+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

බලාපොරොත්තු සියල්ලම නැති වූ කල… (රූත්ගේ කථාව) - යෝෂා මනූ
June 11, 2023 Sunday Sermon Notes


දෙවියන්වහන්සේගේ කැමැත්ත නිතරම අපට යහපත කිරීමටය.

යෙරෙමියා 29:11
මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.

දෙවියන්වහන්සේ ඔබ ගැන නිතරම යහපත් දේවල් සිතන නිසා ඔබ ගැන ඔබ නරක දේවල් නොසිතන්න.

ඔබ ඔබව පහත් කොට හෝ වෙනත් කෙනෙකු සමඟ සංසන්දනය කොට නොසිතිය යුතුයි.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයෙන් හා සමානත්වයෙන් ඔබ මවා ඔබේ නාමය කියා ඔබ කැඳවා ඇත.

ඔබ ගැන සියල්ලම උන්වහන්සේ දන්නාසේක.

දෙවියන්වහන්සේ අපගේ ඉදිරි අනාගතයේ යහපත, සඵලත්වය වෙනුවෙන් සැළසුම් කරන දෙවියන්වහන්සේය.

‘’ශාලොම්’’ යනු සමාදානය හා සඵලත්වයයි.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අපව සුවයෙන්, සමාදානයෙන් හා සඵලත්වයෙන් තැබීමටයි.

අපගේ ජීවිතයේ බලාපොරොත්තු සියල්ලම නැතිවුන කල අපගේ ප‍්‍රතිචාරය කෙසේද?

ඔබ අළුත ගැළවීම ලැබූ කිතුනුවෙකු නම් ඔබට හොඳ උපදෙස් නොලැබීම නිසා හෝ හදිසි වීම නිසා ඔබට වැරදිමට ඉඩ ඇත.

අපට වරදින විට දෙවියන්වහන්සේගෙන් ඉවතට නොව දෙවියන්වහන්සේ වෙතට දුවමු.

උන්වහන්සේ අපට නිවැරදි මාවත පෙන්වන සේක.

අපගේ ජීවිතයේ දේව හඬට සවන් නොදෙන්නේ නම්, වචනය මුල් නොවී තිබෙන්නේ නම්, හොඳ උපදෙස් නොලැබුනි නම් අප වැරදි තීරණ ගැනීමට පුළුවන.

තීරණයක් ගැනීමේදී දෙවියන්වහන්සේගේ හඬ ඇසීමට ප‍්‍රමුඛතාවය දීමෙන් නිවැරදි තීරණ ගත හැකිය.

ගැළවීම වැදගත් තීරණයකි, එය අතපසු කිරීම හෝ කල් දැමීම නොකළ යුතුය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අපට සදාකාලිකව ජීවනය ලබා දීමටයි.

රෝම 10:9
කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහි නම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය.

මේ ප‍්‍රකාශය නිසා සදාකාල මරණයෙන් සදාකාල ජීවනයට ඔබට ඇතුළු විය හැකිය.

ඔබ ගැළවීම ලැබුවායින් පසු ඔබ ගන්න සෑම තීරණයක්ම ඉතා වැදගත්ය.

දෙවියන්වහන්සේගේ මඟපෙන්වීමක් නැතිව අපි ගන්න තීරණ වලදී දෙවියන්වහන්සේ අපට ඒ මොහොතේ බාධා නොකරන නමුත් කාලයක් ගතවීමෙන් පසු අපේ ජීවිතවල වියළිභාවයක් අත්දකින්නට සිදුවේ, එවිට අපි නැවත හැරී ඒම අවශයයි.

විදේශ රැකියා සඳහා පිටත්ව යන බොහෝ දෙනා කාලයක් ගතවීමේදී තමන් ගත්තාවූ තීරණයේ අසාර්ථක ප‍්‍රතිඵල විඳිනු අපට දැක ගත හැකි වෙයි.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අපි සියල්ල අහිමි කරගෙන උන්වහන්සේ වෙතට ඒමට වඩා අපේ පවුල සමඟ සියල්ල ආරක්ෂා කරගෙන දේව කැමැත්ත කිරීමයි.
බයිබලයේ රූත්ගේ කථාව නමින් ඇති පොතේ මුලින්ම හමුවන්නේ නයෝමිගේ චරිතයයි.

