+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේගේ හාස්කම් කිරීමේ බලයට අපි සම්බන්ධ වෙමු - යෝෂා මනූ
May 21, 2023 Sunday Sermon Notes


අපේ දෙවියන්වහන්සේ හාස්කම් කරන දෙවියන්වහන්සේයි.

උන්වහන්සේ අපිට බහුලත්වය හා වැඩිවීම දෙන දෙවියන්වහන්සේය.

උන්වහන්සේ තුළ කිසිම හිඟතාවයක් නැත.

උන්වහන්සේගේ නොනැවතෙන ජීවනයට අප සම්බන්ධ වී ඇති නිසා අපට කිසි අයුරකින් අඩුවක් වන්නේ නැත.

යේසුස්වහන්සේ 5000 කට අධික සෙනඟට ආහාර සැපයූ මෙම හාස්කම ගැන ශුභාරංචිය 4ම සඳහන් කරනු ලබන්නේය.

මතෙව් 14:13‭-‬21
මාර්ක් 6:32-44
ලූක් 9:10-17 සහ
යොහන් 6:5-14


යේසුස්වහන්සේ මෙම හාස්කම සමඟ සම්බන්ධවූ ආකාරයත් මෙහි ආහාර සැපයූ කුඩා දරුවා එයට සම්බන්ධවූ ආකාරයත් දෙස අප බලමු.

යොහන් 6:5
යේසුස්වහන්සේ ඇස් ඔසවා තමන් ළඟට මහත් සමූහයක් එන බව දැක: මොවුන්ට කන්ට දෙන්ට අපි කොතැනින් රොටි මිලේට ගනිමුදැයි පිලිප්ගෙන් ඇසූසේක.

යේසුස්වහන්සේ මෙම හාස්කම කළ ස්ථානය කාන්තාර ප‍්‍රදේශයක්වූ බැවින් තමන් ළඟට දේව වචනය ඇසීමට පැමිණි සෙනඟ නැවත කුසගින්නෙන් හරවා යැවීමට උන්වහන්සේ අකමැති වූසේක.

යොහන් 6:6
තමන් කරන්ට යන්නේ කිමෙක්ද කියා තමන්ම දැනගෙන, ඔහු සෝදිසිකරන පිණිස මෙසේ කීසේක.

යේසුස්වහන්සේ උන්වහන්සේ කරන්ට යන දේ දැනගෙන සිටියත් මේ අවස්ථාවේදී උන්වහන්සේගේ ගෝලයෙක් වූ පිලිප් තුළ ඇති ඇදහිල්ල කොපමණද කියා දැන ගැනීමට, සෝදිසි කිරීමට උන්වහන්සේට අවශ්‍ය විය.

යොහන් 6:7
පිලිප් උන්වහන්සේට උත්තරදෙමින්: එකිනෙකාට ටික ටිකවත් ලැබෙන පිණිස මසු දෙසියයක රොටිත් ඔවුන්ට මදියයි කීවේය.

එක් අයෙකුට කුඩා රොටි කැබැල්ලක් ලබන පිණිස, දළ වශයෙන් දින 200 ක වැටුපක් නැතහොත් මාස 6-8-12ක කාලයකදී ලබන වැටුපක් මේ සඳහා වැයවන බව මින් අදහස් වේ.

යොහන් 6:8-9
උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්වූ සීමොන් පේතෘස්ගේ සහෝදරවූ අන්දෘ උන්වහන්සේට කථාකොට: යව රොටි පහක්ද කුඩා මසුන් දෙදෙනෙක්ද ඇති ළමයෙක් මෙහි සිටියි. නුමුත් මෙපමණ දෙනෙකුට ඒවා මොකක්දැයි කීවේය.

කුඩා ළමයා තමන් ළඟ තිබූ දේ දෙන පිණිස හදවතින්ම සූදානම්ව සිටියා.

එය ප‍්‍රමාණවත් වන්නේද, නැද්ද යන වග ඔහු දැන සිටියේ නැහැ.

