+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මාගේ දෙවියන්වහන්සේ - යෝෂා මනූ
July 16, 2023 Sunday Sermon Notes

 

අපි යේසුස්වහන්සේගේ ලේ වලින් මිදීම ලබා ගත්තාවූ සෙනඟක් වන්නෙමු.

උන්වහන්සේ ඔබවත්, මාවත් මිලදී ගන්නා පිණිස විශාල මිලයක් ගෙවූසේක. (යෙසායා 53)

අපි සතුටින් භුක්ති විඳින මේ ජීවනය හා යහපත් දේවල් වෙනුවෙන්, උන්වහන්සේගේ ලේ වගුරවනු ලැබූ බව සිහි තබා ගනිමු.

ඒ ලේ වලින්, පව්කාරයන්ව සිටිය අපගේ පාපය සෝදා පවිත‍්‍ර කරමින්, යක්ෂයාගේ බන්ධනයෙන් අපව නිදහස් කළසේක.

යේසුස්වහන්සේ යක්ෂයාගෙන් ජය ගත් බැවින්, අපට යක්ෂයා සමඟ කිසිදු සටනක් හෝ සටන් කිරීමේ අවශ්‍යතාවයක්ද නැත.

උන්වහන්සේ යක්ෂයාගේ බලය බිංදුවටම හෙළා, අපව ජයග‍්‍රාහී සෙනඟක් කර ඇත.

අප ගැළවීම ලැබූ දින පටන් අපගේ නව ජීවිතය ආරම්භ කළේ ජයග‍්‍රහණයෙනි.

යේසුස්වහන්සේ අපගේ පාප වලට සමාව දී උන්වහන්සේ කිසිඳු කැළලක් හෝ පලුද්දක් නැතිව අපව සෝදා පවිත‍්‍ර කර ඇත.

ඔබෙත් මගෙත් පසුගිය අතීතයේ පාප, උන්වහන්සේ කුරුසිපත් කර, ඒ සියල්ලක්ම ලේ වලින් සෝදා, මකා දමා අවසන්ය.

අපට ඒවා මතක් කරනවා නම්, එසේ කරන්නේ යක්ෂයාය.

මන්ද දෙවියන්වහන්සේ මකා දැමූ දෙයක්, උන්වහන්සේ නැවත කිසි දින ඒවා සිහි කරන්නේ නැත.

ශුද්ධ බයිබලයේ පවසන්නේ, උන්වහන්සේ අපගේ පාප මුහුදට විසිකළ බවය.

උන්වහන්සේ නැවත අපට අනුකම්පාකරනසේක; අපේ අපරාධ පාගාදමනසේක. ඔබවහන්සේ ඔවුන්ගේ සියලුම පාප මුහුදේ ගැඹුරට හෙළනසේක.
මීකා 7:19

යේසුස්වහන්සේ ඔබවත්, මාවත් මිලදී ගන්නා පිණිස විශාල වේදනාවක් දරා ගත්සේක, උන්වහන්සේගේ අත් පා වලට ඇණ ගැසූ විට, කස පහර ලැබූ විට, උන්වහන්සේ අප උදෙසා ඒ සියල්ල ප‍්‍රීතියෙන් දරා ගත්සේක.

උන්වහන්සේගේ තුවාල වලින් අපට සුවය තිබේ. (යෙසායා 53:5)

උන්වහන්සේගේ ගිවිසුමට අපි අයත් බැවින්, අපි ගිවිසුමේ දරුවෝ වන්නෙමු.

එබැවින් ඒ ගිවිසුමේ පොරොන්දු සියල්ලක්ම අපට අයිතිය.

ඒ පොරොන්දු උරුමක්කරුවන් ලෙස, අපි මේ පොළොවේ ජයග‍්‍රාහී ජීවිතයක් ගත කරමු.

