+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපි ස්වාමීන් තුළ පවතිමු
අපි ස්වාමීන් විසින් තෝරාගත් සෙනඟ වන්නෙමු - යෝෂා මනූ

July 9, 2023 Sunday Sermon Notes

 

ස්වාමීන්වහන්සේ මාගේ උපකාරයයි.

අපට උපකාර අවශ්‍ය වන සෑම මොහොතකදීම උන්වහන්සේ අපගේ හඬ අසනසේක.

ගිලෙමින් සිටින මනුෂ්‍යයෙකුට අවශ්‍ය වෙන එකම දේ ‘’උපකාරයයි’’

යෙරෙමියා 33:3
මට යාච්ඤාකරන්න, එවිට මම නුඹට උත්තරදී, නුඹ නොදන්න මහත්වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි.

අපි අමාරුවට පත්වන සෑම විටම යාච්ඤාවෙන් උන්වහන්සේට හඬ ගසමු,

උන්වහන්සේ අපට පිළිතුරු දෙන සේක.

‘’ලේ ගිවිසුමේ අභිරහස" පොතෙන් අපි දැනගන්නේ
දෙවියන්වහන්සේ අප සමඟ අලුත් ගිවිසුමක් සාදා ඇති බවයි.

එය පුරාණයේ පටන් තිබුණාවූ ගිවිසුමය.

දෙවියන්වහන්සේගේ එකම කැමැත්ත වූයේ මනුෂ්‍යයන් සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමය, එය උත්පත්ති පොතේ සිට අපට දැකගත හැකිය.

අලුත් ගිවිසුම තුළ යේසුස්වහන්සේ උන්වහන්සේගේ ලේ වලින්, ජීවනයෙන් මේ ගිවිසුම අප සමඟ ඇති කරගත් සේක.

ඒ ගිවිසුම යනු කුමක්ද? එහි අර්ථය, අභිරහස සහ වැදගත්කම අවබෝධ කර ගනිමින් ඒ ගිවිසුමේ ‘’පොරොන්දු’’ අපට අයිති කර ගනිමු.

‘’පොරොන්දු දේශයේ සිරකරුවෝ" යන පොතේ අපට සඳහන් කරන්නේ දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අප සිරවී සිටීම නොව නිදහස්ව සිටීමටය.

උන්වහන්සේ අපේ එඬේරා ලෙස අපට මඟ පෙන්වමින් ගෙන යන සේක.

නිදහස ගැන අප දැන ගන්නේ සත්‍යතාවයේ වචනයෙනි, අප සත්‍යය දැනගත් විට එයින් අප නිදහස් වන්නේය.

අපට ප‍්‍රශ්න, කරදර, කුණාටු ගෙන එන්නේ දෙවියන්වහන්සේ නොවේ, යක්ෂයාය.

එය පැමිණෙන්නේ අපව විනාශ කිරීමටත්, අපව ඇදහිල්ලෙන් ඉවත් කිරීමටත්ය.

දෙවියන්වහන්සේ මේ පොළොවේ දෙවිකෙනෙකු ලෙස ආදම්ව පත් කළසේක.

ඔහුට දෙවියන්වහන්සේගේ බලය, ආධිපත්‍යය පාවිච්චි කරමින් මැවිල්ලට අණ කළ හැකිව තිබුණි, නමුත් උත්පත්ති 3 වන පරිච්ජේදයේ සඳහන් වන ආකාරයට ඔහු ඒ බලය සතුරාට පැවරුවේය.

2 කොරින්ති 4:4 හි සඳහන් වන ආකාරයට දැන් මේ ලෝකයේ දෙවියා යක්ෂයාය.

‘’නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළේය.’’

දෙවියන්වහන්සේ යහපත්ය, උන්වහන්සේ මනුෂ්‍යයන්ව මරා දැමීමට, විනාශ කිරීමට තරම් කෲර, දුෂ්ඨ දෙවි කෙනෙකු නොවේ.

