+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පරීක්ෂා පැමිණෙන්නේ ස්වල්ප කාලයකටයි - යෝෂා මනූ
May 14, 2023 Sunday Sermon Notes

 

දේව වචනය සදාකාලිකයි.

ඒ සදාකාලික වචනය කෙරෙහි අපේ විශ්වාසය තබමු.

මන්ද අද අප ජීවත්වන සමාජය තුළ මනුෂ්‍යයන් විසින් දෙන පොරොන්දු සහ වචන, ඔවුන් විසින්ම කඩකරති.

ශාරීරික රෝග ඇතිවීම කෙරෙහි මනස බෙහෙවින් බලපෑම් කරන බැවින් අපි නරඹන දේවල් වලින් අපගේ මනස පාලනය කර ගනිමු.

දෙවියන්වහන්සේ අපට සුවදායී මනසක් දී ඇත.

වැරදි දේ නැරඹීමෙන් අප තුළ තිබෙන ආලේපය සහ ජීවනය එමඟින් උරා ගනු ලබයි.

දෙවියන්වහන්සේගේ වචනයෙහි පැවත, උන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කරමින්, අන්‍යභාෂාවෙන් යාච්ඤා කරමින්, මේ පොළොවේ අපි ශක්තිමත් වී සිටිමු.

එය දෙවියන්වහන්සේගේ කැමැත්තයි.

එවිට සදාකාලික ජීවනයේ උරුමක්කරුවන් ලෙස අපට මේ පොළොවේ ජයග‍්‍රාහී ජීවිතයක් ගත කිරීමට හැකි වේ.

අද බොහෝ කිතුනුවන් පරාජිත ජීවිත ගත කරන්නේ ඔවුන් මේ රහස නොදන්නා නිසාවෙනි.

ලෝකයාගෙන් පැමිණෙන වචන වලින් අපි වියවුල් වන්නෙමු.

නමුත් අපගේ හදවත් තුළ අපි යටහත් වීමෙන්, උන්වහන්සේගේ ස්වභාවයට අපව වෙනස් කරන පිණිස අපි ශුද්ධාත්මයාණන්වහන්සේට ඉඩ දෙමු.

අපි දිව්‍යමය ස්වභාවයේ පංගුකාරයන් වී සිටින්නෙමු.

උන්වහන්සේ යටහතුන්ට අනුග‍්‍රහය දෙන අතර උඩඟුවූවන්ට විරුද්ධව සිටින සේක.

යේසුස්වහන්සේගේ නාමය නිසා අපට පීඩා පරීක්ෂා පැමිණියද ඒ නාමය නිසාම අපට ඉන් ජය ගත හැකිය.

යේසුස්වහන්සේගේ නාමය දරන ඔබ උතුම් පුද්ගලයෙකි.

දෙවියන්වහන්සේගේ උතුම්භාවය ඔබ තුළින් මනුෂ්‍යයන්ට දැක ගැනීමට ලැබෙයි.

අපගේ ජීවිතයට එන ප‍්‍රශ්න හා කුණාටු කඩුලු වැනිය, ඒ මතින් අප පැන යමින්, තරඟය නිම කර ජයග‍්‍රහණය ලැබිය යුතුය.

එම බාධා පැමිණෙන්නේ ඔබගේ ඇදහිල්ල විනාශ කර දමන්නටයි.

ඇදහිල්ලේ කර්තෘ දෙස බලමින් අපි ගමන් කරමු. [හෙබ්‍රෙව් 12:1]

පීඩා විඳින්නන්ව අපි සනසමු.

පීඩා පරීක්ෂා ගැන කථා නොකර සිටීමෙන් අපට ඉක්මණින්ම ඒවා ජය ගත හැකිය.

මන්ද අපගේ වචන ප‍්‍රවේසම් කර නොගත්තොත් යක්ෂයා නැවත ඒ වචන වලින්ම අප ප‍්‍රහාරයට ලක්කරනු ඇත.

පරීක්ෂාව ඉවසන මනුෂ්‍යයා විපාක ලබා ගන්නේය.

අපි පරීක්ෂාවේදී ක්ලාන්ත නොවී සිටිමු.

කෙනෙකු ක්ලාන්ත වන විට තමාගේ මනස සහ ශරීරය පාවිච්චි නොවන්නේය.

