+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සැබෑවේ වචනය හරි ආකාර පහදා දීම - මනූ මැතානි
June 25, 2023 Sunday Sermon Notes


රූත්ගේ කථව තුළ, රූත්ට නයෝමි ඇගේ දෙමාපියන් වෙතට හැරී යන්නැයි කී විට ඇයට නැවත ඇයගේ පරණ ජීවිතයට, පරණ නමස්කාරයට, පවුලේ පුරුදුවලට හැරී යාමට අවස්ථාව තිබුණි. එහෙත් ඇයට අනාගතයේ කුමන තත්වයකට පත්වෙන්ට තිබෙනවාදැයි නොදැන ඇයට කුමක් වුවත් කමක් නැතැයි කියා, ඇය නයෝමිගේ දෙවියන්වහන්සේ තෝරාගෙන ඇය පසුපස යන්නට තීරණය කළේය. (රූත් 1:16-18)

ඇගේ එම තීරණයෙන් ඇය මහත් ආශීර්වාදලද්දියක් බවට පත්වූවාය.

අප ගන්න හොඳ තීරණ තුළින් ඔබට යහපත සිද්ධ වන්නේය.

යාකොබ්ගේ මව ගත්තාවූ වැරදි තීරණය නිසා යාකොබ්ගේ ජීවිතය ප‍්‍රශ්න රාශියකට ඇද දැමුවාය.

පළමුකොට පියාට බොරු පවසන ලෙසද, පසුව සහෝදරයාගෙන් බේරෙන්න වෙනත් දේශයකට යැවීමෙන්ද, එම දේශයේ ඔහු ආශා කළ තරුණිය වෙනුවෙන් අවුරුදු හතක් සේවය කරන්නට වීමෙන්ද, එනමුත් එම මාමණ්ඩිගේ වංචා සහගත ක‍්‍රියා නිසා තවත් අවුරුදු හතක් සේවය කරන්නට වීමෙන්ද, යනාදී ලෙසින් විශාල ගැටළු රාශියකට මුහුණ දෙන්නට යාකොබ්ට සිදු වූයේ මවගේ වැරදි තීරණය නිසාමය.
(උත්පත්ති 27:5-45, 29:1-30)

අප ගන්න තීරණ තුළින් අපේ ජීවිතයේ විශාල වෙනසක් ඇතිවේ.

අපගේ පවුල් වල කොපමණ සාමාජිකයන් සිටියත් ක‍්‍රිස්තුස්වහන්සේ සමඟ ගමන් කිරීමට අප තීරණය ගත්විට, අප කීකරු විය යුත්තේ ක‍්‍රිස්තුස්වහන්සේටය.

ලූක් 14:26
මා ළඟට එන තැනැත්තේ තමාගේ පියාටත් මවුටත් භාර්යාවටත් දරුවන්ටත් සහෝදරයන්ටත් සහෝදරියන්ටත්, එසේය, තමාගේම ජීවිතයටත් ද්වේෂ නොකරන්නේ නම් ඔහුට මාගේ ගෝලයා වෙන්ට බැරිය.

යම් දේවල් අපට වාසි ප්‍රයෝජන තිබුණත් ඒවාට ද්වේශ කරන්නට සිද්ධ වෙනවා.

ද්වේශ කිරීම යනු දෙවියන්වහන්සේට විරුද්ධව, උන්වහන්සේගේ වචනයට විරුද්ධව තීරණ නොගැනීමය.

අපට ළඟම සිටින අයගෙන් අපට බලපෑම් එන්නට පුළුවන.
අපගේ අනාගතයට බලපෑම් කරන අයගෙන් අපට වෙන් වෙන්නට සිදු වෙයි. ඔවුන් අපගේ කුරුසිය විය හැකිය.

ලූක් 14:27
තමාගේ කුරුසිය උසුලාගෙන මා පස්සේ නේන තැනැත්තාට මාගේ ගෝලයා වෙන්ට බැරිය.

