+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබට යේසුස්වහන්සේ තුළින් නිතරම සාර්ථක ජීවිතයක් ගත කළ හැකියි - මනූ මැතානි
July 9, 2023 Sunday Sermon Notes

 

දිනපතා වචනය ඉගෙන ගැනීම තුළින් ලැබෙන ශක්තිය හා උපකාරය තුළ අපට සාර්ථක භාවයෙන් ජීවත්විය හැකිය.

සෑම දෙයම සාර්ථක නොවේ යයි පවසන ලෝකයක් තුළ දෙවියන්වහන්සේ තුළ සෑම දවසක්ම ජයග‍්‍රාහිකව ජීවත් වීමට අපට හැකියාව ඇත.

පීඩා, පරීක්ෂා ගෙනෙන සතුරෙක් සිටින නමුත් යේසුස්වහන්සේගේ ලේ වල බලයෙන් අපට නිර්භයව යක්ෂයාගෙන් ජය ගත හැකිවේ.

‘’සිහි ඇතිව, අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය’’. (1 පේත‍්‍රැස් 5:8)

ඔබේ ජයග‍්‍රහණය නැති කරන්න උත්සහ කරන යක්ෂයාට ඔබේ ජීවිතය පාලනය කරන්න ඉඩ නොදිමට තීරණය කර ගත යුතුය.

නාස්තිකාර ජිවිතය පිළි නොගන්න.

දෙවියන්වහන්සේ නාස්තිකාරයාට ඔබ වෙනුවෙන් තර්ජනය කර, දෙවියන්වහන්සේ කළ යුතු සියල්ල කර හමාරය.

එළිදරව් 12:9

මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන්යයි කියනලද මහා සර්පයා නමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය; ඔහු පොළොවට හෙළනු ලැබුවේය. ඔහුගේ දූතයෝද ඔහු සමඟ හෙළනු ලැබුවෝය.

යේසුස්වහන්සේ කුරුසියේ මැරී, තුන්වන දින මළවුන්ගෙන් නැඟිටීම කරණකොටගෙන යක්ෂයාව පහතට හෙළනු ලැබුවේය.

යක්ෂයාට දෙවියන්වහන්සේගේ අභිමුඛයට ගිහින් යෝබ්ට වරද තැබුවේ ආදම් ඒ ආධිපත්‍යය ඔහුට දුන්න නිසයි.

නමුත් දැන් යක්ෂයාට එසේ කළ නොහැකියි. මන්ද යේසුස්වහන්සේ පාප පූජාව සම්පූර්ණ කරමින්, යක්ෂයාව මුළුමනින්ම විනාශ කර තිබෙනවා.

යේසුස්වහන්සේව පිළිගත් සියල්ලන් සම්පූර්ණයෙන් යක්ෂයාගෙන් වෙන් වී සිටියි.

යක්ෂයා සමඟ තිබූ ඒකත්වය බිඳ දමා, දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමට ඇතුල් වූ නිසා අප ජයග‍්‍රාහී සෙනඟක්ය.

මේ පොළවේ අපව පාගා විනාශ කර දැමීමට, අපගේ ප‍්‍රීතිය නැති කිරීමට, අපෙන් සොරකම් කිරීමට යක්ෂයා උත්සහ දරන විට, ගිවිසුමේ වාක්‍ය කථා කරමින් එයින් ජය ගනිමු.

යක්ෂයා තුළින් ස්වර්ගයේ යම් ද්‍රෝහීකමක් සිදු වුණා. දේව දූතයන්ගෙන් තුනෙන් පංගුවක් යක්ෂයා සමඟ වෙන් විය.

යෙසායා 14:12-14
දීප්තිමත් පහන් තාරකාව, අලුයම් පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි! ජාතීන් හෙළාදැමුවාවූ නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි! 13නුඹ සිත තුළ සිතාගෙන: මම ස්වර්ගයට නැගී, මාගේ සිංහාසනය දෙවියන්වහන්සේගේ තාරකාවලට උඩින් තබා, උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිඳගන්නෙමි. 14මම වලාකුල් මුදුන් පසුකොට ඉහළ නගින්නෙමි; මහෝත්තමයාණන්ට සමානවන්නෙමියි කීයෙහිය.

