+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

හාස්කම උදෙසා යේසුස්වහන්සේ කියන දේ කරන්න - යෝෂා මනූ
June 4, 2023 Sunday Sermon Notes


ප‍්‍රශංසා කිරීමෙන්, අන්‍යභාෂාවෙන් කථා කිරීමෙන්, දෙවියන්වහන්සේ සමඟ කාලය ගත කිරීමෙන්, අපගේ ශක්තියෙන් කළ නොහැකි බොහෝ දේවල් ස්වාමීන්වහන්සේගේ ශක්තියෙන් අපට කළ හැකිවේ.

ස්වාමීන්වහන්සේගේ වචනයෙන් උන්වහන්සේ අපට ප‍්‍රශංසාව ඇතුළු බොහෝ ආයුධ දී තිබේ.

ප‍්‍රශංසාවෙන් යක්ෂයාගේ සිතිවිලි නතර කරන්න අපට පුළුවන්කම ලැබී ඇත.

2 ලේකම් 20 වන පරිච්ජේදයේ සඳහන් වන යෙහෝෂාපාට් රජතුමා ඔහුට විරුද්ධව සතුරන් යුද්ධයට එන බව ඇසූ විට ඒ සිතුවිලි ඔහුගේ මනසේ රඳවා ගැනීමට ඔහු ඉඩ නොදුනි.

ඒ වෙනුවට දෙවියන්වහන්සේගේ වචනයෙන් ජය ලබා ගැනීමට ඔහු තීරණය කළේය.

ඔහු දේව අභිමුඛයේ නමස්කාර කරමින්, ප‍්‍රශංසා කරන්න පටන් ගත් විට සතුරාව විනාශ කරන ආකාරය ගැන දෙවියන්වහන්සේ ඔහුට සැලැස්මක් දෙන ලදි.

ඔහු ජය ගත්තේ දෙවියන්වහන්සේගේ වචනයෙනි.

ඔහුගේ යුද්ධ හමුදාවට ඉදිරියෙන් ස්වාමීන්වහන්සේට ගීතිකා කරන්නන්ගේ කණ්ඩායම පෙරටුව යැවීමට තීරණය කළේය. (2 ලේකම් 20:21)

සතුරා යුධ සම්පන්නව ආවත් යෙහෝෂාපාට් රජතුමාගේ සේනාවේ අත්වල තිබුණේ අවි ආයුධ නොව තූර්යභාණ්ඩයි.

2 ලේකම් 20:17
යුදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේදී නුඹලා සටන්කරන්ට ඕනෑ නැත. සැරසී නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන ගැළවීම බලාසිටින්න. ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ සිටින නිසා භයනොවී, නොකැලඹී, හෙට ඔවුන් වෙතට පිටත්ව යන්නය කියා වදාරනසේකැයි කීවේය.

දෙවියන්වහන්සේ ඔහුට දුන් සැලැස්ම අනුව ඔවුන් නමස්කාර කරද්දි දේව දූතයන් සතුරන්ව මුළුමණින්ම විනාශ කළෝය.

උන්වහන්සේ මනුෂ්‍යයන් සිතන ලෙස ක්‍රියා නොකරන පුදුමාකාර දෙවියන්වහන්සේය.

ඒ ජයග‍්‍රහණයේ කොල්ලය බෙදා ගැනීමට ඔවුන්ට දවස් 4ක් පමණ ගියෝය.

යෙහෝෂාපාට් රජතුමා තමන්ගේ හමුදාව කුඩා එකක් බවත් සතුරන්ව පරාජය කරන්නට ඔහුට නොහැකි බවත් දැන සිටිය නමුත් ඔහු දෙවියන්වහන්සේගේ හඬ ඇසීමට තීරණය කිරීම තුළින් ජය ලැබුවේය.

සමහර විට අපට ඇසෙන සතුරාගේ හඬ අපේ ශක්තියෙන් නතර කළ නොහැකි වූවත් ප‍්‍රශංසාව නමැති උන්වහන්සේගේ ආයුධ තුළින් එය නතර කළ හැකිය.

