+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබගේ ඇදහිල්ල තුළ ස්ථිර වන්න - මනූ මැතානි
May 14, 2023 Sunday Sermon Notes

 

පීඩා තුළින් අපි ගමන් කරන කල යේසුස්වහන්සේ අප සමඟ සිටින බව අපි මතක තබා ගනිමු.

අපි ඇදහිල්ලෙන් ජය ගන්නා සෙනඟක්ය.

ඔබගේ ඇදහිල්ලෙන් ස්ථීරව සිටින්න.

මුල් සභාවට පැමිණි පරීක්ෂාවේදී ඔවුන් එයට යට නොවී ජය ගත් සෙනඟක් බවට පත් වූවෝය.

යක්ෂයාගේ කඩාකප්පල්කාරී ක‍්‍රමවේද නිසා බොහෝ මනුෂ්‍යයන්ට පීඩාවලට මුහුණ දීමට සිදු වී ඇත.

යේසුස්වහන්සේ එදා පේත්‍රැස් වෙනුවෙන්, ඔහුගේ ඇදහිල්ල නැති නොවන පිණිස යාච්ඤා කළසේක.

ලූක් 22:31
සීමොන්, සීමොන්, බලව, නුඹලා ගෝධුම මෙන් පොළන්ට සාතන් ඉල්ලුවේය. නුමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාච්ඤා කෙළෙමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිරකරන්නැයි කීසේක.

ඔබගේ ඇදහිල්ල අත් හරින තරමටත් නැති කරන පිණිසත් මේ පීඩා පැමිණිය හැකියි.

නමුත් යේසුස්වහන්සේ පැවසුවේ, ඔබගේ ඇදහිල්ල නැති නොවන පිණිස උන්වහන්සේ ඔබ වෙනුවෙන් යාච්ඤා කරමින් සිටිනසේක යනුවෙනි.

යක්ෂයාගේ ආශාව නම් ඔබව සොලවන්නටත් මේ ඇදහිල්ල ගමනෙන් ඔබව දෙවියන්වහන්සේගෙන් ඈත් කරන්නටත් ය.

නමුත් දෙවියන්වහන්සේගේ ආශාව නම් ඔබ ස්ථීරව සිටීමයි.

"මම යක්ෂයාගේ බොරුවට ඇහුම්කන්දී මගේ ජීවිතය නාස්ති කර නොගනිමි" කියා ඔබ ස්ථීරව සිටින්න.

අපගේ ගැළවීම, පව් කමාව ගැන සැක කිරීමට සිතිවිලි අදහස් ගෙන ඒමට ඌ ප‍්‍රයත්න දරයි.

නමුත් අපි පැරණි මනුෂ්‍යයා නොවන බව නැවත නැවතත් සිහි කරගනිමු.

දෙවියන්වහන්සේගේ රාජ්‍යය කිසිදින කඩා නොවැටේ, එය ඊයෙත් අදත් සැමදාමත් එකාකාරයි, උන්වහන්සේගේ රාජ්‍යය සෙළවිය නොහැකියි.

සභාව ගොඩනැගිල්ලක් නොව, ඔබත් මාත් එක්රැස්වන ස්ථානයයි.

මතෙව් 16:18
මම ඔබට කියමි: නුඹ පේතෘස්ය, තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි; පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය.

පේතෘස් යනු කුඩා පර්වතයක් වූවත් ඔහුට ලැබුණු එළිදරව්ව විශාලය.

ස්වාමීන්වහන්සේ සභාව ගොඩනඟා තිබෙන්නේ මනුෂ්‍යයෙකුට දී තිබෙන එළිදරව්වක් තුළිනි.

සභාව නම් ඔබ සහ ඔබගේ ආත්මික ජීවිතයයි.

පීඩා පරීක්ෂාවන් වලට ඔබගේ ඇදහිල්ල කිසිසේත් නැති කර දමන්නට නොහැකිය.

රෝම 8:35-37
ක්‍රිස්තුස්වහන්සේගේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භීක්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන්කරන්නේද? 36 ඒ හැටියට, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව; මරණයට නියමකළ බැටළුවන් මෙන් ගණන්ගනු ලැබුවෙමුයයි ලියා තිබේ. 37 නුමුත් අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව.

අපගේ මරණය ගැනත්, අප ගැන‍ත් මනුෂ්‍යයන් කුමක් සිතුවත් අපි කරදර නොවෙමු.

ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමය නිසාද, ලේ වල බලය නිසාද උන්වහන්සේගේ පොරොන්දු තුළින් අපි අතිශයින්ම ජය ගන්නෝ වමුව.

අපි පෙනීමේ හැටියට ගමන් කළොත් අපේ පරාජය දැකිය හැකි නමුත් අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ශක්තිය තුළින් ගමන් කිරීමෙන් අපට ජයග‍්‍රහණය අත් දැකිය හැකියි.

අභ්‍යන්තර මනුෂ්‍යයා තුළින් ඔබේ ජීවිතය දෙස බලන්න.

ඇදහිල්ලෙන් ජීවත් වන්න.

අන් අය සමඟ අපේ ජීවිතයේ පීඩා සංසන්දනය නොකරමු.

ඇදහිල්ලේ දුබලකම නිසා ඔබට පමණක් ඇති වූ පීඩා පරීක්ෂා ලෙස ඔබගේ කනට කොඳුරන යක්ෂයාගේ හඬට සවන් නොදෙන්න.

1 පේතෘස් 5:7
උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න;

අපගේ මනසට දරා ගැනීමට ඔරොත්තු නොදෙන තරම් කරදර අපගේ ඇදහිල්ලට බාධා නොකරන පිණිස ඒ සියළු කරදර උන්වහන්සේ පිට තබමු.

1 පේතෘස් 5:8
සිහි ඇතිව, අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.

යුධ සෙබළෙකු සතුරාගෙන් ආරක්ෂාවට අවදිව සිටින්නේ කෙසේද, ඒ අයුරින් අවදිව සිටිය යුතුය.

යක්ෂයා ගිලගන්න සොයන්නේ දුර්වල අයවයි.

ආර්ථීක ප‍්‍රශ්න තුළදී හෝ රෝග ඇතිවන විටදී, සමහර තීරණ ගැනීමේදී ජීවිතවල වැරදි බලපෑම් ගැන ප‍්‍රඥාවන්තව සිහි ඇතිව අවදිව සිටීමෙන් දෙවියන්වහන්සේගේ උපකාරය ඔබට ලැබෙනු ඇත.

යක්ෂයා ක්‍රියා කරන්නේ ක්‍රමානුකූලව හා කපටිකමෙන්ය. ඌ ඔබව මුලාවට ලක් කරන පිණිස මේ ප්‍රශ්න එවන්නට පුලුවන්.

ඒ නිසාම ඔබ ආත්මික මනුෂ්‍යයන් සමඟ සම්බන්ධ වී සිටින්න.

ඔබ හොඳ ආත්මික අය සමඟ සම්බන්ධ වී සිටිනවාට යක්ෂයා කොහෙත්ම අකමැති වන්නේය.

හිතෝපදේශ 16:28
ප්‍රයෝගකාර මනුෂ්‍යයා තරඟ පතුරුවන්නේය; කේලාම්කියන්නාද හිතමිත්‍රයන් වෙන්කරන්නේය.

ඔබ තුළට ප්‍රශ්න ඇතිවෙන බීජ වපුරන්නට යක්ෂයා නිතරම තැත් කරයි. නමුත් ඔබ ඒවාට ඉඩ නොදිය යුතුය.

ආත්මික නොවන මනුෂ්‍යයන්ගෙන් ඈත් වෙන්න.

කේලාම් කියන්නන් ඔබේ කනට කොඳුරන්නේ ඔබට හොඳ ආත්මික මිත්‍රයන් සමඟ තිබෙන සම්බන්ධකම් කඩා දමන්නටයි.

බොරුකාරයන් සමඟ ඔබ වෙන් වෙන්න. ඒ අය ඔබව වෙහෙසට පත් කරයි, කූඩැල්ලන් මෙන් ඔබ තුළ තිබෙන ජීවනය ඔවුන් උරා ගනියි.

බෙහෝ මනුෂ්‍යයන්ගේ ආත්මික කඩා වැටීමට හේතුව වන්නේ වැරදි ආශ‍්‍රයන් හා වැරදි පුද්ගලයන් නිසාමය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත වන්නේ ඔබගේ සතුට නැති කර දමන්නට නොවේ.

ගීතාවලිය 16:11
ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය.

දෙවියන්වහන්සේගේ සැපත නම් පාපයෙන් තොරව තිබෙන නියම සතුටයි.

ඔබ සීමා කඩා නොදමන්න, සීමාවන් පැන්න විට අපි ඉන්නේ අන්ධකාරයේ බැවින් යක්ෂයාට අපට පහර දීමට පහසුයි.