ඔබේ ජීවිතයේ බලාපොරොත්තු සියල්ලක්ම නැති වූ කල, ඔබ කරන්නේ කුමක්ද?
රූත්ගේ කතාවේ නයොමිට, ඇගේ ජීවිතයේ සියල්ල අහිමිව කලකිරීමට පත් වූ නමුත්, ඇයට ලැබුණු ආරංචි අනුව, ඇගේ තීරණ වෙනස් කරමින් නැවත තම දේශයට හැරී යන්නට තීරණය කළාය.

ඔබේ ජීවිතයේ ඔබට යම් ප‍්‍රශ්න ගැටළු එද්දී, ඔබේ දෙවියන්වහන්සේ ජීවමාන බව සිහි කරමින්, උන්වහන්සේව අත නොහරින්න තීරණය කරගන්නට අවශ්‍යය.

මන්ද උන්වහන්සේ කිසි විටක අපව අත් නාරින නිසා, අප ශක්තිමත්ව, ඉදිරියටම යන්න තීරණය කළ විට, උන්වහන්සේ අපට මඟ පෙන්වනවා ඇත.

රූත් තම ජීවිතයේ ගත් යහපත් තීරණ අප පසුගිය සති කිහිපය තුළ හැදෑරූ අතර අද අපි 4 වෙනි කාරණාව බලමු.

ඔබේ දෙවියන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක.

රූත් 1:16
රූත් කියන්නී: නුඹ අත්හැර හැරීයන ලෙස මට පෙරැත්ත නොකරන්න. මක්නිසාද නුඹ යන තැනට මමත් යමි, නුඹ නවතින තැන මමත් නවතිමි. නුඹේ සෙනඟ මාගේ සෙනඟ වන්නේය, නුඹේ දෙවියන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක.

රූත් නයොමි හා ඇලුම්කමින් බැඳී සිටියාය. සමීපව, වෙන් කරන්න බැරි තරමට ඇය සමඟ බැඳී සිටියාය.

රූත් 1:14
නමුත් රූත් ඈට ඇලුම්කමින් බැඳී සිටියාය.

නයොමි තමාගේ දෙවියන්වහන්සේ සමඟ කාලය ගත කරන ආකාරයත්, ඒ සම්බන්ධකම පවත්වා ගෙන, නමස්කාර කරන ක‍්‍රමයත් රූත් දකින්නට ඇත.

අපිට ඉන්නේ එක දෙවි කෙනෙකුය, උන්වහන්සේ ජීවමානයි. නයොමි තමාගේ දෙවියන්වහන්සේ ගැන බොහෝ දේවල් කතා කරමින් සාක්ෂි දරන්නට ඇත.

රූත්ට අවශ්‍ය වූයේ නයොමි නමස්කාර කරන දෙවියන්වහන්සේව හැඳින ගැනිමටය.

රූත් 1:3-15 දක්වා කියවා බැලූ විට පෙනී යන්නේ නයොමිට අවශ්‍ය වුණේ, තම යෙහෙළීන් දෙදෙනාව මෝවබ් දේශයේ නවත්වා යාමටය.

ඔර්පා ගිය පසු ඇය රූත්වද හරවා යවන්නට තැත් කළද, ඒ උත්සාහය අසාර්ථක විය. (රූත් 1:15)

නයොමි රූත්ට තමාගේ දේශය ගැන පවසා තිබුණත්, ඇය රූත්ව ඒ දේශයට ගෙනයන්නට අකමැති වූ වැදගත්ම කාරණය මෙයයි, නයොමි දැනන් හිටියා, ඇයගේ දේශයේ වැසියන් මෝවබ් කාන්තාවක් කොහොමත් පිළිගන්නේ නැති බවත්, ඊටත් වඩා ඇය වැන්දඹුවක්ව සිටියාය.

යුදෙව් සෙනඟ කොහොමවත්ම ඇයව ප්‍රතික්ෂේප කරමින්, ගණන් නොගෙන සිටින බව නයොමි හොඳින්ම දැන සිටි නිසා, ඇය කීවේ ආපස්සට හැරී යන්න කියාය.

