+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඇදහිල්ල වාතාවරණය නොව වචනය පමණක් කතා කරයි - මනූ මැතානි
March 12, 2023 Sunday Sermon Notes


අප වැටී සිටිනවානම්, දුර්වල තත්වයකට පත්වී සිටිනවා නම්, නැවත නැඟිටින්නට අවශ්‍යය.

ඔබේ ජීවිතය පාලනය කරන්නට යක්ෂයාට ඉඩ නොදෙන්න.

ශුද්ධාත්මයාණන්වහන්සේ අපට කථා කරන දේ වලින්, දේව වචනයට ඇහුම්කන් දීමෙන්, අපට ඇදහිල්ල ගොඩනඟා ගත හැකිය.

ඔබගේ ඇදහිල්ල නිතරම කථාකරනුයේ පවතින වාවාතාවරණය නොව දේව වචනයයි.

දෙවියන්වහන්සේ මාව කැඳවා, ඇදහිල්ලෙන් ශක්තිමත් කර, නව ගිවිසුමේ සේවකයෙක් ලෙස සූදානම් කර ඇත.

උන්වහන්සේගේ දේවල්වල යෙදී සිටින්න, ඔබේ ඇදහිල්ල වර්ධනය කරගන්න, ගොඩනඟා ගන්න.

ඔබට නිතර ඇසෙන්නාවූ දේව වචනයට එකඟ නොවන්නාවූ දේ දිනපතා ඔබ ප‍්‍රතික්ෂේප කළ යුතුය.

ඔබට දේවල් කළ හැකිවන්නේ ඔබගේ ඇදහිල්ල ස්ථීර නම් පමණි.

අපි දේව වචනය අසන්නට තෝරා ගැනීමක් කළ යුතුයි.

ඇදහිල්ල වර්ධනය වන්නේ දිනපතා වචනය ඇසීමෙනි.

කිසිදා දේව වචනය සුළු නොකරන්න.

සැබෑවූ ඇදහිල්ලේ ගමන නම් ශුද්ධාත්මයාණන්වහන්සේ කියන්නාවූ දෙයට කීකරුවීමයි. ශුද්ධාත්මයාණන්වහන්සේට කීකරු වෙන්න, උන්වහන්සේ ඔබේ ජීවිතයේ කරන වෙනසට ඉඩ දෙන්න.

හෙබ්‍රෙව් 4:6-7
එබැවින් සමහරුන් ඊට ඇතුල්වන්ට ඕනෑ බැවිනුත් ඒ ශුභාරංචිය පළමුකොට ඇසූ අය අකීකරුකම නිසා ඇතුල් නූණ බැවිනුත්, උන්වහන්සේ දාවිත් ලවා එපමණ කාලයකට පසු කථාකරවමින්, ඉහත කීවාක්මෙන්: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම්, නුඹලාගේ සිත් දැඩිකර නොගන්නැයි, අදය කියා, නැවත එක්තරා දවසක් නියමකරනසේක.

අකීකරුකම යන වචනයේ තවත් අර්ථයක් වන්නේ නොඇදහිලිකාරකමය.

නොඇදහිලිකාරකමින් ජීවත් වීම යනු, දේව වචනයට අකීකරු වීම හෝ එය සුළු කිරීමය.

වචනය අසා අපි ආත්මිකව පෝෂණයක් ලබා ගනිමු. මේ ස්ථීර වචනය සම්පූර්ණයෙන්ම අපි විශ්වාස කරමු.

වචනය සුළු කිරීමෙන් ඔබේ ජීවිතයේ ඇල්මැරුණුභාවය, දෙසිත් ගතිය, සැකය, සහ එකිනෙකා සමග නිවැරදිව අදහස් හුවමාරු කර ගැනීමට නොහැකි වේ.

වචනය සුළු කිරීමෙන් අපි ජීවත් වෙන්නට යන්නේ අකීකරුකමින්, නොඇදහිලිකාරමෙන්ය.

දෙවියන්වහන්සේ සමඟ ගමන් කිරීමට අප සිතින් තෝරා ගත්තානම් නොඇදහිලිකාර මනුෂ්‍යයන් සමඟ අපට එකට ගමන් කළ නොහැකිය.

ස්වාමීන්වහන්සේව ප්‍රසන්න වන්නේ අපි ඇදහිල්ලෙන් ජීවත් වූවොත් පමණය.

