+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

රූත් නයෝමි සමඟ යන්ට ස්ථීරව නියමකර ගත්තාය - යෝෂා මනූ
June 25, 2023 Sunday Sermon Notes


දෙවියන්වහන්සේ අපව සුවකරන්නාවු වෛද්‍යවරයාණෝය. උන්වහන්සේ අපගේ සිත්, මනස් හා හදවත් සුවකරන සේක. එමෙන්ම උන්වහන්සේ අපගේ ශරීරයන්ද සුවකරන තැනැන්වහන්සේය.

දෙවියන්වහන්සේට ඔබගේ ජීවිතයේ වෙනසක් ඇති කිරීමට පුළුවන. එය උන්වහන්සේගේ එකම අරමුණයි.

යේසුස්වහන්සේගේ අරමුණ බලාපොරොත්තුවක් නොමැති මනුෂ්‍යයන් හට බලාපොරොත්තුවක් දීමය.

මනුෂ්‍යයා තුළ බලාපොරොත්තුවක් තිබෙන විට ඔහු ප‍්‍රාණවත් ලෙස ජීවත් වන්නෝය.

බලාපොරොත්තුවක් නොමැත්තාට ජීවත්වන්නට ආශාවක් නොමැත. යේසුස්වහන්සේ මනුෂ්‍යයා හට බලාපොරොත්තුවක් දුන් කළ ඔවුන්ට ජීවත්වීමේ ආශාවක් ඇතිවේ.

බලාපොරොත්තු නැතිවී ගිය නයෝමිගේ ජීවිතය තුළ දෙවියන්වහන්සේ නැවතත් බලාපොරොත්තු ඇති කරන ලද්දේය.

බෙත්ලෙහෙමට භෝජනය ලබා දී දෙවියන්වහන්සේගේ කරුණාව ලැබී ඇති බව සැලවුනු නයෝමි ඇගේ යෙහෙලියන්ගෙන්ද සමුගෙන නැවත බෙත්ලෙහෙමට යාමට තීරණය කරයි. (රූත් 1:6-14)

ඔර්පා හඬා නයෝමි සිඹ නැවත හැරී ගියත් රූත් ඇය සමඟ නැවතුනි.

රූත් 1:16
රූත් නයෝමිට කීවේ, ඔබ අතහැර හැරීයන ලෙස මට පෙරැත්ත නොකරන්න.

රූත්ගේ නමේ අර්ථය මිත්‍රත්වය. ඒ නම නිසාම ඇය නයෝමි සමඟ මිත්‍රත්වයක් ඇති කර ගන්නා ලදි.

රූත් අන්‍ය ජාතික දේශයක් වන මෝවබ් දේශයේ විසුවත් එය පව්කරුවන් විසු දේශයක් වුවත් ඇයගේ ජීවිතයේ ඇය නිවැරදි තීරණය ගන්නා ලදි.

රූත් ගත් පළමු යහපත් තීරණය: "ඔබ යන තැනට මමත් යමි."

රූත් නයෝමි සමඟ යන්ට ස්ථීරව නියමකර ගත්තාය.

රූත් 1:16-17
නුඹ යන තැනට මමත් යමි, නුඹ නවතින තැන මමත් නවතිමි.
නුඹේ සෙනඟ මාගේ සෙනඟ වන්නේය,
නුඹේ දෙවියන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක.
17 නුඹ නසින තැන මමත් නැසී,
එතැනම තැන්පත්කරනු ලබන්නෙමි. මරණය මිස වෙන කිසිවක් නුඹත් මාත් වෙන්කළොත්, ස්වාමීන්වහන්සේ එසේද ඊට වැඩියෙන්ද මට කරනසේක්වයි කීවාය.

රූත් නයෝමි සමඟ යන්නට, නැතහොත් ඇය අනුව යන්නට තීරණය කළා, කැපවීමක් කළා, නියමකර ගත්තාය.

රූත්ද නායෝමි සේම බලාපොරොත්තු බිඳී, පුරුෂයා මිය ගිය තනිවූ තැනැත්තියක්ව සිටියත් ඇය හරි දේ නියම කර ගන්නා ලදි. ඇය ඔර්පා මෙන් හැරී නොගියාය.

රූත් 1:18
එවිට රූත් ඈ සමග යන්ටම නියමකරගන සිටින බව ඈ දැක ඈට කථාකිරීමෙන් නැවතුණාය.

