+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඇදහිල්ලේ ප්‍රතිපත්ති - මනූ මැතානි
May 7, 2023 Sunday Sermon Notes

 

ඔබ සාක්ෂිකරුවෙකුය. අප සැමදෙනාටම සාක්ෂියක් ඇත.

අපගේ ගැළවීමේ සාක්ෂිය මනුෂ්‍යයන් සමඟ අපි බෙදා ගනිමු.

නිශ්ඵල වචනවත් ඕපාදූපවත් නොව ශුද්ධාත්මයාණන්වහන්සේ මඟ පෙන්වන ආකාරයට යහපත් වචන අප කථා කිරීමෙන් මනුෂ්‍යයන්ට සහනයක්, මිදීමක්, නිදහසක් ලබා දීමට හැකිවනු ඇත.

දෙවියන්වහන්සේගේ වචනය කවදාවත් හිස්ව හැරී නොඑනන්නාවූ, ක‍්‍රියාත්මක වන වචනයකි.

‘’මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත’’. [යෙසායා 55:11]

1 කොරින්ති 3:6
මම හිටෙවුවෙමි, අපොල්ලොස් වතුර වත්කෙළේය; නුමුත් වර්ධනය දුන්නේ දෙවියන්වහන්සේය.

ඔබ සිටුවන හෝ වතුර දමන කෙනෙක් විය හැකිය, නමුත් ගැළවීම, වර්ධනය හා සුවය දෙන්නේ දෙවියන්වහන්සේය.

ඔබගේ වෙහෙස නිශ්ඵල නොවෙයි, යම් දිනක එහි ප‍්‍රතිඵල ඔබට ලැබෙනු නියතය.

මනුෂ්‍යයන් පිළි නොගත්තත් ඔබගේ වචන සුළු නොකරන්න.

මනුෂ්‍යයෙකු ගැළවීම ලබන්නේ ඇදහිල්ල තුළිනි.

ධර්මිෂ්ඨයා ජීවත් වන්නේ ඇදහිල්ලෙනි.

ඇදහිල්ල යනු යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම, දෙවියන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කිරීම සහ උන්වහන්සේගේ බලය මත විශ්වාසය තැබීමය.

ගලාති 2:16
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන මිස ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙන මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨකරනු නොලබන බව දැන, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගතිමුව. මක්නිසාද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කවර මනුෂ්‍යයෙක්වත් ධර්මිෂ්ඨකරනු නොලබයි.

ලෝකයේ මනුෂ්‍යයන්ටත් හොඳ හෘදයසාක්ෂියක් තිබේ.

හොඳ ක්‍රියා කරන, සාධාරණව කතා කරන, අවංක මනුෂ්‍යයන් ලෝකයේ සිටියත් ඒ කිසිවක් තුළින් ගැළවීම ලබා ගත නොහැක.

මනුෂ්‍යයා ගැළවීම ලබා ගන්නේ යේසුස්වහන්සේගේ ලේ වලින් පමණි.

තමා ‘ධර්මිෂ්ඨ’ යයි සිතාගෙන සිටින මනුෂ්‍යයන් ගැළවීම ලබා ගන්නවාට වඩා, පවුකාරයන් ගැළවීම ලබා ගැනීම පහසුය ඒ මන්ද කිවහොත් තමා ගැනම ‘හොඳ’ යයි කියා ගන්නා මනුෂ්‍යයන් නිතරම ඔවුන්ගේ ධර්මිෂ්ඨකම ප‍්‍රකාශ කරමින් සිටින නිසාය.

වංචා සහිත ජීවිතයකට කොහෙත්ම ගැළවීම ලබා ගත නොහැකිය.

ගැළවීම පැමිණෙනුයේ අපගේ යහපත් ක‍්‍රියා මත විශ්වාස තබන නිසා නොව, යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය සහ ඇදහිල්ල තබන නිසාය.

එය වෙනස් කළ නොහැකිය.

