+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේගේ නාමය නිසා ඔබ ක්‍රිස්තියානිකාරයෙකු මෙන් දුක්විඳින්නේ නම් ලජ්ජා නොවන්න - යෝෂා මනූ
April 30, 2023

1 යොහාන් 4:4
මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.

අපි ලෝකයෙන් ජයගත් සෙනඟක් වෙමු.

එනම් ලෝකයාගෙන් එන බලපෑම් ජයගත් සෙනඟක්ය.

ඒ බලපෑම් නම් මාංශික තෘෂ්ණාව, ඇස් වල තෘෂ්ණාව, හා උඩඟුකමය. 1 යොහාන් 2:16

අපගේ ජීවිත විනාශ කර දමන්නට ඒ බලපෑම් වලට හැකියාව ඇත.

අපි ලෝකයෙහි ජීවත් වන නමුත් ලෝකය අපි තුළට ඇතුල් කර නොගනිමු.

අපගේ අභ්‍යන්තරයේ ජීවත් වන්නේ යේසුස්වහන්සේය.

ඒ නිසා අපි සැහැල්ලු ජීවිතයක් ගත කරමු.

අපි කුණාටුවලට භිය නොවෙමු, මන්ද අපි ගමන් කරන්නේ කුණාටුවලට ඉහළිනි.

දෙවියන්වහන්සේ ඔබ තුළ සිටින නිසා භිය නොවන්න.

උන්වහන්සේ ඔබ ගිලෙන්නට නොදී ජය ගන්නට හැකියාව දෙයි.

නමුත් ලෝකයාව ඔබ තුළට ඇතුල් කර ගත්තොත් ලෝකයෙහි තිබෙන බර ඔබව සම්පූර්ණයෙන්ම යටපත් කර දමා ඔබව ගිලෙන්නට සලස්වයි.

එබැවින් ලෝකයාව ඔබේ හදවතට ඇතුල් කර නොගන්න.

මන්ද එය විශාල බරකි.

ඒ තෘෂ්ණාවන් දෙවියන්වහන්සේගෙන් නොවෙයි.

ඒවා ඇතුල් වෙන්නේ අප අසන දකින දේවල් වලින්ය.

පාපය පැමිණෙන්නේද එසේමයි, ඇදහිල්ල පැමිණෙන්නේද එසේමය.

රෝම 10:17
මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස්වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය.

1 යොහාන් 5:4
මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය.

ඔබ ඇදහිල්ලෙන් ගමන් කරනවා නම් ඔබ ගමන් කරන්නේ වතුර මතය.

යේසුස්වහන්සේ මුහුද පිට පයින් එද්ද පේත්‍රැස්ට ‘’එන්න’’ කියා කීවේය. මතෙව් 14:29

පේත්‍රැස් වතුරේ ගමන් කළේ උන්වහන්සේගේ ‘’එන්න’’ කියූ වචනය මතය.

නමුත් ඔහු කුණාටුව දෙස බැලූ කල ගිලෙන්නට පටන් ගත්තේය.

ලෝකයාව ඔබ තුළට ඇතුල් කර ගතහොත් ඔබ අනිවාර්යෙන්ම ගිලෙන බව දැනගන්න.

ඔබ තුළ තිබෙන ඇදහිල්ල ගොඩනඟා ගන්න.

මන්ද ලෝකයාගෙන් ජය ගන්න උන්වහන්සේ අපට ඇදහිල්ල දී ඇත.

ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙන්ය.

එහි තේරුම ඇසීම පමණක් නොව, අසන දෙයට කීකරු වීමෙනුත්ය.

ඔබ අසන්නෙක් පමණක් නම් ඔබ ඔබවම රවටා ගන්නෙකි.

නමුත් ඔබ වචනය අනුව ජීවත් වෙමින්, එය අදාල කරගෙන ඔබේ ජීවිතය වචනයට අනුව වෙනස් කරගත යුතුයි.

එසේම ඔබ හැසිරෙන ආකාරයත් කථා කරන විලාශයත් වෙනස් කරගත් කෙනෙක් නම් ඔබට ලෝකයෙන් ජය ගත හැකිය.
නැතහොත් ඔබ පරාජිතයෙකු වන්නේය.