සමහර පවුල්වල දෙමාපියන්, දරුවන් ඔවුන්ගේ ආශාවන් සපුරා ගැනීම සඳහා ඔවුන් ඔවුන්ට බලපෑම් ඇති කරයි.

එහෙත් ඔබ තීරණය කළ යුතුයි, මම ප්‍රේම කරන්නේ කාටද?
දෙවියන්වහන්සේට මුල් ප්‍රේමය දෙමින්ද නැතහොත් ප්‍රේම කරන අයට එකඟව ඒ අය කියන දේ කරමින් සිටිනවාද කියා.

හරි තීරණය ගත්තාවු අය අද දෙවියන්වහන්සේ තුළ ශක්තිමත්ව ගමන් කරයි.

රූත්ට නැවත හැරී යන්නට අවස්ථාව තිබුනත් ඇය හරි තීරණය තුළම ගමන් කරන ලදි.

බයිබලයේ සටහන් වී ඇති පද තුළ ආත්මයත් මාංශයත් අතර තිබෙන දේ හරියාකාරව පහදා ගැනීම ඉතා වැදගත් වේ.

2 තිමෝති 2:15
සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරන්න.

බයිබලේ සෑම වචනයක්ම සටහන් කර තිබුණත් ආත්මයාණන්වහන්සේගේ උපකාරය ඇතිව අප නිවැරදි දේ තෝරා බේරා ගත යුතුය.

මනුෂ්‍යයන් කළ හොඳ දේවල් හා වැරදි දේවල් මේ බයිබලයේ සඳහන් වී තිබෙනවා. එලෙස සඳහන්ව ඇත්තේ එම වැරදි අපට කරන්නට නොව අපගේ ජීවිතයට ආදර්ශයක් වන පිණිසය.

1 කොරින්ති 10:11
ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය.

ඉශ‍්‍රායෙල්වරු රතු මුහුද මැදින් බව්තීස්මයක් සමඟ පැමිණියත් බොහෝ හාස්කම් අත්දැක්කත් පසුව ඔවුන් රූප වන්දනාවට යොමුවුවාය. (1 කොරින්ති 10:1-6)

තෘෂ්ණාවද රූප වන්දනාවට සමාන පාපයකි.

කොලොස්සි 3:4-6
අපේ ජීවනය වන ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශවන කල, නුඹලාත් උන්වහන්සේ සමඟ තේජසින් ප්‍රකාශවන්නහුය.
5 එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත්, අපිරිසිදුකමත්, කාමරාගයත්, නපුරු තෘෂ්ණාවත්, රූපවැඳීමවූ තණ්හාවත් නසන්න.
6 මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය.

දෙවියන්වහන්සේ යටහතුන්ට අනුග‍්‍රහය වැඩිකරනසේක. උඩඟු අයට විරුද්ධව සිටිනසේක.

යාකොබ් 4:5-6
නොහොත් දෙවියන්වහන්සේ අප තුළ වාසයකෙරෙවුවාවූ ආත්මය අප කෙරේ අතිශයින් ආශාවන්නේය කියා ලියවිල්ල නිෂ්කාරණයේ කථාකරන්නේයයි නුඹලා සිතන්නහුද?

6 නුමුත් උන්වහන්සේ වඩා කරුණව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය.

අප කෙරෙහී අතීශයෙන් ආශා කරන දෙවියන්වහන්සේ අප ලෝකයේ දේවලට එකතු වනවාට කැමති නැත.

දෙවියන්වහන්සේ විරුද්ධ වන දේවල් වලට අපිත් විරුද්ධව සිටිමු.

ඔබ දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔබගේ සිත උඩඟුව තිබෙන්නේය.

2 කොරින්ති 3:6
තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයින් කොට අප සමර්ථකළසේක; එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ (ආත්මයාණන්) හැටියටය. මක්නිසාද වචනාර්ථය නසන්නේය, පරමාර්ථය ජීවත්කරන්නේය.

ආත්මයාණන් තුළින් කරන දේවල් ඔබව ජීවත් කරයි.