ශුද්ධ බයිබලයේ උත්පත්ති 3:15 සිට මුළු බයිබලය පුරාවටම යේසුස්වහන්සේගේ පැමිණීමත් පාපයේ අධිපතියා විනාශ කර උන්වහන්සේ ලබා දෙන ගැළවීමත් ගැන කථා කරනසේක.

1 කොරින්ති 1:18
මක්නිසාද කුරුසියේ වචනය විනාශවන්නන්ට මෝඩකමය; නුමුත් ගැළවෙන්නාවූ අපට ඒක දෙවියන්වහන්සේගේ බලයය.

කුරුසියේ පණිවිඩය නම්, යේසුස්වහන්සේ අපගේ පව් උසුලාගෙන අපගේ රෝග, වේදනාව, ශාපය දරාගෙන මරණයට පත්වුණ බවත්, නැවත මළවුන්ගෙන් නැඟිටි බවත් විශ්වාස කිරීමයි.

ගලාති 5:24
තවද ක්‍රිස්තුස්වහන්සේට අයිති තැනැත්තෝ මාංසය එහි ආශා සහ තෘෂ්ණා සමඟ කුරුසියෙහි ඇණගැසුවෝය.

එවිට හැඟීම්බරව නොව, ඇදහිල්ලෙන් ගමන් කිරීමට පුළුවන්කම අපට ලැබේ.

ගලාති 5:25
අපි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ජීවත්වෙමු නම්, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙමු.

ඔබ ආත්මයෙන් ජීවත් වන්නේ නම් ඔබ ගමන් කරන්නේ ඇදහිල්ලෙන්ය.

ආත්මයාණන්වහන්සේට කීකරුව වෙනස් පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට කැප විය යුතුය.

පෙනීමේ, හැඟීමේ හැටියට, අපට එන කෝපයේ හැටියට, නොව ප්‍රේමයෙන්, ඇදහිල්ලෙන් පොරොන්දු විශ්වාස කරගෙන ජීවත් විය යුතුයි.

ආත්මික නොවන යහළුවන්ගෙන් ඔබගේ ආත්මික ජීවිතයට බාධා ඇතිවන්නේ නම් ඔවුන්ගෙන් ඈත් වන්න.

ආත්මික දේවල් තුළ යෙදී සිටින්නට ඔබ කැපවෙන්න.

එවිට අපේ ආශාවල්, සිතිවිලි, අදහස් වෙනස් වී අප තුළ වාසය කරන ශුද්ධාත්මයාණන්වහන්සේගේ හඬ අපට ඇසෙනු ඇත.

ගලාති 5:16
නුමුත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි.

දිනපතා අපගේ ශරීරය පවිත‍්‍ර කරගන්නාක් මෙන් දෙවියන්වහන්සේගේ වතුර නමැති වචනයෙන් දිනපතා පවිත‍්‍ර වීම අවශ්‍යයය.

එපීස 5:27
තේජවත් සභාවක් කොට තමන්ට ඔප්පුකරගැනීම සඳහා වචනය නැමති වතුරෙන් සේදීමෙන්, උන්වහන්සේ එය පවිත්‍රකොට පිරිසිදුකරන පිණිසය.

සතියකට දවසක් නොව, සෑම දවසකම උන්වහන්සේගේ වචනයෙන් අප ජීවත් විය යුතුය.

මව්කුස පටන් අනාගතවක්තෘ කෙනෙකු ලෙස දෙවියන්වහන්සේ විසින් කැඳවා ගත් යෙරෙමියාගේ ජීවිතයට කොපමණ පීඩා පැමිණියත් ඔහු උන්වහන්සේගේ වචනය තුළ ප‍්‍රීති වූවේය.

යෙරෙමියා 15:16
ඔබගේ වචන සම්බවූ විට මම ඒවා කෑවෙමි; ඔබගේ වචන මට ප්‍රීතියක් සහ සිතට සතුටක් විය. මක්නිසාද, සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය මා කෙරෙහි කියනු ලැබේ.