ලෝකයෙහි දේවල් ඔබේ හදවතට ඇතුල් කර ගත්තොත් ඔබ විනාශ වන්නේය.

ඒවා බලකොටු මෙන් ඔබේ මනසේ සෑදී ඇති නම් ඒවා බිඳහෙළිය යුතුය. [2 කොරින්ති 10:4]

1 යොහාන් 2:12
මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලාට ලියා එවන්නේ, උන්වහන්සේගේ නාමය නිසා නුඹලාගේ පව් කමාකරනු ලැබූ බැවින්ය.

දෙවියන්වහන්සේ දැනටමත් අපේ පාපයට කමාව දී අවසානය.

අප දැන් පව්කරුවන් නොවේ.

අපි ධර්මිෂ්ඨ දෙවියන්වහන්සේගේ දරුවන් නිසා පාපයට තිබෙන ආශාව අප තුළ නැත.

ඔබගේ අභ්‍යන්තර ස්වභාවය වෙනස් නොවෙන තෙක් ඔබට පාපයෙන් ජයගත නොහැක.

උදාහරණයක් ලෙස ඌරෙකු හා බැටළුවෙකුගේ ස්වභාවයන් ගතහොත් ඌරා මඩේ සිටීමට ප‍්‍රිය කරන අතර, බැටළුවා පිරිසිදුව සිටීමට කැමතිය.

පිටස්තරයෙන් ඌරාගේ ස්වභාවය වෙනස් කිරීමට කුමන දෙයක් කළද ඒවා නිශ්ඵලය.

අප ජීවත් වූයේද ඌරාගේ එම ස්වභාවයෙනි.

නමුත් දෙවියන්වහන්සේ එම පව්කාර ස්වභාවයෙන් ගළවා, අපව බැටළුවෙකුගේ ස්වභාවයට වෙනස් කළේය .

අප වෙනුවෙන් පූජා වූ අපගේ බැටළුතුමාණන් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේය.

උන්වහන්සේ අපව පරණ පව්කාර ස්වභාවයෙන් වෙනස් කරමින් යේසුස්වහන්සේට කීකරු වී ගමන් කරන්න හැකි වන පිණිස බැටළු ස්වභාවයක් දී ඇත.

1 යොහාන් 2:13-14
පියවරුනි, මා නුඹලාට ලියා එවන්නේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනන්වහන්සේව අඳුනන බැවින්ය, තරුණයෙනි, නුඹලාට ලියා එවන්නේ, නුඹලා නපුරාගෙන් ජයගෙන සිටින බැවින්ය. ප්‍රිය දරුවෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පියාණන්වහන්සේ අඳුනන බැවින්ය 14 පියවරුනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනැන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා ශක්තිමත් බැවිනුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් නුඹලා ජයගත් බැවිනුත්ය.

මේ පදය අනුව ආත්මික පියෙක් යනුවෙන් අදහස් කරන්නේ, වයසින් වැඩිමහල් කෙනෙකු පමණක් නොවේ. ඔහු අභ්‍යන්තරයෙන් දෙවියන්වහන්සේගේ වචනයෙන් වර්ධනය වී සිටින, ආත්මික දරුවන් බිහිකරන, වෙනත් අයෙකුට උපදෙස් දිය හැකි ස්ථානයක සිටින කෙනෙකුය.

ඔහු මුල පටන් දෙවියන්වහන්සේව හඳුනා ගෙන ආත්මිකව වර්ධනය වී සිටින නිසා වෙනත් කෙනෙකුට උපදෙස් දීමට ඔහුට හැකිය.

ඔහුගේ ජීවිතයේ වැරදුනු තැන් ගැන කියා දෙමින් දෙවියන්වහන්සේගේ උපකාරය නිසා ජීවිතය ජයගත් ආකාරය ගැනත් අන් අයට අවවාද උපදෙස් ඔහුට දිය හැකිය.

එවැනි පියවරුන්ගේ අවවාද උපදෙස් අගය කොට සලකා ජීවිතයට එක් කර ගත යුතුය.

