+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේගේ නාමය නිසා පීඩා විඳින්නන්ව අපි සනසමු - යෝෂා මනූ
March 12, 2023 Sunday Sermon Notes


යක්ෂයා බැඳ දමා ඇති සියළු බන්ධන වලින් දම්වැල් වලින් ඔබට නිදහස දීමට දේව වචනයට පුළුවන. ඔබ එය විශ්වාස කළ යුතුය.

වියගස් කඩා බිඳ දැමීමට තරම් අපගේ ජීවිතය තුළ දේව වචනය බලවත් ලෙස ක‍්‍රියා කරයි. දේව වචනය නිතරම මනුෂ්‍යයන් මුදවා හරිමින් නිදහස් කරනු ලබයි.

දේව අභිමුඛය තුළ නිතරම ප‍්‍රීතිය, සුවය, ජයග‍්‍රහණය මිදීමේ බලය ක‍්‍රියාත්මක වේ.

දෙවියන්වහන්සේගේ බලය තුළින් නිතරම අප නිදහස් කරනුයේ දේව වචනයයි.

ඔබ දේව වචනයට කීකරුව, ඒ අනුව ජීවත්වුවහොත් ඔබට එම නිදහස අනිවාර්යයෙන්ම අත්විඳිය හැකිය. එය දෙවියන්වහන්සේගේ කැමැත්තයි.

දෙවියන්වහන්සේගේ කැමැත්ත නිතරම මනුෂ්‍යයා බන්ධනයෙන් මිදී නිදහස්ව ජීවත්වීමය.

දෙවියන්වහන්සේ අපව අන්ධකාරයෙන් ආලෝකයට ගෙනාසේක.

යෙසායා 10:27
තවද ඒ දවසේදී ඔහුගේ බර නුඹේ කරෙන්ද ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන්ද පහවන්නේය, නුඹේ තරකම නිසා වියගහද කැඩෙන්නේයයි කියනසේක.

අපව සියළු වියගස් වලින් නිදහස් කරනු ලබන්නේ යේසුස්වහන්සේගේ ආලේපයයි.

ගැළවීම ලැබීමට පෙර අප සිටියේ යක්ෂයාගේ බන්ධන වලට යටත්ව දම්වැල් වලට කොටුවීමෙනි. අප උපතින්ම ජීවත්වූයේ යක්ෂයාගේ බන්ධන තුළය.

අප යේසුස්වහන්සේගේ සුභාරංචිය පිළිගත් මෙහොතේ යේසුස්වහන්සේ අපගේ එම වියගහ කඩා දමනු ලද්දේය.

යුදෙව් නායකයන් ඉශ‍්‍රායෙල් සෙනඟ මත මහත් ව්‍යවස්ථා බරක් පටවා තිබුණි. යේසුස්වහන්සේ එම මනුෂ්‍යයන්ට එයින් නිදහස් වීමට ආරාධනා කරන ලදි.

මතෙව් 11:28‭-‬30
වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.

යේසුස්වහන්සේ වෙතට එන්නාවූ සියල්ලන්වම ඔවුන් සිටිනා ආකාරයෙන්ම උන්වහන්සේ පිළිගෙන ඔවුන්ව යහපතට හසුරුවනු ලබයි.

අපට යේසුස්වහන්සේව අවශ්‍ය වනුයේ අපට කළ නොහැකි දේ උන්වහන්සේ අප තුළ කරමින් අපට ජයග‍්‍රහණය දුන් නිසායි.

සහනය සැනසිල්ල ලැබෙණුයේ දෙවියන්වහන්සේගෙනි.

මනුෂ්‍යයන්ගේ සැනසීම තාවකාලිකය. එහෙත් දෙවියන්වහන්සේගේ සැනසීම අභ්‍යයන්තරයටම දැනේ.

ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ සැනසිලිකරුය.

යේසුස්වහන්සේ සිතින් මෘදුව සිටින්නාවු තැනැන්වහන්සේය.
උන්වහන්සේ තුළ තිබුණේ ජීවනයේ වචන. ඒ වචන වලින් මනුෂ්‍යයන්ට සහනය, සැනසිල්ල ලැබුණි.