මත් පැන් බීම අපගේ ශරීරයට හානියක් වන නිසා දෙවියන්වහන්සේ අපට පවසා තිබෙන්නේ එයින් වැළකී සිටින ලෙසයි.

ඔබ සර්පයන් මෙන් ඥානවන්ත වන්න, පරවියන් මෙන් අහිංසක වන්න අවශ්‍යයයි.

වෘකයන් මැදට බැටළුපැටවුන් මෙන් අප යවා තිබේ, වෘකයන් යනු යක්ෂ ආත්මයි. (ලූක් 10:3)

හිතෝපදේශ 13:20
ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.

අපගේම හිතුවක්කාර තීරණ වලින් නොව, දේව වචනයෙන් ලැබෙන තරවටුවට හා හික්මවීමට අපි කීකරු වෙමු.

අඥාන මනුෂ්‍යයන් දේව වචනය අසන නමුත් එය ක‍්‍රියාවට නොදමයි.

1 පේතෘස් 5:8
සිහි ඇතිව, අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.

යක්ෂයාට ඔබ ඉදිරියට සෘජුවම ආ නොහැක.

යක්ෂයාගේ කැමැත්ත වන්නේ, මනුෂ්‍යයන්ව විනාශ කර දමන්නටත්, ඔවුන්ගේ කැඳවීම නැති කර දමන්නටත්, ඔවුන්ව දේව කැමැත්තෙන් ඉවත් කර දමන්නටත් ය.

1 පේතෘස් 5:9
ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන, නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධව සිටින්න.

ඔබගේ ඇදහිල්ල තුළ එනම්, යේසුස්වහන්සේගේ ප‍්‍රඥාව තුළ ඔබ ස්ථීරව සිටින්න.
ඔබගේ ජීවිතය නාස්ති නොකරන්න.

ආත්මයාණන්වහන්සේ තුළ උන්වහන්සේට කීකරුව, ගමන් කරන පිණිස ඔබ ස්ථීරව සිටින්න.

ඔබව තනි කිරීමට, ඔබගේ මනස අවුල් කිරීමට හා ඔබව වියළිභාවයට පත් කිරීමට යක්ෂයා උත්සාහ දරයි.

ඔබ වියළිභාවයට පත්වුවහොත්, දෙවියන්වහන්සේගේ දේවල් වලින් ඔබව ඈත් කර ඔබගේ ජීවිතය නාස්ති කර, විනාශ කිරීම ඌට පහසු වේ.

ඔබ වචනයේ තෙතමන ඇතුව සිටියහොත් ඔබව කවදාවත් විනාශ කළ නොහැක.

යොහන් 15:6
යමෙක් මා තුළෙහි නොපවතී නම්, ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළීයයි; ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ, ඒවා දාලායන්නේය.

ඇදහිල්ල තුළ ස්ථීරව නොපවතී නම් ඔබ වියළී යයි.

වර්තමානයේ බොහෝ කිතුනුවන් වියළී ගිය අතු මෙන් ජීවත් වෙති.

හොඳ මිත්‍රත්වයන් ගොඩනඟා ගන්න.

1 පේතෘස් 4:8
ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.

ජ්වලිතභාවයෙන් සිටින්න. ජ්වලිතකම නැති වුවහොත් ඔබ වියළී ගිය අත්තක් මෙන් වන්නේය.

ඔබ තුළ තිබෙන ප්‍රේමය නිසා ඔබට බොහෝ පව් වලින් වැලකී සිටින්නට පුලුවන්. ඒවා නොකර සිටින්නට පුලුවන.

වැරදි ආශ‍්‍රයන් හා වැරදි දේ නැරඹීමෙන් දෙවියන්වහන්සේට අවිශ්වාසවන්ත වීමෙන් වැලකීමට තීරණය කර ගනිමු.

ඔබ අසභ්‍ය පිංතූරු දිගින් දිගටම නැරඹීමෙහි යෙදී සිටිනවානම්, ඔබ නොදැනුවත්වම ඔබේ ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට ද්‍රෝහීකමක් කරයි.

ඔබ සහෝදර ප්‍රේමයෙන් පිරී සිටින්න. එය ඔබට ආරක්ෂාවක් විය හැකියි.

ඔබ අලුත් මැවිල්ලක්ය, ඔබගේ ඇදහිල්ලෙන් ස්ථීරව සිටින්න.
දෙවියන්වහන්සේ සමඟ බැඳී ස්ථීරව සිටින්න.

