+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

නැවත නැඟිටීම කෙරෙහි ඔබේ ඇදහිල්ලෙහි ස්ථිරව සිටින්න - මනූ මැතානි
June 11, 2023 Sunday Sermon Notes



අප තීරණ ගැනීමේදී නිවැරදි තීරණ ගත යුතුය. හදිසි තීරණවලට එළඹීමෙන් හිඟකම ඇතිවේ.

හිතෝපදේශ 21:5
කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ; එහෙත් ඉක්මන්කාරයා ඉක්මන්වෙන්නේ හිඟවීමට පමණකි.

දෙවියන්වහන්සේට නියමිත වේලාවක් හා කාලයක් ඇත.

ඔබ උන්වහන්සේගේ කාලය තූළ සිටින විට උන්වහන්සේ පොරොන්දු වූ දේවල් ඔබේ ජීවිතය තුළ ඉෂ්ට කරයි.

අපේ විශ්වාසය දෙවියන්වහන්සේ මත තබන්නේ නම් අපගේ ලාභය උන්වහන්සේ පමණයි.

කාලගුණය වෙනස්වන ආකාරයෙන් අපි වෙනස් නොවී, අපගේ දෙවියන්වහන්සේ ස්ථීරව සිටින බැවින් අපිද ස්ථීරව සිටිමු.

ස්වාමීන්වහන්සේ ගුණාංග අපගේ ජීවිතයට අදාල කරගනිමු.

උන්වහන්සේ ප්‍රේමයයි, ඉවසිලිවන්තකමයි.

දෙවියන්වහන්සේගේ සියළු යහපත් ගුණාංග ඇතුව උන්වහන්සේ ඔබ තුළ වාසය කරමින් සිටින සේක.

අභ්‍යන්තරයෙන් ජීවත් වෙමු, පිටස්තරව ජීවත් වීමෙන් එකිනෙකාගේ වචන නිසා අපිට නිතරම සෙලවීම් වලට මුහුණදීමට සිදුවේ.

ඔබ ස්ථීර සිතකින් අදහා ගන්නේ නම් ස්වාමීන්වහන්සේ නියමිත වේලාවට හැම දෙයක් කරනසේක.

දෙවියන්වහන්සේට කීකරු වන්නේ නම් ඔබ යටහත් පහත් මනුෂ්‍යයෙක් වන අතරම ඔබ අකීකරුද වන්නේ නම් ඔබ අහංකාර මනුෂ්‍යයෙකි.

ඒව දෙවියන්වහන්සේට වඩා තමන් දන්නා බව සිතූ නිසා, උන්වහන්සේ පැවසූ දේ ගැන නොසලකා තමන්ගේ උඩඟුකම නිසා පරීක්ෂාවට වැටුණේය. (උත්පත්ති 3:6)

පරීක්ෂා කාලයේ උඩඟු සිත් නිසා මනුෂ්‍යයන් වැරදි තීරණ ගෙන තිබෙනවා.

පෙනීමේ හැටියට ගමන් කිරීම භයානකයි, ඒ නිසා අපට වරදින්නට පුළුවන.

නමුත් ඔබ වෙනස් වන්නට තීරණ කරගන්න.

ඔබ ස්වාමීන්වහන්සේ පිළිගෙන තිබෙන්නේ නම් ඇදහිල්ලෙන් ගමන් කරන්න.

ශුද්ධාමයාණන්වහන්සේ අපට කතා කරනසේක.

වචනය ඇසීමෙන් අපට ඇදහිල්ල පැමිණෙනවා.

මම දේව ගෘහයට පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගේ හඬ අසන්නටයි.

හෙබ්‍රෙව් 10:35
එබැවින් මහත් විපාකයක් ඇත්තාවූ නුඹලාගේ නිසැකකම අත්නාරින්න.

අපි ජීවත් වීම උදෙසා රැකියාවක් කර වැටුප් ලබා ගන්න නමුත් එය දෙවියන්වහන්සේට කරන සේවයක් ලෙස සිතා කරන්නේ නම් දෙවියන්වහන්සේ අපට මහත් විපාක දීමට බලා සිටින සේක.