ඔබ දිනපතා ප්‍රීතියෙන් ජීවත් වෙන්න.

දිනපතා ආලෝකයෙහි ගමන් කරන්න.

අපි එක කෑමවේලකින් ජීවත් වන්නේ නැත. එසේම අපි සාමාන්‍ය කෑම අනුභව කරන මෙන් ආත්මික කෑම වන දේව වචනය භුක්ති විඳිමු.

දෙවියන්වහන්සේගේ වචනය සම්බවීමට නම් අප එය උනන්දුවෙන්, කැපවීමෙන් සෙවිය යුතුයි.

මතෙව් 7:7-8
ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ.
මක්නිසාද ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.

කැපවීමෙන් දෙවියන්වහන්සේගේ අභිමුඛයට පැමිණීම වැදගත්ය.

එමඟින් අපට එකිනෙකාව ශක්තිමත් කිරීමට හැකිවේ.

වචනය ඇසීමෙන් දේව සැලැස්ම අපට පැහැදිලි වේ.

දෙවියන්වහන්සේට මගේ ජීවිතය ගැන පැහැදිලි සැලැස්මක් ඇත.

මා ගැන සහ මා තුළ වාසය කිරීමට උන්වහන්සේට තද ආශාවක් ඇත, ඒ මන්ද උන්වහන්සේ මට එතරම් ප්‍රේම කරන බැවිනි.

යාකොබ් 4:5
නොහොත් දෙවියන්වහන්සේ අප තුළ වාසයකෙරෙවුවාවූ ආත්මය අප කෙරේ අතිශයින් ආශාවන්නේය කියා ලියවිල්ල නිෂ්කාරණයේ කථාකරන්නේයයි නුඹලා සිතන්නහුද?

මා සමඟ විවාහ බස් දී සිටින මාගේ ආත්මික ස්වාමිපුරුෂයා වන යේසුස්වහන්සේ මා සමඟ සමීප සම්බන්ධයක් පැවැත්වීම සඳහා ආශාවෙන් සිටිනසේක.

අප උන්වහන්සේට විරුද්ධව ක‍්‍රියා කරන විට උන්වහන්සේ අප ගැන දුක් වෙනසේක, නමුත් උන්වහන්සේ කිසිදිනක අපව අතහැර නොයනසේක.

අප තුළ වැඩ වසන ආත්මයාණන්වහන්සේ අප සමඟ කාලය ගත කරන්නට ඉතා ආශාවෙන් බලා සිටින්නේය.

එපීස 4:30
දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.

ඔබ වැරදි ස්ථානවල සිටින විට ඔබ උන්වහන්සේට දුක් දෙමින් සිටින්නේය. මන්ද උන්වහන්සේටත් දැනෙනවා, හැඟෙනවා ඇත.

අප දෙවියන්වහන්සේට උසස්තම ගෞරවය දෙමින් වචනය විශ්වාස කරමින් ජීවත්විය යුතුය.

ඔබ අතිශයින් ජයගත් කෙනෙකුය.

ඔබ බියෙන් හා නොඇදහිලිකාරකමින් යුක්තව සිටින්නේ නම් ඔබ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් දෙන්නෙකි.

ඔබේ මිදීමේ දවස දක්වා උන්වහන්සේ ඔබව මුද්‍රා කර ඇත.

ඔබව මිල දී ගෙන ඇත.

දෙවියන්වහන්සේගේ අවවාද සුළු නොකර උන්වහන්සේගේ ආශාවට විරුද්ධව ක‍්‍රියා නොකරන්න.

උන්වහන්සේටත් ආත්මික තලයේ හැඟීම් තිබේ.

යේසුස්වහන්සේ ලාසරුස් ඔසවා ගන්නට ගිය අවස්ථාවේදී මනුෂ්‍යයන් දැක උන්වහන්සේ කඳුලු සැලුවා. ඔවුන්ගේ අවිශ්වාසය ගැන උන්වහන්සේ දුක් විය.

