+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පීඩා පැමිණෙන්නේ යේසුස්වහන්සේගේ නාමය වෙනුවෙන් සාක්ෂියක් වන පිණිසයි - යෝෂා මනූ
May 7, 2023 Sunday Sermon Notes

 

දෙවියන්වහන්සේ බලවන්තයි. අදහන්නාට සියල්ල කළ හැකියි.

දේව වචනය ඇසීමෙන් අපගේ ජීවිතය පුදුමාකාර බලයෙන් යුක්තව වෙනස් වේ.

දෙවියන්වහන්සේගේ කැමැත්ත නම් අපව ඇදහිල්ලෙන් ඇදහිල්ලට, මහිමයෙන් මහිමයට, ශක්තියෙන් ශක්තියට ගෙන යාමටය. (රෝම 1:7,  2 කොරින්ති 3:18, ගීතාවලිය 84:7)

ඔබ පසුබට වීම දේව කැමැත්ත නොවේ.

ආදම් නැති කරගත් ඒ මහිමය යේසුස්වහන්සේ මේ පොළවට පැමිණ, තම ජීවිතය පූජා කර නැවත පිහිටුවනු ලද්දේය.

ඒ මහිමාන්විත ජීවිතය අපට හිමි වී ඇත.

නමුත් "නැහැ" සහ "බැහැ" යන වචන අපේ මුඛයෙන් අප සහමුලින්ම තහනම් කළ යුතුය.

දෙවියන්වහන්සේගේ බලවත් වචනය අසමින් හා එහි යෙදී සිටීම තුළින් ඒ බලවත් වචනය දිනපතා අපව ශක්තිමත් කරනසේක. උන්වහන්සේ අපව අලුත් ගිවිසුමේ සේවකයන් කොට පත් කර ඇත.

2 කොරින්ති 3:5-6
5 එහෙත් අපෙන්ම වුණාක්මෙන් අප තුළෙන්ම යමක් යෝජනාකරන්ට අපගේ සමර්ථකමක් නැත; අපගේ සමර්ථකම දෙවියන්වහන්සේගෙන්ය. 6. තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයින් කොට අප සමර්ථකළසේක; එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ හැටියටය. මක්නිසාද වචනාර්ථය නසන්නේය, පරමාර්ථය ජීවත්කරන්නේය.

අපට හැකියාව ශක්තිය ලැබෙන්නේ දෙවියන්වහන්සේගෙන් බැවින්
අපට ලැබෙන වර්ණනාව, ගෞරවය, මහිමය අපි දෙවියන්වහන්සේට දෙමු.

ඔබ දෙවියන්වහන්සේට ගෞරවය, මහිමය, දුන් විට ඔබේ ස්ථාවරය නැති නොවේ, නමුත් එය ඔබ ලබා ගත් විට එය ඔබේ වැටීමේ මුලය.

පරමාර්ථය නම් ‘’ආත්මයාණන්වහන්සේ තුළින්’’ය.

2 කොරින්ති 4:7
නුමුත් ඒ බලයේ ඉතා උතුම්කම අපට නොව දෙවියන්වහන්සේට අයිතිවන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමුව.

අපගේ ශරීරය මැටි බඳුන් වැනිය, ඒ බඳුන් තුළ දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය අපි දරමුව.

අපගේ ශරීරය දෙවියන්වහන්සේගේ ශුද්ධ මාළිගාවයි, අපි අසන දකින දේවලින් මේ ආලේප ලත් මාළිගාව ආරක්ෂා කර ගත යුතුයි.

නොඇදහිලිකාරකම, බිය, කනස්සල්ල වැනි ලෝකයේ දේවල් අපි තුළට ඇතුල් කර නොගනිමු.

දෙවියන්වහන්සේ අප සියලු දෙනාට එක හා සමාන ඇදහිල්ලක් ලබා දී ඇත. [රෝම 12:3]

2 කොරින්ති 4:8
අපි හැම අතින්ම මඩිනු ලබමුව. එහෙත් හිර නොවී සිටිමුව; වියවුල්ව සිටිමුව, එහෙත් බලාපොරොත්තුවක් නැතුව නොවේය; ලුහුබඳිනු ලබමුව, එහෙත් අත්හරිනු නොලබමුව; හෙළා දමනු ලබමුව, එහෙත් විනාශ නොවී සිටිමුව.