ඒ ආකාරයට ආත්මිකව ක්ලාන්ත වීමෙන් අපගේ මනස වියවුල් වන්නේය.

අපි ආත්මිකව අලස නොවී හා ක්ලාන්ත නොවී ගමන් කරමු.

යේසුස්වහන්සේගේ නාමය නිසා ක‍්‍රිස්තියානිකාරයෙකු මෙන් ඔබ දුක් විඳී නම් ලැජ්ජා නොවන්න.

මන්ද උන්වහන්සේ අප වෙනුවෙන් නින්දා, අපහාස, ලැජ්ජාව දරා ගත්සේක.

ගීතාවලිය 119:165
ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිළීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය.

මනුෂ්‍යයන්ගේ හිත් රිදෙන වචන නිසා පැකිළීමට ලක් නොවී යේසුස්වහන්සේ දෙස බලමින් ඉදිරියට ගමන්කරමු.

පීඩා තුළින් ගමන් කරද්දී අප තුළ දේව වචනය තැන්පත් කර ඇත්නම් එය මුඛයෙන් පිටතට පැමිණෙන්නේය.

පීඩාවේදී අපි සාක්ෂි දරමු.

පීඩාවන් තුළින් ගමන් කරන අවස්ථාවේදී අප සාක්ෂි දරන විට අපගේ මුඛයෙන් කතා කරන්නේ අප නොව අපගේ පියාණන්වහන්සේය.

එම මොහොතේ අප තුළින් ප‍්‍රඥාවන්ත වචන පිට වන්නේය.

යෙසායා 50:4
විඩාවූ අයට වචනවලින් පිහිටවෙන්ට දැනගන සිටීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ උගතුන්ගේ දිව මට දී තිබේ.

ක‍්‍රියා පොතෙහි සඳහන්වෙන මුල් සභාවටත් බොහෝ පීඩා වලට මුහුණ දීමට සිදු විය, නමුත් ඔවුන් ගිය හැම තැනකම සුභාරංචිය ප‍්‍රකාශ කළහ.

පරීක්ෂා පැමිණෙන්නේ ස්වල්ප කාලයකටයි, ඒවා තාවකාලිකය.

නමුත් දෙවියන්වහන්සේ කඳු පහ කරන ඇදහිල්ලක් අපට දී ඇත.

ස්වාමීන්වහන්සේ අපි එකිනෙකාට ඇදහිල්ලේ එකම ප‍්‍රමාණයක් බෙදා දී ඇත.

යේසුස්වහන්සේ අවසානය දක්වාම තමන්ගේ ගෝලයන්ව ආරක්ෂා කළේය, උන්වහන්සේ ගෝලයන්ව පාවා දුන්නේ නැත.

පෙන්තකොස්ත දවසේ ශුද්ධාත්ම බලයෙන් පිරුණාවූ පේතෘස්ට කථා කිරීමට ශක්තියද, දෙවියන්වහන්සේගේ දිව්‍යමය ප‍්‍රඥාවද ලැබුණේය.

ඒ දිව්‍යමය ප‍්‍රඥාව අද ඔබටත් මටත් දී ඇත.

1 පේතෘස් 1:6‭-‬7
ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීතිවන්නහුය.

පීඩා පරීක්ෂා ගැන කථා නොකර ඒ මානසිකත්වයෙන් නිදහස් වී ගැළවීමේ මාර්ගය සොයමු.

1 පේතෘස් 1:7
එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප‍්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.

අපගේ ඇදහිල්ල නැති වී යන රන් වලට වඩා බොහෝ වටිනා බවත්, ඔබේ ඇදහිල්ල සැබෑ බවත් මෙම පරීක්ෂාවන් පෙන්වයි.

අපගේ ඇදහිල්ල වර්ධනය කර ගැනීම දෙවියන්වහන්සේගේ කැමැත්තයි.

ඔබගේ ඇදහිල්ල සෝදිසි කරන පිණිස යම් දේවල් පැමිණිය හැකියි.

නමුත් ඔබ තරඟකාරිත්වයෙන් තොරව සිටිමින් ඔබගේ ජීවිතයේ ප්‍රේමය, ප‍්‍රීතිය, සමාදානය වැනි ඵල ඔවුන්ට දැක ගැනීමට ඉඩ දෙන්න.

ඔබ අන්ධකාර ලෝකයේ බැබළෙන ආලෝකයයි.