දෙවියන්වහන්සේ තරුණයන්ට බොහෝ සේ ප්‍රේම කරනසේක.

තරුණවියේදී අපේ ශක්තිය අපි උන්වහන්සේට දෙමු.

මන්ද තරුණවියේදී අපට කළ හැකි දේ වයසට ගිය පසු කළ නොහැකි විය හැකිය.

නමුත් දේව වචනයට අනුව උන්වහන්සේට වයස් සීමාවක් අදාල නොවේ.

මෝසෙස් තම ගමන ආරම්භ කළේ වයස අවුරුදු 80 න්, කාලෙබ් හා යෝෂුවාද 80 සහ 85 වයස්වලදී නායකත්වය දැරූ බව සඳහන් වේ.

නිවැරදි වචන කථා නොකිරීමෙන් ඔබ වයසට යා හැකිය.

දෙවියන්වහන්සේ අපගේ තරුණභාවය අලුත් කර ඇත.

අපගේ ශක්තිය නැවුම්භාවයට පත් කර ඇත.

ඔබ නපුරාගෙන් දැනටමත් ජය ගෙන අවසන්ය.

යේසුස්වහන්සේ ඔබට ජය දී ඇත.

‘’පියවරුනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනැන්වහන්සේව හඳුනන බැවින්ය’’.

‘’හඳුනන’’ යනු දෙවියන්වහන්සේව පෞද්ගලිකව කිට්ටු සම්බන්ධතාවයක් ඇතිව හඳුනා ගැනීමයි.

ඔවුන් උන්වහන්සේගේ හදවත දන්නාවූ අයයි.

උන්වහන්සේ අකමැති දේ නොකළ යුතු යයි දන්නාවූ අයය.

දේව වචනය ඔබ තුළ පැවතීමෙන් පමණක් ඔබට ශක්තිමත්ව සිටීමට හැකිවේ, නපුරාගෙන් ජය ගැනීමටද හැකිවේ.

1 යොහාන් 2:15
ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.

අප දෙවියන්වහන්සේට ප්‍රේම කරනවා නම් අපට දෙදෙනෙකුට ප්‍රේම කළ නොහැකියි.

දේව වචනයට අනුව සමහර දේවල් අත හැරීමට සිදු වේ.

කුරුසිය රැගෙන ඉදිරියට මිස පිටුපසට යා නොහැකියි.

යේසුස්වහන්සේ දෙසම බලමින් ගමන් කරන්නේ නම් ඒ ගමන පහසුය.

ලෝකයා සමඟ අත්වැල් බැඳගෙන දෙවියන්වහන්සේගේ ගමන යා නොහැක.

ලෝකයෙහි තිබෙන සියල්ල නම් යහපත හා නපුර පමණයි.

ආදම් සහ ඒව යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් අනුභව කළහ, වෙනත් ආකාරයට කිවහොත් එය යහපත හා විපත දැනගැනීමේ ගහ කියාද හැඳින්විය හැකියි.

ලෝකයේ මනුෂ්‍යයන් යහපත හා නපුර යන දෙකම කරමින් සිටියි.

1 යොහාන් 2:16
මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ. ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන මනුෂ්‍යය මේ පොළොවේ සදාකාල ජීවනය ගත කරමින් දේව රාජ්‍යයේ සදාකාල උරුමයද ලබා ගන්නට යන්නේය.

ඔබ ලෝකයාගෙන් ජයගන්නෙකු වෙන්න.

එළිදරව් 3:10-11
මාගේ ඉවසීමේ වචන නුඹ රක්ෂාකළ හෙයින් පොළොවේ වසන්නන් පරීක්ෂාකිරීමට මුළු ලෝකය පිටට පැමිණෙන්ට තිබෙන්නාවූ පරීක්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂාකරන්නෙමි. ඉක්මනින් එමි. කිසිවෙක් නුඹේ ඔටුන්න නොගන්නා ලෙස නුඹට තිබෙන දේ තදින් අල්ලාගන්න.

ඔබ පැළඳ සිටින ඔටුන්න උදුරාගන්නට, සොරකම් කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න.