මනුෂ්‍යාකාරව ඔබට කිසිවෙකු නැති වූවත් ඔබට දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධවී සිටින්නට හැකිය.

යේසුස්වහන්සේ තමාගේ පියා සමඟ එක්වී සිටියේය.

යොහන් 8:17
එසේය, මනුෂ්‍යයන් දෙදෙනෙකුගේ සාක්ෂිය සැබෑයයි නුඹලාගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබේ.

යොහන් 8:18
මා ගැන සාක්ෂිදෙන්නේ මමය, මා එවූ පියාණන්වහන්සේද මා ගැන සාක්ෂිදෙනසේකැයි කීසේක.

ඔබ තනිව සිටින අවස්ථාවේදී දේව වචනය කියවමින්, නමස්කාර කරමින්, අන්‍ය භාෂාවෙන් යාච්ඥා කරමින්, ගීතිකා ගයමින්, දේශනා අසමින් යේසුස්වහන්සේ තුළ ශක්තිමත් වන්න.

ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට ගන්න.

ඇදහිල්ල පැමිණෙන්නේ ඔබ දිනපතා දේව වචනය අසමින් සිටින නිසාවෙනි.

යේසුස්වහන්සේ ඔසවාගත් පසු ගෝලයන්ට ඉතිරිවුණේ උන්වහන්සේ කථා කළ වචන පමණයි.

යොහන් 6:60‭-‬63
එබැවින් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් ඒ අසා: මේක තද කීමක්ය; ඒක අසන්ට පුළුවන් කාටදැයි කීවෝය. ගෝලයන් ඒ ගැන කොඳුරන බව යේසුස්වහන්සේ තමන් තුළ දැන, ඔවුන්ට කියනසේක්: මේක නුඹලාට බාධාවක්ද? එසේ නම් මනුෂ්‍ය පුත්‍රයා පෙර සිටිය තැනට නගිනවා නුඹලා දුටුවොත් කිමෙක්ද? ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි.

උන්වහන්සේගේ වචනය ජීවනදායක රොටියයි. [යොහන් 6:35]

උන්වහන්සේගේ වචනය විශ්වාස කරමින් ඔබට සුවය, නිදහස, ඇතුළු සියල්ල ලබා ගත හැකියි.

සත්‍යතාවයේ වචනය තුළ ඔබ පවතින්න. ඒ දැනගත් සත්‍යය ඔබව නිදහස් කරනසේක.

යොහන් 16:7
එසේවී නුමුත් මම නුඹලාට සැබෑව කියමි: මාගේ අහක්ව යෑම නුඹලාට ප්‍රයෝජනවත්ය. මක්නිසාද මා අහක්ව නොගියොත්, සැනසිලිකාරයාණන්වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත; නුමුත් ගියොත්, උන්වහන්සේ නුඹලා වෙතට එවන්නෙමි.

නිතරම ඔබව සනසන දෙවියන්වහන්සේ ඔබ තුළ වාසය කරනසේක.
පීඩාවේදී අපගේ ආවරණය උන්වහන්සේය.

ඔබගේ දුකේදී, කරදරයේදී හෝ පීඩාවේදී ඔබව සනසන උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරමු.

දේශනාකාරයා 4:1
නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නුමුත් සනසන්නෙක් නොසිටියේය.

පීඩාව පසුපස බලයක් තිබුණි, පීඩාව ලබා ගත් අයගේ ජීවිතයේ සැනසිලිකාරයාණෝ සිටියේ නැත.

අපගේ සැනසිලිකාරයාණෝ බලවන්තයි.

සැනසිලිකරුතුමන් ඔබ තුළ සිටිනසේක.

1 කොරින්ති 15:57-58
නුමුත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපට ජය දෙන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා. 58 එහෙයින්, මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතිව්.

ඔබ ස්වාමීන්වහන්සේ වෙනුවෙන් කරන මෙහෙය කිසිවිට නිෂ්ඵල නොවෙයි.

කවදාවත් ඔබව සෙලවිය නොහැකි ලෙස ඔබ ස්ථීරව සිටින්න.

ඔබගේ ගමන මඟදී අත නොහැර, දෙවියන්වහන්සේගේ ශක්තියෙන් උපකාරය ඇතිව උන්වහන්සේගේ කැමැත්ත ලෙස ගමන් කිරීමට තෝරා ගන්න.

Watch the Sermon Video

Read 223 times