අප නිතරම නිවැරදි වීමට අනුග‍්‍රය සොයන නමුත්, තව අයෙකුගේ වැරදි සෙවීමට, විනිශ්චය කිරීමට ව්‍යවස්ථාව භාවිතා කරයි.

2 තිමෝති 2:15 මේ පදය කිතුනුවන්ට ඉතා වැදගත් පදයකි.

සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරන්න.

අපි බයිබල් පද හරියාකාරව වෙන්කරගන්නේ නැතිනම් ඒ වචනය අපට මරණය ගෙනදෙන්නේය.

ආත්මයාණන්වහන්සේගේ උපකාරය නොමැතිව අපට හරියාකාරව බයිබලය කියවා තේරුම් ගත නොහැකිය.

මේ වචනය අපව යටහත් පහත් කරමින් පියවරෙන් පියවර මඟ පෙන්වනසේක.

1 පේතෘස් 5:6
එබැවින් දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස්කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න;

අප දෙවියන්වහන්සේගේ හස්තයට යටත්ව සිටියහොත් සුදුසු කාලයේදී උන්වහන්සේ අපව ඔසවනු ඇත. අප හදිසි නොවී ඒ කාලය එන තුරු ඉවසිල්ලෙන් සිටිය යුතුය.

ඉක්මන්විම තුළින් ලැබෙනුයේ හිඟකමය.

හිතෝපදේශ 21:5
කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ; එහෙත් ඉක්මන්කාරයා ඉක්මන්වෙන්නේ හිඟවීමට පමණකි.

ක්‍රිස්තුස්වහන්සේ මාගේ ශාපය දරාගෙන මට ආශීර්වාද කර තිබේ.

මලාකි 3:12
නුඹලා ආශීර්වාදලද්දෙකුය යයි සියලු ජාතීන් කියනවා ඇත. මක්නිසාද නුඹලා ප්‍රියකරු දේශයක් වන්නහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

මම දේව දරුවෙක්, මම ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ ජීවත්වන දරුවෙක්, මම ආශීර්වාදලද්දෙකුය කියා අප පැවසිය යුතුය.

හිතෝපදේශ 10:22
ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.

ලෝකයේ මනුෂ්‍යයන් අප දෙස බලා අප ආශීර්වාදලද්දන් බව පවසනු ඇත.

දානියෙල්ට උතුම් ආත්මයක් තිබුනේය. (දානියෙල් 5:12) ඔහු නොකඩවා දෙවියන්වහන්සේට සේවය කළේය.

යෝසෙප් යන සෑම තැනම ඔහු සඵල විය. සිරගෙදරත් ඔහු සඵල විය. (උත්පත්ති 39:2-4 / 21-23)

සහෝදරයෙන් විසින් වලක දැමුවාවු යෝසෙප්ව රජ වාසලක සිටින තරමට දෙවියන්වහන්සේ එසෙවූ සේක. (උත්පත්ති 41:39-41)

ඔබවද දෙවියන්වහන්සේ පියවරෙන් පියවර ඔසවනු ඇත. ඔබට එන පරික්ෂා වලින් ඔබ ජයගත යුතුය.

යෝසෙප් පෝතිඵර්ගේ නිවසින් පැමිණි පෙළඹවීම පරික්ෂාව ප්‍රතික්ෂේප කළේය.(උත්පත්ති 39:9-12)

පෝතිඵර්ගේ නිවසින් නපුරට පෙලඹී දියුණුව ලබන්නට යෝසෙප්ට පුළුවන්කම තිබුනත් ඔහු එම මාර්ගය ප‍්‍රතික්ෂේප කළේය.

කෙටි මාර්ග වලින් දියුණු වී ඒ මාර්ග ඔස්සේ නොයන්න. එය අවසානයේ ඔබව වලකට හෙළයි. දෙවියන්වහන්සේට අවංකව සිටින්න. අවංක මනුෂ්‍යයාගෙන් දෙවියන්වහන්සේ කිසි යහපත් දෙයක් නොවලක්වයි.