නයොමි පරාජිත ජීවිතයක් ගත කර, හිස්භාවයෙන් හැරී යන අතර, ඇයට නයොමි නොහොත් ‘ප‍්‍රසන්න’ යයි නොකියා ඇය ගත කළ කටුක ජීවිතය නිසා ‘තිත්ත’ යයි කියන ලෙස කීවාය. (රූත් 1:20-21)

නයොමිට ඉශ‍්‍රායෙල් දේශයේ වගා කටයුතු කිරීම සඳහා ඉඩමක් තිබුණද, පුරුෂ ශක්තිය ඇයට නැති නිසා, අනාගතය ගැන කිසි බලාපොරොත්තුවක්ද නොවීය. එබැවින් නයොමි රූත් කැටුව යාමට අකමැති විය.

රූත් යනු ‘මිත‍්‍රත්වය’ නිසා, ඇය නයොමිට ඇලුම්කමින් බැඳී සිටියාය.

‘ඇලුම්කම’ යන්නෙන් අදහස් වන්නේ සමීපව, ළඟින්ම ඉන්නවා යන තේරුමය.

‘ඔබවත්, මාවත්’ කිසි කෙනෙකුට වෙන් කළ නොහැකි බව රූත් ප‍්‍රකාශ කළාය.

නයොමි කුමන හෝ හේතුන් මත රූත්ව නතර කිරීමට ප‍්‍රයත්න දැරුවත් රූත් ඒ කිසිවකට නොසැලී තම අධිෂ්ඨානය මතම රැඳී සිටියාය.

ද්වීතීය කථාව 4:7
මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අප යාච්ඤාකරන සියලු ප්‍රස්තාවයන්හිදීම උන්වහන්සේ අපට ළංව සිටින්නාක් මෙන් වෙන කොයි මහත් ජාතියකට දෙවිකෙනෙක් ළංව සිටින්නේද?

නයොමි දෙවියන්වහන්සේ සමඟ පැවැත්වූ, ඒ සමීප සම්බන්ධකම රූත් දකින්නට ඇත. නයොමිගේ ප‍්‍රකාශයන් තුළින් ඔවුන් දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවයක් ඇතුව සිටින සෙනඟක් බව සඳහන් වෙන්නට ඇත.

රූත් ඒ රහස ඉගෙන ගැනීමට ආශා කළාය.

දෙවියන්වහන්සේ බලවන්තයි.

ඔබගේ ජීවිතයේ වෙනස ගැන අන් අයට සාක්ෂි දරන්න වූවොත් ඔබ දෙවියන්වහන්සේ ගැන කුමක්ද කියන්නේද?

ඔබ ප‍්‍රකාශ කළ යුත්තේ මගේ දෙවියන්වහන්සේ මා මුදවා ගත්තා කියාය.

රූත් ප‍්‍රකාශ කළේ ‘’ඔබේ දෙවියන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වන සේක’’ ලෙසය.

අලුත් ගිවිසුමේදී අපි යේසුස්වහන්සේට ආරාධනා කළ විට උන්වහන්සේ අපේ හදවතට පැමිණෙන සේක.

දෙවියන්වහන්සේ ඔබට ප්‍රේම කරන සේක.

බලාපොරොත්තු නැති අවස්ථාවන්ලදී පවා උන්වහන්සේ ඔබට බලාපොරොත්තුවක් දෙනු ඇත.

ඔබට අහිමිවූ සියල්ල නැවත පිහිටු වීමට උන්වහන්සේට හැකියාව ඇත.

උන්වහන්සේ කැඩුණු බිඳුණු භාජන රැගෙන අලුත් භාජනයක් සාදන්නා සේ, කැඩුණු බිඳුණු අපගේ හදවත් සුව කරන්නාවූ දෙවියන්වහන්සේය.