සත්‍යය දැන ගන්නා විට අප නිදහස්වේ. දෙවියන්වහන්සේ සත්‍යතාවේ වචනයෙන් අප නිදහස් කළසේක. උන්වහන්සේගේ කමැත්ත අප සත්‍යය තුළ ජීවත්වීමයි.

සත්‍යයතාවෙන් ජීවත්වන ආකාරය ඔබට මෙවැනි පොත් කියවීමෙන් අවබෝධ කර ගත හැකිවේ.

බයිබලයේ රූත්ගේ කථාව තුළින් අපගේ බලාපොරොත්තු නැති වන කල දෙවියන්වහන්සේ අපට බලාපොරොත්තු දෙන තැනන්වහන්සේ බව පෙන්වා දෙයි. අපට ඒ තුළ ඉගෙන ගැනිමට බොහෝ කරුණු ඇත.

රූත් නයෝමි සමඟ මිත‍්‍රත්වයක් ගොඩ නඟා ගත් අතර ඇය ගත්තාවු යහපත් තීරණ දෙකක් අප පසුගිය සති තුළ හැදෑරුවෙමු.

එනම් ‘’ඔබ යන තැනට මම එන්නෙමි,’’ ‘’ඔබ නවතින තැන මමත් නවතිමි’’ යන යහපත් තීරණ දෙකය.

3 වන යහපත් තීරණය ”නුඹේ සෙනඟ මාගේ සෙනඟ වන්නේය.”

රූත් 1:16
රූත් කියන්නී: නුඹ අත්හැර හැරීයන ලෙස මට පෙරැත්ත නොකරන්න. මක්නිසාද නුඹ යන තැනට මමත් යමි, නුඹ නවතින තැන මමත් නවතිමි. නුඹේ සෙනඟ මාගේ සෙනඟ වන්නේය, නුඹේ දෙවියන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක.

‘’සෙනඟ’’ යන වචනයේ තවත් හෙබ්‍රෙව් අර්ථ කිහිපයක් තිබේ.
වංශය, දේශය, රට වැසියන්, ජාතිය, ගෝත්‍රය, මනුෂ්‍යයන්, පිරිස සහ රැළ යන අර්ථයයි.

නයෝමිට තමාගේ ස්වාමිපුරුෂයාගේ වැරදි තීරණය නිසා, ඇයට මෝවබ් දේශය තුළ බොහෝ අමාරුකම් වලට මුහුණ දෙන්නට සිදු විය. නමුත් පසුව තමන්ගේ දේශය දැන් සාගතයෙන් නිදහස්ව සඵලවත් වී ඇති බව ආරංචි වූ විට, නැවත ඇගේ දේශයට යාමට තීරණය කළාය.

නයෝමි තම දේශයේ සඵලත්වය ගැන පවසමින් ඇය නැවත තම දේශයට යන්ට තීරණය කරගත් බව පවසද්දී ඇගේ සෙනඟ ගැනද පවසන්නට ඇත. "අපි තෝරාගත් සෙනඟක් වන්නෙමු, අපේ වංශය දෙවියන්වහන්සේම තෝරාගෙන ඇත." මේ ආකාරයට තම සෙනඟ සහ යුදා දේශය ගැන බොහෝ යහපත් කාරණා නයෝමි රූත් සමඟ ප‍්‍රකාශ කරන්නට ඇත.

තවදුරටත් "අප දෙවියන්වහන්සේව දන්නා සෙනඟක් මෙසියස්වහන්සේ පැමිණෙන්ට යන්නේ අපේ වංශයෙන්" යයි නයෝමි පවසන්නට ඇත.

රූත් නයෝමිට කීවේ, ‘’මම ඔබේ අය සමඟ එක්සත් වෙන්නට එමි. මම ඔබේ තෝරාගත් වංශයට ඇතුල් වෙන්නට කැමතියි.’’ ‘’ඔබගේ මනුෂ්‍යයන් අතරට මාව පිළිගන්න’’ කියාය.

යුදා දේශයේ සෙනඟ සමඟ මා සම්බන්ධ වී ගිවිසුමක් ඇති කරගන්නට ආශා කරමි.