ඇදහිල්ල ක‍්‍රියාවට නංවමින් ඔබේ ජීවිතයේ බලාපොරොත්තු වන දේවල් ලබා ගැනීම ඔබ සලස්වා ගත යුතුය.

ඇදහිල්ල නිතරම ප්‍රකාශ කරන්නේ "මට දැනටමත් එය ලැබී ඇත" කියායි.

අප දේව වචනය අසන්නෝ පමණක් නොවී ඒ අනුව ගමන් කරන්නන් විය යුතුය.

හෙබ්‍රෙව් 4:2
මක්නිසාද ඔවුන්ට මෙන් අපටත් ශුභාරංචිය දේශනාකරනලද්දේය. නුමුත් ඇසූවන් සමඟ ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නොවූ බැවින් ඇසූ වචනය ඔවුන්ට ප්‍රයෝජනවත් නොවීය.

ඔබ දේව වචනය සමඟ ඇදහිල්ලෙන් එක්සත් විය යුතුයි. නැතහොත් ඔබට එයින් කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත.

දේව වචනය ඇසූ නමුත් මම එය විශ්වාස නොකළහොත්, එය මගේ ජීවිතයට ප‍්‍රයෝජනවත් වන්නේ නැත.

ඔබ තුළ තිබෙන නොඇදහිලිකාරකම වෙනත් කෙනෙකුට හොඳින් දකින්නට පුලුවන. ඒ ඔබගේ වචන වලින් ඔබගේ හැසිරීමෙන් ක්‍රියා තුළින්, සහ තීරණ වලින්ය.

ඔබ නිදහසට කරුණු නොදී, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට කතා කරන දේට ඇහුම්කන් දී, එය පිළිගෙන, වැරැද්ද හදා ගත යුතුය.

ඔබගේ ඇදහිල්ල පාවිච්චි කරමින් මාංශාකාරවූ දුර්වල දේවල් වෙනස් කරගත යුතුය.

ඔබේ දුර්වලකම් නිදහසට කාරණාවක් ලෙස නොපිළිගන්න.

ඊර්ෂ්‍යාව, නොඇදහිලිකාරකම, කෝපය ආදී මාංශාකාර වූ ඵල ඔබේ ජීවිතයේ මුල් වලින්ම උදුරා දමන්න.

දෙවියන්වහන්සේ ඔබට දී ඇති හික්මවීමේ මනස ක‍්‍රියාවට නංවන්න.

ඔබ තුළ ඉවසීමක් නැතිව සිටින කෙනෙක් නම් ඇදහිල්ලෙන් එය වෙනස් කරගන්න.

ඉවසීමෙන් ඔබගේ වචන පාවිච්චි කරමින් නිවසේ අශුද්ධ දේවල් වෙනස් කරගන්න.

ඉවසීමෙන් හා ඇදහිල්ලෙන් පොරොන්දු උරුම කර ගැනීමට හැකිවේ.

නොකඩවා එක සිතකින්, එක මනසකින්, දෙයක් කිරීමට ඔබ තීරණය කර, ගමන් කල යුතුය.

ඔබගේ නිවසට ඇතුල් වී තිබෙන අඳුරුභාවයට විරුද්ධව නැගිට, වචනය පාවිච්චි කරමින් යේසුස්වහන්සේගේ නාමයෙන් දුරු වී යන්ට අණ කරන්න.

ඔබගේ නිවසට ආශීර්වාදය, සමාදානය නිදහස් කරන්න

වියවුල්කමට, නපුරු ආත්මවලට, අපගේ විරුද්ධකාරයාට අණ කළ යුතුයි.

නපුරු ආත්ම කීකරු වන්නේ ඔබගේ වචන වලටය. ඔබගේ විරුද්ධකාරයාට යේසුස්වහන්සේගේ නාමයෙන් කථා කරමින් දුරුවී යාමට අණ කල යුතුයි.

ඔබ නිදහස් වන්න. ඔබගේ ආධිපත්‍යය පාවිච්චි කරමින් වෙනස් කල යුතු දේවල් වෙනස් කරන්න. නැතහොත් යක්ෂයා ඔබව එක් තැනකට කොටු කරනු ඇත.

එසේම සමහර දේ අප කඩිනමින් කළ යුතු අවස්ථාද ඇත.

ඇදහිල්ලෙන් බලාපොරොත්තු වන දේවල් කෙරෙහී ඉවසිල්ලෙන් බලා සිටිය යුතුය.

පාවුල් තුමා පැවසූවේ, එතුමාගේ මුඛය එතුමාගේ ශරීරයේ තිබෙන දේවල් වෙනස් කිරීමට පාවිච්චි කරන බවය.