ඔබ වචනය කතා කරන්න. ඔබ ස්වාමීන්වහන්සේ ගැන සැක නොකරන්න.

සැකය පැමිණෙන්නේ ලෝකයෙන්, යක්ෂයාගෙන්, මාංශයෙන් හා වැරදි ආශ‍්‍රයන්ගෙන්ය.

ශුභාරංචි වචනය ඔබට දෙවියන්වහන්සේගේ බලයයි.

දහවලේදී මෙන්ම මධ්‍යම රාත‍්‍රියේදීත් අපේ එකම උපකාරය දෙවියන්වහන්සේ පමණයි.

හෙබ්‍රෙව් 13:5-6
නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.
මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව.

කොඳුරන්න එපා. ඔබ උන්වහන්සේට විරුද්ධව ක‍්‍රියා කළත් උන්වහන්සේ කිසිවිටෙක අපව දාලා නොයන්නේය.

උන්වහන්සේ කවදාවත් ඔබව අත්නාරියි.

ඔබගේ සිතුවිලි වලට ඔබව පාලන කරන්නට ඉඩ නොදෙන්න.

උන්වහන්සේට ආරාධනා කිරීමට අවශය නැත, උන්වහන්සේ නිතරම අප සමඟයි.

ඔබ නොඇදහිලිකාරකමේ ගීතිකා, දුක් සහිත, හැඟීම්බර ගීතිකා, ගායනා නොකරන්න. ලෝකයේ තනු, තාල අනුව සිංදු ගායනා කරමින් ඔබට කිසි සහනයක් ලැබෙන්නේ නැත.

ඔබ නැඟිට බැබළෙන්න, මක්නිසාද ඔබේ ආලෝකය උදා වී ඇත. [යෙසායා 60:1]

දෙවියන්වහන්සේ ඔබට දී ඇති තලෙන්ත අනුව එකිනෙකාව ධෛර්යයමත්වන, වචනයට අනුව ශුද්ධාත්මයාණන්වහන්සේ දෙන වචන වලින් ගීතිකා නිර්මාණය කරන්න. උන්වහන්සේ ඔබට හැකියාව දෙනු ඇත.

ස්වාමීන්වහන්සේ අපව ඔසවන්නාවූ තැනන්වහන්සේය.

උන්වහන්සේ අපව කිසිදා පාගා දමන්නේ නැත.

හෙබ්‍රෙව් 13:6
මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාරකාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව.

ස්වාමීන්වහන්සේ අපගේ උපකාරයයි.

ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් ස්වාමීන්වහන්සේ ඔහුව ඔසවන සේක.

ශුද්ධාත්මයාණන්ගේ කැමැත්ත අප සමඟ සහභාගිකම් පවත්වන්නටයි.

අපි භය නොවී දෙවියන්වහන්සේට යටහත්ව සිටිමු. සුදුසු කාලයේදී උන්වහන්සේ අපව ඔසවනසේක.

බීජ වපුරන්න, අස්වැන්න අනිවාර්යයෙන්ම ඔබ ලබා ගන්නේය.

ගලාති 6:9
තවද යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී ඵල කපාගන්නෙමුව.

අපේ ජීවිතයේ අස්වැන්න ලැබීමට නියම කාලය පැමිණෙන තෙක් ඉවසිල්ලෙන් බලා සිටීමට අවශ්‍යය.

දේව කැමැත්ත කරමින් යන ගමනේදී ඊට පැමිණෙන බාධා වලට ඉඩ නොදෙමු.

අවසානය දක්වා දේව කැමැත්ත කරමින් ජයගනිමු.

අපට පැමිණෙන පරීක්ෂා තුන් ආකාර වේ, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත්ය.

1 යොහන් 2:16
මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.

ඔබ ආත්මිකව ගමන් කරන ඇදහිල්ලේ මනුෂ්‍යයෙකු බැවින් මාංශික තෘෂ්ණා වලට ඉඩ නොදිය යුතුය.