දෙවියන්වහන්සේ අපගේ හදවත තුළ සැත්කමක් කරමින් අපගේ පරණ ගල් සිත වෙනුවට අලුත් සිතක් අපට දී ඇත.

යෝබ් පොත බයිබලයේ පොත් අතර මැද හරියේ තිබුනත් යෝබ් ජීවත්ව සිටියේ බයිබලයේ මුල් වකවානුව තුළය.

යෝබ් දෙවියන්වහන්සේ ගැන පවසන දේ අප බලමු.

යෝබ් 36:5‭
මෙන්න, දෙවියන්වහන්සේ බලවත්ය, එහෙත් කිසිවෙකු සුළු නොකරනසේක.උන්වහන්සේ ඥාන ශක්තියෙන් බලවත්ය.

නයොමි තමන්ගේ දෙවියන්වහන්සේගේ ස්වභාවය ගැන, රූත්ට ප‍්‍රකාශ කරන්නට ඇත.

එමෙන්ම ඇය තම යෙහෙළියව සුළු නොකළාය.

දෙවියන්වහන්සේ ඔබ ගැනද මෙලෙස ක‍්‍රියා කරමින්, ඔබ පිළිගන්නා සේක.

දෙවියන්වහන්සේ සියල්ල දන්නාවූ බලවත් තැනන්වහන්සේ නිසා උන්වහන්සේ යම් දෙයක් සිදුවෙන්නට පෙර එහි මුල පමණක් නොව අවසානයද දන්නා සේක.

එපමණක් නොව උන්වහන්සේ සියල්ල දකින දෙවියන්වහන්සේය.

යෝබ් 36:6‭
උන්වහන්සේ දුෂ්ටයන් ආරක්ෂා නොකරනසේක. නුමුත් අසරණවූ අයට යුක්තිය ඉෂ්ටකර දෙන සේක.

ඔවුන් යක්ෂයාගේ හඬට කීකරු වෙන නිසා ඔවුන්ට කිසි ආරක්ෂාවක් නැත.

දෙවියන්වහන්සේ ඔබ සමඟ ඔබ ගැන සලකන බැවින් අසරණකම, තනිකම ගැන ඔබේ ප‍්‍රකාශය වෙනස් කර ගත යුතුය.

දෙවියන්වහන්සේ අප තුළ සිටිනවා නම් අප ජයග‍්‍රහයකයන්ය.

දෙවියනවහන්සේ රජුන්ගේ රජු උන්වහන්සේ අපගේ අබ්බා පියාණන්වහන්සේය.

උන්වහන්සේ අපගේ සැපයුම්කරුය. අපව සුව කරන වෛද්‍යවරයාණෝය.

උන්වහන්සේ අප තුළ වාසය කරන බැවින් අප අසරණයි යන්නෙන් නොකියා මරණීය වචන වෙනස් කර ගත යුතුයි.

යෝබ් 36:7‭
උන්වහන්සේ තමන් ඇස් ධර්මිෂ්ඨයන් වෙතින් අහක් නොකර, ඔවුන් උසස්වෙන හැටියට රජුන් සමඟ නිතරම සිංහාසනයෙහි සිටුවනසේක.

උන්වහන්සේගේ දෑස් ධර්මිෂ්ඨයා කෙරෙහිය. උන්වහන්සේ එය අහක් කරන්නේ නැත.

දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨයාගේ යාච්ඤාව අසන සේක.