1 කොරින්ති 9:26‭-‬27
එබැවින් මා දුවන්නේ සැකයෙන් මෙන් නොවේය; පහරදෙන්නේ හුළඟට පහරදෙන්නාක්මෙන් නොවේය. නුමුත් මාගේ ශරීරය දමනයකර වහල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයි ලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.

මේ ඇදහිල්ලේ ගමනේදී පහර දිය යුතු දේවල් වලට ඔබ පහර දෙන්න.

මගේ ජීවිතයේ, සිතුවිලි වල, නිවසේ දේවල් වල, පෞද්ගලික ජීවිතයේ, ඇති විය යුතු වෙනස්කම් මා තෝරා ගත යුතුයි.

මා වෙනස් නොවුනොත් වෙනත් කෙනෙකුට බලපෑමක් ඇති කල නොහැකියි.

ඔබගේ අවංක කමින් ආත්මික වචන පාවිච්චි කරමින් ඔබගේ නිවසේ ආධිපත්‍යය හසුරවිය හැකිය.

ඔබගේ නිවස ආත්මික වාතාවරණයකට යටත් කරන්නේ ඔබගේම වචන වලින්ය.

දේව වචනයට කීකරු වෙන්න යැයි ඔබගේ ශරීරයට අණ කිරීමෙන් ඔබගේ ශරීරය දමනය කර ගත හැකිය.

ආධිපත්‍යයේ වචන වලින් රෝගයට අණ කළ යුතුය.

පාවුල්තුමා පවසන්නේ ඔබගේ වචන වලින්ම ඔබගේ ශරීරය දමනය කරගන්න කියායි.

අප ජීවත්වන්නේ අප ප‍්‍රකාශ කරන වචන තුළිණි.

ශරීරය පාලනය කල යුතුයි, වහල් කමට ගෙන ආ යුතුයි, එසේ නොවුනහොත් යක්ෂයා මාගේ ශරීරයෙන් අයුතු ප‍්‍රයෝජන ගැනීමට පොලඹවනු ඇත.

ඔබගේ වචන හා කතා විලාශය වෙනස් කරගන්න.

දෙයාකාර ජීවිතයක් ගත නොකරන්න.

නිවස තුළ වැරදි වචන කතා කළොත් ඉක්මනින්ම සමාව ඉල්ලාගෙන වාතාවරණය වෙනස් කරගන්න.

වැරදි බීජයන් වලට පැල වෙන්න ඉඩ නොදී නිවස තුළ සමාදානයේ වචන කතා කල යුතුයි.

නිවසේ සමාදානය නොමැතිනම් ඔබ සමාදානයේ වචන කථා කිරීමට පටන් ගත යුතුය.

ඔබව ජීවත් කරවන්නේත්, වහල් භාවයට පමුණුවන්නෙත් ඔබ කථා කරනා වචනයමයි.

1 පේතෘස් 4:11
යමෙක් කථාකෙරේ නම්, දෙවියන්වහන්සේගේ වාක්‍ය වශයෙන් කථාකරාවා; යමෙක් සේවයකෙරේ නම්, දෙවියන්වහන්සේ සපයාදෙන ශක්තියේ ප්‍රකාර සේවයකරාවා. දෙවියන්වහන්සේට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සියලු කාරණාවලදී ගෞරව පැමිණෙන පිණිස එසේකරන්ට ඕනෑය. මහිමයත් පරාක්‍රමයත් සදාකාලේටම උන්වහන්සේගේය. ආමෙන්.

මනුෂ්‍යයන් සමඟ කතා කරන විට දේව වචනය පමණක් කතා කරන්න.

ශුද්ධාත්මයාණන්වහන්සේ මඟ පෙන්වන ආකාරයට කතා කරන්න.

ඔබගේ අනාගතය ගැන අනාගතවාක්‍ය කතා කරන්න.

ඔබගේ මුඛයෙන් දේව වචනය කතා කරන්න.

දෙවියන්වහන්සේ ඔබගේ මුඛය වචන වලින් පුරවා ඇත්තේ ඔබගේ සවිය අලුත් කරගැනීමටය.

ඔබගේ වචන වලින් කතා කරන වචනවලට පළමුකොට ඇහුම්කන් දෙන්නේ ඔබමයි, එය නැවත හැරී යන්නේ සිතටයි.

සිතේ පූර්ණකමින් මුඛය කතා කරයි.