කොලොස්සි 3:22
දාසයෙනි, මනුෂ්‍යයන් සතුටුකරන්නන් මෙන් පෙනීමට නොව ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හිතේ අවංකකමෙන්, මාංසාකාරයෙන් නුඹලාගේ ස්වාමිවරුන්ව සිටින්නන්ට සියල්ලෙහිදී කීකරුවෙන්න.

ස්වාමිවරුන් නොබලන කල වංචාකාරයන් මෙන් වැඩකරමින් නොසිටින්න.

කොලොස්සි 3:23‭-‬24
නුඹලාට නුඹලාගේ විපාකයවූ උරුමය ස්වාමීන්වහන්සේගෙන් ලැබෙන බව දැන, නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් සිතෙන් කරන්න. නුඹලා සේවයකරන්නේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේටය.

බොහෝ රැකියා ස්ථානවල සේවකයන් අවංකව නොසිටින නිසා දෙවියන්වහන්සේට විපාක දෙන්නට අපහසු වී තිබෙනවා.

දෙවියන්වහන්සේගෙන් ලැබෙන විපාකය අපගේ වැටුපට වඩා මහත්ය.

කොලොස්සි 3:25
මක්නිසාද අයුක්තිය කරන්නා තමා කළාවූ අයුක්තියේ ඵල ලබන්නේය. තරාතිරම් බැලීමක් නැත්තේය.

අවංකව ජීවත් වීමට තෝරා ගනිමු.

පීඩා පරීක්ෂා පැමිණියත් ඔබගේ විශ්වාසය අත් නොහරින්න.

හෙබ්‍රෙව් 10:36
මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනෑය.

දේව වචනය හා උන්වහන්සේගේ ලියවිලිවල සඳහන් දේ කරමින්, ශුද්ධාත්මයාණන් ඔබේ හදවතට කථා කරන දේට කීකරු වෙමින් සිටිනවා නම් ඔබ දේව කැමැත්ත කරමින් සිටියි.

දේව කැමැත්ත කිරීමෙන් පසු ඔබට අවශ්‍ය වන්නේ ඉවසීමෙන් සිටින්නටයි.

ඉවසීම යන්නෙන් අදහස් කරන්නේ, ස්තූතිමත් හදවතින් ඔබ නොකඩවා කරමින් සිටින දේ කරගෙන යාමයි.

කොලොස්සි 1:10‭-‬12
සියලු යහපත් ක්‍රියාවලින් ඵලදරමින්ද, දෙවියන්වහන්සේ දැනගැනීමෙහි වර්ධනය වෙමින්ද, ප්‍රීතිය ඇතුව සියලු ආකාර ස්ථිරකමටත් ඉවසිලිවන්තකමටත් උන්වහන්සේගේ තේජසේ පරාක්‍රමයේ හැටියට සියලු ආකාර බලයෙන් ශක්තිමත් වෙමින්ද, ආලෝකයේ සිටින ශුද්ධවන්තයන්ගේ උරුමයෙන් කොටසකට අප සුදුස්සන් කළාවූ පියාණන්වහන්සේට ස්තුතිකරමින්ද, නුඹලා ස්වාමීන්වහන්සේට ඔබිනලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව හැසිරෙන ලෙස ඉල්ලමුව.

අපි ශුද්ධවන්තයන් ලෙස ප්‍රීතියෙන් සිටිය යුතුයි.

පියාණන්වහන්සේට ස්තූති දීමෙන් ජීවත් විය යුතුය.

කිතුනුවන් ජීවත් විය යුත්තේ ආශීර්වාද උරුම කරගෙන, හාස්කම් පමණක් විශ්වාස කරමින් නොවේ.

අපි උස් පහත් වන ජීවිතයක් ගත නොකර අපගේ වර්ධනයෙහි උරුමය ලබා ගෙන දිනපතා ස්ථීරව ජීවත් වෙමු.

දෙවියන්වහන්සේට ප‍්‍රසන්න ජීවිතයක් ගත කිරීම තුළින් දිනපතා ආශීර්වාදමත්ව ගමන් කිරීමට ඔබට හැකිවෙනු ඇත.