එබැවින් දෙවියන්වහන්සේ යක්ෂයාව පහතට හෙළු අතර, යක්ෂයා ගොස් මනුෂ්‍යයන්ව රවටා, ඔවුන්ගේ ආධිපත්‍යය ගෙන ඔවුන්ව වහල් භාවයට පමුණුවන ලදි.

ආදම්ද යක්ෂයාගේ බොරුවට රැවටුනු නිසා මේ පොළොවේ විනාශකාරී දේවල් අද අප දකින්නේ.

දැනගැන්ම නැතිකම නිසා හා එපා කළ නිසා අද මනුෂ්‍යයන් විනාශ වී ඇත.

ඔබේ ඇදහිල්ලේ මට්ටම ඔබ කථා කරන වචන වලින් මැනගත හැකිය.

එබැවින් ශාපලත් අනවශ්‍ය වචන, නිශ්ප‍්‍රයෝජන වචන කථා නොකර දෙවියන්වහන්සේගේ වචනය කථා කරමු.

එළිදරව් 12:10
එවිට: අපගේ දෙවියන්වහන්සේගේ ගැළවීමද බලයද රාජ්‍යයද තමන් ක්‍රිස්තුස්වහන්සේගේ ආණ්ඩුබලයද දැන් පැමුණුණේය. මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරිපිට රෑ දාවල් අපේ සහෝදරයන්ට වරදතබන්නාවූ, ඔවුන්ගේ වරදතබන්නා පහත හෙළනු ලැබුවේය.

මනුෂ්‍යාගේ වැටීමෙන් පසුව මනුෂ්‍යයන්ට දොස් තබන්නට යක්ෂයාට අයිතියක් ලැබුණි.

දෙවියන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ අදහන සෙනඟට ගැළවීමද, බලයද, දේව රාජ්‍යයද, ආණ්ඩුබලයද දී තිබෙන බවයි.

ඔබට හැඟුණත්, නැතත් ඔබ බලවත් කෙනෙක්ය, දේව දරුවෙක්ය, දෙවියන්වහන්සේ සමඟ ඒකත්වයක්, ගිවිසුමක් ඔබට ඇත.

අපගේ ආත්මය තුළ ස්වාමීන්වහන්සේ වාසය කරනසේක.

හැඟීම්බරව ජීවත්වීමෙන් ලැබෙන්නේ පරාජය පමණයි. ඒ නිසා අපි ආත්මයෙන් ගමන් කරමු.

යක්ෂයා ගෙනෙන සිතුවිලි වලට යටත් නොවී ජීවත් වන්න.

ඔබට තිබුණාවූ ‘කරුමය’ යේසුස්වහන්සේ කුරුසිපත් කර අවසානයි.

ඔබ ධර්මිෂ්ඨයි, ධර්මිෂ්ඨයා ජීවත් වන්නේ ඇදහිල්ලෙනි.

ඔබ ශුද්ධයි. ඔබ උරුමක්කාරයෙකුය.

ඔබේ අතින් අත්වැරුද්දක් සිදුවූ පමණින් ඔබ පාපිෂ්ටයෙක් නොවේ, එය කියා දී අත්හැර දමන්න.

ඔබ තුළ වාසය කරන ක‍්‍රිස්තුස්වහන්සේ කිසිදිනක ඔබ අතහැර නොයන ලෙස ගිවිසුමින් බැඳී ඇත, එය ආදම්ට වඩා උතුම් ගිවිසුමක්ය,

දෙවියන්වහන්සේ ආදම් සමඟ කළ ගිවිසුම ඔහු විසින් කඩ කර ‘එපා කියූ ගහෙන් කෑ නිසා’ ඔහු මරණයට පත් විය.

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේව මනුෂ්‍යයාකාර මේ පොළොවට එවමින් උන්වහන්සේ සමඟ ගිවිසුමක් සාදා මනුෂ්‍යයන්ව මුදවා ගත්සේක.