අන්දෘ කුඩා ළමයා ළඟ තිබූ දේ යේසුස්වහන්සේ වෙතට ගෙන ආවේ නොඇදහිල්ලෙන් යුතුවයි.

නමුත් උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ගේ නොඇදහිල්ලට සම්බන්ධ නොවූ සේක.

කුඩා ළමයාගේ හදවතේ තිබූ දීමේ ආශාව යේසුස්වහන්සේ දුටුසේක.

ඔබගේ ජීවිතයෙත් දීමේ හදවත උන්වහන්සේ දකින සේක.

දීමේ හදවතක් ඇති කෙනෙකුට යේසුස්වහන්සේ සමඟ සම්බන්ධවී ඔහුගේ ජීවිතයේ මෙන්ම අන් අයගේද ජීවිත වලට වැඩිවීමක් ලබා දිය හැකි වන්නේය.

2 රාජාවලිය 4:1-7 දක්වා සඳහන් වන වැන්දඹුවගේ තෙල් කුළාවේ හාස්කම් සිදුවීමේදී, එම වැන්දඹුව තම ස්වාමිපුරුෂයාගේ ණය බර නිසා ඇතිවූ තත්වය එලීෂා හමුවේ පවසා සිටියදී එලීෂා ඇයව පන්නා දැමුවේ නැත.

අප දෙවියන්වහන්සේගේ ප‍්‍රතිපත්ති වලට විරුද්ධව ක‍්‍රියා කලත් උන්වහන්සේ අපට නිතරම උපකාර කරනසේක.

දෙවියන්වහන්සේ අපට බොහෝ සේ ප්‍රේම කරන නිසා අපට වැරදුනු විට පවා උන්වහන්සේ අප ගැන සලකන සේක.

එම වැන්දඹුව සතුව තිබුනේ කුඩා තෙල් තුළාවක් පමණක් වූවත් එලීෂා ඇයට පැවසුවේ හිස් භාජන ඉල්ලා භාජන වලට එම තෙල් පුරවන ලෙසයි. (2 රාජාවලිය 4:3-5)

දේව දාසයා කියූ ආකාරයට ඇය ජනෙල් දොරවල් වසා දැමුවා, එසේ කිරීමෙන් මනුෂ්‍යන්ගේ නොඇදහිලිකාරකමේ ප‍්‍රශ්න කිරීම් වලින් බේරීමට ඇයට හැකි විය.

ඇය නැවතත් දේව දාසයා කියූ දේට කීකරු වීම නිසා, එම තෙල් විකුණා සම්පූර්ණ ණය ගෙවා දැමීමට ඇයට හැකි විය. (2 රාජාවලිය 4:7)

දෙවියන්වහන්සේගේ ක‍්‍රම මනුෂ්‍යයන්ගේ ක‍්‍රමවලට වඩා වෙනස්ය.

කුඩා දෙයක් වැඩි කිරීමට උන්වහන්සේට පුළුවන.

යේසුස්වහන්සේ පාවිච්චි කළේ ගිවිසුමේ ප‍්‍රතිපත්තිමය.

එම ප‍්‍රතිපත්ති අදත් අපගේ ජීවිතයේ ක‍්‍රියා කරනසේක.

ඔබ ළඟ ඇති කුඩා දේ ගැන අවතක්සේරු නොකරන්න, මන්ද එය වැඩිවීමක් කරන්න දෙවියන්වහන්සේට හැකි නිසාය.

ඔබ සතුව ඇති එක තලෙන්තය පාවිච්චි කිරීමෙන් දේව රාජ්‍යයේ විශාල දෙයක් කිරීමට උන්වහන්සේට හැකි නිසා ඔබ ඉදිරිපත් වීම ඉතා වැදගත්ය.
ඔබගේ වයසට හෝ ඇදහිල්ලේ ප‍්‍රමානයට වඩා කීකරු වීම ඉතා වැදගත්ය.