අපි ජීවත්වන්නේ දේව වචනය තුළිනි.

සමහර අය ජීවත් වෙන්නේ ලෝකයේ ආරංචි වලින් නිසා අපි අවුල් වියවුල්ව ජීවත් වෙන්නට අවශ්‍ය නැත.

අහස පොළව පහවී ගියත් දෙවියන්වහන්සේගේ වචනය සැමදා ස්ථීරව පවතී. (මතෙව් 5:18)

අපි ජීවත් වන්නේ ධනාත්මක වචන වලින් නොවේ. සත්‍යය වචනයෙන්ය.

දෙවියන්වහන්සේගේ වචනය සමඟ ශුද්ධාත්මයාණන්ගේ බලය ඇත, එය වචනය සමඟ එක්ව ක‍්‍රියා කරයි.

අපි උන්වහන්සේගේ වචනය අනුව ගමන් කරන විට ශුද්ධාත්මයාණන්වහන්සේ අපේ වචනය සනාථ කරන සේක.

ප‍්‍රශ්න කරදර එන විට අපි ජයගන්නාවූ සෙනඟ වන්නෙමු.

අපි නොසැලී ස්ථීරව දේව වචනය ක්‍රියාවට නංවමින් සිටිමු.

හෙබ්‍රෙව් 10:37‭-‬38
මක්නිසාද එන්නාවූ තැනන්වහන්සේ ප්‍රමාද නොවී, තව ඉතා ස්වල්ප කාලයකින් එනසේක. ඉඳින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේ. නුමුත් ඔහු පසුබටවන්නේ නම්, මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත.

යේසුස්වහන්සේ පිළිගැනීමෙන් අපි ධර්මිෂ්ඨකම ලබාගත් සෙනඟයි, ඒ නිසා අපි ඇදහිල්ලෙන් ජීවත් වෙමු.

වැරදි මිත්‍රයන්ගෙන්, සම්බන්ධකම් වලින් ඉවත් වෙන්න. ඒ අයට ඔබගේ ඇදහිල්ල නැතිකර දමන්නට හැකිය.

යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුණු බව අපි තදින්ම විශ්වාස කරන්නෙමු.

1 කොරින්ති 15:31
සහෝදරයෙනි, මම දවස්පතා නසිමියි අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ නුඹලා ගැන මට ඇත්තාවූ පාරට්ටුව පිට කියමි.

"දවස්පතා නසිමියි" යන්නෙන් අදහස් වන්නේ මාංශයටත්, හැඟීම්වලටත් බර නොවී ජීවත් වීමයි.

1 කොරින්ති 15:32
මම එපීසයේදී මනුෂ්‍යාකාරයෙන් මෘගයින් සමඟ පොරබැදීම් නම්, මට ඇති ප්‍රයෝජනය කුමක්ද? මළාහු නොනැගිටිත් නම්, හෙට මැරෙන බැවින් කමු, බොමු.

ස්වාමීන්වහන්සේ එදා කළ දේවල් අද දිනත් කරන බවට අපි විශ්වාස කරමු.

කිතුනුවන් වන අපේ උතුම්ම විශ්වාසය නම් ක‍්‍රිස්තුස්වහන්සේ මා වෙනුවෙන් මැරුණු බව හා නැවත මළවුන්ගෙන් නැඟිටුනු බවයි.

ඒ විශ්වාසයේ අත්තිවාරම මත මගේ ජීවිතය රැඳී ඇත.

පීඩා පැමිණෙන්නේ අපව දුකට හා ශෝකයට පත් කරන්නට‍යි.

1 කොරින්ති 15:13
මළවුන්ගේ නැගිටීමක් නැත්නම්, ක්‍රිස්තුස්වහන්සෙත් නැගුටුවනු නොලැබූසේක.

අපගේ කිතුනු ජීවිතයේ යේසුස්වහන්සේගේ නැවත නැගිටීමේ විශ්වාසය තුළ ඔබ ස්ථීරව සිටීම වැදගත්ය.