සදහටම පවතින ජීවනය මේ ගිවිසුම තුළින් අපට ලැබී ඇත

මේ ගිවිසුමට දෙවියන්වහන්සේ ඔබවත් මාවත් ඇතුල් කර ඇත.

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ සමඟ කළ මේ ගිවිසුම උන්වහන්සේට කොහෙත්ම කඩ කළ නොහැකිය.

අනුග‍්‍රහය යනු පව් කරන්නට බලපත‍්‍රයක් නොවේ.

‘’පාපයේ කුළිය මරණයයි’’

පව්කරන්ට කිසි කෙනෙකුට බලපත්‍රයක් අවශ්‍ය නැත. මන්ද ගැළවීම ලැබූවන්ට පව් කරන්ට කිසි ආශාවක් නැත.

අපිරිසිඳුව තිබූ අපගේ හෘද සාක්ෂිය උන්වහන්සේ පවිත‍්‍ර කළ සේක, එබැවින් හෘද සාක්ෂියට අනුව ජීවත් වෙමු.

1 යොහන් 5:17
සියලු අධර්මිෂ්ඨකම් පාපයය. මරණයට නොපමුණුවන පාපයක්ද ඇත්තේය.

මරණයට නොපමුණුවන පාපය අපට කුමක්ද?
දෙවියන්වහන්සේ සමඟ අපට තිබෙන ගිවිසුම.

මේ ගිවිසුම නිසා නිතරම යේසුස්වහන්සේ අප ඉදිරියෙන් සිටින සේක.

1 යොහන් 5:18
දෙවියන්වහන්සේගෙන් ඉපිදී සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමුව; එහෙත් දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂාකරගන්නේය, නපුරා ඔහුට අතගසන්නේ නැත.

ඔබගේ ආත්මය ශුද්ධාත්මයාණන්වහන්සේ සමඟ එක්වී සිටීම නිසා, ආත්මයට පව් කරන්නට නුපුළුවන.

නොසැළකිලිමත් ලෙස ජීවත් නොවෙමු.

නපුරාට අපට අත ගැසීමට නොහැකි වන පරිදි අපගේ ප‍්‍රාණය හා ශරීරය ගැන අප ප‍්‍රවේසම් විය යුතුය.

මේ ඇදහිල්ලේ ගමන ඔබ ශුද්ධකමෙන් ආත්මයාණන්වහන්සේ තුළින් ජීවත් වන්න.

ආත්මයාණන්වහන්සේට ඇහුම්කන් දී අපගේ තීරණ ගනිමු.

ඔබගේ තීරණ ගැනීමේදී අභ්‍යන්තර සමාදානයක් තිබේදැයි විමසා බැලීම වැදගත්ය.

දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් මෙන්ම මාංශාකාර සහ යක්ෂාකාර, මිශ‍්‍ර ඉගැන්වීම්ද ඇත.

නමුත් අපේ ආත්මීක ගොඩනැඟීමට උපකාර වන, සත්‍ය වචනය තේරුම්ගෙන, වැරදි ඉගැන්වීම් ප‍්‍රතික්ශේප කරමු.

අපගේ ආත්මික වර්ධනය තුළින් අපට යහපත් ජීවිතයක් ගත කළ හැකියි.

ඔබ අසන දේවල් ගැන ප‍්‍රවේසම් වී, සියල්ලටම වඩා ඔබේ සිත ආරක්ෂා කර ගැනීම අවශ්‍යය.

ඔබ ‘’හරි’’ යයි සැලකූ සමහර දේවල් ඔබේ ජීවිතයට ‘’විසබීජයක්’’ විය හැකිය, ඒවාට දොස් තබමින්, ප‍්‍රතික්ශේප කළ යුතුය.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරය ඇතිව බයිබලය කියවීම වැදගත්.

උන්වහන්සේ නොමැතිව බයිබලය කියවීමෙන් අපට ලැබෙන්නේ සාමාන්‍ය දැනුමක් පමණයි, එම දැනුම අපව උඩගු තත්වයට පත් කරයි.

ශුද්ධාත්මයාණන්වහන්සේ එළිදරව් නොකළහොත් කිසිවක් දැන ගැනීමට අපට නොහැකි වේ.