එදා ඒ කුඩා දරුවා ළඟ තිබූ ත්‍යාගශීලී හදවත නිසා විශාල හාස්කමක් කිරීමට හැකිවූ අයුරින් අද ඔබ තුළින් යමක් කිරීමට ඔබ ඇදහිල්ලේ යෝධයෙකු වීම අවශ්‍ය නොවේ.

කුඩා අබ ඇටයක පමණ ඇදහිල්ලක් ඔබට ඇත්නම් කඳු පහ කළ හැකි බව යේසුස්වහන්සේ පැවසූ සේක.

මතෙව් 17:20
උන්වහන්සේ කියනසේක්: නුඹලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය. සැබවක් නුඹලාට කියමි අබ ඇටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ කන්දට කථාකොට: මෙතැනින් අහක්ව, එතැනට යවයි කීවත් ඒක යන්නේය.

ඔබට කඳු පහ කරන්නට කන්දක් පමණ ඇදහිල්ලක් අවශ්‍ය වන්නේ නැත නමුත්
අබ ඇටයක් තරම් ඇදහිල්ලක් ප‍්‍රමාණවත් වේ.

කඳු මෙන් තිබෙන ප‍්‍රශ්න හා ලෙඩ රෝග වලට දේව වචනය කථා කළ යුතුයි.

යොහන් 6:10-11
මනුෂ්‍යයන් හිඳුවන්නැයි යේසුස්වහන්සේ කීසේක. එතැන්හි බොහෝ තණකොළ තිබුණේය. මෙසේ ගණන් වශයෙන් පන්දහසක් පමණ පුරුෂයෝ හිඳගත්තෝය. එවිට යේසුස්වහන්සේ රොටි ගෙන, ස්තුතිකොට, ඉඳගෙන උන්නවුන්ට බෙදාදුන්සේක; එසේම මසුන්ගෙන්ද ඔවුන්ට කැමති පමණ දුන්සේක. ඔවුන් තෘප්තියට පැමිණි කල: කිසිවක් නැති නොවන පිණිස ඉතිරිවූ කැබෙලි එකතුකරන්නැයි උන්වහන්සේ තමන් ගෝලයන්ට කීසේක.

මේ ස්ථානයේ පිරිමි 5000 ක් ගැන සඳහන් වන බැවින් ගැහැණු සහ ළමයින්ද විශාල සංඛ්‍යාවක් එනම් අවම වශයෙන් 15000 ක පමණ සෙනඟක් සිටින්නට ඇතැයි අනුමාණ කළ හැකිය.

යේසුස්වහන්සේ නොඇදහිලිකාරකමේ වචන කතා නොකර, ස්තූති දෙමින් ඒවා බෙදා දුන්සේක. එහි වැඩිවීම සිදු වූයේ එකවරම නොව එකින් එක බෙදා දෙන විට යැයි මම සිතමි.

එහි සිටි සියළු මනුෂ්‍යයන් ඒවා කා තෘප්තිමත් වූ බව අපට දැනගන්නට හැකි වන්නේ කූඩ 12ක් පමණ කෑම එකතු කරගත් බව බයිබලයේ සටහන්ව තිබෙන නිසයි.

යොහන් 6:12
මෙසේ මනුෂ්‍යයන් කාලා යව රොටි පහෙන් ඉතිරිවූ කැබෙලි එකතුකොට පැස් දොළොසක් පුරවාගත්තෝය. එබැවින් ඒ මනුෂ්‍යයෝ උන්වහන්සේ විසින් කළාවූ මේ හාස්කම දැක: සැබෑවටම මුන්වහන්සේ ලෝකයට එන්නාවූ අනාගතවක්තෘමයයි කීවෝය.‍

ඔබ දිනපතා වචනය තුළින් ඔබගේ ඇදහිල්ල ගොඩනඟා ගත යුතුයි.

ඔබ හිඟකමෙන් හා ණය තුරුස්භාවයෙන් සිටින්නේ නම් දෙවියන්වහන්සේගේ ස්වර්ගීය ආර්ථීක ක‍්‍රමයට සම්බන්ධ වෙන්න.