ඔබගේ ඇදහිල්ල, නිසැකකම අතහැර දමන්නට බොහෝ දේවල් පැමිණෙන්නට පුලුවන.

වතුර බෞතීස්මය චාරිත‍්‍රයක් පමණක් නොවෙයි, ඔබගේ සුසාන භුමියයි, ඒ තුළින් ඔබ මළවුන්ගෙන් නැඟිටවනු ලැබුවේය.

අපගේ විශ්වාසය නැතිකර දැමීමට ලෝකයෙන් හා ඔබේම නිවසින් බොහෝ පීඩා පැමිණිය හැකියි.

නමුත් ඔබ ඇදහිල්ල තුළම සිටින්න.

යූදස් (යූද්) 1:3
ප්‍රේමවන්තයෙනි, අපේ පොදු ගැළවීම ගැන නුඹලාට ලියා එවන්ට මුළු උත්සාහය දරන විට, එක වරක්ම ශුද්ධවන්තයන්ට භාරදුන් ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොරඅල්ලන ලෙස අවවාදකරමින් නුඹලාට ලියා එවන්ට මට ඕනෑවිය.

සමහරු දැනටමත් පළමු ඇදහිල්ලෙන් අහක්ව ගොසින් සිටියි.

යූදස් (යූද්) 1:4
මක්නිසාද පුරාණ කාලයේදී මේ දඬුවමට නියමකොට තැබුවාවූද, අභක්තිකවූද, අපගේ දෙවියන්වහන්සේගේ කරුණාව සල්ලාලකමට හරවාගන්නාවූද, අපගේ එකම අධිපතිවූ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එපාකරන්නාවූද මනුෂ්‍යයන් වගයක් රහසින් ඇතුල්වී සිටිති.

සමහරු අපව ලෝකයාට බර වෙන්ට පොළඹවයි.

ලෝකයේ මනුෂ්‍යයන් අනුභව කරන්නේ යහපත හා නපුර ගසෙන් නිසා ඒ අය කිතුනුවන්ට වඩා යහපත් කියා අපට කිව නොහැකියි.

ඔබ ආලෝකයේ සිටින නමුත් යේසුස්වහන්සේ නොපිළිගත් අය තවමත් අන්ධකාරයේ සිටියි. (යොහාන් 8:12)

ඔබ වැඩිපුරම විශ්වාස කරන මනුෂ්‍යයන් ඔබව පාවාදීමට පුළුවන, නැතහොත් ඔබගේ ඇදහිල්ලට විරුද්ධ වීමට පුළුවන.

අපට නිතරම උපකාර කරන්නේ අපගේ ස්වාමීන්වහන්සේ පමණයි.

ගීතාවලිය 124:8
අපේ උපකාරය අහසත් පොළොවත් මැවූ ස්වාමීන්ගේ නාමය කෙරෙහිය.

ඔබටත් මටත් උපකාර ලැබෙන්නේ අහසත් පොළොවත් මැවූ ස්වාමීන්ගෙනි.

ඔබේ මැවුම්කරුගෙන් ලැබෙන මහත් උපකාරය නොසලකා ඊට වඩා මනුෂ්‍යයන්ගෙන් ලැබෙන සුළු උපකාරය අගය නොකරන්න.

මනුෂ්‍යයෙකුගෙන් ලැබෙන උපකාරය, සහනය නිසා ඒ මනුෂ්‍යයාව දේවත්වයෙන් සැලකීම රූප වන්දනාවකි.

අපි ගැළවීමට ගෙන ආවේ ස්වාමීන්වහන්සේගේ ශුභාරංචි වචනය තුළින්, දේව ප්‍රේමය කරණකොටගෙනය.

සියළු මනුෂ්‍යයන් පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටියි. (රෝම 3:23)

ගැළවීම තුළ ඔබ සිටින්නේ දෙවියන්වහන්සේගේ හස්තය මතයි.

හෙබ්‍රෙව් 2:14‭-‬15
එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සෙත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොටගෙන බල නැතිකොට, ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්කරන පිණිසය.