උන්වහන්සේගේ ඇස් නිතර ධර්මිෂ්ඨයා කෙරෙහිත්, උන්වහන්සේගේ කන් ඔවුන්ගේ කන්නලව්වටත් යොමා ඇත.
(1 පේත‍්‍රැස් 3:12)

යෝබ් 36:8-11
ඔව්හු විලංගුවලින් බඳිනු ලැබ, දුක් පීඩා නමැති බැඳුම්වලට අසුවී සිටිත්නම්, උන්වහන්සේ ඔවුන්ගේ ක්‍රියාවද ඔවුන්ගේ අපරාධ එනම් ඔවුන් උඩඟුකම් කළ බවද ඔවුන්ට පෙන්වා, දැනමුතුකමට ඔවුන්ගේ කන් අරවා, අයුතුකමෙන් හැරෙන්ට කියා ඔවුන්ට අණකරනසේක. ඔව්හු ඇහුම්කන්දී උන්වහන්සේට මෙහෙකළොත්, තමුන්ගේ දවස් ඉසුරෙන්ද තමුන්ගේ අවුරුදු සැපතින්ද පසු කරන්නෝය.

උන්වහන්සේට ඇහුම්කන්දී සේවය කර, නමස්කාර කිරීමට ඔබ තීරණය කර ගත්තානම්, දෙවියන්වහන්සේ මට ආශීර්වාද කරන දෙවියන්වහන්සේ බවත්, මම අත තියන සියල්ල සඵල වන බවත්, මාගේ දෙවියන්වහන්සේ මා ඉදිරියේ ගමන් කරනවා, උන්වහන්සේ මාගේ එඬේරාය කියා ඔබ පොරොන්දු ප‍්‍රකාශ කරන්නේ නම්, ඔබේ අවුරුදු සැපතින් තෘප්තිමත්ව ඔබට ජීවත් විය හැක.

දෙවියන්වහන්සේගේ පොරොන්දු ඉතා යහපත්ය.

දෙවියන්වහන්සේ අපට දීර්ඝායුෂ දී තිබෙනවා. අපි අවුරුදු 30-40 වූ විට කලකිරීමෙන්, වයස්ගත වන බව ප‍්‍රකාශ නොකර අපගේ වචන වෙනස් කර ගත යුතුයි.

අපි ශක්තියෙන් ශක්තියට ඇදහිල්ලෙන් ඇදහිල්ලට මහිමයෙන් මහිමයට ගමන් කරමින් සිටින බව විශ්වාස කළ යුතුයි.

ද්වීතීය කථාව 6:4‭-‬5
එම්බා, ඉශ්‍රායෙල්, අසන්න. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එකම ස්වාමීන්වහන්සේය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේමකරන්න.

අප දෙවියන්වහන්සේට කීකරුවී නමස්කාර කරන විට උන්වහන්සේ අපගේ ජීවිත සාර්ථක සඵලවත් කරනු ඇත.

ද්වීතීය කථාව 4:24
මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විනාශකරන ගින්නක් වන, ස්වකීය ගෞරවය රක්ෂා කරන්නාවූ දෙවිකෙනෙක්ය.

ඉශ‍්‍රායෙල් සෙනඟ දෙවියන්වහන්සේව යෙහෝවා යන නමින් හැඳින් වූයෝය.

ඔවුන් උන්වහන්සේගේ නාමය කියන්නට තරම් උන්වහන්සේට භයව ගෞරවය දැක් වූවෝය.

මිසර දේශයෙන් උන්වහන්සේ ඔවුන්ව වහල්කමින් මුදවා ගත්තා.

මෝසෙස්ට සෙනඟ සීනායි කන්ද ළඟට ගෙනෙන්නට උන්වහන්සේ අණ කළසේක. මේ මගින් උන්වහන්සේ සෙනඟට ප‍්‍රකාශ වූ සේක.

එම කන්ද උන්වහන්සේගේ ගින්නෙන් ආලේප වී තිබුණේය. මනුෂ්‍යයන් එයට ළං වූවොත් මරණයට පත් වන තරමට එය බලවත් ගින්නක් විය. (නික්මයාම 19:1-25)

මෝසෙස් දෙවියන්වහන්සේ සමඟ කාලය ගත කරන්න ගියේය. එම අවස්ථාවේ ඔහු නැවත සෙනඟ වෙත එන විට අපට දක්නට ලැබෙන්නේ මනුෂ්‍යයන් ඔවුන්ගේ නමස්කාරය වෙනස් කර වස්සෙක් සාදා එයට නමස්කාර කරන්නට පටන් ගත් බවය. (නික්මයාම 32:1-19)

මක්නිසාද ඔවුන් සිතුවේ මෝසෙස් නැවත ඒමට ප‍්‍රමාද වූ බැවින් ඔහු මරණයට පත් වූ බවය.