යම් දේවල් දුටු පමණින් එය ලබා ගැනීමට උත්සුක නොවන්න. එය ඇස්වල තෘෂ්ණාවයි.

බොහෝ මනුෂ්‍යයන් අහංකාරකමෙන් තමන්ගේ තත්වය නිසා රැවටෙන්නෝය.

අප අපවම ඔසවා ගැනීමෙන් අප පහතට වැටෙනු ඇත.

ලූක් 16:15
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා නම් මනුෂ්‍යයන් ඉදිරියෙහි තමුන් ධර්මිෂ්ඨකරගන්න අයය; නුමුත් දෙවියන්වහන්සේ නුඹලාගේ සිත් දන්නාසේක. මක්නිසාද මනුෂ්‍යයන් අතරේ උතුම්කොට සලකන දෙය දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය.

මනුෂ්‍යයන් ඉදිරියෙහි පිළිගන්නා දේවල් හා උසස් කරන දේවල් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිළිකුල් ලෙස තිබෙනවා.

ඔබගේ මනස ආත්මිකව දියුණු වන විට ආශීර්වාද ඔබ ලුහුබැඳ ඔබව පසුකරමින් එන්නේය.

දෙවියන්වහන්සේ පිළිකුල් කරන දේවල් වලින් ඔබත් වෙන්වී ඒවා පිළිකුල් කළ යුතුයි.

පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයාපල්ලා, අන් සියල්ල නුඹලාට දෙනු ලබන්නේය. [මතෙව් 6:33]

ලෝකයා ආශීර්වාද පසුපසින් යමින් දෙවියන්වහන්සේගෙන් ඉවතට යද්දී, ඔබ දෙවියන්වහන්සේ සොයමින් ගමන් කරන්න, එවිට ආශීර්වාද ඔබේ පසුපසින් එනු ඇත.

3 යොහන් 1:2
ප්‍රේමවන්තය, නුඹේ ආත්මය සඵලවන්නාක්මෙන්ම නුඹ සියල්ලෙහි සඵලවන ලෙසද සුවසේ සිටින ලෙසද යාච්ඤාකරමි.

දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ප‍්‍රතිපත්ති අනුව ජීවත් විය යුතුයි.

උන්වහන්සේ පිළිකුල් කරන දේවල් අපත් පිළිකුල් කළ යුතුයි.

1 යොහන් 2:20
නුඹලා ශුද්ධ තැනන්වහන්සේගෙන් ආලේපයක් ලැබ සියලු දේම දනිහුය.

වචනය කියවීමෙන්, මෙනෙහි කිරීමෙන් ඔබ සියල්ල දැන ගන්නහුය.

ඔබ තුළ සිටින ආත්මයාණන්වහන්සේ සියල්ල දැන සිටිතත්, ඔබ උන්වහන්සේට ඇහුම්කන් නොදි සිටියොත් එය ඔබේ මනසට නොතේරෙයි.

යහපත් වචන වලින් ඔබගේ ශරීරය ඔබ දමනය කර ගත යුතුයි.

ඔබගේ ශරීරයට ඔබව පාලනය කරන්නට ඉඩ නොදෙන්න.

ඔබ මනුෂ්‍යයන් සමඟ ශුභාරංචිය පතල කරන්න.

ගලාති 2:16
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන මිස ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙන මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨකරනු නොලබන බව දැන, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගතිමුව. මක්නිසාද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කවර මනුෂ්‍යයෙක්වත් ධර්මිෂ්ඨකරනු නොලබයි.

අප තවමත් ව්‍යවස්ථාව යටතේ සිටී නම් තවමත් ශාපයට යට වී සිටියි.

යේසුස්වහන්සේ අපව ව්‍යවස්ථාවේ ශාපයෙන් මුදවා ගෙන ඇත.