දෙවියන්වහන්සේට මනුෂ්‍යයෙකු වෙන්නට සිදුවිය. උන්වහන්සේ ලේ හා මාංසයට සීමා විය. මේ දේ වෙන්නට උන්වහන්සේ තීරණ කළේ අපට බොහෝසේ ප්‍රේම කරන බැවින්ය.

ආදම් කළ වැරැද්ද නිසා දෙවියන්වහන්සේට එවේලෙහිම ඔවුන්ව නැති කර දමන්නට තිබුණත්, උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාට ප්‍රේම කළ සේක.

අපි සිටින්නේ ආදම් හා ඒව තුළයි.

එදා ආදම් තුළින් දෙවියන්වහන්සේ අප සියළු දෙනාව දුටු නිසා, උන්වහන්සේ ආදම් හා ඒවව ආරක්ෂා කරමින්, අපට යේසුස්වහන්සේ තුළින් මේ සුභාරංචි වචනය ගෙන ආ සේක.

1 කොරින්ති 2:1‭-‬2
ඒ හැටියට, සහෝදරයෙනි, මා නුඹලා වෙතට ආ කල්හි දෙවියන්වහන්සේගේ රහස නුඹලාට එළිදරව් කරමින් ආවා මිස කථාවේවත් ප්‍රඥාවේවත් උතුම්කමින් යුක්තව නාවෙමි. මක්නිසාද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේ කුරුසියෙහි ඇණගසනු ලැබූ බවත් මිස වෙන කිසිවක් නුඹලා අතරෙහි නොදැන සිටින්ට නියමකර ගතිමි.

පාවුල් නියමකරගත්තේ යේසුස්වහන්සේ මරණයට පත්වුණ දේ උදෙසා ජීවත් වෙන්නටයි.

යේසුස්වහන්සේ මා වෙනුවෙන් මරණයට පත්වී, නැවත මළවුන්ගෙන් නැඟිටි ඒ ශුද්ධ ක‍්‍රියාව මගේ ජීවිතයේ අත්තිවාරම කොට ගෙන මා නිසැකකමින්, ඇදහිල්ලෙන් ජීවත් විය යුතුය.

හෙබ්‍රෙව් 2:14‭-‬15
එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සෙත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොටගෙන බල නැතිකොට, 15 ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්කරන පිණිසය.

ආදම්ටත් ඒවටත් තමුන්වම ගළවා ගන්නට නොහැකි විය.

මන්ද ආදම්ගේ පියා ලෙසින් ඔවුන් කීකරු වූයේ හා ඔවුන්ගේ ජීව්තය බාර දුන්නේ යක්ෂයාට බැවිනි.

යක්ෂයාගේ ස්වභාවය ඇතිව මේ පොළවට ඉපදුන සෑම කෙනෙක්ම පාපය හා මරණයේ ව්‍යවස්ථාව යටතේ වූහ.

ඒ නිසා යේසුස්වහන්සේ යක්ෂයා විනාශ කරන පිණිස මේ පොළොවට පැමිණියේය.

පිලිප්පි 2:6-8
උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා,
උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා,
මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, කුරුසියේ මරණය දක්වා කීකරුවූසේක.

සමහර මනුෂ්‍යයන්ගේ ඇස් ඇරෙන්නේ ඔවුන් මරණයට පත් වන වෙලාවේ නොහොත් අන්තිම මොහොතේ නිරය හා ස්වර්ගය දකින විටදියි.

නමුත් අපි ඒ මොහොත වෙන තුරු සිටීම අවශ්‍ය නොවේ, අපි ජීවත්ව සිටින විටදීම ස්වර්ගය තෝරා ගනිමු.

අපි ස්වර්ගීය පුරවැසියන් වෙමු.

යේසුස්වහන්සේ තමාගේ ජීවිතය කුරුසියේ පූජාකරන තරමට අප වෙනුවෙන් මෙළොවට පැමිණිසේක.

පිලිප්පි 2:9
එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක.

රෝම 10:11
උන්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියවිල්ල කියන්නේය.