උන්වහන්සේ මහත් දේවල් ඉශ‍්‍රායෙල් වෙනුවෙන් කළ තිබුණත්, පුදුමාකාර ආශ්චර්ය දේවල්, රතු මුහුද වෙන්කර ඔවුන් ආරක්ෂිතව ඔවුන්ව මුදවා ගත්තත්, ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් ලබා ගැනීමට ප‍්‍රමාද වූ කළ කොදුරන්නට පටන් ගත්තෝය. (ගණන් කථාව 11:1-15)

අපිත් අපගේ ජීවිතයේ දැනගත යුතු වන්නේ උන්වහන්සේ පුදුමාකාර බලවත් දෙවි කෙනෙක් බවය.

ද්වීතීය කථාව 4:24 මෙම පදයේ සඳහන් පරිදි උන්වහන්සේ විනාශ කරන ගින්නක් නුමුත් එය අපව විනාශ කරන ගින්නක් නොව අප තුළ තිබෙන ශුද්ධාත්ම ගින්නය. එම ගින්න අප තුළ තිබෙන පාපය විනාශ කරන ගින්නක්ය.

එම ගින්නෙන් අපි ආලේප වී සිටිනවානම් අපට බෝහෝ දේ කළ හැකිය. උන්වහන්සේගේ හඬ අසමින් අපට ගමන් කළ හැකි වේ.

අප වනාන්තර ලැව් ගිනි ගැන අසා තිබේ නම්, ඒ වගේම අප එදිනෙදා ජීවිතයට භාවිතා කරන ගිනි ගැනත් දැන සිටිමු.

දෙවියන්වහන්සේ ලෝකයාට ලැව් ගිනි මෙන්ය. ඔවුන්ගේ දුෂ්ඨකම් උන්වහන්සේ එපා කරන නුමුත් ධර්මිෂ්ඨයාට ඒ වගේ භය වන ගින්නක් නොව අප තුළ ක‍්‍රියා කරන උපකාරක ගින්නකි.

උන්වහන්සේ අපට අවශ්‍ය සියලු දේ අපට සපයා දෙනසේක.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ගෞරවය රක්ෂා කරනසේක. එය කවදාවත් උන්වහන්සේ නැති කරන්නේ නැත.

ද්වීතීය කථාව 4:31
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දයාවන්ත දෙවිකෙනෙක් බැවින් උන්වහන්සේ නුඹ අත්නොහරිනසේක, නුඹ විනාශනොකරනසේක, උන්වහන්සේ නුඹේ පියවරුන් සමඟ දිවුළාවූ ගිවිසුම මතකනැති නොකරනසේක.

මෙම පදය නයොමිගේ හදවත තුළ තිබෙන්නට ඇති. මම ඇයව ගෙන ගියොත් උන්වහන්සේ ඇයට උපකාර කරයි. මට උපකාර කරන්නට බැරි නුමුත් මාගේ සෙනඟ ඇයව ප‍්‍රතික්ෂේප කරත් උන්වහන්සේ ඇයට උපකාර කරයි.

ද්වීතීය කථාව 7:21
මහත්වූ භයානකවූ දෙවිකෙනෙක් ව සිටින නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා අතරෙහි සිටින බැවින් ඔවුන් නිසා තැති නොගන්න.

දෙවියන්වහන්ස කරුණාවන්ත දෙවිකෙනෙක් බව නයොමි විශ්වාස කර, රූත් සමඟ මෙම ගමන යන්නට තීරණය කළාය.