සතුරාගේ බලය ගැන අපගේ මනසින් වියවුල් නොවී සිටිමු.

ගීතාවලිය 8:2
සතුරාද පළිගන්නාද නිශ්ශබ්දකරන පිණිස, ඔබගේ එදිරිකාරයන් නිසා, ඔබ බාලයන්ගේද කිරිබොන බිළිඳුන්ගේද මුඛයෙන් බලය පිහිටෙවුසේක.

මේ බලය නම් ප‍්‍රශංසාවයි. ප‍්‍රශංසාවෙන් ජය ගත හැකි ක‍්‍රමය ඔබ අත්හදා බැලිය යුතුය.

සතුරාගේ හඬ නතර කිරීමට ඔබට හැකිය.

අපගේ මනසට එන නපුරු සිතුවිලි නතර කර, වාතාවරණයන්ද වෙනස් කිරීමට ප‍්‍රශංසාවට හැකිය.

අප ජීවත් විය යුත්තේ හාස්කම මත නොවෙයි, ආශීර්වාදය තුළයි.

නමුත් අවශ්‍ය මොහොතේදී අප වෙනුවෙන් හාස්කම් කිරීමට උන්වහන්සේ බලා සිටින සේක.

යේසුස්වහන්සේ වතුර බෞතීස්මය රැගෙන දින 40ක් නිරාහාරව හිඳිමින් ඒ කාලය ගත කළ පසු යොහන් 2 වන පරිච්ජේදයේ සඳහන් වන කානාහී සරණ මංගල්‍යයට පැමිණීමට යේසුස්වහන්සේට සහ ගෝලයන්ට ආරාධනා ලැබී තිබුණි.

යොහාන් 2:1
තුන්වෙනිදා ගලීලයේ කානාහි සරණ මංගල්‍යයක් විය; යේසුස්වහන්සේගේ මෑණියෝද එහි සිටියාය.

මෙය යේසුස්වහන්සේගේ පළමු හාස්කමය.

යොහාන් 2:11
:යේසුස්වහන්සේ ගලීලයේ කානාහිදී තමන් ලකුණුවලින් මේ පළමුවෙනි එක කර, ස්වකීය මහිමය ප්‍රකාශකළසේක;

ඒ කාලයේදී අවශ්‍ය දේවල් හදිසියෙන් සපයා ගැනීම අමාරු විය.

යොහාන් 2:3-4
මුද්‍රිකපානය ඉවරවූ කල: ඔවුන්ට මුද්‍රිකපානය නැතැයි යේසුස්වහන්සේගේ මෑණියෝ උන්වහන්සේට කීවාය.
යේසුස්වහන්සේද: ස්ත්‍රිය, නුඹෙන් මට කම මොකද? මාගේ වේලාව තවම පැමුණුණේ නැතැයි ඈට කීසේක.

සමහර විට යේසුස්වහන්සේ කුඩා කාලයේ පටන් නිවසේ අවශ්‍යතාවයන් සපයන්න උපකාරී වීම නිසා මේ වේලාවේදී උන්වහන්සේට යමක් කළ හැකි බව යේසුස්වහන්සේගේ මෑණියෝ දැන සිටි හෙයින් ඇය යේසුස්වහන්සේට එය සැළකලා විය හැකිය.

යොහාන් 2:5
උන්වහන්සේගේ මෑණියෝ: උන්වහන්සේ නුඹලාට කියන කොයි දෙයක් නුමුත් කරන්නැයි මෙහෙකරුවන්ට කීවාය.

යේසුස්වහන්සේගේ පිළිතුරෙන් ඇය අධෛර්යමත් හෝ කලබල හෝ නොවීය, යේසුස්වහන්සේ කරන්නට යන දේ ගැන ඇය දැන නොසිටියත්, යේසුස්වහන්සේ කියන්නාවු කොයි දෙයක් නමුත් කරන්නැයි ඇය සේවකයන්ට පැවසීය.

යොහාන් 2:6
යුදෙව්වරුන්ගේ පවිත්‍රවීමේ ප්‍රකාරයට එක එකේ මෙත්‍රෙ දෙකක් තුනක් පමණ වතුර අල්ලන්නාවූ ගල් භාජන හයක් එහි තබා තිබුණේය.