ඔබ පරීක්ෂාව ගැන නොව, ඔබට ලැබුණු ගැළවීම ගැන ප‍්‍රීති විය යුතුයි.

පරීක්ෂාවේදී ඔබගේ ප්‍රතිචාරය ඉතා වැදගත්ය.

සෝදිසි කිරීම් ජය ගන්නා පිණිස උන්වහන්සේ අපට ඇදහිල්ල දී ඇත.

දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ගේ ජීවිතය සෝදිසි කළේය.

උන්වහන්සේ එසේ ආබ‍්‍රහම්ව සොදිසි කළේ ඔහු තුළින් වංශයක් බිහි කරනු පිණිසයි.

දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට පැවසුවේ තමාගේ එකම පුත‍්‍රයාවූ ඊසාක්ව පූජා කරන ලෙසයි. (උත්පත්ති 22:1-2)

ආබ‍්‍රහම්ට දෙවියන්වහන්සේ දරුවෙක් දෙන බවට පොරොන්දු වූයේ ඔහුට අවුරුදු 75 දීය. (උත්පත්ති 12:1-4)

ඊසාක් ඉපදෙන කල ආබ‍්‍රහම්ගේ වසය අවුරුදු 100 කි. (උත්පත්ති 21:5)

තම වංශය ප‍්‍රකාශවන්නේ ඊසාක්ගෙන් බව දැන, දෙවියන්වහන්සේට මළවුන් පවා නැඟිටුවන්ට පුළුවන්යැයි විශ්වාස කරමින් ආබ‍්‍රහම් තමාගේ පුත්‍රයා පූජා කිරීමට තීරණය කළේය. (හෙබ්‍රෙව් 11:17-19)

ආබ‍්‍රහම් අපගේ ඇදහිල්ලේ පියාය.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයන් අතරේ ධර්මිෂ්ඨයෙකු සොයන පිණිස ආබ‍්‍රහම්ට ගෙන ආවාවූ ඒ පරීක්ෂාවෙන් ඔහු ජය ගත්තේ ඔහු තුළ තිබුණු පුදුම ඇදහිල්ලෙන් හා දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ඒ ප්‍රේමය පෙන්වාදීම තුළිනි. (උත්පත්ති 22:1-8)

සියල්ලට වඩා අපි දෙවියන්වහන්සේට ප්‍රේම කරමු.

පරීක්ෂාවේදී අපගේ ඇදහිල්ලේ සැබෑ තත්වය දැන ගැනීමට ලැබෙයි.

පරීක්ෂාව ස්වල්ප කාලයයි.

1 පේතෘස් 2:12‭
නුඹලා නපුරකරන්නෝයයි අන්‍යජාතීන් නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක, විභාගකිරීමේ දවසේදී දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස, ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබිනලෙස පවත්වන්න.

ඔබ නිවැරදි දේ කරමින් කෙළින් සිටින විටත්, නොබියව සත්‍යය කථා කරන විටත්, දෙවියන්වහන්සේ ඔබ වෙනුවෙන් සිට ගන්නාසේක.

මන්ද පීඩාව පැමිණෙන්නේ මට නොව මා තුළ සිටින තැනැන්වහන්සේට විරුද්ධව බව දැනගෙන උන්වහන්සේ සමඟ වචනය තුළින් සම්බන්ධ වී ප‍්‍රීතිමත්ව ඇදහිල්ල තදින් අල්ලා ගෙන ජයගනිමු.

1 පේතෘස් 2:13-14
උත්තමයාව සිටින රජුට වේවා, නපුර කරන්නන්ට දඬුවම පිණිසත් යහපත කරන්නන්ට ප්‍රශංසාව පිණිසත් රජු විසින් එවනලද්දාවූ ආණ්ඩුකාරයන්ට වේවා, සියලු මනුෂ්‍ය නියෝගවලට ස්වාමීන්වහන්සේ නිසා යටත්වෙන්න. මක්නිසාද මෙසේ නුඹලා යහපත කිරීමෙන් අනුවණ මනුෂ්‍යයන්ගේ අඥානකම නිශ්ශබ්දකිරීම දෙවියන්වහන්සේගේ කැමැත්තය.

අප හරි දේ කරන විට මනුෂ්‍යයා නින්දා අපහාස පීඩා ගෙන එයි. එහෙත් ඒවා පවතින්නේ ස්වල්ප කාලයක් සඳහා පමණි.