රූත්ගේ කථාව 1:1‭
තවද විනිශ්චයකාරයන් විනිශ්චයකරන දවස්වලදී දේශයෙහි සාගතයක් විය. එවිට යුදයේ බෙත්-ලෙහෙමේ එක්තරා මනුෂ්‍යයෙක් තමාගේ භාර්යාවද පුත්‍රයන් දෙදෙනාද සමග මෝවබ් දේශයෙහි වසන පිණිස ගියේය.

මෙහිදී ඇති වූ සාගතය නම් කෑම හිඟකමයි.

බෙත්-ලෙහෙම යන්නෙහි අදහස රොටි නැතහොත් ආහාර තිබෙන ගෘහයයි.

බෙත්ලෙහෙමේ තිබූ සාගය හේතුවෙන් එලීමෙලෙක් නයෝමි හා තම දරු දෙදෙනා සමඟ මෝවබ් දේශයට පිටව යයි.

රූත්ගේ කථාව 1:2
ඒ මනුෂ්‍යයාගේ නම එලීමෙලෙක්ය, ඔහුගේ භාර්යාවගේ නම නායොමිය, පුත්‍රයන් දෙදෙනාගේ නම් මාලොන් සහ කිලියොන්ය, ඔව්හු යුදයේ බෙත්-ලෙහෙමේ
එප්‍රාත්වරුය. ඔව්හු මෝවබ් රටට පැමිණ එහි සිටියෝය.

එලීමෙලෙක් යන නමෙහි අර්ථය දෙවියන්වහන්සේ මාගේ රජුන්ය.

මෙහිදී එලීමෙලෙක්ට තම රජුන් වූ දෙවියන්වහන්සේගෙන් මෝවබ් දේශයට යාමට පෙර කැමැත්ත විමසන්නට තිබුණි. නමුත් ඔහු එසේ නොකර ඔවුන්ගේ මතයට අනුව ක‍්‍රියා කළේය.

මෝවබ් දේශයේ ආරම්භය සිදුවුනේ ලොත්ගේ පළමු දියණියට වැරදි ආකාරයෙන් ලොත් නිසා උපන් පුත‍්‍රයාවු මෝවබ් ගෙනි, (උත්පත්ති 19:30-37)

එය අන්‍යජාතීන් ජීවත්වන, අන්‍ය දේවතාවන් අදහන, රූප නමස්කාර කරන දේශයකි.

වෙනත් දේශයකට ගොස් විසීමට ප‍්‍රමාණවත් මුදල් එලීමෙලෙක්ට තිබු නමුත්, ඔහු ඒ සඳහා දෙවියන්වහන්සේගේ හඬ ඇසූ බවක් සඳහන් නොවේ.

පසුව ප‍්‍රතිඵල වලින් ඔහු ගත් තීරණය නිවැරදි නොවන බව අපට පැහැදිලි වේ.

අපගේ ජීවිතයේ වැදගත් තීරණ ගන්නා විට දෙවියන්වහන්සේගෙන් විමසීම ඉතා වැදගත්ය.

මෝවබ් රට ආහාර වගා කිරීමට හොඳ තැනක් විය.

එහි එක් කොටසක තිරිඟු හොඳින් වර්ධනය වූවා මෙන්ම රටේ වෙනත් ප්‍රදේශවල තණකොළ හොඳින් වැවී තිබෙනවා යැයි ආරංචි ලැබුවේය.

ඒවාගේම එළදෙනුන් තරබාරුව සිටියෝය.
නමුත් මෝවබ් දේශය පව්කාර දේශයක් වූයේය.

නායොමි යන නමෙහි අර්ථය මාගේ ප්‍රීතිය නැතහොත් ප්‍රසන්නභාවයයි.

රූත්ගේ කථාව 1:3  නායොමිගේ පුරුෂයාවූ එලීමෙලෙක් මළේය; ඈද ඇගේ පුත්‍රයෝ දෙදෙනාද ඉතිරිව සිටියෝය.

පුරුෂයා නොමැති වුවත් පුතුන් දෙදෙනා සිටි නිසා ඇය සැනසෙන්නට ඇත.

රූත්ගේ කථාව 1:4
ඔව්හු මෝවබ් ස්ත්‍රීන්ගෙන් භාර්යාවන් පාවාගත්තෝය; එක තැනැත්තියෙකුගේ නම ඔර්පාය, අනික් තැනැත්තියගේ නම රූත්ය. ඔව්හු දස අවුරුද්දක් පමණ එහි විසුවෝය.