මක්නිසාද ස්වාමීන්වහන්සේ දයාවන්ත දෙවිකෙනෙක් බැවින් උනවහන්සේ ඔබව අත්නාරින සේක.

ගීතාවලිය 57:2
මහෝත්තමවූ දෙවියන්වහන්සේට, එනම් මට සියලු දේ කරදෙන්නාවූ දෙවියන්වහන්සේට හඬගසන්නෙමි.

ඔබ දන්නවද ජීවමාන දෙවියන්වහන්සේට ඔබ හඬ ගසන විට උන්වහන්සේ පිළිතුරු දෙන දෙවිකෙනෙක්ය. උන්වහන්සේ ඔබේ හඬ ප‍්‍රතික්ෂේප කරන්නේ නැත. උන්වහන්සේගේ අත් කොට නොවන බැවින් ඔබ උන්වහන්සේව පෙට්ටියකට සීමා නොකරන්න.

උන්වහන්සේ සීමා කළ නොවූවෝය. හැකි දෙවිකෙනෙක්ය. උන්වහන්සේ විශාලයි. උන්වහන්සේගේ විශාලත්වය හා බලය දැන ගන්නා පිණිස ඔබ මුහුදක් දියඇල්ලක් නැතහොත් අහස හෝ හිරු එළිය දිහා බලා සිටින්න උන්වහන්සේ සීමා නොමැතිව ඒවා අප හට දී තිබේ.

කිසිම මිලයක් නොමැතිව නොමිලේ උතුරා යන තරමට උන්වහන්සේ අපට දී තිබෙනවා.

උන්වහන්සේ පුදුමාකාර බලවත් දෙවිකෙනෙක් උන්වහන්සේ ඔබටත් මටත් ප්‍රේම කරන දෙවිකෙනෙක් උන්වහන්සේ අපට කියන්නේ මා කෙරෙහි විශ්වාස කරන්න.

ඒ වගේම නයොමි විශ්වාස කරන්නට ඇති දෙවියන්වහන්සේ යෙහෝවා යයිරේ උන්වහන්සේ සියලු දේ සපයන දෙවියන්වහන්සේ බව. උන්වහන්සේ ආබ‍්‍රහම්ට සැපයු ආකාරයට අපටත් සපයන දෙවියන්වහන්සේය. (උත්පත්ති 22:14)

බලාපොරොත්තු නැති අවස්ථාවේ උන්වහන්සේ බලාපොරොත්තු දෙන දෙවිකෙනෙක්ය.

උන්වහන්සේ යෙහෝවා යයිරේ බව රූත් දැන ගැනීම යහපත් දෙයක් බව නයොමි සිතන්නට ඇත.

රූත්ට අවශ්‍යය වූයෙත් නයොමිගේ දෙව්යන්වහන්සේව දැනගැනීමටය. රූත් සිතන්නට ඇති නයොමි සමඟ ඇති කරගත් මිත‍්‍රත්වය උන්වහන්සේ සමඟත් ඇති කර ගැනීම යහපත් බව.

සෙකරියා 8:8
ඔව්හු සැබෑකමෙනුත් ධර්මිෂ්ඨකමෙනුත් මාගේ සෙනඟ වන්නෝය, මමත් එසේම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

අප සැබෑ ලෙස දෙවියන්වහන්සේ සොයන්නට ආශාවන කල උන්වහන්සේ අපගේ දෙවියන්වහන්සේ වනසේක.

සෙකරියා 13:9
….. ඔව්හු මාගේ නාමය කියා යාච්ඤාකරන්නෝය, මම ඔවුන්ට උත්තරදෙන්නෙමි. ඔව්හු මාගේ සෙනඟයයි කියන්නෙමි; ඔවුන්ද: ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.

අප ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේයැයි පවසනවිට උන්වහන්සේද අපව උන්වහන්සේගේ සෙනඟ කරගනු අත.


Watch the Sermon Video

Read 192 times