2 කොරින්ති 4:10-13
10 යේසුස්වහන්සේගේ ජීවත්වීම අපේ ශරීරයෙහි ප්‍රකාශවෙන පිණිස අපි යේසුස්වහන්සේගේ මරනු ලැබීම අපේ ශරීරයෙහි නිතරම දරාගෙන යමුව.
11 මක්නිසාද අපේ මරණීයවූ මාංසයෙහි යේසුස්වහන්සේගේ ජීවනයත් ප්‍රකාශවන පිණිස ජීවත්වන්නාවූ අපි යේසුස්වහන්සේ උදෙසා නිතරම මරණයට පාවා දෙනු ලබමුව.
12 මෙසේ අප තුළ මරණයද නුඹලා තුළ ජීවනයද ක්‍රියාකරන්නේය. 13 තවද: මම විශ්වාසකළෙමි, ඒ නිසා කථාකළෙමියි ලියා තිබෙන ලෙස, ඇදහිල්ලේ එම ආත්මය ඇත්තාවූ අපිත් විශ්වාසකරමුව, එබැවින් කථාකරමුව.

අපට ප‍්‍රශ්න, කරදර එන විට දෙවියන්වහන්සේ අප සමඟ බව විශ්වාස කළ යුතුයි.

ඇදහිල්ල, විශ්වාසය සහ දේව වචන තුළින් අපි ජයගනිමු.

අපි නොදකින නමුත් ඇදහිල්ලේ වාක්‍යය විශ්වාසයෙන් කථා කරමු.

පීඩා පැමිණෙන්නේ යේසුස්වහන්සේගේ නාමය වෙනුවෙන් සාක්ෂියක් වන පිණිසයි.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය ලැබෙන තුරු ගෝලයන්ට යෙරුසලමෙන් පිටතට නොයන ලෙසත් ඔවුන් බලය ලැබුවාට පසු ඔවුන් යෙරුසලමේද ඉන් පිටද සාක්ෂිකාරයන් වන බවත් යේසුස්වහන්සේ පැවසුසේක.

ක‍්‍රියා 1:8
නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.

යේසුස්වහන්සේ යුදෙව්වරුන්ව උන්වහන්සේගේ ගෝලයන් ලෙස ඒ විශේෂ මෙහෙවරේ යෙදෙන පිණිස තෝරා ගත්සේක.

උන්වහන්සේගේ ගෝලයෙකු ලෙස තෝරාගත් පේත‍්‍රැස්තුමාගේ ජීවිතය ශුද්ධාත්ම බලයෙන් පිරී, අන්ධකාරයෙන් ආලෝකයට පැමිණ අභ්‍යන්තර, පරිවර්තනයක් සිදුවුණි.

යේසස්වහන්සේගේ කුරුසපත්වීමේදී යේසුස්වහන්සේව හඳුනන බව පවසන්නටත් ඔහු භය වුණේය. (යොහන් 18:15-27)

යේසුස්වහන්සේ ගැන සාක්ෂි දරන්නටත්, පීඩා විඳින්නටත්, භයෙන් සිටියාවූ පේත‍්‍රැස් ශුද්ධාත්ම බලයේ පූර්ණකමෙන් පිරුණාට පසුව ඔහු නිර්භීතකමෙන් කතා කළේය.

යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැඟිටි පසු පේත‍්‍රැස්තුමාට ප‍්‍රකාශ වී නුඹ මට ප්‍රේම කරනවාද, මාගේ බැටළුවන් පෝෂණය කරන්න, යනුවෙන් ඔහුගෙන් වගකීම් ප‍්‍රකාශ 3 ක් ගනු ලැබූ සේක. (යොහන් 21:15-18)

එම සිදුවීමෙන් පසුව ඔහු ඉතා බලවත් සාක්ෂිකාර මෙහෙවරක නියැලෙමින් දේව රාජ්‍යය වෙනුවෙන් මහත් සේවයක් ඉටු කළේය.

මාර්ක් 13:9
එහෙත් නුඹලා ප්‍රවේසම්වෙන්න. මක්නිසාද ඔව්හු මන්ත්‍රණ සභාවලට නුඹලා පාවාදෙන්නෝය; සිනගෝගවලදී නුඹලා තළනු ලබන්නහුය; අධිපතින්ද රජුන්ද ඉදිරියේ නුඹලා මා නිසා ඔවුන්ට සාක්ෂියක් පිණිස සිටිනවා ඇත.

