+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සියළුම බලාපොරොත්තු නැති වූ කල (රූත්ගේ කථාව)- යෝෂා මනූ
June 18, 2023 Sunday Sermon Notes


හිතෝපදේශ 12:1
අවවාදයට ප්‍රේමකරන්නා දැනගැන්මට ප්‍රේමකරන්නේය; එහෙත් තරවටුවට ද්වේෂකරන්නා මෝඩයෙක්ය.

දෙවියන්වහන්සේගේ වචනයෙන් ඔබට යම් අවවාදයක් ලැබෙන්නේ නම් එය ලබා ගැනීමට කැමති වී එයට කීකරු විය යුතුයි.

එසේම යම් තරවටුවක් හරිගැස්වීමක් පැමිණෙන්නේ නම් එයද ප්‍රේමයෙන් පිළිගත යුතුයි.

හෙබ්‍රෙව් 12:5
ඇරත් පුත්‍රයන්ට මෙන් නුඹලාට කියන අවවාද වචනය නුඹලා මතකනැතිකළහුය, ඒ කවරද යත්: මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ දඬුවම සුළු නොකරන්න, උන්වහන්සේගෙන් තරවටු ලබන කල ක්ලාන්ත නොවන්න;
දෙවියන්වහන්සේ අපගේ ප්‍රේමණීය පියාණන් බැවින් උන්වහන්සේගේ දඬුවම අපට වධහිංසා පැමිණවීමට නොවේ, එය අපව දේව වචනයෙන් නැවත නිවැරදි මාවතට ගෙන ඒමටය.

හිතෝපදේශ 3:1‭-‬2‭, ‬5‭-‬10
1 මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, නුඹේ සිතින් මාගේ ආඥා රක්ෂාකරන්න.

දෙවියන්වහන්සේගේ උපදෙස් අමතක නොකර, පිටතින් හෝ මනුෂ්‍යයන්ට පෙණෙන පිණිස නොව ඔබගේ හදවත තුළින්ම මේ වචන රක්ෂා කළ යුතුයි.

2 මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය.

එම උපදෙස් ගැනීම තුළින් සුවයෙන්, සමාදානයෙන් යුතුව දිගු කාලයක් ජීවත් වීමට අපට හැකිවේ.

5 නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න.

දෙවියන්වහන්සේ හා අප සිතන ක‍්‍රමය හාත්පසින්ම වෙනස්ය.

යෙසායා 55:8-9
මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. 9 අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක්මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ.

අපගේ ක‍්‍රමයට වඩා උන්වහන්සේගේ මාර්ග, යෝජනා උසස් බැවින් උන්වහන්සේ සිතන ආකාරයට සිතන්නට, ක‍්‍රියා කරන්නට පුරුදු වෙමු.

6 නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.

අප ඉදිරියේ බොහෝ මාර්ග තිබුණත් දෙවියන්වහන්සේගෙන් නිවැරදි මාවත විමසා ගමන් කිරීමෙන් අපේ මාර්ගය සමතලා කර දීමට උන්වහන්සේට හැකිය.

සමතලා කිරීම යන්නෙන් අදහස් වන්නේ අපගේ මාර්ගය කෙලින් කර, බාධා ඉවත් කර, දොරටු ගේට්ටු හැර දෙමින්, අපි යන මාවතේ ඇති කටු, ගල්, කඳු සමතලා කරමින් උන්වහන්සේ අප ඉදිරියෙන් ගමන් කරන බවයි.

7 නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න.

අප සියල්ල දන්නවා යන හැඟීම වැටීමේ භයානකම ස්ථානයයි.

එම උඬගු ස්වභාවය ඉවත් කර දේව වචනයෙන් දිනපතා පෝෂණය වීම අවශ්‍යය.

යටහත්පහත් කෙනා ස්වාමීන්වහන්සේගෙන් අසා ඉගෙන ගනියි, තේරුම් දැන ගනියි.

යටහත්කම පැළඳගෙන වර්ධනය වීමට ප‍්‍රිය වෙමු.