එපීස 6:17
ගැළවීම නැමති ආරක්ෂාතොප්පියද, දෙවියන්වහන්සේගේ වචනය නැමති ආත්මයාණන්වහන්සේගේ කඩුවද ගන්න.

අපි සතුරාට විරුද්ධව ක්‍රියා කරන්නට දී තිබෙන ආයුධය නම් ආත්මයාණන්වහන්සේගේ කඩුවයි.

අපට ජය ලැබෙන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ වචන වලින් පමණයි.

බයිබලය මුළුමණින්ම කියවීමෙන් හෝ බයිබල් පොරොන්දු කටපාඩම් කිරීමෙන් අපට යක්ෂයාගෙන් ජයගත නොහැකියි.

අපගේ බයිබල් දැනුම මත නොව, දෙවියන්වහන්සේගේ
හඬට ඇහුම්කන්දීම මත අපගේ ජයග‍්‍රහණය තීරණය වේ.

පරාජය පිටතින් නොපෙණුනත් බොහෝ මනුෂ්‍යයන් තමන්ගේ මනසින් පරාජිත ජීවිතයක් ගත කරමින් සිටියි.

ඔවුන් පිටතින් ලොකු ශබ්දයක් ඇති කළද, ඇතුළතින් හිස් භාජන මෙනි.

දෙවියන්වහන්සේ උඩඟු වූවන්ට විරුද්ධ සිටී. යටහතුන්ට උන්වහන්සේගේ බලය තුළින් ක්‍රියා කළ හැකියි.

ලෝකයේ සිටින, ගැළවීම නොලැබූ, යේසුස්වහන්සේ නොපිළිගෙන සිටින මනුෂ්‍යයන් සැමදා පරාජිතයන්ව සිටියි.

යටහත් මනුෂ්‍යයන් ඇදහිල්ලෙන් ක්‍රියා කරමින්, දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහයෙන් ජයගන්නෝය.

යාකොබ් 4:6-7
නුමුත් උන්වහන්සේ වඩා කරුණාව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය. එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත.

යටහත් මනුෂ්‍යයන් යනු, දෙවියන්වහන්සේගේ වචනයට යටත්ව, කීකරුව සිටින අයය.

සතුරාගෙන් ජයගන්නට අපට ස්වාමීන්වහන්සේගේ අනුග්‍රහය සෑහේ. මේ උරුමය ඔබට අයිතිය.

පාවුල්තුමා සාතන්ගේ පීඩාවෙන් මිදීමට තුන් වතාවක් යාච්ඤා කළ නමුත්, ඒ අවස්ථා තුනේදීම දෙවියන්වහන්සේගේ පිළිතුර වූයේ ‘’මාගේ අනුග‍්‍රහය නුඹට සෑහේ’’ ලෙසය.

2 කොරින්ති 12:7‭-‬9
තවද ඒ එළිදරව්කිරීම්වල අතිශය උතුම්කම කරණකොටගෙන පමණට වඩා උසස් නොවන පිණිස මට පහරදීමට සාතන්ගේ දූතයෙකු වැනිවූ උලක් මාගේ මාංසයෙහි මට දෙනලද්දේය, ඒ පමණට වඩා මා උසස් නොවන පිණිසය. ඒක මා කෙරෙන් පහවන පිණිස ඒ ගැන තුන්වරක් ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලුවෙමි.
උන්වහන්සේද: මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවෙන්නේයයි මට කීසේක. එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටුකරන්නෙමි.

මාංශයෙහි කටුව යනු අසනීප නොවේ, පාවුල් තුමා මෙහිදී සඳහන් කරන මාංශයෙහි කටුව නම්, තමන්ට පැමිණෙන යක්ෂයාගේ පීඩාය.

යක්ෂයා සිටින්නේ ආත්මීක තලයේ බැවින් ඔබගේ ශක්තියෙන් හෝ බලයෙන් කිසිවක් කළ නොහැකියි.

නමුත් ඔබ තළ වාසය කරන ආත්මයාණන්වහන්සේ තුළින් යක්ෂයාගෙන් ජය ගත හැකි වන්නේය.