මාර්ක් සුභාරංචියේ ලියන ලද එම වචනය, යේසුස්වහන්සේ ගෝලයන්ට ඉගැන්වූ නිර්භීතකමේ වචනය, අනාගතවාක්‍යයක් ලෙසින් පේත‍්‍රස්තුමාට සිහි වී ඒ තුළින් ඔහු ධෛර්යයමත් වන්නට ඇත.

අප කථා කිරීමට පටන් ගත් කළ ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළින් කථා කරනු ඇත.

පේත‍්‍රැස් හා යොහන් කොරෙකු සුවපත් කළ අවස්ථාවේ ඔවුන්ව මන්ත‍්‍රණ සභාව ඉදිරියට ගෙනා නායකයන් ඔවුන්ගෙන් ඇසුවේ නුඹලා මේ දේ කළේ මොන බලයෙන්ද, මොන නාමයෙන්ද කියාය.

පේත‍්‍රැස් හා යොහන් නොබියව ප‍්‍රකාශ කළේ ඔවුන් ඒ දේ කළේ නාසරිය යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ බලයෙන් කියාය. (ක‍්‍රියා 3 සහ 4 පරිච්ඡේද කියවන්න)

යේසුස්වහන්සේගේ නැවත නැඟිටීමේ බලය තුළ ඔවුන් ඉතා ශක්තිමත්ව සිටි නිසා තව දුරටත් යේසුස්වහන්සේගේ නාමයෙන් කථා නොකිරීමටත් නායක පූජකයන් පේතෘස් හා යො‍හන්ව භය කර තර්ජනය කිරීමටත් ගනු ලැබූ උත්සාහයන් නිරර්ථක වූයේ ය.

මාර්ක් 13:10-13
තවද ශුභාරංචිය පළමුකොට සියලු ජාතීන්ට ප්‍රකාශකරනු ලබන්ට ඕනෑය. ඔවුන් නුඹලා පාවාදෙන්ට ගෙනයන කල කුමක් කියන්නෙමුදැයි කලින් කනස්සලු නොවෙන්න. එහෙත් ඒ පැයේදී නුඹලාට යමක් දෙනු ලැබේද ඒක කියන්න. මක්නිසාද කථාකරන්නේ නුඹලා නොව ශුද්ධාත්මයාණන්වහන්සේය. තවද සහෝදරයා සහෝදරයාද පියා දරුවාද මරණයට පාවාදෙන්නෝය. දරුවෝද මවුපියන්ට විරුද්ධව නැගිට ඔවුන් මරණයට පත්කරවන්නෝය; මාගේ නාමය නිසා සියල්ලෝම නුඹලාට වෛරකරන්නෝය. නුමුත් අන්තිමය දක්වාම ස්ථීරව සිටින්නා ගළවනු ලබන්නේය.

ශුද්ධාත්ම බලයෙන් පිරුණු පේතෘස්ගේ මනසට දෙවියන්වහන්සේගේ වචනය ගලා එමින් ඔහු නිර්භීතව කථා කරනු ලද්දේය.

යේසුස්වහන්සේ තම ගෝලයන් සමඟ කාලය ගත කරමින් ඉගැන්වීමේදී ඔවුන් එම වචනය ඔවුන්ගේ හදවත්වලට ඇතුල් කර ගත්තෝය.

අපත් දේව වචනය මනුෂ්‍යයන්ට ඉගැන්වීමෙන් ඔවුන්ගේ හදවත්වලට එම වචනය ඇතුල් කර තිබේනම් යම් පීඩාවක් පැමිණි විට ඉන් ජය ගැනීමට එම වචන ඔවුන්ට උපකාරී විය හැකිය.

දිනපතා සෑම උදෑසනකම අප වචනය තුළ පවතින විට ඒ දවසට අවශ්‍ය වචනය උන්වහන්සේ අපට දෙනසේක.

සෑම දිනකම ඔබ ශක්තිමත් වෙන පිණිස දේව වචනය මෙනෙහි කිරීමට ඒ සඳහා වේලාවක් වෙන් කර ගන්න.

එමඟින් ඔබට විරුද්ධව කඳු මෙන් එන ප‍්‍රශ්න වලට කතා කිරීමට ඔබට හැකිවේ.