ඔබ යහපත් ශුද්ධ දේවල් කතා කරන්නට පටන් ගන්න.

සියල්ලට වඩා ඔබගේ සිත ආරක්ෂා කරගන්න.

2 කොරින්ති 10:3
මක්නිසාද අපි මාංසයෙහි හැසිරෙන නුමුත් මාංසයේ හැටියට යුද්ධ නොකරමුව.

අපට යුද්ධයක් ඇත. අපගේ විරුද්ධකාරයන් මනුෂ්‍යයන් නොවේ. අපගේ විරුද්ධකාරයා ආත්මයක්ය. ඒ පිටුපස ක්‍රියා කරන්නේ යක්ෂයාය.

අපි එකිනෙකා සමඟ සටන් කරන්නේ නැත. එසේ කලහොත් අපි පරාද වෙමු. ආත්මයෙන් බලකොටු බිඳ හෙලිය යුතුයි.

අපි ආත්මික මනුෂ්‍යයන් නිසා ආත්මයෙන් ගමන් කල යුතුයි.

අපි ආත්මික තලයේ පරාජය වුවහොත් එය මාංශයට විශාල බලපැමක් ඈති කරයි.

ඔබගේ සිතුවිලි පාලනය කරගන්නේ ඔබගේ වචන ප්‍රවේසම්ව කතා කිරීමෙන්ය. එවිට ඔබ යුද්ධයෙන් නිසැකයෙන් ජය ගනියි.

2 කොරින්ති 10:4‭
(මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)

ඔබව මාංශයට බර කරමින් ඔබව පරාජයට පත් කරන්නට යක්ෂයාට පුලුවන.

දෙවියන්වහන්සේ තුලින් ජය ගැනීමට ඔබට බලය, ශක්තිය, හැකියාව ලැබෙනු ඇත.

අපි වචන කතා කරමින් ජයගත් නමුත් මේ යුද්ධය මාංශාකාරව අපට ජය ගන්නට නොහැකියි.

අපි වැරදි වචන කතාකර තිබෙනවා නම් වෙනස් වෙමු. සමාව අයැද සිටිමු. නැතහොත් ඔබට යක්ෂයා ලෙඩ රෝග වලින් පහර දෙනු ඇත.

යාකොබ් 5:16
එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි.

අපගේ සමහර, හිගකම්, ප‍්‍රශ්න, අසනීප වලදී, අන් අයට සමාව නොදීම, තිත්තකම්, වෛරයන් හේතු විය හැකිය.

අපගේ සුවය ලබන පිණිස සමාව දීම හා සමාව ඉල්ලීම වැදගත්ය.

යක්ෂයාගේ කැමැත්ත අපව මාංශාකාර දේවල් වලට බර කරමින් අපව පරාජයට පත් කරන්නටයි.

අපගේ ඇදහිල්ල බාධාවක් නොමැතිව ක්‍රියාත්මක විය යුතුයි.

අප ජීවත්වන්නේ දෙවියන්වහන්සේගේ ආලේපයෙනි.

එපීස 4:32
නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න.

දෙවියන්වහන්සේ ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් ඔබට සමාව දුන් ලෙසම ඔබටද අන් අයට සමාව දීමේ හැකියාව තිබිය යුතුය.

නිවස තුළ භාර්යාව හා ස්වාමිපුරුෂයා අතර තිබෙන ප්‍රශ්න අනවශ්‍යය වචන කථා නොකර ඉක්මනින්ම විසඳා ගන්න.

එවිට දෙවියන්වහන්සේගේ ආශිර්වාදයට බාධා වන දේවල් ඉවත් කරගෙන දෙවියන්වහන්සේ තුළ සඵල විය හැකිය.

හිතෝපදේශ 28:13
තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.

වරද සඟවා නොගන්න. වැරැද්ද කියා දෙන්න. අන් අයගෙන් සමාව අයැද නිදහස් වෙන්න. වැරැද්ද නිවැරදි කරගන්න. එවිට ඔබට සඵලවත් වී ආශීර්වාද ලබා ගත් හැකියි.

වැරැද්ද කියා දී අත් හැර, සමාව ඉල්ලීමට ලැජ්ජා නොවිය යුතුය.

අපගේ ආශිර්වාදය ලැබීම වලක්වා ඇත්තේ ඉතා කුඩා හිරවීමක්, බාධාවක් විය හැකිය.

ඔබගේ වරද කියාදීමෙන් ඔබට අනුග්‍රහය ලබා ගත හැකියි.