8 ඒක නුඹේ නහරවලට සනීපයද නුඹේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය.
9 නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන්වහන්සේට ගෞරව කරන්න.
10 එවිට නුඹේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, නුඹේ මුද්‍රික යන්ත්‍රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය.

අපගේ දියුණුව සඵලත්වය දෙවියන්වහන්සේ පමණක් බව අවබෝධ කර ගනිමින් උන්වහන්සේට ගෞරවය දෙමු.

අප ස්වාමීන්වහන්සේට දෙනවිට උන්වහන්සේ කිසිවිටෙක අපගේ ණයකරුවෙකු නොවන සේක.

දේව කැමැත්ත නම් අප උන්වහන්සේගේ විවෘත වූ ස්වර්ගීය කවුළු යටතේ සැපයීම අත්දකිමින් මේ පොළොවේ ජීවත් වීමය.

බලාපොරොත්තු සියල්ල නැති වූ කල්හි ක‍්‍රියාකළ යුතු අන්දම ගැන රූත්ගේ කථාව තුළින් පෙන්වා දෙයි.

රූත්ගේ කථාව තුළ මුලින්ම හමුවන්නේ මිහිරි, ප‍්‍රසන්න යන අර්ථය ඇත්තාවූ නයෝමිගේ කථාවය.

දෙවියන්වහන්සේට අවශ්‍යය වූයේ රූත් නැමැති අන්‍ය ජාති ස්ත‍්‍රිය තුළින් වංශයක් සාදා ඇගේ නමින් බයිබලයේ පොතක් නම් කර නිතර එය ව්‍යවහාර කිරීමටය.

රූත් යන්නෙහි අර්ථය මිතුරිය යන්නයි.

මිත‍්‍රත්වයේ සම්බන්ධයකින් නයෝමි සමඟ ජීවත් වීමට දෙවියන්වහන්සේ රූත්ට පුදුමාකාර හදවතක් දී තිබිණි.

එලීමෙලෙක් ජීවත් වූ යුදා දේශයේ සාගතය හමුවේ මෝවබ් රටට ගිය ආකාරයෙන් ඊසාක්ටද දේශයේ සාගතයකට මුහුණ දීමට සිදු විය.

ප‍්‍රශ්ණයක් පැමිණි කළ සමහරුන් එයින් පැන විකල්ප මාර්ග සොයා යයි.

එලෙසින් ගියාවූ රූත්ගේ කථාවේ නයෝමිට අවසානයේ සිදුවූයේ ස්වාමිපුරුෂයාත්, පුත‍්‍රයන් දෙදෙනාත් අහිමිව තනිවීමටය. (රූත් 1:3-5)

ආබ‍්‍රහම්ගේ පුත‍්‍රවූ ඊසාක්ගේ කාලයේ පැමිණි සාගතයේදී ඊසාක්ද පිලිස්තිවරුන්ගේ දේශයකට යන ලදි.

උත්පත්ති 26:1‭
1 ආබ්‍රහම්ගේ දවස්වලදී වූ පළමුවෙනි සාගතය හැර තවත් සාගතයක් දේශයෙහි විය. ඊසාක් පිලිස්තිවරුන්ගේ රජවූ අබිමෙලෙක් වෙතට ගෙරාර්ට (පිලිස්ති සිටි දේශය) ගියේය.

ආබ‍්‍රහම්ද ඔහු සිටි දේශයෙන් පිටත්ව ස්වාමීන්වහන්සේ කී දේශයවන කානාන්ට යන අතර මගදී ඇතිවූ සාගතයෙදී ඔහු මිසර දේශයට යන ලදි. (උත්පත්ති 12:1‭0)

ආබ‍්‍රහම් මිසර දේශයෙන් නැවත එන ගමනේදී මිසරයෙන් හාගර් නැමැති දාසියවද රැගෙන එන ලදි. (උත්පත්ති 16:1‭)

අප වැරදි තීරණ ගන්නා විට සමහර විට ඒ ගමනට වැරදි මිනිසුන්ද එකතු කර ගනියි.