නියමකරගන යන වචනයේ තවත් අර්ථ කිහිපයක් තිබේ. එනම්, නොසැලී සිටීම, ස්ථීරව වෙනස් නොවී සිටීම, නොසෙල්වී සිටීම, විශ්වාසයක් ඇතුව සිටීමයි.

එමෙන්ම එහි තවත් වැදගත් අර්ථයක් වන්නේ අධිෂ්ඨාන සහිතව, ස්ථිර අදහස් ඇතිව සිටීම. ධෛර්යමත්ව, නිර්භීතව ශක්තිමත්ව, සිත හදාගෙන සිටීමයි.

රූත් නයෝමි සමඟ යන්නේ කොතැනටදැයි නොදැන සිටියත්, ඇය යන්නාවු ගමන ඇය අධිෂ්ඨාන කර ගන්නා ලද්දේය.

රූත් නයෝමිට පැවසුවේ, "මම ඔබ සමඟ, ඔබ පසුපස එන්නෙමි."

ඇය යමක් ලබා ගන්නා අදහසින්ද, යහපතක් සිදුවන්නේය යන අධිෂ්ඨානයෙන්ද නයෝමි සමඟ යන්නට තීරණය කළාය.

නයෝමිට රූත්ගේ මනස වෙනස් කරන්නටවත්, තීරණය වෙනස් කරන්නටවත් බැරි වූවාය.

රූත් නයෝමිගේ ජීවිතයේ ඇයගේ කරුණාවන්තකම, දයාබරකම තුළ යමක් දක්නා ලදි.

අපගේ ජීවිතයද අන් අයට යහපත් උදාහරණයක් විය යුතුය.

රූත් අරමුණ කරගත් දේ, ඇය ඔර්පා වාගේ වෙනස් කළේ නැත.

රූත් තෝරාගැනීමක් කළාය.

ඒ හා සමානව අපිත් යහපත් තෝරාගැනීම් කළ යුතුයි.

1 කොරින්ති 15:58
එහෙයින්, මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව් (නොසෙල්වී), නිතරම ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතිව්.

අප සියළු දෙනාටම දෙවියන්වහන්සේ යම් කැඳවීමක් දී ඇත. අපගේ නාමය කියා දෙවියන්වහන්සේ අපව හඬ ගසා ඇත.

ඔබ ආලෝකයෙන් බැබළීමද විශාල සේවයකි.

අප පොළොවේ ලුනුය. අප දෙවියන්වහන්සේගේ රසවත්භාවය පොළොවේ විදහා දැක්විය යුතුය. (මතෙව් 5:13-16)

ඔබ දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම ඔබගේ මහත් සේවයයි.

ලෝකයේ මනුෂ්‍යයන් ජීවත්වන්නේ අන්ධකාරයේය. එම අන්ධකාරය තුළ ඔබගේ අලෝකය මහත්ව බැබළෙනු ඇත. එවිට ඔවුන් හොඳාකාරව ඔබව දකිනු ඇත. එහෙයින් ඔහුන් ඉදිරියේ ඔබගේ ආලෝකය බබළවන්නට ඔබ තීරණය කර ගත යුතුය. එය දෙවියන්වහන්සේට අප කරන්නාවූ සේවයකි.

කිතුනුවෙකු දෙවියන්වහන්සේට කළාවු සේවය "අපරාදේ" යයි කිසිදා නොපැවසිය යුතුය.

ඔබ වපුරන බීජ කවදා හෝ ඵල දරනු ඇත.

ඔබගේ සාක්ෂිය හෝ සුභාරංචි වචනය මනුෂ්‍යයන් හෙළාදකිනු ලැබුවත්, නැතහොත් ඔවුන් එයට විරුද්ධවුවත්, ඔබට බැන වැදුනත් ඔබ එය දෙවියන්වහන්සේට කළාවු සේවයකි.

දේව වචනය කුණු නොවන්නාවූ බීජයකි. කවදා හෝ කෙනෙකු ඔබට කීව වචනයට වතුර දමනු ඇත. තව කෙනෙකු එහි ඵල කපා ගනු ඇත. නමුත් එම බීජයට වර්ධනය දෙනු ලබන්නේ දෙවියන්වහන්සේ විසිනි.

ඔබගේ මෙහෙය කිසිදා නිශ්ඵල නොවනු ඇත.

යේසුස්වහන්සේ පිළිගත් දවස පටන් අපට සදාකල් විපාක හිමිව ඇත. ඔබ කරනා දේ වලට, කියනා වචන වලට විපාක ඇත. එහෙයින් අප මෙම ජීවිතය වගකීමක් ඇතිව ගමන් කළ යුතුව ඇත.
ඔබ අන් අයට යහපත් උදාහරණයක් විය යුතුය.