ඔබගේ නෑදෑයන් මගේ නෑදෑයන් වෙන්නට මම ඔබ සමඟ එමි.

අද දිනත් අපි කිරි හා පැණිවලින් ඉතිරෙන දේශයන් සොයා යාමට ආශා වන්නෙමු.

නමුත් දෙවියන්වහන්සේ සිටින ස්ථානය සහ උන්වහන්සේ අපට ඉන්න යයි නියම කර ඇති ස්ථානය පමණයි කිරි හා පැණිවලින් උතුරා යන ස්ථානය වන්නේ බව අපි සිහි තබා ගනිමු.

නයෝමිගේ පවුල විනාශ වුවත් රූත් ඊට එහායින් ඒ දේශයේ වැසියන් තමාගේ ඥාතීන් කරගන්නට සූදානම් වූහ.

රූත් නයෝමිට මෙසේ කියන්නට ඇත:

“ඔබ කියන මේ ඊශ්‍රායල් වංශය, දෙවියන්වහන්සේගේ තෝරාගත් සෙනඟ සමඟ මට බැඳෙන්නට ඕනේ.”

“ඔබගේ සෙනඟ මගේ සෙනඟ කියා පවසන පිණිස මම ඔබගේ දේශයට එන්නට තීරණය කර හමාරයි.”

“මට ඔබගේ වංශයට අයිති වෙන්නට අවශ්‍යයි.”

“ඔබගේ දේශයේ කතා කරන භාෂාවද මම ඉගෙන ගන්නෙමි,
චරිත්‍රවලට, පුරුදුවලට, ආහාරවලටද මංගල්‍යයන්ද මම ඉගෙන ගන්න ලැහැස්ති.”

“මම වෙනස් වෙන්න කැමතියි, මම එය අධිෂ්ඨාන කරගෙන ඉවරයි.”

“ඔබට එය වළක්වන්නට නොහැකියි. මම අරමුණ කරගත් දේ එයයි.”

“ඔබගේ ජයග්‍රාහී, විශේෂ සෙනඟ සහ තෝරාගත් වංශය සමඟ ගිවිසුමක් ඇති කරගන්නෙමි.”

ඇය ගත් මේ පුදුමාකාර තෝරා ගැනීම දෙවියන්වහන්සේ අගය කළහ.

ඇයගේ මේ පුදුමාකාර කැපවීම දෙවියන්වහන්සේ දුටුවහ.

රූත් තුළ තුබුණු ඇදහිල්ල හා විශ්වාසය දෙස බලන්න.

බොහෝ විට අලුත් දේශයකට යන විට ඒ දේශයේ භාෂාව, මිනිසුන්, නීතිරීති, මංගල්‍යයන්, ගැන මුහුණ පාන්නට වෙන ගැටළු තිබුණත් රූත් ඒ කිසිවක් ගැන කථා කළේ නැත.

“මට බැහැ, අමාරුයි, ඒක හරියන්නේ නැහැ, මට වෙනස් වෙන්නට කැමති නැහැ, මා නොදන්නා රටකට යන්නේ ඇයි කියා ඇය වචන පැවසුවේ නැත.”

මේවාගේ වචන ඇගේ කටින් පිටවුන බව අපට දේව වචනයේ පෙන්වා දී නැත.

යෙසායා 14:1
මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ්ට අනුකම්පාකොට, ඉශ්‍රායෙල් නැවත තෝරාගෙන, ඔවුන්ගේම දේශයෙහි ඔවුන් පිහිටුවනසේක. විදේශියෝ ඔවුන්ට එකතුව යාකොබ්ගේ වංශයට බැඳෙන්නෝය.

රූත්ගේ ජීවිතයේ සිදුවූයේද මෙයයි. ඇය අන්‍ය ජාතික කාන්තාවක් වූවද ඇය දෙවියන්වහන්සේ සමඟත් ඉශ‍්‍රායෙල් සෙනඟ සමඟත් ගිවිසුමකට ඇතුළු වීමට, කැමැත්තෙන් සිටියාය.