පළමුව ආබ‍්‍රහම් ලොත්ව එකතු කරගෙන පසුව ඔහුගෙන් වෙන්වුනි. (උත්පත්ති 12:5 / 13:1-118‭)

මිසරයෙන් හාගර්ව රැගෙන ආවයින් ඇයට උපන් ඉෂ්මායෙල්ගේ වංශය අදටත් ලොවට බලපෑම් ඇති කරයි.

නිවැරදි තීරණ ගැනීම ඉතාම වැදගත්ය.

ඊසාක්ද සාගතයේදී අබිමෙලෙක් වෙතට ගියපසු ස්වාමීන්වහන්සේ ඊසාක්ට ප‍්‍රකාශවූ සේක.

උත්පත්ති 26:2-3
2 ස්වාමීන්වහන්සේ ඔහුට පෙනී: මිසරයට නොගොස් මා විසින් නුඹට කියන දේශයෙහි වාසය කරන්න, මේ දේශයෙහි විදේශීව සිටින්න,
3 මම නුඹ සමඟ සිට නුඹට ආශීර්වාදකරන්නෙමි; මක්නිසාද මම නුඹටද නුඹේ වංශයටද මේ සියලු දේශයන් දෙන්නෙමි, මම නුඹේ පියවූ ආබ්‍රහම්ට දිවුළ දිවිරීම ඉෂ්ටකරන්නෙමි;

දෙවියන්වහන්සේ අප සමඟ සිටින්නේ නම් අප ආශීර්වාද ලත් සෙනඟකි.

අළුත් ගිවිසුමේ මනුෂ්‍යයන් ලෙස උන්වහන්සේ අප තුළ වාසය කරන සේක.

ඊසාක් දෙවියන්වහන්සේගේ හඬට කීකරුව ගෙරාර්හි වාසය කිරීමට තීරණය කළේය.

උත්පත්ති 26:4-7, 12
4 ආබ්‍රහම් මාගේ හඬට කීකරුව මාගේ නියමයද මාගේ ආඥාද මාගේ පනත්ද මාගේ ව්‍යවස්ථාද පැවැත්වූ හෙයින්
5 නුඹේ වංශය අහසේ තරු මෙන් වැඩිකර නුඹේ වංශයට මේ සියලු දේශයන් දෙන්නෙමි. නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝයයි කීසේක.
6 ඊසාක් ගෙරාර්හි වාසයකෙළේය.
7 ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ ඔහුගේ භාර්යාව ගැන ඔහුගෙන් විචාළාහ; ඈ මාගේ සහෝදරීයයි ඔහු කීය. රෙබෙකා දැකීමට ශෝභන බැවින්: ඇය නිසා ඒ ස්ථානයේ මනුෂ්‍යයන් මා නොමරන පිණිසය කියා ඔහු-ඇය මාගේ භාර්යාවයයි කියන්ට භය වුණේය.

12 ඊසාක් ඒ දේශයෙහි බීජ වපුරා එම අවුරුද්දෙහිම එකෙන් සියයක් අස්වැන්න ලැබුවේය. ස්වාමීන්වහන්සේ ඔහුට ආශීර්වාදකළසේක.

ඊසාක් දෙවියන්වහන්සේට කීකරු වුන නිසා දේව පොරොන්දු උරුම කර ගත්තේය.