දෙවියන්වහන්සේගෙන් මේ ඔටුන්න ලබාගැනීමට ඔබ ජයග‍්‍රහණයක් ලබා ගත යුතුය.

අපි විශ්වාස කරන වචනයත්, ඇදහිල්ලේ ප‍්‍රකාශයත් තදින් අල්ලා ගනිමු.

දෙවියන්වහන්සේ අපට අනිවාර්යෙන්ම විසඳුමක් ලබා දෙන සේක.

එළිදරව් 3:12
ජයගන්නා මාගේ දෙවියන්වහන්සේගේ මාළිගාවෙහි කණුවක් කරන්නෙමි, ඔහු තවත් එතැනින් පිටතට නොයන්නේය.

දෙවියන්වහන්සේගේ වචනය අපව ශක්තිමත් කරනසේක.

අපට නොදිරන, නොමැලවෙන, ජීවනයේ හා ධර්මිෂ්ඨකමේ, ඔටුනු ලබා දෙන පිණිස යේසුස්වහන්සේට කටු ඔටුන්නක් පැළදිමට සිදු වුණා.

උන්වහන්සේ අප වෙනුවෙන් ඒ ශාපය, ලැජ්ජාව, නින්දාව, වේදනාව දරා ගත්හ.

උන්වහන්සේගේ හිස මත කටු ඔටුන්නක් තැබුවා, සොල්දාදුවන් බට දන්ඩක් උන්වහන්සේගේ අතට දී උන්වහන්සේට කවටකම් කළා. යේසුස්වහන්සේ ඉදිරියේ දණ නමා ‘’යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි’’ ‘ශුභ සිද්ධ වේවා' යි පැවසුවා.
[මතෙව් 27:29 මාර්ක් 15:17 යොහාන් 19:2-5]

යේසුස්වහන්සේ අප වෙනුවෙන් සියල්ල දරා ගත්තා.

දෙවියන්වහන්සේ ආදම්ව පත් කළේ මේ පොළොවේ රජ කෙනෙකු ලෙසටයි.

නමුත් දෙවියන්වහන්සේට විරුද්ධ වීම නිසා ඒ රජකම ඔහුට අහිමි වුණා.

උන්වහන්සේ ඔහුට දුන් දේ ඔහු යක්ෂයාට භාර දුන්නා.

ආධිපත්‍යයේ, බලයේ යතුරු ඔහු යක්ෂයාට භාර දුන්නා.

එබැවින් මේ පොළොවේ මෙතරම් විනාශයක් කිරීමට යක්ෂයාට බලය ලැබුණා.

අප අපගේ ජීවිතය දෙවියන්වහන්සේට භාර කරන්නේ නම් අප තුළින් අන් අයව ගැළවීමට උන්වහන්සේට හැකියි.

දෙවියන්වහන්සේගේ ශුභාරංචිය අන් අයට පැවසිම අපගේ වගකීමකි.

යේසුස්වහන්සේ දුක් විඳ අපගේ මිලය ගෙවූ නිසා අපට ජයග‍්‍රහණයත් උන්වහන්සේගේ ආශීර්වාදත් නොමිලයේ භුක්ති විදින්නට හැකි විය.

යොහන් 19:5
එකල යේසුස්වහන්සේ කටු ඔටුන්නද රත්නිල් වස්ත්‍රයද ඇතුව පිටතට ආසේක. පිලාත්ද: මෙන්න, ඒ මනුෂ්‍යයා! කියා ඔවුන්ට කීවේය.

යේසුස්වහන්සේ මනුෂ්‍යයන් ඉදිරියේ ලැජ්ජාවට පත් වුණා.

නමුත් උන්වහන්සේ දුක්විඳින අවස්ථාවේදී වූවත් ඇඳ සිටියේ රජ කෙනෙකු පළඳින ආකාරයේ වස්ත‍්‍රයක්, මන්ද උන්වහන්සේගේ වචනය ලෙස, යේසුස්වහන්සේ යුදෙව්වරුන්ගේ පමණක් නොව, උන්වහන්සේ රජුන්ගේ රජය.

