+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

කුඩා දෙයකට කීකරු වීමෙන් විශාල හාස්කම් අත්දැකිය හැකියි - යෝෂා මනූ
May 28, 2023 Sunday Sermon Notes


අප ජීවත් වන්නේ කලබලකාරී ලෝකයකය, ශබ්දයට හුරුවූ සමහරුන්ට නිහඬව සිටීමද අසීරු දෙයකි.

අපට දෙවියන්වහන්සේගේ හඬ ඇහෙන්නේ අප නිශ්චලව හිටියොත් පමණය.

බොහෝ විට මනසට කලබලකාරී සිතුවිලි පැමිණෙනුයේ අප නිහඬව නොසිටින නිසා විය හැකිය.

අප ස්වාමීන්වහන්සේගේ අභිමුඛයේ කාලය ගත කරමු.

අපේ උදෑසන යාච්ඤාව ලැයිස්තුවක් කර නොගත යුතුය.

යාච්ඤාව යනු දෙවියන්වහන්සේට ඉල්ලීම් අවශ්‍යයතා ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම නොවේය.

දේව වචනය තුළ යේසුස්වහනසේගේ ඉගැන්වීම් තුළින් යාච්ඤාවේදී කළ යුතු පළමු දේ උන්වහන්සේ අපට පෙන්වා ඇත. (මතෙව් 6:9-10, ලූක් 11:2, මතෙව් 6:33)

පළමුකොට අප උන්වහන්සේ වර්ණනා කරමින්, මහිමයට පත්කළ යුතුය.

උන්වහන්සේගේ ගුණ ගායනා කරමින් අප ස්තුතිවන්ත හදවතකින් උන්වහන්සේගේ අභිමුඛයට පැමිණෙන කල අපගේ කරදර ප‍්‍රශ්ණද අපගේ මනසින් අමතක වී යයි.

නමස්කාර කරන පිණිස අප පැමිණෙන්නේ මේ ලෝකයේ බලවත්ම තැනන්වහන්සේගේ අභිමුඛයටය.

සාමාන්‍ය ලෝකයේ බලවතෙක් ඉදිරියට යද්දී අපගේ සූදානම කොතරම්ද, ඊටත් වඩා සූදානමකින් දෙවියන්වහන්සේගේ අභිමුඛයට යාම අගනේය.

උන්වහන්සේගේ අභිමුඛයේ අපේ වචන අඩු කර ප‍්‍රශංසාව, නමස්කාරය වැඩි කර ගනිමු.

දෙවියන්වහන්සේ බලා සිටින්නෙත් උන්වහන්සේගේ කැමැත්ත වන්නෙත් අපට කිසි අඩුවක් නැතිව ආශීර්වාද කිරීම‍ය.

පන්දහසකට කන්න දීමේ හාස්කමේදී ඒ කුඩා දරුවා ළඟ තිබූ රොටී හා මාළු රැගෙන යේසුස්වහන්සේ මුලින්ම දෙවිපියාණන්ට ස්තූති කරන ලද්දේය. (මතෙව් 6:41)

ඒ කුඩා දෙයින් කළ හැකි දේ නොදත් ගෝලයන් එය සුළු කළ නමුත් යේසුස්වහන්සේ එය සුළු නොකර ඊට වැදගත්කමක් දුන්සේක.

අප කුඩා දේට කීකරු වූ විට විශාල හාස්කමක් දකින්නට පුළුවන් වන්නේය.

කුඩා දෙයින් සියල්ල ආරම්භ වන නිසා කුඩා දේවල් සුළු නොකරන්න (සෙකරියා 4:10)

කුඩා බීජයකින් විශාල ගසක් ඇතිවේ.

කුඩා අබ ඇටයකින් විශාල ගසක් හටගෙන මහත් අස්වැන්නක් ලබා ගත හැකි වන සේ දෙවියන්වහන්සේගේ ප‍්‍රතිපත්ති, මූලධර්ම එලෙසින් ක‍්‍රියාත්මක වේ.

දෙවියන්වහන්සේ අන්ධකාරය තිබෙද්දීම ආලෝකය වේවා කියා කථා කළසේක.

උත්පත්ති 1:3
දෙවියන්වහන්සේ: එළිය වේවයි කීසේක; එවිට එළිය විය.

උන්වහන්සේ අන්ධකාරය වර්ණනා කරමින් සිටියේ නැත.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචන නිවැරදිව පාවිච්චි කළසේක.

යෙසායා 60:22
කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. ස්වාමිවූ මම ඒකේ නියම කලට ඒක ඉක්මන් කරන්නෙමි.

දෙවියන්වහන්සේ අපිව කවදාවත් එකම ස්ථානයක, කුඩා තැනක, සුළු තැනක තබන්නේ නැත.