යේසුස්වහන්සේ තමන් කරන්නට යන දේ දැන සිටි සේක. එහි හිස්ව තබා තිබූ ගල් භාජන වලට වතුර පුරවන්නැයි යේසුස්වහන්සේ පැවසූසේක.

යොහාන් 2:7
භාජනවල වතුර පුරවන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හු ඒවා කට දක්වා පිරෙවුවෝය.

යේසුස්වහන්සේ කියන්නාවූ කොයි දෙයක් නමුත් කරන්නැයි උන්වහන්සේගේ මැණියෝ කියා තිබූ හෙයින් ඔවුන්ට අවශ්‍යය මිදියුෂ වුවත් ඔවුන් කිසිවත් ප‍්‍රශ්න නොකර වතුර පුරවන ලදි.

යොහාන් 2:8
උන්වහන්සේද: ඉතින් එයින් අරන් මංගල්‍යයේ ප්‍රධානියා ළඟට ගෙනියන්නැයි ඔවුන්ට කීසේක. ඔව්හු ගෙනගියෝය.

යේසුස්වහන්සේ පැවසුවේ එම පුරවපු වතුරෙන් අරන් මංගල්‍යයේ ප‍්‍රධානියාට දෙන ලෙසටය.

මෙහිදී සේවකයන් ඔවුන්ගේ මනසේ කුමක් කල්පනා කළත්, භය, තැතිගැන්ම, වෙවුලුම, ප‍්‍රශ්න තිබුණත් ඔවුන්ට අවශ්‍යව තිබුණේ වතුර නොවූවත් යේසුස්වහන්සේට කීකරු විම තුළින් ආශීර්වාදය ලබා ගත්හ.

ගෝලයන්වත් සේවකයන්වත් දැන නොසිටි දේ මරියා දැන සිටි නිසා ඇය ඇදහිල්ලෙන් සේවකයන්ට කථා කළාය.

යේසුස්වහන්සේ කියන දේ කරන්නට අප භය වෙන්න අවශ්‍ය නැත.

පරණ ගිවිසුමේ මෝසෙස් ව්‍යවස්ථාව ගෙනෙන්නට ප‍්‍රථම මිසර දේශයේදී වතුර ලේ කළේය. (නික්මයාම 7:14-21)

යොහාන් 1:17
මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙනලද්දේය; අනුග්‍රහයද සත්‍යයද පැමුණුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය.

යේසුස්වහන්සේ මේ මොහොතේදී අනුග‍්‍රහය ප‍්‍රකාශ කළ සේක.

අනුග‍්‍රහය නිතරම හාස්කම් කරමින්, මනුෂ්‍ය ජීවිත වලට ආශීර්වාදයක් ගෙන ඒමට සමත්ය.

යේසුස්වහන්සේ අළුත් ගිවිසුම තුළ අනුග‍්‍රහයයි.

එදා මෙහෙකරුවන් කීකරු වීම තුළින් වතුර මිදියුෂ බවට පත්වීමේ ආශීර්වාදය අත්දුටුවෝය.

යොහාන් 2:9-10
මංගල්‍යයේ ප්‍රධානියා මුද්‍රිකපානයවූ වතුර රස බලා, ඒවා කොතැනින් වීදැයි වතුර ගෙනා මෙහෙකරුවන් දන්න නුමුත් ඔහු නොදැන, මනමාලයාට අඬගසා: 10කවුරුත් පළමුකොට හොඳ මුද්‍රිකපානයද මිනිසුන් හොඳටම බීවායින් පසු බාල මුද්‍රිකපානයද දෙති. නුඹ මේ වන තුරු හොඳ මුද්‍රිකපානය තබා ගෙන සිටියෙහියයි ඔහුට කීවේය.

ඒ හාස්කමේ මුද්‍රිකපානය ඉතා රසවත් විය.

එමඟින් ගෝලයන්ට විශ්වාසය ඇති වුණෝය.