ගීතාවලිය 84:11
මක්නිසාද දෙවිවූ ස්වාමීන්වහන්සේ සූර්යයෙක්ය, පලිහක්ය. ස්වාමීන්වහන්සේ අනුග්‍රහයත් මහිමයත් දෙනසේක. අවංකලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවලක්වනසේක.

අවංක මනුෂ්‍යයා තුළ බලවත් දේ කරන්නට දෙවියන්වහන්සේට පුළුවන.

යාකොබ්ගේ මව තුළින් ඔහු වැරදි දේ කළ නිසා ඔහුගේ ජීවිතයේ වැරදි දේවල් සිදුවූයේය.

ඔහු කාලයක් තිස්සේ වංචාකාරයෙකු ලෙස ජීවත් වුවද. ඒ තුළින් ඔහුටත් අන් අය වංචා කළේය. ඔහුගේ ජීවිතයේ අවුරුදු 14ක් නිකරුනේ අන් මනුෂ්‍යයෙකුට සේවය කරන්නට සිදුවිය.

ඔහු දෙවියන්වහන්සේව මුණ ගැසුණායින් පසු උන්වහන්සේ කෙරෙහි මුළුමනින්ම විශ්වාස කළේය. ඔහුගේ නම ඉශ්‍රායෙල් ලෙස දෙවියන්වහන්සේ වෙනස් කළේය. (උත්පත්ති 31:24-32)

යාකොබ් යන නාමයේ අර්ථය වංචාකාරයාය. දෙවියන්වහන්සේ ඔහුගේ නම වෙනස් කළේය.

එතැන් පටන් යාකොබ් දෙවියන්වහන්සේගේ විශ්වාසය මත ජීවත්විය ඉශ‍්‍රායෙල් පරම්පරාවේ ආරම්භය යාකොබ්ය.

අපි නිතරම අවංක වෙමු. අපට ටික කාලයකට බොරුවේ ජීවත් වෙන්නට පුලුවන. වැරදි පුද්ගලයන්ගේ බලපෑම් වලට අසුනොවී ස්වාමීන්වහන්සේ කෙරෙහී විශ්වාසවන්ත වෙමු.

නිතර නිතර සමාව ඉල්ලනවාට වඩා හරි දේ කරමු. මනුෂ්‍යයන්ට නොපෙනුනත් දෙවියන්වහන්සේට හරි දේ පෙනෙනු ඇත.

යෙහෝෂපාට් රජතුමාට ආහෙබ් රජතුමා සමඟ තිබුණු නෑකම නිසා බැහැ කියන්න බැරි විය. (2 ලේකම් 18:1-3)

දෙවියන්වහන්සේගේ අවවාද නොසලකා ගියාවු යෙහෝෂපාට් රජතුමාව යුද්ධයේදී සතුරු හමුදාව වටකරන ලදි. (2 ලේකම් 18:31)

ඔබ වැරදි ස්ථානයක වැරදි වේලාවට වැරදි පුද්ගලයන් සමඟ සිටින්නේ නම් වැරදි දේවල් ඔබටද සිද්ධ වෙන්නට පුලුවන.

2 ලේකම් 18:30‭-‬33
සිරියේ රජ තමාගේ රථාධිපතීන්ට අණකරමින්: ඉශ්‍රායෙල් රජු සමඟ මිස ලොකු කුඩා වෙන කිසිවෙකු සමඟ සටන් නොකරන්නැයි අණකර තිබුණේය. රථාධිපතීහු යෙහෝෂාපාට් දුටු විට: මොහු ඉශ්‍රායෙල් රජය කියා ඔහුට විරුද්ධව සටන්කරන්ට ඔහු වටකරගත්තෝය. එවිට යෙහෝෂාපාට් මොරගැසීය, ස්වාමීන්වහන්සේ ඔහුට පිහිටවී ඔහු වෙතින් ඔවුන් අහක්කෙරෙවුසේක. ඔහු ඉශ්‍රායෙල් රජු නොවන බව රථාධිපතීහු දැක, ඔහු ලුහුබැඳ යාමෙන් ආපසු හැරුණෝය. නුමුත් එක්තරා මනුෂ්‍යයෙක් දුන්න තැත්කවා නොදැනම ඉශ්‍රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේය. එවිට ඔහු: නුඹේ අත හරවා මා සේනාවෙන් පිටතට ගෙනියන්න; මක්නිසාද මට හොඳටම තුවාලවීයයි රථාචාර්යයාට කීවේය.

