+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපි ස්වාමීන් තුළ පවතිමු
රූත් විසින් ගන්නා ලද යහපත් තීරණ - යෝෂා මනූ

July 2, 2023 Sunday Sermon Notes


ස්වාමීන්වහන්සේ අපගේ සමාදානයයි, සඵලත්වයයි.

කිතුනු ජීවිතයේ අප එය දැන සිටීම ඉතා වැදගත්ය.

අපගේ ජීවිතයට අසුභ ආරංචි, නපුරු සිතුවිලි එන කල අප ඒවාට දවස පුරාම අපගේ මනස පාලනය කරන්නට ඉඩ නොදී, නොකඩවා ස්තුති දෙමින් ඒවා මර්ධනය කරන්නට පුරුදු පුහුණු කර ගත යුතුය.

“මේ දෙයට මගේ මනස පාලනය කිරීමට මා දෙන්නේ නැතැ” යි ඔබ ඔබටම කියා ගත යුතුය. එමෙන්ම එම ගන්නාවු තීරණය අනුව ඔබ ක‍්‍රියා කළ යුතුය. එය ජීවිතයට මහත්වූ ජයග‍්‍රහණයකි. වචනයෙන් කියා නිමකල නොහැකි පුදුමාකාර ප‍්‍රීතියක් ලැබෙන්නේය.

ඔබ සතුටින් සිනහසීමෙන් කල්ගෙවන කල ශරීරයේ මාංශ පේෂීන් පවා එයට ප‍්‍රතික‍්‍රියා දක්වනු ඇත.

අප ප‍්‍රීතියෙන් ගීතිකා ගායනා කරන කල ස්වාමීන්වහන්සේ අප දෙස බලා සිටිනසේක.

සිනහවක් නොමැති කෝපයෙන් පිරුණු ශරීරවල මාංශ පේෂීන් මහත් වේදනාවන්ට පත්වෙති.

දෙවියන්වහන්සේ වාසය කරන්නේ අපගේ හදවත තුළය. එහෙයින් අප සිනහව තෝරාගෙන ප‍්‍රීතියෙන් ජීවත්වෙමු. එවිට ඔබගේ ශරීරයේ මංශ පේෂීන්ද ඔබ හා එකඟව ඔබට මහත් නිදහසක් දැනෙනු ඇත.

කොඳුරන විට, මැවිසිළි නඟන විට, දුක් සහිතව සිටින විට එය ශරීරයට මහත් වේදනාකාරීය. එවන් ශරීර ලෙඩ වෙන්නට පටන් ගනු ඇත.

අපි සිනහවෙන්, ප‍්‍රීතියෙන් හොඳ සුවයෙන් ජීවත්වෙමු.

දෙවියන්වහන්සේගේ මැවිල්ල අලංකාරය, ප‍්‍රීතිමත්ය. දෙවියන්වහන්සේ අපට පවසන්නේ නිතරම ප‍්‍රීතිවන්න කියාය. තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න කියාය. එයින් අපට ජයග‍්‍රාහී ජීවිතයක් ගත කළ හැකිය. එය අප ගත යුතු තීරණයකි.

ප‍්‍රශ්නයෙන්, කරදරයෙන්, අසමාදානයෙන් ජීවත්වීම ඉතා අසීරුය. නිවසක ප‍්‍රීතිය අන් අය දැකීම මහත් ආශීර්වාදයකි.

යක්ෂයා නිතරම බලා සිටින්නේ ප‍්‍රීතිය සොරා ගැනීමටය. එහෙත් ඔබගේ අධිටන විය යුත්තේ කෙසේ හෝ මා මාගේ ප‍්‍රීතිය රැකගනිමි කියාය.

යේසුස්වහන්සේ පැවසුවේ, “කිසිවෙකුට ඔබ තුළ ඇති ප‍්‍රීතිය සොරා ගත නොහැකිය” කියාය. (යොහාන් 16:22, 33)

යේසුස්වහන්සේ ලෝකයෙන් ජයගත්තා සේ අපද පීඩා එන කල එයට ඉඩ නොදිය යුතුය. මන්ද මෙම පීඩා අපගේ ප‍්‍රීතිය සොරකම් කරනු ඇත. ඔබගේ ප‍්‍රීතිය කිසිවෙකුට සොරා ගැනීමට ඉඩ නොදෙන්න.

යේසුස්වහන්සේ නිතරම ගෝලයන්ට උන්වහන්සේගේ කුරුසපත්වීම ගැන කථා කරන විට නැවත නැඟිටීම ගැනද පැවසුසේක.

කුරුසපත්වීමෙන් මරණය පිළිබිඹුවේ. යේසුස්වහන්සේ මෙළොවට පැමිනුණේ ජීවිතය පුදා අප වෙනුවෙන් මිලය ගෙවන්නටය. නමුත් එය එතැනින් නිම නොවීය. ජයග‍්‍රහණය ලැබුණේ නැවත නැඟිටීමෙන්ය.