වේශ්‍යාකමේ යෙදීසිටි කාන්තාව යේසුස්වහන්සේ වෙතට ගෙන ආ විට සියලු දෙනාම ඇයට දොස් පවරමින් වරදට පත් කරමින්, ඇයට යේසුස්වහන්සේ කියන්නේ කුමක්දැයි අසන්න බලා සිටින ලදි, නමුත් උන්වහන්සේ කිසිවක් පැවසුවේ නැත. (යොහන් 8:1-11)

යේසුස්වහන්සේ අනුග‍්‍රහයයි. (යොහන් 1:17)

ඔවුන් ඇයව ගෙනාවේ අනුග‍්‍රහයේ සිංහාසනය ඉදිරියටය. යේසුස්වහන්සේ අනුග්‍රහයමයි.

උන්වහන්සේ කිසිවක් නොකියා බිම ලියන්න පටන්ගන්නා ලද්දේය. උන්වහන්සේ ලිව්ව දේ ඒ පැමිණි අය කියෙව් අතර, ඒ දේ ඔවුන්ගේ හදවතට දැනුණි.

ඔවුන් එකිනෙකා තමන් කරන්න ආ කාරණාව අතහැර, පිටත්ව ගියෝය.

යේසුස්වහන්සේ සහනය ගෙනදෙන තැනැන්වහන්සේය. උන්වහන්සේ ඇයට සමාව දී ඇයව සම්පූර්ණකමට පත් කර සැනසිලි වචන කතා කළසේක. (යොහන් 8:11)

උන්වහන්සේ මෘදුව යටහත්ව සිටිසේ අපිද එම ගුණාංග ඇති කර ගනිමු.

අප යේසුස්වහන්සේගෙන් ඉගෙන ගනිමින්, හා එකඟවෙමින් උන්වහන්සේගේ වචන අපේ හදවතේ තැන්පත් කර ගනිමින් උන්වහන්සේ සමඟ ගමන් කරමු.

යේසුස්වහන්සේ ජයගත් සේක. අපි ජයගත්තාවූ උන්වහන්සේ සමඟ එකඟවෙමින් ගමන් කරමු, එවිට අපේ ආත්මවලට සහනය ලැබෙන්නේය.

යක්ෂයාගේ වියගහ බරයි, එය අපව බන්ධනයේ තබයි.

නමුත් යේසුස්වහන්සේගේ වියගහ සැහැල්ලුය. උන්වහන්සේ පවසන බර යනු උන්වහන්සේට සේවය කිරීමයි.

යේසුස්වහන්සේගෙන් ඉගෙන ගැනීම හා සේවය කිරීම සැහැල්ලුය.

දේව සේවය බරක් ලෙස හැඟෙන්නේ, තම ශක්තියෙන් සේවය කිරීමට තැත් කරන්නාටය. එසේ කිරීමට යාමෙන් ඔහු වෙහෙස වී විඩාවට පත්වේ.

යේසුස්වහන්සේට අවශ්‍ය වන්නේ අප සේවය කිරීම නොව, උන්වහන්සේ අප තුළින් සේවය කිරීමටයි.

යේසුස්වහන්සේ පවසන්නේ, උන්වහන්සේ සමඟ ගමන් කරමින්, උපකාරය ලබා ගනිමින්, උන්වහන්සේට අප තුළින් ක‍්‍රියා කිරීමට ඉඩ දෙන ලෙසය.

අපගේ දෑත්, දෙපා මුඛය හදවත උන්වහන්සේගේ ක‍්‍රියාකාරීත්වයට භාර දිය යුතුය.

අපගේ මාංශික ශක්තියෙන් නොව, දෙවියන්වහන්සේගේ නිදහසින් සැහැල්ලුභාවයෙන් සේවය කරන්නට උපකාර ඉල්ලමු.

වියගහ කඩන තරමට උන්වහන්සේගේ ආලේපය බලවන්තයි. එම ආලේපයෙන් අපව යක්ෂයාගේ බර දම්වැල් නැමැති වියගහ කඩා බිඳ දමමින් නිදහස් කරයි.

යේසුස්වහන්සේගේ නාමය නිසා පීඩාවලට අපෙන් ජයගත නොහැකියි.

යේසුස්වහන්සේගේ නාමය නිසා පීඩා විඳින්නන්ව අපි සනසවමු.