මාර්ක් 4:16
එසේම ගල්බිම්වල වපුරනලද්දෝ නම්, වචනය ඇසූ කෙණෙහිම ප්‍රීතියෙන් පිළිගන්න නුමුත්, තමුන් තුළ මුල් නැති බැවින් මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කල්හි, එකෙණෙහිම බාධාවන්නෝවෙත්;

ඔබ සභාවේ රැඳී සිටින පැය කිහිපය තුළ වචනය මුල් ඇද නොගන්නා නමුත් සභාවට පැමිණීම තුළින් ඔබට වැපිරීමට බීජ මල්ලක් ලැබෙනු ඇත.

අස්වැන්නක් ලබා ගැනීම සඳහා එම බීජ අපේ හදවත තුළ පැළ කළ යුතුය.

අපි අසන වචනය නැවත නැවත මෙනෙහි කිරීම හා එය ක‍්‍රියාවට නැංවීම තුළින් අපි ජීවත් වෙන බව විශ්වාස කරමු.

ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙන් හා එයට කීකරු වීමෙනි.

අප තුළ වචනය නොමැති වුවහොත්, පීඩා පරීක්ෂා පැමිණි විට, ඇසූ කෙනෙහිම ප‍්‍රීතියෙන් පිළිගත් මුත්, කිසිම ඵලදැරීමක් නැති ගල් මත වැටුණු බීජ මෙන් අපටද සිදු විය හැකිය.

යේසුස්වහන්සේ පිළිගත් නිසා අපට පැමිණෙන පීඩා පරීක්ෂා මානසිකත්වයෙන් නිදහස් වී ඊට විරුද්ධව ගමන් කිරීමට උන්වහන්සේ අපට ශක්තිය දෙනසේක.

දෙවියන්වහන්සේ යොහන් බව්තීස්තව උන්වහන්සේගේ සාක්ෂිකාරයෙක්, පණිවිඩකරුවෙක් ලෙස යේසුස්වහන්සේ ඉදිරියෙන් යමින් මෙසියස්වහන්සේගේ පෙරමඟ සාදන්නා ලෙස පත් කරන ලද්දේය. (යොහන් 1:19-34)

ඔහු යේසුස්වහන්සේ ගැන සාක්ෂි දරමින් ගතකළාවූ ඒ සාක්ෂිකාර ජීවිතය හා එම වචනය ගැන දැන ගැනීමට හෙරොද් රජතුමාද කැමතිව සිටියේය.

මාර්ක් 6:20
මක්නිසාදයත් යොහන් ධර්මිෂ්ඨවූ ශුද්ධවූ මනුෂ්‍යයෙකු බව හෙරොද් දැන, ඔහුට භයව, ඔහු ආරක්ෂාකෙළේය. තවද ඔහුගේ බස් අසා හෙරොද් බොහෝසේ වියවුල්විය; නුමුත් සන්තෝෂයෙන් ඔහුට ඇහුම්කන්දුන්නේය.

ඔහු වචනය අසා, එය සන්තෝෂයෙන් භාරගත් නමුත් එයට කීකරු වෙන්නට කැමති නොවීය. මන්ද ඔහු ඒ වන විට වාසය කළේ ඔහුගේ සහෝදරයාගේ භාර්යාව වූ හෙරෝදියස් සමඟය.

දිනක් හෙරෝදියස්ගේ දුව රජතුමා දුන් මංගල්‍යය කෑමකදී නර්තනයෙන්, හෙරොද් සහ ඔහු සමඟ කෑමට වාඩිව හුන් අය ප්‍රසන්නකළාය.

එකල රජතෙම තරුණියට කථාකොට: නුඹ කැමති මොන දෙයක් නුමුත් මාගෙන් ඉල්ලන්න, ඒක නුඹට දෙමියි කීය. ඇගේ මවුගේ පෙළඹවීම මත, රජු වෙතට පැමිණ: ඔබ විසින් යොහන් බව්තීස්තගේ හිස තැටියක ලා දැන්ම මට දෙනවාට කැමැත්තෙමියි කියා ඉල්ලුවාය.

රජ එයට අතිශයින් ශෝකවිය; නුමුත් ඔහුගේ දිවුරුම් නිසාත්, ඔහු සමඟ කෑමට වාඩිව සිටි අයවල් නිසාත්, බැරියයි ඈට කියන්ට නොකැමතිවිය. (මාර්ක් 6:21-26)

හෙරොද් රජතුමා මනුෂ්‍යයන් ඉදිරියේ වචන වලින් දුන් පොරොන්දුව නිසා ඔහුට සාක්ෂිකාර ජීවිතයක් ගත කිරීමට නොහැකි විය.