‘’ලෝකයේ සිටින තැනැත්තාට වඩා ඔබ තුල සිටින තැණැන්වහන්සේ බලවන්තයි’’

එපීස 4:27
යක්ෂයාට ඉඩ නොදෙන්න.

ඔබේ ජීවිතයේ යක්ෂයාට ඉඩ දී ඇති ස්ථානය කුමක්ද?.., ඔබේ දුර්වල අංශ මොනවාද?.. ඒවා සොයා ගෙන සවිමත් කර ගනිමු.

"මා සියල්ල දන්නවා" කියන ස්ථානයට නොපැමිනෙන්න.

සිතුවිල්ලකින් පවා යක්ෂයාට ඉඩ නොදෙමු.

එපීස 5:6
හිස් වචනවලින් නුඹලා රවටන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මක්නිසාද මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය.

හිස් වචන, අනවශ්‍ය දෙඩවිලි වලට ඉඩ නොදෙන්න.

දේව වචනයෙන් අපේ මනස පුරවා ගනිමු.

ඔබ ඇල්මැරී ඇත්නම්, ප‍්‍රශංසාවේ වස්ත‍්‍රය පැළද ගැනීමෙන් ඔබේ ඇල්මැරුණු ස්වභාවය, ක්ලාන්ත සිත ඉවත්වී යයි.

යෙසායා 61:3
සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය.

කම්මැළිභාවයෙන් මිදීමට ඔබ අසන ලෝකයේ සින්දු වලින්, ඔබ ආත්මීක කම්මැළිභාවයට පත් වනු ඇත.

එබැවින් නිතරම ගීතිකා වලින් ස්වාමීන්වහන්සේට ගෞරව දෙමු.

එපීස 5:6-8
හිස් වචනවලින් නුඹලා රවටන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මක්නිසාද මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය. එබැවින් ඔවුන් සමඟ පංගුකාරයෝ නොවෙන්න. මක්නිසාද වරක් නුඹලා අන්ධකාරව සිටිය නුමුත්, දැන් ස්වාමීන්වහන්සේ තුළ ආලෝකයව සිටින්නහුය. ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙන්න.

ඔබ දේව දරුවෙක්ය, දෙවියන්වහන්සේගේ උරුමය ඔබට ඇත, ඔබ ජයග‍්‍රාහීය.

අන්ධකාරය ආලෝකයට සම්බන්ධ නොකරන්න.

පව්කාර මනුෂ්‍යයන් තුළ තිබෙන අන්ධකාරය ඔබ තුළට ඇතුල් කර නොගන්න.

අපිි අන්ධකාර ලෝකය තුළ ආලෝකය මෙන් බැබළෙමු .

ව්‍යාපාරය හෝ විවාහය හෝ මොන යම් කාරණාවක් වුවද අන්ධකාරයේ මනුෂ්‍යයන් සමඟ පංගුකාරකමක්, ගිවිසුමක්, ඒකත්වයක් ඇති කර ගැනීමට අපට නුපුළුවන.

අපට එවැනි පරීක්ෂා එන විට එය වියවුල්කමට, අසරණකමට, ඝට්ටන වලටත් හේතු වන බව දැන, දුරදීම ඒවායින් ඉවත්ව සිටීම වැදගත්ය.

එපීස 5:9
ආලෝකයේ ඵල නම්, සියලු ආකාර යහපත්කමත්, ධර්මිෂ්ඨකමත් සැබෑකමත්ය.

මෙම ඵල දෙවියන්වහන්සේ සමඟත්, ඔබේ හෘදයසාක්ෂිය සමඟත් එකඟ වේ.

එපීස 5:10
ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාගකරන්න.

ඔබ ඇදහිල්ලේ ප‍්‍රකාශයන් කිරීමෙන් පමණක් නොව, ඇදහිල්ල තුළ ඇති ක‍්‍රියාවන් ගැන සෝදිසි කර බැලීම තුළින් ස්වාමීන්වහන්සේව ප‍්‍රසන්න කළ හැක.