අපගේ ප‍්‍රීතිය කිසිවෙකුට පැහැර ගැනීමට ඉඩ නොදීමට වග බලා ගනිමු.

රූත්ගේ කථාවෙන් බලාපොරොත්තු නැතිවූ කල කළ යුතු දේ පිළිබඳවත්, රූත් නයෝමි සමඟ යෑමට නියමකරගත් දෙය පිළිබඳවත් අප පසුගිය සතිවලදී හැදෑරීමුව.

රූත් නියමකර ගත් යහපත් තීරණ දෙස අපි බලමු. (රූත් 1:16-17)

රූත් විසින් ගන්නා ලද පළමු යහපත් තීරණය නම්, “නුඹ යන තැනට මමත් යමි.”

රූත් විසින් ගන්නා ලද දෙවැනි යහපත් තීරණය දෙස බලමු.

“නුඹ නවතින තැන මමත් නවතිමි.”

රූත් නයෝමිට පැවසුවේ, ඔබ ස්ථිරවම රැඳී සිටීමට තීරණය ගන්නා ස්ථානයේ මම ඔබ සමඟ නවතිමි.

ඔබගේ වාසස්ථානය මාගේ වාසස්ථානය වන්නේය.

ඔබ වසන්නට යන තැනට මම එමි කියාය.

අපි ඉන්නට, පවතින්නට, නැතහොත් නවතින්නට යන ස්ථානය ඉතා වැදගත්ය.

රූත් නයෝමිට කීවේ, ඔබ පදිංචි වෙන්නට යන ස්ථානයට මමත් එන්නෙමි. එය බෙත්-ලෙහෙමේ නම්, ඒ ස්ථානයටය.

මම ඔබ සමඟ නවතින්නට එන්නෙමි කියාය.
 
රූත් මෙලෙස ප‍්‍රකාශ කරන්නට හේතු වූයේ ඇය නයෝමිගේ ජීවිතයෙන් යමක් දුටු නිසාය.
 
රූත්ට නයෝමි සමඟ යන්නට කිසි අවශ්‍යතාවයක් තිබුණේ නැත. ඒ ස්ථානයේ ඇය දැන හඳුනන යහලුවන්, නෑදෑයන් හෝ කිසිවෙකු සිටියේ නැත.
 
නයෝමිගේ පුරුෂයා මැරුණු අවස්ථාවේදී පුත්‍රයන් දෙදෙනාම විවාහ වී සිටියාදැයි අපි දන්නේ නැත. ඒ විස්තර ගැන කිසිවක් සටහන් වී නැත.
 
නමුත් පුත්‍රයන් දෙදෙනා මැරුණායින් පසු නයෝමිට ඇගේ දේශය ගැන ලැබුණු ශුභ ආරංචිය නිසා ඇය එහි යන්නට තීරණය කළාය.

දැන් රූත් මේ දේ දුටුවාය.

නයෝමි දෙවියන්වහන්සේ අතහරින්නේ නැතුව, උන්වහන්සේ සමඟ දිගටම පවතින්නට ගත් තීරණය රූත් දකින්නට ඇත.

නයෝමිට ස්වාමීන්වහන්සේ සමඟ තිබුණු පැවැත්ම, සම්බන්ධකම ගැන දැනගන්නට ඕනෑකමක් තිබෙන්නට ඇත.

ඇය නයෝමි සමඟ ගියොත් නයෝමිගේ දෙවියන්වහන්සේ සමඟ ඇයට මිත‍්‍රත්වයක් ගොඩ නඟා ගත හැකිය කියා රූත් විශ්වාස කළාය.

අපි යමෙක් ගැන වැඩි වැඩියෙන් දනගන්නට යන්නේ ඒ කෙනා සමඟ නැවතුනහොත්, ඒ කෙනා සමඟ වාසය කළහොත් සහ පදිංචි වී සිටියහොත් පමණයි.

අප ඇසුරු කළ යුත්තේ අපගේ ජීවිතයට ඵලදායි යමක් එකතු කර ගත හැකි යහපත් පුද්ගලයන්වය. ඒ අයගේ යහපත් ආදර්ශය අපගේ ජීවිතයටද ආශීර්වාදයක් වනු ඇත.

වැරදි පුද්ගලයින් ඇසුරු කරන කල ඒ අයගේ නපුරු ස්වභාවයන් අපගේ ජීවිතවලටද බලපානු ඇත. එවැනි අයගෙන් අප වෙන්විය යුතුය. ඒ අයගේ අශුද්ධ ආත්ම අප තුළට ඇතුල්වීමට ඉඩ නොදිය යුතුය.