යොහාන් 2:11
යේසුස්වහන්සේ ගලීලයේ කානාහිදී තමන් ලකුණුවලින් මේ පළමුවෙනි එක කර, ස්වකීය මහිමය ප්‍රකාශකළසේක; උන්වහන්සේගේ ගෝලයෝද උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.

යේසුස්වහන්සේ කියන දේවල් අපට අපේ මනසින් වටහාගන්න බැරි වුණත් ආත්මයාණන්වහන්සේට නොබියව කීකරු වෙමු.

මන්ද දෙවියන්වහන්සේගේ කැමැත්ත නම් අපට ආශීර්වාදය වගුරුවන්නටය.

උන්වහන්සේ අපට තෘප්තිය ලබා දෙන දෙවියන්වහන්සේය.

හග්ගයි 2:8
රිදී මාගේය, රන්ද මාගේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

අපිට අවශ්‍ය දේ කුමක්ද එය සපයා දෙන්න උන්වහන්සේට පුළුවන් නිසා හිඟකම, නැතිබැරිකම වර්ණනා නොකර සිටිමු.

යේසුස්වහන්සේ මැටි භාජනවල වතුර ඉතා හොඳ මිදියුෂ කළ ආකාරයෙන් උන්වහන්සේට නොකළ හැකි කිසිවක් නැත.

උන්වහන්සේ සියල්ලකම අයිතිකරුවාණන් සහ උන්වහන්සේ තුළ කිසි අඩුවක් නොවේ.

ගීතාවලිය 50:10-11
මක්නිසාද වනයේ සියලු සතුන් සහ දහස් ගණන් කඳුවල ගවයොත් මාගේය. කඳුවල සියලු පක්ෂීන් දනිමි. කෙතේ වල් සත්තුද මාගේය.

ඔබ විශ්වාස කරන දේ අනුව උන්වහන්සේට ඔබේ ජීවිතයේ වෙනසක් ඇති කළ හැකියි.

සමහර විවාහ සබඳතා වලදී දෙදෙනා වෙන් වෙන තරමට ගැටළු ඇති වෙද්දී පවා දෙවියන්වහන්සේ පවසනුයේ උන්වහන්සේ කියන දේ කරන ලෙසයි.

උන්වහන්සේගේ උපදෙස් අනුව විවාහය නැවත ගොඩනඟා ගත හැකියි.

කිසිවක් කළ නොහැකි තත්වයකදී පවා මනුෂ්‍යයන්ට කළ නොහැකි දේ කරන්න උන්වහන්සේට පුළුවනි.

විවාහය සඳහා සුදුසුම සහකරු හෝ සහකාරිය ඔබේ ජීවිතයට ගෙන ඒමට උන්වහන්සේට පුළුවන.

ගීතාවලිය 37:25
මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි.

උන්වහන්සේ ධර්මිෂ්ටයාව කිසිදින අත නොහරීයි.

ඔබේ ජීවිතයේ හාස්කමක් කරන්න උන්වහන්සේට හැකිය, මන්ද හාස්කමේ දෙවියන්වහන්සේ ඔබ තුළ සිටිනසේක.

උන්වහන්සේට හාස්කම් කිරිමට අමතකවී නැත.

මනුෂ්‍යයන්වත්, වාතාවරණයන්වත් අපට වෙනස් කළ නොහැකි වූවත් ප‍්‍රශංසාවෙන් සියල්ල වෙනස් කළ හැකියි.

ගීතාවලිය 132:15
සියොනේ ආහාරයට බොහෝසෙයින් ආශීර්වාදකරන්නෙමි. එහි දුප්පතුන් කෑමෙන් තෘප්තියට පමුණුවන්නෙමි.

රටේ ආර්ථීක කඩාවැටීම හෝ ප‍්‍රශ්න නිසා නොඇදහිලිකාරකම අපේ මනස තුළට ඇතුල් කර නොගනිමු.

දෙවියන්වහන්සේ ස්වර්ගීය කවුළු විවෘත කරමින් අපිට ආශීර්වාද කරන තැනැන්වහන්සේයි.