1 පේතෘස් 2:15-16
15 මක්නිසාද මෙසේ නුඹලා යහපත කිරීමෙන් අනුවණ මනුෂ්‍යයන්ගේ අඥානකම නිශ්ශබ්ද කිරීම දෙවියන්වහන්සේගේ කැමැත්තය. 16එසේය, නුඹලා නිදහස් අය නුමුත්, ඒ නිදහස නපුරට වැස්මක් කොට නොව දෙවියන්වහන්සේගේ දාසයන් මෙන් ව්‍යවහාර කරන්න. සියල්ලන්ටම ගෞරවකරන්න.

අපගේ වචන, කථාව නිවැරදි කර ගනිමු.

අපට විරුද්ධව එන වචන බල රහිත කරමු.

අප දෙවියන්වහන්සේගේ දරුවන් හා උරුමක්කරුවන්ය.

අපි ජයගත් සෙනඟක්ය.

යොහන් 16:22
එසේ නුඹලාට දැන් ශෝකය තිබේ. නුමුත් නැවත නුඹලා දකින්නෙමි, එවිට නුඹලාගේ සිත ප්‍රීතිවන්නේය, නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේය.

ඔබගේ ස්වාමිපුරුෂයාට, භාර්යාවට, දරුවන්ට ඔබ තුළ ඇති දෙවියන්වහන්සේගේ ප‍්‍රීතිය සොරා ගත නොහැකියි.

යාකොබ් 1:2‭-‬4
මාගේ සහෝදරයෙනි, නුඹලාගේ ඇදහිල්ල සෝදිසිකිරීමෙන් ක්ෂාන්තිගුණය උපදින බව දැන, අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල, ඒ සියල්ල ප්‍රීතියක්යයි සිතන්න. නුමුත් නුඹලා කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස ක්ෂාන්තිගුණය සම්පූර්ණලෙස ක්‍රියාකෙරේවා.

පීඩාව කෙටි කාලයක් පවතින බැවින් ඉවසිල්ලේ ආත්මය ඇතිව සිටිමු, මන්ද පීඩාව පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන් නොවේ.

මාර්ක් 10:29‭-‬30
යේසුස්වහන්සේද: සැබවක් නුඹලාට කියමි–මා නිසාද ශුභාරංචිය නිසාද ගෙය හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ මවු හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරිය කවරෙක් නුමුත්, 30 දැන් මේ කාලයේදී ගෙවල්ද සහෝදරයන්ද සහෝදරියන්ද මවුවරුන්ද දරුවන්ද ගම්බිම්ද පීඩාත් සහිතව සියක් ගුණයක් හා, අනාගත ලෝකයේදී සදාකාල ජීවනයද නොලබා නොසිටින්නේය.

අපට යමක් නැතිවුවහොත් හෝ අප අත්හරින සියලු දේට වැඩිවීමක් මේ පොළොවේදීම දෙවියන්වහන්සේගෙන් අපට ලැබෙන්නේය.

මාර්ක් 10:‬31
"නුමුත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝද අන්තිමයෝ ප්‍රථමයෝද වන්නෝය" යි යේසුස්වහන්සේ කීසේක.

මතක තබා ගන්න, ඔබ ජයගන්නෙකුය.

ලූක් 21:12
නුමුත් ඒ සියල්ලට පළමුවෙන් මාගේ නාමය නිසා ඔව්හු නුඹලා පිට අත්හෙළා, සිනගෝගවලටත් හිරගෙවලටත් නුඹලා පාවාදෙමින්, නුඹලාට පීඩාකරන්නෝය, නුඹලා රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙනයන්නෝය.

ලූක් 21:16‭-‬17
එහෙත් මවුපිය සහෝදර නෑ මිත්‍රයන් විසින්ම නුඹලා භාරදෙනු ලබන්නහුය; ඔව්හු නුඹලාගෙන් සමහරෙකු මරණයට පත්කරවන්නෝය. මාගේ නාමය නිසා සියල්ලෝම නුඹලාට වෛරවන්නෝය.

කුමන පීඩා ආවද එය ස්වල්ප කාළයකටයි.

රන් වලට වඩා වටින ඔබගේ ඇදහිල්ල තුළ සිටගන්න, ඔබට ජය ගත හැකිය.


Watch the Sermon Video

Read 290 times