යහපත් අය සමඟ පැවැත්මෙන් රූත්ගේ ජීවිතයේ ඇය අවසානයේ මහත් ආශීර්වාදලද්දියක් බවට පත්වුණාය. යේසුස්වහන්සේගේ පරම්පරාවට පවා ඇගේ නම ඇතුලත් වූවාය.

පැවැත්ම ඉතා වැදගත්ය. ඒ පිළිබඳ යේසුස්වහන්සේ පැවසූ දෙය අපි බලමු.

යේසුස්වහන්සේ තමන් කරන්නට යන්නාවූ ලේ ගිවිසුම ගැන පැවසු විට, එය වටහා නොගත් සමහර ගෝලයන් පසුබට වුණෝය. (යොහන් 6:51‭-‬60)

යොහන් 6:66‭-‬68 මේ නිසා එවක් පටන් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබටවී, උන්වහන්සේ සමඟ තවත් නොහැසුරුණෝය. නුඹලාත් අහක්ව යන්ට කැමතිදැයි යේසුස්වහන්සේ දොළොසගෙන් ඇසූසේක. සීමොන් පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමීනි, අපි කා ළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබවහන්සේට ඇත්තේය.

යේසුස්වහන්සේ තමන් ගෝලයන් දොළොස්දෙනාගෙන් “නුඹලාත් මා අතහැර යනවාදැ” යි ඇසූහ.

පේතෘස් පැවසුවේ, අප කා ලඟට යමුද? සදාකාල ජීවනය ඇත්තේ ඔබ ළඟය” කියාය.

යොහන් 6:69‭-‬71
අපිද ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනන්වහන්සේ බව විශ්වාසකරගෙන දැනගෙන සිටිමුයයි කීවේය. යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මා විසින් නුඹලා දොළොස්දෙනා තෝරාගත්තා නොවේද? නුමුත් නුඹලාගෙන් එක්කෙනෙක් යක්ෂයෙක්යයි කීසේක. මෙසේ කීවේ සීමොන් ඉස්කාරියොත්ගේ පුත්‍රවූ යූදස් ගැනය, මක්නිසාද දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ ඔහු උන්වහන්සේ පාවාදෙන්ට සිටියේය.

යේසුස්වහන්සේ පැවසුවේ, නුඹලාගේ එක්කෙනෙක් යක්ෂයෙක් කියාය. ඒ උන්වහන්සේ සඳහන් කළේ පාවා දෙන්නා ගැනය.

ඉතිරි 11දෙනා යේසුස්වහන්සේ සමඟ පැවතීමට තීරණය කරගත්තෝය.

පැවැත්ම ඉතා අගනේය. දෙවියන්වහන්සේ සමඟ වසන තැනැත්තේ වාසය කරන්නේ උන්වහන්සේගේ සෙවනේය.

ගීතාවලිය 91:1
මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.

රූත් නයෝමි සමඟ වාසය කිරීමට තීරණය කරන ලදි.
දෙවියන්වහන්සේව හඳුනනවානම් අප ස්වාමීන්වහන්සේ සමඟ වාසය කළ යුතුය.

යොහන් 15:3-4
මා විසින් නුඹලාට කී වචනය කරණකොටගෙන නුඹලා දැන් පවිත්‍රය.
4 මා තුළ පැවතෙන්න, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම්, ඵල දරන්ට නුඹලාට බැරිය.

මෙහි කථා කරන්නේ නවාතැනක් ගැනය. යේසුස්වහන්සේ අප තුළ අපගේ ආත්මය තුළ වාසය කරනු ඇත.

අප උන්වහන්සේ සමඟ කථා කරමින් කාලය ගත කරමු.

යොහන් 15:5‭-‬7
5 මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය. 6 යමෙක් මා තුළෙහි නොපවතී නම්, ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළීයයි; ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ, ඒවා දාලායන්නේය.
7 නුඹලා මා තුළෙහි පවතින්නෝ නම්, මාගේ වචනය නුඹලා තුළෙහි පවතී නම්, නුඹලා කැමති දෙයක් ඉල්ලන්න, එවිට නුඹලාට ලැබේ.

අපට ස්වාමීන්වහන්සේගෙන් වෙන්ව කිසිවක් කළ නොහැකිය.

ස්වාමීන්වහන්සේ තුළ පැවතීමෙන් අපට ඵල දරන ජීවිතයක් ගත කල හැකිය.

ස්වාමීන්වහන්සේ තුළ පැවැත්ම ඉතා වැදගත්ය. පැවතීමෙන් ඔබ යේසුස්වහන්සේව, උන්වහන්සේගේ වචන දැන ගනු ඇත. ඔබ වර්ධනය වීමට පටන් ගනු ඇත.

යේසුස්වහන්සේ සමඟ අප කාලය ගත කරමු.


Watch the Sermon Video

Read 223 times