ඔහුගේ වචන වලින්ම ඔහු හසුවිය.

අපගේ වචන සහ මනුෂ්‍යයන් ඉදිරියේ වන පොරොන්දු ගැන වඩා සැලකිලිමත් වෙමු.

ඔහුට පරීක්ෂාව පැමිණෙන විට හදවත තුළ වචනය මුල් ඇද නොමැති වීම නිසා ඉන් ජය ගැනීමට ඔහුට නොහැකි විය.

මාර්ක් 4:17
තමුන් තුළ මුල් නැති බැවින් මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කල්හි, එකෙණෙහිම බාධාවන්නෝවෙත්;

නිතරම සාක්ෂිකාරයෙකු මෙන් ජීවත් වෙන්න.

පාවුල් හා සීලස් පිලිප්පියේදී දේව වචනය ගෙන යමින් මනුෂ්‍යන්ව ගැළවීමට ගෙන එන ගමනේදී ඔවුන්ට පේන කීමේ ආත්මයක් ඇති තරුණියකගෙන් මහත් පීඩාවක් පැමිනුණි. පාවුල් එයට අප්‍රසන්නවී ආත්මයට කථාකොට: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේගේ නාමයෙන් ඇගෙන් අහක්වී යන්ට නුඹට අණකරමියි කීවේය. එහිදී ඇය එම ආත්මයෙන් නිදහස් වුණාය.
(ක‍්‍රියා 16:16-18)

නුමුත් ඇගේ ස්වාමිවරු තමුන්ගේ ලාභ ලැබීමේ බලාපොරොත්තුව නැතිවූ බව දැක, පාවුල් සහ සීලස් අල්ලා වෙළඳාම්පළට ඇදගෙන ගොස්, මුලාදෑනීන් ඉදිරියෙහි සිටෙවුවෝය. (ක‍්‍රියා 16:19)

ඔවුන් සාක්ෂිකාරයන් වූ නිසා බැඳුම් මැද දෙවියන්වහන්සේට ගීතිකා ගයමින්, නමස්කාර කිරීමටත්, ප‍්‍රශංසා කිරීමටත් ගත්හ.

ක‍්‍රියා16:25
නමුත් මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් දෙවියන්වහන්සේට ගී කීවෝය, හිරකාරයෝද ඔවුන්ට ඇහුම් කන්දීගෙන සිටියෝය;

නමස්කාර කරන ජීවිතයක් අපට තිබෙනවා නම් කුමන ස්ථානයක සිටියත් අපට සාක්ෂිකරුවන් විය හැකිය.

ක‍්‍රියා16:26-28
හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය, එයින් හිරගෙයි අත්තිවාරම් සෙලවුණේය. එකෙණෙහිම සියලු දොරවල් ඇරුණේය; සියල්ලන්ගේ බැඳුම්ද මිදුණේය. එකල හිරගෙයි මුලාදෑනියා නින්දෙන් පිබිද, හිරගෙයි දොරවල් ඇරී තිබෙනවා දැක, හිරකාරයෝ පැනලා ගියෝයයි සිතා, කඩුව ඇදගෙන තමාම මරාගන්ට හැදුවේය. නුමුත් පාවුල් කථාකොට: නුඹට කිසි අනතුරක් කර නොගන්න. මක්නිසාද අපි සියල්ලෝ මෙහියයි මහත් හඬින් මොරගසා කීවේය.

පාවුල්තුමාගේ සුභාරංචිය ඇසූ හිරගෙයි මුලාදෑනියා ඇතුළු ඔහුගේ මුළු පවුලම ගැළවීම ලබා ගත්තේය. (ක‍්‍රියා16:29-34)

ඔබ සිතනවාටත් වඩා මහත් දේවල් ඔබෙත් මගෙත් ජීවිතයේ ඉටු කිරීමට දෙවියන්වහන්සේ විශ්වාසවන්තව සිටිනසේක.

ඔබ සාක්ෂිකරුවෙක් බැවින් හැම දිනකම දෙවියන්වහන්සේ ගැන, දේව වචනය සාක්ෂි දරමින් ජීවත් වෙන්න.


Watch the Sermon Video

Read 247 times