යහපත් රජෙක්ව සිටි යෙහෝෂපාට් රජතුමා වැරදි පුද්ගලයන් සමඟ එකතු වීම නිසා ඔහුට මරණාසන්නව තුවාල ලද්දෙකු බවට පත්වෙන්නට සිදුවුණා.

ඔහු අවසානයේ දෙවියන්වහන්සේගේ පිහිට පතා බේරුණේය.

දෙවියන්වහන්සේ ඒ අවස්ථාවේ ඔහුට පිහිටවුවත් පසුව ඔහුගේ වැරැද්ද පෙන්නුම් කර දුන්නේය.

දෙවියන්වහන්සේ ඔහුට තරවටු කරනු ලැබුවේය.

2 ලේකම් 19:1-2
යූදාහි රජවූ යෙහෝෂාපාට් යෙරුසලමේ තමාගේ ගෙට සමාදානයෙන් හැරීගියේය. නුමුත් හනානිගේ පුත්‍රවූ යේහු නම් දිවස් ඇත්තා යෙහෝෂාපාට් රජුගේ පෙරමගට පිටත්ව ගොස් ඔහුට කථාකොට: දුෂ්ටයාට උපකාරකිරීමත් ස්වාමීන්වහන්සේට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමත් නුඹට යුතුද? මේ කාරණය නිසා නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේගේ උදහස පැමිණ තිබේ.

යෙහෝෂපාට් රජතුමා තරවටුව ලබාගත් පසු වෙනස් වූවාය. ඔහුගේ සියළු වැරදි නිවැරදි කරගත්තේය. (2 ලේකම් 19:4-11)

දෙවියන්වහන්සේගෙන් තරවටුවක් ලැබෙන කළ සුළු කොට නොසිතමු. අපි තරවටුවක් ලබාගත් විට වෙනස් වෙමු. දැන දැන වැරදි නොකරමු.

ඔබට ලැබෙන්නට තිබෙන උසස්වීම කටවත් සොරකම් කරන්නටවත් නවතා දමන්නටවත් නොහැකිය.

ගීතාවලිය 75:4‭-‬6
අහංකාරලෙස ක්‍රියා නොකරව්යයි අහංකාරීන්ටත් අඟ උස් නොකරව්යයි දුෂ්ටයන්ටත් කීමි. නුඹලාගේ අඟ උස් නොකරව්; තද කුළල් ඇතිව කථා නොකරව්. මක්නිසාද උසස්කම නැගෙනහිරින්වත් බස්නාහිරින්වත් දකුණෙන්වත් නොවන්නේය.

ඔබට උසස්වීම් අවශ්‍ය නම් පළමුකොට ඔබගේ ලොකුකම, උඩඟුකම අතහැර දමන්න.

ඔබගේ උසස්වීම ලැබෙනුයේ දෙවියන්වහන්සේගෙන් පමණි. උන්වහන්සේ ඔබගේ සියල්ලෙන් සියල්ලය.

ගීතාවලිය 75:7
නුමුත් දෙවියන්වහන්සේ විනිශ්චය කාරයාණෝය. උන්වහන්සේ එක්කෙනෙකු පහත් කරනසේක, අනිකෙකු උසස් කරනසේක.

ඔබ කියන්න, "දෙවියන්වහන්සේ නියමිත වේලාවේදී මා ඔසවනසේක."

ඔබ යටහත් නිසාත් කීකරු නිසාත් දෙවියන්වහන්සේ ඔබව ඔසවනසේක.