නයෝමිගේ පුතුන්ගේ විවාහය අන්‍ය ජාතික ස්ත්‍රීන් හා සිදුවේ. මෙයද වැරදි තීරණයකි.

රූත්ගේ කථාව 1:5
මාලොන්ද කිලියොන්ද යන දෙදෙනාම මළෝය; මෙසේ ඒ ස්ත්‍රී ඇගේ දරුවන් දෙදෙනාද ඇගේ පුරුෂයාද නැතිව තනිවූවාය.

නායොමි මෝවබ් දේශයට ගියේ සඵලත්වය ලබා ගැනීමට වුවද ඇයගේ ස්වාමිපුරුෂයාත් පුත‍්‍රයන් දෙදෙනාත් අහිමිවීම නිසා නායොමි තනි වූවාය.

මේ කාන්තාවන්ට ස්වාමිපුරුෂයන් නැති වීමෙන්, තවදුරටත් තම ඉඩමේ වැඩ කිරීමට ඔවුන්ට නොහැකි විය. ඔවුන්ට ඔවුන්ගේ පවුල්වල පිරිමින්ගෙන් උපකාර අවශ්‍ය විය.

තනි වීමේදී ඔබේ ප‍්‍රතිචාරය කුමක්ද? දෙවියන්වහන්සේව සොයනවාද?, දෙවියන්වහන්සේව අතහැර දමා වෙනත් දෙවල් සොයනවාද?

තනිකමේදී දෙවියන්වහන්සේව සොයමු, මන්ද දෙවියන්වහන්සේ ඔබ සමඟයි.

පරණ ගිවිසුමේදී දෙවියන්වහන්සේ ඔවුන් තුළ වාසය නොකළ නමුත් යෙහෝවා දෙවියන්වහන්සේ ඔවුන් සමඟ සිටි බව ඔවුන් විශ්වාස කළෝය.

නායොමි උන්වහන්සේ සමඟ තනිව කාලය ගත කිරීම නිසා යහපත් තීරණයක් ගැනීමට ඇයට හැකි විය.

ඇයගේ බලාපොරොත්තු සියල්ල අහිමිව ඇය තනි වූ මොහොතේ ඇය දෙවියන්වහන්සේ සමඟ තනිව කාලය ගත කරමින් ඇයගේ අනාගතය සඳහා ශක්තිය උපදවා ගත්තාය.

රූත්ගේ කථාව 1:6
එවිට මෝවබ් රටින් හැරී එන පිණිස ඈ තමාගේ යෙහෙළීන් සමග නැගුටුණාය. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට භෝජනය දීමෙන් ඔවුන්ට කරුණාව පෙන්වූ බව මෝවබ් රටේදී ඈට සැලවිය.

තනි වූ අත්දැකීමේදී දෙවියන්වහන්සේගෙන් පිළිතුරු බලා සිටින්න.

ඇයට මෝවබ් දේශයේම ජීවත්ව මිය යන්නට තිබුණත් ඇය ඉන්න ස්ථානය වැරදි බව අවබෝධ කරගෙන නැවත තම දේශයට හැරී යාමට ඇය තීරණය කළාය.

රූත්ගේ කථාව 1:7-8
7 ඈද ඈ සමඟ ඇගේ යෙහෙළීන් දෙදෙනාද තමුන් සිටි තැනින් පිටත්ව ගොස් යුදා දේශයට හැරී එන පිණිස ගමන්ගත්තෝය. 8 නායොමි ඇගේ යෙහෙළීන් දෙදෙනාට කථාකොට: නුඹලා හැරී නුඹලාගේ මවුවරුන්ගේ ගෙවලට යන්න. නුඹලා මැරුණ අයටත් මටත් කරුණාවෙන් ක්‍රියාකළ ලෙස ස්වාමීන්වහන්සේ නුඹලාටත් කරුණාවෙන් යුක්තව ක්‍රියාකරනසේක්වා.

බලාපොරොත්තු සියල්ලම නැති වූ කල, තනිකමේදී නායොමිගේ ජීවිතය ඇය හරවා ගත්තේ දෙවියන්වහන්සේ වෙතට නැවත හැරීම නිසයි.


Watch the Sermon Video

Read 244 times