සදාකාල ජීවනය ලබා ගැනීමට ආශාවෙන් සිටි පොහොසත් තරුණයා පැමිණි විට යේසුස්වහන්සේ ඔහුට පැවසුවේ, තමාගේ සියල්ල විකුණා මා අනුව එන්න. නමුත් ඔහු එය කළේ නැත. මන්ද ඔහු තුළ තිබුණේ මුදල් තෘෂ්ණාවයි.

ඔහු තමාගේ ධර්මිෂ්ඨකම ගැනත් යහපත් ක‍්‍රියා ගැනත් විශ්වාසය තබා ගෙන සිටියේය.

සාකෙවුස් වෙතට යේසුස්වහන්සේ පැමිණි කල ඔහු පසුතැවිලි වී වෙනස් වූයේය

යේසුස්වහන්සේට අවශ්‍යය වුයේ සාකෙවුස්ගේ නිවසට යාමටය. යේසුස්වහන්සේගේ වචනයට ඔහු ක්ෂණිකව කීකරු වී ගසෙන් බැස යේසුස්වහන්සේව තම නිවසට පිළිගත්තේය.

යේසුස්වහන්සේ ඔහුගේ නිවසට ගිය සැනෙකින් ඔහු තම වැරදි කියමින් පසුතැවිලිව එය නිවැරදි කර ගන්නා බව පවසන ලදි.

යේසුස්වහන්සේ ඔහුට පැවසුවේ අද මේ නිවසට ගැළවීම පැමිණි බවයි.

ලූක් 19:7
ඔවුන් ඒ දැක: උන්වහන්සේ පව්කාර මනුෂ්‍යයෙකු සමඟ නවාතැන් ගන්ට ගියසේකැයි කියමින් සියල්ලෝම කොඳුළෝය.

පිටස්තර සමාජයේ ප‍්‍රතික්ෂේපයට ලක්ව සිටි ඔහුගේ අභ්‍යන්තර හදවත දුටුවේ යේසුස්වහන්සේ පමණක්මය.

ලූක් 19:8-9
8 සාකෙවුස් නැගිට සිට: ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි; යමෙකුගෙන් අයුත්තේ යමක් ගෙන තිබේ නම්, ඔහුට සතරගුණයක් නැවත දෙමියි ස්වාමීන්වහන්සේට කීවේය. 9 යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: ගැළවීම අද මේ ගෙදරට පැමිණියේය, කුමක්හෙයින්ද මොහුත් ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්ය.

‘පසුතැවිලි වීම’ නිසා සාකෙවුස් සැබෑ ආබ්‍රහම්ගේ පුත්‍රයෙක් බවට පත් විය.

පොහොසත් යෞවනයාද ආබ්‍රහම්ගේ පුත්‍රයෙක් ලෙස සිටි නමුත් වස්තුවට තිබූ ආශාව නිසා ඔහු සදාකාල ජීවනය නැති කර ගන්නා ලදි. (මාර්ක් 10:17-22)

සාකෙවුස් තමා ගැන හෝ තමාගේ ධනය ගැන විශ්වාසය නොතබා ඔහුගේ ගැළවීම අත් කර ගත්තේය.

ඔබ ධර්මිෂ්ඨයෙක්ය. ධර්මිෂ්ඨයා දෙවියන්වහන්සේගේ වචනයෙන් ජීවත්වෙයි.

1 යොහන් 2:17
ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම ජීවත්වෙයි.

මාංශයේ තෘෂ්ණාව, ඇස්වල තෘෂ්ණාව, ජීවිතයේ අහංකාරකම ඉවත දමා බාධා වලින් ජය ගත යුතුය.

දේව කැමැත්ත කරන මනුෂ්‍යයාව සෙලවිය නොහැකියි, ඔහුගේ ප‍්‍රමිතිය හා ගුණාංග වර්ධනයක් මිස අඩු වීමක් සිදු නොවේ.

අපගේ ආත්මික චරිතය වර්ධනය කර ගනිමු.


Watch the Sermon Video

Read 209 times