හොසියා 2:23
මම ඈ දේශයෙහි මට වපුරාගන, කරුණාව නොලත් ඇත්තීට අනුකම්පාකරන්නෙමි; මාගේ සෙනඟ නොවූවන්ට: නුඹ මාගේ සෙනඟයයි කියන්නෙමි; ඒ අයද: ඔබ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.

අපද දෙවියන්වහන්සේගේ සෙනඟට හෝ උන්වහන්සේගේ ගිවිසුමට අයිති වූවන් නොවූහ.

එපීස 2:1-5
’’1 නුඹලා නුඹලාගේ වරද සහ පාප කරණකොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත්කළසේක. 2 පෙර කාලයේ නුඹලා මේ ලෝකයේ ව්‍යවහාරය ලෙසත්, අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාකරන්නාවු ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත්, ඒවායෙහි හැසුරුණහුය. 3 ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංසයේ තෘෂ්ණාවල හැසිරෙමින්, මාංසයටත් සිතටත් කැමතිදේ කරමින්, ස්වභාවෙන් අනික් අය මෙන් උදහසේ දරුවෝව සිටියෙමුව.

රූත් සිටියේ උදහසේ දරුවෙක් ලෙස, උන්වහන්සේගේ ගිවිසුමෙන් පිටතය.

4 නුමුත් දෙවියන්වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනසේක්, අපට ප්‍රේම කළාවූ තමන්වහන්සේගේ මහත් ප්‍රේමයෙන්, 5 අපගේ වරද කරණකොටගෙන අප මැරී සිටි කල්හි පවා, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අප ජීවත්කර-නුඹලා ගැළවී සිටින්නේ අනුග්‍රහයෙන්ය-.....’’

නයෝමි රූත් සමඟ තමාගේ සෙනඟ ගැන පුරසාරම් දෙඩූ දේවල් ගැන රූත් තුළ ඇදහිල්ල ඇති වූවාය.

නයෝමි රූත් සමඟ ආබ්‍රහම් ගැන කථා කරන්නට ඇත.

උත්පත්ති 12:1‭-‬4
ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට යන්න. මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න. තවද නුඹට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි, නුඹට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක. මෙසේ ආබ්‍රම් ස්වාමීන්වහන්සේ තමාට කී ලෙස ගියේය. ලොත් ඔහු සමඟ ගියේය; ආබ්‍රම් හාරානෙන් පිටත්වූ කල ඔහුට සැත්තෑ පස් අවුරුද්දක් වයස් විය.

රූත්ටද අවශ්‍යය වූයේ මේ සෙනඟ සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමටය.

අපි වාගේ සෙනඟක් මේ පොළොවේ නැත. දෙවියන්වහන්සේ අපි වෙනුවෙන් රතු මුහුද දෙබෑ කළා, ඵාරාවෝගේ බන්ධනයෙන් මෝසෙස් තුළින් අපේ සෙනඟ නිදහස් කළහ.

උන්වහන්සේ අපව පොරොන්දු දේශයට ගෙන ආවේය. අපේ දේශය කිරි සහ පැණියෙන් උතුරා යන දේශයයි.

දෙවියන්වහන්සේ අපගේ පියවරුන්ට ප්‍රේම කළහ, සියලුම ජාතීන්ට වඩා උසස් කළහ.

අපේ වංශය තුළින් ගැළවුම්කරුවෙකු පැමිණෙන්නට යනවා. මුලු ලෝකයා ගළවා ගන්නා පිණිස මෙසියස්වහන්සේ එන්නේ අපේ පරම්පරාවෙන්ය.

අපගේ සෙනඟ විශේෂයි.
දෙවියන්වහන්සේ අපේ දේශයට ආශීර්වාද වගුරුවා තිබෙනවා.

ද්වීතීය කථාව 11:12
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බලා සලකන්නාවූ දේශයක්ය. අවුරුද්ද පටන්ගැන්මේ සිට අවුරුද්ද අන්තිමය දක්වා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් නිරන්තරයෙන් එය කෙරෙහි යොමුවී තිබේ.