අපගේ කොටස අප කල විට දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ගලා එනු ඇත.

නොසිතූ ආශීර්වාද ඔබට ලබාගන්නට හැකි වෙයි.

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබගේ ජීවිතයට ආශීර්වාද ගංගාවක් මෙන් ගලා එන්නටයි.

සම්සොන් බලවත් මනුෂ්‍යයෙක්. සම්සොන් අශුද්ධකමට බර වූ නිසා ඔහු මාංශයට වැටුණු නිසා පරාජයට පත්වූවා. (විනිශ්චයකාරයා 16:31)

දෙවියන්වහන්සේ සම්සොන්ව පත් කලේ උන්වහන්සේගේ කැමැත්ත කරන්නටයි. (විනිශ්චයකාරයා 13:5)

නමුත් ඔහුගේ අකීකරුකම නිසා, ආත්මික තලයේ ආශිර්වාද අහිමි වීම හා ලැජ්ජාවට පත් වීමටද සිදු විනි. (විනිශ්චයකාරයා 16:20-21)

බලකොටුවක් මනුෂ්‍යයකුගේ ජීවිතයේ තිබුනහොත් ඔහුට ඊට එහා දෙයක් නොපෙනේ, බලකොටු නිසා ශුභාරංචි වචනය පවා නොඇසෙන්නට, නොපෙනෙන්නට පුලුවන් වන අතර යහපත් දේ එම ජීවිතයට ඇතුලු නොවන පිණිස එම බලකොටුව එම පුදගලයාව වසා ඇත.

ඔබගේ මනසේ කාලයක් තිස්සේ සිට පවතින බලකොටු ඔබ කඩා බිඳ දැමිය යුතුයි.

ඔබ වැරදි තීරණ ගන්නේ මනස තුළ තිබෙන බලකොටු නිසා
මනසේ බලකොටු බිඳ දැමීමෙන් ආත්මයාණන්වහන්සේ කතා කරන දේ පැහැදිලිව ඇසිය හැක.

ස්වාමීන්වහන්සේට අවශ්‍ය වන්නේ අපගේ මනස තුළින් ක්‍රියා කරන්නටයි.

මනසේ බලකොටු ඇති විට හාස්කමක් සිදු වුවද ප‍්‍රතිඵලයක් නොලැබී නැවත පෙර තත්වයටම පත් විය හැකිය.

භය නැමැති බලකොටු කඩා බිඳ දමන්න. එවිට ඔබගේ බලකොටු බිඳ දමා ඉදිරියට යා හැකියි.

1 කොරින්ති 10:5
අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.

වාද විවාද, වැරදි අදහස්, සිතුවිලි සම්පූර්ණයෙන් වෙනස් කරගන්න.

වැරදී දේ නොසිතා නිතරම හරි දේ සිතන්නට අරඹන්න.

ඔබ සැකය දුරු කරන්න. දෙවියන්වහන්සේගේ වචනයට විරුද්ධව තිබෙන දේවල් වෙනස් කරගන්න.

කොයිතරම් දේව වචනය ඇසුවත් නිදහස්වීමට නොහැකි වන, අපගේ මනස තුළ තිබෙන බලකොටු බිඳ හෙළා දමමු.

සෑම සිතිවිල්ලක්ම ක‍්‍රිස්තුස්වහන්සේගේ කීකරුකමට ගෙන එමු.

දෙවියන්වහන්සේ අපගේ අනාගතය ගැන සිතන්නේ යහපත් සිතුවිලිය. භය සිතුවිලි පහකර දමන්න.

යෙරෙමියා 29:11
මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.

ඔබ, ඔබ ගැනම සිතන වැරදි සිතුවිලි වෙනස් කරගන්න.

උන්වහන්සේ ඔබගේ දියුණුවීම ගැන හොඳ යෝජනා සිතනසේක.

වර්තමානයේ හිඟතාවය දෙස බලා අනාගතය තීරණය නොකල යුතුය.

ඔබ පෙනීමෙන් ගමන් නොකර, ඇදහිල්ලෙන් ගමන් කරන්න.

ඔබ අනාගතය ගැන දෙවියන්වහන්සේ සිතන්නේ සමාදානයේ යෝජන, එනම් සඵලත්වයයි.

ඇදහිල්ල ඉදිරියට යාමයි. ඇදහිල්ල පස්සට යන ගමනක් නොවේ.

ඇදහිල්ල තුලින් අපට සියල්ල කල හැකියි.