පිටස්තරව උන්වහන්සේ හිඟන්නෙකු ලෙස පිලාත් ඉදිරියේ සිටගෙන සිටියත් උන්වහන්සේ සැබවින්ම රජතුමාණෝය.

ආදම් නැති කර ගත් ඒ රජකම උන්වහන්සේ නැවත පිහිටුවනු ලැබූහ.

ඒ පිණිස උන්වහන්සේට දුක දරා ගැනීමට සිදුවිය.

මන්ද ආදම් සහ ඒව කළ පාපයෙන් පසු දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට, ස්ත‍්‍රියට, සර්පයාට හා පොළාවට කළ ඒ සියලු ශාපය යේසුස්වහන්සේ මතට ගත්සේක.

තමා පැළඳූ කටු ඔටුන්න වූයේ මේ පොළොවේ අද තිබෙන ශාප සියල්ලයි.

යේසුස්වහන්සේ ඒ ශාපය දරා ගත් නිසා දැන් ඔබේ වගාවට, ඔබ දෑතින් කරන සියල්ලට ආශීර්වාදය උරුම වී ඇත.

ගලාති 3:13
ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක.

1 කොරින්ති 15:57-58
නුමුත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපට ජය දෙන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා. එහෙයින්, මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතිව්.

යේසුස්වහන්සේ අප තුළ තිබුණාවූ මරණීය ස්වභාවය ගෙන අපට සදාකාලයටම ජීවත් විය හැකි වන පිණිස අමරණීය ස්වභාවයක් ගෙන දුන්සේක.

දෙවියන්වහන්සේ ඔබටත් මටත් කථා කරන්නේ ප්‍රේමවන්ත සහෝදරයා කියාය.

ප‍්‍රශ්න එන විට නිශ්චල වෙමු, නිහඬ වෙමු.

මන්ද ඔබ නිහඬව සිටීමෙන් සමහර දේ ඔබට ජය ගත හැකිය.

නිතරම ස්වාමීන්වහන්සේගේ මෙහෙයේ නිරතව සිටිමු.

ඔබට ක‍්‍රිස්තියානිකාරයෙකු මෙන් දුක්විඳීමට සිදුවන විට ලැජ්ජා නොවන්න.

ක‍්‍රිස්තියානි යන නම ඔවුන්ට ලැබුනේ ඔවුන් ක‍්‍රිස්තුස්වහන්සේ මෙන් ජීවත් වූ නිසාත්, හැසිරනු නිසාත්, ගමන් කරමින්, කථා කළ, නිසා‍ත්ය.

කිතුනුවෙකු ලෙස ජීවත් වන විට හා සාක්ෂි දරන විට ඔබේ සාක්ෂිය නිසාම ඔබව ලැජ්ජාවට පත් කළ හැක.

ඔබට ජය ගත හැකි වන්නේ ස්වාමීන්වහන්සේගේ වචනයෙන්ම පමණි.

යේසුස්වහන්සේගේ ප්‍රේමය ඔබ තුළ තිබෙන නිසා ඒ ලැජ්ජාව දරාගැනීමට ඔබට හැකියාව ලැබේ.

ඒ අය වෙනුවෙන් යාච්ඤා කරන්න.

අපි ස්ථීරව සිටිමු.

1 පේත‍්‍රස් 4:12-16

ප‍්‍රශ්න කරදර පීඩා පැමිණෙන කල පුදුම නොවන්න.

ඔබ අන්ධකාරයෙන් ආලෝකයට පැමිණ සිටින හෙයින් නිසැකයෙන්ම ඔබට පීඩා පැමිණෙනු ඇත. එය පුදුම වීමට කරුණක් නොවේ.

ක‍්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලටම ප‍්‍රීතියෙන් මුහුණ දිය යුතුය.

කිතුනු නාමය උදෙසා නින්දා විඳින්නන් ආශීර්වාද ලද්දෝය.

කිතුනුවෙකු මෙන් ඔබ දුක්විදින්නේ නම් ලැජ්ජා නොවී ක‍්‍රිස්තුස්වහන්සේට ගෞරව දෙන ආකාරයෙන් ජීවත්වන්න.


Watch the Sermon Video

Read 279 times