ගීතාවලිය 37:37
නිර්දෝෂ තැනැත්තා කල්පනාකොට අවංක තැනැත්තා බලාගනුව. මක්නිසාද ඒ මනුෂ්‍යයාගේ අනාගතය සමාදානය වේ.

අවංක මනුෂ්‍යයාගේ අවසානය දෙස බලන්න. ඔහුගේ ජීවිතය සමාදානයෙන් පිරී තිබෙන්නේය.
ෂාලෝම් යන නමින් අදහස් වන්නේ, සමාදානය, සුවය හා සඵලත්වයයි.

ඔබගේ ප‍්‍රකාශය වැදගත්, දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කරන්න.

ඔබට විරුද්ධව කිසි අවියක් සඵල නොවන්නේය.

යෙසායා 54:17
නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

මනුෂ්‍යයා ඔබට විරුද්ධව කරන කොඩිවින බන්ධන කිසිදා ඔබට බලපාන්නේ නැත.

ගණන් කථාව 23:23
සැබවින් යාකොබ්ට විරුද්ධව ශාස්ත්‍රකීමක්වත් ඉශ්‍රායෙල්ට විරුද්ධව පේනකීමක්වත් නැත. දැනුදු යාකොබ් සහ ඉශ්‍රායෙල් ගැන: දෙවියන්වහන්සේ කොපමණ දේ ඉෂ්ටකර තිබේද! කියා කියනු ලැබේ.

දෙවියන්වහන්සේ ඔබට නිර්භීත ආත්මයක් දී තිබෙනවා.

ධර්මිෂ්ඨයා සිංහයෙකු මෙන් එඩිතරව සිටියි. (හිතෝපදේශ 26:1)

ඒ නිර්භීත ආත්මය ධර්මිෂ්ඨකමයි. එය ඔබ ලබා ඇති දීමනාවකි.

රෝම 5:17
මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරණකොටගෙන මරණය රජකම්කළේවී නම්, කරුණාවේද ධර්මිෂ්ඨකම නමැති දීමනාවේද බහුලත්වය ලබන අය, එක්කෙනාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ඊට වඩා ජීවනයෙහි රජකම්කරන්නෝය.

බයිබලයේ රජවරුන්ගේ කථාන්දර අප කියෙවුවහොත් කී දෙනෙකු හරිදේ කළාද, කී දෙනෙකු වැරදි දේ කළාද, කී දෙනෙකු දෙවියන්වහන්සේට කීකරුවූවාද, කීදෙනෙකු අකීකරුවූවාද, කී දෙනෙකු පූජකයන්ට, අනාගතවක්තෘවරුන්ට, දේශකයන්ට කීකරුවූවාද, කී දෙනෙක් පූජකයන් මරා දැමුවාද ඔවුන්ට අකීකරුවූවාද කියා ඔබට දැනගත හැකිය.

ඔබ ස්වාමීන්වහන්සේගේ වචනය විශ්වාස කරන කළ ඔබ ස්ථීර වනු ඇත.

2 ලේකම් 20:20
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න, එවිට නුඹලා ස්ථිරවන්නහුය; උන්වහන්සේගේ ප්‍රොපේතවරුන් විශ්වාස කරන්න. එවිට නුඹලා සඵලවන්නහුයයි කීවේය.

දෙවියන්වහන්සේගේ වචනයට ඔබ කීකරු වුවහොත් ඔබ සඵල වනු ඇත.

ආහබ් රජතුමාට හා යෙසබෙල්ට ඔවුන් සඵල වන බවට බොරු අනාගතවක්තෘවරුන් 850ක් බොරු අනාගතවාක්‍යය පැවසූ නමුත් ඒවා සඵල වූයේ නැත.
(2 ලේකම් 18 වන පරිච්ඡේදය ඔබ කියවන්න.)

ඔබ දේව වචනය නොමැතිව අනාගතවාක්‍ය සොයන්නෙක් නම් යක්ෂයා ඔබව මුළාවට ලක් කරනු ඇත.


Watch the Sermon Video

Read 206 times