පීඩා විඳින්නන් ගැන උඩඟුකමින් නොහැසිර, ඔවුන්ගේ පීඩාව දෙස බලා සතුටු නොවී ඔවුන්ව සනසමු. මන්ද අපිත් එවැනි පීඩා වලින් පසුකළා වූ දවස් තිබී ඇත.

පීඩාවන්ට බියෙන් ආපසු නොහැරිය යුතුය. යේසුස්වහන්සේ පැවසුවේ නඟුලට අත තබා ආපසු නොබැලිය යුතු බවයි. (ලූක් 9:62)

සිත් කැඩී බිඳී වේදනාවෙන් සිටින අයව ප්‍රේමයේ වචන වලින් සනසමු. ඒ අය ධෛර්යයමත් කරමින් ඔවුන් හා එක්ව යාච්ඤා කරමු.

2 කොරින්ති 1:4
අපි දෙවියන්වහන්සේගෙන් යම් සැනසිල්ලක් ලැබුවෙමුද, ඒ සැනසිල්ල කරණකොටගෙන කොයි පීඩාවක් නුමුත් විඳින්නන් සනසන්ට අපට පුළුවන්වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක.

පීඩාව තුළින් ගමන් කරද්දී දෙවියන්වහන්සේ අප සමඟ සිටින නමුත් එය අපට නොහැඟෙන නිසා අපව අතහැරියේ ඇයි ලෙසට අප ප‍්‍රශ්න කරන නමුත් දෙවියන්වහන්සේ අප තුළම සිටියි.

අපි ගමන් කරන ඇදහිල්ලේ ගමන දෙස දෙවියන්වහන්සේ නිරතුරුව අප දෙස බලාගෙන සිටින අතර, අප ඉවත හැරෙන විට උන්වහන්සේගේ හඬින් අපට කතාකරමින් අපව නිවැරදි කරයි.

පීඩාව තුළ ඇදහිල්ල හා ඉවසිලිවන්තකම එකට ක‍්‍රියාත්මක විය යුතුයි. ඒ තුලින් අපට දෙවියන්වහන්සේගේ ශක්තිමත්භාවය ලැබෙනු ඇත.

ගීතාවලිය 34:19
ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගළවනසේක.

සෑම පීඩාවකදීම එයින් ගළවන මාර්ගයක් පිළියෙල කිරීමට දෙවියන්වහන්සේට පුලුවන. (1කොරින්ති 13:1)

ඔබ පීඩා මානසිකත්වයෙන් නිදහස් විය යුතුය. අපව දුර්වල කරන වචන කතා කිරීම නවත්වමු.

පීඩා කවදාවත් ඔබගේ අභ්‍යන්තරයට ඇතුල්වන්නේ නැත. යක්ෂයා බලනුයේ පිටාතරයෙන් ඔබගේ ආත්මික ගමන නතර කරන්නටය.

අපගේ සාක්ෂිය නතර කරනු පිණිස ගෙන එන පීඩාවට බිය නොවී ප‍්‍රශංසා කරමු.

පීඩාව වර්ණනා නොකරන්න.

අප භය නොවී, නොකැලඹී සමාදානයෙන් ක‍්‍රියා කරමු.

යෙසායා 3:10
ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේයයි කියන්න. මක්නිසාද ඔව්හු තමුන්ගේ ක්‍රියාවල ඵල භුක්තිවිඳින්නෝය.

පීඩා පැමිණියත් ධර්මිෂ්ඨයාට යහපත සිදුවේ. පීඩාවත් යහපතට හැරවීමට දෙවියන්වහන්සේට පුලුවන.

යහපත් ක්‍රියා කරන විට අපට ඵල ලැබෙන බවත්, ඒවා අපි භුක්ති විඳින බවත් ස්ථීරය.

අප ඇතුල් වි ඇත්තේ තාවකාලික ගමනකට නොව සදාකාලික ගමනකටය.

යේසුස්වහන්සේ අපට පවසන්නේ ශක්තිමත්ව ධෛර්යයමත්ව සිටින ලෙසය

හිතෝපදේශ 24:16
මක්නිසාද ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැගිටින්නේය; නුමුත් දුෂ්ටයෝ විපත්තිය කරණකොටගෙන වැටීයන්නෝමය.

ඔබ ධර්මිෂ්ඨය. ඔබ වැටුණත්, පරාජය තිබුනත්, පීඩාව තිබුණත් නැඟිටින්න..


Watch the Sermon Video

Read 254 times