සමහර විට දෙවියන්වහන්සේගේ නියෝග මෝඩ ක‍්‍රියාවන් ලෙස හැඟෙන්නට පුළුවනි.
(මැටි භාජන වතුරෙන් පුරවා මංගල්‍යයේ ප‍්‍රධානියාට ගෙන යාමට කී ලෙසින්)

නමුත් අප අපේ කොටස ඉටු කරනවා නම් උන්වහන්සේ උන්වහන්සේ කොටස ඉටු කිරීමට විශ්වාසවන්තවන සේක.

උන්වහන්සේ අපව තෘප්තියට පමුණුවන සේක.

ඔබේ ව්‍යවහාරයෙන් "නැහැ" "බැහැ" කියන වචන ඉවත් කර දෙවියන්වහන්සේ ඔබේ සැපයුම්කරු බව විශ්වාස කරමින් ප‍්‍රකාශ කරන්න.

රෝම 8:32
තමන්වහන්සේගේම පුත්‍රයා ඉතුරුකර නොගෙන අප සියල්ලන් උදෙසා පාවාදුන්නාවූ තැනන්වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද?

අපගේ මනසට සැකයක් ඇතිවන විට දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අනගි වස්තුව වූ යේසුස්වහන්සේ අප වෙනුවෙන් දුන්නේ නම් අපට අවශ්‍ය අනෙකුත් දේවල් නොදෙන්නේ කෙසේද යන්න සිහි කර ගනිමු.

ඔබේ ජීවිතයේ අඩුපාඩු, ප‍්‍රශ්න, කරදර එද්දී දේව වචනය මෙනෙහි කරන්න.

උන්වහන්සේගේ තේජසේ මහිමයේ සම්පතේ ප‍්‍රකාරයට මාගේ සියළු අවශ්‍යතා සම්පූර්ණ කරන්න උන්වහන්සේට පුළුවන.
(පිලිප්පි 4:19)

දාවිත්ගේ ජීවිතය ගැන සැලකූ විට, ඔහු පවුලේ බාලයා වූවත් ඔහු දෙවියන්වහන්සේ සමඟ කාලය ගත කරමින් දෙවියන්වහන්සේ තුළ සම්බන්ධකම ගොඩනඟා ගත් නිසා ගොලියත් වැනි යෝධයෙකු ඉදිරියට යද්දීද ඔහුට භයක් තිබුණේ නැත. (1 සාමුවෙල් 16:11-13, 17:34-37, 45-54)

ඔහු ඔහුගේ මනස යහපත් දේ වලින් පුරවා ගෙන සිටි අතර වලහා, සිංහයා මරා දැම්මේ තමන්ගේ ශක්තියෙන් නොව දෙවියන්වහන්සේගේ උපකාරයෙන් බව දැන සිටියේය.

අපි දේව වචනය කියවා එයින් අපේ මනස පුරවා ගනිමු.

ගීතාවලිය 34:10
තරුණ සිංහයෝ හිඟ ඇතිව සාගින්න විඳිති. නුමුත් ස්වාමීන් සොයන්නන්ට කිසි යහපත් දෙයකින් හිඟයක් නොවන්නේය.

ඔබ හිඟකම දකින විට මේ වචනය ප‍්‍රකාශ කරන්න.

පළමු කොට දෙවියන්වහන්සේගේ රාජ්‍යය සොයමු, එව්ට අන් සියල්ල අපට ලැබෙනු ඇත. (මතෙව් 6:33)

කණස්සලුභාවයට අපගේ මනස තුළ ඉඩ නොදෙමු.

කෑම, බීම, හෙට දවස, ගැන කරදර නොවී අපේ මනස දේව වචනයෙන් පුරවා ගැනිම තුළින් උන්වහන්සේ අපේ සියළු අවශ්‍යතා සම්පූර්ණ කරන සේක.(මතෙව් 6:31-34)

විශ්වාස කරන්න දෙවියන්වහන්සේට ඔබේ ජීවිතයේ වෙනසක් ඇති කළ හැකිය.


Watch the Sermon Video

Read 270 times