පළමුව මට රොටිය සාදා ගෙනෙන්න. ඉන්පසු ඔබ රොටි සාදා කන්න. ඇය දෙවියන්වහන්සේගේ දාසයාගේ වචනයට කීකරු වූ නිසා සැපයීම අත් දුටුවාය. (1 රාජාවලිය 17:8-24)

දෙවියන්වහන්සේට කළ නොහැකි දෙයක් නැත. ඔබගේ කාන්තාර ජීවිතයෙන් මිදෙන්න. කාලය, දිනය, ශරීරය දෙස නොබලන්න.

ඔබගේ ශරීරයේ අවයවයන් පවා අලුත් කිරීමට දෙවියන්වහන්සේට පුළුවන.

ඔබගේ ශරීරයේ අවයවයන් දිරාපත්වී තිබේනම් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කර සුවය අත්පත් කර ගත හැකිය.

ඔබට දෙවියන්වහන්සේ පොරොන්දු වූයේ දීර්ඝායුෂයෙන් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නටයි. (ගීතාවලිය 91:16)

ඔබ දුක්වෙමින් තිත්තකම්, වෛර බැඳ ජීවත්වීමෙන් ඔබගේ ශරීරය දිරාපත්වේ.
ශෝකය මධ්‍යයේ ප්‍රීතිවෙන්න. සතුටු වෙන්න.
ප‍්‍රීතිය ඔබට ඖෂධයකි. ප‍්‍රීතියෙන් ඔබගේ ශරීරයේ අවයවයන් ප්‍රාණවත්වේ.

දිනපතා ස්වාමීන්වහන්සේ ඔබගේ සවිය අලුත් කරයි.

යෙසායා 40:30‭-‬31
තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසවන්නෝය. යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.

අපි සේසුස්වහන්සේ සමග ජීවත් නොවුවහොත්, අපේ තරුණ ශක්තියෙන් ඵලක් නොවේ.

යේසුස්වහන්සේ පිළිගත් මනුෂ්‍යයාට දිවි නසා ගැනීමට අවශ්‍යයතාවයක් නැත.

ඔබ ස්වාමීන්වහන්සේ දෙස බලන්න.

රෝම 8:11
තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක.

උන්වහන්සේගේ ආත්මය මා තුළ වාසය කරන නිසා, මාගේ මරණීය ශරීරය ප‍්‍රාණවත් වී තිබේ.
කාලෙබ් හට වයස අවුරුදු 40 දී පැවසූ දේ ඔහුට අවුරුදු 85 දී ඉටුකර ගැනීමට හැකිවුනි. (යෝෂුවා 14:6-12)

මහලු වයසේදීත් අප ඵල දරන බව බයිබලයේ පවසයි.

ගීතාවලිය 92:11‭-‬12
මාගේ සතුරන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ ඇසට පෙනුණේය, මට විරුද්ධව නැගිටින්නාවූ නපුරුකම්කරන්නන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ කන්වලට ඇසුණේය. ධර්මිෂ්ඨයා තාල වෘක්ෂය මෙන් සශ්‍රීක වන්නේය. ඔහු ලෙබනොන්හි කිහිරි ගසක්මෙන් වැඩෙන්නේය.

ගීතාවලිය 92:13
ස්වාමීන්ගේ ගෘහයෙහි හිඳුවනලද්දෝ අපේ දෙවියන්වහන්සේගේ මිදුල්වල සඵලවන්නෝය.

ස්වාමීන්වහන්සේ සමඟ කීකරුව ගමන් කරන අය ආශීර්වාද ලබමින් ඵල දරනු ඇත.

ගීතාවලිය 92:15
ඔව්හු මහලු වයසේදීත් ඵලදෙමින් සාරවත් වන්නෝය, සශ්‍රීක වන්නෝය.

දෙවියන්වහන්සේ පවසන්නේ කාන්තාරය දෙස නොබලන්න. අපගේ කාලය, වේලාව නොබලන්න. වයස කුමක් වුවත් ඔබ හදවතින් විශ්වාස කරන්නේ නම් දෙවියන්වහන්සේට සියල්ල කළ හැකිය.

ඔබ සිටින කාන්තාරය දෙස බලමින් නිකරුනේ වචන නොකියන්න.

දෙවියන්වහන්සේ ඔබගේ කට තෘප්තියට පමුණුවා ඇත.

ගීතාවලිය 103:5
රාජාලියෙකු මෙන් ඔබගේ යෞවනකම අලුත්වන පිණිස උන්වහන්සේ ඔබගේ කට යහපත් දෙයින් තෘප්තියට පමුණුවනසේක.

දෙවියන්වහන්සේගේ වචන වලින්, උන්වහන්සේගේ පොරොන්දු වලින් ඔබගේ මුඛය පුරවාගන්න.

දෙවියන්වහන්සේ කාන්තාරයේ සිටි සියලු දෙනාටම උතුරා යන ලෙස ආහාර දෙන ලද්දේය.

ඔබ දකින දේ විශ්වාස නොකරන්න. ඔබ සිටින්නේ කාන්තාර ස්ථානයක, වියළි ස්ථානයකයැ යි නොපවසන්න. දෙවියන්වහන්සේට සියල්ල වෙනස් කළ හැකිය.


Watch the Sermon Video

Read 267 times