උත්පත්ති 26:-18-21
18 තවද තම පියවූ ආබ්‍රහම්ගේ දවස්වලදී හාරනලද්දාවූ, ආබ්‍රහම්ගේ මරණයෙන් පසු පිලිස්තිවරුන් විසින් වසාදමා තිබුණාවූ වතුර ඇති ළින් ඊසාක් නැවත හාරා තමාගේ පියා තබා තිබුණාවූ නාම ඒ ළින්වලට තැබුවේය.
19 ඊසාක්ගේ වැඩකාරයෝ මිටියාවතෙහි හාරා එහි දිය උල්පත් ඇති ළිඳක් ලබාගත්තෝය. 20 එහෙත් ගෙරාර්හි එඬේරු: මේ වතුර අපගේය කියමින් ඊසාක්ගේ එඬේරුන් සමඟ විවාදකළෝය. ඔවුන් ඔහු හා සමඟ විවාදකළ බැවින් ඔහු ඒ ළිඳට ඒසෙක් යන නම තැබීය.
21 එවිට ඔව්හු වෙන ළිඳක් හෑරුවෝය, ඔවුන් ඒ ගැනත් විවාදකළ බැවින් ඔහු ඊට සිත්නායයි නම තැබීය.
22 ඔහු එතනින් ගොස් වෙන ළිඳක් හෑරුවේය; ඒ ගැන ඔව්හු විවාද නොකළෝය. ඔහු ඊට රෙහොබොත්යයි නම තැබීය; කුමක්හෙයින්ද: ඉතින් ස්වාමීන්වහන්සේ අපට අවකාශ දුන් බැවින් අපි දේශයෙහි සඵලවන්නෙමුයයි ඔහු කීවේය.

ඊසාක් අත තැබූ සියල්ල සාර්ථක වීම නිසා දේශයේ වැසියන් ඔහුට ඊර්ෂියා කළද ඔහුගේ ප‍්‍රතිචාරය නිහතමානී විය.

දෙවියන්වහන්සේගේ හඬ අසමින් උන්වහන්සේ පවසන දේට කැමතිව කීකරුවී ආශීර්වාදය ලබා ගනිමු.

යෙසායා 1:19
නුඹලා කැමැතිව කීකරුවන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්තිවිඳින්නහුය.

අපගේ ජීවිතය තුළ වැරදි තීරණ නොගෙන ස්වාමීන්වහන්සේ අප සමඟය යන විශ්වාසය ඇතිව සිටිමු.

ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟට භෝජනය දී කරුණාව පෙන්වූ බව ආරංචිවූ නයෝමි තම යෙහෙළියන් දෙදෙනාව ඔවුන්ගේ දෙමාපියන් වෙතට පිටත් කර ඇය නැවත බෙත්ලෙහෙමට යාමට තීරණය කරයි. (රූත් 1:6-8)

රූත් 1:11-13
11 නායොමිද: මාගේ දූවරුනි, හැරී යන්න. මා සමග යන්නේ මොකටද? නුඹලාට පුරුෂයෝ වෙන්ට මාගේ කුසෙහි තවත් පුත්‍රයෝ ඇද්ද?
12 මාගේ දූවරුනි, හැරී යන්න; මක්නිසාද පුරුෂයෙකු පාවාගන්ට මට වයස වැඩිය. ඉදින් මට බලාපොරොත්තුව තිබේය කියා, අද රාත්‍රියේම පුරුෂයෙකු ලැබ පුත්‍රයන් බිහිකළත්,
13 ඔවුන් වැඩෙන තෙක් නුඹලා පුරුෂයන් සරණපාවානොගෙන ඔවුන් ගැන බලාපොරොත්තුව සිටින්නහුද? මාගේ දූවරුනි, එසේ නොවේය; ස්වාමීන්වහන්සේගේ අත මට විරුද්ධව තිබෙන නිසා නුඹලාගේ දුකට වඩා මාගේ දුක මහත්ව තිබේයයි කීවාය.

නයෝමිගේ ජීවිතයේ කරුණාවන්තභාවය හේතුවෙන් ඇගේ යෙහෙළියන් දෙදෙනා ඇයව හැර යන්නට අකමැතිවෙයි. එහෙත් ඇය කරුණු වටහා දුන් පසු ඇයගේ එක් යෙහෙළියක් වන ඔර්පා ඇයව සිඹ සමුගෙන යයි.

රූත් 1:14-15
14 ඔව්හු ශබ්දනගා නැවත ඇඬුවෝය. ඔර්පා ඇගේ නැන්දා සිඹ යන්ට ගියාය; නුමුත් රූත් ඈට ඇලුම්කමින් බැඳී සිටියාය.
15 ඈ කථාකොට: බලව, නුඹේ නෑනා ඇගේ සෙනඟද දෙවියන්ද වෙතට හැරී ගියාය. නුඹේ නෑනා පස්සේ හැරී යන්නැයි කීවාය.