යුදා දේශය සඵලවත්වූ සුරක්ෂිත දේශයක් බව රූත් තූළ බලාපොරොත්තුවක් ඇති වූවාය.

යෙසායා 32:18
මාගේ සෙනඟ සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය.

ඔබ ඉන්න ඕනෑම ස්ථානයක් වේවා, එය ඔබගේ පොරොන්දු දේශයයි.

නයෝමි කළාක් මෙන් අපද අපේ දේශය ගැන, සෙනඟ ගැන වැරදි නොව යහපතම කථා කළ යුතුය.

ඒ නිසා එදා රූත්ට වූවාක් මෙන්ම අදත් අප අවට ඉන්න අයගේ ඇදහිල්ල ඇති වීමට එය හේතු වනු ඇත.

රෝම 9:25
එසේම උන්වහන්සේ හොෂෙයාගේ පොතෙහි: මාගේ සෙනඟව නොසිටියවුන්ට මාගේ සෙනඟය කියාත් ප්‍රිය නොවූ තැනැත්තියට ප්‍රිය තැනැත්තිය කියාත් කියන්නෙමියි කියාද

නයෝමි ඇයගේ දෙවියන්වහන්සේ ජීවමාන බවත් ඇය තෝරගත් වංශයට අයත් බවත් දැන සිටියාය.

රෝම 9:26
නුඹලා මාගේ සෙනඟ නොවන්නහුයයි ඔවුන්ට කියා තිබෙන තැන නුඹලා ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය කියනු ලබන්නහුයයි කියාද කීසේක.

අප දෙවියන්වහන්සේ තෝරාගත් සෙනඟක්ය, රාජකීය පූජකයන්ය.

1 පේතෘස් 2:9
නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.

අපි දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ සෙනඟ ගැන වර්ණනා කරමු.

දෙවියන්වහන්සේගේ සෙනඟව කවදාවත් හෙළා නොදකිමු.

උන්වහන්සේ ඉදිරියේ ශුද්ධව, ස්ථීරව ජීවත් වෙන්න උත්සහ කරමු.

රූත් නයෝමිගෙන් අසා ඇති පරිදි, යෙරිකෝ පවුර බිඳ වැටෙද්දී ඉශ‍්‍රායෙල් සෙනඟට උපකාර කල රාහබ් නම් වෛශ්‍යා කාන්තාවට දෙවියන්වහන්සේගේ සෙනඟට ඇතුල් වෙන්න හැකි වූවා නම් තමන්ටද හැකි වන බව ඇය විශ්වාස කරන්නට ඇත.

එදා රූත්ට නයෝමිගෙන් හා තමාගේ ස්වාමිපුරුෂයාගෙන් අසන්නට ලැබුණු යහපත් දේවල් නිසා තෝරාගත් සෙනඟට එකතු වෙන්නට බලාපොරොත්තුවක් ඇති වූ බව අපි දුටුවෙමු.

අද ඔබට අසන්නට ලැබී ඇති යහපත් දේවල් මෙනෙහි කරමින් දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවක් ඇතුව ස්වර්ගීය පුරවැසියන් ලෙස ඒ දේශයට ඇතුල් වෙමු.

ස්වර්ගය යනු සැබෑවූ ස්ථානයකි. එහි උන්වහන්සේ අප වෙනුවෙන් ස්ථානයක් පිළියෙල කර ඇත.

මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය; එසේ නොවූයේ නම් මා විසින් නුඹලාට කියනවා ඇත; මක්නිසාද නුඹලාට ස්ථානයක් පිළියෙළකරන පිණිස යමි. මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙළ කරම්නම්, මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි. (යොහන් 14:1-3)

ඔබ තෝරාගත් වංශයක්ය, රාජකීය පූජකයෙක්ය, දෙවියන්වහන්සේ ඔබ තුළයි, උන්වහන්සේගේ වචනය තුළ පවතින බව පවසන්න.

යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අප සඵලවත් ජීවිතයක් ගත කරන බව පවසමු.


Watch the Sermon Video

Read 204 times