අපි කුඩාවට ආරම්භ කරන දේ වැඩි කිරීමට, ඊට ආශීර්වාද කිරීමට, බහුලත්වය දීමට උන්වහන්සේට පුළුවන.

දෙවියන්වහන්සේ ඊශ‍්‍රායෙල් සෙනඟ ගැන කථා කරද්දී උන්වහන්සේ කැඳෙව්වේ එක් පුද්ගලයෙක් පමණයි.

ඒ ආබ‍්‍රහම්ය. (උත්පත්ති 12:1-3)

එම කැඳවීම තුළ ලොත් සිටියේ නැත. දෙවියන්වහන්සේට අවශ්‍ය වූයේ ආබ‍්‍රහම් හා සාරා තුළින් උන්වහන්සේටම වෙන්වූ විශාල පරම්පරාවක් ඇති කර ගැනීමටය.

යෝබ් 8:7
නුඹේ පටන්ගැන්ම කුඩා නුමුත් නුඹේ අන්තිමය බොහෝසෙයින් වැඩිවන්නේය.

කුඩා දේ කිසිදා සුළු නොකරන්න.

යේසුස්වහන්සේ පේත‍්‍රැස්ව සේවයට කැඳවීමට පෙර ඔහු මුලින් සාර්ථක මසුන් අල්ලන්නෙකුව සිටියෙකි.

ලූක් 5:1-3
තවද උන්වහන්සේ ගෙන්නෙසරෙත්නම් විල ළඟ සිටියදී සමූහයෝ දෙවියන්වහන්සේගේ වචනය අසමින් උන්වහන්සේට තෙරපීගන සිටියෝය. 2 විල ළඟ ඔරු දෙකක් තිබෙනවා උන්වහන්සේ දුටුසේක. මසුන් අල්ලන්නෝ ඒවායින් බැස තමුන්ගේ දැල් සෝදමින් සිටියෝය. 3 උන්වහන්සේ ඒ ඔරුවලින් එකක් වන සීමොන්ගේ ඔරුවට නැගී, ගොඩින් ටිකක් ඈත්කරන්ට ඔහුගෙන් ඉල්ලා, ඔරුවෙහි වැඩහිඳගන සමූහයන්ට ඉගැන්වූසේක.

යේසුස්වහන්සේට අවශ්‍ය වුණේ මනුෂ්‍යයන්ට උගන්වන්නටයි.
ඒ පිණිස උන්වහන්සේට ඉතා හොඳ කටහඬක් තිබෙන්නට ඇත.

උන්වහන්සේ වාඩි වී උගන්වමින් සිටියදී මාළු දැල් සෝදමින් සිටි ගෝලයන්ගේ අධෛර්යමත්කම දුටුසේක.

පේත‍්‍රැස් නිහඬව තම කාර්යයේ නියැලෙමින් සිටියද යේසුස්වහන්සේ ඔහුට කථා කළ සේක.

ලූක් 5:4
උන්වහන්සේ කථාකොට නිමවූ කල: ගැඹුරට ගොස් මසුන් අල්ලන්ට දැල් හෙළන්නැයි සීමොන්ට කීසේක.

උන්වහන්සේ සීමොන් දෙස බැලුවා, යේසුස්වහන්සේ කිසිවක් නොවිමසුවත් ශුද්ධාත්ම මඟපෙන්වීම තුළින් ඔවුන්ගේ තත්වය දැන සිටියේය.

උන්වහන්සේ ඔවුන්ට ටිකක් එහායින් නැවත දැල් හෙලන්න යයි පැවසීය.

ලූක් 5:5
සීමොන් උත්තරදෙමින්: ස්වාමිනි, අපි මුළු රාත්‍රියෙහිම වෙහෙසවීමුව,, නුමුත් මොකවත් ඇල්ලුවේ නැත. එහෙත් ඔබගේ වචනය නිසා දැල් හෙළමියි කීවේය.

පේත‍්‍රැස්ගේ මනසේ අවිශ්වාසවන්තකමේ සිතිවිලි තිබෙන්නට ඇති. නුමුත් යේසුස්වහන්සේගේ වචනයට කීකරු වී දැල හෙලුවේය.

ලූක් 5:6
ඔවුන් එසේ කළ විට මසුන් මහත් රාශියක් අසුවිය; ඔවුන්ගේ දැල් ඉරෙන්ට පටන්ගත්තේය;

ඔවුන් යේසුස්වහන්සේගේ වචනය නිසා එක දැලක් හෙලූ කල පුදුමාකාර හාස්කමක් සිදු වූයේය.