වචනයට ඇහුම්කන් දී ඔබගේ මනසේ බලකොටු බිඳ හෙළා දමන්න.

ඔබ භය වී තීරණ නොගන්න.

යෝබ්ගේ මනස තුළ තිබුණේ භයාදුකමේ බලකොටු. ඔහු බොහෝ දේවල් ගැන බය වුණා. එය ඔහුට සිදුවුණි.

යෝබ් 3:25
මක්නිසාද මා භයවන දේ මට මා භයපත්කරන දේ මට සිද්ධ වෙන්නේය.

ඔබගේ මනස තුළ තිබෙන බය බලකොටු කඩාබිඳ දමන්න.

ඇදහිල්ලෙන් ඉදිරියට යා යුතුය.

ඔබගේ මනසට ඔබව පාලනය කරන්නට ඉඩ නොදෙන්න.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ මග පෙන්වීමට ඉඩ දිය යුතුය.

ඔබට එන සියලු සිතුවිලි සත්‍ය නොවේ. සත්‍යය දෙවියන්වහන්සේගේ වචනය පමණි.

ඔබට වැරදි අත්දැකීම් ඇත්නම් වෙනස් කරගන්න.

දේව වචනයට වඩා ඔබගේ අත්දැකීම් උසස් කර නොගත යුතුය.

පරණ පුරුදු, පරණ සිතුවිලි ප්‍රතික්ෂේප කල යුතුයි.

සෑම සිතුවිලි ක්‍රිස්තුස්වහන්සේට යටත් කර වාල්කරගන්න.

රෝම 8:5
මක්නිසාද මාංසිකලෙස සිටින්නෝ මාංසික දේවලටද ආත්මිකලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම්වෙති.

මාංශාකාරව සිතන අය මාංශායට ඇලුම් වී සිටියි.

ඔවුන් ලඟ ඇති දේ පමණක් දකින අතර දුර ඇති දේ දකින්නට නොහැකි වෙයි. ඒ දේ දකින්නට හැක්කේ ඇදහිල්ලෙන් පමණි.

ආත්මයාණන් තුළට බරවී සිටින අය ආත්මයෙන් තීරණ ගන්නේය.

මාංශයේ බලපෑම නිසා අපි වැරදි තීරණ ගැනීමට පෙලඹීමට පුලුවන.

අභ්‍යන්තරයේ සමාදානයක් නැතිනම් අපි ගන්න තීරණ වැරදි විය හැකිය.

ඇදහිල්ල නිතර නිතරම ක්‍රියා කරන්නේ ඉවසීම තුළිනි.

රෝම 8:6
මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.

මාංශයේ ඇල්ම මරණයයි. පරාජය හා අසහනයත් මෙහි ප්‍රතිඵල වෙයි.

ස්වාමීන්වහන්සේ ඔබ ගැන සලකන සේක.

ඔබගේ සියලුම කරදර විසඳන්නට දෙවියන්වහන්සේට ඉඩ දෙන්න. ස්වාමීන්වහන්සේ ඔබට සලකන බව විශ්වාස කරන්න.

1 පේතෘස් 5:7
උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න;

ඔබ ස්වාමීන්වහන්සේ පිට ඔබගේ බර පටවන්න.

දෙවියන්වහන්සේ ඔබට පවසන්නේ උන්වහන්සේ මත ඔබගේ බර පටවන්න. උන්වහන්සේ ඔබගේ කරදර වලට විසඳුම ගෙනදෙනසේක.

උන්වහන්සේව විශ්වාස කර අපගේ සියලු බර හා කරදර එතුමාට භාර දෙමු.

රෝම 8:6
මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.

ආත්මික මනසක් ඇතිව ඔබ සිටියහොත් ඔබට ජීවනය අත්දැකිය හැකිය.

යොහන් 10:10
සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය.

මේ වචනය තුළින් ඔබගේ මනස සිතුවිලි වෙනස් කරගන්න.

ඔබගේ මනස වෙනස් කරගන්න, එවිට දෙවියන්වහන්සේ පොරොන්දු වු ජීවනය හා සමාදානය නම් වූ සම්පූර්ණ ප්‍රතිඵල ලබාගත හැකිවනු ඇත.

ජීවනය ලබා ගැනීමට ඔබට ආත්මික මනසක් තිබිය යුතුය.

ආත්මිත මනසක් සාදා ගත හැක්කේ වචනය තුළින් සිතුවිලි වෙනස්කර ගැනීමෙනි.


Watch the Sermon Video

Read 302 times