ඔබ යම් දිනක දෙවියන්වහන්සේට ගණන් දිය යුතුව සිටින බැවින් ඔබ මේ පොළොව තුළ කරන සෑම දෙයක්ම, කථා කරන සෑම ජීවනයේ වචනයක්ම ඵල දරනවා ඇත.

ඔබ එය අධිෂ්ඨාන කර ඇතිනම්, ඔබගේ මෙහෙය නිශ්ඵල නොවන බව දන්නේ නම් ඔබ ස්ථීර වනු ඇත.

දෙවියන්වහන්සේ අපව අන්ධකාරයෙන් ආලෝක රාජ්‍යයට ගෙනා සේක. එය විශාල ස්ථාන මාරුවකි. අපට නොපෙනෙන තළයක මෙය සිදුවුවත් මෙම ස්ථාන මාරුව තුළ යේසුස්වහන්සේ පැමිණ අපගේ හදවත තුළ වාසය කරන්නට පටන් ගනියි. එය අපගේ හදවත තුල ඇතිවූ වෙනසකි.

එය අවිශ්වස කරන්නට යක්ෂයාට ඉඩ නොදී අප ස්ථීරව සිටිය යුතුය.

ස්ථීරව සිටිනවා යනු බයිබලය කියවීම, යාච්ඤා කිරීම, දේව වචනයට ඇහුම්කන්දීම, දේව මෙහෙයන් වලට සහභාගි වීම යන දේවල්ය.

ගැළවීම ලැබූ විට මෙවැනි දේ වලින් අප පෝෂණය ලබා වර්ධනය වනු ඇත.

"නිශ්චලවව්" යන වචනයේ තවත් අර්ථයක් නම් නොසෙල්වී සිටීමයි.

ඔබ දෙවියන්වහන්සේගෙන් යමක් ඉල්ලනවානම් එය අනුමාන නොකර ඇදහිල්ලෙන් ඉල්ලිය යුතුය. (යාකොබ් 1:6)

ඔබ දෙමනසකින් සිටීනම්, සැක කරන්නේ නම් ඒ අස්ථීරභාවය නිසාවෙන් ඔබ ඇදහිල්ලෙන් අහක් වෙනු ඇත.

අපට දෙවියන්වහන්සේ පවසන්නේ නොසෙල්වී උන්වහන්සේගේ සේවයෙහි වඩ වඩා පවතින ලෙසයි.

කොලොස්සි 1:23
නුඹලා ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් අහක් නොවී, ඇදහිල්ලේ පිහිට ස්ථිරව සිටින්නහු නම්, එසේ වන්නේය. ඒ ශුභාරංචිය නුඹලා ඇසුවහුය. එය අහසින් යට මුළු මැවිල්ලෙහි ප්‍රකාශවුණේය. පාවුල් නම් මම ඒකේ සේවකයෙක් කරනු ලැබීමි.

ශුභාරංචිය පවසන්නට අප සෑම දෙනාටම වගකීමක් ඇත.

අප ඇදහිල්ලේ වචනයේ සේවකයන් විය යුතුය.

කොලොස්සි 2:5
මක්නිසාද මම මාංසාකාරයෙන් ඈත්ව සිටින නුමුත්, ආත්මයෙන් නුඹලා සමඟ සිට, නුඹලාගේ පිළිවෙළත් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තිබෙන නුඹලාගේ ඇදහිල්ලේ ස්ථිරකමත් බලමින් ප්‍රීතිවෙමි.

ඔබ ස්ථීර වීමෙන් හොඳ උදාහරණයක් වන කළ මනුෂ්‍යයන්ටද එය ආශීර්වාදයක් වනු ඇත.

රූත්ගේ ජීවිතය තුළ ඇය හරි තීරණය ගෙන ආශීර්වාද ලද්දියක් වූවා සේ අපගේ ජීවිත තුළද අප ක‍්‍රියාකළ යුතු ආකාරය අප බලමු.

හෙබ්‍රෙව් 3:13‭-‬15
නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස, අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න. මක්නිසාද: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්නැයි කියා තිබෙන හැටියට, අපගේ විශ්වාසයේ පටන්ගැන්ම අන්තිම දක්වා ස්ථිර ලෙස අල්ලාගෙන සිටිමු නම්, අපි ක්‍රිස්තුස්වහන්සේගේ පංගුකාරයෝ වී සිටිමුව.