අද දවසේදීම, මේ මොහොතේදීම ඔබට අපාය හෝ ස්වර්ගය තෝරා ගැනීමක් ඇත.

ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ මරණය හා අපාය සමඟ තිබෙන ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් කඩා දමා ස්වර්ගය සමඟ ජීවනයේ ගිවිසුමට අපව ඇතුළු කළ සේක.

යෙසායා 28:15-16
අපි මරණය සමඟ ගිවිසුමක් කොට ‍පාතාලය සමඟ පොරොන්දුවකට බැඳී සිටිමුව; ගලාඑන විපත පැමිණෙන විට එය අප වෙතට නොඑන්නේය; මක්නිසාද අපි බොරුව අපේ රක්ෂාස්ථානය කරගන වංචාකමෙහි සැඟවී සිටිමුයයි නුඹලා කීවහුය.
ඒ නිසා ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම අත්තිවාරමක් පිණිස ගලක් එනම් පරීක්ෂාකරනලද ගලක්, සවි අත්තිවාරමක්වූ අනර්ඝ කොනේ ගලක් සියොන්හි තබමි. අදහන අය ඉක්මන් නොවන්නේය.

ඔබගේ ගැළවීමෙන් ඔබව වෙන් කරන්නට ඔබට බොහෝ පීඩා පැමිණියත් ඔබ එය තදින් විශ්වාස කරමින් සිටින්න.

යේසුස්වහන්සේ ජීවමානයි

1 කොරින්ති 1:18
මක්නිසාද කුරුසියේ වචනය විනාශවන්නන්ට මෝඩකමය; නුමුත් ගැළවෙන්නාවූ අපට ඒක දෙවියන්වහන්සේගේ බලයය.

1 කොරින්ති 3:18‭
කිසිවෙක් තමාම රවටා නොගනීවා. නුඹලා අතරෙහි යමෙක් මේ ලෝකයෙහි ප්‍රඥාවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු ප්‍රඥාවන්ත වන පිණිස මෝඩයෙක් වේවා.

ඔබ කුරුසියේ මෝඩකමේ පණිවිඩය පිළිගන්න.

1 කොරින්ති 3:19
මක්නිසාද මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෝඩකමය. මක්නිසාද: උන්වහන්සේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේ උපායවලින් අසුකරගන්නාසේකැයි ලියා තිබේ.

යේසුස්වහන්සේ සිටින තැනට අපවද ගෙන්වා ගැනීමට උන්වහන්සේ සතුටු වන සේක. (යොහාන් 14:3)

කිසි කෙනෙකුට ඔබව රවටන්නට ඔබ ඉඩ නොදෙන්න.

1 කොරින්ති 1:18
මක්නිසාද කුරුසියේ වචනය විනාශවන්නන්ට මෝඩකමය; නුමුත් ගැළවෙන්නාවූ අපට ඒක දෙවියන්වහන්සේගේ බලයය.

ලෝකයා ඔබට මෝඩයා යයි කීවත් යම් දවසක ඔවුන්ගේ ඇස් ඇරී, සැබවින්ම ඔබ ජයග‍්‍රාහිකයි, ඔබ ගමන් කර ඇත්තේ හරි මාර්ගය තුළ යයි කියනු ඇත.

ලෝකයා ඔබට මෝඩයා යයි පවසන විට දුක් නොවන්න. පීඩා වලට භය නොවන්න. අපට පෙරටුව ගිය අය මේ නාමය නිසා බොහෝ පීඩා දරාගත් බව සිහි කරමින් ඔබගේ ඇදහිල්ල තුළ ඔබ ස්ථීරව සිටින්න.

එක හදවතකින්, මනසකින්, සිතකින්, මුඛයෙන් යේසුස්වහන්සේ ස්වාමීන් බව ප‍්‍රකාශ කරමු.

යේසුස්වහන්සේගේ නැවත නැඟිටීමෙන් අපව උන්වහන්සේ ශුද්ධවන්තයන්, ධර්මිෂ්ඨයන්, දේව දරුවන් බවට පත් කර ඇත.


Watch the Sermon Video

Read 274 times