දීමෙන් ආශීර්වාද ලැබිය හැකියි.

ත්‍යාගශීලී හදවතක් ඇතිව අප සතුව තිබෙන දේ බෙදා දෙන විට අපට වැඩිවීම අනිවාර්යයෙන්ම අත්දැකිය හැකියි.

අපි ස්වාමීන්වහන්සේට මුදල් පමණක් නොව, අපගේ කාලය සහ තලෙන්තද දිය යුතුයි.

අප උන්වහන්සේට අපගේ කාලය දෙන විට අපගේ කාලය කිසිදු අයුරකින් අඩුවක් නොවන්නේය.

අප බීජයක් වැපිරූ කල එයින් පැලයක් හටගෙන ඉන්පසු ගසක් මෙන් වර්ධනය වී අපි
ඵල කපා ගන්නෙමු. එම ඵල තුළද නැවත බීජ දැකගත හැකිවේ, එලෙස එක් බීජයකින් බීජ රාශියක් හටගන්නා සේ, දේව රාජ්‍යයේ ප‍්‍රතිපත්ති වැඩිවීමක් ගෙන දෙනවා මිස එයින් කිසිදිනක අඩුවීමක් සිදු නොවන්නේය.

පරණ ගිවිසුමේ ඉශ‍්‍රායෙල් සෙනඟ දෙවියන්වහන්සේව නිතරම සැක කළ බවත් කාන්තාරයේදී කෑම වතුර හිඟ වන විට ඔවුන් කොඳුරන්න ගත් බවත් සඳහන්ව ඇත.

ඔබ නොකොඳුරන්න. කෙඳිරීමෙන් අපට දෙවියන්වහන්සේගේ ප‍්‍රතිපත්ති කවදාවත් අත් දකින්නට බැරි වනු ඇත.

ඒ වෙනුවට දෙවියන්වහන්සේගේ සැපයීමට අවශ්‍ය බයිබල් පද රැගෙන ප‍්‍රකාශ කළ යුතුය.

ආශීර්වාද හා ශාප, හිඟකම හා වැඩිවීමේ පොරොන්දු යන සියල්ල අප කථා කරන්නේ එකම දිවෙන් බැවින් අප අපගේ මුඛය යහපත් දේ සඳහා පුහුණු කරගනිමු. (යාකොබ් 3:9-10)

ඊශ‍්‍රායෙල් සෙනඟට දෙවියන්වහන්සේ සියල්ල සපයා දුන්නද ඔවුන්ගේ වචන යහපත් නොවූයේය.

ගීතාවලිය 78:14
දවාලේ වලාකුලක් මඟින්ද මුළු රෑ ගිනි එළියක් මඟින්ද උන්වහන්සේ ඔවුන්ව ගෙනගියසේක.

දෙවියන්වහන්සේම ඔවුන්ට ආලෝකය වූසේක.

ගීතාවලිය 78:15
වනාන්තරයෙහිදී පර්වත පළා, ගැඹුරුවලින් මෙන් බොහෝකොට ඔවුන්ට වතුර බොන්ට දුන්සේක.

ඔබ කාන්තාරයක හෝ කුමන ස්ථානයක වූවත් උන්වහන්සේට ඔබට සපයා දෙන්නට පුළුවන.

අප සම්බන්ධ වී සිටින්නේ දෙවියන්වහන්සේ සමඟ නම්, එය උන්වහන්සේගේ විවෘත වූ ස්වර්ගීය කවුළු යටතේ ආශීර්වාද ලබා ජීවත් වීමයි. මන්ද සතුරන් ඉදිරියේදී උන්වහන්සේ අපට භෝජන සංග‍්‍රහයක් පිළියෙළ කරනසේක. උන්වහන්සේගේ ආර්ථීක ක‍්‍රමය කිසිදින කඩා වැටෙන්නේ නැත.