ලූක් 5:7-8
7 ඇවිත් තමුන්ට උපකාරකරන්ට අනික් ඔරුවෙහි සිටි හවුල්කාරයන්ට ඔව්හු සංඥාකළෝය. ඔව්හු ආ කල්හි, ගිලෙන තරමට ඔරු දෙකම පුරවාගත්තෝය 8 සීමොන් පේතෘස් ඒ දැක, යේසුස්වහන්සේගේ දණ ළඟ වැටී: ස්වාමිනි, මා වෙතින් ගිය මැනව; මම පව්කාර මනුෂ්‍යයෙකැයි කිවේය.

පේත‍්‍රැස්ගේ තද සිත නැතහොත් ගල් සිත මොළොක් විය, මන්ද ඔහු මේ විශාල ආශීර්වාදය අත්දුටුවේ කීකරු වූ කල පමණයි.

ඔහු යේසුස්වහන්සේ ගැන වැරදියට සිතා ගෙන සිටි දේවල් නිසා ඔහුගේ සිත ඔහුටම දොස් කියන්නට ඇත.

යේසුස්වහන්සේට අවශ්‍ය වූයේ පේත‍්‍රැස්ට ආශීර්වාද කිරීමට පමණක් නොවේ, ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කරන්නටයි.

උන්වහන්සේගේ ආශීර්වාදය හමුවේ පේත‍්‍රැස්ගේ පව්කාරකම ඔහුට දැනෙන්නට පටන් ගත්තේය.

ලූක් 5:9
මක්නිසාද ඔහු සහ ඔහු සමඟ සිටි සියල්ලෝ තමුන් ඇල්ලූ මසුන් රාශිය දැක විස්මිතවූවෝය.

මුළු රැයක් වෙහෙස වී මාළු අල්ලන්නන් වූ ඔවුන්ට කළ නොහැකි වූ දේ යේසුස්වහන්සේ එක වචනයකින් කළ ආකාරය දුටු නිසා මනුෂ්‍යයන් විස්මිත විය.

ලූක් 5:10-11
10 සීමොන්ගේ හවුල්කාරයෝවූ සෙබදීගේ පුත්‍රවූ යාකොබ්ද යොහන්ද එසේම විස්මිතවූවෝය. යේසුස්වහන්සේ: භයනොවන්න, මෙතැන් පටන් නුඹ මනුෂ්‍යයන් අල්ලනවා ඇතැයි සීමොන්ට කීසේක. 11 ඔව්හු තමුන්ගේ ඔරු ගොඩට ඇද, සියල්ල අත්හැර, උන්වහන්සේ අනුව ගියෝය.

පේත‍්‍රැස් යේසුස්වහන්සේ අනුගමණය කිරීමේ ආරම්භය මෙය විය.

යේසුස්වහන්සේ ඔහුට පෙන්වූයේ ඔබගේ ක‍්‍රම වලින් දේවල් කිරීමෙන් ඔබ වෙහෙසට පත් වෙනවා පමණයි, නමුත් මගේ වචනයට කීකරු වීම තුළින් ඔබට විශාල අස්වැන්නක් ලබා ගත හැකි වන බවයි.

යේසුස්වහන්සේගේ කුඩා වචනයට කීකරුව පේත‍්‍රැස් බෝට්ටුව ටිකක් ඈත් කළ විට විශාල හාස්කමක් දැකීමට ඔහුට හැකි වුණා.

අපට උන්වහන්සේගේ හඬ ඇසෙන විට උන්වහන්සේ පවසන කුඩා වචනයට වුවද කීකරු වෙමු.

ලාසරුස්ව මළවුන්ගෙන් නැඟිටවීමේ සිඳුවීමේදී යේසුස්වහන්සේ පැවසු කුඩා දෙයට කීකරුකමේ වැදගත්කම අපට පෙන්වා දෙයි. (යොහාන් 11:1-46)

යොහන් 11:38‭-‬39
38 එවිට යේසුස්වහන්සේ නැවතත් තමන් තුළ සුසුම්ලමින් සොහොන් ගේ ළඟට පැමිණිසේක. ඒක වනාහි ගුහාවක්ය, ඊට ගලක් හේත්තුකර තිබුණේය39 ගල අහක්කරන්නැයි යේසුස්වහන්සේ කීසේක. මළ තැනැත්තාගේ සහෝදරීවූ මාර්තා: ස්වාමීනි, ඔහු මැරී සතර දවසක් වන බැවින් දැන් ගඳ ඇතැයි කීවාය.

යේසුස්වහන්සේ පැවසුවේ, ගල අහක් කරන ලෙසයි. එය කුඩා දෙයකි.