පාපය රැවටිලිකාරකමෙන් යුක්තය. අපට අපගේ ඇදහිල්ලේ ගමන නිශ්ප‍්‍රයෝජන ආකාරයෙන් වුවද ගමන් කළ හැකිය. නමුත් අප ස්වාමීන් ලෙස යේසුස්වහන්සේව අපගේ ජීවිතයට පිළිගත් දවසේ අපගේ ශරීර උන්වහන්සේට භාර කරන ලදි. එය අපට අයිති නැත.
( 1 කොරින්ති 6:19-20)

අපගේ ශරීරය දෙවියන්වහන්සේගේ මාළිගාව බැවින් පාපයේ රැවටිලිකාරකමට අප ඉඩ නොදිය යුතුය.

ඔබ යහපත් ජීවිතයක් ගත කරමින් අන් අයටද අවවාද කරන්නෙකු වන්න.

ඔබ විශ්වාසයෙන් ඇදහිල්ලෙන් ආරම්භ කළ මෙම ගමන ඒ ආරම්භයේ තිබූ ජ්වලිතභාවය නැතිකර නොගෙන අවසානය දක්වා ස්ථීරව සිටීමට අධිෂ්ඨාන කරගත යුතුය.

අප එලෙස අධිෂ්ඨානශීලිව සිටිය යුත්තේ, නැතහොත් සතුරා අපට පහර ගසන නිසාය.

ඔබ දෙබිඩි ජීවිතයක් ගත කරන්නේ නම් එය යක්ෂයා දන්නෙහිය.

1 පේතෘස් 5:9
ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන, නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධව සිටින්න.

මරණයත් ජීවනයත් අප ඉදිරියෙහිය. තෝරා ගැනීම අපගේ අතේය.

ද්වීතීය කථාව 30:15
මෙන්න, මම අද ජීවනය හා යහපතද මරණය හා විපතද නුඹ ඉදිරියෙහි තැබීමි.

ජීවනයේ වචන කථා කිරීම තෝරා ගැනීම අප දිනපතා තළ යුතු දෙයකි.

ද්වීතීය කථාව 30:19
මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියෙහි තැබූ බවට අද නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬගසමි. එබැවින් නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන,

යෝෂුවාගේ අවසන් කාලයේ ඉශ‍්‍රායෙල් තරුණ පරපුර වැරදි දේ වලට යොමුවන බව දුටු යෝෂුවා ඔහුගේ තෝරා ගැනීම ගැන පවසයි.

යෝෂුවා 24:15
ස්වාමීන්වහන්සේට සේවයකිරීම නුඹලාට නරකව පෙනේනම්, ගඟ එගොඩ සිටිය නුඹලාගේ පියවරුන් සේවයකළ දෙවිවරුන් හෝ නුඹලා වාසයකරන දේශයෙහි සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්–මමද මාගේ පවුලද–ස්වාමීන්වහන්සේට සේවයකරමුයයි කීවේය.

ඔබත් පවුලක් ලෙස ඇදහිල්ලේ වචන ඔබට කියා දෙන හොඳ උදාහරණ දෙන අයගේ අඩි පාරේ ගමන් කරන්න.

ඔබගේ ජීවිතයේ යහපත කිරීමට අදම තෝරා ගන්න. එය ඉතා අගනේය.

එළියාගේ කාලයේ සෙනඟ බාල් දෙවිවරුන් නමස්කාරයට යොමුවෙද්දී එළියා ඔවුන්ට එක තීරණයක් තෝරා ගන්නා ලෙස පැවසීය.

1 රාජාවලිය 18:21
එවිට එලියා මුළු සෙනඟ ළඟට ඇවිත් කථාකොට: නුඹලා කොපමණ කල් කල්පනා දෙකක් අතරේ හිරවී සිටිනවාද? ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ නම් උන්වහන්සේ අනුව යන්න. බාල් දෙවියන්වහන්සේ නම් ඔහු අනුව යන්නැයි කීවේය. නුමුත් සෙනඟ ඔහුට කිසි උත්තරයක් දුන්නේ නැත.

එදා මනුෂ්‍යයන් තුළ එක තීරණයක් නොතිබුණි.

රූත් මෝවබ් දේශයේ දේවතා නමස්කාරයට හැරී නොගොස් නයෝමිගේ දෙවියන්වහන්සේව තෝරා ගත්තා සේ අපද දෙවියන්වහන්සේට සේවය කිරීමට, දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට තීරණය කර ගත යුතුය.


Watch the Sermon Video

Read 205 times