ගීතාවලිය 78:16-17
පර්වතයෙන් දිය පාරවල්ද නගා, ගංගා මෙන් ජලය ගලායන්ට සැලැස්වූසේක. එහෙත් ඔව්හු කාන්තාරයෙහිදී මහෝත්තමයාණන්ට විරුද්ධව කැරළි ගසමින්, උන්වහන්සේට විරුද්ධව තව තව පව්කළෝය.

දෙවියන්වහන්සේගේ සැපයීම දැක දැක, නැවත, නැවත අවිශ්වාස කරනවා නම් එය පාපයකි.

ගීතාවලිය 78:18-19
තමුන්ගේ තෘෂ්ණාවලට කෑම ඉල්ලීමෙන් සිතින් දෙවියන්වහන්සේ පරීක්ෂා කළෝය. 19 එසේය, ඔව්හු දෙවියන්වහන්සේට විරුද්ධව කථාකරමින්: වනාන්තරයෙහි මේසයක් පිළියෙළ කරන්ට දෙවියන්වහන්සේට පුළුවන්ද?

සතුරන් ඉදිරියේදී උන්වහන්සේ අපට භෝජන සංග‍්‍රහයක් පිළියෙල කරනසේක. (ගීතාවලිය 23:5)

‘’ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය, මට කිසි හිඟයක් නැත’’ යන්න අපගේ මුඛයෙන් ප‍්‍රකාශ කළ යුතුයි. (ගීතාවලිය 23:1)

නමුත් මනුෂ්‍යයන් තමන්ට බොහෝ හිඟකම් ඇති බව ප‍්‍රකාශ කිරීම දේව වචනයට විරුද්ධය.

ඔබ හිඟකම ගැන කථා කරන්නේ නම් ඔබට හිඟකම ඇතිවේ.

නමුත් ස්වාමීන්වහන්සේ මාගේ ඉදිරියෙන් ගමන් කරන එඬේරා නිසා මට කිහි හිඟයක් ඇති නොවේ.

ඔබ ඉන්නේ වැරදි ස්ථානයේ නම් ඔබට ස්වාමීන්වහන්සේගේ සැපයීමත් ලැබෙන්නේ නැත.

වචනය සමඟ ඔබ කාලය ගත කරන විට උන්වහන්සේගේ හඬ ඔබට පැහැදිලිව ඇසෙනු ඇත.

ඊශ‍්‍රායෙල් සෙනඟ ආශීර්වාදය හා සැපයීම මිසර දේශයේදී පවා අත්දැක තිබුණා.

මිසරවරුන්ට අන්ධකාරය තිබියදී ඊශ‍්‍රායෙල් සෙනඟ විසූ ගෝෂෙන් දේශය තුළ ආලෝකය තිබුණේය. මිසරයට පැමිණියාවූ පීඩා 10 න් උන්වහන්සේ තමන්ගේ සෙනඟ ආරක්ෂා කළ ආකාරයත් ඔවුන්ට දුටුවේය.

අද පවා මේ ලෝකයේ මනුෂ්‍යයන් කොපමණ හිඟකමින්, අන්ධකාරයේ සිටියත් ඔබ ඉන්න ස්ථානයේ කිසි හිඟයක් නැතිව ඔබට සපයා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවන.

ස්වාමීන්වහන්සේගේ ආශීර්වාද තුළ ජීවත් වන්නට නම්, ලෝකයේ මනුෂ්‍යයන් කථා කරන ලෙස නොව අපගේ වචන වෙනස් කර ගනිමින් දේව වචනයේ පොරොන්දු පමණක් කථා කළ යුතුයි.

වැරදි දේවල් බලමින්, අසමින් හා කථා කරමින් සිටින අය සමඟ එක්සත් නොවෙමු.