නමුත් එයට ඉතා ඉක්මණින් ප‍්‍රතිචාර දැක්වූයේ බොහෝ දේවල් ගැන නලංගු වූ, කලබලකාරී ජීවිතයක් ගත කරමින් සිටි, මාර්තාය. (ලූක් 10:39-41)

ඇය ප‍්‍රශ්නය ගැන කථා කරමින් යේසුස්වහන්සේ කී දේ ගැන ප‍්‍රශ්න කළාය.

නමුත් අපි ප‍්‍රශ්නය හමුවේ දේව වචනය කථා කරමු.

මාංශාකාර සිතිවිලි නැවැත්විය හැකි වන්නේ දේව වචනය කථා කිරීමෙන් පමණයි.

යක්ෂයාට ඉඩ නොදෙමු. යක්ෂයා සමඟ සංවාදය නතර කරමු.

යොහන් 11:40
යේසුස්වහන්සේ: නුඹ විශ්වාසකළොත් දෙවියන්වහන්සේගේ මහිමය දකින්නෙහිය කියා මා කීවා නොවේදැයි ඈට කීසේක.

විශ්වාස කරන්නාට සියල්ල කළ හැකියි.

මාර්තාගේ මනසේ තිබූ නොඇහිලිකාරකමේ ගල ඉවත් කිරීමට උන්වහන්සේට අවශ්‍ය වූයේය.

අප තුළ නොඇහිලිකාරකම තිබේ නම් වාද විවාද, තර්ක ඇතිවේ.

දෙවියන්වහන්සේට අපට සපයා දීමට ඕනෑ තරම් මාර්ග තිබේ.

මුහුදේ පවා මාර්ග සාදන්නට, කාන්තාරයේ පවා ගංගා ගලා යාමට සලස්වන්නට උන්වහන්සේට පුළුවන. (ගීතාවලිය 78:13, යෙසායා 41:18)

යොහන් 11:41
එවිට ඔව්හු ගල අහක්කළෝය. යේසුස්වහන්සේ ඇස් ඔසවා: පියාණෙනි, ඔබ මාගේ වචන ඇසූ නිසා ඔබට ස්තුති කරමි.

ඔවුන් ගල අහක් කරන තෙක් ලාසරුස් මළවුන්ගෙන් නැඟිටුනේ වත්, කිසිවක් සිදු වූයේ වත් නැහැ.

යේසුස්වහන්සේ තමන් කරන්ට යන දේ දැන සිටියද, මනුෂ්‍යයන් විසින් කළ යුතු දේට ඔවුන් කීකරු වන තෙක් උන්වහන්සේ බලා සිටිසේක.

ඔබගේ ජීවිතයේ දෙවියන්වහන්සේ ඔබට පවසන දේ කුමක්ද?

ලාසරුස් මළවුන්ගෙන් නැඟිටීමට පෙරම යේසුස්වහන්සේ ජීවන වචන කථා කරමින් ස්තූති කළේය.

ස්තූති දීම අපේ යාච්ඤාවේ මූලික කර ගනිමු.

පිළිතුර දකින්නට පෙර ඇදහිල්ලෙන් ස්තූති කරමු.

යොහන් 11:42
ඔබ නිතරම මාගේ වචන අසන බව දැනගෙන සිටියෙමි. නුමුත් මා එසේ කීවේ ඔබ විසින් මා එවූ බව අවට සිටින්නාවූ සමූහයා විශ්වාසකරන පිණිස ඔවුන් නිසායයි කීසේක.

යේසුස්වහන්සේට අවශ්‍ය වූයේ මනුෂ්‍යයන්ගේ විශ්වාසය වැඩි කිරීමටයි.

යොහන් 11:43-44
43 උන්වහන්සේ මෙසේ කියා: ලාසරුස් පිටතට එන්නැයි මහත් ශබ්දයකින් කීසේක. 44 මැරී සිටි තැනැත්තේ පිටතට ආවේය; ඔහුගේ අත්පා වස්ත්‍රවලින් බැඳ මුහුණද රෙදිකඩකින් ඔතා තිබුණේය. මොහු මුදා යන්ට හරින්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක.

මේ හාස්කම දැකීමට නම් ඔවුන් විසින් ගල අහක් කළ යුතුවම තිබුණා සේ අපගේ ජීවිතයේ යම්යම් හාස්කම් අත්දැකීමට බාධා වී ඇති ගල් තිබිය හැක.

ඔබගේ ජීවිතයේ තිබෙන ගල කුමක්ද?

එය ඉවත් කිරීමෙන් ආශ්චර්යයමත් දේවල් ඔබට දැක ගැනීමට හැකි වෙයි.

උන්වහන්සේ අපේ ජීවිතයට යහපත් දේවල් කරන දෙවියන්වහන්සේයි.


Watch the Sermon Video

Read 295 times