එපීස 5:11
අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබන්න;

ඔබ වැරදි දේවල් වලට හවුල් වීම හෝ වෙනත් අයව හවුල් කර ගැනීම සුදුසු නොවේ, ඒවා ප‍්‍රතික්ශේප කරමු.

එපීස 5:12
මක්නිසාද ඔවුන් විසින් රහසින් කරන දේ ගැන කථාකිරීම පවා ලජ්ජාවක්ය.

දෙවියන්වහන්සේ ප්‍රසන්න නොවන දේවල් සමග සම්බන්ධ නොවන්න.

එළිදරව් 12:10
එවිට: අපගේ දෙවියන්වහන්සේගේ ගැළවීමද බලයද රාජ්‍යයද තමන් ක්‍රිස්තුස්වහන්සේගේ ආණ්ඩුබලයද දැන් පැමුණුණේය. මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරිපිට රෑ දාවල් අපේ සහෝදරයන්ට වරදතබන්නාවූ, ඔවුන්ගේ වරදතබන්නා පහත හෙළනු ලැබුවේය.

දැන් යක්ෂයාට දෙවියන්වහන්සේ ඉදිරියට ගොස් වරද තබන්නට නොහැකියි. නමුත් දැන් ඌ ඔබගේ මනසට පැමිණ වරද තබයි.

දෙවියන්වහන්සේගේ මාළිගාව නම් අපගේ ශරීරයයි.

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේගේ ලේ තුළින් ස්වර්ගය පවිත‍්‍ර කළ සේක.

උන්වහන්සේ අප තුළ වාසය කරන නිසා අපට ජය දෙන්නට උන්වහන්සේට හැකියි.

යක්ෂයාට අපේ සිත තුළ ක‍්‍රියා කිරීමට ඉඩ නොදෙමු.

2 කොරින්ති 10:3
මක්නිසාද අපි මාංසයෙහි හැසිරෙන නුමුත් මාංසයේ හැටියට යුද්ධ නොකරමුව.

යේසුස්වහන්සේව පිළිගැනීම කරණකොටගෙන ආත්මීක තලයේ යුද්ධයක් අපට ඇත.

යක්ෂයා ආත්මයක්, ඌ තැත් කරන්නේ අපව මාංශයේ මට්ටමට ගෙනැවිත් අපට පහර ගසන්නටයි.

2 කොරින්ති 10:4
මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.

‘’මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තේය’’,

දෙවියන්වහන්සේගේ වචනය අපගේ මුඛයෙන් ප‍්‍රකාශ කරන විට, ඒවා සතුරාගේ බලකොටු බිඳ හෙළිමට තරම් බලවත්ය.

2 කොරින්ති 10:5
අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.

නපුරු සිතුවිලි දෙවියන්වහන්සේගෙන් නොවේ, ඒවා පරාජය කිරීමට ඔබගේ වචන පාවිච්චි කළ යුතුය.

ඔබ වැරදි සිතුවිල්ලක් හෝ රෝගයක් ගැන දෙන්නෙක් හෝ තුන්දෙනෙක් සමඟ බෙදා ගතහොත් එය සාක්ෂියක් ලෙස ස්ථීර වේ.

2 කොරින්ති 13:1
මේක මා නුඹලා ළඟට එන තුන්වෙනි වතාවය. සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේවත් තුන්දෙනෙකුගේවත් මුඛයෙන් සියලු වචන ස්ථිරකරනු ලැබේ.

වැරදි සාක්ෂි ඔබේ ජීවිතය තුළ ස්ථිර කිරීමට යක්ෂයාට අයිතියක් නොදෙන්න.

වැරදි සිතුවිලි වලින් ඔබට වධ දෙන්නේ යක්ෂයාය.

ඔබට වධ දෙන යමක් කවුරුන් හෝ සමඟ පැවසීමට පෙර සතුරා විසින් ගෙන ආ සිතුවිල්ලට විරුද්ධ වන පිණිස ‘’ඔබ සමඟ එකඟ වෙන’’ කෙනෙකු තෝරා ගන්න.


Watch the Sermon Video

Read 162 times