ගීතාවලිය 78:20-21
බලව, උන්වහන්සේ පර්වතයට ගැසූ කල ජලය වැගුරුණේය, දියපාරවල් ගලාගියේය; රොටිත් දෙන්ට හැකිසේක්ද? ස්වකීය සෙනඟට මාංස සපයාදෙන සේක්දැයි කීවෝය. 21 එබැවින් ස්වාමීන්වහන්සේ අසා උදහස්වූසේක. යාකොබ්ට විරුද්ධව ගින්නක් ඇවුළුණේය, ඉශ්‍රායෙල්ට විරුද්ධව කෝපයද නැංගේය;

නොඇදහිලිකාරකමේ වචන නිසා ඒ පරම්පරාව දෙවියන්වහන්සේව උදහස් කරමින් ඔවුන් පොරොන්දු දේශයට ඇතුල් වූයේ නැත.

මෝසෙස් නායකයෙක් ලෙස යහපත්ව මනුෂ්‍යයන්ට උපස්ථාන කළද ඒ කැරළිකාර සෙනඟ සමඟ සිටීමෙන් ඒ නොඇදහිලිකාරකමේ, කෙඳිරීමේ මැසිවිලිකීමේ, වචන
තමාගේ මනසට ඇතුල් වීම නිසා, ඔහුට දෙවියන්වහන්සේගේ හඬ පවා අසන්නට නොහැකි වුණා.

ඒ හේතුවෙන් උන්වහන්සේගේ අණට අකීකරු වීම නිසා ඔහුටද පොරොන්දු දේශය අහිමි වුණා.

ඔබ මුමුණන විට, කොඳුරන විට හා මැසිවිලි නඟන විට, ඔබ කථා කරන්නේ දෙවියන්වහන්සේට විරුද්ධව අනවශ්‍ය වචනයි.

ඔබට කිසි අඩුවක් නැතිව සියල්ල සැපයීමට උන්වහන්සේට පුළුවන.

ඔබ දෙවියන්වහන්සේව සීමා නොකරන්න.

දෙවියන්වහන්සේගේ තේජසේ සම්පතේ මහිමයේ ප‍්‍රකාරයට උන්වහන්සේ මගේ සියළු අවශ්‍යතා සපුරාදෙන සේක.
(පිලිප්පි 4:19)

ඔබට මඟපෙන්වීමක් තිබෙනවා නම් දෙන්න, දෙන විට ඔබට වැඩිවීමක් අනිවාර්යයෙන්ම දැකගත හැක.

ගීතාවලිය 78:22-27
මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ කෙරෙහි නොඇදහුවෝය, උන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම විශ්වාස නොකළෝය. 23එසේ වුවත් උන්වහන්සේ ඉහළින් ආකාශයට අණකොට, ස්වර්ගයේ දොරවල් ඇරියසේක; 24 කෑම පිණිස මන්නා වස්වමින්, ස්වර්ග ශස්‍යයෙන් ඔවුන්ට දුන්සේක. 25 මනුෂ්‍යයා බලවතුන්ගේ රොටි කෑයේය. සෑහෙන පමණ ආහාර උන්වහන්සේ ඔවුන්ට එවුසේක. 26 උන්වහන්සේ අහසෙහි පෙරදිග සුළඟ හමන්ට සැලැස්වූසේක. ස්වකීය බලයෙන් දකුණු දිග සුළඟ ගෙනාසේක. 27 උන්වහන්සේ ධූලි මෙන් මාංසද මුහුදු වැලි මෙන් පියාපත් ඇති පක්ෂීන්ද ඔවුන් පිට වැස්සෙවුසේක.

දෙවියන්වහන්සේ තමන් සෙනඟට කාන්තාරයේදී කිසිම අඩුවක් නැතිව සියල්ල සැපයුවේය.

ඒ ප‍්‍රතිපත්ති යේසුස්වහන්සේ උන්වහන්සේගේ සෙනඟ වෙනුවෙන් පාවිච්චි කළහ.

ඔබ උන්වහන්සේව විශ්වාස කරන්නේ නම් කිසිම අඩුවක් නැතිව සියල්ල සපයා දීමට උන්වහන්සේට හැකිය.

නිතරම බයිබල් පද හා පොරොන්දු ප‍්‍රකාශ කරමු, එවිට අපට ආශීර්වාදය තුළ ජීවත් වීමට හැකි වන්නේය.


Watch the Sermon Video

Read 233 times