නයෝමිගේ ජීවිතයේ වෙනස රූත් දුටු නිසා ඇය නයෝමිව අත්හැර නොයාමට තීරණය කළාය.

ප‍්‍රසන්නභාවයෙන් සිටි නයෝමිට සිදුවූ කටුක දේවල් නිසා ඇයට තිත්තකමේ නාමයකින් අමතන ලෙස කීවද රූත් නයෝමි කෙරෙහි ඇලුම්කමින් බැඳී සිටියාය.

රූත් 1:16-18
16 රූත් කියන්නී: නුඹ අත්හැර හැරීයන ලෙස මට පෙරැත්තනොකරන්න. මක්නිසාද නුඹ යන තැනට මමත් යමි, නුඹ නවතින තැන මමත් නවතිමි. නුඹේ සෙනඟ මාගේ සෙනඟ වන්නේය, නුඹේ දෙවියන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක.

17 නුඹ නසින තැන මමත් නැසී, එතැනම තැන්පත්කරනු ලබන්නෙමි. මරණය මිස වෙන කිසිවක් නුඹත් මාත් වෙන්කළොත්, ස්වාමීන්වහන්සේ එසේද ඊට වැඩියෙන්ද මට කරනසේක්වයි කීවාය.
18 එවිට රූත් ඈ සමග යන්ටම නියමකරගන සිටින බව ඈ දැක ඈට කථාකිරීමෙන් නැවතුණාය.

නයෝමිගේ ජීවිතයේ දේව සම්බන්ධතාවය රූත්ගේ ජීවිතයට මහත් බලපෑමක් ගෙන එන්නට ඇත.

ඇය නයෝමිගේ දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමට පැමිණීම ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂණය විය.

ඔබ දෙවියන්වහන්සේ නොදන්න කෙනෙක් වුවද ඔබ යම් කෙනෙකු ගෙන් අසා ඇති, දැක තිබූ, ඒ එළිරව්ව ඔබ තදින් අල්ලා ගන්නේ නම් දෙවියන්වහන්සේ ඔබට අනිවාර්යයෙන්ම පිළිතුරු දීමට බලා සිටින සේක.

කුණාටු මැද නයෝමිගේ ස්ථිරභාවය සහ බලාපොරොත්තුව නිසා රූත් ඇය සමඟ යන්නට නියම කර ගෙන සිටි ආකාරය අද අපට අභියෝගයකි.

අද ඔබ නියම කරගෙන සිටින්නේ දෙවියන්වහන්සේගේ, මනුෂ්‍යයන්ගේ නොහොත් ඔබේම කැමැත්ත කිරීමටද?

ඔබ, ඔබ ගැනම සුළු නොකරන්න, දෙවියන්වහන්සේ බලාපොරොත්තුවක් නැති අයට බලාපොරොත්තුවක් වන දෙවියන්වහන්සේය.

කුණාටු මධ්‍යයේ ඔබේ ප‍්‍රතිචාරය කෙසේද?

දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් විශ්වාසය තබමින් ස්ථීරව සිටිමු.

කලබල වී වැරදි තීරණ ගැනීමෙන් අනවශ්‍ය දේවල් වලට මුහුණ දීමට අපට සිදුවේ.

ලූක් 8:22-25 හි සඳහන් පරිදි යේසුස්වහන්සේ කුණාටු මධ්‍යයේ සමාදානය කථා කරමින් එය නිශ්චල කළ සේක.

කුමන තත්වයක් මැද වූවත් ඔබ ස්ථීරව සිටීම ඉතාම වැදගත්ය.

අන්‍යජාතී ස්ත‍්‍රියක් වුවත් රූත් දෙවියන්වහන්සේව ඇගේ ජීවිතයට තෝරා ගැනීමෙන් ඇය මහත් ආශීර්වාදලද්දියක් වූවාය. යේසුස්වහන්සේගේ පරම්පරාවට පවා ඇය අයත්වුණි.


Watch the Sermon Video

Read 238 times